View Single Post
(#3)
Old
macfa macfa is offline
Senior Member
macfa is infamous around these partsmacfa is infamous around these partsmacfa is infamous around these partsmacfa is infamous around these partsmacfa is infamous around these parts
 
Posts: 1,269
Join Date: Sep 2016
11-10-2019, 05:14 PM

Full article:

එම්සීසී භයානක නම් මහින්ද රාජපක්‍ෂ 2008දී ගන්න හැදුවේ ඇයි?

රාජපක්‍ෂ ආණ්ඩුවට එදා නොදුන්නේ මානව හිමිකම් චෝදනා නිසා

ජනාධිපතිවරණයට මොහොතකට පෙර මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හෙවත් එම්සීසී ගිවිසුම ගැන කතාව එළියට පැමිණ ඇත. ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය, පරිපාලන සේවා සංගමය ආදි විවිධ පාර්ශ්වයන් මෙම ගිවිසුමට එරෙහිව කරුණු දක්වා ඇත. වාමාංශික දේශපාලන ව්‍යාපාර මෙයට විරෝධය දක්වා ඇත. එමෙන්ම විමල් වීරවංශලා වැනි දේශපාලනඥයනුත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් මෙයට විරෝධය දක්වා ඇත. ඒ සියලූ පාර්ශ්වයන්ගේ විරෝධතා එක සමාන නැත. මේ සටහනේදී කතාකරන්නේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම ගැනත් ඒ කෙරෙහි මතුවන විරෝධතා ගැනත්ය.


අප මේ සටහන ආරම්භයේදීම ඉතා රසවත් කරුණක් නිරවුල් කරගත යුතුය. ඒ මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ ප‍්‍රමුඛ ආණ්ඩුවක් ලංකාවේ බලයට පත්ව සිටියදී මෙම ගිවිසුම බාර නොගෙන සිටීවිද යන්නයි. මේ ගිවිසුම විමල් වීරවංශලා කියන තරම් රටට අහිතකර නම් එය රාජපක්ෂලා කිසිදා අත්සන් නොකරන ගිවිසුමක් විය යුතුය. එහෙත් රාජපක්ෂ ආණ්ඩුවත් කෙළ හළමින් මෙම ආධාරය පසුපස ගොස් ඇතිවා පමණක් නොව, ගිවිසුම අත්සන් කරන්නට ඔන්න මෙන්න තත්වයට පැමිණ ඇත. එසේ කියන්නට පදනම් වූ කරුණු ගැන අපි මේ සටහනේ අවසානයට කතාකරන්නෙමු. මුලින්ම පැහැදිලිි කරගත යුත්තේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් යනු කුමක්ද යන්නය.


එම්සීසී මොකක්ද?


මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හෙවත් එම්සීසී ආයතනය යනු කුමක්දැයි විවිධ අයට විවිධාකාර අර්ථකථන තිබිය හැකිය. ඇතැම් ඒවා කුමන්ත‍්‍රණ න්‍යායන් විය හැකිය. තවත් ඒවා වාමාංශික න්‍යායන් විය හැකිය. එහෙත් අප දළ වශයෙන් මේ ආයතනය ආධාර කරන්නේ කාටද, ඇයි, අරමුණු මොනවාද යන්න අවබෝධ කරගත යුතුය.


පළවැනි කාරණය වන්නේ එම්සීසී ආයතනය ඇක්සා, සෝෆා හෝ වෙනත් ගිවිසුම් සමඟ ඍජු සම්බන්ධයක් නොදක්වන බවය. එනම් 2007දී ගෝඨාභය රාජපක්ෂත් අත්සන් කළ ඇක්විසිෂන් ඇන්ඞ් බෝඩර් ක්‍රොසින් ඇග‍්‍රිමන්ට් වැනි මිලිටරිමය ගිවිසුම්වලට ඍජු සම්බන්ධයක් නැති බවය. අප මෙහිදි ඍජු යන වචනය පාවිච්චි කළේ මේ සියල්ල ඇමෙරිකාව සමඟ අත්සන් කරන නිසා වක‍්‍ර සම්බන්ධයක් ඇති බව කෙනෙකු තර්ක කළ හැකි නිසාය. කෙසේ වුව, මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය ක‍්‍රියාත්මක වන්නේ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට, භාණ්ඩාගාරයට පිටින් පවතින ආයතනයක් ලෙසය.


මේ ආයතනය 2000න් පසුව සහස‍්‍රක අභියෝගතා සංකල්පය මත ආරම්භ කළ එකක් බව ඕනෑ තරම් වරනැගී තිබෙන කරුණකි. ඇත්තෙන්ම මෙම ආයතනය ක‍්‍රියාකාරීත්වයට ආවේ 2003 වර්ෂයේදීය. 2004 මුදල් වර්ෂයේදී මුල්ම වතාවට ආධාර ලබාදෙන රටවල් තෝරාගෙන තිබුණි. මුලින්ම තෝරාගත් රටවල් 16 අතර ලංකාවත් ඇති අතර පසුව ලංකාව ඒ ලැයිස්තුවෙන් ඉවත් කරනු ලැබීය. ඒ ගැන කරුණු පසුවට කියන්නෙමු. කෙසේ වෙතත් ලෝකයේ රටවල් ගණනාවකට ආධාර ලබාදීමට පටන්ගැනුණි.


ලොකුම ප‍්‍රශ්නය වන්නේ මෙයයි. ආධාරය ලබාදීම සඳහා රටවල් තෝරාගන්නේ කෙලෙසද. ලංකාවේ ජාතිකවාදී නායකයන් මවා පෙන්වන ආකාරයට රටවල අගමැතිවරුන් හා ජනාධිපතිවරුන් හොරෙන් හොරෙන් ඇමෙරිකානු නායකයන් හමුවී රහසින් කරන සාකච්ඡුාවලින් පසුව නොවේ. ඔවුන් රටවල් තෝරාගන්නා ක‍්‍රියාදාමය ඉතාම ප‍්‍රසිද්ධියේ, ඔවුන්ගේ වෙබ් අඩවියෙහි සඳහන්ය.


අයදුම් කරන සියලූ රටවලට ඒ ක‍්‍රමවේදය අනුව ලකුණු ලබාදෙයි. ලකුණු සටහන් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් වෙබ් අඩවියේ ඇත. ලංකාවට ලැබුණු ලකුණුද එහි ඇත. ලකුණු දෙන්නේත් එම්සීසී සමාගමේ හිතුමනාපයට නොවේ. ඒ වෙනුවට ජාත්‍යන්තරව පිළිගන්නා ආයතනවලින් ඒ ඒ රටවලට ලබාදෙන ලකුණු එම්සීසී ආයතනයෙන් ලබාගනී. ඒ ඒ රටවල තිබෙන යහපාලනය, විනිවිදභාවය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මාධ්‍ය නිදහස ආදි බොහෝ කරුණු මත පදනම්ව ලකුණු ලබාදෙයි. ඊට අමතරව ආර්ථික කාරණා ගැනත් සැලකිල්ලට ලක් කරයි. යම් නිශ්චිත ආදායම් මට්ටමක් තිබිය යුතුය. රටේ ආදායම වර්ධනය කිරීමට හා දුප්පත්කම තුරන් කිරීමට පියවර ගත යුතුය. ආධාරය හිමිවන්නේ ඒ සංකල්ප රැුකගන්නා රටවලටය. එම්සීසී සමාගමට ඕනෑම මොහොතක මේ ආධාර මුදල ලබාදීම නැවැත්විය හැකිය. ඒ ආධාර ලබාගන්නා රට ඉහත කී ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංකල්ප කඩකළහොත්ය.


මේ ආධාර ලබාගෙන ක‍්‍රියාත්මක කරන ව්‍යාපෘති ඇමෙරිකාවට වුවමනා ඒවා නොවේ. ඒ රටවල තිබෙන අවශ්‍යතා අනුව, ඒ ඒ රටවලින් ඉදිරිපත් කරන යෝජනා මත ව්‍යාපෘති සැලසුම් සකස් කරනු ලබයි.
උදාහරණයක් ලෙස ලංකාවේ සැලසුම් සකස් කර තිබුණේ ජාතික භෞතික සැලැස්ම නම් සැලසුම අනුවය.


රටවල් තෝරාගැනීම විනිවිදභාවයෙන් යුතු ක‍්‍රියාවලියකි. ඒ ක‍්‍රියාවලිය ගැනත් රටවල් තෝරාගැනීම ගැනත් මෙම ආධාර ලබා එමගින් ඉතා වැදගත් සංවර්ධනයක් තම රටවල සිදු කරගත් රටවල් ගැනත් කරුණු මේ සටහනේදී කියන්නට ඉඩකඩ මදිපාඩුව නිසා නොහැකිය. මෙම ආධාරය මගදී ලබා නොදී නැවැත්වුවේ කුමන රටවල්වලටද, එසේ කළේ ඇයිද යන කාරණා ගැනත් කතාකළ යුතුය. එය ඉදිරියේදී කතාකළ හැකිය. කෙසේ වෙතත් එක් කාරණයක් පැහැදිලිව කිව යුතුය. ලොව එක රටක්වත් මෙම ආධාරය නිසා බෙදුම්වාදයට හසුවී නැත. ලොව කිසිම රටක ඉඩම් ඇමෙරිකාවෙන් කුණුකොල්ලයට ගෙන නැත. මෙම ආධාරය මත පදනම්ව ලොව කිසිදු රටකට හමුදාව ඇතුළුවී නැත.


පසුගිය කාලයේ වේගයෙන්ම නැගී ආ ආර්ථිකයක් සහිත රටවල් වන ඉන්දියාව හා චීනය පවා මෙම ආධාරය ඉල්ලූම් කළ රටවල් අතර සිට ඇත. ඒ බව වාර්තාවල සඳහන්ය. ලොව රටවල් හැට හැත්තෑවක් වාර්ෂිකව මෙම ආධාරය ඉල්ලූම් කරයි. මොහොතකට කල්පනා කළහොත්, ඇමෙරිකාව මෙම ගිවිසුම මත රටවලට හමුදාව ඇතුළු කරනවා නම් ඇමෙරිකාවෙන් එම රටවල් මේ ආධාරය ඉල්ලන්නේ නැති බව තේරුම් ගත හැකිය. රටවල ස්වාධීනත්වය නැති කරනවා නම්, මෙතරම් රටවල් එම්සීසී ආධාර ඉල්ලන්නේ ඇයි.


ලංකාවේ ගිවිසුම


ඊළඟට අප කතාකළ යුත්තේ ලංකාව සමඟ එම සමාගම අත්සන් කරන ගිවිසුම රහස් එකක්ද, ඒවායේ රට බෙදන යෝජනා තිබෙනවාද, කුණු කොල්ලයට ඉඩම් විකුණන යෝජනා තිබෙනවාද යන කාරණාය. එමෙන්ම එය පාර්ලිමේන්තුවට හොරෙන්, ජනාධිපතිවරණයට පෙර හදිසියේ අත්සන් කරනු ඇතිද යන කාරණාවය. ඒ කාරණා තේරුම් ගන්නට නම් එම්සීසී සමග අත්සන් කරන්නට යන ගිවිසුමේ පිටපතක් සොයාගත යුතුය. මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් වෙබ් අඩවියෙහි එම ගිවිසුමෙහි තොරතුරු ඇතුළත් නිවේදනයක් ප‍්‍රසිද්ධ කර ඇත. සාකච්ඡුා කිරීම සඳහා ඉදිරිපත් කළ කෙටුම්පත්ද එම වෙබ් අඩවියේ ඇත. කියවන්නට කැමති කෙනෙකුට ලංකාවට ලකුණු ලැබුණු ආකාරය, වෙනත් රටවලට දුන් ආධාර, ඒවායින් රටට සිදුවූ බලපෑම ආදි බොහෝ කරුණු එම වෙබ් අඩවියෙන් කියැවිය හැකිය.


ආණ්ඩුවට ඕනෑ වුණත් නැතත් එම්සීසී සමඟ හොරෙන් ගිවිසුම් අත්සන් කිරීමට එම්සීසීය එකග වන්නේ නැත. එම්සීසීහි මූලිකම කොන්දේසි අතර ආණ්ඩු විනිවිදභාවයෙන් කටයුතු කළ යුතුය යන්න ඇත. ඒ නිසාම මේ ගිවිසුම අත්සන් කරන්නට පෙර ලංකාවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ජනතා අනුමැතිය ලබාගැනීමේ අවශ්‍යතාව එම්සීසී ආයතනය පෙන්වයි. ඊට අමතරව යුදමය කටයුතු සඳහා මෙම අරමුදල් පාවිච්චි කළ නොහැකිය. මෙම අරමුදල පාවිච්චි කෙරෙන කටයුතු නිශ්චිතව පෙන්වාදිය යුතුය. ගිවිසුම පදනම්ව ඇත්තේ එම කරුණු මතය.


ලංකාවට ලැබෙන ආධාර මුදලෙන් කරන්නට යන්නේ මොනවාදැයි ගිවිසුමෙහි පැහැදිලිව ඇත. ඒ කරුණුම වෙබ් අඩවියෙහි තිබෙන අප කලින් කී නිවේදනයේත් සඳහන්ය. ප‍්‍රධාන ව්‍යාපෘති දෙකක් එමගින් සිදුවෙයි. පළවැන්න ලංකාවේ ප‍්‍රවාහනය කාර්යක්ෂම කිරීමට අදාල ව්‍යාපෘතියයි. තදබදය අවම කිරීම සඳහා එහි වැදගත් කොටසක් වෙන්වෙයි. නවීනම මාර්ග පරිපාලන පද්ධතියක්ද, නවීනම පොදු ප‍්‍රවාහන පද්ධතියක්ද ඇති කිරීමට එමගින් බලාපොරොත්තු වෙයි. ඊට අමතරව දැනට ඉදිකර ඇති කොළඹ වටරවුම් අධිවේගී මාර්ගය ලංකාවේ දුෂ්කර පළාත්වලට සම්බන්ධ කිරීම වෙනුවෙන් මාර්ග ඉදිකිරීමට බලාපොරොත්තු වෙයි.


අනෙක් ව්‍යාපෘතිය ඉඩම් සම්බන්ධ එකය. එහෙත් එය කුණුකොල්ලයට ලංකාවේ ඉඩම් විකිණීමේ ව්‍යාපෘතියක්ය කියන කතාව පිළිගන්නට කිසිදු ප‍්‍රමාණවත් සාධකයක් ගිවිසුමේ නැත. ඒ වෙනුවට එමගින් බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ ඉඩම් මැනීමේ කටයුතු වේගවත් කිරීමට නවීන තාක්ෂණය යොදාගැනීමත්, එම ඉඩම්වල වටිනාකම ඉහළ නැංවීමත් යන කාරණා ඉටු කරගැනීමටය.


රුපියල්වලින් ගතහොත් මිලියන අසූදහසකට වැඩි මුදලක් සමස්ත ආධාරය ලෙස ලබාදෙන්නට නියමිත බව අප සිහිපත් කළ යුතුය. එය ලංකාවේ ඉතිහාසයෙහි ලැබෙන දැවැන්තම ආධාරයයි.


භෞතික සැලැස්ම


කෙසේ වෙතත් මේ වෙද්දී ප‍්‍රකට වී ඇත්තේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙණිය මහතා වැනි උදවිය පවා ලංකාවේ සිතියමක් මැද්දෙන් ඉරි කෑලි දෙකක් ගැසූ සිතියමක් පෙන්වමින් ලංකාවේ බෙදුම්වාදයක් ඇති කරන බවට කියන කතාවය. කොරිඩෝවක් ගැන කියන කතාවය. ඉඩම් කුණුකොල්ලයට දෙන කතාවය. මේ හැම එකක්ම ලංකාව ඩැහැගැනීමට බලා සිටින විදේශීය බිල්ලන් ගැන සීමාව ඉක්මවූ කතාන්දරය.

කිසිදු විචාර බුද්ධියක් නැති මිනිසුන් රැුවටීමට ඒ කතා හොඳය. විමල් වීරවංශ වැනි දේශපාලනඥයන් එවැනි කතා කීම ගැන පුදුම නොවී සිටිය හැක. එහෙත් අනුරුද්ධ පාදෙණිය වැනි වෘත්තිකයන්ද මේ බොරුවට උල්පන්දන් දීම කනගාටුදායක කරුණකි. ලංකාව මැද්දෙන් වැටක් ගැසීම හෝ රුපියල් 180ට ඉඩම් මිලදී ගැනීම වැනි ලොව කොහේවත් සිදුවී නැති දේවල් මෙහේ සිදුවනු ඇතැයි සිතීම සීමාව ඉක්මවූ මෝඩයාට ඇඳීමක් පමණි.


ලංකාව මැදින් ඉරක් සහිතව ඔවුන් ඔසවාගෙන සිටින සිතියම්වල ඇත්තේ විමල් වීරවංශ මහතා ඉදිකිරීම් හා ඉංජිනේරු අමාත්‍යවරයාව සිටියදී ලංකාවට හඳුන්වාදුන් ජාතික භෞතික සැලැස්ම නම් ඉදිකිරීම් සැලසුම් ඇතුළත් යෝජනාවලියෙහි ඇති කරුණුය. ජාතික භෞතික සැලැස්ම යනු මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආධාරය ලබන්නට පෙර සැකසූ ලියැවිල්ලකි. ලංකාවේ අනාගතයේ කෙරෙන සියලූ ඉදිකිරීම් තැනින් තැන, හිතුමතයට නොකළ යුතු නිසා 2011 සිට 2030 දක්වා සිදුකරන්නට බලාපොරොත්තුවෙන සියලූ ප‍්‍රධාන ව්‍යාපෘති ගැන එම සැලැස්මෙන් කරුණු යෝජනා කර තිබුණි. ඒ සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ ආධාරය ලැබී තිබුණි.


මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආධාරයෙන් කිරීමට බලාපොරොත්තු වෙන්නේ ඉහත කී ජාතික භෞතික සැලැස්ම ඇසුරෙන් ලංකාව සකස් කළ ඉදිකිරීමකි. එනම් එම්සීසී ගිවිසුමේ ඇතුළත් වටරවුම් මාර්ග ව්‍යාපෘතිය, ආර්ථික කොරිඩෝව ආදි සියලූ සැලසුම්වල විස්තර ජාතික භෞතික සැලැස්මේත් පැහැදිලිව ඇත.


මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් සමාගම කරන්නේ ජාතික භෞතික සැලැස්ම මත පදනම්ව ඒ සැලසුම් පිළිබඳව අප ඉදිරිපත් කළ යෝජනා සාකච්ඡුා කොට, ඔවුන්ගේ යෝජනාද එකතු කොට ඒ සඳහා ආධාර මුදල් ලබාදීමට එකඟ වීමය. කොටින්ම කීවොත් ලංකාව දෙකට බෙදන සැලැස්මක් යැයි අනුරුද්ධ පාදෙණිය වෛද්‍යවරයා ඉහළට ඔසවාගෙන ඉන්නේ විමල් වීරවංශ මහතාගේ සළුපටය.


මේ සියල්ල මැද ජාතික භෞතික සැලැස්මත්, මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමෙහි ආධාර ලබාගෙන ලංකාවේ කරන්නට බලාපොරොත්තු වන ව්‍යාපෘතියත්, එහි කරුණුත් පිළිබඳ සාධාරණ ප‍්‍රතිපත්තිමය විවේචනයක් ඉදිරිපත් කරන පාර්ශ්වයන්ද සිටින බව කිව යුතුය. ගැඹුරින් මෙම ගිවිසුම අධ්‍යයනය කොට වාමාංශික එළැඹුමකින් මේ ගැන සාකච්ඡුා කරන උදවිය සිටිති. සිතියම් පෙන්වා රට බෙදන බව පෙන්වීම ඔවුන්ගේ අරමුණ නොවේ. ඔවුන්ට ඕනෑ රටේ අනාගත ආර්ථික ප‍්‍රතිපත්ති ගැන ගැඹුරු සංවාදයක් මතු කිරීමටය. සටහන ඉතා දීර්ඝ වන නිසා එම විවේචනයන් ගැන මේ අවකාශයේ කතාකළ නොහැක. කෙසේවෙතත් ඉදිරියේදී ඒ විවේචන පිළිබඳව සාකච්ඡුාවට අප පුවත්පතෙහි අවකාශය ලබාදීමට බලාපොරොත්තු වන්නෙමු.


මහින්ද


අප මෙහි පෙන්වන්නට උත්සාහ කරන්නේ මේ මොහොතේ දේශපාලන වාසි ලබන්නට එම ගිවිසුම ගැන බිල්ලන් මවන උදවියගේ නිරුවතය. ඔවුන්ගේ නිරුවත පෙන්වන්නට, ඔවුන් මීට පෙර මේ ආධාරය ලබන්නට ගත් උත්සාහයන් ගැන කරුණු ඉදිරිපත් කළ යුතුය. අප එම කරුණු ඉදිරිපත් කරන්නේ ඇමෙරිකානු කොංග‍්‍රසය වෙත කර්ට් වර්නොෆ් නම් ඉහළ නිලධාරියා සකස් කළ 2009 හා 2014 වසරවල වාර්තා දෙකක්, විකිලීක්ස් වෙබ් අඩවියෙන් ප‍්‍රසිද්ධ කල එම්සීසී ආයතනයේ අභ්‍යන්තර වාර්තාවක්, හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ වාර්තාවක්, ලංකාවේ ප‍්‍රවීණ මාධ්‍යවේදී ඉක්බාල් අතාස් 2008දී ලියූ ලිපියක් හා නැගෙනහිර හා දකුණු ආසියාවට ඇමෙරිකාවෙන් ලබාදීමට නියමිත ආධාර පිළිබඳ තොරතුරු ඇතුළත් ඇමෙරිකානු කොංග‍්‍රසයේ වාර්තාවක් මත පදනම්වය.


අප මුලින්ම කී පරිදි මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනයේ පළමු මුදල් වර්ෂය 2004 වර්ෂයයි. එම වර්ෂයේදී රටවල් 16ක් ආධාර ලබාදීම සඳහා තෝරාගෙන තිබුණි. ශ‍්‍රී ලංකාව එලෙස මුලින්ම තෝරාගත් රටවල් අතරින් එකක් විය. කෙසේවෙතත් ඔවුන් ප‍්‍රමුඛතාව ලබාදුන් රටවල් 10ක් විය. ඊට අමතරව කේප්වර්ඞ්, ලෙසොතෝ සහ ශ‍්‍රී ලංකාව යන රටවල් තුන තෝරාගෙන තිබුණේ ඔවුන්ගේ ලකුණු සටහන්වල ඉහළින් සිටි නිසා නොව, එකල ඇතිකළ ප‍්‍රගතිශීලී වෙනස්කම් හේතුවෙනි. ඒවා ලකුණු සටහනේ 10 සිට 13 දක්වා මට්ටමේ තිබුණි. ඒ අනුව ශ‍්‍රී ලංකාවට එම ආධාර මුදල 2004 වර්ෂයේම ලබා නොදී, ඉදිරි වර්ෂවල ප‍්‍රගතිය අනුව ලබාදීමට තීරණය කර තිබුණි.


ලංකාව ලැයිස්තුගත කිරීමෙන් පසුව ආධාර මුදල ලබාදීම ගැන තීරණය ගැනීමට පෙර එම්සීසී ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරියාව එකල කටයුතු කළ පෝල් ඇප්ල්ග‍්‍රාත් 2005 මාර්තු 29-31 දිනවල ලංකාවට පැමිණ තිබුණි. ඔහු ලංකාවේ ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකත්, අගමැති මහින්ද රාජපක්ෂත්, මුදල් ඇමති සරත් අමුණුගමත්, විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහත්, මුදල් අමාත්‍යාංශ ලේකම් පී.බී. ජයසුන්දරත් මුණගැසී තිබුණි. අනිවාර්යයෙන්ම සියලූ පාර්ශ්වයන් ඔහු සමඟ සාකච්ඡුා කර තිබුණේ ආධාර මුදල ලබාගැනීම වෙනුවෙනි.


අගමැතිවරයාව සිටි මහින්ද රාජපක්ෂ මහතා ඉතාමත්ම උනන්දුවෙන් මේ ගැන කතාකළ බව ඇප්ල්ග‍්‍රාත් මහතා සිය වාර්තාවෙහි සටහන් කර ඇත. තමන්ගේ ප‍්‍රදේශයේ ජනතාවගේ අත්දැකීම් ගැන ඔහු පෙන්වා ඇත. ඔහුගේ අත්දැකීම් කියා ඇත. ඉන්පසුව ඇප්ල්ග‍්‍රාත් මහතා හම්බන්තොට ප‍්‍රදේශයේ සංචාරයකටද රැුගෙන ගොස් ඇති අතර එම සංචාරය හම්බන්තොටට යෑමට බලපෑම් කරන්නට ඇත්තේද මහින්ද රාජපක්ෂ මහතා විය යුතුය.


සමස්තයක් ලෙස ඒ සංචාරයේදී ඇප්ල්ග‍්‍රාත් මහතා සෑහීමට පත්ව තිබුණි. ලංකාවට 2007 පමණ වෙද්දී ඇමෙරිකන් ඩොලර් මිලියන 110ක ආධාරයක් ලැබීමට නියමිතව තිබුණි. එය රුපියලේ දැන් අගය අනුව රුපියල්වලට සංසන්දනය කළහොත් රු. මිලියන 19,000කට වැඩිය. ඔය අතර මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිධුරයට පත්විය. එහෙත් ආධාර මුදල ප‍්‍රතික්ෂේප කළේ නැත. එපායැයි කීවේ නැත. ඒ වෙනුවට ඔහු එම ආධාර මුදල බලාපොරොත්තුවෙන් සිටියේය. 2008දී මහින්ද රාජපක්ෂ රජය ගිවිසුම අත්සන් කිරීමට සූදානමෙන් සිටියේය. ඒ සඳහා සාකච්ඡුා කළේය. එම සාකච්ඡුා සඳහා යැව්වේ තමා බව මංගල සමරවීර ඇමතිවරයා පසුගියදා හෙළදරව් කළේය.


එහෙත් 2007 දෙසැම්බර් මාසයේදී ශ‍්‍රී ලංකාවට එම ආධාරය ලබා නොදීමට එම්සීසී ආයතනය තීන්දු කළ බව කොංග‍්‍රස් වාර්තාවල පැහැදිලිව සඳහන් වෙයි. එයට හේතුව වුණේ ලංකාවට එල්ලවූ මානව හිමිකම් උල්ලංඝනය පිළිබඳ චෝදනාය. ඒ පිළිබඳව 2008 වර්ෂයේ හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ වාර්තාවකත්, ඇමෙරිකානු කොංග‍්‍රසයේ වාර්තා දෙකකත් සඳහන් වෙයි.
ලංකාවේ නම කැපුණු පසුව නැවත නම ඇතුළත් කරගැනීම සඳහාත් රාජපක්ෂ ආණ්ඩුව උත්සාහ ගෙන ඇති බව කොංග‍්‍රස් වාර්තා පිරික්සද්දී පෙනෙයි. 2009 හෙවත් යුද්ධය අවසන් කොට මහා ප‍්‍රීතියෙන් කිරිබත් කෑ දේශපේ‍්‍රමී වර්ෂයේදී මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනයේ ආධාර සඳහා ඉල්ලූම් කර ඇත. ඉන්පසුව 2014 වර්ෂයේදීත් ඔවුන් එම ආධාරය ඉල්ලා ඇත. ලංකාවට අමතරව ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, නේපාල්, පාකිස්ථාන් යන දකුණු ආසියාවේ අනෙක් හැම ප‍්‍රධාන රටක්ම එයට අයැදුම් කර ඇත.


රාජපක්ෂවරු කොහොමත් ඇමෙරිකානු ආධාර ප‍්‍රතික්ෂේප කළේ නැත. 2005 වර්ෂයේදී ඇමෙරිකානු රජයෙන් ලංකාවට ලැබී ඇති ආධාර මුදල් ප‍්‍රමාණය ඇමෙරිකන් ඩොලර් 20,651,000ක් හෙවත් ඩොලර් මිලියන 20කි. එය රුපියල්වලින් මිලියන 3000ක් පමණය. 2006 දී මිලියන 12 කි. රුපියල් මිලියන 2000කට වැඩිය. 2007 දී මිලියන 9කි. රුපියල් මිලියන 1500කට වැඩිය. 2008දී මිලියන 7 කි. රුපියල් මිලියන 1000කට වැඩිය.


එදා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ලබාගත් ඇමෙරිකානු ආධාර වාර්ෂිකව අඩු වුණේ රාජපක්ෂ රජය එපායැයි කී නිසා නොවේ. එපා නම් සම්පූර්ණයෙන්ම ආධාර නොගෙන ඉන්නට තිබුණි. රාජපක්ෂ ආණ්ඩුවට ක‍්‍රමයෙන් එල්ලවූ චෝදනා නිසා ලබාදුන් ආධාර ප‍්‍රමාණය අඩු කර තිබුණි. එසේ නැතිනම් ලොව ධනවත් රටක් ලබාදෙන ආධාර මුදල් ප‍්‍රතික්ෂේප කිරීමේ පුරුද්දක් රාජපක්ෂලා හදාගෙන නැත.


ඒ සියලූ කරුණු සලකද්දී රාජපක්ෂ ආණ්ඩුව බලයට පත්වුණොත් එම්සීසී ගිවිසුම අත්සන් නොකරන බව කිසිසේත්ම අනුමාන කළ නොහැකිය. එම්සීසී ආයතනය කැමති වුණොත් රාජපක්ෂලාත් මේ ගිවිසුම අත්සන් කරනු ඇත. ඒ බවට ඉතිහාසය සාක්ෂ්‍ය දරයි. දැන් ඔවුන් කරන්නේ තමන්ගේ නොවන ගිවිසුම බිල්ලාට මැවීම පමණි. තමාගේ වූ කලෙක ඔවුන්ගේම මුවින් මේ ගිවිසුමේ වැදගත්කම ගැන වර්ණනා ඇසෙනු ඇත.


Author: තරිඳු උඩුවරගෙදර


https://www.anidda.lk/%E0%B6%91%E0%B...7%8A%E0%B6%AF/
Reply With Quote
 
Page generated in 0.05498 seconds with 9 queries