බුද්ධ ධර්මයට කරන අපහාස - ඉන්දියානු සාහිත්‍යය තුළ බුදුරජාණන්වහන්සේ ගැන සඳහන් නොවීම

hpalpola

Well-known member
  • බුද්ධ ධර්මයට අපහාස කරනු ලබන්නන් විසින් මෑත කාලයේ දී ගෙන හැර පානු ලබන තවත් තර්කයක් වන්නේ බුදුරජාණන්වහන්සේගේ නම ඉන්දියානු සාහිත්‍ය කෘතිවල සඳහන් නොවන්නේ ය යන්නයි. මෙකී තර්කය ඉදිරිපත් කරන්නන් අතර බෞද්ධයන් යැයි කියා ගන්නා තැනැත්තන් මෙන් ම අන්‍යාගමිකයන් ද සිටී. විශේෂයෙන්ම බුදුරජාණන්වහන්සේ ලංකාවේ උපන්නෙකියි කියා ගන්නා පිරිස ද මේ අතර වෙති. කෙසේවෙතත් මේ ලිපිය මා සකසනු ලැබූවේ මේ කිසිවකුටවත් පිළිතුරු සැපයීමට හෝ වාදයක් ඇති කර ලීමට නොවේ. බුදුරජාණන්වහන්සේ පිළිබඳව ඉන්දියානු සාහිත්‍ය කෘතිවල සඳහන් නොවන්නේය යන තර්කය මතු කර ඇති විට ඒ තර්කය පිළිබඳව මතු පිටින් කියවන්නා වූ බාහිරින් බලා සිටින්නා වූ පිරිස සඳහා යම් මගපෙන්වීමක් සඳහා ය. මෙකී තර්කය මත හබ කරන්නා වූ පිරිස් වෙත මෙකී ලිපියෙන් ප්‍රයෝජනයක් නැත්තේ ඔවුන් ඒ අන්තයන්හි එල්ඹ සිටිනා නිසාවෙනි. විශේෂයෙන් ම එකී තර්කය ඉදිරිපත් කරන්නා වූ පිරිස මෙවැනි ලිපියක් දුටු විට කෝප ගැනීමට පවා පුළුවන.

    ඉන්දියාව බුද්ධ ධර්මයට පමණක් නොව තවත් විශාල ආගම් ප්‍රමාණයක් ප්‍රචලිත වීමට ඉඩ සැලැස් වූ භූමියකි. බුදු දහම ඉන්දියාවේ ප්‍රචලිත වන්නේ ක්‍රි.පූ. 5, 4 වන සියවස්වල පමණ සිට වන අතර ක්‍රි.පූ. 3,2 සියවස්වලදී එහි උපරිම මට්ටමට පත් වූයේ අශෝක අධිරාජ්‍යයා සමඟිනි. කෙසේවෙතත් ක්‍රි.ව.9, 10 සියවස් පමණ වන විට ඉන්දියාව තුළ බුදු දහම ප්‍රචලිත වීම අවම වූ අතර ඒ වන විට චීනය තුළ බුදු දහම ප්‍රචලිත වෙමින් පැවතිනි. මේ කාලය වන විට ඉන්දියාව තුළ නැවතත් හින්දු දහමේ ව්‍යාප්තිය දැකිය හැක. ශ්‍රී ලංකාව මීට වෙනස් ව යමින් ක්‍රි.පූ. 2 වන සියවසේ සිට ඉදිරියට ප්‍රධාන ආගමික මතවාදය ලෙසින් බුද්ධ ධර්මය සංවර්ධනය කර ගනිමින් පවත්වා ගෙන එන්නට විය. ලංකාව තුළ මුල් බැසගෙන ව්‍යාප්ත වූයේ ‍ථෙරවාදී බුදු දහමයි. වරින් වර විවිධ වෙනස් මතවාද ඒ තුළට පැමිණියත් තවමත් ප්‍රධාන බුද්ධ ධර්මය ලෙසින් ථෙරවාදය ලංකාව තුළ පවතී. නමුත් මිනිසුන් එය පිළිපැදීමේ දී විවිධාකාරයෙන් අනුගමනය කරයි.

    ඉන්දියාව තුළදී බුදුරජාණන්වහන්සේ සිදුකළ සාමාජීය වෙනස කිසිවකුට අතැර දැමීමට නොහැකි විය. එක්වරම බුද්ධ දේශනාව සමාජ ගත වූයේ රජවරුන්ගෙන් ලද අනුග්‍රහය නිසාවෙනි. ප්‍රථමයෙන්ම බිම්බිසාර රජුගේ අනුග්‍රහය ලැබිණි. බිම්බිසාර යනු එවකට මගධයේ සිටි ප්‍රධානියායි. ඉන්පසු කෝසලයේ ප්‍රධානියාගේ අනුග්‍රහය ලැබිණි. මෙවැනි බොහෝ පාලක අනුග්‍රහය බුදුරජාණන්වහන්සේට ලැබිණි. එසේම සිටු පන්තිය එනම් ධනවත් පන්තියේ අනුග්‍රහය ද ලැබිණි. මෙවැනි තත්ත්වයන් තුළ අනෙක් ආගම් වලට බුදු දහම සමඟ තරඟ කිරීම එතරම් පහසු නොවිණි. ලංකාවේ බුදුදහම ව්‍යාප්ත වීමට හේතුව වූයේ ද මෙයයි. මෙකී තත්ත්වයට විසඳුමක් ලෙසින් අන්‍යාගමිකයන් සිදු කරනු ලැබූවේ තම ආගමික ඉගැන්වීම් වලට බුදුරජාණන්වහන්සේ සම්බන්ධ කර ගැනීමයි. විශේෂයෙන්ම මෙය දැකිය හැක්කේ හින්දු ආගමේ ය.

    බුදුරජාණන්වහන්සේ නිසා දැඩි ලෙසින් පහර වැදුන ආගමක් වන්නේ හින්දු ආගමයි. ඔවුන් එයට ප්‍රතිචාර දැක්වූයේ විෂ්ණු දෙවියන්ගේ අවතාරයක් ලෙසින් බුදුරජාණන්වහන්සේ නම් කරමිනි. ඒ අනුව විෂ්ණු දෙවියන්ගේ දස වැනි අවතාරය බුදුරජාණන්වහන්සේ විය. මෙහි ඇති විහිලු සහගත තත්ත්වය වන්නේ බෞද්ධ ඉගැන්වීම හින්දු ඉගැන්වීමට පටහැනි ව තිබීම වුවත් පැවැත්ම උදෙසා එකී චරිතය ආදේශ කර ගැනීමයි.

    ඒ අනුව පහත කෘතිවලට ඔවුන් බුදුරජාණන්වහන්සේ පිළිබඳව සඳහන් කර ඇත.

    හරිවංශ (1.41)
    විෂ්ණු පුරාණ (3.18)
    භගවත පුරාණ (පැදි කීපයක ම ඇත.)
    ගරුඪ පුරාණ
    අග්නි පුරාණ (16, 49.8)
    නරද්‍ය පුරාණ (2.72)
    ලිංග පුරාණ (1.71)
    පද්ම පුරාණ (3.252)
    භවිශ්‍ය පුරාණ
    ස්කන්ධ පුරාණ

    මීට අමතරව පරශරගේ බ්‍රිහත් පරශර හෝරා ශ්‍රාස්ත්‍රහි දී ද බුදුරජාණන්වහන්සේ ගැන දක්වා තිබේ.

    මේ පුරාණ කෘති ලංකාවේ බිහි වූ කෘති නොවේ. ඒවා ඉන්දියාවේ බිහි වූ කෘතීන් ය. ඒවායේ දී බුදුරජාණන්වහන්සේ ගැන සඳහන් ව තිබේ. අවශ්‍ය අයට අන්තර්ජාලය හරහා ඉංග්‍රීසි පරිවර්තන ලබා ගෙන කියැවිය හැක. මේ කිසිවක් පරිශීලනය නොකර ඉන්දියානු කෘතිවල බුදුරජාණන්වහන්සේ පිළිබඳව සඳහන් නොවේ යැයි තර්ක මතු කිරීම තමන්ගේ නොදන්නා බව ප්‍රදර්ශනය කරනවාට වඩා තමුන් කරන්නේ බුදු දහමට පහර ගැසීමකැයි යන්න පෙන්නුම් කිරීමකි.

    අනෙක් අතට කවුරුන් කෙසේ කීවද ක්‍රි.පූ. 2 සියවසේ දී ඉන්දියාවේ පිහිට වූ අශෝක සෙල්ලිපිවල බුදුරජාණන්වහන්සේ පිළිබඳව සඳහන්ව තිබේ. ඉන්පසුව පිහිටුවා ඇති ශාතවාහන සෙල්ලිපිවල ද තවත් සෙල්ලිපිවලද බුදුරජාණන්වහන්සේ පිළිබඳව සඳහන්ව තිබේ.

    ක්‍රි.පූ. 1 වන සියවසට අයත් ගන්ධාර බෞද්ධ අත් පිටපත් දැනට හමුව ඇති පැරණිම අත් පිටපත් වේ. මේවායේ සඳහන්ව ඇත්තේ බුදු දහම පිළිබඳව ය. මෙවැනි තවත් සාහිත්‍ය ඉන්දියාවෙන් හමුව ඇත. මේ පිළිබඳව අන්තර්ජාලය තුළ, පොත පත තුළ ඕනෑ තරම් කරුණු සඳහන් වේ. අවශ්‍ය වන්නේ සොයා බැලීම සහ ඒ සඳහා වන ඉංග්‍රීසි හෝ පාලි/සංස්කෘත දැනුම පමණි. ඒ දැනුම ඇත්නම් ඔබට මෙවැනි මාතෘකා දුටුවිට ඒවා ඉදිරිපත් කරන කතෘවරුන්ගේ යටි අරමුණ කුමක් ද යන්න සෘජුවම වටහා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.