සියලු සංස්කාරයෝ අනිත්‍යයය. විශ්වයේම පවතින යම්තාක් සජීවී, අජීවී දේවල් ඇතිද ඒ සියල්ල සංස්කාර ලෙස ගත හැකිය

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,553
    10,944
    113
    Colombo
    සියලු සංස්කාරයෝ අනිත්‍යයය. විශ්වයේම පවතින යම්තාක් සජීවී, අජීවී දේවල් ඇතිද ඒ සියල්ල සංස්කාර ලෙස ගත හැකිය. මේ කිසිවක නිත්‍ය ස්වභාවයක් නොමැත. සියල්ල මොහොතක් පාසා ඇතිවෙමින් නැතිවෙමින් යාම පමණක් සිදුවේ. මෙය ලෝක ස්වභාවයකි. මේ බව නොදන්නා බොහොමයක් මෝඩ සත්වයින් මේ සියල්ල නිත්‍ය, සදාකාලික දේවල් යයි සිතා ගෙන කටයුතු කරති. එසේ ඒවා අල්ලා ගෙන කරන කුසල් අකුසල් ක්‍රියා නිසා සසරේම දිගින් දිගටම යාමට සිදුවන බවත් සසර යනු වැඩිපුරම අපා දුක් ලබා දුන් සහ ලබා දෙන තැනක් බවත් මේ සත්වයින් නොදනී. මේවා අල්ලා ගෙන කටයුතු කිරීම නිසා දුකට පත්වීමක් සිදු නොවේ නම් එසේ කලාට කම් නැත කියා හෝ කිව හැක. නමුත් මේවා තුලින් තනිකරම ලබා දුන්නේ මහා දුකකි. ඉතාමත් කලාතුරකින් සුළු සැපක් ලැබේ . එය දෙව් මිනිස් භවයක් විය හැක. නමුත් එය හරියට ගින්නක දැවෙමින් සිටි අයකුව තත්පර කිහිපයකට ඉන් ඉවතට ගෙන නැවත එයටම දැමීම වැනිය. ඒ සැපේ කිසි හරයක් නොමැත. වටිනාකමක් නොමැත. මේ සසරින් ගැලවීමට නම් ලෝකයේ නියම ස්වභාවය අවබෝධ කල යුතුය. අනිත්‍ය, දුක්ක, අනාත්ම, අසාර ලෙස ප්‍රඥා ඇස ඇරුණු කෙනකුට මේ ලෝක ස්වභාවයන් පෙනීමට පටන් ගනී. එතුලින් වැඩෙන්නේ නිබ්බිදාවකි. කලකිරීමකි. නොඇලීමකි. එය මේ සියල්ලෙන් නිදහස් වූ සිතක් ඇති කර ගැනීමට අතවශ්‍යය. එසේ ප්‍රඥාව ඇති වීමට නම් ඒ පිලිබඳ වැටහීමක් ඇති කරගෙන නිවැරදි අවබෝධයක් අනිවාර්යයෙන් ඇති කරගත යුතුය.

    අනිත්‍යයේ ස්වභාවයන් දෙකකි. එනම් ක්ෂණික අනිත්‍ය බව හා සන්තති අනිත්‍යතාවය. සන්තති අනිත්‍ය බව යනු යම් ජීවී අජීවී දෙයක සදා කල් නොපවතී දිනක නැතිව යන බවය. අප සතු ගෙවල් දොරවල්,යාන වාහන, මව් පියන් මේ සැම දෙයක්ම දිනක සදහටම නැත්තටම නැති වී යයි. අවුරුද්දක් හෝ අවුරුදු සියයක්, පන්සියයක් හෝ පැවත නැත්තටම නැතිවී යයි. අප අවට ඇති පරිසරය බලන්න. තම නිවස සිහි කර බලන්න. මීට කලකට පෙර පැවති ගස් කොලන් ආදිය දැන් නොමැත. සමහරක් පැරණි ගෙවල් දැන් තිබුණු තැන් වල ඒවායේ සලකුණක් හෝ නොමැත. අප දැන සිටි සමහරක් අය අද ජීවතුන් අතර නොමැත. ඒ දේවල් නැත්තටම නැතිව ගොස් ඇත.ඒසේ නැතිව ගිය කල එහි ගෙයක් ලෙස හෝ මව පියා ලෙස ගැනීමට හෝ කිසිවක් ඉතිරි නොවේ. මෙය ඒවායේ සන්තති අනිත්‍ය බවයි.

    ක්ෂණික අනිත්‍ය බව යනු යමක් මොහොතක් පාසා ඇතිවෙමින් නැතිවෙමින් යන ස්වාභාවයය. නිර්වාන අවබෝධය පිණිස මේ ක්ෂණික අනිත්‍ය බව අවබෝධ කර එය භාවනාවෙන් අත් දැකීම අනිවාර්යය වේ. අනිත්‍ය තුලින්, නිරෝධය දැක එතුලින් අනාත්මය අවබෝධ කිරීම තුලින් සිත නිවනට පත් කර ගත හැකිය. ඒ සඳහා අන් ඉන්ද්‍රිය ධර්මයන්ද (ශ්‍රද්ධාව , වීර්යය ආදී ) වැඩී තිබිය යුතුය. අපගේ රූපයද, බාහිර රූපද, සිතිවිලි ආදී මේ ලොව පවතින සියලු නාම රූප ධර්මයන් මොහොතක් පාසා නැතිවේ.කුඩා කල සිටි අපගේ රූපයට වඩා අද ස්වභාවය තනිකරම වෙනස්ය. මෙය එකවර සිදුවුනේ නැත.ළදරු කාලයේ සිට අද දක්වා සිහි කළහොත් මේ රූපය වෙනස් වෙමින් පැමිණි අයුරු වටහා ගත හැකිය. මොහොතක් පාසා මේ රූප ඇති වෙමින් නැති වෙමින් යාම සිදුවේ. දැන් තිබෙන රූප කලාප වලට වඩා වැඩිපුර සෑදෙන විට මේ රුපය මහත් වේ. ඊළඟ මොහොතේ ඇති වන රූප කලාප මේ මොහොතට වඩා අඩු වෙමින් යන විට කෙට්ටු වීම සිදුවේ. මෙම අනිත්‍ය ස්වභාවය වැටහුන විට මෙලෙස අප රූපය වෙනස් වුයේ කෙසේදැයි වැටහීමක් ඇති කර ගත හැකිය.

    මෙලෙසින්ම නාම ධර්මයන්ද ක්ෂණික අනිත්‍ය බවට පත්වේ. අපට මේතාක් ඇතිවුණු සිතිවිලි යම්තාක් ඇතිනම් ඒ සියල්ල අනිත්‍ය තුලින් නිරුද්ධ වී ගොස් ඇත. දැන් ඇති වන්නේ වෙනමම සිතිවිලි සමුහයකි. ඒවාද ඇති වුනු ක්ෂණයේම නැති වී යයි. අප සිත තුල ඇති වන දැනීම්, වේදනා, හඳුනා ගැනීම් ආදී සියලු සිතිවිලි වලට මෙය පොදුය. අප ඊයේ හඳුනා ගත්තා නම් එය අනිත්‍ය තුලින් නිරෝධයට පත්ව ඇත. අද හඳුනා ගන්නේ වෙනත් සිතිවිල්ලකිනි. ඊයේ හඳුනා ගැනීමත් අද හඳුනා ගැනීමත් අතර කිසිම සම්බන්ධයක් නොමැත. මේ මොහොතේ සිතේ ඇති වේදනා ඊයේ තිබුනේ නැත. ඊයේ දුකක් හෝ සැප වේදනාවක් ඇති වුනා නම් ඒ සියල්ල අද නොමැත. මේ මොහොතකට කලින් ඇති වූ වේදනාවක් දැන් නොමැත. දැන් ඇති වන වේදනාව තව මොහොතකින් නැති වී යයි.

    සිත තුල සිදුවන මෙම සිතිවිලි වල විපරිනාමය සිදුවන්නේ සිතුවිලි වල ඇති අනිත්‍ය බව නිසාය. සිතුවිලි නිරුද්ධ වී යන්නේ අනිත්‍ය බව නිසාය. සිත වෙනස් වන්නේ අනිත්‍ය බව නිසාය. අප කලින් කැමති කෙනෙකුට දැන් අකමැති වන්නේ මේ සිතිවිලි වල ඇති අනිත්‍ය බව නිසාය. හොඳ කෙනෙකු නරක අයකු බවටත් නරක කෙනෙකු හොඳ කෙනෙක් බවට පත් වන්නේත් මෙම අනිත්‍ය ස්වභාවය නිසාය. අනිත්‍ය ලක්ෂණය බුදු, පසේ බුදු, රහත්, පෘථග්ජන , සජීවී අජීවී සියල්ලට පොදු ධර්මතාවයකි. රහතන්වහන්සේ නමක් භාවනා කරන අවස්ථාවක් සිතන්න. ඒ භාවනාව අවසානයේ ඒ ඇති වූ සිත් සියල්ල නිරුද්ධ වී ගොස් ඇත. උන්වහන්සේ යමක් සිතුවද, යම් ක්‍රියාවක් කලද ඒ මොහොතේම ඒ සිත් සියල්ල නැති වී යයි. උන්වහන්සේගේද රූපය අනිත්‍ය තුලින් වෙනස් වීම් වලට ලක්වේ. දිනක පිරිනිවුණු පසු නැත්තටම නැති වේ. මෙලෙසින් අනිත්‍ය ලක්ෂණය මේ මුළු විශ්වයම වෙලා ගෙන ඇති අයුරු පිලිබඳ අප මනා අවබෝධයක් ඇති කර ගත යුතුය. අනිත්‍ය ස්වභාවය කෙතරම් ගම්භීර ධර්මතාවයක් දැයි යම්තම් හෝ අවබෝධයක් ඇති කර ගත යුතුය.

    වඩාත්ම වැදගත් කරුණ වන්නේ අනිත්‍ය තුලින් අතහැරීම දෙසට ඇතිවන අවබෝධය ඇති කරගැනීමය. යමක් අනිත්‍ය නම් එහි කිසිම හරයක් නොමැත. කුඩා ළමයෙක් පෙන පිඩුවක් ඉල්ලන්නේ නම් එය කෙදිනකවත් දිය නොහැකි බව අප දනිමු. අපගේ සිතද, රුපයද, බාහිර සජීවී අජීවී ලෝකයද මේ පෙන පිඩුවට වඩා වෙනසක් නොමැත. මොහොතින් මොහොත සියල්ල පෙන පිඩුව මෙන් සුනු විසුනු වී යයි. නමුත් මෙය දැකීමට තරම් ප්‍රඥාවක් අපට නොමැති නිසා අප මේ දේවල් වලට අසා කරමින්, මේ දේවල ගොඩගසා ගනිමින් සිටිමු. කිසිදු හරයක් සාරයක් නොමැති මේ සිතත්, රූපයත් සාරවත් දේවල් ලෙස සිතමින් කටයුතු කරමු. අපගේ වසඟයේ නොමැති මොහොතක් මොහොතක් පාසා විනාශ වී යන මේ සංස්කාර ලෝකය අපගේ වසඟයේ ඇතැයි සිත කටයුතු කරමු. මේ දේවල් නොදන්නා කමට, එනම් අවිද්‍යාවට යටවී කටයුතු කරමු. මේවා ගොඩ ගසා ගනිමින් තණ්හාවට සිත තුල ක්‍රියාත්මක වීමට දෙමින් තනිකරම කුසල්/අකුසල් සංස්කාර රැස් කරමින් දිගින් දිගටම මේ සසරේම ගමන් කරමු. මේ සසරේ කෙළවරක් නොමැත. අප මේ තාක් ගෙවූ සසරේ ගෙවූ කාලය කිසි දිනක සිතා නිම කල නොහැක. එලෙසින්ම ධර්මාවබෝධ නොකළහොත් සසරේ යාමට සිදුවන කාලයද සිතා නිම කල නොහැක. සසරේ පැමිණි මේ ගමන කිසිදු හරයක් නොමැත. තනිකරම හිස්, හරයක් වටිනාකමක් නොමැති ක්‍රියාවකි. තව දුරටත් යාමට සිතේ නම් ඒ මෝඩකම නිසාය. මතුවට විඳීමට සිදුවන ඉමහත් දුක පිළිබඳව අවබෝධයක් නොමැති කම නිසාය. සිත තුල ඇති මේ මෝහය අඩු වී ප්‍රඥා ආලෝකය ඇති වී අප සියලු දෙනාටම මේ සසරින් මිදීමට හැකිවේවා! ඒ සඳහා වීර්යය වැඩීමට මග පෙන්වන උතුම් කලණ මිතුරන් ලැබේවා!!!

    තෙරුවන් සරණයි!!!
     

    Similar threads