ලංකාව අන් කවරදාකවත් නැති ලෙස ඔන්ලයින් ගනුදෙනු සඳහා හුරු වෙමින් පවතී.
මෙම ඔන්ලයින් ව්‍යාපාරය තුල ගොන්ලයින් වැඩද සිදුවන බව පෙනේ.
.lk වංචාකාරයකුට හසු වුවහොත් අවසානයේ කියන්නට සිදුවන්නේ සොරි.com කියාය.
කොරෝනා උවදුර ඉස්මතු වීමත් සමග ඔන්ලයින් බිස්නස්වලට හොඳ කලදසාවක් උදාවිය.
ලංකාවේ ඔන්ලයින් බිස්නස් කරන්නට ගොස් මුලින්ම ඇදගෙන නෑවේ කප්රුක.comය.
කොරෝනා පළමු වටයේදී සැමන් ටින් එකෙන් ගසාකන්නට ගොස් කප්රුක වෙළෙඳ නාමය විනාශ කරගත් අන්දම සෙසු ඔන්ලයින් බිස්නස්කාරයන්ටත් හොඳ පාඩමකි.
එහෙත් කී දෙනෙකු එයින් පාඩමක් උගෙන ඇතිද යන්න මෙහි ඇති ප්රශ්නයයි.
ඇතැම් කුඩා සිල්ලර කඩ පවත්වාගෙන යන මහත්වරුන් හා පුද්ගලික මට්ටමින් භාණ්ඩ ප්‍රවාහනය කළ මහත්වරුන් ප්‍රදර්ශනය කළ අවංකකම හා මහත්මා ගුණය ලොකු කොම්පැණිකාරයින් තුලින් දක්නට නොවීය. එය කණගාටුවෙන් වුවත් සඳහන් කළ යුතුය.
කොරෝනා සමයේ ඔන්ලයින් ඔස්සේ මාරි බිස්කට් පැකට් එකක් ඉල්ලුම් කළ විට තියෙන ලොකුම මාරි බිස්කට් පැකට් එක එවීමට තරම් ඇතැම් සුපිරි වෙළෙඳ සල් ක්‍රියා කළේ ඒ දිනවල මිනිසුන්ගේ අත මිට හිඟ බව නොදැන නොවේ.
එය වූකලී මෙරට සුපිරි වෙළෙඳ සල් ගෙනයන ගරානා ප්රතිපත්තියයි.
ඒ කෙසේ වෙතත් මේ සුපිරි වෙළෙඳ සල් ඉල්ලුම් කළ භාණ්ඩයෙන් ප්‍රමාණය වැඩිකර එව්වා මිසක් ඒ වෙනුවට වෙනත් භාණ්ඩ බෙදා හැරියේ නැත.
කට්ට කරවල පෙන්වා හාල්මැස්සන් ගෙනැවිත් දුන්නේ නැත.
අද කතා කරන්නේ ගනුදෙනුකරුවන් අන්දවා කරනු ලබන ඔන්ලයින් බිස්නස් එකක් ගැනය.
නම Darazය.
එහෙත් වැඩ ජරාස්ය.
Daraz යනු විවිධ සැපයුම්කරුවන්ගෙන් සැදුම් ලත් ඔන්ලයින් වෙළෙඳපොළකි.
ප්රශ්නය වන්නේ ඒ සැපයුම්කරුවන් අතර පල් හොරුන්ද සිටීමයි.
Darazලාට තවමත් ඔවුන් හඳුනාගත නොහැකි වී තිබේ.
එහි අවසන් ප්‍රතිඵල 2 කි.
එකක් Daraz වෙළෙඳ නාමය විනාශ වීමයි.
දෙවැන්න, Daraz මගින් ඔන්ලයින් භාණ්ඩ ඇනැවුම් කරන පාරිභෝගිකයන් අතරමං වීමයි.
මෙයට කලකට ඉහතදී මගේ මිත්‍රයකු තම මවට එනජයිසර් වර්ගයේ ජංගම දුරකථනයක් මිලදී ගත්තේ Daraz හරහාය.
ලොකු වට්ටමක් සහිතව එය අලෙවි කරන ලදී.
මිල රුපියල් 2490 කි. හරි ලාබය.
හොඳට පැක් කර දුරකතනය එවා තිබුණි.
දිගහැර බැලූවිට ඔහුට දක්නට ලැබුනේ එය කැඩුණු දුරකථනයක් බවයි.
කෙසේවත් එය සවිකර ගත නොහැකි විය.
පැමිණිලි කර නැවත දුරකතනය බාර දුන් ඔහුට මුදල් ආපසු ලැබුනේ තවත් මසක් පමණ ඉක්ම ගිය පසුවය.
(අදාළ දුරකථනයේ ජායාරූපයක් මෙහි දැක්වේ.)
මෙහිදී ඔවුන් කළේ තනිකරම වංචාවකි.
ලොකු ඩිස්කවුන්ට් එකක් තුළ සත්‍යය සඟවා කළ ගනුදෙනුවකි.
Darazහි අදාළ දුරකතනය පිළිබඳව පළවූ දැන්වීමේ කොතැනකවත් එය හානි වූ හෝ අඩුපාඩුකම් සහිත හෝ දුරකතනයක් ලෙස හඳුන්වා දී තිබුනේ නැත.
මෙය එක් උදාහරණයක් පමණි.
පළ කරනු ලබන ඡායාරූපයක් විශ්වාස කරගෙන මිලදී ගැනීමක් කරන ගනුදෙනුකරුවන් රැවටීමට භාජනය කිරීම යනු සමස්ත ඔන්ලයින් ව්‍යාපාරයම විනාශ කර ගැනීමක් බව මේ ඔන්ලයින් මුදලාලිලා තවමත් තේරුම් ගෙන නැත.
පාඩමක් ඉගෙන ගන්නවා නම් සැමන් ටින් එකෙන් බුදුවීමට ගිය කප්රුක මුදලාලිට සිද්ධ වූ සන්තෑසිය හොඳටම ප්රමාණවත්ය.
මේ දිනවල Darazහි ඇපල් ජංගම දුරකතන සඳහා ලයිට්නිං කේබල් විකුණන දැන්වීමක් පළ වෙයි. (එම දැන්වීමේ ජායාරූපයක් මෙහි පළ වේ)
ඔරිජිනල් ඇපල් ලයිට්නිං කේබල් යනුවෙන් එහි සඳහන් කර ඇත්තේ ඇපල් බොක්ස් එකක් හා ඇපල් ලෝගෝවද ප්‍රදර්ශනය කරමිනි.
මිල රුපියල් 499 කි.
එහෙත් ඇනවුම් කළ විට ලැබෙන්නේ GZSP යනුවෙන් සඳහන් වූ කේබල් එකකි.
මෙය හරියටම දුරට ඇපල් ළඟට පැපොල් කීවාක් වැනි වැඩකි. (එහි ජායාරූපයක් ද මෙහි පළවේ)
මෙය අමුම අමු කුප්පකමකි.
දැනුවත්ව සිදු කරන වංචාවකි.
මෙවැනි කුපාඩිකම් කරන විට Daraz කෙරෙහි ඇති විශ්වාසය දඩාස් ගා බිමට ඇදගෙන වැටෙන බව වටහාගත යුතුය.
වංචාවෙන්, වංකභාවයෙන් බිස්නස් කිරීම යනු දැලි පිහියෙන් කිරි කනවා වැනි වැඩකි.
මෙවැනි ඔන්ලයින් ව්‍යාපාර පිළිබඳ නිසි නියාමනයක් නොමැතිවීම මෙම ජාවාරමට තවත් වාසියක් වී තිබේ.
එක්කෝ මෙම ඔන්ලයින් ව්‍යාපාර තුළ සිටින සැපයුම්කරුවන් අලෙවි කරන භාණ්ඩ පරීක්ෂාවට ලක් කළ යුතුය.
ඔවුන් අලෙවි කරන්නේ ප්‍රචාරය කරනු ලබන භාණ්ඩයමදැයි යන්න තහවුරු කර ගත යුතුය.
එසේ නැතහොත් දිගින් දිගටම සිදුවිය හැකි එකම දේ නම් නංගී පෙන්වා අක්කා දීම පමණි.
ලබන නොවැම්බර් මස දී 70% ක ඩිස්කවුන්ට් සහිත දැවැන්ත සේල් එකකට Daraz සැරසෙයි.
Daraz පමණක් නොව laabai.lk, takas.lk, kapruka.com, bigdeals.lk, myshop.lk, ikman.lk, mydeal.lk ඇතුළු අනෙකුත් ඔන්ලයින් බිස්නස්කාරයන්ටත් එක් දෙයක් පමණක් මතක් කරමු.
ඔන්ලයින් බිස්නස් එකේදී දෙනු ලබන 70% ඩිස්කවුන්ට් එකට වඩා පෙන්නුම් කරන අවංකභාවය 200% කින් වටී.