අසීරූ වුවත් ගමන් කළ යුත්තේ බුදු රජාණන් වහන්සේ දෙසූ මාර්ගයේමය. සිත දමනය කිරීම පහසු නොවේ. නමුත් එය කළ යුතුමය

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,553
    10,944
    113
    Colombo
    අසීරූ වුවත් ගමන් කළ යුත්තේ බුදු රජාණන් වහන්සේ දෙසූ මාර්ගයේමය. සිත දමනය කිරීම පහසු නොවේ. නමුත් එය කළ යුතුමය.. වීර්‍යය අවශ්‍ය වන්නේ එබැවිනි..
    නිවන් දකින්නට ඕනෑ නමුත් අත හරින්නේ කොහොමද යැයි බොහෝ දෙනා විමසති. අවසානයට සිදුවන දෙය මුලින් කරන්නට නොයන්න. ඔබ කළ යුත්තේ මාර්ගය වැඩීමයි. දුවන වාහනයක් තිරිංග තද කළද එකවර නතර නොවේ. සිතද එක වර නිවා දැමිය නොහැක. බුදු රජාණන් වහන්සේ දෙසූවේ පැහැදිළි මාර්ගයකි. මාර්ගය වඩන්න. එවිට අතැහැරීම එහි ප්‍රතිඵලයයි.
    මාර්ගය යනු ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය යි. නිවීම පිණිස බුදු රජාණන් වහන්සේ දෙසූ මාර්ගය ඒකාන්ත වශයෙන්ම සත්‍ය බවත්, ඒ මාර්ගය හැර සංසාරයෙන් නිදහස් වීමට වෙන මාර්ගයක් නැති බවත්, සංසාරයේ රැදී සිටීම අපමණ දුකක්, බියක් හා නිස්සාර දෙයක් බවත්, අප මේ සසරේ දිගින් දිගට යන්නේ තෘෂ්ණාව නිසා බවත්, තෘෂ්ණාවෙන් ඇලෙන්නේ බැදෙන්නේ සිතේ අවිද්‍යාව පවතින නිසා බවත් අවබෝධ කරගන්න. මේ සම්මා දිට්ඨිය වූවද මාර්ගයට අවතීර්ණ වීමට ප්‍රමාණවත්‍ ය.
    යහපත් සිතිවිලි නිරතුරුව සිතේ ඇති කරගන්න. තරහ, වෛර, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, මාන, උද්දච්ච, රාග සිතිවිලි ක්‍රමයෙන් අවම කරගන්න. ඒ වෙනුවට මෙත් සිතිවිලි, බුදු ගුණ, අසුභ , මරණානුස්සති ආදී යහපත්, සත්‍ය සිතිවිලි ඇති කරගන්න. සම්මා සංකප්පය එයයි. යහපත් සිතුවිලි වලින් තොරව සිත පැවැත්වීමේ ආදීනවය ඔබ දැනටමත් අත්දකිනවා විය හැක. අප සියළු දෙනාටම ඒ ගැන අනන්ත අත්දැකීම් ඇත. සිත දුකින් පීඩාවට පත්වන්නේම මේ කිළිටි සිතිවිලි නිසාය. සම්මා සංකප්පය වැඩීමෙන් සිත සුවපත් වේ. පිරිසිදු වේ.
    යහපත් වචන කතා කරන්න. බොරු, කේළාම්, පරුෂ, හිස් වචන අප අනන්ත අප්‍රමාණ ව කියා ඇත. සැනසීමක් ලැබුවාදු දුකක් හැර. බැන්නොත් බනින්නට පුරුදු වූ වචනය දැන් සංවර කරගන්න. ප්‍රිය වචන අසන්නට අප කොතරම් ප්‍රියද.. මෛත්‍රියෙන් කරුණාවෙන් කතා කරන අය කෙරෙහි අප අවනත වන්නේ නිරායාසයෙනි. සිත් සුවපත් වන්නෙ ප්‍රිය වචනයටටය.. සත්‍ය වචනයටය. මෘදු වචනයටය. කරුණාබර වචනයටය. අප සම්මා වාචා පුරුදු කිරීමෙන් අප පමණක් නොවේ, අප වටා සිටින්නන්ද සුවපත් වේ. යහපත් වචනය පුරුදු කිරීමෙන් පමණක් වුවද ඔබේ ජීවිතය වෙනස් වේ. නමුත් මෙය අවංක විය යුතුය. සිතේ ද්වේශය තබා ගෙන වචනය මෘදු වී පලක් නැත. එයින් රැවටෙන්නේ තමාමය. සත්‍ය වාදී බව මහත් ශක්තියකි. යහපත් වචනයක්, කීමට අපහසුයි නම් නිහඩ වීම ඊට වඩා බොහෝ උතුම් ය. වචනය සංවර නොවිම නිසා අද සමාජයේ ඇති වී ඇති තත්වය ගැන සිතද්දී බුදු පියාණන් වහන්සේ දෙසූ මේ ධර්මයේ අකාලික බාවය, සත්‍ය බාවය, උන් වහන්සේගේ අවබෝධය ගැන මහත් වූ පැහැදීමක් ඇති වේ.
    යහපත් ක්‍රියා වන්ගෙන් යුක්ත වීම ඊළග මාර්ග අංගයයි. කයින් කරන කවර ආකාරයේ වැරදි ක්‍රියාවකින් හෝ වැළකී සිටීම මෙයින් අදහස් වේ. ප්‍රාණ ඝාතයෙන් වැළකීම, අන් සතු දේ නොගැනීම, වැරදි කාම සේවණයෙන් වැළකීම, සුරා පානයෙන් වැළකීම මෙයට ඇතුළත්‍ ය. අප මේවා අවංකව කළයුතු වේ. මේවා කිරීමේ හෝ නොකිරීමේ යහපත් හා අයහපත් විපාක ගැන දැන, අපගේම යහපත පිණිස මේවා පිළිපැදිය යුතුබව අප බුද්ධියෙන් දැකිය යුතුය. අපගේ ජිවිතය, සසර ගැන වගකීම අපටය. බුදු රජාණන් වහන්සේ මේ මාර්ගය, සික්ෂා පද පැනවූයේ අප කෙරෙහි කරුණාවෙන්, අපගේ යහපත පිණිසය.
    සම්මා ආජීවය යනු නිවැරදි දිවි පැවැත්මයි. පිරිසිදු ආකාරයෙන් මුදල් ඉපයීම කළ යුතුය. සත්ව වෙළඳාම, ආයුධ වෙළඳාම, මාංස වෙළඳාම, මත් පැන් වෙළඳාම, වස විෂ වෙළඳාාම යන පස් වැදැරුම් වෘත්තීන් වැරැදි දිවි පැවතුම් ලෙස බුදු රජාණන් වහන්සේ වදාරා ඇත. නිවන් මාර්ගයෙහි ගමන් කරන අය සම්මා ආජීවය රැකිය යුතුව ඇත. මෙ පමණක් නොව හොරට කිරීම් මැනීම්, වංචා කිරීම්, වෙළඳ ද්‍රව්‍යවලට නුසුදුසු දේ කලවම් කිරීම්, පොදු දේපොළ අයථා පරිහරණය, අල්ලස් ගැනීම්, අනාථාධාර සහනාධාර ආදිය ගසා කෑම වැනි ක්‍රියා රාශියක් වැරදි දිවි පැවැත්වීම් ගණයට වැටේ. මිච්ඡා ආජීවය ද නිවන් මඟට බාධාවකි. කරන කවර ආකාරයේ රැකියාවක් වුව හදවතට එකගව සාධාරණව අවංකව සිදු කළ යුතුය. එසේ කිරීමෙන් හදවතට මහත් ප්‍රීතියක් ලැබේ.
    සම්මා වායාම යනුවෙන් හැදින්වෙන්නේ වීර්‍යය යි. කිසිම දෙයක් වීර්‍යයකින් තොරව කළ නොහැක. විශේෂයෙන් අප සසරක් පුරා කෙලෙස් බරිතව පැමිණි ගමනේ තෘෂ්ණාව වඩවමින් ආ ගමනේ, සියල්ල ආපස්සට හැරවීමට අවශ්‍ය වීර්‍යය අති මහත්‍ ය . කෙලෙසුන්ගේ සතුටු වීමට පුරුදු වූ සිත ක්‍රමයෙන් නිකෙලෙස් වීම පිණිස හුරු කිරීම පහසු නොවේ. නූපදවූ කුසල් ඉපදවීමටත්, නූපදවූ අකුසල් නුපදීමටත්, ඉපිද වූ අකුසල් මැඩලීමටත්, ඉපිද වූ කුසල් තවත් වැඩි දියුණු කර ලීමටත් මහත් වීර්‍යයක් අවශ්‍ය ය. විශේෂයෙන්ම පිරිහෙමින් පවටින මෙවන් කාලයක නිවන් දැකීමට අවශ්‍ය වීර්‍යය සුළුපටු නොවේ.
    සම්මා සති යනු වැදගත්ම මාර්ග අංගයකි. කොතෙක් වැඩුවත් ඇති නොවන අංගයකි. සෑම ක්‍රියාවක්ම සිහියෙන් කිරීමේ පටන් නාම රූප ධර්මයන්ගේ නිරුද්ධ වී යාම දක්නා තෙක්ම වැඩිය යුතු දෙයකි. අසිහියෙන් සිත අතීත අනාගත අරමුණු කරා වෙහෙසවමින් නොසිට මේ මොහොතේ පංචස්කන්ධයේ ඇතිවීම් නැතිවීම් දකිමින් සිටීමට අප වීර්‍යය කළ යුතුය.
    සම්මා සමාධිය යනු සිත එකම අරමුණක පැවැත්වීමෙන් ආරම්භ වී දුක්ක නිරෝධ සත්‍ය අවබෝධය වන තෙක්ම වැඩිය යුතු දෙයකි. රූපාවචර ධ්‍යාන හතරක් සහ අරූපාවචර ධ්‍යාන හතරක් තිබේ. අප ඒවා වැඩිය යුතුය. ඒ ධ්‍යාන සිත් විදර්ශනාවට නගා නිවන අවබෝධ කළ හැක. සමාධිය ගුරු උපදෙස් යටතේ වැඩීම අවශ්‍ය වන්නේ බොහෝ දෙනා මිච්චා සමාධීන්ට යට වී තමන් රහත් වී ඇතැයි මුලාවට පත්ව විශාල අනුගාමිකයන් පිරිසක්ද මුලා වීම සිදු වන හෙයිනි.
    අනවශ්‍ය කලබලයකින් තොරව සන්සුන් සාමකාමී මනසකින් මේ සියල්ල කළ යුතුය. රහත් ඵලයෙන් නිවී සැනසෙන තෙක්ම මාර්ගය වැඩිය යුතුය. නිවන් මාර්ගය යනු තම සිතින් යන ගමනකි.
    ලෝකයා නොදැන සිටීමම යහපත් ය. කෙලෙස් ලෝකයේ නිකෙලෙස් උතුමන් නිහඩය..
    ඒ උතුම් ඇසුර ඔබට ලැබේවා...
    නිවන් මග ගමන් කොට උතුම් නිවනින් සැනසේවා...!!!
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,127
    12,117
    113
    සසරේ දිගින් දිගට යන්නේ තෘෂ්ණාව නිසා බවත්....

    ඕක ඇති කරවන්නේ පන්සලේ හාමුදුරුවෝ නේ..
    ලබන ආතමේ දිවය ලෝකේ සැප දැක්කා වගේ කියන්නේ 😂
     

    Similar threads