ElaKiri Community

ElaKiri Community (http://www.elakiri.com/forum/index.php)
-   ElaKiri Talk! (http://www.elakiri.com/forum/forumdisplay.php?f=7)
-   -   අභිරහස් නිල් එළිය (http://www.elakiri.com/forum/showthread.php?t=1911302)

rangana26 09-09-2019 11:59 AM

අභිරහස් නිල් එළිය
 
අභිරහස් නිල් එළිය ( 1,2,3)


හත්වන කොටස

http://www.elakiri.com/forum/showthr...1#post24761063


බඹරකන්ද කැලේ අත්භූත ආලෝකයක් යන මැයින් පුවත්පතක මුල් පිටුවේ පලවූ ලිපිය මා දුටුවේ අහම්බයකිනි. දුම්රියේ මා ඉදිරිපස අසුනේ සිටි පුද්ගලයා කියවමින් සිටි පුවත්පත ඔහු කියවා අවසන් වූ පසු ඉල්ලාගත් මම එම ලිපිය අතිශ්‍ය උවමනාවෙන් කියෙව්වේ බඹරකන්ද කඳුවැටියේ අභිරහස් ආලෝකය පිලිබඳව කලකට ඉහතදීද මට තොරතුරු ලැබී තිබුනු බැවිනි. පුවත්පත් වාර්තාකරු එම ආලෝකය පිලිබඳව අතිශෝක්තියෙන් විස්තර කර ඇතිබව මට සිතුනි. පුවත්පතෙහි එම ආලෝකය විස්තර කර තිබුනේ දීප්තිමත් ලා නිල් පැහැති ආලෝක කදම්බයක් පුරා පැයකට ආසන්න කාලයක් බඹරගල ආශ්‍රිත ප්‍රදේශයේ පැවති බවත් එය කිරණ කඳම්භයක් ලෙස අහසට යොමුව පැවති බවත්ය.
අදින් වසර පහකට පමණ පෙර මම විශ්වවිද්‍යාලයේ වාර අවසාන නිවාඩුවක් ගතකිරීමට බඹරකන්ද ආශ්‍රිතව වාසය කල මාගේ මිතුරෙකුගේ නිවසට ගියෙමි. එකල බන්ඩප්පු සීයා ලෙස හඳුන්වන ගැමියෙකු විසින් බඹරකන්ද ආශ්‍රිත ජනප්‍රවාද ලුණු ඇඹුල් අවශ්‍ය පදමට එක්කොට මට පැවසූ අයුරු දැනුදු මට සිහිකල හැකිය. වසරකට වරක් පුර පෝය ඇති දිනක බඹරකන්ද ගල්තලාවෙන් නිල්පැහැති ආලෝකයක් පිටකරමින් දේවතාවන් වඩින බව ඔහු පැවසූ විට මම ඔහුට සිනාසී එය බැහැර කලත් පුවත්පත් වාර්තාව කියවූ විට එහි යම් සත්‍යතාවයක් ඇතැයි මට වැටහුණි. දේවතාවන් පිලිබඳව කාරණය කෙසේ වෙතත් එහි යම් විද්‍යාත්මක පැතිකඩක් ඇතැයි මට සිතුනි.
මොකද ඉලංදාරිය අහස පොලව ගැටලන්න කල්පනා කරන්නෙ. බඹරකන්දට ගිහිල්ලා ඔය එලිය ගැන හොයල බලන්න හිතුනද?
මම පුවත්පත ඉල්ලාගත් පුද්ගලයා පරීක්ෂාකාරීව මාදෙස බලමින් විමසුවේ සිනාමුසු මුහුණිනි.
"එහෙමත් නෙවෙයි. ඒත් මම ඔය කතාවම කලින් අහලා තියනවා" මම පැවසුවෙමි.
"මම නිමල් විජේසිරි. පරමාණුක බලශක්ති අධිකාරියේ සයන්ටිස්ට් කෙනෙක්." පිලිතුරක් ලෙස ඔහු මා දෙසට සුරත දිගුකරමින් තෙපලීය.
මම රුවන් හෙට්ටිආරච්චි. ටියුෂන් ගුරුවරයෙක්.
ඔහුගේ සුරත පිලිගනිමින් පිලිවදන් දුනිමි.

ඔබතුමා මොකද හිතන්නෙ ඔය කියන අභිරහස් ආලෝකය ගැන. මම විමසුවේ සයන්ටිස්ට් කෙනෙක්වන ඔහුට මේ පිලිබඳව යම් අදහසක් ඇතැයි සිතුනු බැවිනි.

මෙන්න මගේ කාර්ඩ් එක. ඔයාට ඔය උනන්දුව තව අවුරුද්දකිනුත් තිබුනොත් මට කතා කරන්න. එතකොට මට පුලුවන් ඔයාට යම් පැහැදිලි කිරීමක් කරන්න වගේම මගේ වියදමින්ම ඔයාව බඹරකන්දට එක්කගෙන යන්න. ආචාරශීලී ලෙස පැවසූ ඔහු ඊලඟ නැවතුමෙන් දුම්රියෙන් බැස ගියේය.

මහාචාර්‍ය නිමල් විජේසිරි යනුවෙන් තමාව හඳුන්වාදුන් පුද්ගලයා පිලිබඳව මසිතතුල මෙවිට කුතුහලයක් මෙන්ම සැකයක්ද ඇතිව තිබුනි. එම ආලෝකය පිලිබඳව මා විමසූ විට ඒ පිලිබඳව විද්‍යාත්මක පැහැදිලි කිරීමක් නොකිරීමත් තව වසරකින් මිනිත්තු කිහිපයක් පමණක් සංවාදයේ යෙදුනු මා සමග බඹරකන්ද තරණය කිරීමට තීරණය කිරීමත් නිසා ඔහු කවරාකාර පුද්ගලයෙකුද යන්න සොයා බැලීමට මට සිත්විය.

ගමන් මල්ල තුලින් ටැබ් වර්ගයේ පරිගණකය ඉවතට ගත් මා ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරියේ වෙබ් පිටුවට පිවිස නිමල් විජයසිරි පිලිබඳව සොයා බැලුවෙමි. ඔහු එහි ජේෂ්ඨ මහාචාර්‍යවරයෙකු වීම මා පුදුමයට පත්කලේය. පෙනුමින් වසර 40ක් පමණ වූ කලු මිටි තරබාරු සිරුරකින් යුතු ඔහු පෙනුමින් එතරම් බුද්ධිමත් බවක් පල නොකලේය. ඔහු සමඟ බඹරකන්දට යාමට මා තුල අදහසක් නොවුනද ඔහු දුන් ආගන්තුක පත්‍රය සුරැකිව මම මුදල් පසුම්බියේ බහා ගතිමි.

කාලය ගෙවී ගියේ මා පෞද්ගලික උපකාරක පන්ති ක්ෂේත්‍රයේ යෝධයෙකු කරමිනි. කාර්‍යබහුල දිනක අවසානයේ නිවස බලා කාර් රථය පදවමින් සිටින අතරතුර නොදන්නා අංකයකින් ඇමතුමක් පැමිණියේය.
හෙලෝ....
හෙලෝ .....
ඉතිං කොහොමද ගොඩක් කාලෙකට පස්සෙ හරියටම කියනවානම් මාස 11කටපස්සෙ. අනෙක් පසින් නැගුනු පිරිමි කටහඬකින් පැවසීය.
සමාවෙන්න මට එකපාරටම අදුනාගන්න බෑ. කරුණාකරල කවුද කියලා කියන්න පුලුවන්ද?
මම විමසුවේ එය මට හුරුපුරුදු කටහඩක් නොවූ බැවිනි.
තවමත් බඹරකන්ද කැලේ තිබිච්ච අත්භූත එලිය ගැන හිතනව නම් මගෙ වාහනේ සීට් එකක් ඔයාට වෙන්වෙලා තියනවා. ඔහු සිනාසෙමින් පැවසීය.
ඔහ්... අපේ මහාචාර්‍යවරයතුමානෙ. සමාවෙන්න මහාචාර්‍යතුමා එකපාරටම අදුනාගන්න බැරි උනා. ඉතිං ඔබතුමා කොහොමද මගෙ මොබයිල් නම්බර් එක හොයාගත්තෙ. මම විමසුවෙමි.
සුප්‍රසිද්ධ ටියුෂන් මාස්ටර්ගෙ මොබයිල් නම්බර් එක හොයාගන්න එක එච්චර අමාරු වැඩක් නෙවෙයි කොල්ලෝ. ප්‍රශ්නෙ තියෙන්නෙ දැන් ඔයාට බඹරකන්ද ගැන කලින් තිබුනු උනන්දුවම තියනවද කියන එකයි පුතා. මහාචාර්‍යවරයා පැවසීය.

උනන්දුව නම් තියනවා මහාචාර්‍යවරයතුමා ප්‍රශ්නෙ තියෙන්නෙ මේ ටියුෂන් එක්ක ඔලුව උස්සන්නවත් වෙලාවක් නැති එක. ඉතිං කණගාටුවෙන් උනත් මට ඔබතුමාගෙ ආසනය ප්‍රතික්ෂේප කරන්න වෙනවා. මම පැවසුවෙමි.
ඕකේ පුතා. එහෙනම් මම තියනවා. බඹරකන්දට මම යන්නෙ තනියම තව මාස තුනක් ඇතුලත ආපහු ඇවිත් මම ඔයාට කෝල් නොකලොත් මම පර්‍යේෂනයකට බඹරකන්ද කැලෑවට ගියා කියල පොලීසියට ඉන්ෆෝම් කරන්න පුතාට පුලුවන්ද? ඔහු විමසීය.
ශුවර් මහාචාර්‍යවරයතුමා. මටත් ඇත්තටම එන්න ඕනිකම තියනවා ඒත් මට මේ ක්ලාස් ටික අතෑරලා එන්න විදිහක් නෑ. මම පිලිවදන් දුනිමි.
හරි පුතා. එහෙනම් මම තියනවා. යැයි පවසමින් ඇමතුම විසන්ධි විය.
එයට පසුව මට එම ඇමතුම හා මහාචාර්‍යවරයා පිලිබඳව කාර්‍යබහුලත්වයට යටව අමතකව ගියේය.

දිනක් මා ක්‍රෙඩිට් කාඩ්පත සොයාගත නොහැකිව මුදල් පසුම්බිය පරීක්ෂා කරන විට අහම්බෙන් මෙන් මහාචාර්‍යවරයාගේ ආගන්තුක පත්‍රය නෙත ගැටුනි. මා මහාචාර්‍යවරයාට වූ පොරොන්දුව සිහිවූයේ එවිටය. එවිට එම පොරොන්දුවට මාස තුනක් නොව අවුරුදු දෙකකුත් මාස එකොලසක් ගතව තිබුනි. මගේ හෘද සාක්ෂිය මහාචාර්‍යවරයාට වූ පොරොන්දුව ඉටු නොකිරීම ගැන දොස් පවරන්නට වූ බැවින් මම වහාම පරමාණුක බලශක්ති අධිකාරියට ඇමතුමක් ගෙන නිමල් විජයසිරි මහාචාර්‍යවරයා පිලිබදව විමසා සිටියෙමි. මෙයට වසර තුනකට පමණ පෙර මාස තුනක අධ්‍යන නිවාඩු අනුමත කරගත් මහාචාර්‍යවරයා නැවත සේවයට වාර්තා නොකල බව දුරකතන ක්‍රියාකාරිනිය පැවසූ විට මා අතින් සිදුවූ අතපසු වීම නිසා මහාචාර්‍යවරයාගේ ජීවිතයට හානියක් වන්නට ඇති බව මට සිතුනි. එම ගමනේ යම්කිසි අනතුරක් දුටු නිසා තමා මාස තුනකින් නොපැමිණි හොත් පොලීසියට දැනුම්දෙන ලෙස ද් පවසන්නට ඇතිබව වැටහුනු මට දරාගත නොහැකි පසුතැවීමක් ඇතිවිය. මම නැවතත් පරමාණුක බලශක්ති අධිකාරිය අමතා එතුමාගේ පෞද්ගලික ලිපිනය ඉල්ලා ගත්තේ මා අතින් සිදුවූ අතපසු වීම නිසා එතුමාට යම් අනතුරක් සිදු වී ඇතිදැයි සැකහැර දැන ගැනීමටය. නුගේගොඩ විජේරාම මාවතේ පිහිටි එම ලිපිනය බලා මම වහාම පිටත් වූයේ එතුමා ගැන නිවැරදි තොරතුරක් දැනගන්නා තුරු මසිත දවන වරදකාරී හැඟීමෙන් මිදිය නොහැකි බව මට දැනුනු බැවිනි.
අංක 32/5 දෙමහල් නිවසක් වූ අතර නිවස හා ගෙවත්ත හොඳින් නඩත්තු කර ඇතිබව බැලූ බැල්මටම පෙනුනි. ගේට්ටුවේ සවිකර තිබූ විදුලි සීනුව නාදකර ස්වල්ප වේලාවකින් ගේට්ටුව විවෘත විය.

කවුරු හම්බුවෙන්නද?

තුරුණු වියේ පසු වූ යුවතියක් යන්තමින් විවෘත වූ ගේට්ටුවෙන් හිස එලියට යොමා විමසුවාය.
මේ නිමල් විජේසිරි මහාචාර්‍යවරයතුමාගෙ ගෙදර නේද? මම විමසුවේ මැය එතුමාගේ දියණියක් වියහැකි බව අනුමාන කරමිනි.

ආ.... විජේසිරි අංකල් බෝර්ඩ් වෙලා හිටියෙ අපේ ගෙදර දැනට අවුරුදු 3කට විතර කලින් මොකක්ද පර්‍යේෂණ වගයකට යනව කියලා ගියා තවම ආවෙ නෑ. මහත්තයගෙ විස්තර දීලා යන්න අංකල් ආවම කියන්නම්. ඇය පිලිතුරු දුන්නේ අවුරුදු තුනක් යනු මාස තුනක් තරම් සරලව සලකමිනි.

අවුරුදු 3ක් වෙලත් ආවෙ නැත්තම් ඇයි පොලීසියටවත් කිව්වෙ නැත්තෙ මොකක් හරි කරදරයක්වත් වෙලාද දන්නෙ නෑනෙ. මම විමසුවේ නොමනාපයෙනි.

අංකල්ට පර්‍යේෂණ වලට ගියාම කාලය ගැන අවබෝධයක් නෑ එක පාරක් බඹරකන්ද පැත්තෙ මොකක්දෝ පර්‍යේෂණයකට ගිහිල්ලා අවුරුදු 5කට පස්සෙ ආවෙ. අපි කලබල වෙලා හැමතැනම හෙව්වා. පොලීසියටත් ගියා. දැන් එයාගැන දන්න නිසා අපි කලබල වෙන්නෙ නෑ. කරන පරීක්ෂණයක් ඉවර කරලා ගිය දිහාවකින් එන්නෙ නැතැයි. ආවම මහත්තයා ඇවිත් ගියා කියලා කියන්නම්. මට මහත්තයගෙ කාර්ඩ් එක දීල යන්න. ගේට්ටුව වසා දැමීමට උත්සහ කරමින් ඇය පැවසුවාය.

ඕනි නෑ ආයෙත් මම ටික දවසකින් ඇවිත් බලලා යන්නම්කො මහාචාර්‍යවරයතුමා ඇවිත්ද කියලා ඇයට පිලිතුරු දී රථය හරවාගත් මම නිවස බලා රිය පැදවීමි.

මහාචාර්‍යවරයතුමා වසර තුනක් ගතවන විටත් නිවසට නොපැමිණියේ එතුමා කිසියම් කරදරයකට මුහුණපා සිටින බැවින් විය යුතුය. බඹරකන්ද කැලෑවේ එතුමා පර්‍යේෂණ සඳහා ගිය පලමු වතාව මෙය නොවේ නම් එහි පවතින අනතුර කුමක්දැයි එතුමා දැනගෙන සිටින්නට ඇත. එතුමා මා ගැන කිසිවක් හරිහැටි නොදැන උවත් මාස තුනකින් නොපැමිණියහොත් පොලීසියට දැනුම් දීමට කීවේ මාස තුනකින් පර්‍යෙෂණය අහවර කර පැමිණීමට හැකියැයි විශ්වාසයක් එතුමාට පැවති බැවින් විය යුතුය. එසේ නොපැමිණියේ අනතුරක් සිදුවීම නිසා බව හොදටම පැහැදිලිය. මා එතුමාට වූ පොරොන්දුව ඉටු නොකිරීම නිසා සමහර විට ඔහුගේ ජීවිතය විනාශ වන්නට ඇත. මෙසේ හෘද සාක්ෂියේ පහරකමින් නිවසට රිය පැදවූ මා හැඳසිටි ඇඳුම් පිටින්ම සයනයේ පෙරලුනෙමි. මගේ හදවත මහත් වරදකාරී හැඟීමකින් දැවෙමින් තිබුනි.

අධික මහන්සිය හා චිත්ත සන්තාපය නිසා නිදි දෙව්දුව මා තරයේ වැලඳ ගන්නට ඇති බව මට පසක් වූයේ අලුයම හතරට පමණ මා අවදි වූ විටය. පෙර දින දහවල සිට අහරක පහස නොවිඳි උදරය වේදනාවෙන් කෙඳිරි ගෑවේය. හිසරදය හා තෙහෙට්ටුව නිසා කයින් නැගෙන වේදනාව සමනය කර ගැනීමට ලාච්චුව අතපත ගා සොයාගත් පෙනඩෝල් දෙකක් ගිල දැම්මෙමි. ශීතකරණයෙන් ගත් කේක් කැබැල්ල ගිලදමමින් මා කල්පනා කලේ මහාචාර්‍යතුමාට කුමක් සිදුවන්නට ඇතිද යන්නය. බඹරකන්ද කැලෑවට ගොස් එතුමා පිලිබඳව යම් හෝඩුවාවක් සොයාගත හැකිදැයි බැලීමට කේක් කැබැල්ල ආමාංශ ගතව අවසන් වන විට මම තීරණය කලෙමි.

දුෂ්කර අනතුරු සහිත ගමනක් තනිව යාම නුවණට හුරු නොවන බව මා දැන උන්නද මා සමඟ එවැනි ගමනක් යාමට කැමති අයෙකු පිලිබඳව සිහිකල නොහැකි වූ බැවින් තනිවම බඹරකන්ද බලා පිටත් වීමට මට සිදු විය. ගමනේ පලමු අර්ධය සුවපහසු ලෙස මාගේ නවීනතම මෝටර් රථයෙන් ගමන් කල බැවින් එතරම් මහන්සියකින් තොරව බඹරකන්ද කැලෑවේ එක් මායිමක් වන බඹරගල ගම්මානයට සේන්දු වීමට හැකිවිය. බඹරගල ගම්මානයට මා පැමිණෙන විට බිම්කරුවල වැටී තිබූ බැවින් කැලෑවට ඇතුල්වීම පසු දිනට කල්තබා අද දින ගම්මානයේ ගත කිරීමට මම තීරණය කලෙමි. එම පෙදෙසට ආගන්තුක නවීන පන්නයේ මෝටරථයක ආගමනය ගැමියන් කෙරෙහි යම් බලපෑමක් ඇතිකල බව මට වැටහුනේ ගැමියන් කිහිප දෙනෙකු මෝටරථය වටා එක්‍ රොක්ව මා පිලිබඳව තතු විමසන්නට වූ බැවිනි.

"මහත්තයා බෑරක් යමින් ගමන් මඟ වැරදිලා ගම්මානෙට ගොඩ වැදුනද නැත්තම් මෙහෙටම කියලා ආවද?" රථය අසලට පැමිණි ජීවන ගමනේ පස්වන හෝ හයවන දශකය පසුකරන ගැමියෙක් විචාලේය.

"ඔව් අංකල් මම මෙහෙටම තමයි ආවේ. බඹරකන්ද කැලෑව පැත්තෙ ටිකක් ඇවිදින්න යන්න කියලා හිතාගෙන කොහෙද පාර සවුත්තු නිසා එනකොට හැන්දෑ උනානෙ" මම මඳ සිනාවක් පාමින් ඔහුට පිලිතුරු දුන්නෙමි.

"දැන්නම් සතා සරුපයා එලිබහින වෙලාව මහත්තයො. යන අහක හෙට උදෑනැක්කෙම පිටත් උනානං තමයි හොඳ මේ බිං කරුවල වැටෙන අල්ලපනල්ලේ බැද්දෙ රිංගන්න තනන්නෙ නැතිව." හිතෛෂී ලෙස තෙපලූ ගැමියා පිලිබඳව යම් විශ්වාසයක් මා තුල ඇතිවිය.

අංකල් මේ කිට්ටුව මට නතර වෙන්න පුලුවන් තානායමක් වගේ තැනක් තියනවද? යනවෙන් මම එම ගැමියාගෙන් විමසුවේ එවැනි දුෂ්කර ගම්මානයක තානායමක් නොපවතින බව ම දැන උන්නත් කෙලින්ම නිවසක නවාතැන් ගැනීම පිලිබඳව විමසීම සුදුසු නොවේයැයි මට සිතුනු බැවිනි.

"මෙහෙ කොයින්ද මහත්තයා තානායම්. මහත්තය මනාප නම් අද රෑ අපේ පැලේ ලැගලා හෙට උදෑනැක්කෙම බැද්දට රිංගන්ට ඇහැකි". බුලත් කෙල පහරක් ඇඟිලි අතරින් විදිමින් ඔහු තෙපලේය.

ඒ උනාට මාමේ මාමලට කරදරයිනෙ මාව නවත්ත ගන්න එක අනික මාමල දන්නෙත් නෑනෙ මම කාගෙ කවුද කියලවත්. මම පිලිතුරු දුන්නේ මදක් කල්පනා කිරීමෙන් අනතුරුවය.

"මහත්තයො ඔහේ කාගෙ කවුද කියන්න අපි නොදන්න බව හැබෑව ඒත් මනුස්සයෙක්ගෙ මූණ දැක්කම ඌ හොරෙක්ද මංකොල්ලකාරයෙක්ද කියන්ට මට ඇහැකි. අනිත් කාරණාව බිං කරුවල වැටෙන වෙලාවෙ ගමට කඩාපාත් වෙච්චි අමුත්තෙක් වෙච්චි තමුන්නැහැට ඉන්න හිටින්න තැනක් පිලිවෙල කරලා නොදෙනවා නම් මක්කැයි අපේ මනුස්සකමෙන් ඇති පලේ. " කියමින් ඔහු සිනාසුනේය.

"අනේ මන්ද? මාමට කරදරයක් නැත්තම් මම එන්නම්කො එහෙනම්". මම කීවෙමි.

"තියන විදිහට මක්කවත් ගිලදමාල ඉඩකඩ තියන හැටියකට ඇලවෙන්න බැරියැ. මේ වෙලෙන් එගොඩ මයෙ පැල්කොටේ තියෙන්නෙ වාහන යන්න බෑ එතනට නියර උඩින් පයින් තමයි යන්ට වෙන්නෙ. මහත්තයගෙ ඇඳුම් කැඩුම් මක්කවත් තියනවනම් ඇන්න එන්න කියමින්" ඔහු නියරවල් දිගේ මඩ වලවල් උඩින් ඔහුගේ නිවස බලා විහිදෙන මාර්ගයට ගොඩ විය. ඇඳුම් බෑගයත් කරේ එල්ලාගත් මමද ඔහු පසු පසින් ඔහුගේ නිවස බලා පය එසෙවුවෙමි.
මාමගෙ නම මොකක්ද? නමක්වත් නොදන්නා මිනිසෙකුගේ නිවසක රැයක් ගතකිරීමට අකමැති වූ බැවින් මම ඔහුගේ නම දැන ගන්නා රිසියෙන් විචාලෙමි.

"පොතේ නම නම් පියසේන. ඒත් ගමේ උන් මට කියන්නෙ කළු අයිය කියාල" ඔහු අත තිබූ කෑලි පහේ විදුලි පන්දම දල්වමින් ඔහු පැවසීය.

"මාම විතරද ගෙදර ඉන්නෙ". ගෙදරට ගොඩ වීමට පෙර කළු අයියා පිලිබඳව යමක් දැන ගැනීමට රිසියෙන් මම නැවත විමසුවෙමි.

නෑ මහත්තයො මයෙ කොලුවා ඉන්නවා. ඌ ඔය උසස් පෙල ලියලා ප්‍රතිඵල එනකං කියල බලාන ඉන්නවා.

එතකොට මාමගෙ පවුල නැද්ද? මමත් කට වහගෙන ඉන්න බැරි කමට ඇහැව්වා.

උගෙ වැදුම්ගෙයිදිම උන්ගෙ අම්මා ඉරණම් ගමං ගියා. ඌට අම්මෙක්ගෙ අඩුව නොදැනෙන්ට මං ඌව උස මහත් කොලා මහත්තයො. මට පුලුවං හැටියකට ඉස්කෝලෙ පිටත් කොරල අකුරු සාස්තරේ ඉගැන්නුවා. උං ලොකු ලොකු විභාග කොරලා අපිට ආණ්ඩු මට්ටු වෙන්නෙ නෑ නොවැ දැන්. උගෙ මනාපයක් ඌට කොරගන්ඩ ඇරලා මම මයෙ පාඩුවේ ඉන්නවා මහත්තයො. කළු මාම කිව්වෙ හිතේ හැංගිච්චි දුක මගෙන් වහං කරගෙන.

කතාවෙන් කතාවෙන් ඕං ගෙදරටම ආව. මහත්තය ඔය මැස්සෙන්වත් වාඩිගත්තනං. කියමින් කළු මාමා පැලෙහි වරිච්චි බිත්තිවලින් ආවරණය වූ කොටසට ඇතුල් විය.

"කොලුවෝ අර පිලේ ඉන්න මහත්තයට නා කියා ගන්ට ලිඳ පෙන්නපංකො මං මොකුත් රත් කරනකම්" නිවස තුලින් කළු මාමා කිසිවෙකුට පවසනු මැස්සෙහි වාඩි වී වෙල දෙස නෙත් යොමා සිටින අතර මට ඇසුනි.

සර්.....
සර් මෙහෙ කොහෙද යන්නෙ. පැලෙන් එලියට පැමිණි අවුරුදු 18ක පමණ තරුණයෙක් මගෙන් විමසුවේ විශ්මයට පත් දෙනෙතින් මදෙස බලමින්.

මට එම තරුණයා පිලිබඳව නිවැරදි මතකයක් නොවූවත් ඔහුව දැක පුරුදු බවක් මටද දැනුණි.
පුතා කොහොමද දන්නෙ මම සර් කෙනෙක් කියලා. ඔයා මගෙ ක්ලාස් වලට ඇවිත් තියනවාද? මම විමසුවේ එම තරුණයාගේ මුහුණුවර මතකයට ගැනීමට උත්සහකරමින්ය.

මම chemistry තියරි රිවිෂන් දෙකටම ආවෙ සර්ගෙ ක්ලාස් වලට.

"ඉතිං කොහොමද exam එක ලේසියි ද? මේ පාර chemistry paper එක නම් එච්චර අමාරු නෑ මට හිතෙන විදිහට". මම කිව්වෙ මගෙන් දැනුම ලබාගත් දරුවෙක් මෙච්චර දුෂ්කර ගම්මානයකදී පවා හමුවීමේ සතුට හදතුල තෙරපෙද්දී.

හිතුවට වඩා exam එක ලේසි උනා සර්. මම ටාර්ගට් කරගෙන ඉන්නෙ A pass 3ක් ලැබෙයි කියලා. කොල්ලා කිව්වෙ බලාපොරොත්තු සහගතව.

යමු සර් වොෂ් එකක් දා ගන්න. මේව හරි දුෂ්කර පලාත්නෙ සර්. ලිඳෙන් තමයි ඉතිං වොෂ් එකක් දා ගන්න වෙන්නෙ. බාත් රූම් තියා ශවර් එකක්වත් මේ පැතිවල දකින්නවත් නෑ. ටෝර්ච් එකත් අරගෙන ඉස්සර උන කොල්ලා කියවනවා. ඒ හඬ ඇතුලෙ නැතිබැරිකම ගැන හැංගිච්චි පුංචි ලැජ්ජාවක් තරහක් තැවරිලා තිබුනා.

ලිඳකින් නානවා වගේ සැපක් කොහෙද පුතා බාත් රූම් වල වොෂ් එකක් දාගන්න කොට. මමත් පොඩි කාලෙ නෑවෙ වත්ත පහල තිබිච්චි ලිඳෙන්. අපේ ගම් පලාතත් මේ වගේම තමයි පට්ට දුෂ්කරයි. ඉස්සර මම ක්ලාස් යන්න බස් එකක් ගන්න හැතැප්ම හතක් අටක් විතර උදේට පයින් එනවා. හවස ක්ලාස් ඉවර වෙලා රෑ හතට විතර ගමට හැරෙන හංදියෙන් බැහැල ආයෙමත් හැතැප්ම හත අටක් පයින් යනවා. දෙයියනේ කියලා දුක් වින්ඳ හින්දම ඉගෙන ගත්තා. පුතා වගේම තමයි ඉගෙන ගන්න කාලෙ මමත් මාරම කට්ටක් කෑවෙ. මට ක්ලාස් යන්න සල්ලි දුන්නෙ අම්මා තේ දළු කඩලා. ඉතිං මාරම අරපිරිමැස්මෙන් තමයි වියදම් කලේ. මම කිව්වෙ සැහැල්ලු සිනාවක් මූණට නගා ගනිමින්. මට මගෙ අතීතය ඒ කොල්ලා ඉස්සරහ දිගහරින්න හිතුනෙ ඇයි කියන්න නොතේරුනත් මගෙ ජීවිත කතාවට නැතිබැරිකම ගැන උගෙ හිතේ තිබිච්ච තරහව ලැජ්ජාව නැති වෙන්න ඇති කියලා මට හිතුනා.

"ඉතිං සර් මේ පැත්තෙ ආවෙ මොකටද කියලා කිව්වෙ නෑනෙ". කොල්ලා කිව්වෙ මම ඇඟේ සබන් උලද්දී.

මම බඹරකන්ද කැලේ ටිකක් ඇවිදින්න කියලා හිතාගෙන ආවේ පුතා. මම කිව්වෙ වතුර පනිට්ටුවක් ඇඟට වත්කරගන්න ගමන්.

බඹරකන්ද කැලේ හැම අස්සක් මුල්ලක් නෑරම අපේ අප්පොච්චා දන්නවා සර්. මමත් කුඩා කාලෙ වැල් අදින්න අප්පොච්චා එක්ක හිමේට රිංගන හින්ද මටත් හොඳටම බඹරකන්ද කැලෑව හුරුයි. ඒත් බලන්නය කියලා විශේෂ දෙයක් නැති බඹරකන්ද කැලෑවෙ ඇවිදින්න සර් මෙච්චර දුරක් ගෙවාගෙන ආවා කියන එක පිලිගන්න අමාරුයි. කොල්ලා කිව්වෙ ඈතින් පේන බඹරකන්ද දිහාව බලාගෙන.

පුතාගෙ නම මොකක්ද?. මම සාලුවෙන් ඇගේ තෙත මාත්තු කරන ගමන් ඇහැව්වෙ කතාව වෙන පැත්තකට යොමු කරන්න.

"සාලිත" කොල්ලා කිව්වෙ. පනිට්ටුවයි සබන් කැටයයි අතට ගන්න ගමන්.

සර් බඹරකන්ද කැලෑවෙ ඇවිදින්න මෙච්චර දුරක් ආවා කියන එක නම් මම පිලිගන්නෙ නෑ. සර් වෙන මොකක් හරි අරමුණක් හිතේ තියාගෙන ආපු ගමනක් මේක. මට සර්ගෙ හිතේ තියන දේ කියන්න කියලා මට බල කරන්න බෑ. ඒත් සර්ට තනියම බඹරකන්දට යන්න දෙන්න බෑ. සර් කැමති උනත් අකමැති උනත් මමත් එනවා සර් එක්ක. මගේ ගම් පලාතෙදි සර්ට මොකක් නමුත් අනතුරක් උනොත් මගෙ හිතට මැරෙන තුරාවට සැනසීමක් නැති වෙයි. සාලිත හිතේ තිබුනු හැමදේම කියල අහවර වෙලා ලොකු හුස්මක් පිට කලා.

අපි පැලට ගොඩවෙන කොට කළු මාම කොච්චි සම්බෝලයක් හදලා මඤ්ඤොක්කා තම්බලා තිබුනා.
"අප්පොච්චා මේ මට උගන්නපු සර් කෙනෙක්" සාලිත මාව කළු මාමට හඳුන්වාදුන්නා. මම සාලිතගෙ ගුරුවරයා කියන එක කළු මාමා කෙරෙහි ලොකු බලපෑමක් ඇති කලේ නෑ.
අහ්... හැබෑද? කියලා ඒකට ප්‍රතිචාර දක්වපු කළු මාමා කොච්චි සම්බෝලත් එක්ක මඤ්ඤොක්කා මඩක්කුවකට දාල මගෙ අතට දුන්නා.
"කන්න මහත්තයො. කොලඹ රටේ වගේ සරුසාර කෑමපීම් නම් මෙහෙ නෑ. ඒත් කොච්චි සම්බෝලයක් එක්ක මඤ්ඤොක්කා කියන්නෙත් නරක කෑමක් නෙවෙයි" වතුර කෝප්පයක් ලං කරන ගමන් කළු මාමා කිව්වා.

"මහත්තය මට ඇත්ත කියන්ට ඕනි". කළු මාම කිව්වෙ මං කාල ඉවර කරලා අත හෝදන කොට. බුලත් විටක් ඒදලා කටේ ඔබා ගත්තු කළු මාමා මගෙන් වචනයක් ලැබෙනකම් නිශ්ශබ්දව අහස දිහා බලාගෙන හිටියා.

"මොකක් ගැනද කළු මාමා අහන්නෙ" මම ඇහැව්වෙ අහක බලාගෙන.

මහත්තයා නිකමට බඹරකන්ද හිමේ කරක්ගහන්ට ආපු ගමනක් නෙවෙයි මේක. මහත්තයා මේ කැලෑව ඇතුලෙ මක්කද කරන්න තනන්නෙ කියාල කිව්ව නම් මට පුලුවන් මහත්තයට යමක් කියන්න. මොකද මම කැමති නෑ මහත්තයා නිස්කාරනේ ජීවිතේ විනාශ කර ගන්නවා දකින්න. කියලා කිව්ව කළු මාමා සුපුරුදු විදිහට ඇඟිලි දෙක අතරින් විට කෙල පාරක් විද්දා.

සාලිතටයි කළු මාමාටයි ඇත්ත කියලා මේ වැඩේට එයාලගෙන් උදව් ගන්නවද කියන එක ගැන මම තව ටිකක් කල්පනා කලා. මගේ කල්පනාවට බාධාවක් නොකර කළු මාමත් විටක් හප හපා බඹරකන්ද දිහාව බලාගෙන හිටියා. නොදන්නා කැලෑවක තනියම යනවට වඩා කැලෑව ගැන දන්න කළු මාමගෙන් උදව් ගන්න එක හොඳයි කියලා මට හිතුනා.

කළු මාම දැකලා තියනවද අවුරුද්දකට සැරයක් බඹරකන්දෙ තියන බඹරගලෙන් නිල්පාට එලියක් විහිදෙනවා. මම ඇහැව්වෙ කළු මාමගෙ මූණ දිහාව බලාගෙන.

ඒත් කළු මාමගෙ කළුගලක් වගේ මූණෙ කිසිම වෙනසක් උනේ නෑ. ඒක හරිම ස්වාභාවික සංසිද්ධියක් ගානට ගනන් ගත්තු කළු මාමා මගෙ දිහාවට හැරිලා හිනා උනා.

හැම අවුරුද්දකම ඔය එළිය පේන්නෙ නෑ මහත්තයො. මම මගෙ ජීවිත කාලෙටම ඔය එළිය දැකල තියෙන්නෙ දෙපාරයි. මීට අවුරුදු හතර පහකට කලින් එක පාරක් දැක්කා. ඊට කලියෙන් මං පුංචි එකා සංදියෙ ඔය එලිය දැක්කා. ඒක අපිට හොයන්න කරන්න අයිති දෙයක් නෙවෙයි මහත්තයො. දෙවි දේවතාවන් වහන්සේලා බඹරකන්දෙ තියන දිවාගුහාවට බණ අහන්න වඩිනකොට තමයි ඔය නිල්පාට එළිය විහිදෙන්නෙ. දිවා ගුහාවෙ නිර්මිත බුදු රූපයක් බණ දේශනා කරන විත්තිය අපේ අත්තලා මුත්තලා කාලෙ හිට මේ ගම්මානෙ හැමෝම දැන හිටිය කතන්දරයක්. ඉතිං දෙවි දේවතාවන්ගෙ වැඩ කටයුතු වලට ඇඟිලි නොගහා පාඩුවෙ ඉන්න මහත්තයො. කළු මාමා කිව්වෙ අහස දිහාව බලාගෙන.

මට ඔය එළිය ගැන හොයන්න නම් ඒ හැටි උවමනාවක් නෑ මාමෙ. ඒත් ඔය එළිය ගැන හොයන්න මීට අවුරුදු තුනකට විතර කලින් ආපු මගෙ යාලුවෙක් අතුරුදන් උනා. මම ආවෙ අන්න ඒ සිද්ධිය ගැන විස්තරයක් දැන ගන්න හිතාගෙන. මම කිව්වා.

මහත්තයගෙ යාලුවා අතුරුදන් වෙලා අවුරුදු තුනක් වෙනව නම් හෝඩුවාවක් හොයාගන්න ලැබෙන්නෙ නෑ මහත්තයෝ. ඒක හින්දා ඔය ගැන හොයන්න මහන්සි නොවී මහත්තයා හෙට ගෙදර යන්න. කළු මාමා කරුණාවෙන් පැවසීය.

නෑ මාමෙ අඩුම තරමෙ මගෙ යාලුවා මැරිලා නම් ඇටකටු ටිකට හරි අවසන් ගෞරවය දෙන්නයි මට ඕනි. මම හිතනවා මාමායි සාලිතයි මට උදව් කරාවිය කියලා මගේ යාලුවා ගැන හොයා බලන්න. මම කිව්වෙ බලාපොරොත්තු සහගතව කළු මාමා දිහා බලාගෙන.

හ්ම්......, දැන් රෑ උනා නිදාගන්න මහත්තයො. අපි හෙට උදේට බලමුකො මොකක්ද කරන්න පුලුවන් කියලා. එහෙම කිව්ව කළු මාමා පිලේ ඇල උනා.

සර් ඇවිත් නිදාගන්න. මෙහෙ ඇඳන් නම් නෑ සර්ට පැදුරෙ තමයි නිදාගන්න වෙන්නෙ. සාලිත මට පැදුරක් එලල දීලා කිව්වා. පැදුරෙ හාන්සි වෙලා ඈතින් ඇහෙන නිශාචර සතුන්ගෙ සද්ද බද්ද වලට කන් දීගෙන හිටියෙ නින්ද අහලකවත් නොතිබිච්චි හින්දා.

හතරවන කොටසින් හමුවෙමු.....[/COLOR][/SIZE]

rangana26 09-09-2019 12:01 PM

අභිරහස් නිල් එළිය 4

කළු මාමා උදේම නැඟිටල තේ කහට ටිකක් වක්කරලා මාව කීද්දුවා.
"මහත්තයො හිමේ රිංගන්න අදහසක් තියෙනවා නම් උදෙන්ම යන එක නුවණට හුරුයි. මේං මේ තේ ඇබිංඳ බීල මූණ කට හෝදගෙන ලෑස්ති උනානං හොඳයි. කළු මාමා එහෙම කිව්වෙ තේ කෝප්පයක් මගෙ අතට දෙමින් ගමන්. මමත් උගුරට දෙකට තේ ටික බීල ඉවර කරලා දත කට මැදගෙන ලෑස්ති උනා.
හ්ම්.... එහෙනම් දෙයියං බුදුන් සිහිකොරගෙන ගමන පිටත් වෙමු. කළු මාමා කිව්වෙ ලොකු පොට්ටනියක් කරට ඇරගෙන මිදුලට බහින ගමන්. සාලිතත් ලොකු බැක් පැක් එකක් එල්ලගෙන කළු මාමා පිටිපස්සෙන් වැටුනා. මමත් මගේ බැක් පැක් එක එල්ලගෙන පෙරහරේ අන්තිමට එකතු උනා. තනියම යන්න ආපු ගමනට නොහිතපු විදිහට මගදි සහකාරයෝ දෙන්නෙකුත් ලැබුනාම මට ලොකු සතුටක් වගේම ආරක්ෂිත බවකුත් දැනුනා.

"මහත්තයො ඔහේගෙ යාලුවා ගැන හෝඩුවාවක් හොයන්න අපිට මුලු මූකලානෙම හක්කලං කොරන්ට වෙයි. මහත්තයට පුලුවන්නම් හරියටම කියන්න උන්නැහැ මොකක් කරන්නද මේ හිමේට රිංගුවේ කියලා අපිට හොයා බලන්න ඕනි අඩවිය සීමා කොරගන්ට ඇහැකි." කළු මාමා කිව්වේ කැලෑවට ඇතුල් වෙන්න කලියෙන් කොල අත්තක් ගහක එල්ලලා අයියනායක දෙයියන්ට බාරයක් එහෙම වෙලා කැලේට අඩිය තියන්න කලියෙන්.

"ඔය බඹරගලේ පේනවා කියන නිල්පාට එළිය ගැන හොයන්න තමයි මගෙ යාලුවා ආවේ. මටත් එන්න කතා කලාට මගෙ ටියුෂන් ක්ලාස් වල වැඩ නිසා මට එන්න ලැබුනේ නෑ. "

"එහෙනම් ඉතිං බඹරගල ඉසව්ව හොඳට විපරම් කරලා බලන එකයි තියෙන්නෙ. අයියනායක දෙයිහාමුදුරුවන්ගෙ පිහිටෙන් අපිට හෝඩුවාවක් නොලැබී යන එකක් නෑ මහත්තයො" කළු මාමා කිව්වෙ බලාපොරොත්තු සහගතව.

රූස්ස ගස් වලින් පිරුණු යන එන දිශාවක් ගැන හරි අවබෝධයක් ලබාගත නොහැකි මේ වනාන්තරයේ ඉවෙන් වගේ යායුතු ඉසව්ව තීරණය කරගත්තු කළු මාමා ඉස්සරහටම පය ඉස්සුවා. ඉර මුදුන් වෙනකොට බඹරගල පැහැදිලිව පේන ගල් තලාවකට එන්න අපිට පුලුවන් උනා. හොදටම හෙම්බත් වෙලා හිටිය අපි ගල්තලාවෙ වාඩිවෙලා කළු මාමා හදාගෙන ඇවිත් තිබුනු පොල් රොටී ලුණුමිරිසකුත් එක්ක ගිලදැම්මා.

"මහත්තයො බඹරගල කියන්නෙ නං ආං අර මහා ගල් පරුවතේට. මහත්තයගෙ යාලුවා විපරම් කරන්න ආපු නිල් එළිය විහිදෙන්නෙ ඒ ගල් පරුවතෙන් කියන එක නෙවෙයි ඇත්තම කතාව. ඇත්තටම ඒ එලිය විහිදෙන්නෙ අපි මේ පය ගහල ඉන්න ගල්තලාවෙන්". කළු මාමා කිව්වෙ බඹරගල දිහාව බලාගෙන.

"ඉතිං මහත්තයො මේ ඉසව්වෙ හිටම විපරම් කොරන එක තමයි හොඳම දේ. අපිට උන්දැගෙ ඇටකටුවලට වඩා යමක් බලාපොරොත්තු වෙන්න බැරි විත්තිය මං මහත්තයට අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ."
"පුතේ මේ මහත්තයත් එක්ක උඹ ඔය පැත්ත දිගටම සෝදිස්සි කරපන්. මං මේ පැත්ත බලන්නම්. ගල්තලාවෙ දියසෙවෙල බැඳිලා ඇති බලාගෙන සිහිකල්පනාවෙන් අඩිය තියනවා හොඳයි ලිස්සලා වැටිලා අතක් පයක් බිඳගන්නෙ නැතිව." සාලිතටයි මටයි උපදෙස් දුන්නු කළු මාමා ගල්තලාවෙ බටහිර පැත්ත සෝදිස්සි කරන්න පිටත් උනා.

සාලිතයි මමයි ඉමක් පේන්නෙ නැති ගල් තලාවෙ නැගෙනහිර පැත්ත සෝදිස්සි කරන්න පටන් ගත්තා.
"සර් මේ ගල්තලාව බඹරගල ගල් පර්වතය වටේටම තියනවා. හරියටම කියනවා නම් බඹරගල ගල් පර්වතය තියෙන්නෙ මේ ගල් තලාවෙ හරි මැදට වෙන්න. ඉතිං අපිට මේ පැත්තෙන් ඇවිදගෙන ගියොත් දවස් දෙකකින් තුනකින් විතර අපි සෝදිස්සි කරන්න පටන් ගත්තු තැනටම එන්න පුලුවන් " සාලිත ගල්තලාව ගැන තමන් දන්න දේ පැහැදිලි කලා.
"කොහොම හරි මේ මනුස්සය ගැන හෝඩුවාවක් හොයාගන්න ඕනි සාලිත නැත්තම් මගෙ හිතට කිසි නිදහසක් නෑ" මම කිව්වෙ ගල්තලාව මත තිබුනු ගෝලාකාර හැඩයෙ ගලකට නැගලා අවට නිරීක්ෂණය කරන ගමන්.
බලමුකො සර් අපිට මොකක් හරි හෝඩුවාවක් හොයාගන්න
බැරිවෙන එකක් නෑ. සාලිත උත්තර දුන්නෙ මම නැගලා හිටපු ගෝලාකාර ගලෙන් බහින්න මට අත දිඟු කරමින්. සාලිත දිඟු කල අත අල්ලාගෙන මම සාලිත උන්නු තැනට පැන්නා. මගේ පැනීමත් සමගම සාලිත පයතබා සිටිය කොටස අඟල් කිහිපයක් ගිලා බැස්සා. මොහොතකින් මම කලින් නැග අවට නිරීක්ෂණය කල ගෝලාකාර ගල්පර්වතය ගල් තලාව දිගේ ටික දුරක් පෙරලී ගොස් නතර උනා. එවිටම ගල් තලාව විවර වී ගල් තලාවේ අභ්‍යන්තරයට ගමන් කලහැකි පඩිපෙළක් දැකගත හැකි උනා. මුලුමනින්ම භීතියට පත්ව සිටි අපිට කතා කරගැනීමට හැකි වූයේ ටික වේලාවක් ගතවූ පසුවයි.

"මොකක්ද සර් ඒ උනේ" සාලිත කතා කරගන්න වචන ගලපා ගැනීමට පුලුවන් වූ ඇසිල්ලෙන් විමසුවා.

සිදුවූ අනපේක්ෂිත සිදුවීමෙන් කම්පනයට පත්ව සිටි මාහට පිලිතුරු දීමට මට ටික වේලාවක් ගතවුනා.

කළු මාමා කිව්ව විදිහට නම් සාලිත මේ ඕපන් උනේ දිවාගුහාවට යන අභිරහස් දොර වෙන්න ඕනි. අපි මේ පයගහල ඉන්න තැන තමයි මේ දොර ඇරෙන අගුල අරින යතුර. මෙතනට ලැබෙන්න ඕනි නියම බර ලැබුනාම ලීවර් එක පහත් වෙලා දොර ඕපන් වෙනවා. ඔයාගෙයි මගෙයි බර වල එකතුව හරියටම අගුල ඇරෙන්න මෙතන තියන්න ඕනි බරට සමාන උනු එක නම් මාරම අහම්බයක්. මම කිව්වෙ සාලිතව උරිස් වලින් අල්ලාගෙන සොලවමින්.

දැන් අපිට තියෙන්නෙ පුලුවන් තරම් ඉක්මනට කළු මාමවත් ගෙන්නගෙන මේක ඇතුලට ගිහින් බලන එකයි. ගල් තලාවෙ ඇතුලෙ තියෙන්නෙ මොනවද කියලා දැකබලා ගන්න තිබිච්ච කුතුහලයෙන් මිරිකුණු මම කිව්වා.

"අප්පොච්චා තවම වැඩිදුර ගිහිල්ලා නැතුව ඇති සර් අපි ඉක්මනට ගිහින් අප්පොච්චවත් එක්කගෙන එමු" සාලිත කිව්වෙ පයගහල හිටි තැනින් ඉවත් වෙන ගමන්. සාලිතයි මමයි ඉවත් වෙලා විනාඩි කිහිපයකින් ගෝලාකාර ගල නැවත එහි මුල් පිහිටීමට ආවා. එතකොටම විවෘතව තිබුණු ගුහා අභ්‍යන්තරයට යන මාර්ගයත් වැහිලා ගියා.අපි ගල්තලාව දිගේ පැමිණි වේගය මෙන් දෙගුණයක වේගයෙන් කළු මාමා අපෙන් වෙන්ව ගිය තැනට ලඟා උනා.

හූඌ..............

මුව වටා දෑත තබාගත් සාලිත බස්නාහිර දෙස බලා තෙවරක් හූ හඩක් පිටකලා. පිලිතුරු හූ හඬක් ඈතින් ඇසුනෙන් සාලිත නැවතත් හූ හඬක් නැඟුවා.

"දැන් අප්පොච්චා මෙතනට ඒවි" සාලිත කිව්වෙ කළු මාමා නොපෙනී ගිය දිශාව බලාගෙන.
"ඇත්තටම සාලිත මම නම් ගොඩක් කලබල වෙලා ඉන්නෙ වෙච්ච දේ නිසා. අනික මට අදහාගන්න බෑ තවමත් වෙච්ච දේ."

"මම මේ ගල් තලාවට සිය දහස් වතාවක් ඇවිත් ඇති වැල් අදින්න අප්පොච්චත් එක්ක ඒත් මං මේ වගේ දේකට මුහුණ දුන්න පලමු වතාව මේක." තවමත් පහව නොගිය තැති ගැන්මෙන් යුතුව සාලිත පැවසුවා.

"බුදු හාමුදුරුවෝ බණ කියනවා නම් බණ ටිකකුත් අහන්න පුලුවන් වේවි. ඒ නිසා කළු මාමා නම් උඩින්ම කැමති වෙයි ඇතුලට යන්න" ඈතින් මතුවෙන කළු මාමා දිහා බලාගෙන මම කිව්වා.

https://www.facebook.com/groups/atam...7880200284746/

ඊලඟ කොටසින් හමුවෙමු .......


rangana26 09-09-2019 12:02 PM

අභිරහස් නිල් එළිය 5

මොකක්ද උනේ මක්කවත් හෝඩුවාවක් ලැබුණද? කළු මාමා ඇහැව්වෙ බලාපොරොත්තු සහගත හඬකින්.

ඇත්තටම අපිට මුහුණ දෙන්න වෙච්චි සිදුවීම හින්දා මට මේ ආපු ගමනේ අරමුණත් අමතක වෙලා තිබුනෙ. ඒ නිසාමද කොහෙද කළු මාමා අහපු ප්‍රශ්නෙට එකවරම උත්තර දෙන්න මට බැරි උනා.

මොකද බං උඹල ඇටි කෙහෙල් ගිලපු උගුඩුවෝ වගේ බලාගෙන ඉන්නෙ. මක්කැයි උනේ. මහත්තයගෙ යාලුවා ගැන හෝඩුවාවක් ලැබුනද? මගෙන් ප්‍රතිචාරයක් නැති තැන කළු මාමා සාලිත දිහාවට හැරුනා.

"නෑ." සාලිත කිව්වෙ ඇස් කොනකින් මගෙ දිහාව බලාගෙන.

"එහෙනම් මොන බම්බුවකටද බං හූ හඩ තලලා මාව ගෙන්නෙව්වෙ මෙහාට "කළු මාමා ඇහැව්වෙ හොඳටම විස්සෝප වෙලා.

"නෑ මාමෙ යාලුවා ගැන නම් හෝඩුවාවක් ලැබුනෙ නෑ. ඒත් අපි දිවාගුහාවට යන පාර හොයාගත්තා" මම කළු මාමා තවත් පරළ වෙන්න කලියෙන් කිව්වා.

"මොකක්"
කළු මාමාගෙ කට විමතිය නිසාම සමාන්‍ය ප්‍රමාණයට වඩා විවර උනා.

විනාඩි කිහිපයක් නිශ්ශබ්දව හිටපු කළු මාමා එක වරම සාලිත අතේ තිබුනු වතුර බෝතලය උදුරාගෙන බීගෙන බීගෙන ගියා. වතුර බෝතලය අහවර වෙනකම්ම බීපු කළු මාමා ගල්තලාව උඩ වාඩිවෙලා විනාඩි පහක් දහයක් විතර සද්ද නැතුව හිටියා.

"දිවාගුහාවට යන පාර හොයාගත්තා කියලද මහත්තයා කිව්වේ". වාඩිවෙලා හිටපු තැනින් නැගිටලා මගේ ලඟට ආපු කළු මාමා ඇහැව්වා.

"ඔව් මාමේ. මම හිතන්නෙ ඒක දිවාගුහාවට යන පාර වෙන්න ඕනි මාමා කිව්ව විදිහට නම්" මම කිව්වේ කළු මාමා මේක මොන විදිහකට පිලිගනීවිද කියලා හිතාගන්න බැරුව.

"මහත්තයා දන්නවද දිවාගුහාව ඇතුලෙ තියෙන්නෙ මොනවද කියලා". කළු මාමා මගේ අත්දෙකින්ම තදින් අල්ලාගෙන ඇහුවා.

"නෑ. ඇයි මාමනෙ කිව්වේ දිවාගුහාවෙ නිර්මිත බුදු රුවක් බණ කියනවා කියලා. දිවාගුහාව ගැන මම වෙන මොකුත්ම දන්නෙ නෑ. අඩුම තරමෙ දිවාගුහාවක් කියලා එකක් තියනවා කියලවත් මම දන්නෙ මාමා කියපු නිසා". මං කිව්වේ කළු මාමගෙ මේ හැසිරීම තේරුම් ගන්න උත්සහා කරමින්.

මහත්තයො දිවාගුහාව ඇතුලෙ රත්තරං මුතු මැණික් පිරිලා තියනවා. ඕක ඇතුලෙ සුර අසුර යුද්ධය වෙලාවෙ කිරි මුහුද කලඹන කොට මතුවෙච්චි අමෘතයෙන් සුමන සමන් දෙවියන්ට උරුම වෙච්චි අමෘතය කොටසත් හංගලා තියනවා කියලා මං අහලා තියනවා. මහත්තයො වෙන කවුරුත්ම ඔය වස්තුවට උරුමක්කාරයෝ නෑ. ඔය වස්තුවේ සැබෑ උරුමක්කාරයෝ අපි තුන්දෙනා මහත්තයෝ ,අපි තුන්දෙනා . කළු මාමා පිස්සුවෙන් වගේ කියෙව්වා. තන්හාව නිසාම කිසිම හැඟීමක් පෙනුනෙ නැති කළු මාමාගෙ මූණ විරූපි වෙලා තිබුනෙ.

අපි ඔය ඔක්කොම ගමු මහත්තයො අරගෙන හරියටම තුනට බෙදාගමු. අමෘතය ටිකත් තුනට බෙදාගෙන බීලා අපි සදාකාලිකව දෙවිවරු වගේ ජීවත්වෙමු මහත්තයෝ. කළු මාමා පිස්සුවෙන් වගේ කියෙව්වා. වස්තුවට තෘෂ්ණාවෙන් පිස්සු වැටිච්චි කළු මාමගෙ මේ හැසිරීම මම වගේම සාලිතත් බලාගෙන හිටියෙ පිලිකුලෙන්.

"මාමේ වස්තුව තිබුණත් අමෘතය තිබුණත් මට ඒවගෙන් චුට්ටක්වත් එපා ඒ ඔක්කොම මාමා ගන්න."
හදවත තුල කැකෑරෙන තෘෂ්ණාවෙන් විරූපි වෙච්චි කළු මාමගෙ දිහාව බලාගෙන මම කිව්වා. තෘෂ්ණාවෙන් අන්ධ උනු කළු මාමා සාමාන්‍ය මනුස්සයෙක්ගෙ ඇතුලෙ ඉන්න තිරිසනාව එලියට අරගෙන මට පෙන්නුවා.

සාලිත, කළු මාමාව මඟ ඇරලා හිමිහිට මම ඉන්න පැත්තට ආවා.
"මට හරිම ලැජ්ජයි සර් අප්පොච්චාගෙ හැසිරීම ගැන. "
සාලිත කිව්වේ ලැජ්ජාවෙන් බිම බලාගෙන.

"ඒ ගැන හිතන්න එපා සාලිත. කළු මාමා කියන්නෙත් තවත් එක පෘතග්ජන මනුස්සයෙක්නෙ. ඉතිං හිතාගන්නවත් බැරි තරම් විශාල වස්තුවක් ලැබෙන්න යනකොට පිස්සු හැදෙන එක සාමාන්‍ය තත්වයක්." මම සාලිතගෙ උරහිසට තට්ටු කරමින් කිව්වා.

"මොනවද උඹලා කුටු කුටු ගාන්නෙ. මගෙ කොටහ නොදී ඔක්කොම වස්තුව දෙකට බෙදාගන්න හැටිද? " ඉනේ තිබිච්ච කිණිස්ස අතට අරගෙන අපි ඉන්න තැනට ලං වෙච්චි කළු මාමා කෑගැහුවා.

"මාමෙ, මට ඕනි නෑ කිසිම වස්තුවක්. මාම මේ විකාර නවත්තලා හරි සිහිකල්පනාවට එන්න. මාමා දැන් ඉන්න මානසික තත්වයත් එක්ක අපිට දිවාගුහාවට යන්න බෑ" මං කිව්වේ කළු මාමා මට කිණිස්සෙන් අනින්න හදනකොට. කළු මාමා වියරුවෙන් ඇනපු කිනිසි පහර වලක්වා ගත්තු මම කළු මාමට අත පුරවලා කම්මුල් පාරවල් දෙකක් දුන්නා. ඒ කම්මුල් පාරවල් දෙකෙන් හිස්ටීරියා තත්වයක හිටපු කළු මාමව සාමාන්‍ය තත්වයට ගේන්න මට පුලුවන් උනා.

සාමාන්‍ය තත්වයට පත්වෙච්ච කළු මාමා අතේ තිබුනු කිනිස්ස අතෑරල ගල්තලාවෙන් වාඩි උනා. උන්දෑ බිම බලාගෙන හිටියෙ අපේ මූණ බලන්න ධෛර්යයක් තිබිච්චි නැති නිසා වෙන්න ඇති. සාලිතයි මමයි කළු මාමාට ටික වෙලාවක් පාඩුවෙ ඉන්න ඉඩ දුන්නා. වස්තු තෘෂ්ණාව මිනිස්සුන්ව මොන තරම් අන්ධ කරවනවද කියලා මට අද තේරුම් ගන්න පුලුවන් උනා. ඊයේ මට ඉන්න හිටින්න තැනක් දීලා කන්න බොන්න දීලා ආගන්තුක සත්කාර කරපු කළු මාමාම අද ඇහින්වත් නොදැක්ක වස්තුවක් නිසා මට කිනිස්සක් උරුක් කලා. වස්තුව කියන්නෙ යක්ෂයාගෙ ඇමක් කියන්නෙ ඇයි කියලා මම හරියටම තේරුම් ගත්තෙ අද වෙච්චි සිදුවීම නිසා.

මම වාඩිවෙලා හිටපු තැනින් නැඟිටල ගිහින් කළු මාමා ලඟින් වාඩි උනා. උන්දැගෙ ඇස් දෙකෙන් ලොකු කඳුලු කැට කඩාගෙන වැටුනා. මම කළු මාමගෙ කර උඩින් අතක් දාගත්තම කඳුලු වලින් බොඳවෙච්චි ඇස්වලින් උන්දෑ මගෙ දිහාව බැලුවා. ඒ ඇස්වල තිබුනෙ කවදාවත් සමාවක් නොලැබෙන වරදක් කරපු මිනිහෙකුගෙ පසුතැවිල්ල.
"මට සමාවෙන්ට ඕනි මහත්තයො. මට මොනවා උනාද කියලා මමවත් දන්නෙ නෑ. මහත්තයට අනින්න කිනිස්ස උරුක්කලා කියලා මතක් වෙනකොට මට ඒ කිනිස්සෙන්ම ඇනගෙන මැරෙන්න හිතෙනවා." කළු මාමා මගෙ අතින් අල්ලාගෙන කිව්වා.

"ඒක ගනන් ගන්න එපා මාමේ. ඇලඩින්ට හම්බවුනා වගේ මහා විශාල වස්තුවක් අපිට ලැබෙන්න යනවා කියලා පෙනුනම මාමට තමන්ගෙ හිත පාලනය කරගන්න බැරි උනු එක පුදුමයක් නෑ." මම කිව්වෙ කළු මාමගෙ උරහිසට පොඩි තට්ටුවක් දාන ගමන්.

සාලිතත් ඇවිත් කළු මාමා ලඟින් වාඩි උනා.

"සාලිත මේ වගේ තත්වයක් තියෙද්දි දිවාගුහාවට යන එක ගැන අපිට ආයෙමත් පාරක් හිතන්න වෙනවා. බැරි වෙලාවත් මිල කරන්න බැරි වස්තු සම්භාරයක් ඒකෙ තිබුනොත් මගෙ ජීවිතේ රැකගෙන එන්න පුලුවන් වෙයිද කියලා මට සැකයි." මම කිව්වෙ කලු මාමා මට අනින්න හදපු කිනිස්ස අතට අරගෙන බලන ගමන්.

ඔව් සර්. මමත් හිතන්නෙ අපි ආව වැඩේ විතරක් කරගෙන යන එක තමයි නුවණට හුරු. සර්ගෙ යාලුවා ගැන හෝඩුවාවක් හොයාගන්න බලමු. දිවාගුහාවට යන පාර අහම්බෙන් විවෘත උනේ. ඒත් ඒක නිසා තව චුට්ටක් එහෙ මෙහෙ උනා නම් සර් මැරෙන්න තිබුනා තාත්තා මිනීමරුවෙක් වෙන්න තිබුනා. සාලිත කිව්වෙ කළු මාමා දිහාව පිලිකුලෙන් බලමින්.

කළු මාමා මගෙ දෙපාමුල වැඳ වැටුනෙ මම දිවාගුහාවට යනවද නැද්ද කියලා තීරණයක් ගන්න බැරුව කල්පනා කරනකොට.
"මහත්තයො මම අපේ අප්පොච්චගෙ ඇටකටු ගැන දිවුරන්නං. කවදාවත් මගෙ අතින් මහත්තයට අතුරු ආන්තරාවක් වෙන්නෙ නෑ. අපි දිවාගුහාවට යමු මහත්තයො. මට ඒකෙ තියන වස්තුවෙන් චුට්ටක්වත් එපා. මට බුදුබණ පදයක් අහගන්න තිබුනොත් ඇති." කළු මාමා කෙඳිරුවා.

කළු මාමට එක පාරටම උත්තරයක් නොදී මම තව ටිකක් වෙලා කල්පනා කලා. දිවාගුහාවට ඇතුල් වෙනවා නම් මගෙ ජීවිතේ ගැන ලොකු අවදානමක් ගන්න වෙන බව මට තේරුනා. මහාචාර්‍යවරයතුමා මේ ගමන තනියම එන්න ඇත්තෙත් මේ නිසා වෙන්න ඇති කියලා මට හිතුනා. වස්තුව දැක්කාම තෘෂ්ණාවෙන් දැවෙන මිනිහෙකුගෙ අතින් ඕනිම දෙයක් වෙන්න පුලුවන් කියලා එතුමා දැනගෙන ඉන්න ඇති. කොහොම උනත් දිවාගුහාවට ඇතුල්වෙලා බලන්න මටත් ලොකු ආසාවක් තිබුනා.

හරි අපි දිවාගුහාවට යනවා. හැබැයි ඒකෙ තියන මොනම ආකාරයේ වස්තුවකටවත් අපි අතවත් තියන්නෙ නෑ. මට දැනෙනවා අපි ඒ වස්තුව ගන්න උත්සහ කලොත් අපි තුන්දෙනාගෙන් කවුරුවත්ම පණපිටින් එතනින් එලියට එන්නෙ නෑ කියලා. මම කිව්වෙ සාලිතයි කළු මාමයි දිහාව බලාගෙන.

දෙන්නම ඔලුව හොල්ලලා ඒකට එකඟතාවය පලකලා. අපි අතර සිදුවෙච්චි ඒ අමිහිරි සිදුවීම නිසා අපි අතර කතාබහ ගොඩක් සීමාවෙලයි තිබුනෙ.

"මක්කවත් කාල බීලා ඉමු මහත්තයො, දැන් හොදටම හැන්දෑ වෙන්නත් ඇවිදින්." කළු මාමා ගෙදරින් පිට වෙනකොට කරේ තියාගෙන ආපු මල්ල ලෙහලා රොටී කිහිපයක් එලියට ගන්න ගමන් කිව්වා. අමු මිරිස් කරලක් හප හපා මිරිස් රසත් එක්ක රොටී ගිලදාල දිවාගුහාවට ඇතුල්වෙන්න හිතාගෙන අපි පිටත් උනා.

දිවාගුහාවට ඇතුල්වෙන ‍රහස් දොරටුව තිබෙන තැන සලකුණ උන ගෝලාකාර ගල ලඟට අපි එනකොට ඉර අන්තිම කිරණ කදම්බයත් නිකුත් කරලා බැහැල ගිහින් තිබුනා.
"දැන් ඉතිං මේ කරුවලේ මක්කවත් කරන්න බෑ. කරන දෙයක් කරන්න හෙට උදේ වෙනකම් ඉන්න වෙනවා" කළු මාමා ගල්තලාවෙන් ඇණ තියාගෙන කිව්වා.

දරකොට ටිකක් එකතු කරගෙන ගල්තලාවේ ගිනිමැලයක් ගහපු කළු මාමායි සාලිතයි ලිග්ගල් තුනක් හදාගෙන වතුර මුට්ටියක් ලිප තිබ්බා. මම ගෙනාපු බිස්කට් කාල තේ කහට ටිකක් බීලා එදා රැය ගත කරන්න අපි ගල්තලාවෙ ඇල උනා.

ඊලඟ කොටසින් හමුවෙමු......


rangana26 09-09-2019 12:03 PM

අභිරහස් නිල් එළිය 6

ජීවිතේ පලමුවන වතාවට හිසට ආවරණය නැතුව නිදාගන්නවා කියන එක හිතන තරම් ලේසි වැඩක් උනේ නෑ. දවල් දවසෙම කැලෑව දෙවනත් කරපු කුරුල්ලන්ගෙ වඳුරන්ගෙ සද්ද බද්ද ඉවර වෙලා රැහැයියන්ගේ මියුසිකල් ෂෝ එක පටන් ගත්තා. අතරින් පතර ඌරෙක් බෙරිහන් දෙන සද්දෙ අඳුන් දිවියෙක් වගේ සතෙක් ගොරවන සද්දෙ ඇහුනත් ඒක රැහැයියන්ගේ සද්දය යටපත් කරන්න තරම් ප්‍රභල උනේ නෑ. බැක් පැක් එක කොට්ටය කරගෙන ගල්තලාවෙ හාන්සිවෙලා හිටියත් නින්ද නම් අහලකවත් තිබුනෙ නෑ. අනිත් දෙන්නත් තම තමන්ගෙ කල්පනා ලෝක වල හිටියත් එයාලටත් නින්ද ගොඩක් දුර විත්තිය මට තේරුනා. සාලිත ඒ මේ අතට හැරි හැරී නිදාගන්න උත්සහා කලා. ගමන් මහන්සිය කොච්චර තිබුනත් නුපුරුදු තැනක හිසට ආවරණයක් නැතුව නින්ද යන්නෙ නැති විත්තිය මට තේරුනා.
ගස් අතරින් මෝදුවන හඳ දිහා බලාගෙන මදුරුවො තල තලා මුලු රැයම ගෙවන්න වෙන බව මට හොඳටම පැහැදිලි වෙලයි තිබුනෙ.
කළු මාමා නැඟිටලා නිවෙන්න ඕන්න මෙන්න තිබිච්චි ගිනිමැලය ආයෙත් පණ ගස්සලා ගත්තා.

"තේ කහට ටිකක්වත් බොමුද?"

සාලිත ඇහැව්වෙ ගිනිමැලය ලඟ ඇණ තියාගෙන බුලත් විටක් හපන කළු මාමා දිහා බලලා.

"ඒක හොඳයි"
ටිකින් ටික සීතල වැඩි වෙන නිසා ගිනිමැලය ලඟින් වාඩි වෙන ගමන් මම කිව්වා.

වචනයක්වත් කතා නොකරම කළු මාමා වතුර මුට්ටිය ලිප් ගල් තුන උඩ තිබ්බා.

තේ කහට ටිකක් බීලා ඉවර වෙනකම් ආයෙත් අපි අතර සුපුරුදු නිහැඩියාව මුල් බැහැ ගත්තා. වනාන්තරයට ආවේනික ඒ ගුප්ත මූසල නිහැඩියාව අපේ හිත් වලටත් කාන්ඳු වෙලා වගෙයි මට දැනුනෙ. මොකුත්ම නොකර එළිය වැටෙනකම් මේ විදිහට නිකම් බලා ඉන්න එක මගෙ හිතට ලොකු බරක් උනා. මේ වෙනකොටත් යන්තමින් පින්න වැටෙන්න පටන් අරගෙන තිබුනෙ. ගල්පොත්ත හරි ඉක්මනට සීතල උනා. මුලු ඇඟම පින්නෙන් නෑවෙන කොට සීතල ගල්පොත්තක් උඩ නිදාගන්න එක කරන්න පුලුවන් වැඩක් නෙවෙයි. එළිය වැටෙනකම්ම ගිනිමැලය වටේ වාඩි වෙලා එකිනෙකාගෙ මූණු දිහාව බලාගෙන ඉන්න එක ඔක්කොටම වඩා එපා කරපු වැඩක් උනා.

මම වාඩිවෙලා හිටපු තැනින් නැඟිටලා ගල්තලාවෙ එහෙට මෙහෙට ට්කක් ඇවිදින්න පටන් ගත්තේ අපි අතර තිබුනු නිහැඩියාව, මේ පරිසරය මගෙ ස්නායු වලට දුන්නු පීඩනය ටිකක් අඩුකරගන්න. ටික වෙලාවකින් සාලිතත් නැඟිටලා මාව අනුගමනය කරන්න පටන් ගත්තා. කළු මාමා විතරක් අත්දෙක උරිස් හරහට තියාගෙන ලොකු හැල ගෙම්බෙක් වගේ ගිනිමැලය ලඟ ඇන තියාගෙන දැල්වෙන ගින්දර දිහා බලාගෙන හිටියා.

"සාලිත මේ වැඩේ හරියන්නෙ නෑ. අපි දැම්මම ගල්දොර ඇරගෙන ගුහාව ඇතුලට යමු. ගුහාව ඇතුලෙ අඩුම තරමෙ අපිට පින්නෙනුයි සීතලෙනුයි වත් බේරිලා ඉන්න පුලුවන් වේවි. මෙහෙම හිටියොත් උදේ වෙනකොට සීතලට අපිව මැරිලා හිටීවි." මම කිව්වා.

කිසිම උත්තරයක් නොදුන්න සාලිත කළු මාමා ලඟට ගියා. සමහර විට සාලිත කළු මාමට මගෙ යෝජනාව ගැන කියන්න ඇති. කළු මාමා ඇණ තියාගෙන හිටපු තැනින් නැගිටලා ගිනිමැලය නිමලා දැම්මා. සාලිත බැක් පැක් එකත් අරගෙන මම හිටපු තැනට ආවා.
"සර් අපි ගුහාවෙ දොර ඇරගමු."
සාලිත කිව්වෙ මගෙ බැක් පැක් එක මගෙ අතට දෙන ගමන්. කළු මාමා හැමෝම ලඟ තිබුනු බෝතල් ටික එකතු කරගෙන ටෝච් එකේ එලියෙන් ගල්තලාව දිගේ ඈතට ගියා.

"කළු මාමා කොහේද යන්නෙ?"
මම සාලිතගෙන් ඇහුවෙ මහ රෑ කළු මාමා අපෙන් ඈතට යනවට මම ඒ තරම් කැමති උනේ නැති නිසා.

"ගල්තලාවෙ පොකුණක් තියනවා තාත්තා ඒකෙන් බෝතල් වලට වතුර ටිකක් පුරවගෙන එන්න ගියේ."
සාලිත කිව්වෙ ඈතින් කලාමැදිරි එළියක් තරම් පොඩියට පේන කළු මාමගෙ ටෝච් එලිය දිහා බලාගෙන.

නොපෙනී ගිය කළු මාමගෙ ටෝච් එළිය ආපහු ගස් අතරින් මතුවෙන තුරුම සාලිතයි මමයි අතර කතාබහක් සිදුවූනේ නෑ.
"අන්න අප්පොච්චා එනවා"
ගස් අතරින් මතුවෙච්චි ටෝච් එලිය ඇඟිල්ල දික්කරගෙන සාලිත කෙඳිරුවා.

"එන්න සර් අපි ගල් දොර ඇරගමු"
සාලිත කිව්වෙ අගුල තියන තැනට ගිහිල්ලා හිට ගන්න ගමන්. ටිකින් ටික ලංවෙන කළු මාමගෙ ටෝර්ච් එලිය දිහා ට්කක් වෙලා බලාගෙන හිටපු මමත් සාලිත හිටපු තැනට ගිහිල්ලා හිට ගත්තා. තත්පර විනාඩි වලට පෙරලුණත් ගල් දොර ඇරුනෙ නෑ.

"ඇයි සාලිත දොර ඇරෙන්නෙ නැත්තෙ ඉස්සෙල්ලා පාර අපි දෙන්නගෙ බරට දොර ඇරුණනෙ."
මම කිව්වෙ ගල් දොර ඇරෙන්නෙ නැත්තෙ ඇයි කියලා හිතාගන්න බැරුව.

"ඒකනෙ සර්. අපි දෙන්නගෙ බර හරියටම සෙට් උනු ගමන් ඉස්සෙල්ලා පාර දොර ඇරුනනෙ. "
සාලිතත් කිව්වෙ වෙච්චි දේ හිතාගන්න බැරුව.

අපි දෙන්නා කොච්චර වෙලාවක් එතනට වෙලා හිටියත් දොර ඇරෙන්නෙ නෑ කියලා තේරුම් ගියාට පස්සෙ අපි ගල් තලාව උඩින් වාඩිවෙලා කළු මාමා එනකම් බලාගෙන හිටියා.

සාලිත වගේම මමත් කල්පනා කලේ ඇයි ගල් දොර ඇරෙන්නෙ නැත්තෙ කියලා. අපේ බර අඩු උනේ කොහොමද? මම කල්පනා කලා.

ඒ වෙලාවෙ මගෙ බැක් පැක් එකේ තිබිච්චි වතුර බෝතලයයි බිස්කට් පැකට් එකයි විතරයි අඩුවෙලා තියෙන්නෙ. සාලිතගෙත් අඩුවෙලා ඇත්තෙ වතුර බෝතලය විතරයි. මේ කිලෝ එකහමාරක දෙකක වෙනසක් නිසා ගල්දොර ඇරෙන්නෙ නැතුව තියනවා කියන එක මට තේරුම් ගන්න බැරි උනා.

"සාලිත අපි ආයෙත් වතුර බෝතල් දෙකත් අරගෙන අගුල තියන තැනට ගිහින් බලමු."
කළු මාමා ගෙනාපු වතුර බෝතල් දෙකක් අතට අරගෙන එකක් සාලිතට දෙන ගමන් මම කිව්වා.

"මේ අගුල වැඩ කරන්න හරි දශමයටම බර සෙට් වෙන්න ඕනි නම් අපිට ජීවිතේම මහන්සි උනත් මේක ඇරගන්න බැරිවේවි සර්"
සාලිත කිව්වෙ බලාපොරොත්තු කඩවෙච්චි හඬකින්.

සාලිත කිව්ව දේ සැබෑවක් බවට පත් කරමින් දෙවැනි වරත් අඟුල අපේ බරට විවෘත උනේ නෑ.
"ෂික්.... අපිට තිබුනෙ ඒ වෙලාවෙම ඇතුලට" යන්න සාලිත පය ඔසවා අප ගල් අඟුල ලෙස සිතා සිටි තැනට පයින් අනිමින් කිව්වා.

මොහොතකින් අපව පුදුමයට පත් කරමින්, අප රැඳීසිටි තැන අඟල් කිහිපයක් ගිලා බැස්සා. ගෝලාකාර ගල ගල් සුපුරුදු ගමන් මාර්ගය දිගේ ගමන් කර ගල් දොර විවෘත කලා.

අපගේ කිසිම ක්‍රියාකාරකමක් දෙස අවධානය යොමු නොකර පසෙකට වී සිටි කළු මාමා ගල්දොර විවර වන විට විදුලි පන්දමත් දල්වාගෙන ගුහා දොර ලඟට දිව ආවා.
"ආ....., මේකයි එහෙනම් දිවා ගුහාවට යන පාර. මං සිය දහස් වතාවක් මේක උඩින් ගිහිල්ලා ඇති ඒත් කවදාවත් මේ ගල්තලාවෙන් යට මෙහෙම තැනක් ඇති කියලා මම දැනගෙන හිටියෙ නෑ නොවැ".
කළු මාමා විශ්මයට පත්ව ගුහා පිවිසුම් මාර්ගයට ටෝච් එලිය යොමු කරමින් කෙඳිරුවා.

කළු මාමා ටෝච් එලියෙන් ආලෝකමත් වුණු ගල් පඩිපෙළ දිගේ ගුහාවට මුලින්ම ඇතුල් උනා. කළු මාමා පිටුපසින් සාලිත හා මාත් ගල්ගුහාවට ඇතුල් උනා. අපේ කුතුහලය නිසා අප අත්කරගත් විනාශය අපට පසක් කර දෙමින් ගල්දොර ක්ෂණිකවම වැසී ගියා.

හත්වන කොටසින් හමුවෙමු........



හත්වන කොටස

http://www.elakiri.com/forum/showthr...1#post24761063

imhotep 09-09-2019 12:13 PM

interesting...

Naughtykolla48 09-09-2019 12:14 PM

bump

nvhcc89 09-09-2019 12:17 PM

novel?

hetax 09-09-2019 12:24 PM

ela

blue_in_rio 09-09-2019 12:37 PM

patta

ඌරු වරිගේ වන්නිය 09-09-2019 01:03 PM

bump


All times are GMT +5.5. The time now is 10:40 AM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2019, Jelsoft Enterprises Ltd.

Page generated in 0.05972 seconds with 9 queries