මේ ආර්යයන් වහන්සේ සිනා වෙන්නේ හරියට සර්කස්කාරයෙක් වගේ නොවැ” කියලා විහුලුවට කිව්වා

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,663
    11,081
    113
    Colombo
    🌷
    අද බහුතරයක් බෞද්ධයෝ ඉන්නේ නමට විතරයි.. ඒක නිසාම අද බුද්ධ සාසනේට තියෙන අනතුරුත් වැඩියි.. කර්මඵල නොදැනීම, කර්මඵල විස්වාස නොකිරීම නිසාම මේ නමට විතරක් ඉන්න බෞද්ධයෝ බොහෝ අකුසල් ද රැස්කර ගන්නවා..
    බුදුරජාණන් වහන්සේව,රහතන් වහන්සේලාව,බුද්ධ සාසනය විහිලුවට ගන්න එක අද නමට බෞද්ධයන්ගේ විලාසිතාවක් වෙලා.. හැබැයි මේ ජිවිතේ ඒවගේ විහිලුවට ගත්තට,මරණින් මත්තේ ඒ කර ගත්ත කර්ම විපාක දෙන්න ගියාම විහිලුවක් වෙන්නේ නෑ..
    රහතන් වහන්සේ නමකට විහිලු කරලා සසරේ දුක්විඳපු සිද්දියක් බුද්ධ කාලෙත් වුනා..මේක හරි ලස්සන කතාවක්..
    එය සිදු වූයේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ දී ය...
    දිනක් සැමියාත්, බිරිඳත් එක්තරා ගමනක් යමින් සිටියා. ගමන අතරමගදී ඔවුනට පිඩු සිඟා වඩිනා රහතන් වහන්සේ නමක් මුණගැසුණා...
    දෙදෙනා ම එක් වී දානය පූජා කොට..
    “ස්වාමීනී, ඔබ වහන්සේට පිදූ දානයෙන් මෙලොවදී ම ප්‍රතිඵල ලැබේවා”යි කියා පැතූවා.. රහතන් වහන්සේ ද ඔවුන්ගේ ප්‍රාර්ථනාව සඵල වෙනු දැක මඳ සිනා පහළ කළා..
    එය දුටු ස්ත්‍රිය තම ස්වාමියාට
    “මේ ආර්යයන් වහන්සේ සිනා වෙන්නේ හරියට සර්කස්කාරයෙක් වගේ නොවැ”
    කියලා විහුලුවට කිව්වා. ස්වාමියාත් ඒ විහිලුව හිස වනා එය අනුමත කලා. සිදු වූයේ එපමණ ය..
    ඔවුහු මරණින් මතු දෙවියන් අතර ඉපිද අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලයේ මනුලොව උපත ලැබූහ.
    ස්ත්‍රිය එදා රහතන් වහන්සේට සර්කස් කාරයෙක් වගේ කී වචනය හේතුවෙන්.. උපන්නේ සර්කස් පෙන්වමින් ජීවිකාව ගෙන යන පියෙකුට දාව ය.
    ඇගේ ජීවිකාව වූයේ ද සර්කස් පෙන්වීමයි.
    එදා ඒ තරුණයා මෙකල උග්ගසේන නමින් සිටු නිවසක උපත ලැබුවා. එදා රහතන් වහන්සේට බිරිඳ විහිලුවහිස සලා අනුමත කළ නිසා එයට විපාක ලැබීමට සුදුසු පරිදි, ටිකෙන් ටික පරිසරය සැකසුනා... බලන්න කර්ම විපාක වලට පරිසරය සැකසෙන අපූරුව..
    පෙර කී තරුණිය සිටින සර්කස් කණ්ඩායම ක්‍රමයෙන් රජගහ නුවරටත් පැමිණියා..
    දිනක් උග්ගසේන සිටු පුත්‍රයා ද මිතුරන් සමඟ සර්කස් බලන්නට ගියා..
    එදා අර තරුණිය විස්මිත ලෙස සර්කස් පෙන්වූවා..සසර පුරුද්දත්, බැඳීමත් සමඟ කර්මය එකට එක් වෙමින් උග්ගසේනගේ හිත එම තරුණියට තදින් බැඳී ගියා.
    ඒ බැඳුණු සිතින් ම ආපසු සිටු මැදුරට ගිය ඔහු..
    , ‘ඇය ලැබුණොත් ජීවත් වෙමි. නොලැබුණොත් මියැදෙමි’ යි සිතා ආහාරපාන ද වර්ජනය කොට ඇය පතා සිටියා.
    දෙමාපියන් කොතෙක් කීව ද ඔහුගේ සිත වෙනස් කළ නොහැකි විය. අවසානයේ ඔහුගේ පියා, දියණිය දෙන ලෙස කියා කහවණු දහසක් ද සමඟින් ඇගේ පියාට පණිවිඩයක් යැවීය. නමුත් ඔහු කියා සිටියේ මුදලට දියණිය නොදෙන බවත්, ඔවුන් සමඟ ආවොත් දියණිය ලබා දෙන බවත් ය. මේ බව ආරංචි වූ උග්ගසේන සියලුදෙනාගේ කීම බැහැර කොට සිටු සැප අතහැර සර්කස් කණ්ඩායමට ගියේය. කර්මය විපාක දෙන අයුරු නම් පුදුම සහගත ය. සිතා ගන්නටත් නොහැක්කේ ම ය.
    උග්ගසේනට තරුණිය ලැබුණි. කාලයාගේ ඇවෑමෙන් ඇය පුතෙක් බිහි කළාය. ඇය තම දරුවා නළවන්නේ,..
    ‘කරත්ත රකින්නාගේ පුතා නැළවියන්. බඩු අදින්නාගේ පුතා නැළවියන්, තණකොළ කපන්නාගේ පුතා නැළවියන්’ ආදී ලෙස උග්ගසේනට ඇනුම් පද කියමින්ය.
    උග්ගසේන සර්කස් පෙන්වන්නට නොදනී. ඒ නිසා ඔහු කරන්නේ සර්කස් කණ්ඩායමේ ආවතේව කටයුතු ය. මේ අවලාද අසා සිටින්නට බැරිව අවසානයේ උග්ගසේන තම මාමණ්ඩිය වෙත ගොස් සර්කස් ඉගෙන ගත්තේය. පසුව ඒ සර්කස් කණ්ඩායමේ අති දක්ෂයා බවට උග්ගසේන පත් විය. මොවුහු ගම් නියම්ගම් පුරා සැරිසරමින් පෙරළා රජගහ නුවරට සේන්දු වූහ. මිනිසුන් රොද බැඳ ගත්තේ ඔවුන්ගේ අපූර්ව සංදර්ශනය නැරඹීමට ය.
    එදා ඒ සුන්දර දවස උදා විය. මේ උදා වන්නේ තමන්ගේ මුළු ජීවිතය ම පමණක් නොව සංසාර චාරිකාව ම වෙනස් කරන දවස බව උග්ගසේන නොදත්තේය. නමුත් ඒ බව එක් අයෙක් දැන ගත්තේය. ඒ මහා කාරුණික තථාගතයන් වහන්සේ විසිනි.
    උන්වහන්සේ උදෑසන ලොව බලන විට දුටුවේ උග්ගසේනට පමණක් නොව, ඔහුගේ බිරිඳටත් බොහෝ මිනිසුන්ටත් ධර්මාවබෝධයට මග විවරවී ඇති බවයි. සියලු දෙනා හට අනුකම්පාවෙන් තථාගතයන් වහන්සේ භික්ෂු සංඝයා සමඟ රජගහ නුවර පිඬු සිඟා වැඩි සේක. මේ කිසිත් නොදන්නා උග්ගසේන සුපුරුදු පරිදි තම හැකියාවන් පෙන්වන්නට සැට රියන් උස උණ ගසකට නැගුණි. මිනිස්සු මහත් සේ ඝෝෂා කරමින් විසිල් ගසන්නට පටන් ගත්හ. ඔල්වරසන් දෙන්නට වුහ.
    ගත වූයේ නිමේෂයකි. දැඩි නිහඬ බවක් ඇතිවුණි. සිදු වූයේ කුමක්දැයි බැලූ විට උග්ගසේනට දැක ගන්නට ලැබුණේ පැමිණි සියලු දෙනා ම වෙනතක් බලා සිටින බවයි. භාග්‍යවතුන් වහන්සේ එතැනට වැඩම කර සිටිති. සියල්ලෝ ම ඒ දෙස දෑස් දල්වා බලා සිටිති. ඒ මොහොතේ උග්ගසේන
    “අනේ මගේ ශිල්ප හිස් දෙයක්” යැයි සිතුවේය.
    භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ සිත දැක මහා මුගලන් මහරහතන් වහන්සේව අමතා, “මොග්ගල්ලාන, සිටු පුත්‍රයාට ශිල්ප දක්වන්න කියා කියන්න” යැයි වදාළ සේක.
    මොග්ගල්ලානයන් වහන්සේ ද උණ ගස යටට ගොස් “සිටු පුත්‍රය, සියල්ලන්ට ම ශිල්ප දක්වන්න” යැයි පැවසූහ. ඒ මොහොතේ උග්ගසේනට මහත් සතුටක් ඇති විය.
    ජනතාව ද ඔල්වරසන් දෙමින් අසුරු ගසන්නට පටන් ගත්හ. අතිශයින් ම ප්‍රමෝදයට පත් උග්ගසේන උණ ගස මුදුනේ සිට අහසට පැන දාහතර වතාවක් කරකැවෙමින් කරණම් ගසා නැවත උණ ගස මත ම තමාගේ දෙපා තැබීය. ඒ මොහොතේ ම උග්ගසේන සිටු පුත්‍රයාගේ ජීවිතය වෙනස්කරන අති උත්තම දම් පදය ඇසෙන්නට විය. භාග්‍යවතුන් වහන්සේ මිහිරි හඬින් මේ ගාථාව වදාළ සේක.
    “මුඤ්ච පුරේ මුඤ්ච පච්ඡතෝ
    – මජ්ඣේ මුඤ්ච භවස්ස පාරගූ
    සබ්බත්ථ විමුත්තමානසෝ
    – න පුනං ජාතිජරං උපේහිසි”
    “අතීතය ගැන පසුතැවෙන එක අත්හරින්න. අනාගතය මවන එකත් අත්හරින්න. වර්තමානයට බැඳෙන එක අත්හරින්න.
    මේ භවයෙන් එතෙර වෙන්න.
    හැම දේකින් ම මිදුණු සිතක් ඇති කෙනෙක් වෙන්න.
    ආයෙ ආයෙමත් මේ ඉපදෙන දිරන ලෝකයට නොඑන කෙනෙක් වෙන්න.”
    අහෝ! මෙවන් අසිරියක්… උග්ගසේන සිටු පුත්‍රයා උණ ගස මත සිටියදී ම සියලු කෙලෙස් නසා මහරහතන් වහන්සේ නමක් බවට පත් වූ සේක.
    කොතරම් අපූර්ව ජීවිත වෙනස් කිරීමක් ද…! උග්ගසේනට නැවත සසර ගමනක් නැත. ජරාවට පත් වීමක් නැත. මරණයක් නැත.
    ඔහු උණ ගසෙන් බිමට බැස භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනාකොට පැවිදි උපසම්පදාව ඉල්ලා සිටියේය. භාග්‍යවතුන් වහන්සේ තම දකුණු හස්තය දිගු කොට ‘ඒහි භික්ඛු’ පැවිදි උපසම්පදාව ලබා දුන් සේක. ඒ මොහොතේ ම සියලු ගිහි වස්ත්‍ර ඉවත් වී සිවුරු පෙරවී හැට වයස් පිරුණු මහා තෙරනමක් මෙන් දිස් විය. උග්ගසේන නම් වූ සර්කස්කරුවා උග්ගසේන මහරහතන් වහන්සේ බවට පත් වූයේය.
    ඒ මොහොතේ තවත් බොහෝ පිරිසක් ධර්මාවබෝධ කළහ. එසේ ම උග්ගසේන සිටු පුත්‍රයාගේ බිරිඳ ද භික්ෂුධෑන් අතර පැවිදි වී අරහත්වයට පත් වූවාය.
    උග්ගසේන සහ බිරිඳ රහතන් වහන්සේට විහිලු කිරීමේ විපාක ගෞතම බුදුසසුනෙදි අවසන් වුනා...බුදුවරයෙක් මුණ ගැහෙන්න පින තිබුන නිසා අරහත්වයට පත්වෙන්න වාසනාව ලැබුනා..
    ඒත් අද සමහර බෞද්ධයෝ,..
    බුදුරජාණන් වහන්සේට,රහතන් වහන්සේලාට,සංඝයාට,බුද්ධ සාසනයට විහිලු කිරිමේ විපාක කවදා නං ගෙවලා ඉවර කරයි ද??
    අද සමහර බෞද්ධයෝ කර්ම විපාක නොදැන, රහතන් වහන්සේලාගේ නම්,බුදුරජාණන් වහන්සේ දුකින් නිදහස් වීම පිණිස භාවිතා කල වචන, ලාමක ක්‍රිකට් ක්‍රීඩකයන් වෙනුවෙන් විහිලුවට ගන්නවා...
    ඒත් ඒවට කර්මය විපාක දෙන්න ගියාම කොහොම විපාක දෙයිද කියලා කාටද කියන්න පුලුවන්??
    විපාක දෙන දවසට මං ඒ විහිලුවට නේ කිව්වේ කියලා බේරෙන්න පුලුවන් ද???
    සමහර විට සසරේ කිසිදාක බණ පදයක් අහන්න පවා නොලැබී යාවී...ඒ නිසා බුද්ධ සාසනනේ විහිලුවට ගන්න එපා...
    නමෝ බුද්ධාය!


     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,798
    113
    ඒ කාලෙත් සර්කස් තිබිලද?
     

    Similar threads