විස්කි බ්‍රැන්ඩි පෙන්නා ගාල්ලම අන්දා කෝටි ගණන් ගරපු කරවල නෝනාගේ කෙරුවාව

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    59,774
    55,568
    113
    ඇය ගාල්ලේ පදිංචිකාරියකි. යමක් කමක් ඇති පවුලක තැනැත්තියක් වන ඇයට අපි සුජාතා යැයි කියමු. සුජාතා සිය සැමියා සහ දරුවන් සමඟ වැඩි කාලයක් ජීවත්වූයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේය. ඇය සැමියා සමඟ එක්ව එරට අවන්හලක් ද පවත්වා ගෙන ගියාය.

    ඇය සිය දරුවන් සමඟ මෙරටට එන්නේ දරුවන්ව මෙරට පාසලකට ඇතුළත් කර මෙරට සංස්කෘතියට හුරු කරවීම සඳහාය. එම අරමුණ වෙනුවෙන් සුජාතා මෙරට නතර වූවත් සැමියා නැවතත් එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා යන්නේ ව්‍යාපාර කටයුතු වෙනුවෙනි.

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අවන්හලක් පවා සිය සැමියා සමඟ එක්ව අරඹන්නේ ද ඇගේ හයියටය. සැමියාට ව්‍යාපාර කටයුතු බාර කරමින් ඇය මෙරට සිට දරුවන් දෙදෙනා බලා කියා ගන්නට නැවතුණ ද කුඩාවට ගාල්ල පැත්තේ නිවාඩු නිකේතනයක් ඉදිකිරීමට ද ඇය වගබලා ගත්තාය.

    සුජාතා මෙරට පැමිණි පසු ඇය පරිහණය කරනු ලැබුවේ විදුලි මෝටර් රථයකි. රුපියල් ලක්ෂ අසූවක් පමණ වෙළදපොළ වටිනාකමක් ඇති මෙම මෝටර් රථයේ වටිනාකම ගැන ඇයට එතරම් ලොකු දැනීමක් නොවූවාය. ඒ රුපියල් ලක්ෂ 60කට එම මෝටර් රථය මිලදී ගැනීමට එකඟ වූ පුද්ගලයකු රුපියල් ලක්ෂ 40ක චෙක්පතක් ඇය අත තබා ලියකියවිලි අත්සන් කරගෙන මෝටර් රථය ඒ ගාණට අත්පත් කරගනිමිනි. මේ අවනඩුව ඇයට කියන්නට සිටියේ උඩ ඉන්නා දෙවියන් පමණි. අකුරැස්සේ පිහිටි ඇය නිතර යන එන තැනක් වූ දේවාලයකට ඇය යන්නේ එබැවිනි. රජ්ජු බණ්ඩාර දෙවියන් ගැටබරු දේවාලයට වඩින්නට පෙර වැඩ සිටියේ යැයි විශ්වාසයක් පවතින්නේ එම දේවාලයේය.

    තමාට වූ අසාධාරණයට එරෙහිව ඇය දෙවියන් ඉදිරියේ වරක් දෙවරක්ම කන්නලව් කළ අතර එම දේව කන්නලව්වෙන් වැඩි දවසක් යන්නට මත්තෙන් වංචා කළ පුද්ගලයාම පැමිණ ඇය අත තබන්නේ රුපියල් ලක්ෂ 08ක මුදලකි.

    මුළු මුදලම නොලැබුණත් රුපියල් ලක්ෂ 08ක් හෝ ලැබුණේ දෙවියන්ට ඇය විසින් කළ කන්නලව්වේ බලපෑමෙන් බව විශ්වාස කළාය. ඒ නිසාම අකුරැස්සේ දේවාලයට ඇය යන්නේ ඒ වෙනුවෙන් පලතුරු පූජාවක් තබා බාරයක් ඔප්පු කරන්නටය. එදා ඇය දේවාලයේ රැඳී සිටියදී දකින්නේ සුදු ඇඳගත් කාන්තාවක් ලොකු පලඟනාවක පලතුරු පුරවා ගත් පූජාවක් රැගෙන දේවාලයට ඇතුළු වන අයුරුය. ඒ හැම පූජා වට්ටියකම පඩුරු ලෙස තිබෙන්නේ රුපියල් පන්දහසේ නෝට්ටු මිටියකි. මෙම දේවාලයට නිතර දෙවේලේ එන යන තැනැත්තියක් වූ සුජාතා ඊට පෙර කිසි දිනක ඒ කාන්තාව දැක තිබුණේ නැත.


    “නංගි ඔයා මෙයාව දන්නේ නැද්ද? ගාල්ලේ ඉන්න ප්‍රසිද්ධ බිස්නස්කාරියක්. මමත් එයාගේ කම්පැනියේ සල්ලි දාලා තියෙනවා. ලොකු ලාභාංශයකුත් දෙනවා. මාසෙට දෙපාරක් ලාබ බෙදනවා“ යැයි ඇය ලොකු කථාවක් කියන්නට ගත්තාය. ඊට අනුව එම කාන්තාවද රුපියල් කෝටි 03ක මුදලක් එම ව්‍යාපාරික කාන්තාව සතුව ආයෝජනය කර ඇත්තේය.

    මෙම කතාබහ යන අතරේ ව්‍යාපාරික කාන්තාව යැයි කී තැනැත්තිය ද එතැනට ආවාය. තමාව ඇය හඳුන්වා දුන්නේ නිරෝෂා නිෂාන්ති ලෙසිනි. ගාල්ල හාලිවල හිල්සයිඩ් වත්තේ ඇය පදිංචිව සිටින බව ද එහිදී කීවාය.

    “ මේ හැමෝම මගේ කස්ටර්මස්ලා.“ යැයි කියමින් ඇය තමා සමඟ සිටි අය පෙන්වමින් “මෙයා කෝටි 04ක් දාල තියෙනවා. මෙයා කෝටි 02ක් දාල තියෙනවා“ යැයි කියන්නට වූවාය.

    ගාල්ලේ සිටින ලොකු ව්‍යාපාරික කාන්තාවක් යැයි කී නිරෝෂා නිශාන්ති ගැන සොයා බලන්නට මෙහිදී සුජාතා අමතක නොකළාය. එයින් සෑහීමට පත් නොවූ ඔහු තමා දන්නා කියන අයව ද නිරෝෂාට සම්බන්ධ කර දී තිබුණේය. ඒ රුපියල් කෝටි දෙක තුන බැගින් ඇගේ ව්‍යාපාරවල මුදල් ආයෝජනය කරවමිනි.

    මේ කියන කපුවා විවාහකයෙක් වූවත් දරුවන් ඔහුට නැත. ඒ නිසාම ඔහුට තාත්තා යැයි යමෙක් ඇමතුවොත් ඊට එහා දෙයත් කපුවාට නැති තරම්ය. ඒ බව දැන සිටි නිරෝෂා කපුවාට අමතන්නේ තාත්තා යැයි කියාය. ඒ නිසාම කපුවා කියන්නේ ඒ මගේ දුව යැයි කියාය. සුජාතාට පවා කපුවා කියන්නට වූයේ නිරෝෂා තමාගේ දුව බවය.

    සුජාතා මේ දේවල් සොයා බලන්නට වූයේ නිරෝෂා ගැන ඇතිවුණු කුතුහලය නිසාය. ඒ කුතුහලයම ඇයව කොටුකර ගන්නට නිරෝෂා සමත් වූවාය. ඇය උපක්‍රමශීලීව සුජාතාව දපනේ දමා ගත්තාය.

    “ ඔයයි දුවයි කරදරයක් නැතිව ගෙදර ආවාද?“ එදා සවස නිරෝෂා දුරකතන ඇමතුමක් දෙමින් සුජාතාගෙන් විමසුවාය. සුජාතාට ඇය කිට්ටුවන්ත වන්නට ගත්තේ එසේය. එදා සුජාතා දේවාලයට ගොස් සිටියේ දියණිය සමඟිනි. දුව සමඟ කරදරයක් නැතිව ආවේදැයි විමසුවේ එබැවිනි.

    මේ කතාබහ එතැනින් හමාර වන්නේ නැත. නිතරම දුරකතන ඇමතුම් දෙමින් සුජාතාට ඇණයක් වන්නට ගත්තාය. දිනක් ඇය සුජාතාව මුණගැසීමට එන්නේ එළවළු හා මාළු මල්ලක් ද රැගෙනය. ඒ එන්නේ ඇගේ සැමියා යැයි කියන පුද්ගලයකු ද සමඟිනි. සුජාතා ඒ මාළු මල්ල ප්‍රතික්ෂේප කළ ද ඇය බලෙන්ම මෙන් එය තබා ගියාය. ඒ අතර ඇය සුජාතාට යෝජනා කරන්නේ හෝටල් හා ලැගුම් හල් ඉදිකිරීම අතහැර ඒ මුදල් තමා සතු ව්‍යාපාර කටයුතු සඳහා ආයෝජනය කරන ලෙසය. මාසයකට සියයට 10ක 15ක ලාභාංශයක් ගෙවන බවද ඇය එහිදී සුජාතාට කීවාය.

    “ ඔයා හරිම මෝඩ ළමයෙක්. ඔය බිල්ඩිම හදන්න යටකරන සල්ලි මට දෙන්න. ඔයාට ඔය හෝටලේ මම දෙන පොලියෙන් හදන්න පුළුවන්“ ඇය සුජාතාව නම්මා ගැනීමට වෙහෙසුණේ එසේය.

    තැන්පතුවක් ලෙස තිබුණේ මෝටර් රථය අලෙවි කර ලබාගත් රුපියල් ලක්ෂ 48ක මුදල පමණි. ඇය ඒ මුදල් තබාගෙන සිටියේ තමාට ගැළපෙන මෝටර් රථයක් මිලදී ගන්නටය.

    වැලිගම ලොකු හෝටලයක පැවැත්වෙන සිය පුතාගේ 15 වෙනි උපන්දිනයට සුජාතාට නිරෝෂාගෙන් ආරාධනාවක් ලැබෙන්නේ මේ අතරතුරදීය. එදා මේ සාදයට රටේ ප්‍රසිද්ධ ගායක ගායිකාවන් 12 දෙනෙක්ද පැමිණ ගීතවත් කළහ. ඒ අය වෙනුවෙන් ඇය ලක්ෂ ගාණක් වැයකර තිබුණාය. ඒ හැරුණු විට නැටුම් කණ්ඩායම් ද ගෙන්වා තිබුණේ ය. ලක්ෂ තිහ හතළිහක් වැයකර එදා ඇය සිය පුතාගේ පහළොස්වැනි උපන්දිනය සමරා තිබුණේ ඇගේ හයිය ද පෙන්වමිනි.

    දේවාලයේදී මුණගැසුණු නිරෝෂාගේ ආයෝජිකාවක් යැයි කියූ කාන්තාවක ද මෙම සාදයේදී සුජාතාට මුණගැසුණාය.

    “අක්කේ මට ඇත්ත කියන්න. නිරෝෂා මට කරදර කරනවා එයා ගාව සල්ලි දාන්න කියල. ලොකු පොලියකුත් දෙන්නම් කියනවා. ඒ නිසා මට කියන්න නිරෝෂා විශ්වාසවන්ත ද කියල“ යැයි ඇය එම කාන්තාවගෙන් විමසුවාය.
    ------ Post added on Sep 3, 2023 at 8:47 AM
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    59,774
    55,568
    113
    මේ අතර “ එයා ගමේ කෙනෙක්. බය වෙන්න දෙයක් නැහැ. මම දාපු කෝටි තුනට වෙලාවට සල්ලි බේරල තියෙනවා. “ යැයි එම කාන්තාව නිරෝෂා ගැන සහතිකයක් දුන්නේ එසේය.

    එදා සුජාතා ඇගේ හයිය පෙන්නුවේ බ්ලැක් ලේබල් විස්කි බෝතලය බැගින් සාදයට ආ හැමෝටම බෙදමිනි. ඇය පෙනී සිටියේ ද විදෙස් මත්පැන් මෙරටට ආනයනය කර බෙදාහරින්නියක් ලෙසිනි. නිරෝෂා තම ගමේ විහාරස්ථානයේ කඨින පින්කම පවා භාරගෙන කටයුතු කළේ ද මේ කාලයේදීමය. එදා එම පින්කමට සහභාගිවීමට රේගු නිලධාරීන් දෙදෙනෙක්ද පැමිණ සිටියෝය. ඇය එම රේගු නිලධාරීන් දෙදෙනාව හඳුන්වා දෙන්නට වූයේ ඇය විසින් ආනයනය කරනු ලබන මත්පැන් සහ සුවඳ විලවුන් කන්ටේනර් නිදහස් කර දෙන්නේ ඔවුන් දෙදෙනා බව පවසමිනි. ඒ එක් රේගු නිලධාරියකුව ඇය හඳුන්වා දුන්නේ ඇගේ සහෝදරයෙක් ලෙසිනි. සැබෑ ලෙසම එම රේගු නිලධාරියා ඇගේ මිතුරෙකි.

    මෙම සාදයට සහභාගිවීමෙන් අනතුරුව සුජාතා තමා සතුව තිබුණු මුදල් ද සමඟ ඥාතීන්ගෙන් රැස්කරගත් මුදල් ටිකකුත් සමඟ රුපියල් ලක්ෂ 52ක් අවස්ථා කිහිපයකදීම නිරෝෂාගේ ව්‍යාපාර කටයුතු සඳහා ආයෝජනය කළාය.

    මේ අතරතුර තමා වංචාවකට හසු වී ඇතැයි සුජාතාට දැනෙන්නට ගත්තේ නිරෝෂා ඇයව මඟහැරීමට ගැනීමත් සමඟිනි. නිරෝෂා ගැන ඇය වැඩි යමක් සොයන්නට ගන්නේ ඒත් එක්කමය. එහිදී ඇයට පෙනී යන්නේ නිරෝෂා වංචාකාරියක් බවය. ඇය මේ ගැන පැමිණිලි කරන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසයටය. ඒ ඇයට මේ අවනඩුව ගැන කියන්නට වෙන කිසිදු ස්ථානයක් නොවූ තැනය. ඒ දකුණේ ඇතැම් පොලිස් ලොක්කන් පවා ඇගේ අල්ලේ නැටවෙන බිංකුංඩෝ බවට පත්ව ඇති බැවින් සාධාරණයක් ඒ අයගෙන් බලාපොරොත්තු විය නොහැකි බැවිනි.

    නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසයේ එවැනි නිලධාරින් නොසිටින බැවින් නිරෝෂාට දැන් පරණ සෙල්ලම් දැමිය නොහැකිය. එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල් මේ ගැන සොයන්නට වෙනම පොලිස් කණ්ඩායමක් යොදා නිරෝෂා ගැන විමර්ශනයක් ආරම්භ කරනු ලබන්නේ තිලිණි ප්‍රියමාලිට නොදෙවෙනි ආකාරයේ දැවැන්ත මූල්‍ය වංචාවක ඇය නිරත වන බව පෙනී යන්නට වූ බැවිනි. ඒ වන විටත් ඇය දහස් ගණනක් රැවටීමට ලක්කර රුපියල් කෝටි ගණනක් මුදල් වංචාකර ඇති බවද විමර්ශන කණ්ඩායම පෙනී ගියේය. ඇය ගාල්ල කේන්ද්‍ර කරගෙන මේ වංචාව කරගෙන යන්නේ විදෙස් මත්පැන් ආනයනය කර අලෙවි කිරීමේ ව්‍යාපාරයක නිරතව සිටින බව පෙන්වමිනි. ඇය කිහිප අවස්ථාවකදීම එසේ මත්පැන් මෙරටට ගෙන්වා ඇති බව මෙන්ම ඊට දූෂිත රේගු නිලධාරීන්ගේ සහය පවා ලැබී ඇති බව බවද නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්ට මේ වන විටත් පෙනී ගොස් හමාරය. ඒ ගැන පවා මේ වන විට වෙනම විමර්ශනයක් ආරම්භවී හමාරය. කඨින පින්කම අස්සේ මත්පැන් පානය කරමින් විනෝද වූයේ නිරෝෂාගේ වංචාවන්ට සහය දෙන එම රේගු නිලධාරීන් බව දැනටමත් තහවුරු වී හමාරය. එම රේගු නිලධාරීන් දෙදෙනාගෙන් එක් අයෙකුගෙන් නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨසයේ නිලධාරීන් විසින් දැනටමත් ප්‍රශ්න කර හමාරය. එහිදී එම නිලධාරියා පවසා ඇත්තේ තමාද ඇයට මුදල් ලබාදී අමාරුවේ වැටී සිටින්නෙක් බවය.

    ඒ හැරුණු කොට ඇය කළුතර පැත්තේ සිටින මත්පැන් නිෂ්පාදනය කරන පුද්ගලයෙකු සමඟද ඇත්තේ ලොකු සම්බන්ධයකි. එම මත්පැන් නිෂ්පාදකයාටත් නිරෝෂා ලොකු පොල්ලක් තබා ඇති බව සඳහන්ය. එම මත්පැන් නිෂ්පාදකයා ඒ ගැන පොලිසියට පැමිණිල්ලක් කරන්නට ඉදිරිපත් වී නැත්තේ ඇය සමඟ ගැටෙන්නට ගොස් තමා අමාරුවේ වැටේවි යැයි සිතාය. කෙසේ වෙතත් නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් මේ වන විටත් ඔහුගේ ඒ බිය තුරන් කර හමාරය. නිරෝෂාගේ වංචාවන් ගැන දැන් ඔහු සිටින්නේද කට ඇර හැම දෙයක්ම වමාරන්නට සූදානමිනි.

    නිරෝෂා මේ හැමදෙයක්ම කරන්නේ යැයි බොහෝ අය විශ්වාස කරනු ලබන්නේ ඇඹිලිපිටියේ සිටින කපුවකුගේ සහය ඇතිව බවය. එම කපුවා විසින් ඇයට මිනිසුන් දපනේ දාගන්නට වශියක් ලබාදී ඇතැයි බොහෝ අය විශ්වාස කරති. ඇය අතේ පයේ යහමින් මුදල් ඇතැයි විශ්වාස කරන අය මුණගැසීමට බඩු මලු රැගෙන යන්නේ යැයි කියන්නේ එම වශී දැහැනද රැගෙනය. නිරෝෂාගේ ව්‍යාපාරවල මුදල් අයෝජනය කරන්නට ගොස් අද ඒ අය වැටී සිටින්නේ මහ පාරටය.

    නිරෝෂාට හසුවී සේසතම නැතිකරගත් ගාල්ලේ වැසියන් බොහෝය. ඇය තාත්තේ යැයි කියා පස්සෙන් යන දේවාලයේ කපුවා ද ඔහු සතු ගේ දොර ඉඩකඩම් පවා උකස්කර රුපියල් කෝටි හතර පහක්ම ඇගේ ව්‍යාපාරවල ආයෝජනය කර වැඩි ලාබයක් ලබාගැනීමට සිටියේ සූදානමිනි. ඇයට එරෙහිව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පරීක්ෂණයක් ආරම්භ නොකරන්නට කපුවාත් ඇයට හසුවී කපෝති වනු ඇත.

    නිරෝෂාගේ ව්‍යාපාරවල මුදල් අයෝජනය කරන්නට ගොස් අද ඒ අය වැටී සිටින්නේ මහ පාරටය. නිරෝෂාට හසුවී සේසතම නැති කරගත් ගාල්ලේ වැසියන් බොහෝය. වශී බන්ධනවල ඇත්ත නැත්ත කෙසේ වෙතත් නිරෝෂා මේ හැම දෙනෙක්වම රැවටීමට ලක්කර ඇත්තේ කතාවෙනි. ඇය කතාවට දක්ෂය. විමර්ශනවලින් පෙනී ගොස් ඇති ආකාරයට අනුව නම් හැම දෙනෙක්වම ඇය අල්ලාගෙන ඇත්තේ කතාවෙනි. ලොකු පොලියක් දෙනවා යැයි කීවිට ඒ හැමෝම ඇයට ඇන්දුණේය. ඒ සක්විති, දවම් මුදලාලි, තිලිණි ප්‍රියමාලි වැනි අය මෙනි.

    නිරෝෂාගේ මෙම වංචාවට හසුවී මුදල් ඉල්ලා ගෙන ඇයව සොයා ගාල්ල හාලිවල පිහිටි නිවෙසට යන පිරිමින්ට සිදුවන්නේ අමුතු අත්දැකීමක් ලබන්නටය. එම නිවෙසේ ඇය කැමරා සවිකර ඇත්තේ නිවස ඇතුළත පවා ආවරණය වන ලෙසිනි. මුදල් ඉල්ලා ඇයට කන්කෙඳිරි ගාන්නට එන පිරිමින්ව ඇය නිවස තුළට ගෙන්වා ගන්නේ මුදල් දෙන්නට යැයි කියාය. ඒ ගිය විට ඇය කරනු ලබන්නේ උපක්‍රමශීලීව එම පිරිමියාව බදාගෙන අමුතු වැඩකට සූදානම් වීමය. අනතුරුව ඒ පිරිමින්ව ඇය බිය ගන්වන්නේ නිවෙස ඇතුළත ඇති කැමරාවල සටහන්ව ඇති ඒ වීඩියෝ දර්ශන පෙන්වමිනි. නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට මෙවැනි අත්දැකීම් ලද කිහිප දෙනෙක් ගැන තොරතුරු මේ වන විටත් ලැබී හමාරය.

    මුදල් ඉල්ලාගෙන යන පිරිමින්ට නිරෝෂා එසේ නිවස ඇතුළට ගෙන්වාගෙන වැඳගෙන සැලකුවත් කාන්තාවන්ට ඇය සලකන්නේ වෙනත් ක්‍රමයකටය. ඒ ඇගේ මැර හමුදාව යොදවාය. නිරෝෂාගේ මෙම රැවටීමට ලක්ව මුදල් අහිමි කරගෙන ඇත්තේ සුජාතා වැනි කාන්තාවන් පමණක් නොව, යුද හමුදා මේජර්වරයෙක් පවා ඇයට හසුවී ඇත්තේය. ඒ සුළුපටු මුදලක් නම් නොව, රුපියල් කෝටියකට අධික මුදලකි.

    නිරෝෂා මෑතකදී මාතර පැත්තේ පිහිටි ප්‍රසිද්ධි නිමි ඇඳුම් සාප්පුවකට ගොඩවී එහි හිමිකරුගේ බෑණාගෙන්ද රුපියල් ලක්ෂ 30කට විද්දේය. ඇය ඔහුට යෝජනා කරනුයේ කෝටියක දෙකක මුදලක් ආයෝජනය කරන ලෙසය. එහෙත් ඒ වන විට කළමනාකරු අත තිබෙන්නේ රුපියල් ලක්ෂ 30ක් වැනි පොඩි මුදලක් පමණි. ඇය ඒ මුදල ඔහුගෙන් ලබාගන්නේ ඒ වෙනුවට වසර 12කට පෙර වසා දැමූ ගිණුමකට අදාළ චෙක්පතක් ඔහු අතට පත්කරමිනි. එම චෙක්පත ඇය විසින් ලබාදෙන්නේ ද විශ්වාසය තහවුරු කිරීමක් ලෙස යැයි කියාය.

    රන් භාණ්ඩ විකුණන්නට තරම් රෙදි සාප්පුවේ කළමනාකරුට එකවරම ඇතිවූ මුදල් අහේනිය කුමක්දැයි ජුවලරියේ කළමනාකරුට ගෙන දුන්නේ ලොකු ගැටලුවකි. ඒ ඔහු රෙදි සාප්පුවේ කළමනාකරුව හොඳින් දැන සිටි අයෙක් වූ බැවිනි. ඒ නිසාම ජුවලරියේ කළමනාකරු ඒ ගැන රෙදි සාප්පුවේ කළමනාකරුගෙන් විමසුවේය. “ ඔයා ලක්ෂ 30 පිනට දුන්න කියල හිතා ගන්න. නිරෝෂා සම්බන්ධයෙන් මෙවන් තොරතුරු එකිනෙක ගලා එන විට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් ඇගේ පැටිකිරිය සොයා බැලීමටද අමතක නොකළේය.

    රාජ්‍ය බැංකුවන ගාල්ලේ පිහිටි ශාඛාවක උකස් අංශයේ කළමනාකරුවෙක් සමඟ එක්ව ඇය විසින් ගසා ඇති ගේමක් ගැන තොරතුරු ද ඒ අතර විය. ඒ බැංකුවේ උකස් කළ රන් භාණ්ඩ පැන්නීමකි. ඒ සම්බන්ධයෙන් එම රාජ්‍ය බැංකුවේ කළමනාකරුට එරෙහිව නීතිය ක්‍රියාත්මක වී ඇති බව ද පැවසේ. ඒ ගැන වැඩි තොරතුරු මේ වන විටත් නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් සොයමින් සිටින්නේ නිරෝෂා ඊට කොටුවී තිබේදැයි දැනගැනීමටය. නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්ට නිරෝෂා ගැන මෙවන් තොරතුරු බොහොමයක් ලැබෙන්නට වූයේ ද ඇගේ වංචාවන්ට හසුවූවන්ගෙනි.
    ------ Post added on Sep 3, 2023 at 8:49 AM
     
    • Haha
    Reactions: Asmodeus

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    59,774
    55,568
    113
    එම තොරතුරුවලට අනුව හා විමර්ශන තොරතුරුවලට අනුව නිරෝෂාට දරුවන් දෙදෙනෙකි. වැඩිමලා දියණියකි. ඇය විවාහකය. ඇයත් දරුවන් දෙදෙනකුගේ මවකි. ඔවුන් ද යැපෙන්නේ නිරෝෂාගෙන්ය. මාතර පැත්තේ කුලී නිවසක ඒ අය ජීවත්වන්නේ සුපිරි ජීවිතයක් ගත කරමිනි. දරුවන් අධ්‍යාපනය ලබන්නේ යැයි කියැවෙන්නේ ජාත්‍යන්තර පාසලකය. නිරෝෂාගේ දියණියට මෙන්ම බෑණාට ද රැකියාවක් නැත. නිරෝෂාගේ බාල සහෝදරයා සේවයේ නිරත වන්නේ දකුණේ හෝටලයකය. ඔහුගේ විවාහය පවා ජයටම ගන්නේ නිරෝෂා විසින් ලෝබ නොමැතිව මුදල් වැය කරමිනි. ලක්ෂ 50කට අධික මුදලක් ඒ වෙනුවෙන් වැය වී ඇති බව ද කියැවෙයි. නිරෝෂාට හසුවී කෝටි ගණන් මුදල් අහිමිකරගෙන සිටින පිරිස් නම් පවසන්නේ ඇය මේ වියදම් කරන හැම සතයක්ම තමන්ට වංචා කර ලබාගත් ඒවා බවය.


    දකුණේ ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙක් මෙන්ම පාතාල අපරාධකරුවෙක් වන රත්ගම විදුරගේ ළඟම ඥාතියකුට ද ඇය රුපියල් ලක්ෂ 50ක වංචාවක්කර තිබුණාය. මෙතෙක් ඉතිහාසයේ ඇයට වැරදුණු තැන එතැනය. විදුරගේ ඥාතියා ඇයට එරෙහිව පොලිසි උසාවි ගානේ ගියේ නැත. පාතාලයේ හයිය පෙන්වා පොඩි සත්තමක් දමා පොලියත් සමඟ සතේට ගණන් බේරා ගත්තේය. ඒ ඇගේ බෑණාව උස්සා ගෙන ගොස් හොඳ හැටි සලකමිනි. ඒ සිදුවීමෙන් පසු ඇය පාතාල අපරාධකරුවන්ට ගේම් දෙන්නට ගියේ නැත. ඒ වෙනුවට පාතාල අපරාධකරුවන් කිට්ටු කර ගත්තේය. මුදල් ඉල්ලා ඇගේ ගේ දොර පැත්තේ දැන් කිසිවකුටත් යන්නට බැරි ගාණය. ඒ කඩු පොලු රැගත් පිරිසක් ඇගේ හයියට ඉන්නා බැවිනි. දැන් ඒ අයගෙන් සුජාතාට පවා එල්ලවී ඇත්තේ ජීවිත අවධානමකි. ඒ නිරෝෂාගේ ගේ දොර ඉඩකම් ඇතුළු හැම වත්කමක්ම සොයමින් ඒවා කිසිවකුටත් අලෙවි කිරීමට නොහැකි ලෙස නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාස විසින් විකිණීම තහනම් කරමින් රාජසන්තක කිරීමට අවශ්‍ය මූලික කටයුතුවල නිරතව සිටින බැවිනි. එසේ නිරෝෂා සතු වත්කම් තහනම් කිරීමට මඟ පෑදෙන්නේ ඇය විසින් එම දේපොළ වංචා සහගත ලෙස සහ නීති විරෝධිව රැස්කරගෙන සිටින බැවිනි. මේ ගැන ඇයට කල්තියා ඉව වැටී ඒවා අලෙවි කර මුදල් කිරීමට උත්සාහයක නිරත වූවත් ඉස්සර වන්නේ නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසයයි.

    මේ දේවල් සිදුවන අතරතුර සුජාතාගේ පැමිණිල්ලට අනුව නිරෝෂාව අත්අඩංගුවට ගැනීමට ද නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් වගබලා ගත්තේය. ඇයව ඉදිරිපත් කරනුයේ ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයටය. එහිදී ඇයට අධිකරණයෙන් ඇප ලැබෙන්නේ රුපියල් ලක්ෂ 500කය. ඒ ශරීර ඇපයකි. ඇප මත සිටිමින් දැන් ඇය සුජාතා ඇතුළු ඇයට එරෙහිව නීතියේ පිළිසරණ පතා ගිය අයට තර්ජනය කරනු ලබමින් සිටින්නේ “මගේ ලක්සරි ජීවිතේ උඹලා විනාශ කළා. උඹලගෙන් මම පළිගන්නවා“ යැයි කියමිනි. ඇය එසේ තර්ජනය කරමින් සිටින්නේ දැන් ඇයට නීතියෙන් ගැලවිල්ලක් නොමැති බව දැන සිටින බැවිනි. ඒ ඇය දැන් බෙල්ලටම හිරවී ඇති නිසාය. දකුණේ පොලිස් හිතවතුන් සමඟ ඇය දැමූ සෙල්ලම් නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් සමඟ දමන්නට බැරිය. එම කොට්ඨාසයේ විමර්ශන නිලධාරීන් ඇයගේ වංචාවට හසුවූ අයගෙන් ඉල්ලීමක් කරනු ලබන්නේ ඇයට එරෙහිව පොලීසියට පැමිණිලි කරන ලෙසය. ඒ මේ වන විට තහනම් කර ඇති ඇය සතු දේපොළ විකුණා හෝ මුදල් ලබාදීමට යම් දිනක නීතියෙන් අවස්ථාවක් ලැබෙන්නේ ඇයට එරෙහිව පැමිණිලි කර ඇති අයට පමණක් වන බැවිනි.

    ගයාන් කුමාර වීරසිංහ
    13-1-down.jpg
     
    • Haha
    Reactions: Asmodeus

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,360
    20,103
    113
    41
    කොමියුනිකේෂන් අද වැඩ අඩුයිද පොන්ස්
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,576
    5,559
    113
    මේ හොර හැත්ත හැමතැනම දැන්
    මිනිස්සු දැන දැනම අමාරුවේ වැටෙන්නේ මෝඩකමද, අසරණකමද මන්දා
    තන්හාව තමයි මූලික හේතුව.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    35,479
    45,406
    113
    Colombo
    අඩෝ සුජාතා කියල නම දාල තියෙන්නේ ඇයි බන් ? මේරි වගේ නමක් දන්නා තිබුනනේ ??
     
    • Haha
    Reactions: Nidarshana_k