.

බදුල්ල දිස්ත්‍රික්කයේ වියලුව මැතිවරණ බල ප්‍රදේශයේ මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ගැනෙන්නේ අඩු ආදායම්ලාභී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක් ලෙසයි. වී ගොවිතැන වගේම හේන් ගොවිතැනත් එළවලු වගාව මෙම ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රධානතම ජීවනෝපාය වන්නේය.
ගමනාගමන පහසුකම් අවම තත්වයක පවතින මෙම ප්‍රදේශයේ ජනතාවට තම බෝග වගාවන් අලෙවි කර ගැනීමට නොහැකිව බොහෝ අපහසුතාවයන්ට ලක්ව තිබුණු කාල වකවානුවකදී මීගහකිවුල ප්‍රාදේශීය සභාවේ මැදිහත්වීමෙන් ගම්මාන කිහිපයකට සෙත සැලසෙන පරිද්දෙන් සති පොලක් ඉදිකිරීමට සැලසුම් දියත් කර තිබිණ.
ඒ අනුව කලුගහකදුර බෝගස්තැන්න ඇල්ලන්ද මංසන්දියේ සති පොලක් සැකසීම 2011.09.30 වන දින වැඩ අරඹා එහි කටයුතු නිමකර ඇත. මේ සදහා රුපියල් හත්ලක්ෂ අසූඑක්දහස් පන්සිය හතලිස් දෙකක (781,542.00) මුදලක් වැයකර තිබිණ. නමුත් කනගාටුවට කරුණ වන්නේ මෙම ඉදිකරන ලද සති පොල ඉදිකලදා පටන් වසර 13කට ආසන්න කාලයක් තිස්සේ භාවිතයට නොගැනීමයි.

ඊට හේතුව පහදන ගම්වාසියෙක්,
“මේ සතිපොල හදපු තැනට මිනිස්සු කිසිවෙක් එන්නේ නැහැ. බොහෝ පිරිස් යන්නේ පිටමාරුව, මීගහකිවුල, කරමැටිය ආදී ප්‍රදේශයන්වල තියෙන සති පොලවල් වලටයි. අපේ පැත්තේ ජනතාවට ඒ සති පොලවල් වලට යන්න ප්‍රවාහන වියදම විශාල වශයෙන් දරන්න වෙනවා. ඒ නිසා මේ වගේ සති පොලක් ගමක හැදුව එක හොදයි. හැබැයි හැදුවේ මිනිස් වාසයක්වත් නැති ප්‍රදේශයකයි. කාගේ වුවමනාවට මෙම ස්ථානයේ මේ සති පොල හැදුවාද කියා දන්නේ නැහැ. මේක ඇත්තටම හදන්න තිබුණේ ඇල්ලන්ද ගම්මානයේ. එහෙම හැදුවා නම් මේ ඉදිකිරීමෙන් වැඩක් ගන්න තිබුණා.
බෝගස්තැන්න හා ඒ අවට ගම්මානවල විශාල පිරිසක් කෘෂි නිෂ්පාදන වගේම එළවලු අලෙවි කරනු ලබන්නේ මෙම ඉදිකරන ලද සතිපොලට මදක් දුරින් ඇති කලුගහකදුර ඇල්ලන්ද මාර්ගයේ අනාරක්ෂිත බිම් තීරුවකයි. එම ස්ථානයේ එකදු ස්ථිර ගොඩනැගිල්ලක් හෝ නැහැ. ඒ නිසා අව් වැසි වලින් වෙලෙන්දන් නිරන්තරයෙන් පීඩා විදිනවා. එම ස්ථානයට මෙම සතිපොල ඉදිකලානම් එය ඉතාමත් ඵල ප්‍රයෝජනයක් වෙනවා “
යනුවෙන් පැවසීය.
කෙසේ වෙතත් ජනතාවගේම බදු මුදල් වැය කරමින් ඉදිකරන ලද මීගහකිවුල බෝගස්තැන්න සතිපොල අද වන විට කැලෑවට යටවී විනාශවී හමාරය. යකඩ බට සහ තහඩු යොදා ඉදිකර ඇති සතිපොල මේ වන විට ඝණ කැලෑවෙන් වැසී ගොස් තිබෙන අතර රාත්‍රී කාලයේදී මෙම ස්ථානයේ විවිධ නොමනා ක්‍රියාකාරකම් සිදුවන බවත් අයාලේ යන ගවයින්ගේ ලැගුම්හලක් බවට පත්ව ඇති බවත් ප්‍රදේශවාසීන් පවසති.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මීගහකිවුල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ලලිත් ජයවර්ධන මහතා
මෙය අතිශය අසාර්ථක ව්‍යාපෘතියක් කියල මමත් පිළිගන්නවා. මෙය ඇත්තටම ඉදිකලේ මගේ පාලන කාලයට කලින් හිටපු සභාපතිතුමාගේ කාලයේදීයි. එම නිසා මේ ව්‍යාපෘතිය සිදුකලේ කෙසේද කියන්න මම දන්නේ නැහැ. කෙසේ වෙතත් මේ වන විට සතිපොල කිසිදු ප්‍රයෝජනයකට නොගෙන කැලෑවට යටවී තිබෙනවා. අවම තරමින් මෙහි එකදු සති පොලක්වත් පවත්වා නැහැ.

දුප්පත් කමින් මිරිකෙමින් පොලොව සමග හැප්පෙමින් තම දරුවන්ගේ අධයාපන කටයුතු ඉටුකරදෙමින් යහපත්වූ අනාගතයක් දකින්නට සිහින දකින ගම්වාසීන්ගේ බලාපොරොත්තු ඉටුවන්නේ කවදාද. මෙවන්වූ අවිධිමත් ව්‍යාපෘතීන් හරහා කිසිදාක ජනතාවට සෙතක් සැලසේවිද. ලක්ෂ ගනන් වැය කරමින් ඉදිකරන ලද සති පොල වසර 13කට ආසන්න කාලයක් පුරාවට බළධාරීන්ගේ අවධානයට යොමු නොවුනේ මන්ද. කියනා ප්‍රශ්න පමණක් ඉතිරිව ඇත.
සටහන – ජයලත් දිසානායක
Code:
https://news.slvlog.net/exclusive-article-41/

Last edited: