මේ ගෙවෙන්නේ යළි හමුවීමට ඉතා දුර්ලභ බුද්ධොත්පාද කාලයක් බව අමතක නොකරන්න

asliyanage

Well-known member
  • Nov 2, 2006
    3,506
    7,811
    113
    Colombo
    ඔබ නිවසින් එළියට බහින්නේ යා යුතු තැන ගැන අදහසක් සහිතවය. යන්නේ කොතනටද, යා යුත්තේ කෙසේද, යා යුත්තේ කා සමඟද යනාදිය පිළිබඳව මනා කල්පනාවකින් හා අවබෝධයකින් යුතුව ඔබ නිවසින් එළියට බසී.
    නමුත් කෙදිනක හෝ යා යුතු තැන ගැන කිසිදු අදහසක් නොමැතිව, ඉතාමත් අනපේක්ෂිතව, ඔබට නිවසින් එළියට බසින්නට වූවොත් ඔබට දැනෙන්නේ කවර ආකාරයේ හැඟීමක්ද..! හිස හැරුණු අතේ යනවා, අයාලයේ යනවා යන හැඟීම ඔබ කෙදිනක හෝ අත්විඳ තිබේද..!

    අප ජීවිතයේ කොපමණ ගමන් ගොස් ඇත්ද, ඒ සෑම එකක්ම පාහේ අරමුණක් හා අදහසක් ඇතිව, සැලසුම් සහගතව ගිය ගමන්ය. ඉදිරියේදි යාමට නියමිත ගමන්ද එසේ වනු ඇත.

    එය එසේ වූවද මරණ මොහොතේදි ඔබට යන්නට වන ගමන කොහේදැයි කියා යම්තම්වත් අදහසක් ඔබට නොතිබේ. ඔබ දන්නේ ඔබට පුරුදු සියළු දෙනා , පුරුදු පරිසරය අතහැර, යන තැන ගැන කිසිඳු අදහසක් නැතිව ඔබ කැමති වූවත් අකැමැති වූවත් යා යුතු බව පමණි.

    යන තැනක් නොදැන නිවසින් එළියට යාමේදී ඇතිවන අනපේක්ෂිත බව පිරුණු, බය සැකය පිරුණු හැඟීම් වලට වඩා දස දහස් ගුණයක බය දුක ශෝකය වික්ෂිප්ත බව ආදී හැඟීම් ඔබට දැනෙනු ඇත. නිවසින් පිටතට යාමේදී යන තැනක් නොදන්නා නමුත්, අපට කැමති නම් නොයා සිටීමට හැකිමුත්, මරණයේදි අපට එසේ තේරීමක් නොවේ.
    මරණ මොහොත ආ කල, අපට පසුවට කල් දැමිමක් ගැන සිතිය නොහැක. අප කැමති අය අපට රැගෙන යා නොහැක. තනිවම යා යුතුය. මහා අනන්ත විශ්වයට ඔබව නිදහසේ මුදා හැර ඇත. ඒ අනන්ත විශ්වයේ කවර හෝ තැනකට යා හැක.

    මොහොතක් දෙනෙත් පියාගෙන මෙනෙහි කරන්න. එකින් එක අත හරින්නට බලන්න. අවංකවම ..හදවතින්ම.. යන තැන ගැන කිසිදු අදහසක් නොමැතිව...ඔබට මනස සංසුන්ව තබා ගෙන යා හැකිදැයි මෙනෙහි කර බලන්න..
    බොහෝ විට මියයන මොහොතේ මහත් වූ කායික පීඩාවන් රැසක් මැද ඒ ගමන් යන්නට වෙන බව නොරහසකි. එවන් මොහොතක වුව මෙලෙසින් මනස සකසා යාමට හැකිදැයි බලන්න..

    ඔබ සත්‍ය වශයෙන්ම මෙය අත්හදා බැලිය හැකි නම්...
    මහ පොළොවේ පස් අතරින්, නිය සිල මතට ගත් පස් ස්වල්පය තරම් වූ ඉතාමත්ම ඉතාමත්ම නොගිණිය හැකි තරම් වූ අල්ප වූ පිරිසක් සුගති ලොවක් කරා යන බවට බුදු රජාණන් වහන්සේ දේශනා කර උපමාව කෙතරම් සත්‍යයද යන වග...

    අප්‍රමාදී වන්න..
    නොසන්සුන්ම වූ මොහොතක....
    අවසන් හුස්ම පොද ගිලිහී යන මොහොතක...
    සන්සුන්ව මනස සකසා ගන්නට...
    සිත පුහුණු කරන්න...

    කැමති ඕනෑ මොහොතක...
    කැමති තරම් වේලා...
    ධර්මය ශ්‍රවණය කරන්නට..
    භාවනා කරන්නට...
    තිබූ කල් වේලාව හිස් වූ දේවල් වෙනුවෙන් අපතේ යවා..
    අවසන් හුස්ම පොද ගිලිහී යන මොහොතේ ඒ ගෙවුණු කාලය ගැන පසුතැවෙන්නට ඉඩ නොතබන්න...
    මේ ගෙවෙන්නේ යළි හමුවීමට ඉතා දුර්ලභ බුද්ධොත්පාද කාලයක් බව අමතක නොකරන්න...!
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    3,506
    7,811
    113
    Colombo

    ජීවිතය මොන තරම් කාර්යබහුලද...පැය විසිහතර මදි යැයි හැඟෙනවාද..! උදෑසන අවදි වූ මොහොතේ පටන් ජීවීතය පවත්වාගෙන යෑම පිණිස අප විසින් සිදු කරන දේවල් කොපමණද.. එදිනෙදා ගෙදර දොරේ වැඩ, කාර්යාල වල වැඩ, දරුවන්ගේ වැඩ, දෙමාපියන්ගේ වැඩ, සමාජීය වැඩ, යහළුවන් නෑදෑයන්ගේ වැඩ, වතු පිටි, ගේ දොර වල වැඩ... ඉලක්ක පසු පස හඹා යන ජීවිත වලට තමන් වෙනුවෙන් වෙන් කරන්නට පැයක් වත් සොයා ගන්නට ඉතාමත් අසීරු වී ඇත.
    ගෙවා පැමිණි අනන්ත සංසාරය පුරාම අපට මෙසේ කාලය මදි යැයි කොතෙක් හැඟෙන්නට ඇත්ද...!

    සිත වේගවත් කරන්නට අරමුණු දාහක් පැමිණෙද්දී, සිත නිවන්නට එකම අරමුණක්වත් සොයාගන්නට අපහසුය. මුළු ජීවිතයම සෙවීමකි.. වේගයෙන් දිවීමකි. සිත එකම අරමුණක හුදෙකලා කොට, නිවීමක් දකින්නට පුරුදු කරන්නට සිතන්නටවත් බැරි තරම්ය.
    සෑම දෙයකටම විසදුම් පිටින් සොයන්නට යෑම පමණි එකම දන්නා විසදුම.. ඇතුළතින් දැවි දැවී අප තවත් පිටත නිවෙන තෙක් බලා සිටිමු.
    සතුරු බියෙන් , වසංගත බියෙන් චිත්ත සංතාන රෝගී වී ඇත. මොහොතකට ලබනා සතුටකින් තාවකාලිකව පැලැස්තර ඇලවීමක් කරමින් කාට හෝ දෙස් දෙවොල් තබමින් තව තවත් අකුසල්ම රැස් කරගන්නා මාවතට ප්‍රවිෂ්ඨ වීම හැර.. බුදු රජාණන් වහන්සේ පෙන්වා දුන් ඒ ධර්මය තමන් තුළින් දකින්නට සිත පුරුදු කරන්නට උත්සාහයක් වත් ගන්නේ කීයෙන් කී දෙනෙක් පමණද..!

    අතීතයේ ලක්ෂ කෝටි ගණන් දෙනා ඒ ධර්මය පුරුදු පුහුණු කරමින් කොපමණ නම් සැනසීමක් ලැබුවාද... අදත් ධර්මය පිරිසිදුව බබළන නමුත් ඒ පිළිපඳින්නේ ඉතාමත් අතළොස්සකි. සිත දමනය කිරීම ඉතා අපහසුය. කල්ප ගණන් පුරා කෙලෙස්ම ජනිත කරවමින් පැමිණි අපට උඩුගම් බලා පිහිනමින් සිතෙන් කෙලෙස් දමනය කිරීම ඉතා අපහසුය. නමුත් ඒ හැර වෙන නිවීමට විසදුමක් නැත. මේ සියළු දුකෙන් නිදහස් වන්නට අන් ක්‍රමයක් නැත.

    එක පැයකදී අපේ සිතට කොතෙක් අකුසල සිතිවිලි පහළ වේද.. තරහා , දුක්, පසුතැවීම්, ඊර්ෂ්‍යා, මානය... සෑම සිතුවිල්ලක්ම පාහේ මේ අකුසලයන් හා බැදී ගැට ගැසී ඇත. සතිය අවදි කර බැලුවේ නැත්නම් මහා සාගරයක වේගවත් ජල පහරකට හසු වූවන් සේ... ඔහේ ගසාගෙන යයි.. එක් කුඩා මූලයකින් ආරම්භ වූවද.. අවසානයේ හාත්පස ගිලගනිමින් දිවයන මහා ප්‍රහාරයන්ය... එය මේ සිතේ ස්වභාවයය. අප සියළු දෙනාම කෙලෙස් වලින් බැට කමින් සිටින අසරණ සත්වයන්ය.. බහුතරයක් දෙනා මේවා අකුසල්, කෙලෙස් කියා හඳුනාගන්නටවත් නොහැකිව ඇදී යයි. සංසාර සාගරයේ නොනවත්වා ඇදීයයි. නමුත් අතලොස්සක් දෙනා ඒවා හඳුනා ගනී. ඒවායින් සිත මුදන්නට බුදු රජාණන් වහන්සේ පෙන්වා දුන් ධර්ම මාර්ගය අනුගමනය කරයි. එය එකම මාර්ගයයි.

    බිඳෙන් බිඳ හෝ කෙලෙස් ජයගත හැකි නම් අප ලබනා සැනසීම කොපමණද.. ඒ කාලයේ විසූ රහතන් වහන්සේලා ඒ විමුක්ත සුවය ලද පසු ප්‍රකාශ කළ උදාන වැකි කියවන විට, උන් වහන්සේලා අත්විඳි සුවය කොතෙක් වන්නට ඇත්දැයි අපට යම්කිසි හෝ අදහසක් ගන්නට හැකිය. ඒවා කියවනවිට පවා අපේ සිතට දැනෙන සුවය, ප්‍රීතිය කොතෙක්ද...
    ලොව හාත්පස ගිනි ගනිද්දී.. උන් වහන්සේලා නිවී ගිය සිතින්.. සැනසී ගිය සිතින් වාසය කළහ.. අද අපේ ජීවිත ඒ තත්වයෙන් කොතරම් ඈතද...! සුළං එන එන අතට පැද්දෙන ඔංචිල්ලා මෙනි.. කලින් කලට එන අනේක විද ව්‍යසන හමුවේ අපේ සිත් කොතෙක් අසරණ වේද.. මරණ වරෙන්තුව අතේ තියාගෙන ඒ මේ අත දෝලනය වෙමින් පවතී.
    දිව්‍ය සැප , බ්‍රහ්ම ලෝක වල සැප... මේ කවර සැපයක වුව...අවසානය දුකක්මය.. නිවනින් මෙහා සැපයක් මේ ලෝක ධාතුවේ සොයන්නට නැත. සෝවාන් ඵලයට හෝ පත්ව නිවන අත් දකිනා කෙනෙක් යළි කුමන සුගතියකවත් උපතකට ප්‍රිය නොකරනු ඇත. කළ හැකි වේවා හෝ නොවේවා ඔවුන් වීරිය වඩනුයේ මේ ජීවිතයේදීම සසර ගමන නිම කිරීමටය.. ඒ එවැනි සිත් වල ස්වභාවයය. නිවන් දුටු සිත්වල ස්වභාවයය. කාම රාග පටිඝ මෝහ ආදී කෙලෙස් තවත් ඉතිරිව පැවතියද.. සියලු සංස්කාරයන්ගෙන් අත්මිදුණු නිවන් සුවය අත්දැක ඇති කෙනෙකුට ඒ අත හැරීමේ සුවය හා සසඳන්නට කිසිම ලෞකික සැපයක් සොයා ගත නොහැකි බැවිනි..

    හාත්පස ගිනිගෙන දැවෙන කළ.. තවමත් අපට පිහිටක් ඇත.. යළි සසරේ ලෙඩ නොවන්නට... වයසට නොවන්නට.. නොයෙක් දුක් විඳ මිය නොයන්නට... මේ ලෝකයේ ..සංසාරයේ ගමන අනෙක් පසට කරකවන්නට ධම්ම චක්‍රය බිහි වී තිබේ. ඒ ධර්ම චක්‍රය තවමත් කෙලෙස් කප කපා මේ විශ්වයේ පෙරළෙමින් පවති...
    එදා ඉසිපතන මිගදායේදී සම්මා සම්බුදු පියාණන් වහන්සේ විසින් පැවැත්වූ ධර්ම ආඥාව තවමත් ජිවමානය.. ඒ දම් සිසිලසින් නිවී සැනසී...මරණය ඉක්මවන්නට...ඔබටත් මටත් තවමත් හැකියාව ඇත... ගෙවෙන ගෙවෙන මොහොත අන් කාර්යයන්හි ගෙවා දමමින්..මරණ මංචකයේදි... "අනේ මා පමා වූවා" යැයි පසුතැවෙන්නට ඔබ සිතට ඉඩ නොදෙන්න...
    බුදුවරු අගය කළේ අප්‍රමාදී වීමමය...!!!
    ------ Post added on Apr 22, 2022 at 6:25 AM
     
    • Like
    Reactions: kinkon