මා දැන සිටි රිචඩ් ද සොයිසා

Walter White

Well-known member
  • Nov 20, 2019
    3,533
    9,228
    113
    දෙහිවල
    මා දැන සිටි රිචඩ් ද සොයිසා

    රිචඩ් සොයිසා මට හමු වන්නේ 1985 පමණ කාලයේදීය. අපොස උසස් පෙළ විභාගය ලිවීමෙන් පසු ප්‍රතිඵල එන තෙක් එම කාලයේදී මම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඉංග්‍රීසි අංශයේ බාහිර නිෂ්පාදකයෙකු ලෙස සේවය කලෙමි. එම කාලයේදී රිචඩ් සොයිසාව දැන හඳුනා ගැනීමට මට ඉඩ ප්‍රස්ථාව ලැබිණි.

    රූපාවාහිනී සංස්ථාවේ සිට සතියට දෙතුන් වරක් ගුවන් විදුලි සංස්ථාට ඒමට රිචඩ් පුරුදුව සිටියේය. මට ඔහුව ගුවන් විදුලි සංස්ථාවේ තැටි අංශයේ දී නිතර හමු විය. රිචඩ් ශාස්ත්‍රීය සංගීත තැටි සොයන අතර මම ඊගල්ස් , ඩීප් පර්පල් වැනි රොක් සංගීත කණ්ඩායම් වල තැටි සොයමින් විදුලි සංස්ථාවේ තැටි අංශයේ සේවය කරන ගුණසේකරව වෙහෙසට පත් කලෙමි. වරක් රිචඩ් වැග්නර් ගේ ඔපෙරා සංගීතයක් සෙමෙන් වාදනය කරමින් ඊට සවන් දෙමින් සිටි අතර ඒ බව නොදත් මා ඩීප් පර්පල් සංගීත කණ්ඩායමේ ස්පීඩ් කිං නම් ගීතය මහ හඞින් වාදනය කලෙමි. මේ කරච්චලය නිසා රිච්ඩ් වැග්නර්ගේ සංගීතය නවතා මා දෙස බලා සිනාසෙමින්යන්නට ගියේය. ඔහුට සිදුවූ බාදාවට රිචඩ් කෝප ගත්තේ නැත.

    රිචඩ් ශාස්ත්‍රීය සංගීතයට ආදරය කල අතර ඇතැම් විට විසිල් කලේද ශාස්ත්‍රීය තාලයන්‍ ය. එම තාලයන් අනුකරණය කොට විසිල් කිරීම පවා ඉතා අපහසු වීය. වැග්නර් , මෝසාට් ශෝපෑන් චයිකොව්ස්කි නිතරම ඔහුගේ මුවග තිබුනේය.
    රිචඩ් සොයිසා යසෝරාවය ටෙලිය / යුගාන්තය චිත්‍රපටය රඟපෑ සමයේදී ඔහු ගුවන් විදුලියට පැමිණි විට ඔහු කෙරෙන් මඳක් ලැජ්ජාශීලී ගතියක් පෙනෙන්නට තිබුණි. ඒ කාලයේදී පාරේ තොටේදී පවා මිනිසුන් යශෝරාවය ගැන කථා කල සමයක් විය. ඒ නිසා රිච්ඩ් එන විට ගුවන් විදුලි සංස්ථාවේ විමසීම් කවුන්ටරයේ සිටි ධම්මිකා ඇතුළු රූපත් ළළනාවෝ ඔහු දෙස ඇසිපිය නොගසා බලා සිටියහ. මේ නිසාදෝ රිච්ඩ් බිම බලාගෙන ගීතයක් උරුවම් බාමින් යන්නට පුරුදුව සිටියේය.

    රිචඩ් අන්තර්වර්ත ( Introverted ) චරිතයක් බව අද දිනයේ මට සිතේ. නළුවෙකු වූවද ඔහු තුල යම් ලැජ්ජාශීලී බවක් තිබුනේය. ඒ නිසා ඔහු සෑම දෙනා සමග නිදහසේ කථා කිරීමට නොගියේය. මේ හේතුවෙන් ඇතැමෙකු ඔහු ආඩම්බරකාරයෙකු ලෙස සිතූහ. නමුත් එය වැරදි අදහසකි. ඔහු සරල පුද්ගලයෙකු විය. පරණ හමගිය ඩෙනිම් කලිසමක් සහ නිල් පැහැති කොලරය සහිත ටී ශර්ට් එකක් වැනි කමිසයක් නිතරම ඇඳ සිටි ඔහු හිංදි නළුවෙකු මෙන් කඩවසම් විය. ඉංග්‍රීසි වේදිකා නාට්‍ය කලාවේ දිදුලන තරුව වූයේ රිච්ඩ්‍ ය.

    රිචඩ් සොයිසා බහු කුසලතා තිබූ පුද්ගලයෙකි. ඔහු සුපිරි ඉංග්‍රීසි නිවේදකයෙකි. ඔහුගේ ඉංග්‍රීසි උච්චාරණ හැකියාව අන්තර්ජාතික මට්මක තිබුණි. එසේම ඉංග්‍රීසි සාහිත්‍යය පිළිබඳව ඔහුට තිබුනේ ප්‍රවීණ දැණුමකි. ඒ දැණුමට සම කළ හැකි අයෙක් එකල ගුවන් විදුලියේ පමණක් නොව රූපාවාහිනියේද නොවීය. රිචඩ් මිය ගොස් දශක දෙක හමාරකට වඩා අධික කාලයක් ගතවී තිබුනද රිචඩ් සොයිසා රැඩ්‍ යඩ් කිප්ලින් ගේ පොතක ජේදයක් කියවන හඬ මට දැනුදු ඇසේ. ඔහුගේ කටහඬ , වාග් ශක්තිය දැණුම ප්‍රතිභාවට සම කල හැකි කුසලතාවන් තිබු කිසිවෙකු මට පසුගිය දශක කිහිපය පුරා හමු වී නැත. රිච්ඩ් වැන්නෙකු බිහි වන්නේ සියවසකට වරකි. එම දුබල අවස්ථාව දැසින් දැකීමට සහ ශ්‍රවණය කිරීමට අප භාග්‍ය ලැබුවෙමු. නමුත් එවැනි දුලබ මිනිසෙකු රැක ගැනීමට ලංකා සමාජයට නොහැකි විය.

    ඔහු සත්‍ය මිස අන් යමක් පරාවර්තනය නොකලේය. සමාජ ක්‍රියාධරයකු , මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වූ රිචඩ් ගේ පෑන කගක් මෙන් තියුණු වූ අතර ඔහුගේ අදීන මිලදී ගත නොහැකි පෞරුෂත්වය ඉදිරියේදී ජනතා පීඩකයන් තැති ගත්හ. ඔහුගේ මරණ වරෙන්තුව ලියැවුනේ ඒ නිසාය
    රිච්ඩ් ගේ මරණය පිළිබඳ පණිවිඩය ලැබෙන විට මම වෛද්‍ය විද්‍යාව හැදෑරීම සඳහා එතෙර ගොස් තිබුණි. එය ශීත සමය විය. ඔහුගේ මරණය ගැන පුවත්පතකින් කියවූ මට රිච්ඩ් වැනි පුද්ගලයෙකු ඝාතනය කිරීමට පෙලඹුණු සමාජයක් කෙතරම් ප්‍රාථමිකද , අශිෂ්ටද සහ වගකීම් විරහිතද කියා සිතුණි. එසේම ඔහුගේ ඝාතනයෙන් පසු රිච්ඩ් ජේවීපීකාරයෙකු , කොටි හිතවතෙකු , සමකාමී ලිංගික විකෘතියෙකු බවට කථා පතුරවමින් ඔහුගේ චරිතයද ඝාතනය කිරීමට ඇතැමෙකු පෙලඹුනහ. ඒ රිචඩ් නම් ප්‍රතිභාපූර්ණ මිනිසාගේ පෞරුෂය ඉදිරියේ හීනමානයෙන් පෙළුණු පුද්ගලයින් ය.

    ඔහුව මරා දමන ලද්දේ ඉතා කුරිරු ආකාරයටය. වික්ටර් හාරාට මෙන් වධ බන්ධනයට ලක් කොට ඔවුන් නිරායුධ මිනිසෙකු මරා දැමූහ.
    1990 පෙබරවාරි 18 වැනිදා රාත්‍රියේ රිචඩ් සොයිසාගේ නිවසට 32 ශ්‍රී 4748 කොළපාට ජීප් රථයෙන් පැමිණි පොලිස්‌ අධිකාරි රොනී ගුණසිංහ ඇතුළු කණ්‌ඩායමක්‌ ඔහුව පැහැරගෙන යනු ලැබීය. ඔහුව පැහැරගත් පිරිස රිච්ඩ්ට වද දී හිසේ පසුපසට සහ උගුරට වෙඩි තබා හෙලිකොප්ටරයකින් සිරුර ගෙන ගොස් මහ මුහුදට අතහැර තිබේ. පසුව ඔහුගේ මළ සිරුර කොරළවැල්ල කොරළවැල්ල මුහුදු තීරය අසළට ගොඩගසා තිබූණි.

    ඔහුව ඝාතනය කරන ලද කුරිරු ආකාරය සහ රිච්ඩ් ගේ උගුරට වෙඩි තැබීමට මිනීමරුවන් පෙලඹීම ගැන ඔවුන් ගේ කෂ්ට මනෝභාවයන් ගැන වැටහීමක් අපට ලැබේ. විජය කුමාරතුංගගේ මුහුණට ඉරිසියා කළ ඝාතකයන් ඔහුගේ මුණට වෙඩි තබා විජයගේ මුහුණ විකෘති කලාක් මෙන් රිච්ඩ් ගේ රිදී ස්වරයට ඉරිසියා කළ ඝාතකයන් ඔහුගේ උගුරට වෙඩි තබා ඔහුගේ ස්වරාලය කුඩු පට්ටම් කළහ.

    රිචඩ් ද සොයිසාගේ මව වන වෛද්‍ය මනෝරානි සරවනමුත්තු තම නීතිඥයන් මාර්ගයෙන් අධිකරණයට දැනුම් දීමෙන් පසු එවකට සිටි මහෙස්‌ත්‍රාත්වරිය රෝහිනි පෙරේරා මහත්මිය වහාම රොනී ගුණසිංහ අත්ඩංගුවට ගන්නැයි නියෝග දුන් නමුදු රොනී ගුණසිංහ අතඩංගුවට ගැනීමෙන් වළකින්නැයි එවකට රාජ්‍ය ආරක්‍ෂක ඇමැතිව සිටි රන්ජන් විඡේරත්න පොලිසියට නියෝග කරන ලදි. රිචඩ් ගේ මරණයට ලංකා නීතිය මගින් යුක්තියක් ඉටු වූයේ නැත. නමුත් ඔහුගේ මරණය අවස්ථාවාදී දේශපාලකයන්ට බලය ලබා ගැනීමට මහගු අත්වැලක් වූයේය.

    රිච්ඩ් මිය ගොස් බොහෝ කාලයක් ගතවී තිබේ. ඔහු මරා දැමීමට නියෝග දුන්නන්ද මරා දැමූ පුද්ගලයන්ද නීතියෙන් බේරී ගියත් මේ වන විට ස්වභාව ධර්මයේ විනිශ්චයට ලක්වී අවසන්‍ ය. ඔවුන්ට රිච්ඩ් ගේ භෞතික ශරීරය විනාශ කළ හැකි වූවද ඔහු ගේ ප්‍රතිභාව විනාශ කිරීමට නොහැකි විය. රිච්ඩ් අදටත් අමරණීයය.

    වෛද්‍ය රුවන් එම් ජයතුංග

    ••••••••••••••• ••••••••••••• ••••••••••••• •••••••••••••

    (2015 වසරේ දිවයින පුවත්පතේ පළ වූ ලිපියකි)

    "අපරාධ වසන් කළ නොහැක. යම් දිනෙක අපරාධකරු හෙළිවනු ඇත."
    - ප්‍රංශ ගත්කරු වික්‌ටර් හියුගෝ -

    මෙයට වසර 25 කට පෙර රිචඩ් ද සොයිසා නම් වූ ගුවන්විදුලි සහ මාධ්‍යවේදියා ඝාතනය විය. මේ ඝාතනය වසන් කිරීමට විවිධ පාර්ශ්ව උත්සාහ කරනු ලැබීය. 1990 පෙබරවාරි 18 වැනිදා රාත්‍රියේ රිචඩ් සොයිසාගේ නිවසට කඩාවැදුණු නාඳුනන කණ්‌ඩායමක්‌ ඔහුව පැහැරගෙන යනු ලැබීය.

    ඔහුව පැහැරගෙන යැමට පෙර පෘතුගාලයේ ලන්ඩන් නගරයේ මාධ්‍ය සංවිධානයකට සම්බන්ධ වීමට සූදානම්ව සිටි බව වාර්තා විය. මෙලෙස පැහැරගත් කණ්‌ඩායම කවුදැයි හෙළිවූයේ නැත.

    එහෙත් 1990පෙබරවාරි 19 දා රාත්‍රි පුවත්පතේ කටයුතු අවසන් කර නිවසට යැමට සූදානම්ව අප වෙත ලත් රහසිගත පණිවුඩයකින් කියෑවුණේ රිචඩ් ද සොයිසාගේ වැනි අයකුගේ මළසිරුරක්‌ කළුබෝවිල රෝහලට ගෙන ආ බවයි. නිවසට යැම පසෙකට දැමූ අප විගස කළුබෝවිල රෝහලට පැමිණියෙමු.

    එකල භීෂණ සමයක්‌ උදාවී තිබුණි. අප කළුබෝවිල රෝහලට යනවිට රිචඩ්ගේ මව වූ මනෝරානි සරවනමුත්තු ඇතුළු ඥතීන් කීපදෙනකු පැමිණ සිටියේය. 1996 පෙබරවාරි 20 දා 'දිවයින' පුවත්පතේ ප්‍රධාන ශීර්ෂපාඨය වූයේ මවිසින් පළ කළ වාර්තාවයි. "ප්‍රකට රූපවාහිනි නිවේදකයකු හා ජනමාධ්‍ය ශිල්පියකු වූ රිචඩ් ද සොයිසාගේ මළ සිරුර ඊයේ (19 දා) කොරළවැල්ල දුම්රිය ස්‌ථානය අසළ තිබී ප්‍රදේශවාසීන්ට හමු විය.

    රාත්‍රී 9.45 ට පමණ කළුබෝවිල රෝහලට පැමිණි සරවනමුත්තු මහත්මිය ඇතුළු ඥතීහු සිරුර රිචඩ්ගේ යෑයි හඳුනාගනු ලැබීය. කොරළවැල්ල දුම්රිය ස්‌ථානය අසළම ඊයේ පස්‌වරු 6 ට පමණ ගොඩගසා තිබූ නාඳුනන නිරුවත් මළසිරුරක්‌ පිළිබඳව ප්‍රදේශවාසීහු පොලිසියට දන්වනු ලැබීමෙන් පසු එය රෝහලට යවා ඇත.
    සිරුර ඉදිමී තිබූ අතර හිසේ පසුපස සහ උගුරේ වෙඩි වැදුණු තුවාල සිදුවූ බව පොලිසිය කියයි.

    මේ ගැන පොලිසිය පරීක්‍ෂණ පවත්වන බව පැවසුවත් රිචඩ් ද සොයිසා පැහැරගෙන ගිය කණ්‌ඩායම කවුදැයි හෙළ වූයේ නැත. එහෙත් දින ගණනකට පසු ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති බලමින් සිටි මනෝරානි සරවනමුත්තු මහත්මිය එහි සිටි පොලිස්‌ නිලධාරියකු තම පුත්‍රයාව පැහැරගෙන ගිය කණ්‌ඩායමේ ප්‍රධානියා බවට හඳුනා ගත්තාය.

    ඒ වෙනින් කවුරුවත් නොව කොළඹ ප්‍රදේශයේ දේශපාලන පොලිස්‌ බලවතා වූ පොලිස්‌ අධිකාරි රොනී ගුණසිංහයි. මේ අතර රිචඩ් ද සොයිසාගේ මව තම නීතිඥයන් මාර්ගයෙන් මොවුන්ව මහෙස්‌ත්‍රාත් අධිකරණයට දැනුම් දීමෙන් පසු එවකට සිටි මහෙස්‌ත්‍රාත්වරිය රෝහිනි පෙරේරා මහත්මිය වහාම රොනී ගුණසිංහ අත්අඩංගුවට ගන්නැයි නියෝග කළාය. එහෙත් රොනී ගුණසිංහ අත්අඩංගුවට ගැනුණේ නැත. රොනී ගුණසිංහ අත්අඩංගුවට ගැනීමෙන් වළකින්නැයි එවකට රාජ්‍ය ආරක්‍ෂක ඇමැතිව සිටි රන්ජන් විඡේරත්න පොලිසියට නියෝග කළේය.

    රිචඩ් ද සොයිසාගේ මළසිරුර හමුවූ 1990 පෙබරවාරි මාසය මෙරට බිහිසුණු සමයක්‌ විය. කළුබෝවිල රෝහලේ සිට තොරතුරු ලබාගෙන 'දිවයින' කාර්යාලයට පැමිණි අවස්‌ථාවේ කාර්යාලයේ රැකවළෙක්‌ දිව අවුත් පැවසුවේ සරමක්‌ ඇඳගත් අයෙක්‌ මාව හමුවීමට ඉල්ලා සිටි බවයි. ඔහු තමාව හඳුනාගන්නා අනවර්ථ නාමයක්‌ ද රැකවලාට ලබාදී තිබිණි.

    ඒ 'දිවයින' සමඟ රහසිගත සබඳකම් පැවැත්වූ සහකාර පොලිස්‌ අධිකාරී ශාන්තිකුමාර්ය. අද ඔහු ජීවතුන් අතර නැත. පාතාල වෙඩි පහරකින් ඔහු ජීවිතක්‍ෂයට පත් විය. රිචඩ් ද සොයිසාගේ මළ සිරුර හමුවීම ගැන රොනී ගුණසිංහ කලබලයට පත්වී සිටිනවා. කළුබෝවිල පැත්තේ ගියාද යෑයි ඔහු මගෙන් විමසීය. පණට ආදරේ නම් නම දාලා පුවත ලියන්න එපා මං නම් කියන්නේ සද්ද නැතුව ඉන්න කියලයි. කළුබෝවිලට ආපු අය ගැන රොනී සොයනවා යෑයි ශාන්තිකුමාර් මට අනතුරු අඟවමින් කියා සිටියේය.

    ශාන්තිකුමාර් අනතුරු අඟවා විගස පිටව ගිය පසු යළි කාර්යාලයට පැමිණි විට දුරකථනය නාද වෙනු සවනය විය.

    "මම අහවල් ලේකම් කතා කරන්නේ කාගේ හරි මළසිරුරක්‌ සොයාගත්තා කියා තොරතුරු ලැබුණාද" යෑයි දුරකථනයෙන් කතා කළ තැනැත්තා විමසීය. මීට ප්‍රතිචාර දැක්‌වූ මා කීවේ කර්තෘ මණ්‌ඩලයේ මහත්වරු රෑ 7 ට වැඩ නිම කර පිටව ගිය බවත් කිසිවෙක්‌ දැන් නැති බවත්ය. ඔහු මා කවුරුන්දැයි විමසීය. ඊට ප්‍රතිචාර දක්‌වමින් කාර්යාලයේ සේවය කරන්නකු බව කීවේය. විනාඩි පහකට පසු යළිත් දුරකථනය නාද විය.

    මම අසවල් මාධ්‍ය නිලධාරියා. කවුද ඔය කතා කරන්නේ යෑයි ඔහු ප්‍රශ්න කළේය.

    ලේකම්වරයාට දුන් පිළිතුර මාධ්‍ය නිලධාරියාට ද පැවසුවෙමි. ඔහුටද අවශ්‍ය වූයේ මළසිරුරක්‌ සොයාගත් පුවතක්‌ ලැබුණා ද යන්නයි.

    එවන් පුවතක්‌ ගැන කර්තෘ මණ්‌ඩලයේ මහත්වරුන් අතර කතාබහට ලක්‌වූයේ නැති බවත් මා යළිත් පැවසුවේය.

    විනාඩි 3 කට පසු දේශපාලන බලවතෙක්‌ කතා කළේය. මම අසවලා. කවුද කතා කරන්නේ යෑයි ඔහු හිතවතකු කතා කරන ලෙසින් කතා කළේය.

    "මං කාර්යාලයේ රාත්‍රියට වැඩ කරන කෙනා. මහත්වරුන් වැඩ ඉවර කරලා ගෙදර ගියා යෑයි" මම කීවෙමි රිචඩ් කියලා කෙනෙක්‌ගේ මළසිරුරක්‌ සොයාගත් පුවතක්‌ ලැබුණාද යෑයි ඔහු ප්‍රශ්න කළේය. එහෙම දෙයක්‌ නැහැ. මහත්වරු මළසිරුරක්‌ ගැන කතා කළේ නැහැ යෑයි මම කිව්වෙමි.

    බොහොම ස්‌තුතියි යෑයි දේශපාලන බලවතා පෙරලා පැවසීය. වසර 25 කට පෙර මා දිවි ගලවා ගත්තේ එලෙසයි.

    1996 පෙබරවාරි 20 දා 'දිවයින පුවත්පතේ ' ප්‍රධාන පුවත වූයේ රිචඩ් සොයිසාගේ මළ සිරුර සොයාගත් පුවතයි.

    මේ නිසා එවකට පැවැති ආර්. ප්‍රේමදාස රජය බරපතළ අසීරුතාවකට පත් විය. 19 දා රාත්‍රියේ 'දිවයින' පුවත්පතේ සේවය කළේ කවුදැයි සොයා ගැනීමට රජයේ බලධාරීහු දරන උත්සාහය අසාර්ථක විය.

    වසර කීපයකට පසු රජය වෙනස්‌වීමෙන් රිචඩ් ද සොයිසා පැහැරගත් පොලිස්‌ කණ්‌ඩායමට එරෙහිව නඩු පවරනු ලැබුවත් සාක්‍ෂිවල දුර්වලතාවය නිසා ඔවුන් නිදහස්‌ විය.

    මේ පසුබිම මැද රිචඩ්ගේ මව වූ මනෝරානි සරවනමුත්තු මහත්මියට "යුක්‌තිය" ඉටුවූයේ නැත.

    එහෙත් 1993 මැයි 1 දා කොළඹ ආමර්වීදියේදී කොටි බාබු පිපිර වූ බෝම්බයට රොනී ගුණසිsංහ ද ගොදුරු විය.


    ලිපිය - වෛද්‍ය රුවන් එම්. ජයතුංග
    කීර්ති වර්ණකුලසූරිය
    -අතීතකාමය පිටුවෙන් පිටුවෙන් උපුටාගන්නා ලදී -

    5uWOmji.jpg


    2VEdUSx.jpg


    xEye4vF.jpg