උන් වහන්සේ සෑම විටම අගය කළේ අප්‍රමාදයයි. අවසාන හුස්ම පොද නික්මෙන්නට පෙරත් දේශනා කළේ එයයි

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,650
    11,051
    113
    Colombo
    යමක් අවබෝධ කර ගැනීමේ විවිධ ක්‍රම ඇත. තාවකාලිකව එය කටපාඩම් කර ගත හැක. මතක තබා ගත හැක. නමුත් අවබෝධය පුළුල් වන්නේ ඕනෑ ම දෙයක් පුළුල්ව බැලීමේ හැකියාව මතයි. උදාහරණයකින් දක්වන්නේ නම්, ඔබ ගමක් නැරඹීමට යනවා නම්, ගමේ පාරවල් දිගේ ගොස් එය පිළිබඳව අවබෝධයක් ලබා ගත හැක. තවත් කෙනෙක් ගම මැද ඇති විශාල උස කන්දකට නැඟ එහි සිට පහළින් පෙනෙන ගම දෙස බලයි. එවිට ඔහුට මනා අවබෝධයක් ලැබේ. පාරවල්, ගෙවල්, කඩමණ්ඩි, දිය පාරවල්, ගෙවල්, මිනිසුන්, සතුන් ආදී සියල්ල පවත්නා ආකාරය ඉතා පැහැඳිළිව දර්ශනය වේ. කවර දෙයක් වුව අප අවබෝධ කර ගත යුත්තේ මෙලෙසිනි. ප්‍රඥා සම්ප්‍රයුක්ත බව එයයි. "බිග් පික්චර්" (Big picture)එක දකින්න යැයි කියන්නේ එයටයි. සිතට වඩා නිවැරදි දැක්මක් ඇතිවන්නේ එවිටයි.
    ඔබ මේ මොහොතේ වට පිට බලන්න. පෙනෙන්නේ මොනවාද.. ඔබ අවට ඉන්නා අය, තිබෙන දේවල්, සිදුවීම් පෙනෙනු ඇත. ඒ අනුව ඔබේ සිත තුළ දුක, සතුට දැනෙනු ඇත. ක්‍රමයෙන් ඔබව අහස්යානාවකින් උඩට උඩට ගෙනියනවායැයි සිතන්න. ඔබට දැන් ක්‍රමයෙන් දේවල් පෙනෙන පරාසය වැඩි වේ. ඔබට ශබ්දයත් ඇසෙනවා යැයි සිතන්න. ඔබේ අවට ප්‍රදේශය දැන් ඔබට දර්ශනය වේ. මිනිසුන් එක් එක්කෙනා කරන දේවල්, කියන දේවල් ඔබට පෙනේ. ඇසේ. දැන් තවත් ක්‍රමයෙන් ඉහලට යන්න. තවත් ප්‍රදේශ දිස්වේ. ඒ අයත් කරන කියන දේවල් පෙනේ. ඇසේ. දැන් මුළු ලෝකයම ඔබට පෙනෙන සේ ඉහලටම ගොස් බලා සිටිනවා යැයි සිතන්න.
    එක් එක් රටවල එක් එක් මිනිසුන්... පෙනුමෙන් විවිධයි. අඳින පළඳින විදිය විවිධයි. කරමින් සිටින කාර්යය, කතා කරමින් සිටින දෙය.. ඔවුන්ගේ හැඟීම්.. කෙනෙක් සතුටින්..කෙනෙක් දුකෙන්.. කෙනෙක් තරහෙන්.. කෙනෙක් ඊර්ෂ්‍යාවෙන්.. කෙනෙක් රාගයෙන්.. කෙනෙක් පසුතැවීමෙන්.. කෙනෙක් විරහ වේදනාවෙන්.. කෙනෙක් මෛත්‍රියෙන්.. කෙනෙක් නිවීමෙන්.. කෙනෙක් තව කෙනෙක් පරදන්නට යුද්ධයක් සැලසුම් කරමින්.. කෙනෙක් කෑම ටිකක් සොයන්නට වෙහෙසෙමින්. කෙනෙක් ලස්සන වීමට යමක් කරමින්.. කෙනෙක් ඇඟ හදා ගන්නට ව්‍යායාමයක නිරත වෙමින්. කෙනෙක් කාර්යාලයක වැඩ කරමින්. කෙනෙක් රණ්ඩු වෙමින්. කෙනෙක් වගා කරමින්. කෙනෙක් දරුවන් නළවමින්. කෙනෙක් උයමින්. කෙනෙක් වගාවක යෙදෙමි... කෙනෙක් භාවනා කරමින්... මෙය ලියා නිම කළ නොහැක..
    එක් එක් අයට මේ වෙලාවේ පවතින්නේ ඒ ඒ අයගේ ලෝකයයි..
    ඔවුන්ගේ සිතුම් පැතුම් පවතින්නේ ඒ ඒ වටපිටාවට සාපේක්ෂවයි. එක් එක් අයට වෙනම ප්‍රශ්න ඇත. එක් එක් අයගේ ලෝකය විවිධය. ඔවුන් සැම දෙනාටම ඒ මොහොතට ලොකු වූ ප්‍රශ්නයක් ඇත. සතුන්ද සලකා බලන්න. නිවෙස් වල සිටින සතුන්, ඝන වනානතර වල, ගංගා , සාගර වල සිටින සතුන්.. මේ සෑම සත්වයකුටම ඒ ඒ වටපිටාවට, ඒ ඒ වෙලාවට සරිලන ආකාරයට ලොකු වූ, ප්‍රකට වූ, මූලික වූ අරමුණක්, ප්‍රශ්නයක් ඇත..
    එනම් ඒ ඒ අයගේ උපාදාන විවිධය. තම තමන්ට ප්‍රකට වූ, ලොකු වූ දේ අනුව සිතුවිලි පවත්වමින්, වචන කියමින්, ක්‍රියා කරමින් සිටී. මේ සියල්ල දෙස උඩින් බලා සිටින ඔබට සිතෙන්නේ කුමක්ද.. මට ලොකු දෙය තව කෙනෙක්ට ලොකු දෙයක් නොවේ. ඒ ඒ අයගේ ලෝක වෙනස් ය. ඒ කුමක් නිසාද..?
    ඒ ඒ අය මේ ලෝකය අල්ලන්නේ තමන්ගේ සිතට අනුවය. තමන් අල්ලන ආකාරය අනුවම ක්‍රියාත්මක වෙයි. එනම් එක් එක් අයට වැදගත් වන්නේ තමන්ගේ සිතය.
    උපාදානය කරන ආකාරයටම ක්‍රියා සිදු කරයි. වචන පිට කරයි. සිතුවිලි පවත්වයි. "උපාදාන පච්චය භවෝ"
    උපාදානය හේතුවෙන් භවය සැකසෙයි. අප සිතා කියන කරන දේවල් අනුව භවය සැකසෙයි.
    අප ධර්මය අවබෝධ කරගත යුත්තේ පුද්ගලනුබද්ධවම ( Personalize ) නොවේ. ඔබ මේ බිග් පික්චර් ( Big picture) එක දකින විට එන හැඟීම් බලන්න. ලෝකයේ හැම දෙනාම එකම ක්‍රියා ටිකක් වෙනුවෙන්, එකම දේවල් ටිකක් විවිධ ආකාරයෙන් කරමින් ජීවත් වෙයි. කුමක්ද මෙහි අරමුණ. මිනිසුන් ඉපදුණාට ජීවත් වනවා නොවේද.. ඒ සඳහා ඉගෙන ගනී, රැකියා කරයි, විවාහ වෙයි, ළමයි හදයි.. මුදල් උපයයි.. විනෝද වන්නට දෙයක් කරයි..කයි.. බොයි.. ලෙඩ වෙයි.. වයසට යයි.. මැරෙයි.. කොයි ආකාරයෙන් කරත් වන්නේ මේ ටිකය..
    එක් එක්කෙනා විවිධ විවිධ ආකාරයෙන් කරත් සිදු කරන්නේ මේ දේවල්මයි. නමුත් ඒ කරන ආකාරය මත සකසන භවයන් වෙනස් ය. ඔබට දැන් මේ ලෝකයේ පුද්ගලයන් කෝටි ගණන් සිටියත් හැම දෙනාගේම පොදු බවක් පෙනෙනවා නොවේද.. ඔබට දැන් ජෙනරලයිස් ( Genaralize ) කර බැලීමෙන් වඩාත් නිරවුල් අවබෝධයක් ලැබේ.
    කුමක්ද මෙහි හරය කියා ඔබට සිතෙනවාද..
    එය ඔබට වඩාත් හොඳින් අවබෝධ වන්නේ, දැනට පවතින මේ ලෝකය පෙනෙන ලෙසින්ම, අතීත සංසාරයත් පෙනෙන්නට ගත් විටය.. මේ දැන් කරන, කියන, සිතන දේවල් වලට අනුකූලව සංසාරය සැකසෙන ආකාරයත් ඒ සංසාරය තුළත් නැවත නැවත මේ දෙවල්ම කරමින් සත්වයා පැමිණෙන ආකාරයත් දක්නා විට මෙහි අර්ථය කුමක්ද යන්න අවබෝධ වේ.
    ඒ සංසාරය තුළ වැඩි පුරම පෙනෙන්නට තිබෙන්නේ ප්‍රේතයන්, යක්ෂයන්, තිරිසන් සතුන්, අපායේ සත්වයන් බවට පත්වී විඳිනා අපමණ දුක් කන්දරාවය.. එවිට සිතිවිලි මාත්‍රයකින් වත් සසර නොපැතීමට සිතෙනු ඇත. මේ බිග් පික්චර් ( big picture) එක දැකීමේ සීමාවක් නැත. දකින්නට දකින්නට කළකිරීමම ඇති වේ. තණ්හාව දිය වී යයි.. නමුත් සැම දෙනාටම එක සේ දැකිය නොහැකිය. දැකිය හැකි සීමාව ඉතා අල්පය.
    බුදු රජාණන් වහන්සේ සියල්ල දැක දේශනා කළේ කුමක්ද..
    " අසුර ගසන ක්ෂණයක් වත් සසරේ රඳී සිටීම වර්ණනා නොකරමි" කියායි. උන් වහන්සේ ඇසින් බලා, කනෙන් අසා අපට අප්‍රමාදීව නික්මෙන ලෙස කීවේය. අප තුළ උන් වහන්සේ කෙරෙහි විශ්වාසය පවතින්නේ කොතෙක්ද ඒ හා තරමින් වීර්යය පවතිනු ඇත.
    සිතේ ලාමක ආශාවන් පහළ වීම සාමාන්‍යය. තණ්හාව විසින් අපව දක්කන නිසාය. හරකකු දක්කනවා මෙන් අපව සංසාරයේ දක්කවයි. ඉතින් අපි ඇලි ඇලී දිගටම ගමන් කරමු. නමුත් ඒ තණ්හාව මැඩගන්නට, යටකරන්නට තරම් විශ්වාසයක් ශ්‍රද්ධාවක්, ප්‍රඥාවක් තිබිය යුතුය. ප්‍රඥාව තිබෙන තරමට ඔබ බිග් පික්චර් (big picture) එක දකිනු ඇත. බිග් පික්චර් (big picture) එක දකින තරමටම ඔබට ප්‍රඥාව වැඩෙනු ඇත. "මා මේ කරන්නේ කුමක්ද , එහි තේරුම කුමක්ද" කියා සතිය පිහිටනු ඇත.
    බොහෝ දෙනා, බුදු රජාණන් වහන්සේ කිව්වේ මධ්‍යම ප්‍රතිපදාවෙන් ජීවත් වීමට කියා වැරදි අදහසක් ගනී. බුදු රජාණන් වහන්සේ ධර්මය දේශනා කළේ "ඇත" යන අන්තයෙත් නොසිට "නැත" යන අන්තයේත් නොසිට මැදින් සිටය. "සමුදය" දක්නා කළ "නැත" යන අන්තයත්, "නිරෝධය" දක්නා කළ "ඇත" යන අන්තයත් පහව යයි. එය කච්චායන සූත්‍රයෙ උන් වහන්සේ ගම්භීර ලෙස විදහා දක්වයි.
    බුදු රජාණන් වහන්සේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ මධ්‍යම ප්‍රතිපදාව තුළ කෙනෙක්ට වීර්ය වඩා සසරින් නික්මෙන්නට ඉගැන් වූ සේක. සසරින් වහ වහාම නික්මෙන්නට උන් වහන්සේ දේශනා කළා විනා, භවයෙන් භවයට යන්නට කිසිම දිනෙක දේශනා කළේ නැත.
    උන් වහන්සේ සෑම විටම අගය කළේ අප්‍රමාදයයි. අවසාන හුස්ම පොද නික්මෙන්නට පෙරත් දේශනා කළේ එයයි. නොපමාව වීර්යය කරන්න කියාය.
    තම ගිහි කළ පුත්‍රයාට තව වයස වැඩිවෙනකල් රජ සැප විඳින්නට කීවේ නැත. සියල්ලන්ම දොස් පවරනු බව දැන දැනත් ඔහුව කැඳවා ගොස් මහණ කළේය. විවාහ වීමට නියමිත නන්ද කුමාරයාට විවාහ වී පසුව එන්නට කීවේ නැත. එදිනම ගොස් මහණ කෙරෙව්වේය. හැකි සැම දෙනාටම මොහොතක් හෝ පමා කළේ නැත.. මන්ද.. උන් වහන්සේ තරම් මේ සසර ගැන දන්නා කෙනෙක් නැති නිසාය. දුක දන්නා කෙනෙක් නැති නිසාය. මෝඩකම නිසා කුඩා සැපයක් කියා ඇත්ත වශයෙන්ම දුකටම ඇලී සිටින මුත් පසුපසින් මහා ගින්නක් ඇවිළෙමින් එයි.
    මැදුම් පිළිවෙත නම් වූ මාර්ග අංග අට කඩ නොකර පිළිපැඳීමෙන් නිවන ලබා ගත හැකිය. නිවැරදි දැක්මකින් යුතුව, කර්මය හා කර්ම ඵල අදහාගෙන, සසර ස්වභාවය හඳුනා ගෙන, පංචස්කන්ධයේ යථා ස්වභාවය අවබෝධ කරගත යුතුය. පංචස්කන්ධය මොහොතක් පාසා බිඳී බිඳී යන අයුරු විනාශ වී යන අයුරු මමෙක් මගෙ කියා දෙයක් නැති අයුරු දැකිය යුතුය. ඒ සම්මා දිට්ඨිය නිමාවන්නේ රහත් වීමෙන්නි. ඒ දක්වා එය නිමා නොවන අවබෝධයකි. දැක්මකි. ප්‍රඥාවකි. ඒ සදහා යාමට අනෙක් මාර්ග අංග වැඩිය යුතුය.
    නිතරම යහපත්ව සිත පවත්වා ගත යුතුය. අනවශ්‍ය රාග, ද්වේෂ, මෝහ සිතිවිලි වලින් තොරව සිතත් කයත් පවත්වා ගත යුතුය. නිවැරදිව ජීවිකාව කළ යුතුය.
    අනුන් රැවටීම කියා දෙයක් නැත. වන්නේ තමන් රවටා ගැනීමක් පමණි. වඩා වැදගත් වන්නේ නිවැරදි සතිය පැවැත්වීමයි. කය, සිත, වේදනා, සිතිවිලි යන සියල්ලේම සතිය පවත්වාගත යුතුය. ඒ හරහා භාවනාවෙන් සිත සමාධිමත් කර ගත යුතුය. මේ සැම දෙයකටම වීර්යය අවශ්‍යය. මේ සියල්ල එකටම වාගේ වැඩේ. මේ හරහා නිවන අවබෝධ කර ගත හැකිය.
    නිවන් මාර්ගය එයයි.
    ඒ විනා මධ්‍යම ප්‍රතිපදාව යනු කාටත් කරදරයක් නොවී ජීවත් වීම නොවේ. එය එක් අංගයකි. සම්මා ආජීව, සම්මා කම්මන්ත යන අංග වලින් එය කියවේ. නමුත් නිවන සඳහා එකක් දෙකක් පූරණය කර මදිය. විශේෂයෙන්ම සම්මා සති, සමාධි, සංකප්ප, ආදී අංග ඉතාම වැදගත්ය. භාවනා කිරීමකින් සිත සමාධිමත් කිරීමකින් තොරව නිවන් ලබා ගත නොහැක. ධ්‍යාන උපදවා ගත යුතුය. අනුපස්සනාවන් වැඩිය යුතුය. මේවා අධික ලෙස විසිර ගිය සිත් වලින් කිසිම දිනෙක කළ නොහැක.
    ලෝකය ගැනම සිතමින් සිටිද්දී අසතිය වර්ධනය වේ. එවිට සතිය පිරිහේ. මේ සැම අංගයක්ම එකිනෙකට අත්වැල් බැඳගෙන ඇත.
    සංසාරය පුරා අනේක ආකාර ආත්ම භාවයන් ලබමින්, ඉපදෙමින් මැරෙමින් එන මේ අනමතග්ග වූ සංසාරය දෙස එසේ බැලිය හැකි නම් ඔබට දුක්ඛ සත්‍යය අවබෝධ වනු ඇත යම් පමණකට. සංසාරය අති දීර්ඝය..
    සාගරයේ ජලය කොතනින් ගත්තත් දැනෙන්නේ ලුණු රසයයි. එලෙසින්ම බුදු රජාණන් වහන්සේ දේශනා ක ධර්මයත් සූත්‍ර, අභිධර්මය, විනය ආදී කවරක් තුළින් වුව මතු වන්නේ එකම සත්‍යයි...
    ඒ අත හැරීමයි...!
    අප එකක්වත් රැස් කරගත යුතු නොවේ. සැම විටම සිත අත හැරීමටම පුරුදු කළ යුතුය. අප මේ කයත් සිතත් අත හැරිය යුතුය. ඇත්තෙන්ම අප ලෝකයේ දේවල් කියා ආශා කරන්නේ ඒ බාහිර දේවල් වලට නොවේ. ඒ තුළින් අප සිත තුළ ඇතිවන සතුටටය. ( සරලව පමණි දැක්වූයේ.)
    දරුවාට කියා අප බැඳී ඇත්තේ , දරුවා තුළින් අප සිත තුළ ඇතිවන වේදනා ස්කන්ධයයි. සෑම විටම ක්‍රියාත්මක වන්නේ අපේ සිතයි. මේවා භාවනාවෙන් දකින්නට උවමනා දේවල්ය. එසේ ප්‍රත්‍යක්ෂව දක්නා විට ඒ සිතිවිලි ධර්මයන් කෙරෙහි ඇති උපාදාන අත හැරී යයි. එවිට බැඳීම් ගැටීම් නැති වී යයි.
    ඇලීම් ගැටීම් නැති වන්නේ බාහිර ලෝකයේ ඇති වස්තූන් විනාශ කිරීමෙන් නොවේ. අපේ සිතේ ඒවාට ඇති ඇලීම ගැටීම නැති කිරීමෙනි. නමුත් මෝඩකම නිසා බෝහෝ දෙනා කරන්නේ එයයි. අප වෙන අය හා තරහ වන්නේ එබැවිනි. ඇතුළෙන් අයින් කළ යුතු දේ පිටින් අයින් කරනවා යනු මෝහ මිශ්‍රිත ක්‍රියාවක් විනා ධර්මය නොවේ.
    සෑම දෙයක්ම සිත දියුණු කර ගැනීමට කමටහනක් වන්නේ මේ මූලික අවබෝධය සිතේ පවතිද්දීය..
    බාහිර ලෝකය බාහිර වශයෙන්ම පවතිද්දී රහතන් වහන්සේලා හුදෙකලාවේම නිවී ගියේ එබැවිනි.
    ලෝකය දැකිය යුත්තේ ඇසින් නොව.. මනසිනි.
    මන්දයත් ලෝකය මැවෙන්නේ සිත තුළ බැවිනි..
    සිතෙන් මිදෙන දින ලෝකයෙන් මිදුණා වන්නේ එබැවිනි.
     
    • Like
    Reactions: S_M_S and kinkon