යමකට පිළිතුරු දීමේ දී ඔබටත් බියක් දැනෙනවා ද?

hpalpola

Well-known member
  • යමකට පිළිතුරු දීමේ දී ඔබටත් බියක් දැනෙනවා ද?

    බොහෝඅවස්ථාවලදී මිනිසුන්ට ඇති ප්‍රශ්නයක් වන්නේ යමකු යමක් විමසූ විට නිසි පිළිතුර දැන සිටියත් අසන්නාගේ තත්ත්වය හෝ අවස්ථාව අනුව හෝ වෙනත් යම් හේතුවක් නිසාවෙන් නිසි පිළිතුර දීමට බියක් දැනීමයි. එනිසා නිසි පිළිතුර නොදී වෙනත් පිළිතුරක් ලබා දී එම තත්ත්වය මග හැරීමට කටයුතු කරන අයුරු දක්නට ලැබේ. නිසි පිළිතුර දුනහොත් තමුන්ට කුමක් සිදුවේද කියාත් මේ අවස්ථාවලදී සමහරුන්ට සිතේ. එහි ප්‍රතිඵලය වන්නේ ‘බෑ‘ කිව යුතු අවස්ථාවේ දී ‘හා‘ කීමත්, ‘නෑ‘ කිවයුතු අවස්ථාවේදී ‘තියෙනවා‘ කීමත් ය. මේ පිළිතුර නිසා පසුව තැවේ.

    මදක් සිතා බලන්න. ඔබටත් මේ තත්ත්වය එක්වරක් හෝ ජීවිතයේ දී විඳින්නට සිදු වී නැත් ද?

    විනය පිටකයේ පාරාජිකාපාළියේ
    ප්‍රථමසංඝභේද ශික්ෂාපදය ඔබ සියල්ලෝම දන්නා ධර්ම කොටසකි. නොදන්නා අය වේ නම් කෙටි හැඳින්වීමක් මෙහිදී සිදු කරමි.

    දෙව්දත් භික්ෂුව බුදුරජාණන්වහන්සේ හමු වී කරුණු 5 ක් සඳහා බුදුරජාණන්වහන්සේගේ අවසරය ඉල්ලීය. මේ පිළිබඳව ත්‍රිපිටකයේ මෙසේ සඳහන් වේ.

    “ස්වාමීනි, භික්ෂූහු යාවජීවයෙන් ආරණ්‍යක වන්නාහු නම් මැනව. යමෙක් ග්‍රාමාන්තයට බස්නේ නම් වරද ඔහු පහස්නේ ය. යාවජ්ජීවයෙන් පිණ්ඩපාතික වන්නාහු නම් මැනව. යමෙක් නිමන්ත්‍රණ ඉවසා නම් වරද ඔහු පහස්නේ ය. යාවජ්ජීවයෙන් පාංශුකූලික වන්නාහු නම් මැනව. යමෙක් ගෘහපතිචීවර ඉවසා නම් වරද ඔහු පහස්නේ ය. යාවජ්ජීවයෙන් වෘක්ෂමූලික වන්නාහු නම් මැනව. යමෙක් සෙවනට එළඹේ නම් වරද ඔහු පහස්නේ ය. යාවජ්ජීවයෙන් මත්ස්‍යමාංශ නො වළඳන්නාහු නම් මැනව. යමෙක් මත්ස්‍යමාංශ වළඳා නම් වරද ඔහු පහස්නේ ය”යි.

    බුදුරජාණන්වහන්සේ මීට ලබා දුන්නේ මෙවැනි පිළිතුරකි.


    “කම් නැත දේවදත්තය, යමෙක් රිසියේ නම් ආරණ්‍යක වේවා, යමෙක් රිසියේ නම් ග්‍රාමාන්තයෙහි වාසය කෙරේවා. යමෙක් රිසියේ නම් පිණ්ඩපාතික වේවා. යමෙක් රිසියේ නම් නිමන්ත්‍රණ ඉවසාවා. යමෙක් රිසියේ නම් පාංශුකූලික වේවා. යමෙක් රිසියේ නම් ගැහැවිසිවුරු ඉවසාවා. දේවදත්තය, මා විසින් අටමසෙක්හි ම රුක්මුල් සෙනස්න අනුදන්නා ලද (තමා පිණිස) මරණු නො දක්නා ලද නොඅසන ලද සැක නොකරණ ලද ත්‍රිකොටිපරිශුද්ධ වූ මත්ස්‍යමාංශය අනුදන්නා ලදැ”යි.

    බුදුරජාණන්වහන්සේ දෙව්දත් භික්ෂුවගේ අදහස් නොදැන මේ පිළිතුර ලබා දුන්නා යැයි සිතිය නොහැක. දෙව්දත් භික්ෂුව බුදුරජාණන්වහන්සේ හමුවට වේළුවනාරාමයට පැමිණෙන්නේම සංඝභේදය කිරීමේ අරමුණ සහිතව ය. මේ පිළිතුර අවසානයේ වෙන්නේ ද එයම ය. නමුත් බුදුරජාණන්වහන්සේ කිසිඳු චකිතයක් නැතිව දෙව්දත්ගේ ඉල්ලීමට පිළිතුරු ලබා දුන්සේ ක.

    වරක බුදුරජාණන්වහන්සේ
    රාහුල ස්වාමීන්වහන්සේට මෙසේ දේශනා කර සිටී.

    රාහුලයෙනි, තෙපි බසින් යම් මැ කර්‍මයක් කරනු කැමැත්තහු ද, තොප විසින් එ මැ වාක්කර්‍මය පිරික්සිය යුතු යැ: ‘‘මම යම් කර්‍මයක් කරනු කැමැතියෙම් ද මාගේ මේ වාක්කර්‍මය තමහට දුක් පිණිස ද පවත්නේ යැ, පරහට දුක් පිණිස ද පවත්නේ යැ, දෙදෙනාට දුක් පිණිස ද පවත්නේ යැ. මේ වාක්කර්‍මය අකුසල, දුක් වඩනේ යැ, දුඃඛවිපාක ඇතැ’’යි. ඉදින් රාහුලයෙනි, තෙපි පිරික්සන්නහු මෙසේ දන්නහු ද: ‘‘මම් බසින් යම් කර්‍මයක් කරනු කැමැතියෙම් ද මාගේ මේ වාක්කර්‍මය ..... දෙදෙනාට දුක් පිණිස ද පවත්නේ යැ, මේ වාක්කර්‍මය අකුසල, දුක් වඩනේ යැ, දුක්ඛවිපාක ඇතැ’’යි. රාහුලයෙනි, තොප විසින් බසින් මෙබඳු කර්‍ම එකත්නෙන් නො කළයුතු. තවද රාහුලයෙනි, ඉදින් තෙපි පිරික්සන්නහු මෙසේ දන්නහු නම්: ‘‘මම් බසින් යම් කර්‍මයක් කරනු කැමැතියෙම් ද මාගේ මේ වාක්කර්‍මය තමහට දුක් පිණිස ද නො මැ පවත්නේ යැ, පරහට දුක් පිණිස ද නො පවත්නේ යැ, දෙදෙනාට දුක් පිණිස ද නො පවත්නේ යැ, මේ වාක්කර්‍මය කුසල, සුව වඩනේ යැ, සුඛවිපාක ඇතැ’’යි. රාහුලයෙනි, තොප විසින් බසින් මෙබඳු කර්‍ම කටයුතු.

    රාහුලයෙනි, තොප බසින් කර්‍ම කරනුවන් විසිනුදු තොපගේ එ මැ වාක්කර්‍මය පිරික්සිය යුතු යැ: ‘‘මම බසින් යම් කර්‍මයක් කෙරෙම් ද මාගේ මේ වාක්කර්‍මය තමහට දුක් පිණිස ද පවති. පරහට දුක් පිණිස ද පවති, දෙදෙනාට දුක් පිණිස ද පවති, මේ වාක්කර්‍මය අකුසල, දුක් වඩනේ යැ, දුඃඛවිපාක ඇතැ’’යි. ඉදින් රාහුලයෙනි, තෙපි පිරික්සන්නහු මෙසේ දනිවු ද: ‘‘මම් බසින් යම් කර්‍මයක් කෙරෙම් ද මාගේ මේ වාක්කර්‍මය තමහට දුක් පිණිස ද පවති, පරහට දුක් පිණිස ද පවති, දෙදෙනාට දුක් පිණිස ද පවතී. මේ වාක්කර්‍මය අකුසල, දුක් වඩනේ යැ, දුඃඛවිපාක ඇතැ’’යි. රාහුලයෙනි, තෙපි මෙබඳු වාක්කර්‍මය නො කරව. තවද රාහුලයෙනි, ඉදින් තෙපි පිරික්සන්නහු මෙසේ දන්නහු ද: ‘‘මම් බසින් යම් කර්‍මයක් කෙරෙම් ද මාගේ මේ වාක්කකර්‍මය තමහට දුක් පිණිස ද නො මැ පවති, පරහට දුක් පිණිස ද නො පවති, දෙදෙනාට දුක් පිණිස ද නො පවති. මේ වාක්කර්‍මය කුසල, සුව වඩනේ යැ. සුඛවිපාක ඇතැ’’යි. රාහුලයෙනි, තෙපි මෙබඳු වාක්කර්‍ම කරව.

    රාහුලයෙනි, තොප විසින් බසින් කර්‍මය කොට ද තොපගේ එ මැ වාක්කර්‍මය පිරික්සිය යුතු යැ: ‘‘මම් බසින් යම් කර්‍මයක් කෙළෙම් ද මාගේ මේ වාක්කර්‍මය තමහට දුක් පිණිස ද පවති, පරහට දුක් පිණිස ද පවති, දෙදෙනාට දුක් පිණිස ද පවති. මේ වාක්කර්‍මය අකුසල, දුක් වඩනේ යැ, දුක්ඛවිපාක ඇතැ’’යි. ඉදින් රාහුලයෙනි, තෙපි පිරික්සන්නහු මෙසේ දන්නහු ද: ‘‘මම් බසින් යම් කර්‍මයක් කෙළෙම් ද මාගේ මේ වාක්කර්‍මය තමහට දුක් පිණිස ද පවති, පරහට දුක් පිණස ද පවති, දෙදෙනාට දුක් පිණිස ද පවති. මේ වාක්කර්‍මය අකුසල, දුක් වඩනේ යැ, දුඃඛවිපාක ඇතැ’’යි. රාහුලයෙනි, තොප විසින් මෙබඳු වාක්කර්‍මය ශාස්තෲන් කෙරෙහි හෝ නුවණැති සබ‍්‍රම්සරුන් කෙරෙහි හෝ දෙසියයුතු යැ, විවරණය කළයුතු යැ, හෙලිකළ යුතු යැ, දේශනා කොට විවරණය කොට හෙලි කොට ආයතිසංවරයට පැමිණියයුතු. තවද රාහුලයෙනි, ඉදින් තෙපි පිරික්සන්නහු මෙසේ දන්නහු ද: ‘‘මම් බසින් යම් කර්‍මයක් කෙළෙම් ද මාගේ මේ වාක්කර්‍මය තමහට දුක් පිණිස ද නො මැ පවති, පරහට දුක් පිණිස ද නො පවති, දෙදෙනාට දුක් පිණිස ද නො පවති. මේ වාක්කර්‍මය කුසල, සුව වඩනේ යැ සුඛවිපාක ඇතැ’’යි. රාහුලයෙනි, තෙපි එ මැ ප‍්‍රීතිප‍්‍රමෝද්‍යයෙන් කුසල්දහම්හි දවරැය හික්මෙමින් වාසය කරව.
    මේ දේශනා ත්‍රිපිටකයේ සඳහන් කර ඇත්තේ අපේ ප්‍රයෝජනයට ය. ධර්මය අකාලිකයි, සාන්දිට්ඨිකයි කියන්නේ එහෙයිනි.

    යමෙක් යමක් පිළිබඳව ඔබේ අදහස විමසූ විට බියක් ඇති කර නොගෙන ඊට නිසි පිළිතුර ලබා දෙන්න. ප්‍රශ්නය හා පිළිතුර හේතුවෙන් ඔබේ මනසට පීඩනයක් ඇති කර නොගන්න. ඔබේ ජීවිතය සතුටින් ගත කරන්න.
     
    • Like
    Reactions: hodakolla