පිපී ඇති පුෂ්පයකට (Auroral Flower) සම්බන්ධ වූ නටුවක ආකාරයෙන් දිස්වන අවුරෝරාවක් (ධ්‍රැවාසන්න එළි/උත්තරාලෝකය/ ඌෂාලෝකය යන නම් වලින් ද මෙම අවුරෝරාවන් හදුන්වනු ලබයි) හා ක්ෂීරපථය මන්දාකිණිය නිරූපණය වන පහත දැක්වෙන අපූර්ව සංයුක්ත ඡායාරූපය (composite image) අද දිනයේ නාසා ඡායාරූපය ලෙස තෝරාගෙන තිබේ. ඔක්තෝම්බර් මස මුල් භාගයේදී උතුරු ස්වීඩනයේ වූ "Abisko' නම් ගම්මානයේ පිහිටි කුඩා විලක් අසලදී කැමරා කාචයට හසුකර ගත් මෙම ඡායාරූපය තුළින් ක්ෂිතිජයේ සිට ආකාසයේ මධ්‍යයය දක්වා විහිදී ඇති අයුරින් දිස්වන ක්ෂීරපථය මන්දාකිණියෙහි මධ්‍ය තීරුවත්, දීප්තිමත් කොළ පැහැ ආලෝකයකින් යුක්තව දිදුළන ඔක්සිජන් වායුවෙන් සමන්විත වූ ඕවලාකාර හැඩැති අවුරෝරාව (Aurora) ද ඉහත සදහන් කළ පරිදී නටුවට සම්බන්ධව ඇති පුෂ්පයක ස්වරූපයකින් දිස්වන ආකාරය මෙහිදී නිරීක්ශනය කළ හැකිය.
මෙහි අවුරෝරාව හා ක්ෂීරපථය එකිනෙකට ආසන්නයෙන් පිහිටා ඇති අයුරින් මෙහිදී දිස්වුව ද ඒවා සත්‍යවශයෙන්ම පිහිටා ඇත්තේ එකිනෙකට ඉතා ඈත්ව පවතින දුරවල්හීදීය. එනම් මෙම අවුරෝරාවෙහි ඉහළින්ම ඇති රත් පැහැ ප්‍රදේශයන් පෘථිවි පෘෂ්ඨයේ සිට කිලෝමීටර 1000 පමණ ඉහළින් වූ වායුගෝලීය කලාපයන් තුළදී හටගන්නා අතර ක්ෂීරපථයෙහි දිස්වන දුරස්තර තාරකාවන් හා නිහාරිකාවන් පිහිටා ඇත්තේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 1000 ක පමණ ඈතින්, එනම් අවුරෝරාවෙහි වූ රත් පැහැ ප්‍රදේශයන් හටගන්නා වායුගෝලීය කලාපයන්ට පවතින දුර මෙන් ට්‍රිලියන දහ ගුණයක පමණ දුරකිනි. අපගේ සූර්යයාගේ වූ චුම්භක ක්ෂේත්‍රය ඉහළ සක්‍රියවීමකට ලක්වන වසර 11 කින් යුක්ත වූ සූර්ය චක්‍රයට (Solar cycle) අයත් කාලසීමාවේදී පෘථිවියේ ධ්‍රැවාසන්න ප්‍රදේශවල හටගන්නා මෙවැනි අපූර්ව අවුරෝරාවන් බහුලව දැක ගැනීමට අවස්ථාව උදාවේ.
Image Credit & Copyright: Göran Strand
Solar cycle