මා.. හඬවලා.. - ප්‍රින්ස් උදය ප්‍රියන්ත

rangana26

Well-known member
  • Feb 21, 2013
    7,921
    10,164
    113
    මා.. හඬවලා.. - ප්‍රින්ස් උදය ප්‍රියන්ත

    මා.. හඬවලා.. ඔබ මගෙන් වෙන්වෙලා.... ප්‍රින්ස් ගේ මම කැමති ගී දහය Fondly remembering the tenderhearted late little Prince!

    කැමති සිංදු දහයේ පොඩි රැල්ලක් යනවා බුකියේ.. බ්ලොග්කාරයෝත් ගොඩක් දෙනෙක් බුකියේදී ඒ රැල්ලට අහු උනාට ඒක බ්ලොග් වලට එච්චර ඉක්මනට පැතිරුනේ නෑ.. ඒත් අද දැක්ක අමිල චතුරංග අන්සතු දිනපොතක එයා කැමති ගී දහය ලියලා තියෙනවා..

    පහුගිය දවස්වල කළා ක්ෂේත්‍රයට සම්භන්ද දෙදෙනෙකුගේ මරණ ආරංචි උනාම හිතට මොකක්දෝ සංකාවක් ඇති උනා.. එකක් ප්‍රින්ස් උදය ප්‍රියන්තගේ වියෝව.. අනික ආත්මා ලියනගේ ගේ බිරිඳ කුමාරි ලංකා ගේ වියෝව.. ආත්මා ගයන සුප්‍රසිද්ධ 'මාලි.. සිහින කුමාරි..' ගීතය නිසා කුමාරිව ගොඩක් දෙනෙක් හැඳින්වූවේ මාලි ලියනගේ නමින්..
    prince%2B2.jpg


    ප්‍රින්ස් උදය ප්‍රියන්ත තරුණ අවදියේ
    ඊයේ මොකක්දෝ ගොසිප් චැනල් එකකින් ටීවී ප්‍රෝග්‍රෑම් එකක් කරපු වීඩියෝ එකක් ෂෙයාර් උනා ප්‍රින්ස් ගේ ගීත ගැන පාරේ යන එන අයගෙන් අහලා.. ඒක මොන පර්පස් එකකට කරාද නොදන්නවා උනත් එතැනදී අදහස් දක්වපු බොහෝ තරුණ හා මැදිවියේ අය කතා කලේ 'ප්‍රින්ස්? ඒ කවුද?' කියල අහනවා වගේ.. ප්‍රින්ස් ගැන අහල තිබුන අයටත් එයාගේ සිංදු මතක තිබුනේ අඩුවෙන්.. එක්කෙනෙක් දෙන්නෙක් තමයි හැගීම්බරව කතා කරේ ඒ ගැන..

    පුද්ගල රසඥතාව විවිද නිසා ඔවුන් පලකළ අදහස් සම්භන්දව විවේචනයක් ඉදිරිපත් කරන්න බෑ.. ඒත්.. එතැනදී කියවුනාට වඩා අපි දන්නා ප්‍රින්ස් කියන්නේ ඉතා විශාල 'ජනප්‍රියත්වයක්' තිබුණු කෙනෙක්.. නමුත් ඔහු ප්‍රබුද්ධ ගායක කුලකයට අයිති උනේ නෑ.. ඒ නිසාම සමහරු පොඩ්ඩක් අකමැතියි ඒ වගේ අයගේ සිංදු අහනවා කියල කියන්න.. ඔය සංතෑසියටම ලක් වෙච්චි තව ගායක ගායිකා සෙට් එකක්ම ඉන්නවා.. ජෝති ඒ ලිස්ට් ඒකෙ මුලින්ම හිටියේ.. ක්ලැරන්ස්, පුන්සිරි සොයිසා, නිහාල් නෙල්සන්, ප්‍රියා සූරියසේන ඊළඟට රූකාන්ත වගේ අය.. නමුත් මේ අය කාලයත් සමඟ සුපිරි නොවුනත් යම්කිසි පිළිගැනීමකට ලක්වුනා.. ප්‍රින්ස් අයිති වෙන්නේ ඊටත් පස්සේ පරම්පරාවට.. ඒ කියන්නේ අපි ගැටවර වියට එළඹුන කාලේ පරම්පරාවට.. ප්‍රින්ස් එක්ක නාමල් උඩුගම, අජිත් මුතුකුමාරණ, කුමාරසිරි පතිරණ, විජේබණ්ඩාර වැලිතුඩුව, රෝයි පිරිස් වගේ නම් ඒ ලිස්ට් එකට මතක් වෙනවා.. මේ අය 90 දශකයේ වගේ ජනප්‍රියත්වයේ ඉහළටම ගියත් ඊළඟට ආපු ප්‍රබුද්ධ රැල්ල නිසා නැත්තටම නැතිවෙලා ගියා.. 'නැත්තටම නැතිවෙන්න' අපිත් වගකියන්න ඕනි මොකද කාලයක් තිබ්බ හේතුවක් නැතුව අපි මේ ගායකයින්ව වර්ජනය කරපු.. ඒ කරලා ප්‍රබුද්ධය කියන ගායකයින්ව 'පමණක්' ඔසවල තියපු නැත්නම් වර නගපු..

    පසුකාලීනව මම බොහෝ දුරට ඒ අඩුපාඩුව මග හැරගත්ත.. ඒ නිසා මට පුළුවන් උනා බොහෝවිට බේදයකින් තොරව මේ හැම ගායකයෙකුගේම ගීත රස විඳින්න.. ඇත්තටම ඔවුන්ට තියෙනවා වෙනම අනන්‍යතාවයක්.. ඒක හඳුනාගෙන එය රසවිඳින්න හුරු උනොත් අපිට ගොඩක් ගීත ඇත්තටම රස විඳින්න පුළුවන්.. මැදිවියට එනකොට අතීත මතකත් එක්ක මේ ගීතවල වටිනාකම වැඩිවෙලා දැනෙනවද මංදා.. මම දැන් බොහෝවිට දකිනවා අපේ සමකාලීනයෝ මේ ගීත නැවත නැවත අහනවා හා රසවිඳිනවා.. මමත් එහෙමයි.. ඊට අනගි සහයක් යූ ටියුබ් එකෙන් ලැබෙනවා.. මතක තියෙන වචන දෙක තුනක් ටයිප් කරාම ඇති.. අනිවාර්යයෙන්ම ඔබ කැමති සිංදුව හොයා ගන්න පුළුවන්..

    ඉතිං පෙර කියූ අවස්ථා තුන හතරම සම්භන්ද කරලා මට හිතුනා අපේ ගැටවර හිත් අවදිකළ ඒ කිරුළු නොපලන් ගී රජවරුන්ගේ මම කැමතිම ගීත දහය ගානේ ලියල පළකරන්න.. අද මේ ලිපිය ප්‍රින්ස් උදය ප්‍රියන්ත නම් වූ ඒ සොඳුරු ගායකයා වෙනුවෙන් වෙන්කරනවා..
    prince.jpg

    ප්‍රින්ස්ගේ කැසට්පට එකතුවක්..
    ප්‍රින්ස් උදය ප්‍රියන්ත කියනකොටම මට කවදත් මතක්වෙන්නේ බදුල්ලේ අපේ ගෙදරට ගෙවල් තුන හතරකට උඩින් තිබුණු බදුල්ල ළිඳමුල්ල පත්තිනි දේවාලයේ හිටපු ප්‍රධාන කපු මහතාගේ ගෙදර.. :) මොකද 90 මුල් කාලේ වගේ අපේ මුළු ගමෙන් බාගෙකට විතර සිංදු ඇස්සුවේ එතුමා තමයි.. සෙනසුරාදා ට එහෙම උදේ හත හමාර වෙනකොට කණ පැලෙන්න 'සෙටප්' එක දැම්මම ආයි ගමෙන් බාගෙකට නොමිලේ සංගීතය.. කාලයක්ම නොකඩවා මේ විදියට ඇහුනේ ප්‍රින්ස්ගේ'සඳ කුමාරියක්' කැසට් ඒකෙ සිංදු.. කැසට් ඒකෙ නම සඳ කුමාරියක් උනා වගේම ඒ කැසට් ඒකෙ ජනප්‍රියම සිංදුව උනෙත් සඳ කුමාරියක් දීගෙක යනවා කියන සිංදුව.. ඒත් මට ඒ සිංදුව එච්චර ඇල්ලුවේ නෑ.. ඒකට එක හේතුවක් උනේ අපේ කොල්ලෝ ඕකට හදල තිබ්බ වෙන සිංදුවක්.. දීගෙක කියන කෑල්ල වෙනස් කරලා අලුත් කෑල්ලක් දාල කියනවා ඇහෙනකොට මට නං හෙන අප්‍රසන්නයි..

    සඳ කුමාරියක් කැසට් එකට පස්සේ ප්‍රින්ස් ගේ කැසට් කීපයක්ම ආවා.. ඔබ පෑ පෙම් සිනා.. මහද ප්‍රේමාදරේ.. සහ සෙනෙහස ඔබේ කැසට් ඔක්කොම මතක විදියට එක ළඟ ළඟම ආවේ.. ඒ අතරින් මම වඩාත්ම කැමති උන ගී දහය මෙතන එකතු කරනවා..

    1. සඳරේණු වෑහෙනා

    ප්‍රින්ස් ගේ ගීත වලින් මම අදටත් රස විඳින එක ගීයක් මේක.. ඔහුගේ අනිත් බොහෝ ගීත වලට වඩා මේක ගොඩක් සෞම්‍යයි වගේ මට හිතෙන්නේ.. තනුව ජයන්ත දිසානායකගේ.. පද ලලිත් වසන්තගේ..

    සඳරේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ
    ඔබ ඉන්න මාගේ ළඟින්
    හද පිරුණු වේදනා පිසදා සිනා සලා
    මට දෙන්න ආදරේ ඔබගේ හදින්
    සඳරේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ
    ඔබ ඉන්න මාගේ ළඟින්

    පියවී ලොවේ කිසිදා එක්වන්නෙ නෑ
    එනමුත් මගේ හදින් වෙන්වන්නෙ නෑ
    දෙතැන තනි වී සදා
    හෙලන සුසුමන් නිවා
    ඔබ ඉන්න මාගේ ළඟින්

    තිබුණත් හදේ පැතුමන් ඉටුවන්නෙදෝ
    ඔබ ගැන පැතු සිතින් වැලපෙන්නදෝ
    කඳුළු හසරැල් මවා
    ම සිත ලතැවුල් නිවා
    ඔබ ඉන්න මාගේ ළඟින්

    2. වෙරළ කොනක හිඳ

    මේ සිංදුවත් ඕනේ තරං අහන්න පුළුවන්.. මම අහල තියෙනවා ප්‍රින්ස් ඒ කාලේ ජනප්‍රිය වෙච්චි තරුණ ගායිකාවකට පෙම් කලාලු.. පස්සේ ඒ ගායිකාව වෙන විවාහයක් කරගෙන (ඇත්තටම මේ වෙනකොට ඒ ගායිකාව වෙනත් අසාර්ථක විවාහ තුනකින් පස්සේ නැවතත් තනිකඩව ඉන්නවා).. ඒ හිත් වේදනාව ප්‍රින්ස්ගේ බොහෝ ගීත වලට මුල් වෙලා තියෙනවා. කොච්චර තරුණියන්ගේ ආදරයට ලක්වුණු යොවුන් ගායකයෙක් වෙලා හිටියත් ප්‍රින්ස් මැරෙනකොටත් තනිකඩයෙක් උනේ මේ විරහව නිසාමද දන්නේ නෑ..

    වෙරළ කොනක හිඳ බලා හිඳින්නෙමි
    ඔබ එන මග මා පවන් සැලී
    පෙර දිනයක අප හමු වූ තැන හිඳ
    වෙන්වන්නට මුණගැසෙමු යළි

    වෙරලේ හැපෙනා දළ රළ අතරේ
    මුමුණයි හෙමිහිට අපේ කථා
    රැල්ලට හසුවී වෙනතක ගිය මුත්
    සුදු වැලි මුමුණයි අපේ කතා

    ඔබ හා දොඩනට ගත සිත ශක්තිය
    නැති ලෙස හදවත හඬා වැටේ
    එනමුදු අප පෙම් කතාව නිම වී
    සමුගන්නම් අද තරහ නොවී

    3. විජිතය ආදරයේ..

    රූකාන්තව අපි ගොඩක් දෙනෙක් දන්නේ ගායකයෙක් විදියට.. ඒත් රූකාන්ත කියන්නේ හොඳ තනු නිර්මාණ ශිල්පියෙක් වගේම හොඳ සරල ගී රචකයෙක්. ඒ වගේම රූකාන්ත තමන්ගේ සහෝදර ශිල්පීන්ට උදව් කරන හිත හොඳ මනුස්සයෙක්.. මේ ගීතය ඇහෙනකොට 'රුකා ගේ ටච් එක' හොඳට තේරෙනවා.. මේක රූකාන්ත ම ලියල සංගීතවත් කරලා ප්‍රින්ස්ට කියන්න දුන්න ගීතයක්..

    විජිතය ආදරයේ ඔබමය ළඳුනි මගේ
    මේ මුළු ජීවිතේ ඔබ තව දන්නෙ නෑ
    මා හැර ගිය දවසේ සිහිනෙන් මා දුටුවා
    ඔබ නැති මා ජීවිතයේ තනි වී

    සඳ ගිලිලා තරු නිවිලා
    මගෙ ලෝකේ මා කඳුලේ ගැලිලා
    ඔබ සතුටේ ඇතැයි සිතා
    කඳුල තුලින් හිනැහෙමි තවමත් මා

    දළු දාලා මල් පිපිලා
    ඔබ ලෝකේ හිනැහේවා සැමදා
    හදට ඔබේ දුක ආ දා
    මම එතැනයි පමා නොවෙමි කිසිදා

    4. සමුදෙන්න සමුගන්න නම්..

    මේ සිංදුවට ආස හිතුනේ නම් වෙනස් අත්දැකීමක් නිසා.. අසූව දශකයේ අන්තිම වෙනකොට අපි ළමා සමාජ වලින් අයින් වෙලා අවුරුද්දක හමාරක විතර විවේකයකින් පස්සේ අනූවේ මුල් කාලේ යෞවන සමාජවල ක්‍රියාකාරී වෙන්න ගත්ත අලුත.. අංක 510 ප්‍රබෝධා මුතුහර ළමා සමාජයේ මාත් එක්ක හිටපු ලස්සන 'අක්කියෙක්' එතකොටත් ප්‍රබෝධා යෞවන සමාජේ ක්‍රියාකාරී සාමාජිකාවක්.. මාව යෞවන සමාජෙට ගන්න උනන්දු කලෙත් උන්දෑමයි.. ඉතිං මගේ හෙන ෆිට් එක.. හොඳ යාලුවෝ.. අවුරුද්දකින් 'අක්ක' උනාට මගේ හිතේ පොඩි ක්‍රස් එහෙකුත් තිබ්බ උන්දා ගැන.. දවසක් යෞවන සමාජේ රැස්වීමකදී ඔය අක්ක මේ සිංදුව බොහොම ලස්සනට හැඟුම්බරව කියුව.. සිංදුව ප්‍රින්ස් ගේ උනාට මට තාමත් මතක ඒ ෆීමේල් වර්ෂන් එක.. :)

    සමුදෙන්න සමුගන්න නම්
    හඬවන්නෙ ඇයි මේ තරම්
    නොරිදා සිතින් බැඳිපෙම් නමින්
    සමුදෙන්න සමුගන්න නම්

    ඔබගේ ලොවෙහි සැතපී දිවා රෑ
    මා ගෙව් අතීතේ පුරා
    කවුදෝ ඔබේ සිතෙහි සැඟවී
    එනිසා මෙසේ වේවිදෝ

    සිතුදේම නොමවේ පැතුමන් නිමාවී
    කුරිරුයි ඔබේ චේතනා
    ළංවී මෙසේ දෑසේ වෙලී
    එනිසා මෙසේ වේවිදෝ....

    5. මහද ප්‍රේමාදරේ...

    මේ සිංදුව තනුව හා පද රචනය ගත්තම බොහොම පහසුවෙන් 'ප්‍රබුද්ධ' ගායකයෙක්ට උනත් කියන්න පුළුවන් ප්‍රින්ස් ගේ සිංදුවක්.. 'දෛවයේ කෘර සෙවනැල්ල එලවා දමා - ජිවිතේ රන් විමන් සාදවා..' මේ කොටස තමයි මට සින්දුවේ මුලින්ම මතක් වෙන්නේ.. එතනින් තමයි මුලට යන්නේ හැමදාම..

    මහද ප්‍රේමාදරේ සිහින වැල් යාකෙරෙ
    ඉතිරේවී ගංගා ලෙසේ
    සිතුම් රැල් නංවලා මල් පිදීලා
    ඔබෙ පෙම් සුවේ මා සොයා

    දෛවයේ කෘර සෙවනැල්ල එලවා දමා
    ජීවිතේ රන් විමන් සදවා.........//
    සමසේ දරා දුක් වේදනා
    භවයෙන් භවෙ අපි යමු

    රුදුරු වෙසකින් බැදී
    ගැහැට දෙන චේතනා.....//
    නිබද ගෙනදේ විරහා වෙදනා
    සිතින් බැදී කුලුනක් ලෙසේ
    භවයෙන් භවෙ අපි ඉමු

    6. පෙම්වතුන් සිනාසේ..

    මේ සිංදුවත් මතක තියෙන්නේ විශේෂිතම හේතුවක් නිසා.. අපි 10 හෝ 11 වසරේ ඉද්දි ඉස්කෝලෙන් ට්‍රිප් එකක් ගියා.. මේ ට්‍රිප් එකේදී ඉස්කෝලේ ගුරුවරු විදියට ගිය දෙතුන් දෙනාගෙන් එක්කෙනක් උනේ ඊට ටික කාලෙකට කලින් ආව අපේ විද්‍යා ගුරුතුමා.. තරුණ ගුරුවරයෙකු උනත් ඔහු කිසිම ප්‍රියමනාප බවක් නැති මුණේ හිනාවක් නැති 'පන්තියට ආව, ඉගැන්නුවා, ගියා' ටයිප් ඒකෙ බුවෙක් විදියට තමයි අපි දැක්කේ.. ඉතිං මේ 'යකා' අපිත් එක්ක ට්‍රිප් එක යන්න එන එක ගැන අපේ ඒ හැටි කැමැත්තක් තිබ්බේ නෑ.. හැබැයි ට්‍රිප් එක පටන් ගත්ත වෙලාවේ ඉඳල ඒ හැඟීම වෙනස් උනා.. ඔහු පන්තියෙන් පිටදී බොහොම සුන්දර විදියට එදා හැසිරුනේ.. නියම කොල්ලෙක් වගේ.. අපි උදේ ඉඳන් සිංදු කියල මහන්සි වෙලා ඉද්දි මිනිහා තමයි ආයෙම සිංදු මතක් කරලා දිදී අපිව ෆෝම් කරලගත්තේ.. ඒ මදිවට අපි ඔක්කොම කට ඇරගෙන බලාගෙන ඉද්දි ප්‍රින්ස්ගේ පෙම්වතුන් සිනාසේ සිංදුව තනියම කියුව මුළු බස් එකටම ඇහෙන්න.. එදා ඉඳං මටත් හීනයක් තියෙනවා ලොකු ඕඩියන්ස් එකක් ඉස්සරහ ඒ වගේ තනියෙම ලස්සනට සිංදුවක් කියන්න.. ඒත් ඒක කවදාවත් හැබෑ වෙන්නේ නෑ කියලත් මම දන්නවා..

    පෙම්වතුන් සිනාසේ
    අප කඳුළු සලන්නේ
    දෙතැනක හිඳ තනියේ
    විසඳුම් සොයනු කෙසේ...

    මා තුරුළේ හිඳිනා උණුසුම් යහනාවේ
    ඉකි බිඳිමින් හැඬුවා මතක ද ගං තීරේ
    මගෙ ලොව ඔබ වේ නම් සැකයෙන් ඇයි ද මෙසේ
    ඔබ මිස වෙන සතුටක් කොයිබ ද මියුලැසියේ...

    මළ හිරු බැස යද්දී සඳු පායා ඒවී
    අලුත් ඉරක් පායා හෙට දිනයක් ඒවී
    අද ශෝකෙන් වෙලිලා යහනේ සැතපේ දෝ
    අරුණලු උදා වෙලා මුව විකසිත වේ දෝ

    මේක ලියල සංගීතවත් කරලා තියෙන්නේ විශාරද නිහාල් ගම්හේවා. ඒ කාලේ තරුණ තරුණ සේවා සභාවේ සංගීත උපදේශකයෙක් ඒ වගේම බොහෝ තරුණ ගායකයින් ගොඩකට ඔහු සිංදු ලියල තියෙනවා..

    හදිසි වැඩ කීපයක් එක පෙළට පෙළ ගැස්සෙමින්හ තිබෙන නිසා ඊළඟ සිංදු තුනේ කතාව හා පදමාලාව මෙතන ලියන්නේ නැතුව මේ පොස්ට් එක පබ්ලිෂ් කරනවා. නැති උනොත් ආපහු සඳුදා වෙනකම් මේක පෝස්ට් කරන්න වෙන්නේ නෑ..

    7. කඳුළු ගංගා ගලා..

    8. මා.. හඬවලා .. ඔබ මගෙන් .. වෙන්වෙලා..

    9.මා තනිවී හඬන පැයේ..

    10. සුදුමල් පොකුරක් අතින් දරා මා..

    මේක ගැන නම් වචනයක් නොලියම බෑ..

    ප්‍රින්ස් උදය ප්‍රියන්තගේ පියා විශාරද ගුණදාස කපුගේගේද සංගීත ගුරුවරයෙකු බව කියවෙනවා. එහෙත් ඔහුට සිය පියාගෙන් පූර්ණ සංගීත දැනුමක් ලබා ගැනීමේ පින නොලැබුණේ ප්‍රින්ස්ගේ බාල වියේදීම පියා ඔවුන්ගෙන් සමු ගැනීම නිසායි. බොහෝ ගායකයින් අතින් මගහැරුණු පිය ගුණ ගායනය ඔහු අතින් මග හැරෙන්නේ නෑ.. කළා ලොව එළිපත්තේ සිට අතිශය සංවේදී ගීයක් ප්‍රින්ස් සිය පියා වෙනුවෙන් ලියා ගායනය කරනවා.. මේ ඒ ගියයි..
    සුදුමල් ‍පොකුරක් අතින් දරා මා
    ඔබේ සොහොන ළඟ තනි වීරහසේ සැලෙනා කඳුළැලි තවරාසිහිකරනෙමි මගේ පියාණනි..

    කැඩපත හමුවේ හිඳිමී
    නිරතුරු ඔබ රුව දකිමී
    කලා ලොවේ දොර අබියස සිටිමී
    ඔබ සිටියා නම් සතුට දැනේ.. :'(

    - කල්‍යාණ මිත්‍ර

    http://kalahitha.blogspot.com/2017/06/fondly-remembering-tenderhearted-late.html
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,317
    125
    63
    ආසම මම ප්‍රින්ස් ගෙ සිංදු ටික තමයි මේ...
    ♫ සඳරේණු වෑහෙනා
    ♫ පෙම්වතුන් සිනාසේ
    ♫ මහද ප්‍රේමාදරේ
    ♫ නිල්වන් ගුවන් ගැබේ
    ♫ සඳුන් අරණක
    ♫ වෛරෝඩිය දිලෙන මැණික
    ♫ ආදරෙනම්
    ♫ පිණි වැටෙනා මල් යායේ
    ♫ පූජාසනේ
    ♫ සංගීත සාගරේ
    ♫ හිනැහෙන්න යලිත්
    ♫ ඇයි ඔබ ශෝකයෙන්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,404
    7,073
    113
    33
    කෙල්ල ළඟ
    ප්‍රින්ස්ගෙ වොයිස් එක මාර ලස්සනයි බං..
    ඒ වගේම කියපු සිංදු වලින් සීයට අසූවක්ම වගේ පට්ටයි..
    මාත් ආසම ගායකයෙක් ප්‍රින්ස්..
    :(:(
     
    • Like
    Reactions: Miami-Vice

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,347
    113
    Sri Lanka
    ප්‍රින්ස්ගෙ වොයිස් එක මාර ලස්සනයි බං..
    ඒ වගේම කියපු සිංදු වලින් සීයට අසූවක්ම වගේ පට්ටයි..
    මාත් ආසම ගායකයෙක් ප්‍රින්ස්..
    :(:(
    මම ලියන්න හදපු දේ උඹ ලියලා තියෙනවා. කියල වැඩක් නෑ මචන්.:(:(:(
     

    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,274
    726
    113
    තොපිට මොකෑ ඒක
    ප්‍රින්ස්ගෙ වොයිස් එක මාර ලස්සනයි බං..
    ඒ වගේම කියපු සිංදු වලින් සීයට අසූවක්ම වගේ පට්ටයි..
    මාත් ආසම ගායකයෙක් ප්‍රින්ස්..
    :(:(

    උඹ මට කලින් පැනලනෙ

    ප්‍රින්ස්ගෙ සිංදු ඇහෙද්දි තාමත් අපේ පොඩිකාලෙට හිත යනවා