ජනාධිපතිවරණය අවසන්ය. රාජ්‍ය බලය සහිත අපේක්ෂකයෙක් සමග අසමාන වූ අවස්ථාවන් රාශියකින් යුතු ජනාධිපතිවරණයක් තරඟ කර පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන අවශ්‍ය බහුතරය ලබා ගෙන ජයග්‍රහණය කර ජනාධිපති වී තිබේ.
අවසන් මොහොතේ පවා බලයේ රැඳී ඉන්නට දැරූ සියළු උත්සාහයන් පරාජයට පත් කර තිබේ. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයකින් පරාජය වූ පලමු ජනාධිපතිවරයා ලෙසද, පාර්ලිමේන්තු බලය, පළාත් සභා බලය මෙන්ම පළාත් පාලන ආයතන වල බලය ද අත තබා ගෙන පරාජය වූ පළමු ජනාධිපතිවරයා ලෙස මහින්ද ඉතිහාසයට එක් වී ඇත.
ප්‍රකාශිත ජනමතය මගින් සාමකාමී ලෙස බල මාරුවක් කිරීමට හැකි වීම මෙම ජනාධිපතිවරණයේ ලද ප්‍රධානතම ජයග්‍රහණයයි. එමගින් රටේ ගෞරවය මෙන්ම පුරවැසියා ගේ ගෞරවයද ආරක්ෂා වී තිබේ. ශ්‍රී ලංකාවේ අපට දුෂ්ඨ ඒකාධිපති පාලක පවුලක් වුවද මහජන කැමැත්ත මගින් ගෙදර යැවීමට හැකි බව මුළු ලෝකයටම ආදර්ශයක් දීමට හැකි විය. ඒකාධිපතියා විසින් ප්රජාතන්ත්රවාදය කෙතරම් විකෘති කළද එහි මූලික ලක්ෂණ තවදුරටත් ආරක්ෂා කර ගැනීමට පුරවැසි අපට හැකි වී තිබේ. අප ශිෂ්ඨ සම්පන්න රටක ජීවත් වන බව දැන් අපටම දැනෙන්න පටන් ගෙන තිබේ.
ජය හෝ පරාජය වාර්ගිකව විග්රහ නොකරමු
දැනටමත් ජනාධිපතිවරණයේ ජයග්‍රහණය ගැන අදහස් පලවෙන්නට ආරම්භ වී ඇත. හෙට සිට ඉලක්කම් හරඹ, ප්‍රස්ථාර, රූප සටහන්, වර්ණ කල සිතියම් ආදී නෙක දේ ඉදිරිපත් කරමින් විවිධාකාරයේ අර්ථකතන ඉදිරිපත් වනු ඇත. එවැනි සංකීර්ණ විග්රහයන් කිරීමට අප වෙහෙසෙන්නේ නැත.
මේ රටේ නාගරික සහ ග්රාමීයව ජීවත්වන සිංහල මිනිසාටද, උතුරේ, වතුකරයේ සහ කොළඹ ජීවත් වන දෙමළ මිනිසාටද, මඩකලපුව, මරදාන, බේරුවල ජීවත් වන මුස්ලිම් මිනිසාටද, වෙරළ තීරයේ ජීවත් වන කතෝලික මිනිසාටද, කොළඹ හතේ පොහොසත් මිනිසාටද, මහියංගනයේ දුප්පත් මිනිසාටද ඇත්තේ එකම එක චන්දයක්ය. විවිධ තල වල සිටින විවිධ පුරවැසියන් තම මතය ජනාධිපතිවරණයේදී ප්‍රකාශ කර තිබේ. මෙම ප්‍රතිඵලය ප්‍රාදේශීය විවිධත්වය මත තබා විග්රහ කරන විට අපට ඉහත කී පුරවැසියා මග හැරී යයි.
ඒ වෙනුවට හමුවන්නේ දෙමළා, මුසල්මානුවා, කතෝලිකයා සහ සිංහලයා ය. නාගරිකයා සහ ගමේ බයියාය. අප එවැනි ද්රැවීකරණයකට මෙම ජනමතය ලඝු කිරීමට කැමැත්තක් දක්වන්නේ නැත. රටේ සියළු කොනේ මිනිසුන් සමාන අයිතීන් සහිත පුරවැසියන් ලෙස සලකන්නට අප වඩා කැමැත්තක් දක්වමු.
රටේ සියළු මිනිසුන් එකතු වී ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ප්‍රධාන අපේක්ෂකයින් ඉදිරිපත් කල ප්‍රතිපත්ති සැලකිල්ලට ගෙන මුළු රටම එක මැතිවරණ කොට්ඨාශයක් ලෙස සලකා චන්දය ප්‍රකාශ කර බහුතර බලයෙන් ඒකාධිපති පාලකයෙක් ගෙදර යවා ජනාධිපතිවරයෙක් තෝරා ගෙන ඇති බව කීමට අප වඩා කැමත්තෙමු.
මිථ්‍යාව පරදා විද්‍යාව ලැබූ ජයක්
මෙම ජනාධිපතිවරණය කරළියට ගැනීමේ සිට නාමයෝජනා දින නියම කිරීම, ජනාධිපතිවරණය දින නියම කිරීම ආදී සියළු දේ එක් අපේක්ෂකයෙකුගේ උපන් වේලාව පදනම් කරගෙන සැකසූ බව ප්‍රසිද්ධ රහසකි. මෙම දිනයන් සහ වේලාවන් සැකසූ ප්‍රසිද්ධ ජ්‍යොතිර්වේදියෝ වෙඩි තබා ගෙන මිය යෑමට සහ ගිණි තබා ගෙන මිය යෑමට ප්‍රසිද්ධියේ ඉදිරිපත් වූ බව අප දනිමු. දැන් ඔවුන්ට එම අවමංගල්‍ය අවස්ථාව උදාවී ඇත. වශී බෝල, කඹ වැනි පිරිත් නූල් පරාජිතයාට කිසිම මෙහෙයක් සිදු කර නැත.
කෙනෙක් පුද්ගලිකව ඕනෑම මිථ්‍යාවක ගිලී සිටියාට අපට කමක් නැත. ආණ්ඩුවේ නිල ප්‍රතිපත්තිය ලෙසත් නිල කාර්යයන් තීරණය කිරීමේ එකම ක්‍රම වේදය ලෙසත් මේ බලයෙන් පටවන මේ මිථ්‍යාවන් අපට විඳ දරා ගැනීමට සිදුවිය. පාලකයින් මාරු කරන්නේ මහජන බලය විසින් මිස අහසේ තාරකා හෝ කිසියම් දෙවියෙක් හෝ නොවන බව මේ ජනාධිපතිවරණයෙන් මොනවට පැහැදිළි කර දී තිබේ. වශී බෝල කාරයින්ට ඉගෙන ගන්නවා නම් පාඩමක් ජනතාව විසින් කියා දී ඇත.
බෙදුම්වාදය වෙනුවට සංහිඳියාව ලැබූ ජයක්
ජනාධිපතිවරණ කාලය පුරාම විමල් වීරවංශ, ඩලස් ඇතුළු මහින්දගේ සහචරයින් පුන පුනා කීවේ පොදු අපේක්ෂකයා, දෙමල සන්ධානය සහ මුස්ලිම් පක්ෂ සමග ගිවිසුම් ගසා රට බෙදන්නට උත්සාහ කරන බවය. බොදු බල සේනා, රාවණා බලය, නලින්-අමරසේකර ඇතුළු නිල ජාතිවාදී නඩයද එයම පුනරච්චාරණය කෙළෝය. අවසන් මොහොතේ තමන්වම විකුණා ගත් තිස්ස අත්තනායකද රනිල් සහ මෛත්‍රී ගිවිසුමක් මගින් රට අස්ථාවර කරන්න යනවා කියමින් අතේ පැල වෙන කෙප්පයක් ඇද බෑවේය. (තිස්ස හොර අත්සන් ගසා ඇති බව රජයේ රස පරීක්ෂකවරයා සහතික කර ඇති බැවින් ඔහු සහ එම ලිපිය සැකසූ ඔහුගේ ලේකම් දිනේෂ් දොඩම්ගොඩ දෙදෙනාම වසර 6 කට නොඅඩු සිර දඬුවම් විඳීම නම් ඉර හඳ සේ විශ්වාසය. ලබා ගත්තා යැයි කියන කෝටි ගණනක මුදල බැංකුවේ පුස් කද්දී තිස්සට සිරගෙට යෑමට සිදුවීම දෛවෝපගත වනවා ඇත)
ජාතීන් විරසක කරන ජාතීන් අතර අවිශ්වාසය ඇති කරන ජාතීන් සහ ආගම් අතර බෙදීම් ඇති කරන මෙම ප්‍රලාප රටේ බහුතරයක් විසින් ප්‍රතික්ෂේප කර ඇත. රටේ ප්‍රබල විද්‍යුත් මාධ්‍ය මගින් කී මේ ප්‍රලාප පරාජය වීම තුලින් දැකිය හැක්කේ එම මාධ්‍ය කියනා තරම් ප්‍රබල නැති බවයි. රටේ සෑම ජන කොටසක්ම ප්‍රධාන ප්රවාහයට එක් කරගෙන පාලනයේ හවුල් කරුවන් කරගෙන ස්ථාවර රටක් සෑදීමේ මතය ජනතාව ජයග්‍රහණය කර ඇත. 2009 මැයි මාසයේ ආරම්භ කළ යුතුව තිබූ සංහිඳියා ක්‍රියා මාර්ග ගැනීමට අවශ්‍ය පදනම මේ ජනාධිපතිවරණයෙන් ජය ගෙන ඇත.
බඩ ගෝස්තරවාදීයෝ වෙනුවට අදීන කලා කාරයෝ ලැබූ ජයක්
මේ ජනාධිපතිවරණයේදී රාජ්‍ය මාධ්‍ය ආවරණයේ ප්‍රමුඛයෝ වූද, විකල්ප මාධ්‍ය නලා කරුවෝ ලෙස හැඳින්වුවද කලා කරුවෝ ලෙස ආණ්ඩුවේ නිල නාමය ලැබුවා වූද, වරප්‍රසාද වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට සූදානම් වූ ජැක්සන්, රවීන්ද්‍ර, මාලිනී, රෝහණ වීරසිංහ, සිරිල් වික්‍රමගේ ප්රමුඛ නඩය මහින්ද වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටියෝය. මාධ්‍ය ආවරණය එලෙස නොලැබෙන එහෙත් තම මතය වෙනුවෙන් නිර්භය ලෙස පෙනී සිටීමට මැලි නොවන තවත් කලා ක්ෂේත්රයට සම්බන්ධ පිරිස් පුරවැසි බලය, අළුත් පරපුර ලෙස සංවිධාන ගතව පොදු අපේක්ෂකයා වෙනුවෙන් පෙනී සිටියෝය.
තමන්ගේ භාවිතාවේ නිපුනයන් වූ , භාවිතාව හරහා රසිකයින් පමණක් නොව වෙළඳ පොල ද ජයගත් එනිසාම අදීන කලාකරුවෝ ලෙස නම් කළ හැකි සුනිල් පෙරේරා, උපුල් ශාන්ත සන්නස්ගල වැනි අය අපට පොදු අපේක්ෂක වේදිකාවේදී හමු විය. මීට අමතරව විවිධ ක්ෂේත්රවල ප්‍රවීනයන්, විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්, සාහිත්‍ය කරුවන් අපට පොදු අපේක්ෂක වේදිකාවේදී හමුවිය. මේ ශිෂ්ඨ සම්පන්න මිනිසුන් කළ කී දේ ජනතාව බහුතරයක් අනුමත කර ඇත. පිලිගෙන ඇත. ජයග්‍රහණය කර ඇත.
මේ රටේ යහ පාලනය ඇති කිරීම, නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීම, බදු බර ඉවත් කර ජනතාවට සහන දීම, විධායකයේ බලය අඩු කිරීම, ස්වාධීන ආයතන ඇති කර දූෂණයෙන් තොර කාර්යක්ෂම පාලනයක් ඇති කිරීම, තොරතුරු දැන ගැනීමේ අයිතිය නීති ගත කිරීම ආදී මැතිවරණ ප්රකාශනයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට දැන් ජන වරමක් ලැබී ඇත. එය නියමිත කාල සටහන අනුව ඉටු කිරීමට නව ජනවරමට සහ නව ජනාධිපතිවරයාට අභියෝගයන්ට මුහුණ දීමට සිදු වනු ඇත.
මීට පෙර එක් පක්ෂයකින් ජනාධිපතිවරයෙක් සිටියදී නව ජනවරමක් මගින් වෙනත් පක්ෂයකට පාර්ලිමේන්තු බලය හිමි වූ අද්දැකීමක් අපට ඇත. මෙවර එහි ප්‍රතිලෝමය වන නව ජනවරමක් මගින් නව ජනාධිපතිවරයෙක් සහ වෙනත් පක්ෂයක පාර්ලිමේන්තුවක් සමග කටයුතු කිරීමට සිදුවී ඇත. රාජපක්ෂලා නව ජනවරම සමග සහයෝගයෙන් වැඩ කරයිද නැතිනම් කකුලෙන් අදීවිද කියා කීමට තවම කල් වැඩිය. චමල් රාජපක්ෂ මෛත්‍රීගේ දිවුරුමට පැමිනීම සුබවාදීය. නමුත් ගෝඨාභය වැනි අමාත්‍යාංශ ලේකම් වරයෙකුට රනිල් අනවශ්‍ය ආරක්ෂාවක් සැපයීම ජනතාවට අනර්ථකාරීය.
කවුරුන් කුමක් කළද නව ජනමතය සහ ජනවරම සක්‍රීය කිරීමේ වගකීම ඇත්තේ ප්රජාතන්ත්රවාදීන් වූ අපටම ය.
---------------------------
by -විසල් කරුණාරත්න විසිනි- (2015-01-10 01:54:02)
(ලංකා ඊ නිව්ස් -2015.ජන.10, පෙ.ව.10.15)