මා මළත් මේ මල් බුදුන්ට යි

asliyanage

Well-known member
  • Nov 2, 2006
    1,130
    3,283
    113
    Colombo
    රජුට වඩා බුදුන්ට ගරු කළ රජුගේ සේවකයකුගේ කතාවකි.
    හෙතෙම අහිංසක දුප්පත් තැනැත්තෙකි. නමින් ‘සුමන’ වීය. රැකියාවක් සොයමින් යන ඔහුට පෙර පිනකටදෝ බිම්බිසාර රජුට මල් සැපැයීමේ කාර්යය ලැබිණි. දිනපතා උදෑසනම දෑසමන් මල් අට නැළියක් සැපැයීම ඔහුට බාර විය. ඒ සඳහා මදටිය විස්සක් පමණ බරැති රන් කාසි අටක් බැගින් ලැබිණි. මෙය ඔහුගේ ජීවිතය ගෙන යෑමට මහත් පිටිවහලක් විය.
    සුපුරුදු පරිදි එදිනද හෙතෙම මල් නෙළීමේ කාර්යයට ගියේ හිමිදිරි පාන්දරමය. වෙනදාටත් වඩා අලංකාර සුවඳවත් මල් සමූහයක් ලැබීම ගැන ඔහුගේ සිත පිනා ගොස් ඇත. වහවහා විසිතුරු ලෙස සකස් කරගත් මල් බඳුනද අතැ’ති ව ඔහු පිය මං කළේ රජ මැඳුරටය.
    දස දෙස ආලෝකවත් කරමින් සවණක් ගණ බුදු රැස් විහිදුවමින් සඟුන් පිරිවරාගෙන ශාන්ත දාන්ත ලීලාවෙන් තිලෝගුරු බුදු රජාණන් වහන්සේ තමා ඉදිරියට වඩිනා බව ඔහු දුටුවේ මේ මොහොතෙහිය. අසීමිත ප්රීතියකින් ඔහු ඒ පියකරු දසුන දෙස මඳ වේලාවක් බලා සිටියේ ය.
    බුදුන් පිදීමට තමා අත කිසිවක් නැත. වෙනෙකක් තබා දෑත එකතු කොට වැඳීමට වත් ඔහුට අවකාශයක් නැත. දෑත ම මලින් පිරී ඇත. තමා මේ රජුට ගෙන යන දෑසමන් මලින් බුදුන් පිදීමට ඔහු සිතුවේය. එහෙත්... ඔහු මේ ඉටු කරන්නේ රජ අණකි.
    ‘අද රජුට මල් ගෙන නොගිය හොත් මා සිරගෙයි ලෑමට පුළුවන. නැත හොත් වෙනත් දඬුවමකට යටත් වීමට සිදු වනු ඇත. මෙම රැකියාවෙන් නෙරපීමට වුව ඉඩ තිබේ. මම මේ හැම දඬුවමක් ම විඳිමි. මේ මලින් පමණක් නො ව, මාගේ ජීවිතයෙන් පවා බුදුන් වහන්සේ පුදමි’ යි හෙතෙම දැඩි අධිෂ්ඨානයකින් යුතු ව, තමා අත ඇති මලින් බුදුන් වහන්සේ පුදා, එතැන ම පසඟ පිහිටුවා වැඳවැටුණේ ය.
    සුමන මල්කරු තම ජීවිතය ගැන නොතකා කළ මේ ක්‍රියාව බුදුන් වහන්සේගේ බුදු නුවණට වැටැහිණි. උන් වහන්සේ මල්කරුගේ සිත තවත් ප්‍රසන්න කිරීම සඳහා තමන් වහන්සේ වෙනුවෙන් අහසට දැමූ මල් සිරස මුදුන වියනක් මෙන් ද දකුණු පස සහ වම් පස තිර ලෙසද දැක්වෙන්නට අධිෂ්ඨාන කළ සේක.
    මේ අසිරිමත් දසුනින් පුදුමයට පත් බොහෝ දෙනා මහ හඬ නඟමින් මහත් බැතියෙන් සාදු නාද පැවැත්වූහ. මේ සියල්ල දුටු සුමන මල්කරුට ඇති වූයේ නිම්හිම් නැති පී‍්‍රතියකි. රජ අණ දැන් ඔහුට අමතක ය. දෑසින් තුටු කඳුළු වැගිරෙන්නට විය.
    බුදු රදුන් ඒ මල් වියන් තිර සහිතව බිම්බිසාර රජුගේ මාලිගය අසලින් වැඩියහ. මහා පිරිසකගේ සාධුකාර හඬ නිසා රජ වීදිය දිහා බැලූ බිම්බිසාර රජු ඒ අලංකාර දර්ශනය දුටුවේය. හෙතෙම වහා මාලිගයෙන් බැස, මහ පිරිස් පීරාගෙන ගොස් බුදු රදුන් වැඳපුදාගත්තේ භක්තිය පෙරදැරි කරගත් සිතිනි. බිම්බිසාර රජු ද මේ අසිරිමත් දසුන දැක බුදු රදුන් වැඳපුදාගන්නා ආකාරය සුමන මල්කරු බලා සිටියේ හද පිරි සතුටිනි.
    සියල්ල නිමා විය. රජතුමා නැවතත් මාලිගයට ගියේ ය. තවමත් රජ වාසලට මල් නොලැබුණු බව ඔහු දැනගත්තේ එවිට ය. “වහා ම සුමන මල්කරු මෙහි කැටුව එව” රාජ නියෝග නිකුත් විය. රාජ පුරුෂයෝ මල්කරුවාගේ නිවෙසට ගියෝ ය. රජ අණ ඔහුට දන්වන ලදි.
    සුමන තමා කළ ඒ සත් ක්‍රියාව පිළිබඳව එවිටත් සිතින් උදන් අනමින් සිටියේය. ඔහුගේ මුහුණ ඉතා ප්‍රසන්න ය. කිසිම බියක හෝ චකිතයක හෝ සේයාවක් වත් නැත. රාජ පුරුෂයන් සමග ඔහු ගියේ නිර්භය ව ම ඕනෑ ම දෙයකට මුහුණ පෑමේ අධිෂ්ඨානයෙනි.
    බිම්බිසාර රජු මල් නොගෙන ඒමට හේතු සුමන මල්කරුගෙන් විමසීය.
    “ස්වාමීනි, මම හිමිදිරියේම මල් බඳුන් සකස් කරගෙන රජ මාලිගයට එන්නට සැරසුණෙමි. එහෙත් ඒ එන අතරමගදී මහා කාරුණිකයාණන් වහන්සේ මා ඉදිරියට වඩිනා බව මට පෙනිණි. මට නිම්හිම් නැති සතුටක් ඇති වූයේය. එහෙත් උන් වහන්සේට පිදීමට අසරණ මා අතෙහි කිසිවක් නො වී ය. ‘මා දිවි ගියත් කම් නැත. මම මේ මල් පුදමි’ යි සිතා, ඔබ වහන්සේට ගෙනා මල් සියල්ල ම බුදුන් වහන්සේට පූජා කළෙමි. බුදුන් වහන්සේගේ සිරස මුදුනෙහි වූ ඒ මල් වියන ඔබ වහන්සේට ගෙනා මල් ය.
    “මට කමා කරන සේක්වා, රජතුමනි! ඔබ වහන්සේත් මා කළ ඒ පිනෙහි කොටස්කරුවකු වී ඒ පින අනුමෝදන් වේවා!” යි සුමන මල්කරු නිර්භයව ම සියල්ල විස්තර කළේය.
    මේ සියල්ල සාවධානව අසා සිටි බිම්බිසාර රජතුමා ඉමහත් පී‍්‍රතියට පත් ව, මල්කරුවා අමතා, “සාධු! සාධු! සුමන, ඔබ කර ඇත්තේ ඉතා යහපත් දෙයකි. ඔබ කළ ඒ සත් ක්‍රියාවට මාගෙන් ද ත්‍යාගයක් හිමි විය යුතු යි” කියා, බොහෝ ධන සම්පත්ද දුන්නේය. සුමන මල්කරු දිවි නොතකා මල් පිදූ අනුහසින් මෙලොවදී ම එලෙස මහත් ලාභ ලැබුවේය.
    ආනන්ද තෙරණුවෝ සුමන මල්කරු තම දිවි නොතකා මල් පිදූ ආකාරයත්, සිදු වූ පුදුම දේ ගැනත් බුදුන් වහන්සේ සමග සාකච්ඡා කළහ. එවිට බුදුන් වහන්සේ ඔහු කළ ඒ පිනින් මතු ‘සුමන’ නම් පසේබුදුවරයකු වන බව පවසා, මේ ගාථාව ද වදාළ සේක:
    “තංච කම්මං කතං සාධු - යං කත්වා නානු තප්පති
    යස්ස පතීතෝ සුමනෝ - විපාකං පටි සේවතී.”
    “යමෙක් යම් කර්මයක් කොට පසුතැවිලි නො වෙයි ද, ඒ කරන ලද කර්මය පිළිබඳ විපාකය පී‍්‍රතියෙන් හා සතුටු සිතින් විඳියි ද, එවැනි කුසලකර්ම කිරීම යහපත් ය.”