පරණ කාර්, රෝදපුටු සමග සඳතැන්නේ චාරිකාව - Old Wagon Tours -

leodilshan

Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    පරණ කාර්, රෝදපුටු සමග සඳතැන්නේ චාරිකාව - Old Wagon Tours -

    පරණ කාර්, රෝදපුටු සමග සඳතැන්නේ චාරිකාව - Old Wagon Tours - Moonplains Expedition
    DSC_0302.jpg
    සොබා රූ සාමාන්‍යයෙන් පවුලේ චාරිකා ගැන ලියා නැහැ. නමුත් අද සොබා රූ ලියන්නේ පවුලේ සැමටම යන්නට පුළුවන් සැහැල්ලු චාරිකාවක් ගැනයි. පසුගිය මාර්තු මාසයේ අන්තිම දින දෙකේදී තමයි මම මගේ පවුලේ උදවිය (මමත්, බිරිඳත් අවුරුදු පහක සහ එකක කුඩා පුතුන් දෙදෙනාත්) මේ චාරිකාව ගියේ. සුපුරුදු පරිදි මේ සඳහාත් අපි යොදා ගත්තේ අපේ 1980 වර්ෂයේ නිෂ්පාදිත (මටත් වඩා වයස) ලාන්සර් වැගන් 1400EL මෝටර් රථයයි.
    සාමාන්‍යයෙන් නුවරඑළි යන්නට අපි යොදා ගන්නා මාර්ගයන්ගෙන් බැහැරව වඩාත් ග්‍රාමීය පෙදෙස් හරහා යන්නට මෙවර අපි තීරණය කළා. ඒ අනුව හික්කඩුවේ සිට මාතරට අධිවේගී මාර්ගයේ පැමිණි අපි එතැන් සිට තිහගොඩ, වළස්මුල්ල, මිද්දෙනිය හරහා ඇඹිලිපිටියට පැමිණියා. ඇඹිලිපිටියෙන් මොරකැටිය, කිරිඉබ්බන්ආර හරහා අතිශය සුන්දර මාවතක් තණමල්විල දක්වා දිව යනවා. මේ ඒ මාර්ගයේ හමුවුණු සුන්දර ස්ථානයක්.
    DSC_0312.jpg
    නෙළුම්වැව
    මේ සුන්දරත්වයන් උපරිමයෙන් විඳිමින් තණමල්විලෙන් ඇල්ල-වැල්ලවාය පාර ඔස්සේ අපි වැලිමඩට ආවා. අපේ පළමුවැනි අරමුණ වුණේ මුහුණුපොත ඔස්සේ හඳුනාගත් වැලිමඩ, ලද්දුම පෙදෙසේ වෙසෙන උපතින්ම ආබාධිත පුංචි දරුවෙකුට රෝදපුටුවක් පරිත්‍යාග කිරීම. මා සමග තවත් මිතුරන් දෙදෙනක් ඊට මූල්‍ය දායකත්වය සැපයුවා. මගේ රථයේ ඩිකිය පිරෙන්නට රෝදපුටුවත් තවත් අපේ ලට්ටලොට්ටත් පිරී තිබුණා. ගමනේ පළමුවැනි අභියෝගයට අපි මුහුණ දුන්නේ මෙහිදීයි. ඉතා පටු පාරක් ඔස්සේ කන්දක් මුදුනට විහිදුණු පාරකයි අපට යන්නට සිදුවුණේ. ගම්වාසීන්ට අනුව ඒ පාරේ ලොරිත් යන බව කී නිසා මම දෙවරක් නොහිතා ගමන් කළත් කන්ද මුදුනෙන් පාර අවසන් වුණේ රථය හරවා ගන්නටත් තැනක් ඉතිරි නොකරමින්. වෙනත් විකල්පයක් නැති තැන දරුවන් හා බිරිඳ බස්සවා මුළු කන්දම ආපස්සට එන්නට මට සිද්ද වුණා. ඉන් පසු කන්ද පාමුල සිට ඉතා අසීරුවෙන් රෝද පුටුව ඔසවා ගෙන එම දරුවාගේ නිවසට යන්නටයි අපට සිද්ද වුණේ. කොහොම වුණත් ඒ අසරණ දරුවාට රෝදපුටුව ලබාදුන් පසු මෙතෙක් අප විඳි වෙහෙස සිඳී ගියා.
    DSC_0346.jpg

    අහිංසක හීන..​
    අප ඉන්පසු පිටත් වුණේ කෙළින්ම නුවරඑළියටයි. ග්‍රෙගරි වැව අසබඩ කුඩා හෝටලයක නවාතැන් ගත් අපි ඊට පසුවදා සඳතැන්න බලා පිටත් වුණා.
    DSC_0373.jpg

    ග්‍රෙගරි වැවයි හඳපානයි...​
    සඳතැන්න පාරිසරික කලාපය පිහිටා තියෙන්නේ නුවරඑළියේ සිට ඉතා සුළු දුරකින්. නුවරඑළිය බදුල්ල පාරේ ග්‍රෙගරි වැව උද්‍යානය අවසන් වනවාත් සමගම මහගස්තොට හන්දිය හමු වෙනවා. එතැනින් වමට හැරී කිලෝමීටරයක් පමණ දුර ගමන් කළ විට මේ ඉතා සුන්දර පාරිසරික කලාපයට පිවිසිය හැකියි.
    එවක නුවරඑළියට බීජ අර්තාපල් සැපයූ ගොවිපොළ වන මෙය දැන් පාරිසරික සංචරණ කලාපයක් ලෙස සංවර්ධනය කර තිබෙනවා.
    DSC_0397.jpg

    සඳතැන්න​
    මෙහි ඇතුළත සංචරණය සඳහා ඔබ සෆාරි ජීප් රථයක සේවාව ලබා ගත යුතුයි. පැය දෙකකට ආසන්න සංචරණයක් සඳහා එක් රථයකට රුපියල් දෙදහසක මුදලක් ගෙවන්නට සිදු වෙනවා. මා යන වේලාවේම තවත් දරුවන් තිදෙනෙකු සමග තවත් පවුලක් පැමිණ සිටි නිසා අප දෙගොල්ලනටම එක් ජීප් රථයක ගමන් කර වියදම බෙදා ගන්නට හැකි වුණා.
    DSC_0398.jpg
    උදෑසනම මේ උද්‍යානයට ඇතුළු වන්නන්ට කුරුලු විශේෂ ගණනාවක් දැක ගන්නට හැකියි. මේ උද්‍යානයේ අතරමග රථයෙන් බහින්නට අවසර නෑ. උද්‍යානයේ ඉහළටම ගමන් කළ විට ඉදිකර ඇති නැරඹුම් ස්ථානයේ ඔබට ජීප් රථයෙන් බසින්නට පුළුවනි. එතැන් සිට මධ්‍යම කඳුකරයේ අතිශය චමත්කාර දර්ශනයක් කුරුලු ඇසින් නරඹන්නට ඔබට අවස්ථාව ලැබෙනවා.
    DSC_0406.jpg

    DSC_0409.jpg

    හක්ගල කඳුපන්තිය​
    අංශක 360ක දර්ශනයක් දක්නට ලැබෙන විරල අවස්ථාවක් මෙතනදී ඔබට අත්දකින්නට පුළුවනි. එමෙන්ම තැන්න කෙළවර මොහොර බෑවුමක් මගින් නිර්මිත පුංචි ලෝකාන්තයකුත් මෙහි තිබෙනවා.
    DSC_0473.jpg

    පුංචි ලෝකාන්තයෙන් පහළ..​
    කඳුකර වළාකුළු වනාන්තර සමීපව නිරීක්ෂණය කරන්නටත් මෙහිදී අවස්ථාව ලැබෙනවා. ජීප් රථයේ රියදුරා පැවසූ පරිදි මෙහි කඳුකර කොටින්, කුළු මීවන්, ගෝනුන්, වළි කුකුළන් පමණක් නොවෙයි මෑතක සිට මොනරුන්ද දක්නට ලැබෙනවා.
    DSC_0416.jpg
    දීර්ඝ ගමනක් නිමාකර අපි නැවත හපුතලේ, බොරලන්ද හරහා බෙරගලට පැමිණියා. ඉන්පසුව පඹහින්න හන්දියෙන් හැරී සමනලවැව ජලාශයේ කාන්දුව සිදුවන තැනින් දියනා ගත්තා. මෙය පරිස්සමෙන් කළයුතු දෙයක් වන්නේ ආසන්න දිනකදී මේ තටාකයේ ගිලී තරුණයෙක් මිය ගොස් තිබුණු නිසා. රත්නපුර පානදුර පාරෙන් අධිවේගී මාර්ගයට පිවිස හවස් වෙද්දී ගෙදර එන්නට අපට හැකිවුණා. වයස අවුරුදු 38ක් වුණත් ගමන පුරාම කිසිදු කරදරයක් නැතිව කඳු පල්ලම් දිගේ පරිස්සමට අප රැගෙන යන්නට අපේ පැරණි වැගන් රිය සමත් වුණා.
    මේ සියලු තොරතුරු හා ඡායාරූප මගේ http://sobaroo.blogspot.com බ්ලොග් අඩවියෙනුයි. ඕනෑම අයෙක් වාණිජමය නොවන අරමුණකට මේ තොරතුරු හා ඡායාරූප භාවිත කළාට කිසිම ගැටලුවක් නැත.
     
    Last edited:

    leodilshan

    Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    Patta machan.Parana wahanayak highway danna, dura yanna baya nadda?

    මේ ප්‍රශ්නේ කවුරුහරි අහනකම් මම හිටියේ. ඇත්තටම මචං මං මේ වාහනේ ගත්තේ 2012. මේ වෙන කම් රට වටේම දුවලා තියනවා තාම පාරක රස්තියාදු වෙලා නෑ. එකම පාරක් 2013 කතරගම ගිහිං එනගමං (මමයි, වයිෆුයි, අම්මලා දෙන්නයි පොඩි බබයි) තංගල්ල හරියෙදි පස්සෙ රෝදයක හුළං ගියා. (කරුමේ කියන්නේ ඒ රෝදෙම විතරයි ටියුබ් තිබුණේ. අනික්වා ටියුබ්ලස්) ඔච්චරමයි පාරක ටිකක් හරි රස්තියාදු වුණානං.
    හැබැයි මේ වගේ ළමයි එක්ක දුර යන්න, හයිවේ යන්න තමන්ගෙ වාහනේ තමන්ට විශ්වාස වෙන්න ඕන. නියම කාලෙට නඩත්තු කරනවා නම් තාමත් මේ පරණ වාහන සුපිරියි.
    මං මීට කලිනුත් අපේ පුංචි පුතා ඉපදෙන්න ඉන්න කොට වයිෆුයි ලොකු බබායි (එයාට එතකොට අවුරුදු හතරයි) ලොකු ටුවර් එකක් නුවරඑළිය පැත්තේ ගියා.
    මේවා මචං ගොඩක් මිකැනිකල් (mechanical) ඉලෙක්ට්‍රොනික් පාට්ස් ඇත්තෙම නැති තරම් නිසා රෙපයාර් ලේසියි. මම ඉතිං නඩත්තුවක් කියල කරන්නෙත් නියම කාලෙට සර්විස් කරන එක තමයි.
    කොහේ ගමනක් ගියත් ටික දුරක් හරි හයිවේ එකේ යැවෙනවාමයි. මොකද මාතර පැත්තට ගියොත් ඒත් හයිවේ. කොළඹ පැත්තට ආවත් එමමයි. හැමදාම මම හයිවේ එකේ ඇවරේජ් ස්පීඩ් 85ට යනවා. සමහර වෙලාවට දන්නෙ නැතුවම 110 පනිනවා. එතකොට බෝම මිහිරි එලාම් එකක් ඇහෙනවා.
    මේක මම හැමදාම දුවන වාහනේ. මම වෘත්තියෙන් ටියුෂන් මාස්ටර් කෙනෙක්. මං හැමදාම පන්ති යන්නේ මේ කාර් එකේ. අවංකවම මගක නතරවෙන්න ලෙඩක් නං මේ අවුරුදු හයටම මූ දීලා නෑ.
    මේ ගමන ගිහිං ආවම පොඩි ලෙඩක් ආවා. අර කන්දේ ගිහිං කෝම හරි යට වැදිලා තියෙනවා. සයිලන්සරේ ගෙඩිය ලඟිං පුපුරලා තිබ්බා. ඒත් ගෙදර ඇවිත් තව අවුරුදු ගමන් ටිකත් දුවලාම තමයි ගිය සතියේ ඒක රෙපයාර් කර ගත්තේ.