වොෂිංටනයේ පැවති මාධ්‍ය හමුවේදී ලයිට් බිල වැඩිකරන්න IMF ශ්‍රී ලංකාවට දන්වයි
3/05/2025 09:46:00 AM
ශ්‍රී ලංකාවේ විදුලිබල මණ්ඩලය විසින් පසුගිය ජනවාරි මාසයේදී සිදු කරන ලද විදුලි ගාස්තු සංශෝධනය, විදුලිය නිෂ්පාදනයේ සැබෑ පිරිවැය ආවරණය කිරීමට ප්‍රමාණවත් නොවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා පවසයි. ඊයේ (04) වොෂිංටන් නුවරදී පැවති මාධ්‍ය හමුවේදී ඔහු මෙම අනතුරු ඇඟවීම සිදු කළේය.
බෲවර් මහතාගේ ප්‍රකාශය අනුව, වත්මන් ගාස්තු ව්‍යුහය යටතේ ඉදිරියේදී ලංකා විදුලිබල මණ්ඩලය අඛණ්ඩව පාඩු ලැබීමේ අවදානමක් පවතින අතර, එය වැළැක්වීමට ප්‍රමාණවත් විසඳුමක් වත්මන් ගාස්තු සංශෝධනය තුළින් ලැබී නොමැත. මෙම තත්ත්වය හේතුවෙන් විදුලිබල මණ්ඩලයේ ණය තත්ත්වය තවදුරටත් නරක අතට හැරී, අවසානයේ එය නැවතත් රජයට බරක් විය හැකි බවද ඔහු අවධාරණය කළේය.
"ලංකා විදුලිබල මණ්ඩලය රජයට කෙතරම් බරක් විය හැකිද යන්න පිළිබඳව සැමට අත්දැකීමක් තිබෙනවා. එම නිසා පිරිවැය සම්පූර්ණයෙන් ආවරණය වන විදුලි මිලකරණයක් ඉදිරි විදුලි ගාස්තු සංශෝධනයේදී නැවත ස්ථාපනය කිරීම අත්‍යවශ්‍ය," යැයි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා පැවසීය.
ඔහු තවදුරටත් පෙන්වා දුන්නේ පාඩු නොලැබෙන ආකාරයෙන් මිල තීරණය කිරීම සඳහා අවශ්‍ය ස්වයංක්‍රීය යාන්ත්‍රණ දැනටමත් පවතින බවත්, එම යාන්ත්‍රණ නිසි ලෙස ක්‍රියාත්මක වීමට ඉඩ හැරිය යුතු බවත්ය.
ශ්‍රී ලංකාව පිළිබඳ සිදු කළ තෙවැනි සමාලෝචනයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටු අනුමැතිය ලැබීම සම්බන්ධයෙන් වොෂිංටන් නුවරදී පැවති මාධ්‍ය හමුවට ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර්, නියෝජ්‍ය මෙහෙයුම් ප්‍රධානි කට්සියරිනා ස්විරිඩ්සෙන්කා සහ නේවාසික නියෝජිත මර්තා ටෙස්ෆායේ යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
මෙම අනුමැතිය ලැබීමත් සමඟ ශ්‍රී ලංකාවට ලබාදී ඇති මාස 48ක විස්තීර්ණ ණය අරමුදල් පහසුකමේ සිව්වැනි වාරිකය ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 334ක මුදල වහාම නිදහස් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව අවසර ලබාදී තිබේ. මේ සමඟ මෙතෙක් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු ණය මුදල් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 1.34 දක්වා ඉහළ ගොස් තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර ඇත්තේ ණය අරමුදල් වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකාව ලබාගෙන තිබෙන ප්‍රගතිය ඉතා ශක්තිමත් බවත්, සමාජීය වියදම් ඉලක්කය හැර පසුගිය වසරේ දෙසැම්බර් මාසය අවසන් වනවිට සපුරාලිය යුතු සියලු දර්ශක ඉලක්ක ශ්‍රී ලංකාව සපුරා ඇති බවත්ය. එසේම, පසුගිය ජනවාරි මස අවසන් වනවිට සපුරාලිය යුතු ව්‍යුහාත්මක කඩඉම් සියල්ල ශ්‍රී ලංකාව සපුරා හෝ ප්‍රමාදයක් සහිතව ක්‍රියාත්මක කර ඇති බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.
නියෝජ්‍ය මෙහෙයුම් ප්‍රධානි කට්සියරිනා ස්විඩ්සන්කා මහත්මිය මාධ්‍ය හමුවේදී අවධාරණය කළේ මෙරට රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලීකරණය නොකර ප්‍රතිව්‍යුහගත කිරීමට ශ්‍රී ලංකා රජයට හැකි වුවත්, රාජ්‍ය ව්‍යවසායන් මෙරට බදු ගෙවන්නන්ට හෝ රාජ්‍ය ණයට බරක් නොවිය යුතු බවයි.
ඇය පැවසූ පරිදි, මෙරට ආර්ථිකය ස්ථාවර කිරීමටත්, මූල්‍ය හිඟය අවම කිරීමටත්, දීර්ඝ කාලීන මූල්‍ය ස්ථාවරත්වය සහතික කිරීමටත් පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම අත්‍යාවශ්‍ය වේ. පසුගිය රජය පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීමට උත්සාහයක් දැරුවත්, ආයෝජකයන් එයට උනන්දු නොවීම හේතුවෙන් එය අසාර්ථක වූ බවද ඇය ප්‍රකාශ කළාය.
"ණය බර වැඩිවන හෝ පාඩු ලබන ආකාරයෙන් නොව, කාර්යක්ෂම කළමනාකරණයක් තුළින් රාජ්‍ය ව්‍යවසායන් පවත්වාගෙන යෑම ප්‍රතිව්‍යුහගත කිරීමේදී වැදගත්ම කරුණයි," යැයි ස්විඩ්සන්කා පැවසුවාය. එලෙස කළමනාකරණය කිරීමේදී රාජ්‍ය ව්‍යවසායන් සපයන සේවාවල පිරිවැයට සරිලන මිලකරණයක් ක්‍රියාත්මක විය යුතු බවත්, ඉන්ධන සහ විදුලිය මිල එහි ප්‍රධාන සාධකය බවත් ඇය අවධාරණය කළාය.
නව රජය පාඩු නොලබන ආකාරයෙන් රාජ්‍ය ව්‍යවසායන් පවත්වාගෙන යාමට කැපවී සිටින බවත්, අයවැයට සහ රාජ්‍ය ණයට බරක් නොවන ආකාරයෙන් රාජ්‍ය ව්‍යවසායන් පවත්වාගෙන යන බවට රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහතික වී ඇති බවද ඇය ප්‍රකාශ කළාය.
ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා සිය අත්දැකීම් පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, තමන් 2022 වසරේ ශ්‍රී ලංකාවට පැමිණෙන විට තැනින් තැන ඉන්ධන සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට පෝලිම් තිබූ බවත්, එතැන් සිට මේ දක්වා ශ්‍රී ලංකාව පැමිණි ගමන් මග පිළිබඳව තමන් සතුටට පත්වන බවත්ය.
ඔහු සඳහන් කළේ ආර්ථික අර්බුදය පැවැති කාලය තුළදී ආර්ථික ක්‍රියාකාරම්වලින් සියයට 10ක් පමණ මෙරටට අහිමිවී ඇති බවත්, එම අහිමි වූ ආදායමෙන් සියයට 40ක් පමණ පසුගිය වසර අවසන් වනවිට නැවත ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබී ඇති බවත්ය.
"මෙරට ආර්ථිකය යහපත් අතට හැරෙන විට ඉදිරියේදී තවත් ආදායම් අවස්ථා මෙරට තුළ ඇතිවනු ඇති බවත්, ඒ සමඟ ශ්‍රී ලාංකික ජනතාවගේ ආදායම් තත්ත්වය වැඩිදියුණුවී දුප්පත්කම අඩුවනු ඇති," බවද බෲවර් මහතා ප්‍රකාශ කළේය.
ඔහු තවදුරටත් පෙන්වා දුන්නේ ආදායම ඉහළ යනවිට විදේශ රැකියාවලට පිටත්වනවාට වඩා මෙරට රැඳී සිටීම ශ්‍රී ලාංකිකයන්ට ආකර්ශනීය වනු ඇති බවත්,
එවිට මේ වන විට විදෙස්ගත වී සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට පැමිණීමට අවස්ථාවක් සොයාගනු ඇති බවත්ය. "අසීරු කාලය අවසන් වී ඇති බවත්, ශ්‍රී ලංකාවට ඉදිරියට ගමන් කිරීමට ඇත්තේ ඉතාමත් පහසු මාර්ගයක්," යැයි බෲවර් මහතා ප්‍රකාශ කළේය.රාජකාරි දීමනාව සහ නිවාඩු දින දීමනාව කප්පාදු කිරීම පිළිබඳව වෛද්‍යවරුන්ගේ විරෝධතාව සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්, ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා ප්‍රකාශ කළේ මෙරට සිවිල් වැසියන්ගෙන් වැටුප් ලබා ආදායම් බදු ගෙවන්නේ සමාජයේ ඉහළම මට්ටමේ සිටින සියයට 20ක කොටසක් බවත්, ඔවුන් දුප්පත් සහ දැඩි අවදානමට ලක්වූ ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් යම් කැපවීමක් සිදුකළ යුතු බවත්ය.
"ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මතුකළ කරුණු කීපයක් රජය මෙවර අයවැයෙන් ආමන්ත්‍රණය කර තිබෙනවා. දීර්ඝ කාලයකට පසුව මෙරට සිවිල් සේවකයන්ට මෙවර අයවැයෙන් පඩි වැඩිවීමක් ලැබී තිබෙනවා," යැයි බෲවර් මහතා සඳහන් කළේය. අත්‍යවශ්‍ය සේවා බාධාවකින් තොරව අඛණ්ඩව සැපයීම තහවුරු කිරීමට රජයට ප්‍රමාණවත් ආදායමක් ලැබිය යුතු බවද ඔහු අවධාරණය කළේය.
පෙර රජය හඳුන්වා දුන් කුලී ආදායම් බද්ද මෙම රජය ඉවත් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් බෲවර් මහතා පැවසුවේ, පසුගිය රජය කුලී ආදායම් බද්ද හඳුන්වා දීමේදී ඉටුකර ගැනීමට බලාපොරොත්තු වූ ඉලක්ක සපුරාගත හැකි විකල්ප ක්‍රමයක් නව රජය ඔවුන්ගේ න්‍යාය පත්‍රය යටතේ හඳුන්වා දී ඇති බැවින් එම බද්ද ඉවත් කළ බවයි.
කෙසේ වෙතත්, "එම ක්‍රමයට කුලී ආදායම් බද්ද හඳුන්වා දීමේදී ඉටුකර ගැනීමට බලාපොරොත්තු වූ ඉලක්ක සපුරා ගැනීමට නොහැකි වුවහොත්, එම ඉලක්ක සපුරා ගැනීම සඳහා වෙනත් විකල්ප ක්‍රමයක් හඳුන්වා දීමට ශ්‍රී ලංකාවට සිදුවනු ඇති," බවද බෲවර් මහතා පැවසීය.
අවසාන වශයෙන් අදහස් දක්වමින් පීටර් බෲවර් මහතා ප්‍රකාශ කළේ, "තමන් ශ්‍රී ලාංකිකයන්ට මෙම අර්බුදයෙන් ගොඩ ඒම සඳහා සහාය දැක්වීමට ලැබීම මහත් සතුටක් බවත්, ශ්‍රී ලාංකිකයන්ගේ ඉදිරි ගමන සඳහා සුබපැතුම් එක් කරන" බවයි.
තමාට ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කළ හැකි කාලය අවසන් වී ඇති බවත්, ඉදිරියේදී ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානියා ලෙස එවන් පපජෝජො පත්වනු ඇති බවත් ඔහු අවසානයේ සඳහන් කළේය.