මරණානුස්මෘති භාවනාව

asliyanage

Well-known member
  • Nov 2, 2006
    1,258
    3,720
    113
    Colombo
    උදා වූ තැන පටන් මොහොතකුදු නො නැවතී අස්තය කරා යන හිරු මෙන් සත්ත්වයෝ ද උපන් තැන පටන් නැවතීමක් නැති ව මරණය කරා ගමන් කරන්නෝ ය. නො මැරෙන ජීවිතයක් ඇති සත්ත්වයේක නැත. කවර අවස්ථාවක දී වුව ද ජීවිතය නැති විය හැකි ය. එය ඉතා දුබල දෙයකි. දුබලවූ නැසෙන ස්වභාවය ඇති ජීවිතය පිට්ටනියක් මැද ආවරණයක් නැති ව දැල්වෙන පහනක් බඳු ය. උදයේ තණ අග එල්ලෙන පිනි බිඳක් වැනි ය. දියෙහි ඇඳි ඉරක් වැනි ය. දිය බුබුළක් වැනි ය. පෙණ පිඬක් වැනි ය. මැටි බඳුනක් බඳු ය. පිනිබිඳු ආදිය බිඳීමෙන් කෙළවර වන්නාක් මෙන් ජීවිතය ද ඒකාන්තයෙන් මරණයෙන් කෙළවර වන්නේ ය. සත්ත්වයනට ඒකාන්තයෙන් පැමිණෙන්නා වූ මරණය නැවත නැවත මෙනෙහි කිරීම මරණානුස්මෘති භාවනාව ය. මතු දැක්වෙන වාක්‍යය පාඩම් කර ගෙන භාවනා කරනු.
    ⭕️
    භාවනා වාක්‍යය
    ජීවිතය අස්ථිර ය. මරණය නියත ය. සත්ත්වයන්ගේ ජීවිතය මරණින් කෙළවර වන්නේ ය. මම ද මැරෙන්නෙමි. මාගේ ජීවිතය ද මරණින් කෙළවර වන්නේ ය. සත්ත්වයෝ මරණය අරගෙන ම උපදින්නෝ ය. මරණය අරගෙන උපන් සත්ත්වයෝ උදා වූ තැන පටන් මොහොතකුදු නො නැවතී අස්තය කරා යන හිරු මෙන් උපන් තැන පටන් නො නැවතී මරණය කරා ගමන් කරති. මම ද මරණය ගෙන උපන්නෙමි. මම ද දිවා රෑ දෙක්හි නො නැවතී මරණය කරා ගමන් කරමි. මාගේ ජීවිතය මරණින් කෙළවර වන්නේ ය. මහා සම්මතාදි මහා සම්පත් ඇති රජ දරුවෝ ජෝතිය ජටිලාදි මහ පිනැති සිටුවරු ද වාසුදේව බලදේවාදි මහ බලැතියෝ ද මහා සෘද්ධිමත්හු ද මහා නුවණැතියෝ ද මරණ ප්‍රාප්ත වූහ. මා වැනියකුට කෙසේ ඉන් ගැලවිය හැකි ද? නො හැකි ම ය. මම ද ඒකාන්තයෙන් මරණයට පැමිණෙන්නෙමි.
    ♾
    මේ භාවනාව කරන්නා වූ තැනැත්තාගේ සිත පවට නො නැමේ.
    ♾
    පිනට නැමේ.
    ♾
    ඔහුට තෘෂ්ණාව ද අඩු වේ.
    ♾
    මරණ බය ද අඩු වේ.
    ♾
    බොහෝ සත්ත්වයෝ තමන් මැරෙන බව නො සිතා අජරාමර වූවන් සේ සිට මරණ කාලය පැමිණි කල්හි බිය පත් වී සිහි මුළාවෙන් කළුරිය කොට අපායෙහි උපදිති. මරණානුස්මෘති භාවනාව පුරුදු කළ තැනැත්තාට මරණ කාලයේ දී එය ගැන සෙස්සන්ට මෙන් බියක් හට නො ගන්නා බැවින් සිහි නුවණින් යුක්ත ව කාලක්‍රියා කොට ස්වර්ගයට යා හැකි වේ.
    ඥාතීන් ගේ මරණ ගැන ඇතමුන් බොහෝ හඬමින් බොහෝ කල් දුක් වන්නේ ද මරණය සත්ත්වයාට හිමි දෙයක්බව කලින් නො මෙනෙහි කිරීම නිසා ය. මරණානුස්මෘති භාවනාව පුරුදු කළ පින්වතුන්ට එබඳු අවස්ථාවලදී ද අන්‍යයන් මෙන් දුක් නොවී සැනසී විසිය හැකි ය. මරණය මෙනෙහි කරන්නා වූ තැනැත්තාට පඤ්චස්කන්ධයාගේ අනිත්‍ය ලක්ෂණය පහසුවෙන් වටහා ගත හැකි ය. තදනුසාරයෙන් දුඃඛ ලක්ෂණය හා අනාත්ම ක්ෂණය ද වටහා ගත හැකි ය. එය සතර මඟ සතර ඵලයන්ට පැමිණ නිවන් දැකීමට ම කරුණු වන්නේ ය





     
    Last edited:

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    1,258
    3,720
    113
    Colombo

    ------ Post added on Jun 16, 2021 at 5:56 AM

    1624441162811.png

    ------ Post added on Jun 23, 2021 at 3:00 PM

    පින්වතුනේ, පින්වත් දරුවනේ, කෙනෙකුන් තුළ නුවණ වැඩෙන්නේ තමන්වත් නොදැනමයි. ධර්මය පුරුදු කිරීමේ වාසිය ඒකයි. අදට වුණත් ටික ටික නමුත් මරණසතිය වැනි භාවනාවක් පුරුදු කළොත් කලක් යනකොට ඒ නිසා ඇතිවෙන යහපත තේරුම් ගන්න පුළුවන්. දැන් ඔබ කියවන්නේ එබඳු කථාවක්.
    ඒ කාලෙ භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ අලව් නුවර අග්ගාලව නම් චෛත්‍ය ස්ථානයේ. දිනක් අලව් නුවර මිනිස්සු භාග්‍යවතුන් වහන්සේ එහි වැඩම කළ වේලෙහි දානයක් පූජා කළා.
    එදා උන්වහන්සේ භුක්තානුමෝදනා බණ හැටියට වදාළේ මරණානුස්සතිය වැඩීම ගැනයි. උන්වහන්සේ මෙහෙම වදාළා.
    “ගෘහපතිවරුනි, මේ අයුරින් මරණය ගැන සිහිකරන්න. මාගේ ජීවිතය අස්ථිර දෙයකි. එහෙත් මරණය ස්ථීර දෙයකි. අනිවාර්යයෙන්ම මම මරණයට යටත් විය යුතු වෙමි. මාගේ ජීවිතය මරණයෙන් අවසන් වේ. ජීවිතය අනියතයි. මරණය නියතයි.
    ගෘහපතිවරුනි, මරණසතිය වැඩිය යුත්තේ ඔය විදිහටයි. ගෘහපතිවරුනි, මරණය ගැන සිහි නොකළ උදවිය ඉන්නවා. ඔවුන් මරණයට මුහුණ දෙන්නේ භයානක විෂඝෝර සර්පයෙකු දැකපු කෙනෙක් වගෙයි. ඔහුගේ අතේ දඬු මුගුරක් නෑ. ඔහු භීතියට පත්වෙනවා. බිරාන්ත වෙනවා. කෑගහනවා. ඒ විදිහටමයි මරණසතිය නොවැඩූ කෙනා මරණය ඉදිරියේ හැසිරෙන්නේ.
    නමුත් හොඳට මරණසතිය වැඩුවොත් ඈතදීම භයානක සර්පයාව දණ්ඩෙන් රැගෙන ඈතට වීසි කරනවා වගේ මරණය අභියස කිසි බියක් තැති ගැනීමක් නැතිව මුහුණ දෙනවා. ඒ නිසා මරණසතිය වැඩිය යුතුයි.”
    භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ උතුම් අනුශාසනයට හැමෝම ආදරයෙන් සවන් දුන්නා. නමුත් බණ අහලා ඔවුන් සාමාන්‍ය විදිහට වැඩකටයුතුවල යෙදුණා. භාග්‍යවතුන් වහන්සේත් පිළිවෙලින් චාරිකාවේ වඩින්න පිටත් වුණා.
    එදා දහසය හැවිරිදි පේසකාර දියණියක් ඒ බණ අහන්න ඇවිත් හිටියා. ඇය රෙදි වියන පවුලක සිටිය තරුණ දුවක්. ඈ මෙහෙම හිතුවා.
    ‘ඇත්තෙන්ම බුදුරජාණන් වහන්සේගේ වචනය නම් හරිම අසිරිමත්. එහෙමනම් මරණසතිය වැඩීම මාත් කරන්න ඕන.’
    ඉතින් එහෙම හිතලා එම යොවුන් දියණිය දිනපතා නොකඩවාම මරණය මෙනෙහි කළා. දිවා රාත්‍රී මෙනෙහි කළා. දැන් ඈ තුන් අවුරුද්දක් තිස්සේ මරණසතිය වඩනවා.
    දිනක් භාග්‍යවතුන් වහන්සේ හිමිදිරි උදෑසන ලෝකය දෙස බැලුවා. මේ තරුණ දියණිය මරණසතිය වැඩීම නිසා ප්‍රඥාව ද දියුණු වී ඇති බව පෙනුණා. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ යළිත් චාරිකාව පිණිස සංඝයා පිරිවරා වඩිද්දී අලව් නුවර අග්ගාලව චෛත්‍යස්ථානයටත් වැඩියා. බුදුරජාණන් වහන්සේගේ වැඩමවීම අසා වඩාත්ම සතුටු වුණේ අර දියණියයි. ඇයත් බණ අහන්න යන්න හරි ආසාවෙන් ඉන්නේ. එතකොට පියා මෙහෙම කිව්වා.
    “දුවේ… වෙන කෙනෙකුගේ සළුවක් වියන්ට පටන් අරගෙනයි තියෙන්නේ. තව වියතක් පමණ ඉතිරි වෙලත් තියෙනවා. අද කොහොමහරි ඉවර කරන්න ඕන. ඉක්මනින්ම ගිහින් නූල් ටික ඔතාගෙන එන්න.”
    එතකොට ඈ කල්පනා කළා. ‘අනේ…. මං බණ අහන්න යන්න ආසාවෙන් හිටියේ. එහෙත් පියාණන් මට නූල් ඔතන්න කියනවා. මං දැන් මොකද කරන්නේ? කමක් නෑ දැන් නූල් ඔතනවා. පස්සෙ බණ අහන්න යනවා’ කියලා ඈ නූල් ඔතන්න පටන් ගත්තා.
    එදා භාග්‍යවතුන් වහන්සේ දන් වළඳා අවසානයේ අනුමෝදනා බණ දේශනා කරන්න සූදානම් වුණා. උන්වහන්සේ වැඩම කළේ අර දියණිය වෙනුවෙන්මයි. නමුත් ඈ තාම බණ අහන්ට ඇවිත් නෑ.
    පේසකාර දියණියත් ඉක්මනින්ම නූල් ඔතා එන ගමන් ධර්ම දේශනාව අසනු කැමැත්තෙන් පිරිස කෙළවරේ වාඩිවුණා. බුදුරජාණන් වහන්සේ ඈ දෙස හොඳින් බැලුවා. එතකොට ඈ නූල් පන්දුව ඇති පැස පසෙකින් තැබුවා. භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. මෙතෙක් වේලා නිහඬව වැඩසිටි භාග්‍යවතුන් වහන්සේ ඇය අමතා වදාළා.
    “කුමාරිකාවෙනි, කොහේ ඉඳලද එන්නේ?”
    “ස්වාමීනී, ඒ ගැන මං දන්නෙ නෑ.”
    “කොහේද යන්නේ?”
    “ස්වාමීනී, ඒ ගැනත් මං දන්නෙ නෑ.”
    “දන්නෙම නැද්ද?”
    “ස්වාමීනී, දන්නවා.”
    “දන්නවා නේද?”
    “ස්වාමීනී, දන්නෙ නෑ.”
    භාග්‍යවතුන් වහන්සේ මේ ප්‍රශ්න හතර ඇසූ විට ඇය පිළිතුරු දුන්න ආකාරයට මහජනයා කිපුණා.
    “හප්පේ…! මේං බලාපල්ලකො වැඩක්. මේ පේසකාර කෙල්ල සම්මා සම්බුදුරජුන් සමඟ හිතු හිතූ අයුරින් කතාබස් කොරන හැටි… කොහේ ඉඳන්ද ආවේ කියලා අසද්දි පේසකාර ගෙදර ඉඳලා ආව බව කියන්ට එපායැ. කොහෙද යන්නේ කියලා අසද්දි පේසකාර ශාලාවට යන බව කියන්නට එපායැ. මොනවද මේකි දොඩන්නේ…?”
    “පින්වත්නි, කලබල වෙන්න එපා. ඇය මගේ ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ අවබෝධයෙන්මයි. දැන් අපි ඒ ගැන ඇගෙන් අහමු.
    කුමාරිකාවෙනි, කොහේ ඉඳලද ආවෙ කියා ඇසූ විට දන්නෙ නැහැ කිව්වෙ ඇයි?”
    “ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මං පේසකාර නිවසින් පැමිණි වග නුඹවහන්සේ දන්නා සේක. නුඹවහන්සේ ඇසුවේ කොයි ලෝකෙන් චුත වෙලා ඇවිදින් මේ මනුස්ස ලෝකයේ උපන්නාද කියලයි. ඒ ගැන නොදන්නා නිසයි දන්නෙ නෑ කිව්වේ.”
    “සාදු! සාදු! කුමාරිකාවෙනි. මා ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දුන් අයුරු හරි අගෙයි. එතකොට කොහෙද යන්නේ කියා ඇසූ විට දන්නෙ නැහැ කිව්වේ ඇයි?”
    “ස්වාමීනී, මං මේ නූල් අරගෙන පේසකාර ශාලාවට යන බව භාග්‍යවතුන් වහන්සේ දන්නා සේක. මෙයින් චුත වෙලා ආයෙ උපදින්නේ කොහේද කියලයි ඇහුවේ. ඒ ගැන මං දන්නෙ නැති නිසයි දන්නෙ නෑ කිව්වේ.”
    ඒ වතාවෙත් භාග්‍යවතුන් වහන්සේ සාදුකාර දුන්නා.
    “එහෙමනම් කුමාරිකාවෙනි, දන්නෙ නැද්ද කියලා ඇහුවාම දන්නවා කිව්වේ ඇයි?”
    “ස්වාමීනී, මැරෙන්ට සිදුවෙන බව දන්නෙ නැද්ද කියලයි මගෙන් ඇහුවේ. මං මරණසතිය වඩමින් ඉන්නේ. ඒකාන්තයෙන්ම මරණයට පත්වෙන බව දන්නවා ස්වාමීනී. ඒ නිසයි මං දන්නවා කිව්වේ.”
    තුන්වෙනි වතාවෙත් භාග්‍යවතුන් වහන්සේ සාදුකාර දුන්නා.
    “එතකොට කුමාරිකාවෙනි දන්නවා නේද කියලා ඇහුවාම දන්නෙ නෑ කිව්වේ ඇයි?”
    “ස්වාමීනී, මං මැරෙන බව දන්නවා. නමුත් රාත්‍රියක ද, දවාලකද, පාන්දරකද මං මැරෙන්නේ කියලා දන්නෙ නෑ. ඒ නිසයි ස්වාමීනී, මං දන්නෙ නෑ කිව්වේ.”
    සිව්වෙනි වතාවටත් භාග්‍යවතුන් වහන්සේ සාදුකාර දුන්නා.
    “ගෘහපතිවරුනි, දැන් බලන්න මා ඇසූ ප්‍රශ්නයට ඈ ඉතාම අගේට පිළිතුරු දුන්නා. මේ කිසිවක් නොදැන ඔබ කළේ නිකං කෑකොස්සං ගැසූ එක විතරයි. බොහෝ දෙනාට ප්‍රඥා ඇස නෑ. අන්ධකාරයේ ඉන්නේ. යමෙකුට ප්‍රඥා ඇස තියෙනවාද, ඒ අයට තමයි සත්‍යය පෙනෙන්නේ.”
    මෙසේ වදාළ භාග්‍යවතුන් වහන්සේ ඉතා මිහිරි සරින් මෙම ගාථාව වදාළා.
    අන්ධභූතෝ අයං ලෝකෝ – තනුකෙත්ථ විපස්සති
    සකුන්තෝ ජාලමුත්තෝ’ව – අප්පෝ සග්ගාය ගච්ඡති
    මේ ලෝකයේ බොහො දෙන – නුවණැසින් තොර අන්ධයන් ලෙස
    සැබෑ තතු නොදැනයි වසන්නේ – ටික දෙනයි විදසුන් වඩන්නේ
    දැලෙන් ගැලවී ඉගිලිලා යන – කුරුල්ලන් සේ ටිකදෙනයි
    මෙයින් මතු සුගතියට යන්නේ
    පින්වතුනේ, පින්වත් දරුවනේ, ඒ දේශනාව අවසානයේ අර දියණිය සෝවාන් ඵලයට පත්වුණා. ඇය ඉතාම සතුටට පත්වුණා. හනික නූල් රැගෙන පියා ළඟට ගියා. ඇගේ පියාට නූල් කටින යන්ත්‍රය ළඟ වාඩිවී සිටියදී ම නින්ද ගිහින් තිබුණේ. ඇයත් ඒ ගැන නොසිතා නූල් පන්දුව ළං කළා. එතකොට නූල් පන්දුවේ කෙළවර ඈට ඇනුනා. ඈ කෑ ගසමින් වැටුණා. කලබලෙන් අවදි වූ පියා කලින් ගත්තු විදිහටම නූල් පන්දුව ඇද්දා. ලීයේ කෙළවර ගිහින් ඇගේ පපුවේ වැදුණා. ඇය එතනම මිය ගියා. තුසිත දෙව්ලොව උපන්නා.
    ඇගේ පියාට මෙය දරාගත නොහැකි ශෝකයක් වුණා. තමාගේ අතින් දියණිය මියගිය බව කිය කියා හඬා වැටුණා. ඔහු බුදුරජාණන් වහන්සේ සොයාගෙන ගියා. තමන්ගේ ශෝකය නිවාදෙන්න කියා ඉල්ලා සිටියා. ඔහු බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වුණා. සුළු කලෙකින් අරහත්වයට පත්වුණා.
    පින්වතුනේ, පින්වත් දරුවනේ, ඒ යුගයේ උපන්න අය හරි පින්වන්තයි. ප්‍රශ්න වලට මුහුණ දුන්නා. නොයෙක් කරදර කම්කටොළුවලටත් මුහුණ දුන්නා. අනපේක්ෂිත දුක් විපත් වලටත් මුහුණ දුන්නා. හැබැයි ඒ ආත්මෙන් එය අවසන් වුණා. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය නිසා චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්ට ලැබුණා. සසරෙන් එතෙර වෙන්ට ලැබුණා. මොනතරම් වාසනාවක්ද!
    ------ Post added on Jun 28, 2021 at 4:23 AM
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,247
    979
    113
    අද මැරෙයි හෙට මැරෙයි කියලා හිත හිත ඉන්න එක බමුණන්ගේ මරණ සතියයි.
    ඒකෙන් කෙලෙස් ප්‍රහානය වීමක් වෙන්නේ නෑ.
    බමුණන්ගේ මරණ සතිය භය උපදවන එකක්. භය කියන්නේ ක්ලේෂයක්
    කෙලෙස් වඩලා කොහේ නිවන් දකින්නද?

    අද 99%ක් බණට ඇහෙන්නේ ඔන්න ඔය බමුණන්ගේ මරණානුස්සතියයි.

    නිවන් දකින මරණ සතිය මෙන්න


    1) ලෝකෝත්තර මරණ සති භාවනාව
    https://www.youtube.com/watch?v=c_JyBUZW-qw



    2) මරණසති සූත්‍රය සවිස්තර දේශනාව
    https://www.youtube.com/watch?v=TttTpfgahI0



    3) පඨම මරණසති සූත්‍රය
    https://www.youtube.com/watch?v=xMz9ykNBsx0



    4) දුතීය මරණසති සූත්‍රය
    https://www.youtube.com/watch?v=ANhv4yUsvss



    5) මරණසති සූත්‍රය - සම්පූර්ණ දේශනාව
    https://www.youtube.com/watch?v=NN2G9iP3br4

     
    Last edited:

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    1,258
    3,720
    113
    Colombo
    1629671749916.png


    1629758083682.png

    ------ Post added on Aug 24, 2021 at 4:04 AM

    “ඒකධම්මො භික්ඛවෙ භාවතො බහුලීකතො එකන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බාණාය සංවත්තති. කතමො ඒක ධම්මො? මරණ සති" යනුවෙන් අංගුත්තර නිකායේ ඒකක නිපාතයෙහි වදාළ පරිදි මහණෙනි, එක් ධර්මයක් භාවනා වශයෙන් වඩන ලද්දේ නැවත නැවත පුහුණු කරන ලද්දේ, ඒකාන්තයෙන් සසර කලකිරීම පිණිස ද සසර නො ඇලී කෙලෙසුන්ගෙන් දුරුවීම පිණිස ද, විශිෂ්ට ඥාන ලැබීම පිණිස ද, චතුරාර්ය සත්‍යයන් අවබෝධ කිරීම පිණිස ද, නිවන් පසක් කිරීම පිණිසද පවතී හෙවත් හේතු වේ. ඒ එකම ධර්මය නම් කවරේ ද? මරණ සතිය මරණය අරමුණු කොට උපන් සිහිය යි.

    මරණානුස්සති යනු මරණය පිළිබඳ සිහිය හෙවත් තමා මැරෙන බව නැවත නැවතත් ඊ පිට ඊ පිට නිතර ම තම සිතෙහි උපදවා ගැනීම යි.

    මෙය ඉතාම උතුම් භාවනාවකි.

    අප්පමායු මනුස්සානං - හීලෙය්‍ය නං සුපොරිසො
    චරෙය්‍යාදිත්ත සීසොව - නත්ථි මච්චුස්ස නාගමො

    මිනිසුන්ගේ ආයුෂ ඉතා ටිකයි. සත්පුරුෂයා (නැණවතා) එය සුළු කොට නොසිතන්නේ ය. හේ හිස ගිනි ගත්තකු සේ හැසිරෙන්නේ ය. මරණයාගේ නො පැමිණීමක් නැති බැවිනි යනු මෙහි භාවයයි.

    අප බුදුරජාණන් වහන්සේ පමණ සිත දියුණු කළ අන් කෙනෙක් දෙවියන් සහිත ලෝකයා අතර නැත. සාරාසැකි කප්ලකක් සිත අන්තිම ඉහළට ම වඩා සර්වඥ (සියල්ල දැනගත්) බවට පත් වූ සේක. එබැවින් මෙ ලොවැ පහළ වූ අසහාය මනෝවිද්‍යාඥයා ද, අධ්‍යාපනඥයා ද, චින්තකයා ද, දාර්ශනිකයා ද ශාස්තෘවරයන් වහන්සේ ද වූ සේක.

    ඥානයෙන් අගතැන් පැමිණි පණ්ඩිතෝත්තම වූ මහා කාරුණික වූ ලොව මවිතයට පත් කළ ඉහළ ම පුරුෂෝත්තමයන් වහන්සේ බවට පත් වූ සේක. එබැවින් කරුණා මෛත්‍රීයෙන් සුවඳ කැවුණු මෙලෝ පරලෝ සැපත් සලසා දෙන සව් කෙලෙස් නසා සංසාර විමුක්තියත් සපයා දිය හැකි පණ්ඩිත ගෝචර වූ අසහාය ධර්මයක් දේශනා කළ සේක. පන්සාළිස් වසක් කල් දෙසූ ඒ බුදු දහමෙහි මිනිස් සිත ඉහළට ම දියුණු කැර ගැනීම පිණිස කිය යුතු හැම දෙයක් ම උගන්වා වදාළ සේක.

    දානයෙන් (දීමෙන්) වස්තු සම්පත් ලැබෙන බව ද සීලයෙන් සුගති සම්පත් ලැබෙන බව ද භාවනා වැඩීමෙන් ප්‍රඥාව හෙවත් නුවණ ලැබෙන බව ද වදාළ සේක. ප්‍රඥාව නොලබා ජීවිතයේ යථා තත්ත්වයවත් සසර ස්වභාවයවත් තේරුම් ගත නොහැකි ය. සසරින් එතෙර වැ නිවන් සුව ලබන්නට වත් නොහැකි ය.

    අනාදිමත් කාලයක සිට සසර ඉපිද මැරි මැරී යන සත්ත්වයා වනාහි රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන මේ පංචස්කන්ධය යි. මේ පස්කඳ නම් වූ රාශි හෙවත් ගොඩවල් පහ ජාතියක් ජාතියක් පාසා ම ඉපිදැ ඉපිදැ වහ වහා බිඳි බිඳී යන බැවින් අනිත්‍යය හෙවත් සදහට නැත. තාවකාලික ය. මේ පස්කඳ ම හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් බැවින් සංඛතය හෙවත් පටිච්චසමුප්පන්න ය. යමක් සංඛත ද පට්ච්චසමුප්පන්න ද එය දුක් ය යි වදාළ සේක. මේ පඤ්චස්කන්ධය ම දුක් පොදියකි. නො වෙනස්වන ස්ථිර ව පිහිටා සිටින කිසිවක් මෙහි නොමැති බැවින් සත්ත්වයා කියන මේ පස්කඳ ම අනාත්ම යයි වදාළ සේක.

    පස්කඳ ම වනාහි 1. අනිච්චතො, 2. දුක්ඛතො, 3. රෝගතො, 4. ගණ්ඩතො, 5. සල්ලතො, 6.අඝතො, 7. අබාධතො, 8. පරතො, 9. පලොකතො, 10. සුඤ්ඤතො, 11. අනත්තතො යොනිසො මනසිකාතබ්බා යනුවෙන් වදළ සේක්. ලෝකයා මනුෂ්‍යයා සත්වයා යයි ව්‍යවහාර කරන මේ පස්කඳ ම:

    1. ඇති ව නැති වන බැවින් අනිත්‍ය වශයෙන් ද

    2. නිතර ම පීඩා කරන බැවින් දුකක් වශයෙන් ද

    3. රිදෙන බැවින් රෝගයක් වශයෙන් ද

    4. ඇතුළත දූෂණය වන බැවින් ආබාධයක් වශයෙන් ද

    5. ස්වකීය දෙයක් නොවන බැවින් පරකීය දෙයක් වශයෙන් ද

    6. ජරා මරණාදියෙන් සිඳී බිඳී යන බැවින් (පලොකතො) විනාශවන දෙයක් වශයෙන් ද

    7. හිමියකු නැති දෙයක් හෙයින් ශුන්‍ය දෙයක් වශයෙන් ද

    8. තමන් වසයෙහි නො පවත්නා බැවින් අනාත්ම දෙයක් වශයෙන් යැයි යොනිසොමනසිකාරයෙන් හෙවත් මනා නුවණින් නිතර ම මෙනෙහි කටයුතු ය.

    කාටත් හොඳ භාවනාවක්

    ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි හැම දෙනා විසින් නිතර ම භාවනාවක් වශයෙන් වැඩිය යුතු, සිහිකට යුතු කරුණු පහක් බුදු දහමෙහි සඳහන් වේ.

    1. ජරාධම්මොම්හි ජරං අනතීතොති අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං ඉත්ථියා ච පුරිසෙන වා ගහට්ඨෙන වා පබ්බජිතේන වා මම ජරාව (දිරාපත්වීම - මහලුවීම) ස්වභාවය කොට ඇත්තෙක්මි, ජරාව නො ඉක්ම වූයෙක්මි ස්ත්‍රියක විසින් හෝ පුරුෂයකු විසින් හෝ ගිහියකු විසින් හෝ පැවිද්දකු විසින් හෝ නිතරම සිහි කට යුතු ය.

    2. ව්‍යාධිධම්මොම්හි ව්‍යාධි අනතීතොති අභිණ්හං පච්චචෙක්ඛිතබ්බං ඉත්ථියා පුරිසේන වා ගහට්ඨෙනවා පබ්බජතේන වා - මම ලෙඩවීම ස්වභාව කොට ඇත්තෙක්මි. ලෙඩ නො ඉක්මවූයෙක්මි යි ස්ත්‍රියක විසින් හෝ පුරුෂයකු විසින් හෝ ගිහියකු විසින් හෝ පැවිද්දකු විසින් හෝ නිතරම සිහි කට යුතු ය.

    3. මරණධම්මොම්හි මරණං අනතීතොති අභිණ්හං පච්චචෙක්ඛිතබ්බං

    ඉට්ටියා පුරිසෙන වා ගහට්ඨෙනවා පබ්බජිතෙන වා - මම මරණය ස්වභාව කොට ඇත්තෙක්මි. මරණය නො ඉක්මවූයෙක්මි යි ස්ත්‍රියක විසින් හෝ පුරුෂයකු විසින් හෝ ගිහියකු විසින් හෝ පැවිද්දකු විසින් හෝ නිතරම සිහි කට යුතු ය.

    4. සබ්බේහි මේ පියෙහි මනාපෙහි නානාභාවො විනාභාවොති අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං ඉත්ථියා පුරිසෙන වා ගහට්ඨෙනවා පබ්බජිතේනවා– මම මාගේ සියලු ම පි‍්‍රය මනාප ඇත්තන්ගෙන් හා වස්තූන්ගෙන් වෙන්වීම (අහක්වීම) ස්වාභාව කොට ඇත්තෙක්මි යි ස්ත්‍රියක විසින් හෝ පුරුෂයකු විසින් හෝ ගිහියකු විසින් හෝ පැවිද්දකු විසින් හෝ නිතරම සිහිකටයුතු ය.

    5. කම්මස්සකොම්හි කම්මදායාදො කම්මයොනි කම්මබන්ධු කම්මපටිසරණො යං කම්මං කරිස්සාමි වා පාපකං වා තස්ස දායාදො භවිස්සාමීති අභිණ්හං පච්චවෙක්කිතබ්බං ඉත්ථියා පුරිසේන වා ගහට්ඨෙනවා පබ්බජිතේන වා - මම කර්මය ස්වකීය කොට ඇත්තෙක්මි. කර්මයට උරුමක්කාරයෙක්මි. කර්මය ප්‍රභවය හෙවත් හටගත් තැන කොට ඇත්තේක්මි.

    කර්මය නෑයා කොට ඇත්තේකමි. කර්මය පිලිසරණ හෙවත් පිහිට කොට ඇත්තේකමි. යම් කල්‍යාණ කර්මයක් හෝ පාපකර්මයක් හෝ මම කරන්නෙම් ද, එයට මම උරුමක්කාරයෙක් හෝ වන්නෙමි යි ස්ත්‍රියක විසින් හෝ පුරුෂයකු විසින් හෝ ගිහියකු විසින් හෝ පැවිද්දකු විසින් හෝ නිතරම සිහි කටයුතු යයි වදාළ සේක.

    මරණ සති වැඩීමේ ආනිසංස

    “මරණසතිං භික්ඛවෙ භාවෙථ, මරණසති භික්ඛවෙ භාවිතා බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා අමතොගධා අමතපරියොසානා”

    (අංගුත්තර නිකාය)

    මහණෙනි, මරණය පිළිබඳ සිහිය වඩවූ, මහණෙනි. මරණ සතිය භාවිත කළේ බොහෝ කොට පුරුදු කළේ මහත්ඵල වෙයි. මහත් අනුසස් ඇත්තේ වෙයි. නිවනට පැමිණිය හැකි වන්නේ ය. නිවන් සුව ලබන්නේ යයි වදාළ සේක. මරණ සතිය වඩන විට තරුණ මද, ආරෝග්‍ය මද, ජීවිත මද හා මාන මදයෝ සංසිදෙති. උපාදානයෝ (තදින් අල්ලා ගැනීම) තුනී වෙති. සංවේග බහුල වේ තෙමේ තමන්තතු හඳුනාගන්නට සමර්ථ වේ.

    “මරණසතිමනුයුත්තෝ භික්ඛු සත්තං අප්පමත්තෝ හොති” මරණ සිහියෙහි යෙදුණු භික්ෂු තෙමේ, නිතර මැරෙන බව සිහි කරන්නේ මරණයට පළමුව තමා විසින් කටයුතු මෙලෝ පරලෝ වැඩ අප්‍රමාද වැ සැලැකිල්ලෙන් හා උද්යෝගයෙන් වහ වහා කරයි. ඒ ඒ මොහොතෙහි කටයුතු ඉගනීම් ආදී කිසිවක් කල් නොතබයි. මරණාදී විපත්තීන්හි දී ශෝකවීම් ළතැවීම් නැති වැ ධෛර්යයන් හා සිහි නුවණින් කටයුතු කරන බවත් උරග ජාතිකාදියෙන් හා බන්ධුල මල්ලිකා සිටු දේවිය, පේසකාර දුහිතෘ ආදීන්ගේ කථා ප්‍රවෘත්තිවලින් හොඳ හැටි පැහැදිලි වේ.

    මරණය පිළිබඳ සිහිය නිතර උපදවා ගැනීමෙන් මරණය අරමුණු කරගෙන සතිය පිහිටන්නේ ය. නැවත නැවතත් සිහි කිරීම් වශයෙන් ලැබෙන ආසේවන ප්‍රත්‍යයන්ගෙන් සිත එකඟ වන්නේ ය. නීවරණ විෂ්කම්භන හෙවත් යටපත් වන්නේ ය. ධ්‍යානාංග පහළ වන්නේ ය. මේ මරණානුස්මෘති භාවනාවෙහි යෙදුණු තැනැත්තේ සියලු භවයන්හි අනභිරත සංඥාව ලබන්නේ ය. හෙවත් භවයෙහිමි ඇලුම් නොකරන්නේ ය.

    ජීවිත තෘෂ්ණාව හැර දමන්නේ ය. පවට පිළිකුල් කරන්නේ ය. පිනට ලැදි වන්නේ ය. සන්නිධි (රැස්කිරීම්) බහුල නොවන්නේ පරිභෝගයට ගන්නා දේවල් කෙරෙහි මසුරුමල නැත්තෙක් වන්නේ ය. ඔහුට අනිත්‍ය සංඥාව පුරුද්දට යයි. ඒ අනුසාරයෙන් දුක්ඛ සංඥාව ද අනාත්ම සංඥාව ද වැටහෙයි. මරණය පිළිබඳ භාවනා කළෝ මරණාසන්න කාලයෙහි වල් සතුන් - යක්ෂ - සර්ප - සොරුන් - වධකයන් යන මොවුන් විසින් අභිභූත වූවන් වහා තැති ගැනීමට සිහි මුළාවට පැමිණෙත් ද එසේ නොවැ, බියට සිහිමුළාවට නො පැමිණ කලුරිය කරන්නෝ ය. මෙලොවැ නිවන් සුව ලබන්නෝ ය. මේ දිවියෙහි නිවන් සුව නොලද්දෝ නම් මරණින් මතු දෙව් මිනිස් යන සුගතියෙක ම උපදින්නෝ ය.

    මරණානුස්සති භාවනාව වඩන ආකාරය

    දිනක් අප බුදුරජාණන් වහන්සේ මරණානුස්සති භාවනාවෙන් නිවන් සුව ලැබිය හැකි යයි වදාරා, මහණෙනි, තෙපි මරණස්ති කමටහන වඩන්හු ද? යි භික්ෂූන් විමසූ සේක.

    1. එසේ විමසූ කලැ එක්තරා භික්ෂුවක් ස්වාමීනි, මම මරණ සතිය වඩමි යි කී ය. මහණ ඔබ මරණ සතිය කෙසේ වඩන්නෙහි දැ යි විමසූ විට ස්වාමීනි. මේ කරුණෙහිලා මට මෙබඳු සිතක් වෙයි මම රැයක් දවාලක් ජීවත් වෙමි නම් යෙහෙක, එතෙක් කල් සෝවාන් ආදී ආර්ය මාර්ගාවබෝධය පිණිස භාග්‍යවතුන් වහන්සේගේ සස්නෙහි යෙදෙම් නම් මවිසින් බොහෝ මහණකිස කරන ලද වන්නේ ය. ස්වාමිනි, මම මෙලෙස මරණ සතිය වඩමි යි කී ය.

    2. දෙවනු වැ අන් භික්ෂුවක් ද “ස්වාමීනි, මම මරණ සතිය වඩමි’ යි කී ය. “මහණ ඔබ මරණ සතිය කෙසේ වඩන්නෙහි දැ යි විමසූ විට ස්වාමීනි, මේ කරුණෙහිලා මට මෙබඳු සිතක් වෙයි. මම දවාලක් ජීවත් වෙමි නම් යෙහෙක. එතෙක් කල් සෝවාන් ආදී ආර්ය මාර්ගාවබෝධය පිණිස සස්නෙහි යෙදෙම් නම් මවිසින් බොහෝ මහණකිස කරන ලද වන්නේ ය. ස්වාමීනි, මම මෙලෙස මරණ සතිය වඩමි යි කී ය.

    3. තෙවනු වැ අන් භික්ෂුවක් ද “ස්වාමීනි, මම මරණ සතිය වඩමි” යි කී ය. මහණ ඔබ මරණ සතිය කෙසේ වඩන්නෙහි දැ යි විමසූ විට ස්වාමීනි මේ කරුණෙහිලා මට මෙබදු සිතක් වෙයි. යම් පමණ කලෙකින් එක් පිණ්ඩපාතයක් වළදමි නම් එතෙක් කල් ජීවත් වන්නේ නම් යෙහෙක. සෝවාන් ආදී ආර්ය මාර්ගාවබෝධය පිණිස සස්නෙහි යෙදෙමි නම් මවිසින් බොහෝ මහණකිස කරන ලද වන්නේ ය. ස්වාමීනි, මම මෙලෙස මරණ සතිය වඩමි යි කී ය.

    4. සව්වනු වැ අන් භික්ෂුවක් ද “ස්වාමීනි, මම මරණ සතිය වඩමි” යි කී ය. මහණ. කෙසේ ඔබ මරණ සතිය වඩන්නෙහි දැ යි විමසූ විට ස්වාමීනි, මේ කරුණෙහිලා මට මෙබඳු සිතක් වෙයි. යම් පමණ කලෙකින් සතර පස් පිඬක් අහර වළඳම්ද එතෙක් කල් ජීවත් වන්නේ නම් යෙහෙක. එතෙක් සෝවාන් ආදී බොහෝ මහණකිස කරන ලද වන්නේ ය. ස්වාමීනි, මම මෙලෙස මරණ සතිය වඩම් යි කී ය.

    5. පස්වනු වැ අන් භික්ෂුවක් ද “ස්වාමීනි, මම මරණ සතිය වඩම්” යි කී ය. මහණ, ඔබ කෙසේ මරණ සතිය වඩන්නෙහි දැ යි විමසූ විට ස්වාමීනි, මට මේ කරුණෙහි ලා මට මෙබඳු සිතක් වෙයි. මම යම් පමණ කලෙකින් එක අහර පිඩක් පසා වළඳම් ද එතෙක් කල් ජීවත් වන්නෙම් නම් යෙහෙක. එතෙක් සෝවාන් ආදී ආර්ය මාර්ගාවබෝධය පිණිස සස්නෙහි යෙදෙම් නම්, මවිසින් බොහෝ මහණකිස කරන ලද වන්නේ ය. ස්වාමීනි, මම මෙලෙස මරණ සතිය වඩම් යි කී ය.

    6. සවනු වැ අන් භික්ෂුවක් ද “ස්වාමීනි, මම මරණ සතිය වඩම්” යි කී ය. මහණ, ඔබ කෙසේ මරණ සතිය වඩන්නෙහි දැ? යි විමසූ විට, ස්වාමීනි, මේ කරුණෙහිලා මට මෙබඳු සිතක් වෙයි. යම් පමණ කලෙකින් ආශ්වාස කොට (හුස්ම ඇතුළට ගෙන) ප්‍රශ්වාස (හුස්මපිට කිරීම) කෙරෙම්ද, ප්‍රශ්වාස කොට ආශ්වාස කෙරෙම්ද එතෙක් කල් ජීවත් වන්නේ නම් යෙහෙක. එතෙක් සෝවාන් ආදී ආර්ය මාර්ගාවබෝධය පිණිස සස්නෙහි යෙදෙම් නම්, මවිසින් බොහෝ මහණකිස කරන ලද වන්නේය. ස්වාමීනි, මම මෙලෙස මරණ සතිය වඩම් යි කී ය.
    ------ Post added on Aug 24, 2021 at 4:05 AM
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    1,258
    3,720
    113
    Colombo
    මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂූන් හට මහණෙනි, (මුලින් සඳහන් වූ) 1, 2, 3, 4 යන මේ භික්ෂූන් ප්‍රමාද වැ හෙවත් නො සැළැකිලි ලෙස වෙසෙති. අශ්‍රවක්ෂය (කෙලෙස් දුරු කිරීම) පිණිසලැසි වැ මරණ සතිය වඩන්නාහු ය යි වදාරා,

    මහණෙනි, යම් භික්ෂුවක් මම යම් පමණ කලෙකින් එක අහර පිඬක් සපා වළඳම් ද එතෙක් කල් ජීවත් වන්නෙමි නම් යෙහෙක. භාග්‍යවතුන් වහන්සේ ගේ සස්නෙහි මඟ ඵල පිණිස යෙදෙම් නම් මවිසින් බොහෝ මහණකිස කරන ලද වන්නේ ය. මෙසේ මරණ සතිය වඩයි ද,

    මහණෙනි, යම් භික්ෂුවක් මම යම් පමණ කලෙකින් ආශ්වාස කොට ප්‍රශ්වාස කෙරෙම් ද, ප්‍රශ්වාස කොට ආශ්වාස කෙරෙම් ද එතෙක්

    4. කාය බහු සාධාරණතො - මේ කය නොයෙක් අබල දුබල කම්වලට ද රෝග පීඩා ආදියට හා මරණයට සාධාරණය. හෙවත් පොදු යයි නිතර සිතා බැලිය යුතුය. මේ කයෙහි නොයෙක් රෝග හටගනී. කොහි සිටියත් මේ කය ගල් මුල්, කඩු කිරිච්චි, වෙඩි පහර, විදුලි සර, හෙණ වැදීම් ආදියට ද සාධාරණය. මැසි මදුරු, පත්තෑ ගෝනුසු, නයි පොළොං ආදී සර්පයන්ගෙන් හා සිංහ ව්‍යාඝ්‍රාදී වල් සතුන්ගෙන් වන උවදුරුවලට ද සාධාරණ වේ. එබඳු ශරීරයක් දරන්නා වූ මට මාගේ මරණය කොයි වේලාවේ පැමිණේ දැයි කිව නොහැකි බව නිති මෙනෙහි කටයුතුය.

    5. ආයු දාබ්බලතො - මේ ආයුෂ නොහොත් පණ නම් ඉතා දුබලය. පණ රඳා පවතින්නේ ආහාරය - ඍතු ගුණය - විහරණය - ආශ්වාස ප්‍රශ්වාස යන මොවුන්ගේ ආධාරයෙනි. එහෙත් මෙයින් එක ද උපකාරක ධර්මයක් මඳ අයුරින් වුවද වෙනස් වුවහොත් පණ නැති විය හැකිය. සාමාන්‍ය වශයෙන් සිතතොත් හුස්ම පිට නො කළොත් පිට කළ හුස්ම ඇතුළට නො ගත හැකිමය. මෙසේ ඉතා දුර්වල වූ ආයුෂයක් ජීවිතේන්ද්‍රියක් ඇති මේ පණ කවර විටෙක යාවි දැයි නො දනිම්යි නිතරම සිතා බැලිය යුතුය.

    6. අනිමිත්තතො - කලින් තීරණය කොට දැන ගන්නට නිමිති (කරුණු) නැතිකම වශයෙන් මරණය ගැන සිතිය යුතුය.

    “ජීවිතං ව්‍යාධි කාලො ච - දෙහනික්ඛෙපනං ගති
    පඤ්චෙතෙ ජීවලෝකස්මිං - අනිමිත්තා න ඤායරේ”

    මේ ලෝකයෙහි උපන් මිනිසුන්ගේ ජීවිතය පිළිබඳ කලින් තීරණය කොට නො දත හැකි කරුණු පසෙකි.

    1. මෙතෙක් කල් ජීවත් වන්නේය යි ආයු ප්‍රමාණය කල් ඇතිව තීරණය නො කට හැකිය.

    2. අසුවල් ලෙඩින් මැරෙන්නේය යි මාරක රෝගය නො දත හැකිය.

    3. උදය හෝ දහවල් හෝ සවස හෝ රෑ හෝ අසූවල් කාලයෙහි හෝ මැරෙන්නේයයි කාලය නො දත හැකිය.

    4. මළකඳ උපන් ගෙහි හෝ අන් ගෙයක හෝ සිය රට හේ අන් රටෙක හෝ දියෙහි හෝ ගොඩෙහි හෝ නුවරෙක හෝ වනයෙක හෝ කොහි හෝ හෙළන්නට වේ දැයි මිනිය දමන තැන හෝ නො දත හැකිය.

    5. මරණින් මතු සුගතියට හෝ දුගතියට හෝ කොහි යන්නට වේ දැයි උපදනා ගතිය (උපදින තැන) ද දැන ගන්නට නිමිති නැත යන ලෙසින් මරණය ගැන සිතිය යුතුය.

    7. අ_ාන පරිච්ඡෙදතො - මිනිසුන්ගේ ජීවත්වන කාලය මෙ පමණ යයි පිරිසිඳීමක් (වෙන් කැර දැක්වීමක්) නැති හෙයින් ද මරණය කවර විටෙක සිදුවේ දැ යි කිව නො හැකිය. යයි හැම දෙනා විසින් ම නිතර නිතර ම සිහි කටයුතුය. සාමාන්‍ය මනුෂ්‍යයකුගේ ජීවන කාලය අවුරුදු සීයක් හෝ ඊට ටිකක් අඩු වැඩි කාලයක් හෝ යයි කිව හැකි වුවද එය ස්ථිර නැත. එහෙත් කවර විටෙක හෝ මරණය නම් ස්ථිර යයි නිති මෙනෙහි කටයුතුය.

    8. බණ පරිත්තතෝ - පරමාර්ථ වශයෙන් සත්ත්වයන් ජීවත් වන කාලය ක්ෂණයෙකි. එය ඉතා ස්වල්පය. එක චිත්තක්ෂණයෙක උප්පාද (සිත ඉපදීම), ඨිති (ස්ථිතිය හෙවත් පැවැත්ම), භංග (බිඳී යෑම), වශයෙන් අවස්ථා තුනෙකි. හැම සත්ත්වයා ම එක සිතක් පිළිබඳ පැවතුම් මාත්‍රක්ෂණයෙහි ම ජීවත් වෙනවා මිස, එකවර චිත්තාක්ෂණ දෙකක හෝ නො සිඳී පවත්නා චිත්තක්ෂණයන්හි ජීවත් නොවේ. මෙසේ හෙයින් ජීවිතයාගේ පැවැත්ම එක ක්ෂණ මාත්‍රයක් ම යැයි මරණ සිහිය වැඩිය යුතුය.

    ධුවං මරණං - මරණං නියතයි (ඒකාන්තයි)
    අද්ධුවං ජීවිතං - ජීවිතය අනියතයි (අස්ථිරයි)

    අරක ශාස්තෘවරයා

    අතීතයෙහි බුදු සමය නො දත් කාමයන්හි වීතරාග වූ අරක නමැති ශාස්තෘවරයෙක් විය. හේ ඔහුගේ සව්වනට (ශ්‍රාවකයනට) මෙසේ දහම් දෙසීය.

    ‘බ්‍රාහ්මණයෙනි, මිනිසුන්ගේ ජීවිතය තණපත අගැ පිනි බිඳක් වැනිය. වැසි පොද වැටෙන විට හට ගන්නා දිය බුබුළක් වැනිය. දියෙහි ඇඳී ඉරක් වැනිය. කඳු මුදුනෙන් වේගයෙන් මුහුදට ගලා බස්නා ගඟක් වැනිය. බලවත් පුරුෂයකු දිවගට ගත් කෙළ පිඩක් වැනිය. මුළු දවසම රත් කළ යකඩ කබලයට දැමූ මස් ටිකක් වැනිය. මරන්නට ගෙන යන ගවයා සේ මනුෂ්‍ය ජීවිතයේ ඇසිල්ලක් පාසා මරණයට ළං වන්නේය.

    ‘එපමණ මිනිසුන්ගේ ජීවිතය අස්ථිරය. ස්වල්පය, ටිකය, බොහෝ දුක් සහිතය. බොහෝ ආයාස (ගැහැට) සහිතය. එය නුවණින් අවබෝධ කැරැ ගත යුතුය. එහෙයින් කුසල් කට යුතුය. බඹසර (ශීල, සමාධි, ප්‍රඥාවෙන් යුත්) දිවියක් (ශ්‍රේෂ්ඨ ජීවිතයක්) විසිය යුතුය. උපන්නහුට නො මැරීමෙක් නැත. මරණය ඒකාන්තය.

    මෙසේ අවවාද කරන සමයෙහි මිනිසුනට ආයුෂ අවුරුදු හැට දාහක් (60,000) විය. පන්සිය හැවිරිදි කුමරිය පතිකුලයට යන්නට නිසි වූය. එකල මිනිසුනට ශීත ය. උෂ්ණ ය, සා ය (බඩගින්න), පවස ය (පිපාසය), මලපහ කිරීමය, මූත්‍රා කිරීමය යන ආබාධයෝ සයක් පමණ ඇති වූහ.

    එබඳු වූම අරක ශාස්තෘ තෙමේ මෙසේ දීර්ඝායුෂ්ක වූ අල්පාබාධ වූ මනුෂ්‍යනට හා තම සව්වනට මෙලෙස දහම් දෙසීය.
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    1,258
    3,720
    113
    Colombo

    ------ Post added on Aug 24, 2021 at 7:45 AM

    1629781615895.png

    ------ Post added on Aug 24, 2021 at 10:36 AM

    බොහෝ ආසියානු සංස්කෘතීන්හි බුදුදහම මරණය හා මරණින් මතු ජීවිතය ගැන බොහෝ දේ පවසන ආගම ලෙස පිළිගැනේ. බෞද්ධ ඉගැන්වීම් මගින් මරණයේ සර්වත්‍රතාවය හා නොවැළැක්විය හැකි බව අවධාරණය කෙරෙන අතර, මේ හේතුව නිසා බෞද්ධයන් ඉදිරියේ දී සිදුවන මරණය සන්සුන්ව හා නිර්භීතව පිළිගැනීමට ආධ්‍යාත්මිකව සූදානම් කෙරේ.
    න අන්තලික්ඛෙ න සමුද්දමජ්ඣෙ,
    න පබ්බතානං විවරං පවිස්ස
    න විජ්ජතී සො ජගතිප්පදෙසො,
    යත්ථට්ඨිතං නප්පසහෙය්‍ය මච්චු
    යම් තැනෙක්හි සිටි සත්වයා මරණය තෙම නොමඩී ද එබඳු භූමි ප්‍රදේශයක් නැත ආකාශයෙහි ද නැත මුහුද මැද ද නැත පර්වතයන්ගේ විවරයකට වැද ද නැත (ධම්මපදය)
    මරණය සියළු සත්ත්වයාට පොදු ධර්මතාවකි. බෞද්ධ දර්ශනයට අනුව සවිඤ්ඤාණික සියලූ සත්වයා මැරෙමින් ඉපදෙමින් කෙළවරක් නොමැති සංසාරයේ ගමන් කරයි. සත්වයා ඉපදීම ද මරණය ද ස්වභාවය කොට ඇත්තාහ. නොමැරී ජීවත් වන සදාකාලික සත්වයකු සොයා ගැනීමට නොහැකි ය. මිනිසෙකු දෙවියෙකු බ‍්‍රහ්මයකු තිරිසනෙකු පේ‍්‍රතයෙකු හෝ ඕනෑම සත්වයකු වේද මේ සියලූ සත්ත්ව කොට්ඨාශයන් මරණය හෙවත් පවත්නා තත්වයෙන් වියෝ වීම ස්වභාවකොට ඇත්තාහ.
    මරණාසන්න රෝගීන් පිළිබඳව සලකන විට බුද්ධාගම රෝගීන්ට හෝ වෛද්‍යවරුන්ට විශේෂ අවශ්‍යතා කිහිපයක් පනවා ඇති අතර බෞද්ධ රෝගීන්ගේ අවසාන සත්කාරයේ විශේෂිත ගැටළු ඇතිවීමට මේවා දැඩි බලපැමක් කරන්නේ නැත. එකම ගැටළුව නම් රෝගියා භික්ෂුවක් හෝ භික්ෂුණියක් වන විට ඔවුන් මිශ්‍ර වාට්ටුවක සිටීම සුදුසු නොවන අතර භික්ෂූන්ට වෛද්‍යවරයකු විසින් ප්‍රතිකාර කිරීමත් භික්ෂූණීන්ට වෛද්‍යවරියක් ප්‍රතිකාර කිරීම වඩාත් සුදුසු වීමයි. මේ සම්බන්ධයෙන් ආකල්ප රෝගීන්ගේ වයස සහ සංස්කෘතික පසුබිම අනුව වෙනස් වන නමුත් වර්තමානයේ විරුද්ධ ලිංගික වෛද්‍යවරුන් සහ හෙදියන් විසින් ප්‍රතිකාර පිළිගැනීම වැඩි වෙමින් පවතින්නේ විශේෂයෙන් වෛද්‍ය සම්පත් සීමිත වීම නිසාත් විනය කෙරෙහි පවතින අවධානය භික්ෂු සමාජයෙන් ගිළිහී යාම නිසාත් ය.
    බුදු සමය යනු නම්‍යශීලී හා මධ්‍යස්ථ ආගමකි. තහනම සහ ආගමික පාරිශුද්ධභාවය පිළිබඳ සංකල්පවලට බුදු දහමේ කාර්‍යභාරයක් නොමැති අතර ආගමික නීතිය මගින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා විශේෂ අවශ්‍යතා හෝ සීමාවන් පනවනු නොලැබේ. විශේෂ සනීපාරක්ෂාව, පිරිසිදු කිරීම හෝ ආහාර අවශ්‍යතා නොමැත (බෞද්ධයන්ට නිර්මාංශිකයින් වීම හෝ අනිවාර්‍ය නොවේ). ආදාහනය යනු මළවුන් බැහැර කිරීමේ වඩාත් පොදු ක්‍රමයයි. බොහෝ රටවල වළදැමීම ද සිදු කරයි. ප්‍රායෝගිකව, දේශීය චාරිත්‍රවලට වඩා වෛද්‍ය-රෝගී සම්බන්ධතාවය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරයි. දේශීය සිරිත් විරිත් පිළිබඳව සාමාන්‍යකරණය කිරීම අසීරු ය, නමුත් සාමාන්‍ය වෛද්‍ය ආචාර විධි සම්මුතීන්ට ගරු කරනු ලබනවිට දුෂ්කරතා ඇතිවීමට හේතුවක් නැත.
    මරණාසන්නයේ දී සැලකිල්ලට ගත යුතු එක් කරුණක් නම් සිහි නුවණ හා මානසික අව්‍යාකූල බවයි. මේවා බෞද්ධයින්ගේ වැදගත් ගුණයන් වේ, එබැවින් බෞද්ධ සම්ප්‍රදාය ප්‍රමුඛත්වය භාවනාවට ලබා දී ඇත. බුදුදහම හැකි සෑම තැනකම නිරවුල් මනසකින් මරණයට පත් වීමේ වැදගත්කම අවධාරණය කරයි, මන්ද මෙය වඩා හොඳ නැවත ඉපදීමකට එනම්, පුනර්භවයකට තුඩු දිය හැකි යැයි විශ්වාස කිරීමයි. එබැවින් සමහර බෞද්ධයන් වේදනා නාශක ඖෂධ හෝ ශක්තිමත් නිද්‍රාකාරක ගැනීමට අකමැති විය හැකි අතර, මානසික පහසුතාවයක් නොමැති අය පවා ඔවුන්ගේ මානසික හෝ සංවේදී හැකියාවන් අඩපණ කරන වේදනා නාශක ගැනීම වෙනුවට හැකිතාක් අවදියෙන් සිටීමට කැමැත්තක් දක්වයි.
    බෞද්ධ මූලධර්ම
    බුදු දහමේ, මූලධර්ම හෝ ආචාර ධර්ම පිළිබඳ කරුණු පැනවීමට කිරීමට බලධාරියෙකු නොමැති අතර, සෞඛ්‍ය සේවා වෘත්තිකයා සඳහා මාර්ගෝපදේශ හෝ චර්යාධර්ම සංග්‍රහයන් සැපයීම සඳහා විශ්ව විද්‍යාලයක් හෝ බෞද්ධ වෛද්‍ය වෘත්තිකයින්ගේ ආයතනයක් නොමැත. ඒ වෙනුවට, පුද්ගලයන් ඔවුන්ගේ හෘදය සාක්ෂිය අනුගමනය කළ යුතු අතර, එය බෞද්ධ ඉගැන්වීම්, චාරිත්‍ර, සම්ප්‍රදාය හා කීර්තිමත් ආචාර්‍යවරුන්ගේ අදහස් අනුව කළ යුතු ය. කේන්ද්‍රීය අධිකාරියක් නොතිබුණ ද, බුදු දහමේ සියලුම නිකාය පිළිගන්නා මූලික සදාචාරාත්මක සාරධර්ම හා මූලධර්ම තිබේ. මෙයින් ප්‍රධාන වන්නේ වෛද්‍ය ආචාරධර්ම පිළිබඳ බෞද්ධ ප්‍රවේශයට පාදක වන සහ ජීවිතයේ අවසානය පිළිබඳ සැලකිය යුතු බලපෑමක් ඇති කරන කරුණාව සහ අනෙකාගේ ජීවිතයට ඇති ගෞරවයයි.
    මරණය නිර්වචනය
    බෞද්ධ ඉගැන්වීම් වලට අනුව, ඕනෑම පැවැත්මක ජීවිතයක් පිළිසිඳ ගැනීමකින් ආරම්භ වී මරණයෙන් අවසන් වේ. මෙම සිදුවීම් අතර පරතරය, මනෝ-භෞතික සංවර්ධනයේ අවධිය හෝ භුක්ති විඳින මානසික හැකියාවන් නොසලකා සත්වයාට පූර්ණ සදාචාරාත්මක ගෞරවයක් හිමි වේ. පුරාණ ආචාර්‍යයන් පවසන පරිදි, මරණය සිදුවන්නේ ශරීරයේ කරුණු තුනක් නැති වූ විට ය. ඒ ආයුෂය, උණුසුම හා විඤ්ඤාණය යි.
    ------ Post added on Aug 25, 2021 at 9:39 AM
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    1,258
    3,720
    113
    Colombo
    මෙහි භෞතිකව හඳුනාගත හැක්කේ උණුසුම පමණක් වන අතර ආයු හෝ විඤ්ඤාණය ඉන්ද්‍රියගෝචර නොවේ. නූතන වෛද්‍ය විද්‍යාවේ සංකල්ප අනුව මෙම සාම්ප්‍රදායික දර්ශක තුන ප්‍රකාශ කිරීම සමකාලීන බෞද්ධයන්ගේ ගැටලුවයි – උදා: ඒවා මොළයේ මරණයේ නූතන ප්‍රමිතියට අනුරූප වේද? උණුසුම සෘජුවම දැක්විය හැකි වුව ද අනෙක් දර්ශක දෙක මගින් ප්‍රශ්නයට සරල විසඳුමක් දීම දුෂ්කර වන ගැටළුකාරීත්වයක් ඇති කරයි [1].
    සිත්ගන්නා කරුණක් නම් බුදුරජාණන් වහන්සේ පිරිණිවෙන විට, විසිපස්වසරක්ම උපස්ථා‍යක වූ ආනන්ද හිමියන් විසින් මුලින් ම පිරිණිවුනු බව වරදවා ගැනීමයි. බුදුරජාණන් වහන්සේ නිරෝධසමාපත්තියට සමවැදී ඇති බව දන්වා අනුරුද්ධ මහ රහතන් වහන්සේ විසින් ආනන්ද හිමියන් නිවැරදි කරන ලදී. එම සිදුවීම පහත පරිදි ය.
    භාග්‍යවතුන් වහන්සේ නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තියෙන් නැගී සඤ්ඤාවෙදයිත නිරොධ සමාපත්තියට සමවැදුණෝ ය. එවිට ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේ ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් වහන්සේගෙන් මෙසේ ඇසුවේ ය. “ස්වාමීනි, අනුරුද්ධ තෙරුන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑවෝ ද?”
    “ඇවැත් ආනන්දය, භාග්‍යවතුන් වහන්සේ තව පිරිනිවන් නොපෑවෝ ය. සඤ්ඤාවෙදයිත නිරොධසමාපත්තියට සමවැදුණෝය යි” කීවේ ය. (මහා පරිණිබ්බාණ සූත්‍රය)
    නිරෝධ සමාපත්තිය වැනි ආධ්‍යාත්මික තත්වයන් පැවතීම සහ ඒවා බෞද්ධ සාහිත්‍යයෙහි මනාව සහතික වී තිබීම, මරණය විනිශ්චය කිරීමේ දෝෂය සඳහා විෂය පථය පැහැදිලිවම වැඩි කරයි. එබැවින් බෞද්ධයන් අතර මත විවිධත්වයක් පවතී. ඇතමෙක් සිතන්නේ මොළයේ මරණය පුරාණ නිර්ණායක සමඟ සැසඳෙන බව වන අතර අනෙක් අය එසේ නොවන බවයි බවයි.
    ජපානයේ, මිය ගිය දායකයන්ගෙන් ලබාගත් අවයව බද්ධ කිරීම සමඟ ඇති සම්බන්ධය නිසා මොළයේ මරණයේ නිර්ණායකය බෙහෙවින් අප්‍රසාදයට පත්ව ඇත. පවුල් සබඳතාවල වැදගත්කම සහ විශේෂයෙන් දෙමව්පියන් සහ දරුවන් අතර ඇති බැඳීමේ වැදගත්කම පිළිබඳ කොන්ෆියුෂියානු ඉගැන්වීම් ජපන් බෞද්ධයින්ට බලපා ඇත. මේ නිසා කිට්ටු ඥාතියෙකුගේ මළ සිරුර අපකීර්තියට පත් කිරීමක් ලෙස සැළකීමෙන් ඔවුන් තුළ ගැඹුරු නොසන්සුන්තාවයක් ඇති කරයි [2]. මෑතක දී පළමු හෘද බද්ධයට ඉඩ සැළසෙන පරිදි මරණය ප්‍රකාශ කිරීම පිළිබඳ හෙළිදරව් කිරීම් මෙම අසහනය උත්සන්න කිරීමට හේතු වී ඇත. හෘද දායකයා මියගිය බවට සහතික කළ උපදේශක රේමන්ඩ් හොෆෙන්බර්ග් (Raymond Hoffenberg) කලකට පසුව පිළිගත්තේ තමා එසේ කළේ පිළිගත් නිර්ණායකයක් මත නොවන බවයි.
    1976 දී එක්සත් රාජධානියේ රාජකීය විද්‍යාල සම්මේලනය සහ ඔවුන්ගේ පීඨයන් මගින් නිර්වචනය කර ඇති පරිදි මොළ දණ්ඩේ (brain stem) මරණය පිළිබඳ නිර්ණායකයට දැඩි ලෙස සහය දක්වමින් හොෆෙන්බර්ග් එය ශක්තිමත් සහ විශ්වාසදායක යැයි විස්තර කරයි [3]. එතෙකුඳු වුවත් මිනිස් මරණය අර්ථ ගැන්වීම සඳහා විශ්වාසදායක පරීක්ෂණයක් ලෙස මොළයේ මරණ නිර්ණායකය පිළිබඳ සැක සංකා වැඩි වෙමින් පවතී [4-6].
    බෞද්ධ ඉගැන්වීම අනුව මරණය සච්චවිභංග සූත්‍රයේ දී සාරිපුත්ත මහ රහතන් වහන්සේ විග්‍රහ කරන්නේ මේ අයුරිනි.
    කතමඤ්චාවුසො, මරණං? යා තෙසං තෙසං සත්තානං තම්හා තම්හා සත්තනිකායා චුති චවනතාභෙදො අන්තරධානං මච්චු මරණං කාලංකිරියා ඛන්ධානං භෙදො කළෙබරස්ස නික්ඛෙපො ජීවිතින්ද්‍රියස්සුපච්ඡෙදො, ඉදං වුච්චතාවුසො මරණං
    ඇවැත්නි, මරණය කවරේද? ඒ ඒ සත්වයන්ගේ ඒ ඒ සත්ව වර්ගයෙන් යම් චුතවීමක්, චුතවන බවක්, බිඳීමක්, අතුරුදන්වීමක්, මරණයක්, කළුරිය කිරීමක්, ස්කන්ධයන්ගේ බිඳීමක්, ශරීරයාගේ බහාතැබීමක් වේද, ඇවැත්නි, මේ මරණයයි කියනු ලැබේ.
    මෙම නිර්වචනය අනුව මරණය එහි දී සිදු වන ක‍්‍රියාවලීන් රාශියක් උපයෝගි කොටගෙන විස්තර කෙරෙයි. එක් එක් සත්ව කොට්ඨාසයන්හි උපදින සත්වයන් ඒ ජාතීන්හි පැවැත් වූ භවය අතහැර යාම මරණයේදී සිදු වන බව මෙහි ප්‍රථමකොට විස්තර වෙයි. එම භවය අතහැර නික්මීම හෙවත් චුතියත් සමග කර්ම ශක්තියත් චිත්ත ශක්තියත් අන්තර්දාන වේ. මෙහි දී චුත වීමක් සිදු වුවද පරමාර්ථ වශයෙන් එසේ ඉවත්වන සත්ත්වයෙක් හෝ ආත්මයක් හෝ නොමැත. ජීවය හුදෙක් රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ යන පංචස්ඛන්ධයාගේ එක්ව ක්‍රියා කිරීමක් වන අතර එහි බිඳී යාමක්, අක‍්‍රිය වීමක් මරණයේ දී දැකිය හැකි ය. සත්වයාගේ ජීවිතය රඳා පවතිනුයේ පංචස්ඛන්ධයෙහි පැවැත්ම මත වන නිසා පංචස්ඛන්ධය බිඳී යාමෙන් මරණය සිදු වෙයි. ඒ සමග මුළු භෞතික ශරීරයම (රූපය) අක‍්‍රිය වෙයි. මෙහිදී ජීවිතින්ද්‍රිය නමින් හඳුන්වන්නේ පුද්ගලයා තුළ පවතින ජීව ශක්තියයි. එම ශක්තිය නැති වී යාම මරණයයි. අන්තර්දාන වීම දිව්‍ය බ්‍රහ්මාදී සුගතීන්හීත් ප්‍රේත නිරයාදී ඕපපාතික සත්ත්ව කොට්ඨාශවලත් දක්නට ලැබේ. ඔවුන්ට හැර යන කයක් නැත. කය හැරයාම මනුස්ස හා තිරිසන් ලොකයෙහි දක්නට ලැබේ.
    භාග්‍යවතුන්වහන්සේ ඵෙණපිණ්ඩූපම සූත්‍රයේ දී මෙසේ දේශනා කරයි.
    ආයු උස්මා ච විඤ්ඤාණං – යදා කායං ජහන්තිමං
    අපවිද්ධො තදා සෙති – පරභත්තං අචෙතනං
    ආයුෂත් (ජිවිතෙන්ද්‍රියත්) උණුසුමත් (කර්මජතේජෝධාතුවත්) විඤ්ඤාණයත් යම් කලෙක මේ කය හර දමා ද, එ කල්හි බැහැර කරණ ලද්දේ (කෘමිගණාදි) මෙරමා හට බත් ව අචේතන ව හොවී යි.
    ආයුෂය, කර්මජතේජෝධාතුව හා විඤ්ඤාණය යන මේවා සිරුරෙන් ඉවත් වූ විට ඉවත දමන දරකඩක් වැනි තත්වයට පත් වීම මරණයයි. ඒ අනුව සජීවී සත්ත්වයෙකු තුළ අංග තුනක් වෙයි. පළමු වැන්න ආයුෂය හෙවත් ජීවිතින්ද්‍රියයි. එය සරලව උපතේ සිට එම ශරීර පැවැත්මේ කාල පරාසය තීරණය කරන සධකයයි. එසේම සෑම සත්වයෙකුගේම ශරීරයට ආවේණික වූ තාපයක් පවතියි. එය ශරීරයේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍යයෙන්ම පවතින නමුත් මරණයේ දී ශරීර ක්‍රියා අඩාළ වීමෙන් පහව යයි. මේ නිසා ප‍්‍රාණය නිරුද්ධ වූ කය සිසිල් ය. එසේම ශරීරය හා බැඳුණු විඤ්ඤාණයන් ඇත. මෙම විඤ්ඤාණය සරලව පවසතොත් චිත්ත ශක්තිය ලෙස හැඳින්විය හැකි ය.
    උපතේදී ගන්ධබ්බයකු (සත්ත්වයෙකු) ලෙසින් පිහිටන විඤ්ඥාණ සන්තතිය මරණයේ දී ශරීරයෙන් පහව යයි. මේ පහවයාම මරණයයි. උපතේ දී මෙම විඤ්ඤාණයාගේ පිහිටීම අස්සලායන සූත්‍රයේ මෙසේ දැක්වේ.
    ඉධ මාතාපිතරො ච සන්නිපතිතා හොන්ති, මාතා ච උතුනී හොති, ගන්ධබ්බො ච පච්චුපට්ඨිතො හොති; එවං තිණ්ණං සන්නිපාතා ගබ්භස්ස අවක්කන්ති හොති.
    මේ අනුව මාපිය එක් වීමත් මවගේ සෘතු වීමත් ප්‍රතිසංධි විඤ්ඤාණයාගේ පහළවීමත් යන තුනෙහි එකතුවෙන් උපත සිදුවේ. ජීවිතින්ද්‍රිය උපච්ඡෙදය මරණයයි. අඛණ්ඩව පටිච්චසමුප්පන්නව උපදින පංචස්ඛන්ධ සමූහය පවත්වන සාධකය ජීවිතින්ද්‍රිය යනුවෙන් හඳුන්වයි. උපච්ඡේද යනු සහමුලින්ම සිඳී යාමයි. මෙහි අර්ථය න්‍යායාත්මකව ගත් කල යම් කළලයක් පිළිසිඳගත් අවස්ථාවේ සිට චුති අවස්ථාව තෙක් එකට බැඳී පවතින නාම රූප ධර්මයන්ගේ නැසී යාම මරණය ලෙස හැඳින්විය හැකි ය.
    මරණ විනිශ්චය අපහසු වූ අඛණ්ඩ ශාකමය තත්වය
    අඛණ්ඩ ශාකමය තත්ත්වයේ (persistent vegetative state) දී රෝගියාගේ කුඩා මොළය ක‍්‍රියාත්මක තත්ත්වයේ පවත්නා අතර මස්තිෂ්කය ක‍්‍රියාත්මක වන්නේ නැත. මෙවැනි රෝගියෙකු සිටින්නේ සිහි නැති තත්ත්වයකිනි. කලාතුරකින් ඇස් ඇරීම සිදුවේ. නමුත් මෙය මොළය මැරුණු (brain death) තත්ත්වයක් ලෙස සැළකෙන්නේ නැත. මොළයේ මරණ තත්ත්වයේ දී කුඩා මොළය නිසැකයෙන්ම මිය යාමක් සිදු වන අතර මොළය මරණයට පත්වූ රෝගියෙක් කිසිදා ප‍්‍රකෘති තත්ත්වයට පත් වන්නේ ද නැත.
    මරණය නිර්වචනය කිරීමේ ගැටළුව දැඩි ලෙසම අර්බුදකාරී වන අඛණ්ඩ ශාකමය තත්වයක එනම්, කෝමා තත්වයට පත් වී ‘සත්ත්ව හැඟීම් දැනීම් නොමැති’ අවධියේ සිටින රෝගීන්ගේ තත්වය සම්බන්ධයෙන් සාම්ප්‍රදායික බුදු දහම හා නූතන විද්‍යාව අතර එකඟතාවයක් නොමැත. මෙම තත්වයේ සිටින රෝගීන් සමහර විට ජීවිතය හා මරණය අතර අත්හිට වූ අන්ධකාර තත්වයක සිටින බව කියනු ලැබෙන නමුත් බෞද්ධ දර්ශනය හා මොළයේ මරණයේ වර්තමාන වෛද්‍ය සම්මතය අනුව ඔවුන් ජීවතුන් අතර සිටින බව පැහැදිලි ය. ඔවුන් මළකඳන් නොවන අතරම ජීවිත ආධාරක යන්ත්‍ර මත රඳා නොපවතී, පෝෂණය ලබා දෙන්නේ නම් වසර ගණනාවක් ජීවත්ව සිටීමට හැකියාව ඔවුන් සතුව ඇත. මෙම මතය නීතිමය වශයෙන් ද අවිවාදාපන්න ය [7].
    බෞද්ධ දෘෂ්ටි කෝණයෙන් බලන කල, අඛණ්ඩ ශාකමය තත්වයක සිටින රෝගියා යනු සත්ව දේහයට හානි වූ ජීවමාන මිනිසෙකි. එවැනි රෝගියෙකුට කිසිසේත්ම වෙනත් රෝගියෙකුට වඩා වෙනස් ලෙස සැලකිය යුතු නොවේ. ශාකමය තත්ත්වය පිළිබඳ බෞද්ධ විශ්ලේෂණය නම් භෞතික ඉන්ද්‍රියකට (මොළයට) වන හානිය නිසා විඤ්ඤාණ සන්තතිය එහි ප්‍රාථමික ක්‍රියාකාරීත්වයෙන් මිදී මානසික දැනුවත්භාවය ඇතිවීම වැළකීමයි. කෙසේ වෙතත්, බෞද්ධ ආචාර ධර්ම සලකා බැලීමේ දී නියෝ බාහිකයට (neocortex) වන හානියක් වෙනත් ඕනෑම අවයවයකට හානි වීමකට වඩා වෙනස් එකක් නොවේ.
    බෞද්ධ දර්ශනය අනුව සියලු මිනිසුන්, ඔවුන්ගේ ශාරීරික තත්වය නොසලකා, කරුණාව මෛත්‍රිය දැක්වීමට සුදුසු වන අතර, ජීවත් වීමට අයිතියක් ඇත්තෝ වෙති. මෙනිසා අඛණ්ඩ ශාකමය තත්වයක සිටින රෝගීන් මෙම දැක්මෙන් බැහැර කර ඔවුන්ගේ ජීවිතයේ මූලික අවශ්‍යතා ඉවත් කර දැමීම සාහසික හා අයුක්ති සහගත ක්‍රියාවක් වනු ඇත. සිහිසුන්ව කෝමා තත්වයේ සිටින රෝගීන් පවා සවිඤ්ඤාණික විය හැකි අතර කරුණාව දයාව ලැබිය යුතු සත්ත්වයන් විය හැකිය. ඔවුන් අන් අයට කුසල් රැස්කිරීමට අවස්ථාවක් ලබා දෙන අතර, ඔවුන්ට කරුණාවෙන් උපස්ථාන කිරීමෙන් වඩාත් දුෂ්කර තත්වයන් යටතේ වුව ද අනෙක් පුද්ගලයන්ට ඔවුන් සමඟ සහයෝගීතාව තහවුරු කළ හැකි ය.
    මෙම කරුණුවලට අනුව, මෙම රෝගීන් රැකබලා ගැනීම අර්ථ විරහිත ව්‍යායාමයක් නොව සමාජ සහයෝගීතාව සනාථ කරන කුසලයකි. ඔවුන් ප්‍රතික්ෂේප කිරීම හා අතහැර දැමීම බුදු දහම බෙහෙවින් අවධාරණය කරන කරුණා මෛත්‍රීයාදී ගුණ ප්‍රතික්ෂේප කිරීමක් වන අතරම සිතාමතා ඔවුන් මරණයට පත් කිරීම ප්‍රාණඝාත අකුසල කර්මපථය සම්පූර්ණ කරන්නකි. මේ නිසා අවම වශයෙන් ආහාර සැපයීම හා සජලනය දිගටම කටයුතු ය. කෙසේ වෙතත්, ද්විතියික සංකූලතා සිතාමතා ඇති නොකරන බැවින්
    ඒවා ඇති රෝගීන් සඳහා මෙම න්‍යාය විහිදෙන්නේ නැත.
    අනායාස මරණය (Euthanasia)
    අනායාස මරණය යනු වෛද්‍ය ප්‍රතිකාර ක්‍රියාවලිය තුළ සිතාමතාම විෂ ශරීර ගත කිරීම් වැනි ක්‍රියාවන් මගින් හෝ ප්‍රතිකාර මඟ හැරීමෙන් රෝගියෙකු මරණයට පත් කිරීමයි.
    මානසිකව ක්‍රියාකාරී රෝගියෙකු නිදහසේ සිටින විට ඔහුගේ හෝ ඈගේ ජීවිතය අවසන් කිරීම සඳහා වෛද්‍ය උපකාර ඉල්ලා සිටී නම් එවැනි අවස්ථාවක් පිළිබඳ මෙහි මුලින්ම සාකච්ඡා කෙරේ. මුල් බුදු දහම අනායාස මරණය සමඟ කිසිදු සඳහනක් නොකරන අතරම එහි සදාචාරාත්මකභාවය ක්‍රමානුකූලව සාකච්ඡා නොකෙරේ [8-12]. කෙසේ වෙතත්, භික්ෂූන් වහන්සේලා අතර වෛද්‍ය වෘත්තිකයන් ලෙස ක්‍රියාශීලීව සිටි භික්ෂූන් සිටි අතර ජීවිතයේ වටිනාකම සළකන කළ විට ඇතැම් අවස්ථාවල දී මෙම වෙදකම් නිසා ගැටළු නිර්මාණය විය. විනය පාලියෙහි මෙම සිදුවීම් විස්තර කර තිබෙන්නේ සික්ෂා පැනවීම් කරුණු කොට ගෙන ය (තෙවන පරිජිය). එහිදී මූලික වශයෙන් තෙවන පාරාජික සිඛපදයේ මේ සම්භන්ධ පැනවීම් දක්නට ලැබේ.
    අනායාස මරණයට අදාළ සිද්ධීන් මිනිස් ජීවිතය නැසීමට එරෙහි තුන්වන පරජිකා ශික්ෂා පදය යටතේ විස්තර කෙරේ(පාරාජිකා: පැවිදි ප්‍රජාවෙන් ජීවිත කාලය පුරාම නෙරපා හැරීම).
    මෙම විනය නීතිය යටතේ වාර්තා වී ඇති සිද්ධීන් සැත්තෑව ඉක්මවන අතර ඉන් තුනෙන් එකක් පමණ භික්ෂූන් වහන්සේලාගේ එක් හෝ තවත් වෛද්‍ය මැදිහත්වීමකින් සිදු වූ මරණ සම්බන්ධයෙන් කළ පැනවීම් වේ. මෙහිදී පිළිකුල් භාවනාව වැඩීම නිසා තම සිරුර කෙරෙහි පිළිකුල උපදවාගත් භික්ෂූන් වහන්සේලා කිහිප දෙනෙක් සිය දිවි නසා ගත්හ. තවත් භික්ෂූන් ඔවුනොවුන් ලවා දිවි තොර කර ගත්හ. මහණවෙස් ගත් මිගලණ්ඩිකයකු වෙත එළැඹ පාසිවුරු දී දිවි තොර කර ගත්හ. එම සිද්ධිය ප්‍රකාරව බුදුරජාණන් වහන්සේ පිළිකුල් භාවනාවට වඩා සෞම්‍ය වූ ආනාපානසති කර්මස්ථානය දේශනා කරන ලද අතර මේ ආකාරයේ හැසිරීම් තහනම් කිරීම සඳහා ප්‍රාතිමෝක්ෂ විනයට මෙම ශික්ෂා පදය ඇතුළත් කළහ. අනතුරුව සවගමහණුන් මැරියටි ඇතිව මරණ සංවණ්ණනා කිරීම නිසා ආපත්තිකර ආහාර ගෙන ගෘහපතියෙක් දිවි තොර කර ගති. මෙනිසා දෙවැනිව අනුප්‍ඤ්ඤප්තියක් සහිතව පැනවූ සික්ෂා පදය පහත පරිදි ය.
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    1,258
    3,720
    113
    Colombo
    යම් මහණෙක් දැන දැන මිනිස්සිරුරක් දිවියෙන් තොර කෙරේ ද, දිවි හරණ අවියක් උහු වෙත එළවා තබන්නේ ද, මරණයෙහි ගුණ හෝ කියන්නේ ද, මරණය පිණිස උපාය උගන්වන්නේ ද, ‘එම්බා පුරුෂය, තාගේ ලාමක වූ මේ දුක්ඛ ජීවිතයෙන් කිම? තාගේ ජීවත්වීමට වඩා මරණය උතුමි’ යි මෙබඳු මරණ සිත් ඇත්තේ මෙබඳු මරණ සංකල්පනා ඇත්තේ නොයෙක් අයුරින් මරණයෙහි ගුණ හෝ වණා ද, මරණය පිණිස උපාය උගන්වා ද, මේ මහණ තෙමේ ද පරිජි වූයේ වෙයි, ප්‍රකෘති භික්ෂූන් හා සංවාසයට නුසුදුසු වෙයි.
    මේ සිකපදයෙහි මනුෂ්‍ය ශරීරය යනුවෙන් අදහස් කරන්නේ මවුකුස පළමුවෙන් ම පහළ වන කළල රූපයේ පටන් මරණය තෙක් පවත්නා ශරීරය ය. ඔසප්වීමට බෙහෙත් යෙදීම් ආදියෙන් කළලරූපය නැසුව ද පාරාජිකා වේ. එමෙන්ම සියදිවි නසා ගැනීම තහනම් කර තිබේ. සිය දිවි නසා ගන්නේ නම් පරිජි නොවන අතර දුකුළා ඇවැත් වේ. එක්තරා මහණෙක් සස්නෙහි උකටලී බැවින් පෙළුනේ ගිජුකුළුපව්වට නැඟී ප්‍රපාතයට පැන එක්තරා නලකරුවකු යට කොට මැරී ය. ඒ මහණහට පරිජිඇවැත් නොවන බව භාග්‍යවතුන් වහන්සේ පවසන ලද අතර පහත සිඛපදය පැනවීය. “මහණෙනි, ආත්මඝාතනය (සියදිවිනසාගැනීම) නො කටයුතුයි, යමෙක් ආත්මඝාතනය කෙරේ නම් දුකුළා ඇවැත් වේ.”

    සිය දිවි තොර කර ගැනීම හුදෙක් දුකුලා ඇවතකට සීමා වන්නේ තම ආත්මප්‍රතිලාභය තමාට අයත් වීමත් (අත්තාහි අත්තනෝ නාථෝ) ඉන් මෙරමාහට හානියක් නොවීමත් නිසා වියහැකි ය. ශික්ෂා පදයේ විෂය පථය විස්තාරණය කිරීම විශේෂයෙන් වැදගත් වන්නේ අනායාස මරණය පිළිබඳ සන්දර්භය තුළ ය. අනායාස මරණයට ඉඩ දීම සඳහා වන ගැටළුවෙහි බර රඳා පවතින්නේ මරණය ජීවිතයට වඩා හොඳ වනු ඇතැයි යන උපකල්පනය මත ය. එබැවින් දිවි නැසීම තහනම් කිරීම සියදිවි නසාගැනීම් (වෛද්‍යවරයාගේ සහාය ඇතිව සියදිවි නසා ගැනීම ඇතුළුව) සහ අනායාස මරණය යන දෙකටම බලපාන බව පැහැදිලි ය.
    භාග්‍යවතුන්වහන්සේගේ කාලයේ එක්තරා මහණකුට හිසරුජාවක් විය. භික්ෂූහු ඒ මහණහට නස්‍යයක් දෙන ලද අතර ඉන් ඒ මහණ මළේ ය. ඔවුනට කුකුස් ඇතිව භාග්‍යවතුන්වහන්සේ විචාළහ. එහිදී භගවත්හු, මරණ අදහස් නැත්තහුට ඇවැත් නො වේයැයි වදාළහ. මෙය පාරාජික පාලියේ එන විනීත වස්තුවක් වන අතර මෙමගින් පැහැදිලි වන්නේ ද්විතියික සංකූලතාවයකට පත් වීම ප්‍රාණඝාතයක් ලෙස නොසළකන බවයි. ප්‍රාණඝාතයක් සිදු වීමට නම් කරුණු පහක් සම්පූර්ණ විය යුතු ය. ඒ ප්‍රාණියෙකු වීම ය, සඤ්චිච්ච යි ප්‍රාණියෙකැ යි දැන ගැනීම ය, දිවියෙන් තොර කරමියි වධක සිත ය, නිසැකසිත මෙහෙයවා උපක්‍රම ක්‍රියාවෙහි යෙදීම ය, එම උපක්‍රමය නිසා ප්‍රාණියාගේ දිවි තොර වීම ය යන කරුණු පසයි. නිබ්බේධික සූත්‍රයේ දී චේතනාහං භික්ඛවේ කම්මං වදාමි යැයි වදාළ බැවින් චේතනාවම කර්මය වන නිසා වධක චිත්තයෙන් තොරව ප්‍රාණාතිපාත කර්ම පථය නොපිරේ. විනීතවස්තූන්හි නොමැරියැටියහුට ඇවැත් නොවන්නේ මේ නිසාවෙනි.
    අනායාස මරණය පිළිබඳ විනීතවස්තු සඳහන් වන්නේ මෙම මිනිස් ඝාතනයට එරෙහි ශික්ෂා පදය පැනවීමෙන් පසුව ය. ඉන් අනායාස මරණයට ආසන්නතම උදාහරණ කිහිපයක් සළකා බලමු.
    එක්තරා මහණෙක් ගිලන්ව සිටින කල්හි භික්ෂූහු ඒ මහණහට කරුණාවෙන් මරණයෙහි ගුණ වැණූහ. ඒ මහණ තෙමේ කලුරිය කෙළේ ය. පසුව ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැළ කළාහු ය. ඒ භික්ෂූන් පරිජි වූ බව භාග්‍යවතුන් වහන්සේ වදාළහ. මෙම කරුණාවන්ත චේතනාව තිබියදීත්, එනම්, මිය යන පුද්ගලයෙකුට අනවශ්‍ය වේදනාවක් දීම වැලකීම සඳහා වූ චේතනාව තිබියදීත් බුදුන් වහන්සේගේ විනිශ්චය වූයේ, ශික්ෂා පද උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් සම්බන්ධ වූවන් වැරදිකරුවන් බව ය. ඔවුන්ගේ වරද කුමක් ද?
    බුද්ධඝෝෂ හිමියන්ගේ විශ්ලේෂණයේ දී, ඔවුන්ගේ වැරැද්දේ මූලික හරය ලෙස දක්වන්නේ ඔවුන් මරණය ඔවුන්ගේ අරමුණ කර ගැනීමයි (සමන්තපාසාදිකා). එම නිසා බෞද්ධ දෘෂ්ටි කෝණයකින් පුද්ගලයාගේ චේතනාවේ ගුණාත්මකභාවය නොසලකා මිනිස් ජීවිතය විනාශ කිරීම අරමුණු කරගත් ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීම අකුසලයක් ලෙස පෙනේ. එබැවින් කරුණාව සැමවිටම සදාචාරාත්මක වශයෙන් හොඳ චේතනාවක් බව අපට නිගමනය කළ හැකි නමුත් එහි නාමයෙන් කරන ඕනෑම දෙයක් සාධාරණීකරණය නොකළ හැකි බව විනිශ්චය කළ හැකි වේ. මේ අනුව කරුණාවේ නාමයෙන් වුව ද ඝාතනයට ඉඩක් නොලැබෙන බව සනාථ වේ. මීට හේතුව වන්නේ හුදෙක් කරුණාව ඇතැයි සිතා සිටිය ද මරණයට පත් කිරීමට නම් වදක සිතක් ක්‍රියාත්මක විය යුතු වීමයි. එනිසා අවිහිංසා වේෂයෙන් වඤ්චක ද්වේෂය ක්‍රියාත්මක වීම සිදු වන බව හඳුනාගත හැකි ය. කරුණාව හා කරුණා පූර්වභාවය අවිහිංසා නම් වන අතර එය ද්වේෂයට විරුද්ධ ස්වභාවයකි. එහෙයින් මෙම අවිහිංසාව වශයෙන් එන ද්වේෂය වෙන් කර හඳුනා ගැනීම දුෂ්කර ය (වඤ්චක ධර්ම හා චිත්තෝපක්ලේශ).
    අවසාන විනීත වස්තු කිහිපයේ විනිශ්චය ඉතා දුෂ්කර වන්නේ වධකයාට උපදෙස් දීමේ සිද්ධියයි. එක්තරා මහණෙක් වධකස්ථානයට ගොස් චොර ඝාතකයාට මෙය කීය: “ඇවත, මොහු නොවෙහෙසව. එක පහරින් දිවියෙන් තොර කරව” යි. ‘වහන්ස, මැනව’ යි එක පහරින් දිවියෙන් තොර කෙළේ ය. භාග්‍යවතුන්වහන්සේ භික්ෂුව පරිජි වු බව වදාළහ. මෙහි දී මොඨ වූ ආයුධයකින් දුෂ්කර ලෙස දිවි තොර කරනු දැක එකවර දිවි තොර කරන්නට උපදෙස් දීම නිසා ඇවැත් වී ඇත.
    අවසාන වස්තු දෙකෙහි සුන් අත් පා ඇති පුරුෂයෙකු එම දුකින් මිදවීමට බෙහෙත් පැවසීම පිළිබඳ කතා දෙකක් එයි. මෙය අවිහිංසාව නිසා මරා දැමීමට ආසන්නම උදාහරණ වේ. නමුත් බෙහෙතින් පුරුෂයා මළ නිසා ඒ මහණ හා මෙහෙණ පරිජි ඇවැත් වී ඇත. බුදු දහම අනායාස මරණයට ඉඩ නොදෙන බවට මෙය ආසන්නතම උදාහරණයයි.
    මීට අමතරව ගැබ් හෙළීම් පිලිබඳ විනිශ්චයන් කිහිපයක් විනයෙහි එයි. එහි දී ගැබ් හෙළීම ද මිනිස් ඝාතනයක් ලෙස සළකා පරිජි ඇවැත් වන බව දේශනා කොට තිබේ. උක්ත පැහැදිලි කරන ලද පරිදි අවම වශයෙන් ප්‍රතිසංධිය ලත් මොහොතේ පටන් කලළය ද සජීවී මිනිස් සත්ත්වයෙකු ලෙස සැළකේ. බුදු දහමේ අපට හමුවන කරුණු පමණක් පදනම් කරගනිමින් ප්‍රතිසංධිවිඤ්ඤාණයාගේ පහළ වීම සිදුවන කාල පරාසය තීරණය කිරීම දුෂ්කර ය. නමුත් එය කළලය ගර්භාෂ බිත්තියේ තැන්පත් වීමට පෙර එය සිදුවන බව අනුමාන කළ හැකි ය. මේ කරුණු නිසා බුදු දහම ගබ්සාව අනුමත නොකරයි. බුදු සමයේ ගබ්සාව ද ප්‍රාණඝාතයක් ලෙසම සැළකේ. වර්ථමාන ලාංකික වෛද්‍ය විද්‍යාවේ ගබ්සාව නීතිගත කර නැතත් පැලෝපීය නාල පිළිසඳ ගැනීම්, උදර හෝ පිටත පිළිසඳ ගැනීම් වැනි මවගේ ජීවිතයට හානි විය හැකි අවස්ථාවල ගබ්සා කරනු ලැබේ. මෙය සදාචාරාත්මකව කෙසේ සැළකුව ද එහිදී ද ප්‍රාණඝාතයක් සිදු වන බව කිව යුතු ය. මෙහිදී කිවයුතු තවත් වැදගත් කරුණක් වන්නේ බෞද්ධ පදනමක් තුළ සමහර උපත්පාලන ක්‍රම පිළිබඳව ද සැක ඉපැදවිය හැකි බවයි.
    ජීවිතය කෙසේ හෝ ආරක්ෂා කළ යුතු ද?
    ඉහත සඳහන් කළ කරුණුවලින් අදහස් කරන්නේ ජීවිතය ඕනෑම කැපකිරීමක් කර ආරක්ෂා කළ යුතු බව ද? බුද්ධඝෝෂ හිමියෝ සමන්තපාසාදිකාවේ එක් අවස්ථාවක දී, මාරාන්තික රෝගී තත්වයක් ඇති රෝගීන්ගේ තත්වය පිළිබඳව සාකච්ඡාවක් ඉදිරිපත් කරයි. ගිලන්ව සිටින අයෙකු උපස්ථානය ලැබෙමින් තිබිය දී මිය යාමේ අදහසින් ආහාර ගැනීම නතර කළහොත් ඔහු දුකුලා ඇවතකට පත් වේ (දුක්කට). නමුත් බරපතළ රෝගයකින් පෙළෙන රෝගියෙකු සම්බන්ධයෙන් උපස්ථායක භික්ෂූන් වෙහෙසට පත්ව අපේක්ෂා භංගත්වයට පත්විය හැකි ය. මෙහිදී උපස්ථායක භික්ෂූන් වහන්සේලා දැඩි පීඩාවට පත් වී ඇති බව රෝගියා දුටුවහොත් මෙන්ම දැඩි සත්කාරයකින් වුව ද ඔහුගේ ජීවිතය දීර්ඝ කළ නොහැකි බව දත හොත්
    ආහාර හා ඖෂධ ප්‍රතික්ෂේප කිරීම නීත්‍යානුකූලයැයි අට්ඨකථාව පවසන බව උන්වහන්සේ කරුණු දක්වයි [13]. මෙය බොහෝ දෙනාගේ නෙත ගැටුණු සැක උපදවන විනිශ්චය දුෂ්කර කරුණකි.
    ------ Post added on Aug 25, 2021 at 9:42 AM
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    1,258
    3,720
    113
    Colombo
    බුද්ධඝෝෂ හිමියන්ගේ සාකච්ඡාව, සිය ජීවිතය අවසන් කිරීමේ අරමුණ ඇතිව වෛද්‍ය ප්‍රතිකාර ප්‍රතික්ෂේප කරන පුද්ගලයා (ඇවතට පත් වන) සහ ප්‍රතිකාර කිරීමෙන් පසු මරණයෙන් නොවැළැක්විය හැකි තත්වයට පත්ව ඖෂධාදිය අවසන් වීමෙන් හා බලාපොරොත්තු සිඳීමෙන් ප්‍රතිකාර ප්‍රතික්ෂේප කරන පුද්ගලයා සම්භන්ධව ය. මේ දෙදෙනා අතර සදාචාරාත්මක වෙනස නම් පළමු පුද්ගලයා එනම්, රෝගියා මරණය සොයයි, නැතහොත්, මරණය ඔහුගේ අරමුණ බවට පත් ව ඇත. නමුත් දෙවැන්නා සරලවම මරණයේ නොවැළැක්විය හැකි බව සහ සමීපත්වය පිළිගන්නා අතර වැඩිදුර ප්‍රතිකාර හෝ පෝෂණය අර්ථ විරහිත යැයි තීරණය කරයි. පළමුවැන්නා මරණය පතන අතර දෙවැන්නා ජීවිතය පතයි. කෙසේ නමුදු දෙවැනි රෝගියා වෛද්‍ය ප්‍රතිකාරය රෝගය සුව කිරීමට අසමත් නිසා ප්‍රතිකාරයෙන් වැළකේ.
    කෙසේ නමුදු සසරට තදින් කලකිරුණා වූ භික්ෂුවක් ආහාර සෙවීම හා වැළඳීමත් භාවනාවට බාධාවකැයි ජීවිතාශාව හැර භාවනාව සඳහා ආහාර ප්‍ර‍තික්ෂේප කිරීම සුදුසු බව ද අටුවාවෙහි දක්වා ඇත. එවන් කතාවන්ද බෞද්ධ සාහිත්‍යයේ එයි. එතෙකුඳු වුවත් මේ වරද කළ නිසා මා මැරෙනවාය මේ දෙය නුදුන හොත් මේ දෙය නො කළ හොත් මා රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් බුද්ධශාසනය වෙනුවෙන් දිවි පුදනවායයි උපවාස කිරීමෙන් ඇවැත් වේ. එසේ මළහොත් ඔහු මැරෙන්නේ ඇවතකින් ය (උපසම්පදා සීලය).
    උක්ත කරුණු දැක්වීමෙන් හැඟවෙන්නේ ජීවිතය කෙසේ හෝ ආරක්ෂා කර ගැනීමට සදාචාරාත්මක බැඳීමක් ඇති බව බුදු දහම විශ්වාස නොකරන බවයි. මරණයේ නොවැළැක්විය හැකි බව හඳුනා ගැනීම බෞද්ධ ඉගැන්වීම්වල කේන්ද්‍රීය අංගයකි. මරණය සදාකාලිකව කල් දැමිය නොහැකි අතර, බෞද්ධයින්ට මරණාසන්න මොහොතේ සිහි නුවණින් කටයුතු කිරීමට දිරිගන්වනු ලැබේ.
    කිසිදු සුවයක් හෝ ප්‍රකෘතියක් නොපෙනෙන විට වැඩි වැඩියෙන් තාක්‍ෂණය වෙත යොමු වීමෙන් ස්වාභාවික කාල සීමාවෙන් ඔබ්බට ජීවිතය දීර්ඝ කර ගැනීමට උත්සාහ කිරීම මිනිස් මරණයේ යථාර්ථය ප්‍රතික්ෂේප කිරීමක් වන අතර බුදු දහම අනුව එය අධික තණ්හාව හා මෝහය මූලික ව්‍යායාමයක් ලෙස ඇතමෙක් විග්‍රහ කළ හැක. එසේ විග්‍රහ කරන විට මරණාසන්න සත්කාර වල දී, සහ අඛණ්ඩ ශාකමය තත්වයක් නිශ්චිතවම හඳුනා ගෙන ඇති අවස්ථාවන්හි දී, ප්‍රකෘතිමත් වීමේ අපේක්ෂාවක් නොමැති නම් හෝ ප්‍රතිකාර ලබා දීම සඳහා බොහෝ දුරක් යාමට අවශ්‍ය නොවේ. මේ අනුව පශ්චාත් සංකූලතාවලට ප්‍රතිජීවක ඖෂධ ලබා දීම අවශ්‍ය නොවේ- උදා: නියුමෝනියාව හෝ වෙනත් ආසාදන වලට ප්‍රතිකාර කිරීමේ අවශ්‍යතාවයක් නොමැත. ප්‍රතිකාර නොකළ ද්විතීය ආසාදනයක් රෝගියාගේ මරණයට හේතු වන බවක් පෙනෙන්නට තිබුණ ද, සමස්ථ සුව වීම පිළිබඳ පුරෝකථනයට අනුව ප්‍රතිකාර කිරීම තීරණය කළ යුතු බව තීරණය හැකි ය. දුෂ්කර නමුත් නිෂ්ඵල ප්‍රතිකාර මාලාවක් ආරම්භ කරනවා වෙනුවට, ඒ කිසිවක් රෝගියාගේ සමස්ත තත්වයෙහි දියුණුවක් ඇති නොකරන බව දන්නේ නම් බොහෝ විට රෝගියා වෛද්‍ය ආධාරයෙන් ඉවත් කරන නිගමනයකට එළඹීම සුදුසු වන අතර ඉන් ස්වභාවික සිදුවීම්වලට ඔවුන්ගේ ගමන් මග ගැනීමට ඉඩ දිය හැකි ය. මෙනයින්, එවැනි අවස්ථාවන්හි දී, යථා තත්ත්වයට පත්වීම පිළිබඳව වන සමස්ත පුරෝකථනය සළකා නිෂ්ඵල හෝ අධික වියදම් වන ප්‍රතිකාර ප්‍රතික්ෂේප කිරීම හෝ ඉවත් කර ගැනීම යුක්ති සහගත බවක් පෙනෙන්නට තිබේ.
    ඉහත තර්කය නිරවද්‍ය ලෙස පෙනුන ද සිතා බැලිය යුතු ඉතා වැදගත් මූලධර්මයක් තිබේ. ඒ කර්මය පිළිබඳව යි. මෙවන් අවස්ථාවල තීරණ ගැනීම බොහෝ විට වෛද්‍යවරයා සතු නොවේ. තීරණයේ නෛතික අයිතිය පවුලේ සාමාජිකයන්ට හිමි වේ. ශාකමය තත්වය හා මොළය මැරුණු අවස්ථාවන්හී දී ජීවිතේන්ද්‍රිය උපච්ඡෙද වූ බව සනාථ නොවේ. එමෙන්ම ශාකමය අවස්ථාවේ දී පෝෂණය හා සජලනය මගින් දිවි දිගු කළ හැකි අතර තව දුරටත් උණුසුම පවතී. මෙමගින් සවිඤ්ඤාණිකත්වය පෙන්නුම් කෙරෙන අතර මෙවන් අවස්ථාවල යන්ත්‍ර ඉවත් කිරීමට අවසර දීම ඉතා බරපතළ අකුසලවලට හේතු විය හැකි ය. මව හෝ පියා වෙනුවෙන් මෙසේ අවසර ලබා දීමෙන් ආනන්තර්‍ය පාපකර්මයක් සිදු වේ. භික්ෂුවක් මෙසේ අවසර ලබා දීම පාරාජික වීමට හේතු වේ. භික්ෂුව තම මව පියා වෙනුවෙන් අවසර දුන්නේ නම් ආනන්තර්‍ය පාපකර්මයත් පාරාජික වීමත් සිදු වේ. ආනන්තර්‍ය පාපකර්ම කළවුන් කෙතරම් උත්සහ කළ ද ධර්මාවබෝධයට අභව්‍ය බව අංගුත්තර නිකායේ ඡක්ක නිපාතයේ වෝරෝපිත සූත්‍රයේ දැක් වේ. එමෙන්ම මරණින් මතු අවීචි මහා නිරයේ උප්පත්තිය ලැබීම අනිවාර්ය වේ. මේ අවස්ථා කෙසේ වුවද මෙම උපකරණ ඉවත් කිරීම නිසා ප්‍රාණඝාතයක් සිදු විය හැකි ය. එය විශේෂයෙන්ම වෛද්‍යවරුන්ට ඇති උභතෝකෝටික ප්‍රශ්නයකි. මෙම උපකරණ නොමැති කාලය සැළකුවහොත් ස්වාභාවික සිද්ධිදාමය ක්‍රියාත්මක වන අතර ආයාසකර දිවි රැක්මක් නැත. මේ නිසා මෙවන් අවස්ථාවල දිවි තොර කරන අදහසක් හෝ හට ගන්නේ නැත. වෛද්‍ය විද්‍යාත්මකව උපකරණ ඉවත් කිරීම සාධාරණව පෙනුන ද බෞද්ධ ඉගැන්වීම අනුව මෙම දියුණු තාක්ෂණයක් පැවතීම මිනිසා විසඳුම් විරහිත ගැටළුවලට තල්ලු කර ඇති බව පෙනේ.
    මරණාසන්න සත්කාර සඳහා විකල්පයක් ලෙස සුඛමෘත්‍යය හඳුන්වා දීම වෙනුවට බුදු දහම උපස්ථානයේ පරමාදර්ශයට සහය වේ.
    හිතාමතා ඝාතනය කිරීම තහනම් කරන පළමු ශික්ෂා පදයට අනුකූලව බොහෝ බෞද්ධයන් විසින් අනායාස මරණය (euthanasia) ප්‍රතික්ෂේප කරනු ලැබේ. දුක් වේදනා සමනය කිරීමේ සානුකම්පිත අදහසකින් මරණයට පත් කිරීමේ දී පවා මෙය අදාළ වේ. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන්, බුදු දහම මැද මාවතේ පසු වන අතර, අනායාස මරණය තහනම් කිරීම මගින් දැඩි ජීවිතාශාවක් අදහස් නොකෙරේ, එනම් ජීවිතය කෙසේ හෝ දීර්ඝ කළ යුතුය යන මූලධර්මය ද ප්‍රතික්ශේප කරයි. කෙසේ නමුත් මරණාසන්න වූ විට වෛද්‍ය සහය උපකරණ ඉවත් කර ගැනීම බොහෝ විට ප්‍රාණඝාතයක් විය හැකි ය.