අනාගතයේ බුදු වන බුදුරජාණන් වහන්සේලා දස නමක් – දසබෝධිසත්තුප්පත්තිකථාව
———————————————–
සූවිසි විවරණය සහ අටව්සි බුදු වරු
සූවිසි විවරණය ගැන අප බොහෝ දේ අසා ඇත. දීපංකර පාද මූලයේ දී එදා සුමේධ තාපසතුමා ලෙස ප්‍රථම නියත විවරණ ලබා ගත් අප මහා බෝසතාණන් වහන්සේ, තමන් වහන්සේ පාරමී පිරූ සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂය තුල සූවිස්සක් සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගෙන් නියත විවරණ ලබුහ. ඒ ලැබූ විවරණ ශ්‍රීයයි සූවිසි විවරණ යනුවෙන් හැඳින්වෙන්නේ.
මෙසේ අප මහා බෝසතාණන් වහන්සේට ප්‍රථම විවරණය දුන් දීපංකර බුදුරජාණන් වහන්සේ වැඩ විසූ ඒ කල්පයේ උන් වහන්සේට ප්‍රථමයෙන් තණ්හංකර, මේධංකර, සරණංකර යන නම් ඇති බුදුරජාණන් වහන්සේලා තුන් නමක් පහළ වූහ. අනතුරුව දීපංකර බුදුරජාණන් වහන්සේගේ පටන් මේ මහා භද්‍ර කල්පයේ බුදු බවට පත් වූ කකුසඳ, කෝනාගමන, කාශ්‍යප යන සම්මා සම්බුදුරජාණන් වහන්සේලා සමග ගත් කළ අප මහා බෝසතුන් පාරමී දම් පිරූ සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂය පුරා පහළ වූ බුදුරජාණන් වහන්සේලා ගණන සත් විස්සකි. ඊට අප සිද්ධාර්ථ ගෞතම තථාගතයන් වහන්සේත් එකතු කළ කල අටවිසි බුදුරජාණන් වහන්සේලා සම්පූර්ණ වේ. අටවිසි බුද්ධ පූජා යනු මේ බුදුරජාණන් වහන්සේලා නම් වශයෙන් සිහි කරමින් බුද්ධ පූජා පැවැත්වීමයි.
සත් බුදුවරු
සත් බුදුවරු යනු මේ කපේ පහල වූ බුදුරජාණන් වහන්සේලා සිව් නම සමග එයට පෙර පහල වූ විපස්සි, සිඛි, වෙස්සභු යන නම් ඇති බුදුවරු තුන් නම එකතු කර වන්දනා කිරීම සහ පුද පූජා පැවැත්වීම පිණිස සකසා ගත් සීට්ටුවකි. ගෞතම බුද්ධ ශාසනයේ නිවන් දුටු බොහෝ පිංවත් උතුමන් වහන්සේලාගේ පාරමී පිරිම ආරම්භ වන්නේ මේ සත් බුදුරජාණන් වහන්සේලා ගේ කාල සීමාව ඇතුලත වේ. මේ සත් බුදුරජාණන් වහන්සේලා පහල වීමට පෙර කිසියම් සත්ත්ව කෙනෙක් ශ්‍රාවක බෝධියෙන් සසරින් එතෙර වීම පිණිස පාරමී පිරීම ඇරඹුවා නම්, ඒ පිංවත් සත්ත්වයින් අතුරින් කෙනෙක් මේ වන විට සසරේ සිටීමට කාරණා නොපෙනේ.
අනාගත බුදුවරු
අතීත බුදුවරු මිස අනාගත බුදුවරු පිළිබඳ කතා එතරම් ප්‍රචලිත නැත. මෙතේ බෝසතුන්, හෙවත් තව්තිසා දෙව්ලොවදී අභිධර්ම දේශනාව පවත්වා සකස්ස පුරයට දෙවාරෝහණ පූජා විඳිමින් වැඩම කළ බුදුරජාණන් වහන්සේ දැක පැහැදී පැවිදි වූ අජිත තෙරුන් පිළිබඳව මිස වෙන බෝධිසත්ත්ව කෙනෙකුන් ගැන කතාවක් ධර්ම දේශනාවක හෝ අසන්නට ලැබී නැත. එසේ වුවත් අනාගත කාලයේ ලොව පහල වන්නා වූ බුදුරජාණන් වහන්සේලා දසනමක් ගැන විස්තරයක් අපට හමු විය. ලෝ වැඩ තකා එය බෙදා ගමු.
මෙහි අවස්ථා සම්බන්ධය පහත පරිදි වේ.
අප ගෞතම බුදු රජාණන් වහන්සේ සැවැත්නුවර පූර්වාරාමය නම් වූ මිගාරමාතු ප්‍රාසාදයේ වැඩ සිටි සමයක සැරියුත් තෙරණුවෝ උන් වහන්සේ වෙත පැමිණ වන්දනා කොට මෙසේ විමසූ සේක:
ස්වාමීනි, අජිත තෙරුන් අනාගත කාලයෙහි මෙම මහා භද්‍රකල්පයෙහි ම මෛත්‍රිය නම් බුදු රදුන් වන බව වදාරන සේක. ස්වාමීනි, අනාගත කල්පයන්හි වෙනත් බොහෝ අර්හත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේලා (ලොව) පහළ වන්නාහු නො වෙත් ද? යනුවෙනි.
එසේ විමසූ සාරිපුත්ත තෙරුන්ට තථාගතයන් වහන්සේ මෙසේ පිළිතුරු දුන්හ.
සාරිපුත්තය, සියලු සත්පුරුෂයෝ ලොවෙහි ඉපිද පිළිවෙළින් පාරමිතා පුරා බුදු බවට පත් ව ආයු අවසන බුදු කිස නිමවා පිරිනිවන් පෑවාහු, අනන්ත අප්‍රමාණ වූවාහු නො වෙත් ද? අනාගත කාලයෙහි ද ධෛර්ය සම්පන්න, දැඩි වීර්යය ඇති තවත් සත්ත්වයෝ පිළිවෙළින් පාරමිතා පුරා කාම භවයන්හි සේ ම බ්‍රහ්ම ලෝකයන්හි ද සම්පත් අනුභව කොට ඉන් පසු ව ම බුදු බවට පත් ව බුදු කිස නිමවා පිරිනිවන් පාන්නාහු, අනන්ත අප්‍රමාණ වන්නා හ. සාරිපුත්තය, අනාගතයෙහිත් පහළ වන බුදුවරුන් ගණනින් ප්‍රමාණ නො කරමි. එහෙත් සාරිපුත්තය, අර්හත් වූ සම්මා සම්බුදුවරු දස නමක් පිළිවෙළින් ලොව පහළ වන්නාහු ය යනුවෙනි.
ඒ දශවිධ බුදුරජාණන් වහන්සේලාගේ නම් පහත පරිදි වේ.
මෛත්‍රිය සම්මා සම්බුදු රජාණන් වහන්සේ: අජිත තෙරුන් වහන්සේ
රාම සම්මා සම්බුදු රජාණන් වහන්සේ: රාම රජතුමා
ධම්මරාජ සම්මා සම්බුදු රජාණන් වහන්සේ: පසේනදී කොසොල් රජතුමා
ධම්මසාමි සම්මා සම්බුදු රජාණන් වහන්සේ: අභිභූ දෙව්රජු
නාරද සම්මා සම්බුදු රජාණන් වහන්සේ: දීඝසෝණ රාහු අසුරේන්ද්‍රයා
රංසිමුණි සම්මා සම්බුදු රජාණන් වහන්සේ: චඞකි බ්‍රාහ්මණයා
දේවදේව සම්මා සම්බුදු රජාණන් වහන්සේ: සුභ බ්‍රාහ්මණයා
නරසීහ සම්මා සම්බුදු රජාණන් වහන්සේ: තොදෙය්‍ය බ්‍රාහ්මණයා
තිස්ස සම්මා සම්බුදු රජාණන් වහන්සේ: ධනපාල හෙවත් නාලාගිරි හස්ති රාජයා
සුමඞගල සම්මා සම්බුදු රජාණන් වහන්සේ: පාරිලෙය්‍යක හස්ති රාජයා
අපි උන් වහන්සේලා පිලිබඳ මදක් විමසමු.
දසබෝධිසත්තුප්පත්තිකථාව
————————————–
ඉහත නම් දැක්වූ දස බුදුවරයන් වහන්සේලාගේ උත්පත්ති කතාව සැකෙවින් පහත දැක්වේ.
මෛත්‍රිය සම්මා සම්බුදු රජාණන් වහන්සේ
මිනිසුන්ගේ මේ පවත්නා ආයුෂ කෙමෙන් අවුරුදු දහය දක්වා පිරිහී යයි. නැවතත් මිනිසුන්ගේ ආයුෂ කෙමෙන් කෙමෙන් වර්ධනය වී වසර අසූ දහසකට වැඩි වෙයි. මේ කාලය වන විට දඹදිව බෙහෙවින් සමෘද්ධිමත් ය. කුක්කුටසම්පාතිකා තත්ත්වයක් හෙවත් ගම් නියම්ගම් ජනපද රාජධානිවල වහල මත්තෙන් ගමෙකින් ගමකට කුකුළකුට නොබැස යා හැකි තරම් ඒකාබද්ධ ව පිහිටි නිවෙස්වලින් ගැවසී ගත් තත්ත්වයක් ඇති වන්නේ ය. දඹදිව මිනිසුන්ගෙන් අතුරු-සිදුරු නැති ව පිරී යන්නේ ය. දැන් පවත්නා බරණැස් නුවර ඒ වන විට කේතුමතී නම් රාජධානියක් වන්නේ ය. මුළු දඹදිව ඇති අසූහාර දහසක් නගරයන්ට මේ කේතුමතී රාජධානිය ම ප්‍රධාන වන්නේ ය. මේ කාලය වන විට ශංඛ නම් ධාර්මික සක්විති රජෙක් මේ කේතුමතී රාජධානියෙහි රජකම් කරන්නේ ය. මේ මහ පොළොවේ අවියෙන්, දඬුවමින් තොර ව පාලනය කරන්නා වූ ඒ ශංඛ සක්විති රජුට පරසේනා මර්දනය කිරීමට සමත් පුත්තු දහසකට වැඩි වන්නාහු ය. මෛත්‍රිය බුදු රදුන් ලොව පහළ වනුයේ මේ කාල සීමාවෙහි දී ය.
බෝධිසත්තුප්පත්තිකථාවට අනුව මෛත්‍රිය බෝසතුනට ආයුෂ වසර අසූ දෙදහසකි. උන් වහන්සේගේ උස අසූ අට රියනකි. විසි පස් රියනක් පෘථුල වන අතර පළල ද එපමණ වන්නේ ය. මෛත්‍රේය බුදු රදුන්ගේ සිරුරෙන් නිරතුරු ව නික්මෙන ශරීර ප්‍රභාව කොතරම් ද යත්: එය සඳ හිරු ප්‍රභාව ද අභිභවනය කොට සිටින්නේ ය. මේ නිසා මිනිසුන්ට රාත්‍රී දහවල් දෙක පවා වෙන් වෙන් ව හඳුනාගත නොහැකි වන්නේ ය. ඔවුන් නිරතුරු බුද්ධාලෝකයෙන් ආලෝකවත් ව සිටින්නා හ. සියොතුන්ගේ හඬින් ද පියුම් උපුල් කුසුම් පත් හැකිළීමෙන් සේ ම නැවත විකසිත වීමෙන් ද මිනිස්සු මේ සවස ය මේ උදෑසන ය යනුවෙන් වෙන් වෙන් කොට හඳුනාගන්නා හ. මේ කාලයේ වසන්නා වූ මිනිස්සු ගොවිතැන්, වෙළෙඳාම් නො කරන්නා හ. බුද්ධ නම් වූ අරමුණ සිහි කරන්නා වූ මේ අය නීරෝගී ය. බුද්ධානුභාවයෙන් උපන් ඇල් හාලේ භෝජනය ආහාර වශයෙන් අනුභව කරන්නා වූ මේ ජනතාව බොහෝ සතුටින් ජීවත් වන්නා හ.