ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයේ අර්බුධය

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    5,382
    597
    113
    ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයේ අර්බුධය 1

    ගොවිතැන නැතහොත් කෘෂිකර්මාන්තය යනු ඉතාමත් ධාර්මික කර්මාන්තයකි. බුදුදහමට අනුවද කෘෂි-ජීවනෝපායනය “සම්මා කම්මන්ත” නම් ධර්මතාවයට වන අනුකූලතාවය ඉතා හොඳින් පැහැදිලි කළ හැකිය. ලේකඛයා මෙසේ පැවසීමට මූලිකම හේතුව නම් අන් කිසිදු කර්මාන්තයක නොතිබුන සහ නොපැවති ලෙසින් පාරිසරික සම්පත්, එනම් භුමිය සහ පස, ජලය වාතය සහ වාතනය, හිරුඑළිය, සඳ එළිය, යනාදිය උපයෝගී කරගෙන පාරිසරික සහ යෙදවුම් භාවිතා කර බිම් අස්වද්දා වගාව නඩත්තු කරගෙන ගොස් අවසන යමක් අස්වැන්න ලෙසින් පමණක් නෙලාගන්නා සාමකාමී කර්මාන්තයක් ලෙස ගොවිතැන පැවතීමයි. ඒ එසේ වතුදු අද දවස වන විට ගොවිතැන සහ ගොවිකම ඉතා තියුණු ලෙසින් සාකච්චාවට බඳුන් වූ ප්‍රස්තුතයක් බවට පත්ව තිබේ. සසර භව හරණය පිණිස සසුන් ගත වූ ස්වාමීන් වහන්සේලාගේ පටන් දේශයේ පළමු පුරවැසියා එනම් ගරු ජනාධිපතිවරයා දක්වා විවිධ තරාතිරම් වල පුරවැසියන් සහ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ගොවිතැන සහ ගොවිකම පිළිබඳව වඩාත් විමසිලිමත්ව සිටිති. යෝජනා ඉදිරිපත් කරමින් සිටිති. උපාය උපක්‍රම සකසමින් සිටිති. ධාර්මික ගොවිතැනක් ගැන, වසවිසෙන් තොර බත් පතක් ගැන, සම්ප්‍රදායික වූ කෘෂිකර්මාන්තයක් ගැන විවිධ වූ අය නානාවිධ මත පළකරමින් සිටිති. ප්‍රතිපලය යහපත් නම් මෙය ඉතා හොඳ ප්‍රවණතාවයකි. එපමණක් නොව සිහිනයක් දුටු කලෙක මෙන් මෙම ඇතැම් දනමුත්තන්ගේ සිතේ උපදින මනෝභාවයන් පදනම් කරගෙන දේශයේ කෘෂි ආර්ථිකයට අදාළ ප්‍රතිපත්තිමය තීරණයන් සැකසීමටද අදාළ ක්ෂේත්‍ර වල නිලදරුවෝ උත්සුක වෙමින් සිටිති.

    වර්තමානයේ ගොවිතැන සහ ගොවි බිම පිළිබඳව කෙරෙන සාකච්ඡා, යෝජනා සහ විවේචන පසුපස පහත සඳහන් කාරණා සම්බන්ධයෙන් ඉතා දිගු සංවාද පවතී. “ගොවිබිම් වල පස මුළුමනින්ම දුෂණය වී ඇත.” “ගොවිබිම් අවට පරිසරය විෂ අපද්‍රව්‍ය වල තෝතැන්නකි.” “ගොවීන් රසායනික පොහොර සහ කෘෂි රසායන අධික ලෙස භාවිතා කරයි.” “නිෂ්පාදනයේ ඵලදායිතාවය වැඩි කිරීමේදී තිරසාර බව (sustainability) සහ මාධ්‍යයේ (ගොවිබිමේ) සමතුලිතතාවය (balanced equilibrium) විනාශකර ඇත.” “අප හරිත විප්ලවයේ අනර්ථකාරී ප්‍රතිපල ළඟාකරගෙන ඇත.” මාධ්‍ය සාකච්චාවකට සවන් දුනහොත් මීටත් වඩා සැහැසි කරුණු පවා ප්‍රකාශිත වේ. සාකච්ඡාවට බඳුන් වන ඇතැම් කරුණු පිටුපස යම් සත්‍යයක්ද පවතී. ඒකක බිම් කොටසකින් නෙළන අස්වනු ප්‍රමාණය (හෙවත් නිෂ්පාදන ඵලදායිතාවය) වැඩි කරගැනීමේ වුවමනාවෙන් අප විසින්ම එම ක්‍රියාදාමය තුල අත්වැල් බැඳගත් බොහෝ ක්‍රියාකාරකම් සහ පියවරයන් අපටම අවාසිදායක කරගෙන ඇත. ඉතාමත් සාමකාමී සහ අහිංසක කර්මාන්තයක් මෙවන් වූ ව්‍යසනකාරී පසුබිමක් තුලට සිරගත කර සාකච්ඡාවට බඳුන් වීමට හේතු වූ කරන මොනවාද? ඒ පිළිබඳව අප ජාතියක් වශයෙන් තවකෙකුට දොස් පවරා අත සෝදා ගැනීමට උත්සුක වනු විනා, අදාළ සහ වගකිවයුතු පාර්ශවයන් විවෘත ස්වයං විවේචනයක් හෝ නිදහස් සාධාරණ පසුවිපරමක් කර ඇත්ද? එමෙන්ම ප්‍රකාශිත ව්‍යසනකාරී ක්‍රියාකාරකම් සහ පිළිවෙත් වලින් මිදෙන්නට ගොවීන් මත අද දවසේ උත්තරරෝපණය කරන උපාය උපක්‍රම කොතරම් දුරට ප්‍රායෝගික සහ ඵලදායී වේද? සත්‍ය වශයෙන්ම නීරෝගිමත් ආහාර සුරක්ෂිතතාවය (healthy food security) වෙනුවෙන් අද දවසේ එළිදක්වන උපාය මාර්ග ඉදිරි ආහාර හිඟයකට කරන අත වැනීමක්ද? වර්තමානයේ ගොවිකම තුළ සිදුකරනු ලබන විපරිණාමයන්ට සාපේක්ෂව ගත්කල මෙය සාධාරණ බියකි.
    මානව ප්‍රගමනයේ වටිනා සහ අනවරත දායාදයක් වූ සාමකාමී කර්මාන්තයක් ප්‍රකාශිත ලෙසින් වූ මානව ඝාතක ව්‍යසනයක හවුල් කරුවන් බවට පත් වුයේ කෙසේද? ජාතියක් වශයෙන් නීරෝගී සුරක්ෂිත හෙට දවසක් වෙනුවෙන් අප අපගේ අහාර සුරක්ෂිතතාවය සඳහා ගොවිතැන සහ ගොවිකම ඵලදායී සහ තිරසාර ලෙස යොදවා ගන්නේ කෙසේද? යොදාගත යුතු වන්නේ කවර ආකාරයකටද? ඒ සඳහා කවර ආකාරයේ ප්‍රතිපත්තිමය, ආකෘතිකමය සහ ප්‍රායෝගිකමය වූ ක්‍රියාදාමයක් අනුගමනය කළ යුතු වේද? ගැලපේද?

    ලේකඛයා විසින් මෙම ගැටළු වලට විසඳුමක් සඳහා වූ තාර්තික (logical), විද්‍යාත්මක (scientific), සහ ප්‍රායෝගික (practical) හැරවුමක් වෙනුවෙන් කරනු ලබන මෙම සාකච්ඡාවේ අරමුණ කිසිසේත්ම පුද්ගලයෙකු, පුද්ගල කණ්ඩායමක් හෝ ක්‍රියාදාමයක් වෙත එල්ල කරන විවේචනයක් නම් නොවේ.මෙම සාකච්ඡාව නිදහස් අධ්‍යාපනයේ මහඟු දායාදයක් ලෙස කෘෂිකර්ම විද්‍යාව හදාරා ලබාගත් දැණුමත්, වෘත්තීය කටයුතු සඳහා ලොව තුල සැරිසරමින් ලබාගත් දෘශ්‍යමාන අත්දැකීම් සමුදායත්, අහිංසක ගොවි මහතුන්ගේ ගෙපිල, ඕවිට, බඩවැටිය සහ නියර මත රැඳෙමින් ඔවුනොවුන් සමඟ දොඩමලුව පිළිසඳරේ යෙදෙමින් නෙලාගත් අත්දැකීම් සමුදායද පසුබිම් කරගෙන කරනු ලබන නිදහස් සහ විවෘත පසු විපරමක් සහ සාධනීය වූ ප්‍රථිපල ඉලක්ක කරගත් අනාගත වැඩපිළිවෙලක් උදෙසා කරනු ලබන විවරණයකි.
    අප දේශයේ සම්ප්‍රදායික සහ අයිතිහාසික සහ සමාජ-ආර්ථික උරුමය “ආසියාතික සාමූහික ස්වයංපෝෂි සමාජ අර්ථක්‍රමය” වේ. ඇතැම් වැඩවසම් ලක්ෂණ මෙම සමාජ ව්‍යුහය තුල විද්‍යමාන වුවද, එම අර්ථක්‍රමය සාමුහිකත්වය සහ බෙදාහදාගැනීම මත නිර්මාණය වී වර්ධනය වුවකි. එම සමාජ දේහය තුල ගොවිතැනට සහ ගොවිකමට උරුම වී තිබුණේ සුවිශේෂී වූ ප්‍රබල ස්ථානයකි. ගොවිතැන යැපුම් හෙවත් පරිභෝජන කෘෂිකර්මාන්තයක් (subsistance agriculture) වූ අතර සාමූහික ක්‍රියාකාරීත්වය සහ හුවමාරුව එහි ප්‍රධාන සාධනීය ලක්ෂණය විය. ගොවිතැන් කර ලබාගත් අස්වනු විකිණීම එම සමාජ පදනම තුල දක්නට නොලැබුණු අතර ඇතැම් විට “විකිණීම” නම් සංකල්පය භාණ්ඩ හුවමාරුවට ආදේශ වී පැවතිණි. පසළොස්වන ශතවර්ෂයේ සිට එල්ල වුණු යුරෝපීය ආක්‍රමණයන්ට සමගාමීව වෙළඳාම මත පදනම් වූ සමාජ-ආර්ථික ක්‍රමයක් අප රට තුල ක්‍රමානුකුලව උත්තරරෝපණය වීමත් සමගම එතෙක් පැවති යැපුම් කෘෂිකර්මාන්තය යම් සෙලවීමකට ලක් විය.එහෙත් එහි සැලකිය යුතු වෙනසක් පෙන්නුම් කරන්නට වුයේ 1945-46 දී දෙවන ලෝක යුද්ධය අවසාන වීමත් සමගම වර්ධනය වන ලෝකයේ ආහාර නිෂ්පාදනය සහ සුරක්ෂිතතාවය සහතික කරනු පිණිස තාක්ෂණය හා බද්ධව පෙර ගමන් කළ හරිත විප්ලවයේ (green revolution) ඇතැම් රෝපණ ද්‍රව්‍ය අප ගොවිබිම් මත පතිත වන්නට පටන් ගැන්මත් සමගය. (මතු සම්බන්ධයි)

    අතුල දිසානායක, B.Sc. (කෘෂිකර්ම විද්‍යාව); M.Sc. (කෘෂිකර්ම විද්‍යාව – ආහාර විද්‍යාව සහ තාක්ෂණය)
     
    Last edited: