බ්‍රහ්මවිහාර ධර්ම

hpalpola

Well-known member
  • බ්‍රහ්මවිහාර ධර්ම

    බ්‍රහ්මවිහාර ධර්ම


    නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

    බ්‍රහ්මවිහාර ධර්ම ගැන පුංචියට ආටිකල් එකක් කරන්න හිතුනා. මගේ ගුරුවරුන්ගේ මග පෙන්වීම යටතේ. මන් දන්නේ නෑ කොයි තරමින් ඔයාලට මේ ආටිකල් එක ප්‍රයෝජනවත් වෙයිද කියලා. යම් තරමකින් වත් ප්‍රයෝජනයක් වෙනවා නම් ඒ තුලින් ලැබෙන පින් මගේ ගුරුවරුන්ට අනුමෝදන් වෙන්න මුලින්ම ප්‍රර්ථනා කරනවා.

    බ්‍රහ්මවිහාර ධර්ම කියන්නේ මොනවද කියලා ඔය ඇත්තෝ ඕනා තරම් අහලා ඇති. "බ්‍රහ්ම" කියන්නේ ගෞරවනීය නැත්නම් වංශවත් කියන එක. පාලියේදී පාවිච්චි වෙන්නේ "බිරහ්ම" කියලානේ නේද. "විහාර" කියන දේ තුලින් අදහස් කරන්නේ ජීවත් වෙනවා කියන එක. ඒ විදියට ගත්තම බ්‍රහ්මවිහාර කියන දෙයින් වංශවත් ලෙස ජීවත් වීම අදහස් කරන බව පේනවා. එහෙම නැත්නම් යහපත ඇති කරමින් ජීවත් වීම මේ තුලින් අදහස් වෙනවා.

    මේ බ්‍රහ්මවිහාර කියන වචන පෙල විස්තර කරද්දී, ඒ තුලට මෛත්‍රිය, ඒ කියන්නේ මිතුරුකම/මිත්‍රශීලීබව, කරුණාව, මුදිතාව නැත්නම් අන් අයගේ සතුටේදී සතුටුවීම සහ උපේක්ෂාව නැත්නම් දුකේදී වුනත් සැපේදී වුනත් වෙනසක් නැතිව එක් ලෙසට තමන්ගේ සිත පවත්වාගෙන යාම කියන මූලිකාංග හතර ඇතුලත් වෙනවා. මේ තමයි සතරාකාරයේ බ්‍රහ්මවිහාර ධර්ම. මහාගෝවින්ද සූත්‍රයේදී මේ ධර්මතා බ්‍රහ්මචාරිය ලෙසත් දැක්වෙනවා. ඒ නිසාම බ්‍රහ්මචාර ධර්ම විදියටත් බ්‍රහ්මවිහාර ධර්ම හඳුන්වනවා. බ්‍රහ්මචාරීය කියන්නෙත් ඉතින් උතුම් විදියට ජීවත් වීමමනේ.

    මේ විදියටම අභිධර්ම දේශනාවේදී අප්පමත්ත විදියට බ්‍රහ්මවිහාර ධර්ම හඳුන්වලා තියෙනවා. මේ වචනය භාවිතයට එන්නේ අප්‍රමාන නැත්නම් අසීමිත කියන අදහස එක්ක. උදාහරණයක් විදියට අපි මෛත්‍රිය වඩනවා නම් එය අසීමිතව වඩන්න ඕනා නේ හැම කෙනෙක් සම්බන්ධයෙන්ම. ඉතින් මේ විදියට ගත්තම අප්පමත්ත විදියටත් බ්‍රහ්මවිහාර ධර්ම හැඳින්වීමේ වරදක් නෑ.

    මේ සම්බන්ධයෙන් ඔයාලට අසීමිත දැනුමක් ඇති බව මට විශ්වාසයි. මෙත්තා භාවනාව කියන්නේ කෙනෙක්ගේ මනස අනිත් අය සම්බන්ධයෙන් මිත්‍රශීලීභාවයෙන් යුතුව සංවර්ධනය කිරීම විදියට සලකන්න පුළුවන්. අනිත් අය සම්බන්ධයෙන් සැප ප්‍රර්ථනාවක් හිතේ ඇති වුනාම ඒක අපිට ප්‍රඥාවන්ත සිතිවිල්ලක් විදියට සලකන්න පුළුවන්. කරුණා භාවනාව කියන්නේ අනිත් අය සම්බන්ධයෙන් කාරුණික හැඟීම් පැතිරවීම. ඒකට කාරුණික සිතිවිලි වලින් හිත සංවර්ධනය කර ගන්න අවශ්‍යයි. සාමාන්‍ය ජීවිතයේදී කෙනෙක් විඳින දුක දැකලා ඒ දුකින් ඒ කෙනා මිදෙන්න ඕනා කියලා සිතිවිල්ලක් ඇති වෙනවා නම් ඒක කරුණාව සහිත ප්‍රඥාවන්ත සිතුවිල්ලක් විදියට අපිට හඳුන්වන් පුළුවන්. මුදිතාව සම්බන්ධයෙන් ගත්තම මේ තුලදී අනිත් අයගේ සතුට සම්බන්ධව ඒ අයට ඒ සතුට දිගින් දිගටම පැවැත්ම සම්බන්ධයෙන් ඇතිවන සිතිවිලි හඳුන්වන්න පුළුවන්. උපේක්ෂාව සම්බන්ධව ගත්තම තවත් කෙනෙක්ගේ තත්වය සම්බන්ධයෙන් දුකක් වත් සතුටක්වත් නැතිව නැත්නම් කිසිම වෙනසක් නැතිව මධ්‍යස්තව සිත පිහිටවා ගැනීම, තවත් විදියකට කියනවා නම් කිසියම් කරුණක් සම්බන්ධයෙන් මේ දේ වෙන්නේ කර්මය හා ප්‍රතිඵලය අනුව බවට දැනගෙන මධ්‍යස්ථව සිහිය පිහිටුවා ගැනීම උපේක්ෂාව කියලා කියන්න පුළුවන්. මේ අතරින් මුලින්ම මෙත්තා බ්‍රහ්මවිහාර වර්ධනය සම්බන්ධයෙන් අවධානය
    යොමු කරමු.
     

    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    බොහොම පින්...

    අභිධර්මය ගොඩක් ගැඹුරු දෙයක්..පොඩ්ඩ පොඩ්ඩ ඉගෙන ගන්න බලමු....
     
    • Like
    Reactions: DR_sH

    hpalpola

    Well-known member

  • මේ ආටිකල් එක කියවන හැම කෙනෙක්ටම ධර්මය ගැන සුළු පමණින් හෝ ගැන පණිවිඩයක් ලබා දීමටයි බලාපොරොත්තු වෙන්නේ. ධර්ම රසය තරම් රසයක් මේ විශ්වයේ තවත් නැහැ. නමුත් හැම කෙනෙක්ටම ඒ රසය විඳින්න ලැබෙන්නේත් නෑ. බොහෝම කලාතුරකින් කෙනෙක්ට ධර්මයේ රස විඳින්න ලැබෙනවා. ඒ අයටයි මේ ආටිකල් එක...

    ඒ වගේම ධර්මයේ රස විඳින්න බලාපොරොත්තුවෙන් ඉන්න අයටත් මේ ආටිකල් එක විවෘතයි.
    ...
     
    • Like
    Reactions: IveyStyle

    hpalpola

    Well-known member

  • 2

    පෙර සූදානම

    භාවනාව සම්බන්ධයෙන් හදාරන්න අපිට තියෙන හොඳම ගුරු අත්පොත තමයි විශුද්ධි මාර්ගය. පඨවි කසිණය වර්ධනය කරන්න කලින් භාවනානුයෝගියෙක් විසින් මුලින්ම කරන්න අවශ්‍ය කුමක්ද යන්න ඒ තුලදී විස්තරාත්මකව දැක්වෙනවා. ඒ සම්පූර්ණ විස්තරයම මෙතනදි දක්වන්න මන් බලාපොරොත්තු වෙන්නේ නෑ. නමුත් අපි සරලව ඒ ගැන ටිකක් විමසමු. මුලින්ම භාවනා කරන්න සූදානම් වෙන තැනැත්තෙක් වෙනවා නම් ඒ කෙනා හොඳින් තමන්ගේ සිල් (ශීලය) පිරිසිදු කර ගන්න ඕනා. අද අපි හුඟක් වෙලාවට භාවනා කරන්න යන්නේ පන්ති වලට නිසා මේ සම්බන්ධයෙන් යොදන අවධානය ටිකක් අඩුයි. නමුත් ටිකක් හිතලා බලන්න. අපේ ශීලය පිරිසිදු නැත්නම් ඒ තුලින් මතු වෙන අහිතකර සිතිවිලි අපිට පලිබෝධ විදියට භාවනා කරද්දී මතු වෙනවා. නමුත් පාරිශුද්ධ ශීලයේ පිහිටන කෙනාට ඒ පළිබෝධ මතු නොවන නිසා සැහැල්ලුවෙන් වගේම සතුටින් භාවනා කරන්න පුළුවන්. මීළඟට අවශ්‍ය වන්නේ තමන්ට මෙත්‍රී භාවනාව වර්ධනය කරන්න මග පෙන්වන ගුරුවරයා සම්බන්ධව සහ කියලා දෙන ක්‍රමවේදය සම්බන්ධව ඇති කර ගනු ලබන විශ්වාසය. සාමාන්‍යයෙන් හොඳින් භාවනාව පුහුණු කරන්න නම් ඒ සම්බන්ධව ආරණ්‍යයකට සම්බන්ධ වීම හොඳයි. එහෙමත් නැත්නම් භාවනා වැඩමුළුවකුත් නරක නෑ. නමුත් මේ තෝරා ගැනීම ඒ කියන්නේ තමන්ගේ භාවනා ගුරුවරයා වගේම ස්ථානය සම්බන්ධයෙන් මනාව විමසිලිමත් වීමත් අවශ්‍යයි. මොකද කියනවා නම් අද වෙන කොට භාවනා කරන්න මිනිසුන්ගේ තියෙන කැමැත්ත දඩ මීමා කරන් ඒ තුලින් සංවර්ධනය වෙන්න මිනිස්සු බලාන ඉන්න නිසායි. ඒ වගේම කෑම කාපු ගමන්මත් භාවනා කරන්න වෙලාව වෙන් කර ගැනීමත් සුදුසු නෑ. ඒ නිසා කෑමෙන් පස්සේ භාවනා කරන්න කලින් යම් කාලයක් විවේක ගැනීමත් අනුමත කරන්න පුළුවන්. ඒ වගේම තමන්ට සම්පූර්ණ කරන්න යම් කිසි කාර්යයක් තියෙනවා නම් ඒ කාර්යය අවසන් කිරීමත් වැදගත්. නැත්නම් මෙත්‍රීය වඩන්න පටන් ගත්ත වෙලාවේ ඉඳන් හිතට ඒ අවසන් නොකල කාර්යය අවසන් කරන්න කියලා හැඟීම් ඇති වෙන එක නවත්වන්න ලේසියෙන් බෑ. ඒක භාවනා කිරීමට පළිබෝධයක් වෙනවා. ඒ වගේම මේ සියලු කාර්යයෙන් පස්සේ නිශ්ශබ්ද හෝ නිස්කලංක ස්ථානයක් භාවනා කිරීමට තෝරා ගැනීමත් වැදගත්. ඉන් පස්සේ ඉඳී ඉරියව්වෙන් පහසුවෙන් හිඳ ගන්න පුළුවන්. මෙතනදී තමන්ට පහසු ආකාරයේ හිඳි ඉරියව්වක් අනුගමනය කිරීම භාවනා කරන්නන්ට පහසුවක් වෙයි.

    කොහොම වුනත් ඉඳගෙන විතරක් නෙමෙයි සතරාකාර ඉරියාපථයන්ම භාවිතා කරමින් භාවනා කරන්න පුළුවන්. ඒ කියන්නේ කෙනෙක්ට වාඩි වෙලා හරි හිටගෙන හරි ඇවිදිමින් හරි හාන්සි වෙලා හරි භාවනා කරන්න පුළුවන්. ඇත්තටම ටිකක් හිතලා බලන්න මීට වඩා තවත් මොන ඉරියව්වද මිනිහෙක් ට ඉන්න තියෙන්නේ කියලා. ඒ කියන්නේ අපි කුමනාකාරයෙන් හිටියත් භාවනාවේ යෙදෙන්න අපිට පුළුවන් කිසිම ප්‍රශ්ණයක් නැතිව. මේ බව හොඳින් පැහැදිලි වෙනවා මෙත්ත සූත්‍රයේ තියෙන මේ ගාථා පාඨයෙන්.

    තිට්ටම් චරම් නිසින්නෝවා, සයානෝ යාවතස්ස
    වීතමිද්දෝ ඒතම් සතිම් අධිට්ට්‍යෙය

    මේ පාලි පද්‍යයේ තේරුම විමසද්දී තිට්ටම් - සිටගෙන සිටීමේදී , චරම් - ඇවිදීමේදී, නිසින්නෝ වා - වාඩි වී සිටීමේදී, සයානෝ - හාන්සි වී සිටීමේදී, යාවත - එම කාල සීමාව තුල, වීතමිද්දෝ - මනස ථීනමිද්දයෙන් තොර, අස්ස - බවට පවතී. යාවත - එකී කාල සීමාවට, ඒතම් සතිම් - මෙත්‍රියෙන් ඇතිවන සමාධිය, අධිට්ට්‍යෙය - ඒ තුල පිහිටමින් වර්ධනය කල යුතුවේ ලෙස සලකන්න පුළුවන්. බලන්න ඉස්සෙල්ලා කියාපු සතර ඉරියාපථයන් තමයි නේද මේ දේශනා කරලා තියෙන්නේ ? ඒ වගේම මතක තියාගන්න මේ සතර ඉරියාපථයන් මෙත්‍රී භාවනාව පුරුදු කරන්න විතරක් නෙමෙයි සතිපට්ඨාන විදර්ශනා භාවනා වර්ධනයටත් යොදා ගන්නව කියලා. අර දක්වන්නේ ගච්චන්තෝ වා ගච්චමිථි පජානාති යනාකාරයට.

    සෑම අවස්ථාවකදීම මෙත්‍රිය වඩන්න පුළුවන් නම් වඩාත් හොඳයි. නිදා ගන්න වැයවෙන කාලය හැර දිගින් දිගටම යෙදීමත් වැදගත්. ඒ ව‍ගේම නින්දට ඇඳට ගියාමත් ඒ කියන්නේ 9 ට 10 ට විතරත් අපිට ඒ හාන්සි වෙලා ඉන්න වෙලාවෙදිත් මෙත්‍රිය පුහුණු කරන්න පුළුවන්.
     

    hpalpola

    Well-known member

  • 3


    අපි සුදුසු පහසු ඉරියව්වකින් භාවනා කරන්න වාඩි වුනාට පස්සේ තරහවේ තියෙන දොස් වගේම ඉවසීමේ තියෙන ගුණාත්මක භාවය පිළිබඳව මනසින් දකින්න කටයුතු කරන්න අවශ්‍යයි. නමුත් ඒ ගැන අපි දැන ගෙන නම් ඉන්නේ වාඩි වෙන්න කලින්, තවත් ඒ ගැන හිතීමේ අවශ්‍යතාවයක් නෑ. මනා විශ්වාසයෙන් හා දැඩි උද්යෝගයෙන් යුතුව අපි භාවනා කරනවා නම් ඵලදායී ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් කිසිම ප්‍රශ්ණයක් නැතිව. ඕනාම වැඩක් කරද්දී මේක තමයි සාමාන්‍ය තත්වය. වැරැද්දක් දැක්කම ප්‍රතික්ෂේප කරන්න අපි දැනගන්න ඕනා. හිතන්නකෝ කෙනෙක් තමන්ගේ කාමරයේ තියෙන කුණු රොඩු දූවිලි අතු ගානවා කියලා. කොල කෑලි වගේ අනවශ්‍ය යි කියලා ඒ අතුගාන කෙනාට හිතෙන දේවල් එයා අතුගාලා විසි කරලා දමාවි. නමුත් ඒ දේවල් විසිකරන්නේ නැතිව කාමරයේ කොණකට එකතු කරලා තියෙනවා නම් ඒ කාමරය පිරිසිදුයි කියලා කියන්න පුළුවන්ද? ඒ ව‍ගේම තමයි කෙනෙක් කේන්තියේ තියෙන දොස් දකින්නේ නැත්නම් එයා කේන්තිය තමන්ගෙන් ඉවත් කරන්නේ නැතිව පිලිගන්න තත්වයටයි පත් වෙන්නේ. ඇත්තටම හුඟක් වෙලාවට වෙන්න ඉඩ තියෙන්නේත් මේ දේම තමයි.

    පොඩ්ඩක් බලන්න අද දවසේ කොයි තරම් නම් දෙනෙක් තමන්ගේ මතයකට විරුද්ධව කවුරුහරි දෙයක් කලොත් හරි කිව්වොත් හරි මොන තරමින් කේන්ති ගන්නවාද කියලා. පීඩාවට පත් වෙච්ච කෙනෙක්ව සනසවන්න දෙයක් කවුරු හරි කිව්වොත් ඒකටත් කේන්ති ගන්නවා. අර වඳින්න ගිය දේවාලේ ඉහේ කඩා වැටුනා වගේ කියන්නේ ඔය වගේ වෙලාවලටනේ. සමහරවිට මේ වගේ වෙලාවට තරහා ගිය කෙනා අනිත් අයට දොස් කියන්නත් පුළුවන්. අපිට මේ වගේ වෙලාවකදී කේන්ති ගත්ත කෙනෙක්ව දක්වන්න පුළුවන් හරියට විෂකරු සර්පයෙක්ව ඉනේ ගහගෙන ඉන්න කෙනෙක් විදියට. කේන්තියේ තියෙන භයානක කම නොදැනීම ඒ තරම්ම භයානකයි. ඉතින් කවුරු හරි බලාපොරොත්තු වෙනවා නම් කේන්තිය අතහැරලා දාන්න නැත්නම් ප්‍රතික්ෂේප කරන්න ඒ කෙනා කේන්තියේ තියෙන මේ දෝෂ සහගත බව දකින්න ඕනා. ධර්මයේදී මේ ගැන දැක්වෙන අවස්ථාවක් තියෙනවා. එක අවස්ථාවකදී චන්න කියලා පරිබ්‍රාජකයෙක් ආයුෂ්මත් ආනන්ද හාමුදුරුවන්ගෙන් අහනවා ස්වාමීන් වහන්ස රාග, ද්වේෂ, මෝහ කියන්නේ කුමක් උරුම කරන් පවතින්නක්ද ? එයින් ඉවත් වෙන්න පුළුවන්ද කියලා. මේ වෙලාවේදී ආනන්ද හාමුදුරුවෝ ලස්සන උත්තරයක් චන්නට දෙනවා. මොකක්ද ඒ ?

    ආවුසෝ - මා මිතුරු චන්නයෙනි, ධුත්තෝ - කේන්ති ගත හැකි පුද්ගලයා, දෝසේන අභිභූතෝ - කේන්තියෙන් පරාජයට පත්ව, පරියාදානම් චිත්තෝ - සියළුම උත්තම සිතිවිලි පිහිදා දාමින් - අත්තව්‍යාදපාදයාපි චේතීති - තමන්ගේ දුකට පත්වීම සඳහා මාර්ගය පාදා ගනී. පරව්‍යාපාදයාපි... උභයව්‍යාපාදයාපී...- තමන්ටත් අන්යන්ටත් හානියට දුකට පත්වන දේ කිරීමට කටයුතු කරයි. කායේන - ශාරීරිකව, දුක්චරිතම් - මරණය වැනි නරක ක්‍රියාවන්, කරේති - සිදු කරයි. වාචාර - වචනයෙන්ද, මනසා - මානසිකවද දුක්චරිතම් - අන් අයගේ ශරීරයට,දේපලට හානි කිරීම බලාපොරොත්තුවෙන් නරක වචන භාවිතා කරයි. ධර්මයේ මේ විදියට දැක්වෙන කේන්තියේ හා ඉවසිල්ලේ ආකාරය ගැන හිතලා, ඒ ගැන දැකලා කෙනෙක්ට කේන්තියෙන් වැලකෙන්න පුළුවන්. බලන්නකෝ,

    කවුරුහරි කෙනෙක් තමන්ගේ හිතේ තරහවක් ඇති කර ගන්නවා කියන්නේ ඒ කෙනා දුක් සහිත පුද්ගලයෙක් වෙන බවයි කියන්න අවශ්‍ය නෑ නේ. තමන් කලින් විඳපු සතුට සැනසීම මේ නිසා නැතිව යනවා. මානසික ආතතිය ඇති වෙන නිසා එයාගේ පෙනුම වෙනස් වෙනවා වගේම නොසතුටට ඇති කරවනවා. කේන්ති ගත්ත කෙනා නලියන තත්වයට පත් වෙනවා ඔයාලා දැකලා ඇති. ඒ වගේ ම වඩ වඩා ශාරීරිකව වගේම මානසිකව පීඩාවට පත්වෙද්දී ප්‍රචණ්ඩත්වයට පත්වෙනවාත් දැකලා ඇති. සමහර විට මිනීමැරුමක් කරන්න නැත්නම් අසභ්‍ය වචනෙන් කාට හරි බනින්න කේන්තිය ඒ කෙනාව මෙහෙයවන්න පුළුවන්. මේ විදියේ කෙනෙක් තමන් කරපු දේවල් දිහා ආපසු හැරිලා බැලුවාම පසු තැවෙනවා ඒක අනිවාර්යයි. අනික් අතට අපරාධයක් කලා නම් ඒකට ඳඩුවම් විඳින්නත් සිද්ධ වෙනවා. එතනදිත් ඉතින් පත්වෙන්නේ දුකටම තමයි. මේ කේන්තිය ගැන පුංචි වගේම සරල විස්තරයක්. ඔයාලාත් ජීවිතයේදී මේ වගේ තත්වයකට මුහුණු දීලා නැත්නම් පුදුම වෙන්න පුළුවන් ඒ ගැන.

    කෙනෙක් කේන්තිය නිසා අනිත් අයව දුකට පත් කිරීම මීට වඩා ටිකක් භයානකයි. හුඟක් වෙලාවට මිනිස්සු අනිත් මිනිස්සුන්ව තමන්ගේ වචන පාවිච්චියෙන් නොසතුටට පත් කරනවා. චෝදනාවකට කෙනෙක් ලක් වුනාම එයා කොයි තරම් නම් විඳවනවාද කියලා මන් කියන්න අවශ්‍ය වෙන්නේ නෑනේ.
    මේ ආත්මභාවයේදීම කේන්ති ගත් පුද්ගලයාට පඩිසන් දීමක් සිදු නොවුනත් නුදුරු ආත්ම භාවයකදී ඒ කෙනා දුක්ඛිත ආත්මභාවයක් ලබනවා. හිතන්න, යමෙක් කේන්තියෙන් ඉඳලා නමුත් තමන් කල කුසල කර්මයක් හේතුවෙන් මනුෂ්‍ය ආත්මයක් ලබනවා කියලා. එක්කෝ එයාගේ ආයුෂ කොටයි. එහෙම නැත්නම් පෙනුම අප්‍රසන්නයි. නොයෙකුත් දුක්ඛිත ලෙඩ රෝග හැදෙනවා. කේන්තිය කේන්ති ගත් පුද්ගලයා වගේම ඒ කේන්තියට භාජනය වුන පුද්ගලයාටත් හානි කරනවා. ඒ ගැන හොඳින් හිතන්න.... මේ විදියට කේන්තියේ තියෙන දෝෂ දකින්න උත්සහ කරන්න..
     

    hpalpola

    Well-known member

  • 4.


    මීළඟට අපි බලමු ක්ෂාන්තිය නැත්නම් ඉවසීමේ ප්‍රතිඵල මොනවාද කියලා. ඉවසීම නැත්නම් මින් ඉදිරියට මන් ක්ෂාන්තිය කියලා හඳුන්වන ධර්මය තමයි වෛරයට ප්‍රතිවිරුද්ධ ධර්මය. නැත්නම් අදෝෂ විදියටත් හඳුන්වන්න පුළුවන්. මෛත්‍රියටත් සමාන තත්වයක් ක්ෂාන්තිය දැක්වුවත් ගැඹුරින් බලන කොට පේනවා මෛත්‍රිය ක්ෂාන්තියට වඩා විශේෂයි කියලා. ක්ෂාන්තියේදී කුමනාකාරයේ තරහා ගැස්වීමක් ආවත් නරකක් නපුරක් කරන්නේ නැතිව ඒ අවස්ථාවේ ඉවසීමෙන් සිටීම අදහස් වෙනවා. නමුත් මෛත්‍රියේදී ඊට වඩා දුරට ගිහිල්ලා අනිත් අයට මොනම අවස්ථාවකදී වුනත් යහපත් ප්‍රර්ථනා කිරීමත් අන් අයගේ සතුට නිරන්තරයෙන් ප්‍රර්ථනා කිරීමත් දකින්නට පුළුවන්. විශුද්ධි මාර්ගයේ පහත දැක්වෙන ආකාරයට ක්ෂාන්තියේ වටිනාකම් දක්වලා තියෙනවා. ඒ කොහොමද කියනවානම්,

    ඛන්තී පරමං තපො තිතික්ඛා - මේ පාලි පාඨයේ අරුත විදියට දකින්න පුළුවන් ඉවසීම පරම තපසය යන්න.

    ඛන්තීබලං බලාණිකං - මේ තුලදී අදහස් කරන්නේ ක්ෂාන්තිය බලය කොට ගෙන ඇති ක්ෂාන්තිය බල ඇණි කොට ඇති ඔහු බ්‍රහ්මණයා යයි කියමි යන්නයි. බුදුහාමුදුරුවන්ගේ දේශනාවක්. මේ තුලින් අරුත් ගන්වන්නේ තව දුරටත් කියනවානම් වෛරය පරද්දන්න පුළුවන් ආකාරයේ ක්ෂාන්තිය හරියට සතුරන් පරද්දන්න පුළුවන් හමුදාවක් විදියට සැලකිය හැකි බවයි. ඒ නිසා බුදුහාමුදුරුවෝ ඒ ආකාරයේ ක්ෂාන්තියක් දරා සිටින තැනැත්තා බ්‍රහ්මණයෙක් නැත්නම් උත්තම පුරුෂයෙක් විදියට හැඳින්වූවා.

    සදත්තපරම අත්ත, ඛන්ත්‍රිභියො නා විජ්ජාතී - මේ පාලි පාඨයේ අරුත සියළුම අවස්ථාවන්ගෙන් වඩාත් උතුම් වන්නේ තමන්ගේ ලැබීම් වන බවත්, ඒ අතරිනුත් ඉවසීමෙන් ලැබෙන ප්‍රතිඵල කිසිවකින් පහත දැමිය නොහැකි බවත්. සක්‍ර දෙවියා විසින් මේ විදියට දක්වා ඇති අයුරින් අපිට පුළුවන් ක්ෂාන්තියේ ඇති වටිනාකම දකින්න.

    මේ ආකාරයට දක්වද්දී ක්ෂාන්තිය උත්තම වගේම යහපත්ම පුහුණු කිරීම විදියට දක්වන්න පුළුවන්. යමෙක්ට ක්ෂාන්තිය තියෙනවා කියන්නේ තමන්ට එන ඕනාම ආකාරයේ විවේචනයක්, අපවාදයක් හමුවේ නොසැලී ඉන්නට පුළුවන් කියන එකයි. මේ විදියට ඉන්න පුළුවන් කෙනාගේ කීර්තිය ලෝකය පුරාම ප්‍රසිද්ධ වෙනවා. අන් අයගේ ගෞරවාදරයට එකී තැනැත්තා පත් වෙනවා. කිසිම කෙනෙක් ඔහුත් එක්ක වෛරයෙන් ඉන්නේ නෑ. ඒ වගේම දුෂ්කර අවස්ථා වලදී උපකාරයට උවමනා තරම් පිරිස් ඔහු වටේ සිටිනවා ක්ෂාන්තිය නිසා.

    කෙනෙක්ට එල්ල වෙන වාචික ප්‍රහාරයකට උත්තර දෙන්න ගියාම ඒ තුලින් උණුසුම් විවාදයක් දෙපාර්ශවය අතර ඇති වෙන්න පුළුවන් වගේම තවත් දුර‍ට ගොස් එතන රණ්ඩුවක් වුනත් ඇති වෙන්න පුළුවන්. එදිනෙදා ජීවිතයේදී මේ තත්වයන් ඔයාලා අත් විඳලා ඇති. කේන්තියේ ප්‍රතිඵලයක් විදියට දෙපාර්ශවයක් මුළු ජීවිත කාලය පුරාවටම තරහකා‍රයෝ වෙලා ඉන්න පුළුවන්. නමුත් ක්ෂාන්තිය ඇති කර ගත්තොත් මේ එකක්වත් ඇති වෙන්නේ නෑ. ඒ බව අපිට අපේ මනසින් දකින්න පුළුවන් වෙන්න ඕනා. එසේ හෙයින් බුදුරජාණන් වහන්සේ විසින් මෙලෙසට භික්ෂූන්ට ප්‍රාතිමොක්ඛයක් පණවනවා.

    ඛන්තී පරමං තපො තිතික්ඛා නිබ්බාණංපරමංවදන්ති... විදියට.මේ ගැන ඉස්සෙල්ලා කෙටියෙන් දැක්වූවා. නිබ්බාණ කියන්නේ අති උතුම් සහ දැනීමනේ. බුදුහාමුදුරුවෝ තමන්ගේ ඉගැන්වීම් වලදී දක්වන්නට යෙදුනා සෑම ආකාරයකම වාගේ ඉගැන්වීමක්ම නිසි ලෙස පුහුණු කරන්න ලැබෙන්නේ එතන ක්ෂාන්තිය නැත්නම් ඉවසීම තියෙනවානම් කියලා. අපි දානයක් දෙනවානම් ඒ දානයේ මහත්ඵල මහානිසංශ ගන්න අවශ්‍යනම් අපි හොඳ ඉවසිල්ලෙන් ඒ ‍දානය දෙන කටයුතු කරන්න ඕනා. ශීලය ආරක්ෂා කරනවානම් එතනදිත් ඉවසීම අනිවාර්යමයි. ඒ බව විස්තර කරන්න අවශ්‍යය නෑ නේ. භාවනාව පුහුණු කරද්දී වගේම දියුණු කරද්දිත් ඉවසීම අනිවාර්යියි. බලන්නකො අපි මනස නිදහස් කරන්න හදද්දී නොයෙකුත් ආකරයේ සිතිවිලි පහල වෙනවා. ඒ වගේම තමයි අත, පය, ඇඟ රිදෙන්න ගන්නවා. නොයෙකුත් වේදනාවන් ඇති වෙනවා. ඒ හැම දේම හොඳ ඉවසීමක් යුතුව දැකලා වීර්යය කලේ නැත්නම් ඉතින් සමාධිය ඇති කර ගන්නවා කියන දේ ප්‍රායෝගික නෑ. හිතන්න්කෝ කකුල හිරි වැටෙන සැරයක් සැරයක් ගානේ හිඳන් ඉන්න හැටි වෙනස් කරන්න ගියොත් කොහොමද අපි සමාධිය කඩන්නේ නැතිව තියා ගන්නේ කියලා. ඉතින් සමාධිය ලබා ගන්න අමාරු වෙද්දී විපස්සනා අත් කර ගන්නේ කෝමද? හොඳ ඉවසීමෙන් විමර්ශනය කරනු ලැබූවෙකුට තමයි ධ්‍යාන සමාධි අත්කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට විතරයි මාර්ග ඵල ඥාණ ඇතිව විපස්සනා අත් කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ විදියට බැළුවම ක්ෂාන්තිය කියන්නේ උත්තම පුහුණුවයි කියන්නේ ඇයි කියලා තේරෙනවා ඇතිනේ.

    පරණ කියමනක් තියෙනවා ඉවසීම සැනසීම ගෙනෙයි කියලා. සැනසීම කියන්නේ වෙන මොකුත් නෙමෙයි නිර්වාණය. ඉතින් මේ කියමනේ සරලම අරුත තමයි ඉවසීම නිර්වාණය අත් කරනවා කියන එක. බලන්නකෝ අපි නිවන් දකින්න නම් දස පාරමිතා සම්පූර්ණ කරන්න ඕනානේ. ඒ හැම පාරමිතාවක්ම ඉතා පහසුවෙන් සම්පූර්ණ කරන්න පුළුවන් ඉවසීම අදාල කර ගත්තොත්. ඔයාලා නුවණින් විමසනවානම් ඒ මාර්ගය පැහැදිලි වෙයි. මේ පාරමිතා අතරින් අධිෂ්ඨාණ, වීර්යය සහ ප්‍රඥා පාරමිතා තමයි නිර්වාණයට වඩාත් ලඟ පාරමිතා. නිර්වාණය ලැබීමේ අධිෂ්ඨාණයෙන් යුක්තව ප්‍රඥාවෙන් යුක්තව වීර්යය වැඩුවොත් විතරයි ආර්යය මාර්ග ඥාණ සහ විපස්සනා ඥාණය සම්පූර්ණයෙන්ම අත්කර‍ගන්න පුළුවන් වෙන්නේ. මනා ඉවසීමෙන් යුක්තව උත්සහයෙන් පුහුණුකළොත් අරහත්භාවයට පත් වෙන්න පුළුවන්. ඒ වගේ අරහත් ඵලයට පත්වෙච්ච තැනැත්තෙක් තමයි මනා ඉවසීමෙන් සන්නද්ධ උසස් බ්‍රාහ්මණයෙක් කියලා කියන්නේ. ඒකයි බුදුහාමුදුරුවෝ දේශනා කලේ. නිර්වාණය කරා මෙහෙයවන උසස්ම පුහුණු කිරීම එය වන බවට ඉතින් කුමන කථාද?

    මෛත්‍රිය වැඩීමේදී ක්ෂාන්තිය පුහුණු කිරීම අනිවාර්යෙන්ම අවශ්‍යමයි. කේන්තිය නොමැතිව ඉවසීම පුහුණු කරද්දී තමයි මෛත්‍රිය සහ සමාධිය වැ‍ඩෙන්නේ. මේ හේතුව නිසායි මෛත්‍රිය වර්ධනය කිරීමට කලියෙන් ක්ෂාන්තියේ නැත්නම් ඉවසීමේ තියෙන වටිනාකම් දකින්න මගපෙන්වීමක් කරන්නේ.
     

    hpalpola

    Well-known member

  • 5.

    මෛත්‍රිය වඩන හැටි.

    තරහවේ ඇති දොස් දැකලා ඉවසීමේ තියෙන ගුණය දැකලා තරහව ඈත් කරන ගමන්ම ඉවසීම පුහුණු කරමින් මෛත්‍රිය වඩන්න අවශ්‍යයි කියන එක මේ අනුව පැහැදිලි වෙන්න ඇති. මෛත්‍රිය වැඩීමේ එක් ක්‍රමයක් තමයි පාරමිතා සම්පූර්ණ කිරීම සහ කුසල් වැඩීම. අනිත් ක්‍රමය තමයි ධ්‍යාන සමාධිය ලැබෙන්න මෛත්‍රිය වර්ධනය කිරීම. මේ විදියට දෙවර්ගයක් තියෙනවා. විශුද්ධි මාර්ගය බොහෝම තාර්කිකව වගේම උසස් විදියට දක්වලා තියෙනවා ධ්‍යාන සමාධිය අත්කර ගැනීමට සඳහා මෛත්‍රිය වර්ධනය කරන ආකාරය ගැන. මුල් අවස්ථාවේදී සහ මෛත්‍රිය පතුරුවන අවස්ථාවේදී කාවද අත හරින්න ඕනා වගේම මෛත්‍රී වැඩීමේදී සම්පූර්ණයෙන්ම කාවද අතහරින්න ඕනා කි‍යන දේ ගැන එහිදී දක්වලා තියෙනවා.

    මෙත්තා භාවනාව සම්බන්ධයෙන් ගත්තාම, භාවනා කරමින් මෛත්‍රිය පැතිරවීමේදී මනුෂ්‍යයෝ ගැන හරි ඇසට පෙනෙන හෝ ඇහෙන එහෙමත් නැත්නම් මනැසට පෙනෙන ජීවත් වෙන අනිකුත් සතුන් කෙරෙහි මනසින් සිතමින් මෛත්‍රිය පුහුණු කරන්න පුළුවන්. සුත්තාන්ත පාලියේ සහ අට්ඨ කථා වලදී මේ සම්බන්ධයෙන් භාවනා වාක්‍යයන් විදියට සුවපත් වෙත්වා හෝ සියළු සත්වයෝ සුවපත් වෙත්වා නිරෝගී වෙත්වා (සුඛිතා හොන්තු හෝ සබ්බේ සත්ථා භවන්තු සුඛිතත්ථා) දැක්වලා තියෙනවා. සරලවම ගත්තාම මෙන්න මේ විදියට හොඳහිත පතුරුවන්න පුළුවන්.

    සියල්ලෝම සුවපත් වෙත්වා (දෙවරක්) ...​

    මෙනිසා, කෙනෙක් තමන්ගේ නිවහනේ ඉඳිද්දී හරි වැඩ කරද්දී හරි ඇවිදිද්දී හරි තමන්ට දකින්න පේන්න ලැබෙන පුද්ගලයෙකුට හරි ජීවත්වෙන සත්වයෙක්ට හරි ‍හිතේ පිරිසිදුබව තියාගනිමින් යටිහිතේ වෙනත් දෙයක් රඳවගන්නේ නැතිව මුළු හදවතින්ම ඒ අය සම්බන්ධයෙන් ඔහුට සුවපත් වේවා කියලා මෛත්‍රී හැඟීමක් ඇති කරගන්න පුළුවන්. ඒ විදියටම මෛත්‍රියේ තිබෙන ශක්තිය තමන්ගේ හදවතේ ගැඹුරින්ම මානසිකව සියල්ලන්ම සුවපත් වේවා කියලා කියමින් වර්ධනය කර ගන්නත් පුළුවන්. සෑම සත්වයෙක්ම සැපට කැමති නිසා මේ ක්‍රමයට මෛත්‍රිය පතුරවීම පහසු වගේම ප්‍රතිඵලදායී ක්‍රමයක් බව ඔබට පෙනේවි. මේ ආකාරයට මනස මුල්කරගනිමින් මෛත්‍රිය වර්ධනය කිරීම මෙත්තා මනෝකම්ම කියලා හඳුන්වනවා. තවත් වෙලාවකදී අපි බුදුන් වඳිද්දී මුමුණමින් සියළු සත්වයෝ බිය නැත්තෝ වෙත්වා (සබ්බේ සත්ථා අවේරා හොන්තු..) ආදී වශයෙන් මෛත්‍රිය වර්ධනය කරන අවස්ථා තියෙනවා. මේ විදියට මෛත්‍රී සහගත හැඟීමක් වචන වලින් පිට කිරීම හඳුන්වන්නේ මෙත්තා වචීකම්ම කියලා. ඉතින් සියල්ලන්ම සුවපත් වේවා කියලා අපි කියද්දී එතන මෙත්තා වචීකම්ම සිදු වෙනවා.

    මේ විදියට මානසිකව සහ වාචිකව මෛත්‍රිය වර්ධනය කරද්දී අනිත් අය සම්බන්ධයෙන් පුළුවන් හැම වෙලාවකදීම ශාරීරිකවත් ‍අනිත් අයට සැප අත්වෙන ආකාරයට උදව් උපකාර කිරීම ගැනත් අවධානය යොමු කරන්න අවශ්‍යයි. අනිත් අතට අපි මනසින් වගේම කටිනුත් සියළු සත්වයෝ සුවපත් වෙත්වා කියලා සතුන්ට හිරිහැර කරනවානම් එතකොට ඉතින් අපේ මෛත්‍රියේ ප්‍රතිඵලයක් අත් වෙන්නේ නෑ නොවැ. ඒ හින්දා මෛත්‍රියේ ප්‍රතිඵල ඇත්තටම අත්කරගන්න අවශ්‍යනම් ශාරීරිකවත් ඒ ක්‍රියාවලියට දායක වීම අවශ්‍යයි කියලා ඔයාලට පෙනෙනවා ඇති. උදාහරණයක් විදියට අපි අඩි පාරක ගමනක් යද්දී අපි ඉස්සරහට එන කෙනෙක්ට මෛත්‍රිය පතුරුවනවා නම් ඒ කෙනා ගෞරවය ලැබිය යුතු කෙනෙක් නම් එයාට පාරේ යන්න ඉඩ දීමත් අවශ්‍යයි. ඒ වගේ හැසිරීමක් එතකොට ප්‍රඥාවන්ත සිතිවිල්ලකින් යුතුව සිදු කරන හොඳ ක්‍රියාවක් වෙන නිසා මෙත්තාවේ පලදායී අවස්ථාවක් බවට පත්වෙනවා.

    ගමනක යෙදෙන කෙනෙක් අන් අය කෙරේ මෛත්‍රිය පැතිරවීමේදී තමන් එක්ක ගමන් කරන අනෙක් මගියන්ට ප්‍රමාණවත් සුව පහසුව ඇති වෙන විදියට, ඉඩ පහසුකම් ඇති ආකාරයට කටයුතු කරන්න උපරිම උත්සහය ගන්න ඕනා. වාඩිවෙන්න ආසනය දෙන්න එහෙම නැත්නම් එල්ලන් යන බෑග් එක අරගෙන ඒ බර සැහැල්ලු කර ගන්න උදව් කරන්න වගේ දේවල් අපිට හිතන්න පුළුවන්. වාණිජ කටයුතු වල යෙදිලා ඉන්න කෙනෙක් නම් ඒ ගැන නොදන්න කෙනෙක්ට අවශ්‍ය උපකාර කරන්න ඉදිරිපත්වීම මෙත් සිතිවිල්ලක් මුල් වෙච්ච ක්‍රියාවක් විදියට සලකන්න පුළුවන්. කාරුණිකව සහ මිහිරි විදියට කථා කරන්න. සිනහසුන මුහුණින් යුතුව උදව් උපකාර කරන්න. තමන්ට පුළුවන් උපරිම විදියට අන් අයට උදව් කරන්න. මේවා තමයි නියම විදියට අන් අය කෙරේ හොඳ හිත පතුරුවන්න වගේම මෛත්‍රිය වර්ධනය කරන්න තියෙන ක්‍රම. මිහිරි විදියට කථා කිරීම මෙත්තා වචීකම්ම වෙද්දී ශාරීරිකව කරන උදව් මෙත්තා කායකම්ම වෙනවා.
     
    Last edited:

    hpalpola

    Well-known member
  • 6.


    528 ආකාරයෙන් මෛත්‍රිය වර්ධනය කිරීම

    මෙත්තා ධ්‍යාන ලබාගත් අයගේ අත්දැකීම් අනුව 528 ආකාරයෙන් මෛත්‍රිය වඩන ආකාරය සම්බන්ධයෙන් පටිසම්භිදාමග්ග පාළියේ මාර්ගය දක්වලා තියෙනවා. අද වෙනකොට අපි දන්නවා ප්‍රධාන වශයෙන්ම භික්ෂුවකගේ යුතුකමක් වගේම උපාසකයන්ගේ යුතුකමක් තමයි මෛත් වැඩීම කියලා. ඒ වෙනදේකට නෙමෙයි අපිට පාරමිතා සහ කුසල් වර්ධනය කිරීම සඳහා. ලංකාවේ අපි වැඩිය භාවිතා නොකලට තායිලන්තයේ බුරුමයේ වගේ රටවල මේ වෙනුවෙන් වැඩි ඉඩක් වෙන් වෙලා තියෙන බව දකින්න ලැබෙනවා. ඒ සඳහා සජ්ජායනා වෙන පාලි වාක්‍ය කොටසක් තියෙනවා. ඔයාලා අහලත් ඇති. කොහොම වුනත් අපි නැවතත් ඒ ගැන අවධානය යොමු කරමුකෝ.

    ස‍බ්බේ සත්ථා, සබ්බේ පානා, සබ්බේ භූතා, සබ්බේ පුග්ගලා, සබ්බේ අත්තභාවපරියාපනා තමයි පාලි වාක්‍ය ඛණ්ඩය. ‍මෙතන ප්‍රධාන වශයෙන්ම කොටස් පහක් තියෙන බව පේනවා ඇති. මේ කොටස් පහෙන් කිසිම වෙනසක් හා සීමාවක් නැතිව සෑම සත්වයෙක්ම ඇතුලත් කරනවා. ඒ අනුව සබ්බේ සත්ථා - සියළු සත්වයෝ, සබ්බේ පානා - හුස්ම ගන්න සියළු සත්වයෝ, සබ්බේ භූතා - ජීවත්වන සියළු සත්වයෝ, සබ්බේ පුග්ගලා - සියළුම පුද්ගලයෝ සහ සබ්බේ අත්තභාවපරියාපානා - ස්කන්ධ පරිහරණය කරන සෑම දෙනා කියන කොටස් ඇතුලත් වෙනවා. මේ හැම වචනයකින්ම සියළුම සත්වයෝ අන්තර්ගත වෙන බව පේනවා ඇති.

    මීළඟට, සබ්බේ ඉත්ථියෝ - සියළුම ස්ත්‍රියෝ, සබ්බේ පුරිසා - සියළුම පිරිමි, සබ්බේ අරියා - සියළුම ආර්යයෝ, සබ්බේ අනාරියා - සියළුම පෘථග්ජනයෝ, සබ්බේ දේවා - සියළුම දෙවිවරු සහ මීට ඇතුලත් වෙනවා බ්‍රහ්ම ආදී අභ්‍යවකාශයේ සියල්ලෝම, සබ්බේ මනුසා - සියළුම මනුෂ්‍යයෝ, සබ්බේ විනිපාතිකා - සතර අපායට අයත් සත්වයෝ කියන වාක්‍ය ඛණ්ඩය. මේ වචන වලින් වෙනස් ආකාරයේ සත්ව කොට්ඨාශ 7 ක් ගැන අවධානයට ලක් කරනවා. මොනවාද, ගැහැණු පිරිමි යුගල, ආර්ය අනාර්ය යුගල, ත්‍රිවිධාකාරයේ සත්වයෝ ඒ කිව්වේ දෙවියෝ, මනුෂ්‍යයෝ සහ අපායට අයත් අය. මේ විදියට මේ හත් ආකාරයේ සත්ව කණ්ඩායම් වෙන් වෙන් වශයෙන් අවබෝධ කරගෙන මෛත්‍රිය ඔවුන් වෙත පැතිරවීම ඕදිස මෙත්තා විදියටයි හැඳින්වෙන්නේ. අර මුලින් කිව්ව කොටස් පහේ දී එහෙම වෙනසක් දකින්න බැහැ, අසීමිතයි. සෑම සත්වයෙක්මයි දක්වන්නේ. ඒ විදියට අසීමිතව සහ වෙනසක් නැතිව පතුරුවන මෛත්‍රිය අනෝදිස මෙත්තා විදියට හැඳින්වෙනවා.

    මෛත්‍රිය වැඩීමේදී මේ කණ්ඩායම් දෙක එකතු වුනාම එතන කොටස් 12 වෙනවා. මේ 12 සමග සජ්ජායනා කරනවා මේ දක්වන පද 4.. අවේරා හොන්තු - සියළු උවදුරු වලින් දුරු වෙත්වා, අව්‍යපාජා හොන්තු - මානසික පීඩාවන්ගෙන් දුරු වෙත්වා, අනීඝා හොන්තු - ශාරීරික පීඩාවන්ගෙන් දුරු වෙත්වා, සුඛී අත්තානම්පරීහරන්තු - සුවසේ තමන්ගේ ආත්මභාවය පරිහරණය කරන්නෝ වෙත්වා සමග. මේ අන්තිටම කියාපු පදය යහපත පතුරුවන බව පේනවා ඇති. ඒ පදය හුඟක් තේරුම් සහිතයි. හැම සත්වයෙක්ම නොයෙකුත් ආකාරයේ අනතුරු, පීඩා වලට විවෘතයි. තුවාල වෙනවා. තැලීම් වෙනවා. නොයෙකුත් ලෙඩ රෝග හැදෙනවා (දුක්ඛ වේදනා). මේ සේරම පංචස්කන්ධයට වෙන්නේ. ඉතින් යහපත් ශාරීරික සෞඛ්‍යය පවත්වාගෙන යන්න කෙනෙක් හුඟක් දේවල් කරනවා. ශාරීරික අනතුරු, දුක් පීඩා වලින් දුරස් වෙන්න දුරස් වෙන්න තමයි මානසික සුවය ලබාගන්න පුළුවන් වෙන්නේ. නීරෝගී මනසක් අවශ්‍යයි නිවන් දකින්න. නිරෝගී මනසක් තියෙන්නේ නිරෝගී ශරීරයක බව අමතක කරන්න හොඳ නෑ අපි. ඉතින් කවුරු හරි පංචස්කන්ධය හොඳින් පවත්වාගෙන යනවා කියන්නේ එයාට ලෞකික සැප හරි කියන එකයි. ඒ නිසා තමයි මේ අන්තිමට කියපු සුවසේ ආත්මභාවය පරිහරණය කරන්න ලැබේවා කියන දේ වටින්නේ.

    මේ විදියට සබ්බේ සත්ථා අවේරා හොන්තූ කියමින් මෛත්රි ය වර්ධනය කරද්දී, 5 ආකාරයෝ අනොදිස මෙත්තා සමග මෛත්‍රිය දියුණු කරන ආකාර 4 සමග එක්වීමෙන් එතන ආකාර 20 ක් ඇති වෙනවා. මේ අනුව ගණනින් 20 ක් විදියට අනොදිස මෙත්තාව දක්වන්න පුළුවන්. තව දුරටත් සබ්බේ ඉත්ථියෝ ආදී වශයෙන් ඒත් සමග එක්ව අවේරා හොන්තු ආකාරයෙන් මෛත්‍රිය පතුරවද්දී එතනදි අවස්ථා 28 ක් ඇති වෙනවා. මෙය 28 ආකාරයේ ඕදිස මෙත්තා විදියට හඳුන්වන්න පුළුවන්.දැන් මෙතනට අනොදිස මෙත්තා 20 එක් කළාම ගණනින් 48 ක් වෙනවා. මේ ආකාරයට දිශාවන් වශයෙන් වෙන් නොකර මෛත්‍රී භාවනා වර්ධනය කිරීම දිශා අනොදිස මෙත්තා විදියට හැඳින්වෙනවා.

    මේ විදියටම, නැගෙනහිර පැත්තේ - පුරත්ථමායා දිසායා ජීවත් වෙන සියළුම සතුන් මුල් කරගෙන සබ්බේ සත්ථා අවේරා හොන්තු ආකාරයෙන් මෙත්තාව වර්ධනය කිරීම ගණනින් 48 ක් වෙනවා. මේ විදියට අපි ‍මාලිමාවක් ගත්තම ඒකේ දැක්වෙන ආංශතියන්ට මෙත්තාව පතුරුවන්න පුළුවන්. උතුරට (48), බස්නාහිරට (48), දකුණට (48) වගේම අනුදිශාවන් ඊශාන දිග (48), ගිණිකොන දිග (48), නිරිත දිග (48), වයඹ (48) සහ මීට අමතරව උඩට සහ පහතට - හෙට්ටිමායා දිශායා (48) හා උපරිමායා දිශායා (48) විදියට සියළු දිශාවන් මුල් කරගෙන මෙත් වැඩීමේදී මෙතනදි 48 ඒවා 10 ක් 480 ක් බවට පත්වෙ නවා. මේ විදියට සියළු දිශාවන් මුල් කරගෙන කරනු ලබන මෙත්තාව දිශා ඕදිස මෙත්තා විදියට හැඳින්වෙනවා. මේ 480ට අර මුලින් කියපු දිශා අනොදිස මෙත්තා 48 එකතු වෙද්දී 528 ආකාරයේ මෙත්තාව ඇති වෙනවා.
     

    hpalpola

    Well-known member


  • ඉතින් මේ ගණනින් කියපු දේ ගැන අදහසක් ගන්න අපි මේ විදියට සජ්ජායනා කරමින් මෛත්‍රිය පතුරුවමු.

    1. සියළු සත්වයෝ උවදුරු වලින්, මානසික පීඩාවන්ගෙන්, ශාරීරික පීඩාවන්ගෙන් නිදහස් වෙත්වා. සුවසේ ආත්මභාවය පරිහරණය කරන්නෝ වෙත්වා (ආකාර 4යි).

    2. හුස්ම ගන්නා සියළු සත්වයෝ උවදුරු වලින්, මානසික පීඩාවන්ගෙන්, ශාරීරික පීඩාවන්ගෙන් නිදහස්
    වෙත්වා. සුවසේ ආත්මභාවය පරිහරණය කරන්නෝ වෙත්වා (ආකාර 4යි).

    මෛත්‍රිය වර්ධනය කිරීමේදී උවදුරු වලින් නිදහස් වෙත්වා කියද්දී එතනට සමාධි ගත වෙන මනස නිදහස් වෙත්වා කියද්දී අවසානයට පත් වෙනවා. මෙතනදි මේ ඇති වෙන නැති වෙන නාම රූප අපි අවධානයට ගන්න අවශ්‍යයි. එහෙම කර ගත්තොත් මෙතනදි සමථ මෙත්තා එක්කම විපස්සනාවත් යුගල වශයෙන් වර්ධනය වෙනවා. මේ විදියට දිගින් දිගටම සමථ හා විපස්සනා යුගල වශයෙන් අවධානයට ලක් කිරීම යුගානන්ද විපස්සනා විදියට හඳුන්වනවා. මේ අනුව අපි යුගානන්ද ක්‍රමවේදයට අනුව මෛත්‍රිය වර්ධනය කරමු.

    3. ප්‍රකටව පෙනෙන සියළුම ජීවත්වන සත්වයෝ උවදුරු වලින්, මානසික පීඩාවන්ගෙන්, ශාරීරික පීඩාවන්ගෙන් නිදහස් වෙත්වා. සුවසේ ආත්මභාවය පරිහරණය කරන්නෝ වෙත්වා (ආකාර 4යි).

    4. සියළුම පුද්ගලයෝ උවදුරු වලින්, මානසික පීඩාවන්ගෙන්, ශාරීරික පීඩාවන්ගෙන් නිදහස් වෙත්වා. සුවසේ ආත්මභාවය පරිහරණය කරන්නෝ වෙත්වා (ආකාර 4යි).

    5. ස්කන්ධභාව පරිහරණය කරන සියල්ලෝ උවදුරු වලින්, මානසික පීඩාවන්ගෙන්, ශාරීරික පීඩාවන්ගෙන් නිදහස් වෙත්වා. සුවසේ ආත්මභාවය පරිහරණය කරන්නෝ වෙත්වා (ආකාර 4යි). (දැන් මෙතන ආකාර 5 x 4 = 20 )

    1. සියළු සත්‍රියෝ ( මෙතනදි සත්‍රියෝ කිව්වාම ගැහැණු විතරක් නෙමෙයි දේවතාවි‍යෝ, ගැහැණු තිරිසන් සත්තු, කාන්තා අසුරයෝ වගේම අපාය වාසී කාන්තාවෝ පවා ඇතුලත් වෙනවා) උවදුරු වලින්, මානසික පීඩාවන්ගෙන්, ශාරීරික පීඩාවන්ගෙන් නිදහස් වෙත්වා. සුවසේ ආත්මභාවය පරිහරණය කරන්නෝ වෙත්වා (ආකාර 4යි).

    2. සියළු පිරිමි ( මෙතනදිත් අර ඉස්සෙල්ලා කිව්වා විදියටම දෙවියෝ ආදී විදියට ඇතුලත් වෙනවා) උවදුරු වලින්, මානසික පීඩාවන්ගෙන්, ශාරීරික පීඩාවන්ගෙන් නිදහස් වෙත්වා. සුවසේ ආත්මභාවය පරිහරණය කරන්නෝ වෙත්වා (ආකාර 4යි).

    3. සියළු ආර්යයෝ උවදුරු වලින්, මානසික පීඩාවන්ගෙන්, ශාරීරික පීඩාවන්ගෙන් නිදහස් වෙත්වා. සුවසේ ආත්මභාවය පරිහරණය කරන්නෝ වෙත්වා (ආකාර 4යි).

    4. සියළු පෘථග්ජනයෝ උවදුරු වලින්, මානසික පීඩාවන්ගෙන්, ශාරීරික පීඩාවන්ගෙන් නිදහස් වෙත්වා. සුවසේ ආත්මභාවය පරිහරණය කරන්නෝ වෙත්වා (ආකාර 4යි).

    5. සියළු දෙවියෝ, අභ්‍යවකාශය මුල් කරගෙන ජීවත් වන්නෝ උවදුරු වලින්, මානසික පීඩාවන්ගෙන්, ශාරීරික පීඩාවන්ගෙන් නිදහස් වෙත්වා. සුවසේ ආත්මභාවය පරිහරණය කරන්නෝ වෙත්වා (ආකාර 4යි).

    6. සියළු මනුෂ්‍යයෝ උවදුරු වලින්, මානසික පීඩාවන්ගෙන්, ශාරීරික පීඩාවන්ගෙන් නිදහස් වෙත්වා. සුවසේ ආත්මභාවය පරිහරණය කරන්නෝ වෙත්වා (ආකාර 4යි).

    7. අපාය වාසී සියල්ලෝ උවදුරු වලින්, මානසික පීඩාවන්ගෙන්, ශාරීරික පීඩාවන්ගෙන් නිදහස් වෙත්වා. සුවසේ ආත්මභාවය පරිහරණය කරන්නෝ වෙත්වා (ආකාර 4යි). ( දැන් මෙතන ආකාර 7 x 4 = 28 )

    මේ තමයි 28 ආකාරයේ ඕදිස මෙත්තාව. ඉස්සෙල්ලා කියාපු විසි (20) ආකාරයේ අනොදිස මෙත්තාව මෙතනට එක් කල විටදී ඔන්න 48 ආකාරයේ මෙත්තා ඇති වෙනවා. ඉන් පසුව අපිට පුළුවන් නැගෙනහිර දිශාවෙන් පටන් අරන් අනිකුත් සෑම දිශාවක්ම මුල් කරගෙන සෑම වාක්‍යයකම 48 ආකාරයේ මෛත්‍රිය ඇතුලත් වන ආකාරයෙන් මෛත්‍රිය වර්ධනය කරන්න. මේ ආකාරයේ මෙත් වැඩීම සෑම බෞද්ධයෙක්ටම කරන්න පුළුවන්. හරිම ලේසියි. මහ ලොකු අධ්‍යාපනයක් නොලබපු කෙනෙක්ට වුනත් තේරුම් ගන්න පුළුවන්. අපි පටන් ගමු..

    1. නැගෙනහිර දිශාවේ සියළු සත්වයෝ උවදුරු වලින්, මානසික පීඩාවන්ගෙන්, ශාරීරික පීඩාවන්ගෙන් නිදහස් වෙත්වා. සුවසේ ආත්මභාවය පරිහරණය කරන්නෝ වෙත්වා.
    නැගෙනහිර දිශාවේ හුස්ම ගන්නා සියළු සත්වයෝ උවදුරු වලින්, මානසික පීඩාවන්ගෙන්, ශාරීරික පීඩාවන්ගෙන් නිදහස් වෙත්වා. සුවසේ ආත්මභාවය පරිහරණය කරන්නෝ වෙත්වා.
    නැගෙනහිර දිශාවේ ප්‍රකටව පෙනෙන සියළුම ජීවත්වන සත්වයෝ උවදුරු වලින්, මානසික පීඩාවන්ගෙන්, ශාරීරික පීඩාවන්ගෙන් නිදහස් වෙත්වා. සුවසේ ආත්මභාවය පරිහරණය කරන්නෝ වෙත්වා.
    නැගෙනහිර දිශාවේ සියළුම පුද්ගලයෝ උවදුරු වලින්, මානසික පීඩාවන්ගෙන්, ශාරීරික පීඩාවන්ගෙන් නිදහස් වෙත්වා. සුවසේ ආත්මභාවය පරිහරණය කරන්නෝ වෙත්වා.
    නැගෙනහිර දිශාවේ ස්කන්ධභාව පරිහරණය කරන සියල්ලෝ උවදුරු වලින්, මානසික පීඩාවන්ගෙන්, ශාරීරික පීඩාවන්ගෙන් නිදහස් වෙත්වා. සුවසේ ආත්මභාවය පරිහරණය කරන්නෝ වෙත්වා.
    නැගෙනහිර දිශාවේ සියළු සත්‍රියෝ උවදුරු වලින්, මානසික පීඩාවන්ගෙන්, ශාරීරික පීඩාවන්ගෙන් නිදහස් වෙත්වා. සුවසේ ආත්මභාවය පරිහරණය කරන්නෝ වෙත්වා.
    නැගෙනහිර දිශාවේ සියළු පිරිමි උවදුරු වලින්, මානසික පීඩාවන්ගෙන්, ශාරීරික පීඩාවන්ගෙන් නිදහස් වෙත්වා. සුවසේ ආත්මභාවය පරිහරණය කරන්නෝ වෙත්වා.
    නැගෙනහිර දිශාවේ සියළු ආර්යයෝ උවදුරු වලින්, මානසික පීඩාවන්ගෙන්, ශාරීරික පීඩාවන්ගෙන් නිදහස් වෙත්වා. සුවසේ ආත්මභාවය පරිහරණය කරන්නෝ වෙත්වා.
    නැගෙනහිර දිශාවේ සියළු පෘථග්ජනයෝ උවදුරු වලින්, මානසික පීඩාවන්ගෙන්, ශාරීරික පීඩාවන්ගෙන් නිදහස් වෙත්වා. සුවසේ ආත්මභාවය පරිහරණය කරන්නෝ වෙත්වා.
    නැගෙනහිර දිශාවේ සියළු දෙවියෝ උවදුරු වලින්, මානසික පීඩාවන්ගෙන්, ශාරීරික පීඩාවන්ගෙන් නිදහස් වෙත්වා. සුවසේ ආත්මභාවය පරිහරණය කරන්නෝ වෙත්වා.
    නැගෙනහිර දිශාවේ සියළු මනුෂ්‍යයෝ උවදුරු වලින්, මානසික පීඩාවන්ගෙන්, ශාරීරික පීඩාවන්ගෙන් නිදහස් වෙත්වා. සුවසේ ආත්මභාවය පරිහරණය කරන්නෝ වෙත්වා.
    නැගෙනහිර දිශාවේ සියළු අපායවාසීහු උවදුරු වලින්, මානසික පීඩාවන්ගෙන්, ශාරීරික පීඩාවන්ගෙන් නිදහස් වෙත්වා. සුවසේ ආත්මභාවය පරිහරණය කරන්නෝ වෙත්වා.

    මින් පසුව අනිත් දිශාවන් 9 ත් මුල් කරගෙන මේ විදියටම මෙත් සිත පතුරුවන්න පුළුවන්. මෙතනදි සිරස් දිශාවේ සහ පහත දිශාවේ ජීවත් වෙන දෙවියෝ මිනිස්සු සහ අපායේ ඉන්න සත්තු කවුද කියන එක ගැන ප්‍රශ්ණයක් ඇති වුනොත් ඒ ගැන හොඳින් හිතන්න.

    මේ විදියට අපි 528 ආකාරයේ මෙත් වැඩීම සිදු කරන්න පුළුවන්. බැලුවම හුඟක් වෙලා යනවා වගේ පේනවත් ඇති. නමුත් මේ විදියට තමයි මෙත්තා ධ්‍යාන ලබා ගත්ත පුද්ගලයෝ ඒ ධ්‍යාන ලබා ගත් හැටි ප්‍රකාශ කරලා තියෙන්නේ. කෙනෙක්ට තාම ධ්‍යාන ලැබිලා නැති වුනත් මේ විදියට මෛත්‍රිය පතුරුවන්න පුළුවන්. යම් විදියකින් ධ්‍යාන ලබා ගන්න නොහැකි වුනත් ඵලදායී ප්‍රතිඵල අත්කරගන්න පුළුවන්.
     

    hpalpola

    Well-known member


  • ක්ෂණයක කාලයක්වත් අන්යන්ගේ සතුට වෙනුවෙන් භික්ෂුවකගේ සිතේ මෛත්‍රිය පවත්වා ගැනීමට හැකි වේ නම්, එකී සිතුවිල්ල නොකැඩෙන ඒකාග්‍රතාවයෙන් ඇති වේ නම් එසේ අන් අය කෙරේ නොසැලෙන මෛත්‍රිය පැතුරවීමට සමත් භික්ෂුව ධ්‍යාන සම්පත් නැති අයෙක් සැලකිය නොහැක. ඔහු තථාගතයන් වහන්සේගේ මාර්ගය නියමාකාරයෙන් පිළිපදින්නෙක් වේ. (අංගුත්තර - ඒකනිපාත‍- 53 සූත්‍රය 54/55 ඇසුරින්) එසේම ඔහු පළාතේ ජනතාව ලබාදෙන දානය පිළිගැනීමට සුදුස්සෙක් වේ. එහෙනම් කොහොමද නිතරම මෛත්‍රිය වඩවන කෙනෙක් ධ්‍යාන සම්පත් වලින් තොර වෙන්නේ කියලා හිතන්න පුළුවන්. ඒ තමයි බුද්ධ දේශනාව. ධ්‍යාන සම්පත් නැති වුනත් ඒ කෙනා ඒ වගේ තැනැත්තෙක් බවයි කියන්නේ.

    මේ දේශනාවට අනුව එක ක්ෂණයක කාලයක් වත් මෙත් සිතුවිල්ලක් තියාගන්න කෙනා ධ්‍යාන සම්පත් නැත්තෙක් කියලා හඳුන්වන්නේ නෑ. ඔහුව සලකන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කල ධර්මය ඒ ආකාරයෙන් පිළිපදින කෙනෙක් හැටියට. ඔහු භික්ෂුවක් නම් තමන්ට පිළිගන්වන දානය පිළිගන්න සුදුසු තැනැත්තෙක් වෙනවා. එසේම දානය දෙන තැනැත්තහන්ට කුසල් වැඩෙන ආකාරයෙන් දානය පිළිගන්න සුදුසු අයෙක් විදියට ඔහුව සලකන්න පුළුවන්. සාමාන්‍යයෙන් එසේ නොවන ආකාරයට දානය පිළිගන්න භික්ෂුවක් හඳුන්වන්නේ ණයට කෑම ගන්න කෙනෙක් විදියට. ඊට හේතුව තමයි සතර ශීලයෙන් පිරුණු භික්ෂුවක් එක්ක ගත්තම ශීලයෙන් නොපිරුණ භික්ෂුවක් තමන්ට ලැබුණු දානය වළඳනවානම් ඔහුට සිද්ධ වෙනවා පසුව වත් සීලය සම්පූර්ණ කරන්න. මේ නිසායි ණයට කෑම ගන්න කෙනෙක් වෙන්නේ. ඒ වගේම දානය දෙන තැනැත්තාටත් සම්පූර්ණ පින අත්වෙන්නේ සිල් පිරුණ තැනැත්තෙක්ට දෙන දානයෙන්. ඒ හින්ද තමයි අටුවා වලදී මේ ණයට කෑම ගැන සඳහන් වෙලා තියෙන්නේ.

    ක්ෂණයක් වත් අන්යන් කෙරේ මෙත් සිත් ඇති කරගෙන තමන්ට ලැබෙන දේ පිළිගන්න භික්ෂුවක් ඒ දේ සඳහා නියම හිමිකරුවෙක් විදියට සැලකෙනවා. ඔහු ඒ දේපලේ උරුමකරු විදියට හිතන්න පුළුවන්. ඒ නිසයි කිසිම ප්‍රශ්ණයක් නැතිව දානය පිළිගන්න සුදුසු තැනැත්තෙක් බවට ඔහු පත්වෙන්නේ. අට්ටකථා වලට අනුව සංඝයාට දෙනු ලබන දානය මහත්ඵල ඇති කරනවා ( සන්ගේ දින්න දානම් මහතියම් හෝති මහප්පලම්).

    සුභූති හාමුදුරුවන් විසින් මෛත්‍රිය වැඩූ ආකාරය.​

    මෙත්තා සමාධිය ඇති කරගැනීම දායකයින් කෙරේ හොඳ ප්‍රතිඵල ඇති කරවනවා. අර්හත් සුභූති හාමුදුරුවෝ තමන් පිණ්ඩපාතයේ යද්දී දානය පිළිගැනීමට පෙර දායකයාගේ යහපත වෙනුවෙන් සලකලා මෙත්තා සමාධියට සමවැදෙනවා. ඒ මෙත්තා සමාධියෙන් අවධිවුනාට පස්සේ තමයි දානය පිළිගන්නේ. ඒ තමන්ට දානය ලබාදෙන දායකයාට මහත්ඵල ලැබෙන්නයි. පස්සේ කාලෙකදි බුදුහාමුදුරුවෝ සුභූති හාමුදුරුවෝ දානය පිළිගන්නන් අතරෙන් අග්‍රස්ථානයේ තැබුවා. අදටත් සමහර අවස්ථා වලදී දානය පිළිගනිද්දී සමහර හාමුදුරුවෝ මෙත්ත සූත්‍රය සජ්ජායනය තරනවා අපි කෙරේ තියෙන මෛත්‍රිය නිසා. එතනදිත් මෛත්‍රිය ඇතිව මෙත්ත සූත්‍රය දේශනා කරනවා නම් මහත් ඵල බව මතක තියා ගන්න ඕනා.

    ඒ වගේම මතක තියාගන්න ඕනා ධර්මයට සවන් දෙද්දී මෛත්‍රිය වඩන එක මහත්ථල ආනිශංස බව. තමන් ඉන්න ඕනාම තැනකදී කාලවේලාව ඉඩ ප්‍රස්ථාව ලැබෙන පරිදි මෙත්තා භාවනාව වඩන්න අපි පුරුදු වෙන්න ඕනා. අඩු තරමේ බුද්ධ වන්දනාවෙන් පස්සේ වත් මෙත් වඩන්න පුරුදු වෙන්න ඕනා. තමන්ගේ කුසල් වැඩිලා තියෙනවා නම් මෙත් වැඩීමේදී මෙත්තා ධ්‍යාන වුනත් ඇති වෙන්න පුළුවන්. හරියට ධනන්ජානී බ්‍රාහ්මණයාගේ සිද්ධියේදී වගේ.
     

    hpalpola

    Well-known member

  • 7.

    ධනන්ජානී බ්‍රාහ්මණයා සහ මෙත්තා ධ්‍යාන

    ධනන්ජානී බ්‍රාහ්මණයා මරණාසන්නව ඉඳිද්දී සැරියුත් හාමුදුරුවන්ට තමන්ව බලන්න වඩින්න කියලා ඉල්ලීමක් කලා. සැරියුත් හාමුදුරුවෝ ඒ ඉල්ලීම භාරගෙන ධනන්ජානී ව බලන්න වැඩියා. තත්වය කොහොමද කියලා විස්තර අහපු හාමුදුරුවෝ තව තවත් විමසීම ඉදිරියට අරන් ගියා. ප්‍රශ්න ඇහුවා..
    බ්‍රාහ්මණය නිරයද සත්ව යෝනියද හොඳ ? එතකොට බමුණා කියනවා සත්ව යෝනිය කියලා. ඉතින් මේ විදියට ලෝක යුගල වශයෙන් දිගින් දිගටම ප්‍රශ්න කලා. ඒ කියන්නේ සත්ව යෝනියද ප්‍රේත ලෝකයද, ප්‍රේත ලෝකයද මනුෂ්‍ය ලෝකයද, මනුෂ්‍ය ලෝකයද චතූර්මහාරාජිකයද ආදී විදියට ප්රයශ්න අහලා අන්තිමේදී ඇහුවා බ්‍රහ්මලෝකයද හොඳ පරිනිම්මිතවසවර්තියද කියලා. බ්‍රහ්මලෝක කියලා ඇහුවම ධනන්ජානී බොහොම උනන්දුවෙන් ඇහුවා සැරියුත් හාමුදුරුවෝ ඇත්තටම අදහස් කලේ බ්රරහ්මලෝකයද කියලා. මේ ප්රුශ්නයෙන් සැරියුත් හාමුදුරුවෝ තේරුම් ගත්තා ධනන්ජානීගේ හිත බ්‍රහ්මලෝකයට ඇදිලා තියෙනවා කියලා. ඒ නිසා සැරියුත් හාමුදුරුවෝ බ්‍රහ්මලෝකයට යන මාර්ගය ඔහුට දේශනා කලා.

    ඉධ ධනන්ජානී භික්ඛු මෙත්තසහගතේන චේතස ඒකම් දිසම් පාරිත්වා විහරති. තත්ථා දුතියම්. තත්ථා තතියම්. තත්තා චතුතත්තම්. ඉති උද්ධමාදෝ තිරියම් සබ්බධි සබ්බත්තතයා සභවන්තම් ලෝකම් මෙත්තසහගතේන චේතසා විපුලේන මහග්ගතේන අප්පමානෛන අවෙරෙන අව්‍යයපච්ජේන පාරිත්වා විහරති. අයම් කෝ ධනන්ජානී බ්‍රාහ්මණම් සහව්යතාය මග්ගෝ (මජ්ජිම පණ්නාස 405)

    ධනන්ජානි - ධනන්ජානි බ්‍රාහ්මණය, ඉධ භික්ඛු - මේ ශාසනයේ භික්ෂුවක් , මෙත්ත සහගතේන චේතස - සැපය පතුරුවන මෙත්තා සහගත සිතින් යුත් වන්නේ, ඒකම් දිසම් - එක දිශාවකට, පාරිත්වා විහරති - මෛත්‍රිය පතුරුවමින් වෙසෙයි. තත්ථා දුතියම් - එලෙසින් දෙවන දිශාවටද මෛත්‍රිය පතුරුවමින් සිටියි. තත්ථා තතියම් තත්ථා චතුත්තම් - තෙවන සහ සිව් වන දිශාවන්ටද මෛත්‍රිය පතුරුවමින් වෙසෙයි. ඉති - මේ ආකාරයට, උද්ධම් - ඉහළ ‍දිශාවේ සියළු සත්වයන්ටද, අධෝ - පහළ දිශාවේ සියළු සතුන්ටද, තිරියම් - සිවි දිශාවන්ගේ කෝණ වලට විරුද්ධ දිශාවන්ගේ සියළු සතුන්ටද, සබ්බධී - සියළු දිශාවන්ටද, සබ්බත්තාය - ඇතිවන සෑම මෙත් සිතුවිල්ලකදීම ඒ සියළු සත්වයෝ තම සමානයෝ සේ සලකමින්, සභවන්තම් ලෝකම් - මුළු විශ්වයේ අනෙකුත් සියළු සත්වයන්ටම, මෙත්තසහගතේන චේතේස - අන්යන්ගේ සැප වෙනුවෙන් මෙත්තාවෙන් මනස වර්ධනය කරයි, විපුලේන - සියළු ප්‍රදේශ මනසින් ආවරණය කරයි, මහග්ගතේන - මහග්ගත ධ්‍යානයෙන් යුතුව, අප්පමානෛන - අප්‍රමාණ/අසීමිත, - අවෙරෙන - වෛරය නොමැති මනසින්, අව්‍යපච්ජේන - අප්‍රසන්නත්වයෙන් බැහැරව, පාරිත්වා විහරති - මෛත්‍රිය පතුරුවයි. ධනන්ජානී - ධනන්ජානී බ්‍රාහ්මණය, අයම් - මෙත්තාව පුහුණු කිරීම, බ්‍රාහ්මණම් සහව්යතාය - බ්‍රහ්මයන් සමග එක්වීමේ, මග්ගෝ - මාර්ගයයි (බ්‍රහ්ම වීමේ මාර්ගයයි).

    බ්‍රහ්ම ලෝකයට යන්න තියෙන මාර්ගය දස දිශාවන්හි වසන සියළු සත්වයන් කෙරේ මෙත් සිත පැතිරවීම බව මේ අනුව පේනවා ඇති. කරුණාව, මුදිතාව සහ උපේක්ෂාවත් අපි ඒ විදියටම දකින්න ඕනා. මිත්‍රශීලීව මේ විදියට ධර්මය දේශනා කල සැරියුත් හාමුදුරුවෝ පන්සලට ඇවිත් බදුහාමුදුරුවන්ට මේ ගැන දැනුම් දුන්නා. ඉතින් මේ වෙලාවෙදි බුදුහාමුදුරුවෝ සැරියුත් හාමුදුරුවන්ට දොස් පැවරුවා මේ විදියට නිර්වාණයේ සැප සමග බ්‍රහ්මලෝක සමාන කරලා බ්‍රහ්මවිහාර ධ්‍යාන වලට වඩා උතුම් ආර්ය මගඵල ඥාණ වඩා ගන්න මාර්ගය පෙන්නන්නේ නැතුව ආව නේද කියලා. ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ දේශනා කලා දැන් ධනන්ජානී මියගිහිල්ලා බ්‍රහ්මලෝකයේ ඉපදිලා කියලා. මේ ගැන අහපු සැරියුත් හාමුදුරුවෝ බ්‍රහ්ම ලෝකයට වැඩම කරලා ධනන්ජානී බ්‍රහ්මයා මුණ ගැහිලා ධර්මය දේශනා කලා. අට්ටකථා වලට අනුව මෙතැන් පටන් ඉදිරියට තමයි ගාථාවක් කියද්දී චතුරාර්ය සත්‍යයෙන් බැහැර නොවී කියන්න පටන් අරන් තියෙන්නේ.

    මෙතනදි කියන්න බලාපො‍රොත්තු වෙන්නේ ධනන්ජානී බ්‍රහ්මණයා මෙත්තාව වඩන හැටි අහගෙන මැරෙන්න පැය භාගයකට විතර කලියෙන් බොහෝම කෙටි කලයකින් ධ්‍යාන ලබා ගත්තා. මේ ධ්‍යාන නිසා ඔහු බ්‍රහ්ම ලොව ඉපදුනා. ඒ නිසා මතක තියා ගන්න ඕනා වෙන විශේෂ කුසල් වඩලා නැති වුනත් අඩුම තරමේ මැරෙන මොහොතෙදි වත් මෛත්‍රිය වඩනවා නම් එයින් මහඟු ප්‍රතිඵල ලැබෙන බව. හොඳම දේ තමයි ඇති වීම නැති වීම ගැන අවධානය යොමු කරමින් විපස්සනා ආකාරයට සමාධිය පවත්වාගෙන යාම.

    තවදුරටත් මෙත්තා භාවනාවේ මහත්ඵල බුදුහාමුදුරුවෝ නිධාන සංයුත්තේ ඕක සූත්‍රයේදී ‍දක්වනවා උදෑසන ගව කිරි දොවන කෙටි කාලය තුලදී, දවල් කාලයේදි වාරයකුත්, රාත්‍රී කාලයේදී වරකුත් හෝ සුවඳ වරක් විඳින අවස්ථාවක ප්‍රමාණයකටවත් හිතේ මෙත් සිතුවිලි ඇති කර ගැනීම මිනිස්සු 3000 කට උදේ, දිවා, රාත්‍රී කෑම ලබා දෙනවාට වඩා ඵලදායිකයි කියලා.

    ඉතින් ඒ නිසා පුංචි වෙලාවක් මෙත් වැඩීමේ ප්‍රතිඵල මේ තරම් නම් මහන්සිය සහ කාලය වැය කරලා මෙත් වැඩීමේ ආනිශංස කොහොම වෙයිද කියලා අපි දැනගන්න ඕනා.

    තවදුරටත් මෙත්තා භාවනාවේ ආනිශංස අංගුත්තර පාළියේ ඒකදශ නිපාතයේ මෙත්ත සූත්‍රයේ මේ විදියට දක්වනවා.

    මෙත්තාය භික්ඛවෙ චෙතොවිමුත්තියා ආසෙවිතාය භාවිතාය බහුලීකතාය, යානීකතාය වත්ථුකතාය අනුට්ඨිතායපරිචිතාය සුසමාරඪාය, එකාදසානිසංසාපාටික්කන්ඛා. කතමෙ එකාදස?

    සුඛං සුපති, සුඛං පටිබුජ්ජති, න පාපකං සුපිනං පස්සති, මනුස්සානං පියහොති, අමනුස්සානං පියහොති, දෙවතාරක්ඛන්ති, නාස්ස අග්ගිවා විසං වා සත්ථං වා කමති, තුවටං චිත්තං සමාධියති, මුඛවණ්ණො විප්පසීදති, අසම්මූළෝ කාලං කරොති, උත්තරිං අප්පටිවිජ්ජන්තො බ්‍රහ්මලොකූප‍ගො හොති.​
     

    hpalpola

    Well-known member

  • 8.

    මෙත්තාවේ එකළොස් ආනිශංස.

    සරලවම කියනවා නම් මෙත්තාවේ එකළොස් ආනිශංස කියන්නේ දියුණු කල මනසක පවත්නා තත්වයන්. හරියට පාවිච්චි කරන්න සූදානම් කරලා තියෙන වාහනයක් වගේ. මේවා හොඳින් පුහුණු කරන්න ඕනා වගේම ම‍නසේ පිහිටවා ගන්නත් ඕනා. මෙත්තා හැඟීම නීවරණයන්ගෙන් තොර වෙන්න ඕනා. සාමාන්‍යයෙන් මෙත්තාව මිත්‍රශීලී බව විදියට හඳුවන්වන්න පුළුවන්. කොහොමවුනත් චේතෝවිමුක්ති දෘෂ්ටියෙන් බලද්දී ධ්‍යානීය මනසින් ගන්න ඕනා. අපිට මේ බව අටුවාවන්ට අනුව පැහැදිලි කර ගන්න පුළුවන්.

    මේ කියපු එකළොස් ආනශිංස මේ විදියට දක්වන්න පුළුවන්.

    (1) සුඛම් සුපති - හොඳ නින්දක් ලබා දෙනවා. අතර මැදදී නොනැගිටෙන්න. භාවනා පුහුණුව අඩු අය නින්දට යන්නේ විවේකයෙන් නොවේ. ඒ අය සමහර වෙලාවට ගොරවනවා. අත්දැකීම් ඇති. නමුත් මෙත්තා භාවනාවෙන් යුක්ත අය ‍නිදහස් මනසින් යුතුව නින්ද ලබා ගන්නවා. නින්දට ගියාම ඒ කෙනා සමාප්තියට සමවැදුනා වගේ තමයි. ඉතින් මේ තමයි මෙත්තාවේ පළමු ආනිශංසය.

    (2) සුඛම් පටිබුජ්ජති - නින්දෙන් පහසුවෙන් නැගිටිනවා. සමහරු නින්දෙන් නැගිටිද්දී ඇඟ මැලි අරිනවා. ඇ‍ඟේ හිරි අරින්නේ අස්ථි කැ‍ඩෙන ආකාරයෙන්. ඊළඟට නැගිටගන්න හුඟක් අමාරුයි. අත පය දිග ඇරලා. මේ වගේ නොයෙක් විදියට. මෙත්තාව වර්ධනය කරලා නින්දට ගිය අය හරියට නැගිටින්නේ නෙළුමක් පිපෙනවා වගේ. ධම්මපදයේ දැක්වෙන ආකාරයට සුප්පබුද්ධම් පබ්දුම්ජ්ජන්තී සදා ගෝතම සාවකා, යේසම් දිවා ච රත්තෝ ච, නිච්චම් බුද්ධාගාථා සොථි - බුද්ධානුස්මෘතිය ගැන තමයි මෙතනදී සඳහන් වෙන්නේ. ඒ අයත් සුව නින්දක් වගේම යහපත් අවදියකට හිමිකම් කියන බව දැක්වෙන්නේ. මෙත්තා භාවනාවත් ඒ වගේ තමයි.

    (3) පාපකම් සුපිනම් - නින්දෙදි නපුරු සිහින නොදකින බව. සමහරක් වෙලාවට සමහරු හීනෙන් දකිනවා උසකින් වැටෙනවා, සත්වයන්ගේ ප්‍රරහාරයන්ට ලක් වෙනවා වගේ හීන. මෙත් වඩන අයත් හීන දකිනවා. නමුත් නපුරු හීන දකින්නේ නෑ. බුදුන් වඳින අවස්ථා වගේම ධ්‍යාන සම්පත් වලින් අහසේ ගමන් කරනවා, තමන්ගේ නුවණැස වර්ධනය වෙන්න බණ අහනවා වගේ දේවල් තමයි දකින්නේ.

    (4) මනුස්සානං පිය හොති - මෙත් වඩන කෙනා යහගුණ ඇති කරන් ඉන්න නිසා අන් අය ඔහු වෙතට ඇදෙනවා. ඔහු තමන්ගේ මිතුරුකම අන්යන් වෙත පතුරවන නිසා කාටවත් කරදරයක් දුකක් ඇති කරන්නේ නේ. ලඟින් ඉන්න අය ඒ කෙනාගේ වරදක් දකින්නේ ‍නෑ. ඔහුත් මනසේ කරුණාව ඉවසීම තියෙන නි‍සා තමන් ලඟට එන ඕනාම කෙනෙක්ගේ ගෞරවයට ලක් වෙනවා. හදවත පතුලින්ම මෙත්තාව වර්ධනය කිරීම අන් අයගේ ගෞරවයට ලක් වීමට වගේම අන්යන්ගේ ආකර්ෂණය ලබා ගැනීමට තියෙන හොඳම මාර්ගයයි.

    (5) අමනුස්සානං පියහොති - ඒ තැනැත්තා දෙවියන්ගේ ආදරයට කැමැත්තට පවා ලක්වෙනවා. සිව් වන හා පස් වන කරුණු වලින් පෙන්වන්නේ මෙත් වඩන තැනැත්තා මනුෂ්යැයන්ගේ වගේම දෙවියන්ගේ ආදරයට ගෞරවයට ලක් වන බවයි. මේ ආකාරයට දෙවියන්ගේ ආදරය හා ගෞරවය මෙත් වඩන්නෙක්ට ලැබෙන ආකාරය ගැන හොඳ උදාහරණයක් විශුද්ධිමාර්ගයේ දැක්වෙනවා.
     

    hpalpola

    Well-known member

  • විශාක හාමුදුරුවෝ

    කලකට ඉස්සර පාටලීපුත්‍රයේ විශාක කියලා පොහොසත් මිනිසෙක් ඉඳියා. මේ කෙනාට අහන්න ලැබුනා ලංකාවේ මාලයකට මුතු අමුණලා තියෙනවා වගේ බෞද්ධ වෙහෙර විහාර ඉදිකරලා තියෙනවා කියලා. මුළු රටම කහ සිවුරු පොරවන් සිටින හාමුදුරුවන්ගෙන් බැබැළෙන බව ඔහුට අහන්න ලැබුනා. කිසිම අතුරු ආන්තරාවක් නැතිව රටේ ඕනාම තැනක යන්න එන්න පුළුවන් බව, කිසිම බයක් සැකක් නැතිව රැයක් ගත කරන්න පුළුවන් බව ඔහුට අහන්න ලැබුනා. මිනිසුන්ගේ හොඳ ගති ගුණ ගැන අහන්න ලැබුනා.

    මේ තත්වයන් නිසා විශාකටත් හිතුනා ලංකාවට ඇවිත් භික්ෂුවක් බවට පත්වෙන්න. ඉතින් මෙයා තමන්ගේ වස්තු සම්පත් බිරිඳට හා දරුවන්ට පවරලා එක කහවණුවක් අරගෙන නිවසින් පිටත් වුනා. ඒ දවස් වල ඉතින් නැව් වලින් ගමන් යන කාලේ. මෙයාට සිද්ධ වුනා ලංකාවට නැවක් එනකම් මාසයක කාලයක් බලාගෙන ඉන්න. මේ මාසයක කාලය තුලදී විශාක වරාය ආශ්‍රිතව ඉන්න ගමන් තමන් ගෙනාපු කහවණුව වියදම් කරලා කහවණු දහසක් උපය ගත්තා වෙළඳාම් වල යෙදිලා. හැබැයි වංචනික වෙළඳාම් නෙමෙයි. යහපත්ව ජීවිකාව උපයා ගැනීම ඉතින් සම්මා ආජීව බව අපි දන්නවානේ. කොහොම වුනත් විශාකගේ අරමුණ වුනේ වෙළඳාමේ යෙදෙන්න නෙමෙයි. මේ බව පැහැදිලා වෙනවා පස්සේ තමන් උපයපු සියළු දේ අතහැරලා දාපු ආකාරය නිසා.

    ඉතින් මේ විශාක නැවක නැගිලා ලංකාවට ගොඩ බැහැලා මහාවිහාරයට ගිහිල්ලා තමන්ව භික්ෂුවක් බවට පත් කරන ලෙසට ඉල්ලීමක් කලා. සීමා මාලකයට යද්දී මෙයා උපයපු අර කහවණු දහස ඉනේ බැඳලා තිබ්බේ, ඒවා එකිනෙක හැපිලා ශබ්ද වෙන්න ගත්තා. මේ ගැන ඔහුව සීමාවට එක්ක යමින් සිටි වැඩිහිටි හාමුදුරුවෝ විමසුවා. විශාක උත්තර දුන්නා තමන් විසින් උපයපු සල්ලි කියලා. හාමුදුරුවෝ උපදෙස් දුන්නා උපාසක මහත්ත‍යෝ විනයට අනුව උපසපන් මහණක් වෙන්න නම් මුදල් පරිහරණය කිරීමෙන් ඉවත් වෙන්න වෙනවා. ඒ නිසා මේ සල්ලි වලින් ඈත් වෙන්න ක්‍රමයක් හොයා ගන්න වෙනවා කියලා. විශාක එහෙමයි හාමුදුරුවනේ. මන් මහණ වෙනවා දකින්න පැමිණි කිසිවෙක් හිස් අතින් යන්නේ නෑ කියලා සීමාවට පිටින් සිටි උපාසකයින් ගේ පැත්තට මේ කහවණු ටික විසි කරලා මහණ වුනා.

    පසුව මොහුව හැඳින්වුනේ විශාක හාමුදුරුවෝ කියලා. පස් අවුරුදු කාලය විනය, සිල් ආදිය නිසි ලෙස ගුරු හාමුදුරුවන්ගෙන් ඉගෙන ගත්ත විශාක හාමුදුරු‍වෝ තමන්ගේ වස් කාල පහ ගත වුනාට පස්සේ කමටහන් අරගෙන භාවනා කරන්න පටන් ගත්තා. මේ භාවනා කරද්දී එක පන්සලක හිටියේ මාස හතරක පමණ කාලයක් විතරයි. මේ විදියට භාවනා පුහුණු කරමින් ඉන්න මොහු දවසක් වනාන්තරයට යමින් සිටියදී විවේකස්ථානයක නැවතිලා තමන් ගැන උදම් ඇනුවා මෙන්න මේ විදියට,

    යාවථ උපසම්පන්නෝ, යාවථ ඉධ අගාතෝ.
    එත්තන්තරෙ ඛලිතම් නත්ථි, අහො ලාභා තෙ මරිසා.

    යාවථ උපසම්පන්නෝ - මම භික්ෂුවක් බවට පත් වූ දා ඉඳන්, යාවථ ඉධ අගාථෝ - මම මේ වන සීමාවට එනතෙක්, එත්තන්තරෙ - මේ විවේක කාල සීමාවෙදී, ඛලිතම් - භික්ෂුවක් විසින් රැකිය යුතු සිල් රැකීමට අපොහොසත් වීමක්, නත්ථි - සිදු වෙලා නෑ. මරිසා - විශාකයෙනි, ථෙ - ඔබේ, ලාභ - භික්ෂුවක් විසින් සැපරිය යුතු ගුණධර්ම, අහෝ - විශිෂ්ටයි.

    ඉතින් පසුව මේ විශාක හාමුදුරුවෝ සිතුල් පව්ව ගැන අහලා භාවනා කරන්න සිතුල් පව්වට පිටත් වුනා. ඒ අතර මග දෙමංසලකදී කොයි පැත්තට යන්නද කියන ප්‍රශ්නය ඇති වුනා. මේ වෙලාවෙදි දේවතාවෙක් පෙනී සිටලා නියමිත මාර්ගය පැත්ත දක්වලා මේ දිශාවෙන් වඩින්න ස්වාමිණී කියාලා මාර්ගය පෙන්වලා දුන්නා. සිතුල් පව්වෙ මාස හතරක කාලය භාවනාවෙන් කල් ගෙවලා ඉන් පිටත් වෙන කාලය ලන් වුනා. මේ අතරෙ හාමුදුරුවො සැතපිලා ඉද්දි මනිලා කියන රුක් දෙවියෙක් ඊට අඩියක් විතර ඈතින් ඉඳන් අඬමින් සිටියා.

    කවුද ඔබ? ඇයි අඬන්නේ විශාක හාමුදුරුවෝ ඇහුවා. ‍මන් රුක් දෙවියෙක්. ඔබ වහන්සේගේ පිටත් වීම දැනිලා අඬන බව දැනුම් දුන්නා. මන් මෙහි රැඳීමෙන් ලැබෙන ප්‍රයෝජනය මොකක්දැයි විශාක හාමුදුරුවෝ විමසනවා. ස්වාමිනී, ඔබ වහන්සේගේ වැඩසිටීම දෙවියන් අතරෙත් මෛත්‍රී හැඟීම් ඇති කරවනවා. ඉතින් ඔබ වහන්සේ මේ ස්ථානයෙන් පිට වී ගියාම ආයිත් ඔවුන් අතරේ රණ්ඩු සරුවල් ඇති වේවි. සැර වචන පිට වේවි කියලා දෙවියා උත්තර දුන්නා. හොඳයි මන් මෙතන නතර වීම ඔබ සැමට සැප ඇති කරවනවා නම් මන් නවතින්නම් කියපු විශාක හාමුදුරුවෝ තවත් සිව් මාසයක් එහිම වැඩ සිටින්න තීරණය කලා. ඒ කාල‍ය අන්තිමෙදී වෙන තැනකට වඩින්න හදද්දිත් කලින් සිදු වුන දේම සිදු වුනා. ඉතින් මේ විදියට විශාක හාමුදුරුවන්ගේ පරිනිර්වාණය වෙන තෙක්ම උන්වහන්සේ දෙවියන්ගේ ඉල්ලීම මත සිතුල් පව්වේම වැඩ සිටියා.

    විශුද්ධිමාර්ගයේ දැක්වෙන මේ පුංචි අතීත කථාව මෙත්තාව වර්ධනය කරපු කෙනෙක් දෙවියන්ගේ ආදරයට ගෞරවයට ලක්වීම ගැන හොඳ නිදර්ශනයක් සපයනවා.
     

    hpalpola

    Well-known member


  • (6) ‍දේවතා රක්ඛන්ති - දෙවියන් විසින් ආරක්ෂාව සලසන බවයි මෙතනදි කියන්නේ. ඒ ආරක්ෂාව හරියට සමාන කරන්නේ එක දරුවෙක් ඉන්න දෙමාපියෝ ඒ දරුවාට ලබා දෙන ආරක්ෂාව විදියට. ඉතින් දෙවියන්ගේ ආරක්ෂාව කෙනෙක්ට ලැබෙනවා කියන්නේ ඒ කෙනා අනිවාර්යෙන්ම අතුරු ආන්තරාව‍න්ගෙන් නිදහස් වෙනවා වගේම සතුට ලබා ගන්නවා කියනවා කියන එකයි.

    (7) අස්ස - මෙත්තාව වර්ධනය කරන පුද්ගලයෙක්ට අග්ගි වා විසම් වා සතම් වා ඒ කියන්නේ ගින්නෙන්, වස විෂෙන් වගේම ආයුධයන්ගෙන් කමාති, හානි වෙන්නේ නෑ. මේ කියන්නේ අනිත් අතට ගත්තම ශරීරයට හානි වන ගින්න, වස විෂ, දුනු ඊතල හෙලි ආදියෙන් මෙත්තාව පුහුණු කරන කෙනාට හානි වෙන්නේ නෑ කියන එකයි. තුවක්කු, බෝම්බ, මිෂයිල්ස් වගේ අද කාලයේ තියෙන අනිකුත් අවි ආයුධ වලින්ද මේ විදියට බැලුවම මෙත්තාව වඩන කෙනෙක්ට හානි වෙන්න විදියක් නෑ. ඒ වගේ සිදුවීම් පහුගිය යුද්ධ කාලේදී ඕනා තරම් වාර්තා වුනා. ධර්මයේ තියෙන සත්‍යතාවය ඒ තුලින් පෙන්නුම් කරනවා. මොකක්හරි ආසන්න අනතුරුදායක තත්වයක් උද්ගත වෙච්ච වෙලාවලදී ගැඹුරින් මෛත්‍රී සමාධිය ඇති කරගන්න. මේ සම්බන්ධයෙන් විශුද්ධිමාර්ගයේ උදාහරණ කීපයක්ම දක්වනවා. උත්තරා උපාසිකාවගේ කථාව, චූලසිව හාමුදුරුවන්ගේ කථාව ව‍ගේම සංකිච්ච සාමණේරයන්ගේ කථාව ආදිය ඒ අතරේ වෙනවා. ඒ වගේම දක්වනවා එළදෙනකගේ කථාවකුත්. මේ එළදෙන තමන්ගේ පැටියට කිරි පොවමින් ඉඳි වෙලාවෙදි දඩයක්කාරයෙක් ඈව දඩයම්කරගන්න හෙල්ලෙන් පහර දුන්නා. ඒත් හෙල්ල ඇ‍ඟේ වැදුනට කිසිම දෙයක් වුනේ නෑ. අවස්ථා කීපයක්ම උත්සහ කරලත් එළදෙනට හෙලි පාරක් ඇනගන්න දඩයක්කාරයාට හැකි වුනේ නෑ.ඒ උපච අප්පන්න ධ්‍යාන හින්ද නෙමේ. ඇයි ඒ? ඒ වෙලාවෙදි තමන්ගේ පැටිය ගැන තිබුන මෛත්‍රිය නිසා කියලායි දක්වලා තියෙන්නේ.

    කොහොමවුනත් මේ කථා අතුරින් උත්තරා ගැන තියෙන කථාව හරිම ලස්සනයි. ධම්මපදයේත් මේ ගැන දක්වනවා. අපි ටිකක් ඒ කථාව කියවලා බලමු.

    උත්තරාගේ කථාව​

    උත්තරාගේ තාත්තා තමයි පුණ්න. පුණ්න හරිම දුප්පත් කෙනෙක්. මෙයා රජගහ නුවර සිටි සුමන කියන සිටුතුමා ලඟ වැඩ කලා. දවසක් මේ පුණ්න සමාපත්තියෙන් නැගිටපු සැරියුත් හාමුදුරුවන්ට දැහැටි පූජා කලා. ඒ වගේම පුණ්නගේ බිරිඳ හාමුදුරුවන්ට කිරිබත් පූජා කලා. මේ පිනෙන් පුණ්න වැඩ කල බිම පස රත්තරන් බවට පත් වුනා. (අද අපේ අය මේ වගේ දේවල් හිතලු කියලා අපහාසයට ලක්කරනවා. නමුත් 1600-1800 ගණන් වලදී මිනිස්සු හිතුවද කොම්පියුටර් ,සෙල්ෆෝන් හදයි කියලා)

    ඉතින් තමන් වැඩ කල කුඹුරේ තිබුන පස් රත්තරන් වලට හැරවුනයින් පසු පුණ්න තවදුරටත් දුප්පතෙක් වුනේ නෑ. (මේ ගැන තවත් විස්තර සද්ධර්මරත්නාවලියේ තියෙනවා) පුණ්න සිටු වරයෙක් වුනා. මෙහෙම ඉද්දි සුමන සිටුවරයා තමන්ගේ පුතාට උත්තරාව යෝජනා කලා. නමුත් පුණ්න මේකට කැමති වුනේ නෑ. ඒ වෙන දෙයක් නිසා නෙමෙයි, සුමන සිටුතුමාලා වෙනත් ආගමක් අදහන අය වීමත් පුණ්න, ඔහුගේ බිරිඳ සහ උත්තරා තමන් පොහොසත් වෙලා අළුත් නිවසට ගෙවදිද්දී බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය අහලා සෝවාන් වෙලා ඉඳීය නිසාත්. මේ පුංචි හේතුව ඒ කියන්නේ තමන්ගේ දුව උපාසිකාවක් වීම නිසාත් සුමනලා එසේ නොවීම නිසාත් තමයි පුණ්න අකමැති වුනේ විවාහ යෝජනාවට. කොහොම වුනත් පස්සේ සුමන එක්ක තරහා වෙන්න එපා කියලා යාළුවෝ උපදෙස් දුන් නිසා පුණ්න මේ යෝජනාවට කැමති වෙලා සුමනගේ පුතාට උත්තරාව විවාහ කරලා දුන්නා.

    වෙසක් දවසෙදි උත්තරා සුමනගේ පුතාත් එක්ක ඒ ගෙදරට පිටත් වුනා. ඒ ආවත් හරි ඇයට කිසිම අවස්ථාවක් ලැබුනේ නෑ භික්ෂු භික්ෂුනීන් සම්බන්ධයෙන් කටයුතු කරන්න. අඩු තරමේ දානමය පින් කමක් කරන්න වත් ධර්මයට සවන් දෙන්නවත් අවස්ථාවක් ලැබුනේ නෑ ඇයට. මේ තත්වය මාස දෙකක් දෙකහාමාරක් ගත වෙද්දී ඇයට ලොකු ගැටළුවක් වුනා. ඒ නිසා උත්තරා තමන්ගේ තාත්තට මේ බව දන්වලා යැවුවා. මේ පණිවුඩය ලැබුනාට පස්සේ පුණ්නට හුඟක් දුක හිතුනා. එයා පසුතැවිලි වුනා තමන්ගේ දුව දුකට පත් වෙලා නේද කියලා. මේ නිසා ඔහු උත්තරා‍ට කහවණු 15000ක් යැවුවා. මේ කාලයේ රජගහ නුවර සිරිමා කියලා ප්‍රසිද්ධ ගණිකාවක් වාසය කලා. එයා එක රාත්‍රියකට කහවණු දහසක් ගන්නවා තමන් එකක් සතුටු වෙන කෙනෙක්ගෙන්. ඉතින් මේ සිරිමා ව දවස් 15කට කුලියට ගෙන්න ගත්තා උත්තරාගේ ස්වාමියාව සතුටින් තියන්න කහවණු 15000කට. මේ දවස් 15 තුලදී කුසල් රැස් කරගන්න උත්තරාට තාත්තා එවපු කහවණු 15000 ‍යොදා ගන්න පුළුවන්. උත්තරා‍ ගේ ස්වාමිපුරුෂයා බොහොම සතුටු වුනා සිරිමාව දැකලා. ඒ වගේම උත්තරා කිව්වා සිරිමා මේ කාලයේදී ඔහුව සතුටින් තියයි කියලා. ඒ වෙනුවට තමන්ට දන් පින් කරන්න අවශ්‍යයි කියලා. ඉතින් ස්වාමිපුරුෂයා මේකට කැමති වුනා.

    මෙදා ඉඳන් උත්තරා බුදුන් ප්‍රමුඛ සංඝරත්නය වඩම්මලා තමන්ගේ නිවහනේදී දන් දුන්නා. ඒ වගේ බණ ඇහුවා. ඒ වගේම පුද්ගලිකවම සම්බන්ධ වුනා දානය උයද්දී. ඉතින් 14 වන දවසේදී ඇගේ සැමියා කුස්සිය ‍දිහාවට තමන්ගේ කාමරයේ ඉඳන් බලද්දී සංඝයාට පුද්ගලිකවම දානය හදන්න කටයුතු කරන උත්තරාව දැක්කා. ඒ වෙලාවෙදි දැලි බැඳිලා, දාඩිය ආදිය නිසා ඇය අප්‍රසන්න ගතියකිනුත් තමයි හිටියේ. මේ බව දැක්ක සැමියා කල්පනා කලා මේ මොන මෝඩියක්ද.මෙච්චර සැප පහසුව තියෙන තැන සැප විඳින්න බැරුව කොහොම සැප විඳිනවද මන්ද මුඩු මහණන්ට සංග්‍රහ කරලා සතුටු වෙන හැටි කියලා. ඉන් පස්සේ හිනාවෙමින් ඔහු එතනැන් ඉවත් වුනා.


     

    hpalpola

    Well-known member

  • හිනාවෙන් යුතුව පිටවෙලා යන සිටුපුතාව දැක්ක සිරිමාත් එතනට ගිහින් බැලුවා මොකද හේතුව කියලා. එයත් උත්තරාව දැක්කා. දැකපු ගමන්ම ඊර්ෂ්‍යාවක් ඇති වුනා තාමත් උත්තරා ගැන ඇගේ සැමියාගේ හිතේ අදහස් තියෙනවා කියලා. සිරිමා මේ කාලයේදී හිතාගෙන ඉඳියේ තමන් ඒ සිටු ගෙදර අයිතිකාරිය කියලා. එයාට අමතකවෙලයි තිබුනේ තමන් ආවේ දවස් 15කට කියන එක. මේ එක්ක සිරිමාට ලොකු තරහක් ආවා උත්තරා එක්ක. උත්තරාට හිංසාවක් කරන්න ඕනා කියලා හිතාපු සිරිමා උණු කරපු තෙල් භාජනයක් අරන් උත්තරාගේ ඇඟට වත් කරන්න ගියා. සිරිමා ලං වෙද්දී උත්තරා ඇයව දැක්කා. දැකලා ක්ෂණයෙන් සිරිමා ගැන මෙත් සිතිවිලි ඇති කරගත්තා. තමන් දන් දෙන්නේ පින් කරගන්නේ සිරිමාගේ උදව්ව නිසාවෙන්, ඒ නිසා ඇය ගැන කිසිම ආකාරයේ තරහක් ඇති කරගන්න හොඳ නෑ කියලා ඇය සිතුවා. මේ විදියට හිතපු ඇය සිරිමා දිහාවට තමන්ගේ මෙත් සිත පැතිරුවා. උත්තරා ගැන කරහෙන් සිරිමා විසින් ඇඟට වත්කල උණු තෙල් වලින් උත්තරාට කිසිම හානියක් වුනේ නෑ.

    සිරිමා එතකොට හිතුවා මේ තෙල් නිවිලා වෙන එකක් ගේනන ඕනා කියාලා. ඉතින් ඇය ගිහින් තවත් උණු තෙල් භාජනයක් ගෙනාව. මේක දැකපු සේවිකාවෝ ඈ ගැන කේන්ති අරන් තමන්ගේ ස්වාමි දුවව පුච්චන්න හදනවා කියලා එතනට මැදිහත් වෙලා සිරිමාට පහර දුන්නා. ඒ වෙලාවෙදි සිරිමා බිමට වැටුනා. බිමට වැටුන සිරිමාට ආයිත් සේවිකාවෝ පහර දෙන්න හදද්දී උත්තරා මැදිහත් වෙලා ඇයව නැගිටුවලා ‍බේර ගත්තා. මට මෙහෙම කරන්න තරම් නපුරු සිතුවල්ලක් ඇති කරගත්තේ කොහොමද කියලා අහන ගමන්ම ඇය සිරිමාගේ ඇ‍ඟේ බේත් තෙල් ගෑවා.

    මේ වෙලාවෙදි තමයි සිරිමාටෙ මතක් වුනේ තමන්ව ති‍යාගෙන ඉන්නේ කුලියට කියලා. ඇය තමන් කල ක්‍රියාව ගැන ලැජ්ජාවුනා. උත්තරාගෙන් සමාව ඉල්ලුවා. උත්තරා මේ වෙලාවෙදි ඇයව බුදුහාමුදුරුවෝ ලඟට යොමු කලා. ඒ වෙලාවෙදි බුදුහාමුදුරුවෝ තරහ සිතැති මිනිසෙක්ව ඉවසීමෙන් ජයග්‍රහණය කරන ආකාරය ගැන දැක්වෙන ධර්මයක් දේශනා කලා. මේ ධර්ම දේශනාව ඇහුවට පස්සේ සිරිමා ඇතුළුව එතන ඉඳි තවත් කාන්තාවන් 500ක් සෝවන් ඵලයට පත් වුනා.

    ඉතින් උත්තරා ගැන මේ කියන කතාවෙන් පෙන්වන්න මෙතනදි මන් උත්සහ කලේ උණු තෙල් වලින් ඇයව නාවලත් ඇයට කිසිම හානියක් මෙත්තා භාවනාව නිසා සිදු නොවුන බව පෙන්වන්නයි.

    චූලසිව හාමුදුරුවෝ විෂ වලින් බේරුන බව දැක්වෙනවා. නමුත් වර්තමාන අට්ටකථා වලදි වත් තික වලදිවත් වැඩි විස්තරයක් ඒ ගැන දකින්න ලැබෙන්නේ නෑ. සංකිච්ච සාමණේරයන් ගැන ථුවතක සූත්‍රයේදී (බුරුම සංස්කරණයේ) දැක්වෙනවා. එතනදි දක්වන්නේ ධ්‍යාන බලයෙන් බේරුනා කියලා. නමුත් ඒ මොන ධ්‍යානයෙන්ද කියලා දක්වන්නේ නෑ. විශුද්ධමාර්ගයේ දක්වලා තියෙන ආකාරයට අපිට හිතන්න පුළුවන් ඒ දියුණු කරලා තියෙන්නේ මෙත්තා ධ්‍යාන කියලා. ඉතින් මේ තුලින් පෙන්වනවා ගින්නෙන් වසෙන් වගේම ආයුධ වලින් නිදහස් වෙනවා කියලා.
     

    hpalpola

    Well-known member


  • (8) තුවටං සමාධියති - මෙයින් කියන්නේ මනස ක්ෂණිකව සමාධිගත වෙනවා කියන එකයි. අන්යන්ට සැප ප්‍රර්ථනා කිරීම පහසු වෙනවා සේම ඒ ගැන නිතරම මෙනෙහි කිරිමෙන් ඉක්මනින් මනස සමාධිගත වෙන බව නැවත කියන්න අවශ්‍ය වෙන්නේ නෑ.

    (9) මුඛවණ්ණො විප්පසීදති - මුහුණේ වර්ණය පැහැපත් වෙන බව මෙතනදි අදහස් වෙනවා. මෛත්‍රිය පුහුණු කිරීම අපහසු දෙයක් නොවෙයි.

    (10) අසම්මූළෝ කාලං කරොති - මෙතනදි අදහස් කරන්නේ සිහිවිකාරයෙන් නොමැතිව කාලක්‍රියා කරන බවයි. ඇත්තටම මේක හුඟක් වැදගත්. මැරෙන්න ලං වෙලා ඉන්න කෙනෙක් ඇත්තටම ඒ වෙලාවෙදි ඉන්නෙ මරණ බියෙන් වේදනාවෙන්. ඒ කෙනාට හිත සමාධි කරනවා කියන එක හිතන්න අමාරුයි. මේ විදියට මැරෙන කෙනා සමහර විට කේන්තියෙන් මැරෙන්න පුළුවන්. එහෙම නැත්නම් දුකින් මැරෙන්න පුළුවන්. අහන්න ලැබෙනවා සමහරු මැරෙන්න යද්දී තමන්ව ගිනි ගන්නවා කියලා කෑ ගහන හැටි. තව අය කියනවා තමන්ව එක්කන් යන්න කණ්ඩායමක් ඇවිත් කියලා. ඉතින් මේ වගේ මානසික තත්වයකින් මැරෙන කෙනෙක් නැවත උපදින්නේ සතර අපායේ බව කියන්න දෙයක් නෑ. ඒත් මනස නිසලව පවතින විටකදි තමන්ගෙන් වෙච්ච හොඳ දේවල්, කුසල් සිහියට එන්න පුළුවන්. ඒ අනුව ඇතිවන නිමිති අනුව ඒ කෙනා සුගතියෙ උපදින්න පුළුවන්. දේව ලෝකයේ නැත්නම් මනුෂ්‍ය ලෝකයේ. ඉතින් මේ වගේ නිසා මිය යන මොහොතෙදි සිහියෙන් සිටීම ඉතා වැදගත් වෙනවා.

    (11) අවසාන අංගය තමයි උත්තරි අප්පටි විජ්ජන්තො කියන්නේ. මෙතනදි කියන්න යෙදෙන්නේ අරහත් ඵල ලබන්න නොහැකි වූ අය මෙත්තා ධ්‍යාන නිසා බ්‍රහ්මලෝකයේ උපදිනවා කියන එකයි. සාමාන්‍ය පෘථග්ජනයෙක් මෙත්තා ධ්‍යාන උපදවා ගත්තා නම් එයාට බ්‍රහ්මලෝකයේ උපදින්න පුළුවන්. ඒ වගේම සෝවාන්ඵල ලාභීන් වගේම සකෘදාගාමී ඵල ලාභීනුත් බ්‍රහ්මලෝකයේ උපදින්න පුළුවන්. ඒ වගේම අනාගාමී අයෙක් සුද්ධාවාස බ්‍රහ්ම ලොව උපදින්න පුළුවන්. යම් විදියකින් ධ්‍යාන උපදවා ගන්න බැරි වුනා නම් සහ උපචාර සමාධි තත්වය විතරක් නම් ඇති වුනේ ඔහුට සුගතිය විදියට හඳුන්වන මනුෂ්‍ය ලොව හෝ දෙව් ලොව උපදින්න පුළුවන්. ඉස්සෙල්ලා සඳහන් කරන්න යෙදුන ධනන්ජානි බ්‍රහ්මණයා බ්‍රහ්මලෝකයේ ඉපදුනේ මැරෙන්න පැය භාගයකට විතර කලින් මෙත් වඩලා ඇති කරගත් මානසික තත්වය නිසා.

    මේ විදියට බ්‍රහ්මවිහාර ධර්ම ගැන කථා කල අපි දැන් ‍විපස්සනාවෙන් මේ සම්බන්ධව ටිකක් කථා කරමු. මේ තමයි අපිට වැරදෙන කොටස.
     

    hpalpola

    Well-known member


  • 9.

    මෙත්තා සහ විපස්සනා භාවනාව එකට වර්ධනය කිරීම​

    මෙත්තා භාවනාව වර්ධනය කිරීමෙන් ධ්‍යාන උපදවා ගත් පුද්ගලයෙක්ට ඒ මෙත්තා ධ්‍යාන පදනම් කර ගනිමින් විපස්සනාව මෙනෙහි කිරීමට කටයුතු කිරීමෙන් අරහත් ඵල ලබා ගැනීමට හැකියාව ඇත. යම් හෙයකින් අරහත් ඵල ලබා ගැනීමට නොහැකි වුවත් ඒ කෙනාට අනාගාමී ඵල ලබා ගැනීමට හැකියාව ඇත. මෙය සිදු කිරීමේ ක්‍රමවේදය වන්නේ, මුලින්ම මෙත්තා ධ්‍යානය ඇති කර ගත යුතුය. පසුව එකී ධ්‍යාන තත්වය නැති වෙද්දී ඒ ගැන මෙනෙහි කල යුතුය. මේ ආකාරයට ධ්‍යාන නැති වීම සම්බන්ධයෙන් සහ ධ්‍යාන ඇති වීම මෙනෙහි කිරීම සමථ හා විපස්සනා යුගල වශයෙන් මෙනෙහි කිරීම යුගානන්ධ ලෙස සැලකේ. වර්තමාන යෝගීන් විසින් කරනු ලබන මෙනෙහි කිරීම සහ නිරීක්ෂණය කිරීමට සමානව විපස්සනාව සිදු කෙරේ. එනම් දකින්නේ, ඇහෙන්නේ, ගැටෙන්නේ, හෝ හිතන්නේ යම් දෙයක්ද ඒ අවස්ථා වලදී "දකිනවා", "අහනවා", "ගැටෙනවා" ආදී වශයෙන් නිරීක්ෂණය කරමින් මෙනෙහි කිරීමයි. මේ ආකාරයටම ධ්‍යාන මනස ඇති වු විටදී මේ ධ්‍යාන මනස ගැන නිරීක්ෂණය මෙන්ම මෙනෙහි කිරීම කළ යුතුය. මේ අතර ඇති එකම වෙනස වන්නේ වර්තමාන යෝගීන් බොහෝවිට ධ්‍යාන තත්වයන් ලබා නොමැති නිසා තමන්ට දකින්න ලැබෙන දේ ඇහෙන්න ලැබෙන දේ ගැන ඇති වන සිතුවිලි දැකීම සහ මෙනෙහි කිරීම කරන අතරේ ධ්‍යාන ලාභීන් ධ්‍යාන පිළිබඳව මෙනෙහි කිරීමයි.

    ඉතින් මේ ආකාරයට යුගානන්ධ මෙනෙහි කිරීමට අනුව සියළු සත්වයෝ සැප ඇත්තෝ වෙත්වා ආදී ලෙස සජ්ජායනා කිරීමෙන් මෛත්‍රිය වර්ධනය කරගන්න. මේ සමග මනසේ ඇති වන මෙත් සමාධිය ගැන මෙනෙහි කරන්න. මේ ආකාරයට මෙත් සමාධිය සමග මෙත්තාව යුගල වශවෙන් වර්ධනය කිරීම තමයි ක්‍රමය. මෙසේ මෙනෙහි කරද්දී නිශ්චිත තැනැත්තෙක් මුල් කරගෙන මෙත් පැතිරවීමේදී, රූප - ඒ අයගේ හදවතේ අර කී තැනැත්තා ගේ භෞතික අංගයන්, සහ එකී අය මුල්කරගත් සිතුවිලි, සියළු සත්වයෝ සැප ඇත්තෝ වෙත්වා ලෙස සජ්ජායනා කිරීමේදී, ඇතිවී නැතිවෙන ආකාරය මෙන්ම එය දිගින් දිගටම සිදු වෙන ආකාරය හඳුනා ගන්නට ලැබේවි. මේ ආකාරයේ දැනීම අනිත්‍යතාවය පිළිබඳ නියම විපස්සනා දැනීම ලෙස හඳුන්වන්න පුළුවන්. එනම් කායත්තේන අනිච්චම් ( ක්ෂණයෙන් නැතිවීම, අනිත්‍යතාවයි) ය. මෙය සිත්හි තබාගෙන සජ්ජායනා කිරීමේදී මෙනෙහි කරන්න.

    මෙය කියවන සියල්ලෝ සැප ඇත්තෝ වෙත්වා.

    ලංකාවේ වසන සියළු සත්වයෝ සැප ඇත්තෝ වෙත්වා.

    සියළු සත්වයෝ සැප ඇත්තෝ වෙත්වා.

    සියළු සත්වයෝ සැප ඇත්තෝ වෙත්වා යැයි සජ්ජායනා වන සෑම අවස්ථාවකදීම ඒ සිතුවිල්ල මනසට ගන්නා අතරම ඒ සිතුවිල වචන ලෙසට පිටවීමෙන් පසුව ක්ෂණයෙන් නැති වී යයි.