පසුගිය දවසක අහන්න ලැබුනා ලස්සනයැයි සලකන බණක්. ඒ බණේදී හාමුදුරුවෝ දේශනා කරනවා සරලවම, සුරතල් සතුන් එක්ක ජීවත් වෙන අය මරණෙන් පස්සෙ උපදිද්දී සුරතල් සත්තු විදියට උපදිනවා කියලා. ඒ කියන්නේ බල්ලො හදන කෙනා මැරෙද්දි බල්ලව උපාදාන කර ගෙන බල්ලෙක් වෙලා උපදිනවා වගේ. බොහෝදුරට ඔබත් දැනටම මේ ගැන අහලා ඇති. බුදුරජාණන්වහන්සේ දේශනා කරනවානේ දෙයක් පිළිගනිද්දී ධර්ම විනයට ගැලපෙනවාද කියලා බලලා පිළිගන්න එක හොඳයි කියලා. මේ කථාව ගැන හිතද්දී මජ්ජිම නිකායේ තියෙන කුක්කුරවතිය සූත්‍රය මතක් වුනා.
මේ කුක්කුරවතිය සූත්‍රයෙදි බුදුරජාණන්වහන්සේව බැහැදකින්න එනවා සේනිය සහ පුණ්ණ කියලා දෙන්නෙක්. මේ දෙන්නගෙන් සේනිය, සුනඛ වෘත්තය සමාදන් වෙලා ඉන්නෙ. ඒක හොඳටම ආරක්ෂා කරනවා. එතකොට පුණ්ණ, ගෝ වෘත්තය සමාදන් වෙලා ඉන්නෙ. ඒක හොඳටම ආරක්ෂා කරනවා. ඉතින් මේ දෙන්නා බුදුරජාණන්වහන්සේගෙන් අහනවා මරණින් පස්සෙ ඒ දෙන්නා කොහේ උපදියිද කියලා. බුදුරජාණන්වහන්සේ දෙසැරයක් ම මේකට උත්තර දෙන එක ප්‍රතික්ෂේප කළත් තුන්වැනි වතාවේ උත්තර දෙනවා. ඒ අනුව දේශනා කරනවා සේනිය එක්කො බල්ලෙක් වෙලා උපදිනවා. නැත්නම් අපායෙ උපදිනවා. ඒ වගේම පුණ්ණ හරකෙක් වෙලා උපදිනවා නැත්නම් අපායෙ උපදිනවා කියලා. මේක ඇහුවම සේනියයි පුණ්ණයි අඬනවා. ඒ දෙන්නා බුදුරජාණන්වහන්සේගෙන් ඉල්ලනවා ඔවුන්ට සැනසෙන්න ධර්මය දේශනා කරන්න කියලා. ඒ අනුව බුදුරජාණන්වහන්සේ ඔවුන්ට ධර්ම දේශනයක් කරනවා. ඒ ධර්ම දේශනයෙන් පස්සෙ සේනිය බුද්ධ ශාසනයේ මහණ වෙලා රහතන්වහන්සේ නමක් බවට පත්වෙනවා.
දැන් මේ දෙන්නා ඔවුන් අනුගමනය කරන සත්වයන් අනුව ඒ සත්ව ගණයේ උපදින්නේ ඔවුන්ගේ ජීවිතය ගෙවෙන්නෙ ම ඒ සතාගේ විදියට නිසා. මිනිහෙක් වෙලා ඉපදුනාට ජීවත් වෙන්නේ බල්ලෙක් වගේ නැත්නම් හරකෙක් වගේ. එහෙම නැතුව බල්ලන්ට හරක්ට කන්න බොන්න දීලා නෙමෙයි. තෝද්‍යිය බමුණා බල්ලෙක් වෙලා ඉපැදුනේ බල්ලෙක්ව උපාදාන කරන් ඉඳලා නෙමෙයි. බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා මෙලොව ජීවත්වෙන විදිය අනුව මරණෙන් පස්සෙ ජීවත් වෙන තැන ගැන අවබෝධයක් තම තමුන්ට ම ලබා ගන්න පුළුවන් කියලා.
ඉතින් බුද්ධ ධර්මයත් එක්ක බලද්දී අර හාමුදුරුවො කියන බණ නම් බණ නොවේ කියලා පැහැදිලියි. ඒත් මිනිස්සු ඒවා සාදුකාර දිදී අනුමෝදන් වෙනවා. ඒ මග යන මිනිස්සු ගැන දැනෙන්නෙ කණගාටුවක්. අපරාදේ අසරණ ජීවිත. සැප විඳින්න පුළුවන් මෙච්චර ලස්සන ධර්මයක් තියාගෙන කිසි තේරුමක් නැති පුද්ගල මතයක් අනුව ජීවත් වෙන්න ගිහිල්ලා තමුන්ගේ ජීවිතේ විඳින්න තියෙන සතුට නැති කරගන්න හැටි.