~ IMF වාර්තාව අමතක කිරීමට උත්සාහ කරන ආණ්ඩුව රට ගෙනියන්නේ තවත් වළ පල්ලටමයි..! මෙන්න සාක්කි..!

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    38,097
    39,370
    113
    පසුගිය මාස කිහිපය තුලම ආණ්ඩුව, විපක්ෂය, මාධ්‍ය සහ රටේ ජනයා බොහෝ විට සාකච්ඡා කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය වැඩසටහන ගැනයි. එහෙත් දැන් ඒ පිළිබඳව කිසිවෙක් සාකච්ඡා කරන බවක් පේන්නට නැහැ. ඒ වෙනුවට වෙනත් සිල්ලර කාරණා කෙරෙහී සියල්ලන්ගේම අවධානය යොමු වී තිබෙන බවක් පේන්නට තිබෙනවා.

    ප්‍රධාන ඉන්ද්‍රීයන් එකින් එක අකර්මණ්‍ය කරන හැටි..​

    IMF විස්තීරණ ණය වැඩසටහනේ රජය විසින් ඉටුකර ගත යුතු ඉලක්ක හා සැපිරිය යුතු කොන්දේසි රාශියක් තිබෙනවා. එහෙත් අර්බුදය නිර්මාණය කළ අනුප්‍රාප්තික ජනාධිපති වරයා සහ පොහොට්ටු පක්ෂය ඇතුළු කණ්ඩායම් IMF ගැන සම්පූර්ණයෙන් අමතක කොට සුපුරුදු අයුරින් පිල් බෙදී දෙපැත්තට තුන්පැත්තට අදිමින් ඊලඟ ජනාධිපති වරයා රනිල් වික්‍රමසිංහද, මහින්ද රාජපක්ෂද කියා වාද කරමින් සිටිනවා. රටේ ආර්ථික අර්බුදය තිබූ තත්ත්වයටත් වඩා භයානක තත්ත්වයක පවතින බව රටේ සමහර ජනයාට අවබෝධයක් නැහැ. රෝග ලක්ෂණ සුව වී තිබෙන බව හැබෑව. උද්ධමනය නැමැති ඉදිමුම අඩු වී ඇත. පෝලිම් නැමැති හිසේ කැක්කුම පහව ගොස් ඇත. එහෙත් ශරීර අභ්‍යන්තරයේ විෂ බීජය ලේ නහර ඔස්සේ ගමන් කරමින් ප්‍රධාන ඉන්ද්‍රීයන් එකින් එක අකර්මණ්‍ය කරන හැටි ඔබට පේනවා ඇත. රෝහල් වල ඖෂධ හිඟය ඉන් එකකි. වෛද්‍යවරුන් රට හැර යාම තවත් එකකි. විශ්වවිද්‍යාල වල සමහර පීඨ පවත්වා ගෙන යෑම දුෂ්කර වී ඇත. ආචාර්ය වරු රටහැර යති. හෙට අනිද්දා උසාවි නඩුකාරයන් විදේශ ගත වනු ඇත. දුප්පතුන් ලක්ෂ 30 සිට ලක්ෂ 70 දක්වා වසර තුනක් තුල ඉහළ ගොස් ඇත. රටේ නිෂ්පාදන කර්මාන්ත ආයතන දිනෙන් දින වැසී යයි. සීඝ්‍ර බුද්ධි ගලනයක් ඇත. එහෙත් අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහට හෝ ඔහුව ආරක්ෂා කරන පොහොට්ටු පක්ෂයේ ඇත්තන්ට ඒවා අදාළ නැත. ඔවුන් රටේ ජනයා නැවත රැවටීමට පටන් ගෙන ඇත. දවල්ට එකි නෙකාට බැනගෙන රෑට එකට හොරකමේ යති.

    අයිඑම්එෆ් වාර්තාව සියුම්ව අධ්‍යයනය කළහොත්..​

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය මෙම විස්තීර්ණ ණය වැඩසටහන පිළිබඳ නිලධාරී මට්ටමේ සාකච්ඡා අවසන් කළේ 2022 සැප්තැම්බර් 01වන දාය. ඒ අනුව, IMF විසින් ලංකාවේ රජයට පූර්ව කොන්දේසි 09 ක් ලබා දී තිබුණි. ඉන්ධන සහ විදුලිය මිල කරණය (Cost Recovery Based Pricing), බදු ඉහළ දැමීම යනාදියට අමතරව නීතිමය සහ ආර්ථිකමය කරුණු කිහිපයක් ඒ අතර විය . ඒවායේ ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය සමාලෝචනය කිරීමෙන් අනතුරුව 2023 මාර්තු මස 20 වන දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඩොලර් බිලියන 2.9 ක සිව් අවුරුදු විස්තීර්ණ ණය මුදල අනුමත කළේ ය. ඊට අදාළ පිටු 151ක වාර්තාවේ අවධානය යොමු කළ යුතු කරුණු රාශියක් ඇත. ඔබට අවශ්‍ය නම් IMF ලංකාව සම්බන්ධ වාර්තාව ලබා ගැනීමට: https://www.imf.org/countries/lka

    අපිට හුස්ම ගැනීමට හැකි වන්නේ 2028 න් පසුවය; ඒත් අවුරුදු 10 ක් පිටුපසින්..​


    මෙම වාර්තාවේ පිටු අංක 40 සිට 48 දක්වා වගු 08ක් ඇත. එම වගු සියල්ලෙන්ම පැහැදිලි කරන්නේ ලංකාවේ රජය විසින් 2028 දක්වා සෑම වසරකම සපුරා ගත යුතු ඉලක්ක සහ කොන්දේසිය. ඊට අමතරව IMF සහ අනෙකුත් ආයතන කෙසේ ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට සහාය වන්නේ ද යන කරුණුත් ඇතුළත් ය. මේවා සියුම්ව අධ්‍යනය කිරීමේ දී පෙනී යන්නේ ලංකාවේ ආර්ථිකය කෙරෙහි යම් ධනාත්මක විශ්වාසයක් ඇති කර ගත හැකි වන්නේ 2028 දී පමණ ය. එය තවත් ආකාරයකට ප්‍රකාශ කළහොත්, අපිට හුස්ම ගැනීමට හැකි වන්නේ 2028 න් පසුවය. ලංකාවේ 2018 පැවති ආර්ථික වර්ධන වේගය 3.1% කි. අපිට එම ආර්ථික වර්ධන වේගය වෙත ලඟා විය හැක්කේ 2028 දීය. එසේත් නැතහොත් 2028 වන විට ලංකාව සිටින්නේ අවුරුදු 10 ක් පිටුපසිනි. මෙය බොහෝ අයට නොතේරෙන බවක් පේන්නට ඇත.

    එම IMF වාර්තාවේ 46 වන පිටුවේ ඇති 6වන වගුවේ දල බාහිර මූල්‍ය (Gross External Financing 2019-2028) අවශ්‍යතා ඉලක්ක රාශියක් ලංකාවේ රජය වෙත ලබා දී ඇත. ඒ අනුව සෑම වසරක් සඳහාම නිශ්චිත අවම ආදායම් සහ වියදම් සීමා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලංකාවේ රජයට ලබා දී ඇත . ආදායම් සීමාව ඉක්මවීම යහපත් වන මුත් එය අවම මට්ටමට වඩා අඩුවීම විශාල ප්‍රතිවිපාක ගෙන දේ. ඒ වගේම , එක් වසරක් නියමිත ආදායම ලබා නොගතහොත් ඊලඟ වසරේ ඉලක්කය තවත් ඉහළ යනු ඇත. වියදම් සීමා ද එසේමය. වියදම අඩුවීම යහපත් වන අතර එය වැඩි වුවහොත් අනිසි ප්‍රතිඵල භුක්ති විඳීමට සිදුවේ.

    සෘජු විදේශ ආයෝජන කෝ..​

    IMF වාර්තාවෙ පිටු අංක 46 ඇති 6වන වගුවට අනුව 2023 වසර සඳහා ලංකාවේ රජය සෘජු විදේශ ආයෝජන (Foreign Direct Investment (FDI)) ඩොලර් මිලියන 950 ක් උපයා ගත යුතුය. එහෙත් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ දත්ත අනුව 2023 පළමු කාර්තුවේ සෘජු විදේශ ආයෝජන හැටියට පැමිණ ඇත්තේ ඩොලර් මිලියන 211 කි. https://www.news.lk/news/political-current-affairs/item/35512
    ලංකාවට මෑත වසර කීපයේදී ලැබී ඇති සෘජු විදේශ ආයෝජන දත්ත සැසඳීමේදී, 2023 ඩොලර් මිලියන 950 ක සෘජු විදේශ ආයෝජන කැඳවා ගැනීම රජයට එතරම් පහසු අභියෝගයක් නොවෙයි. උදාහරණයක් හැටියට 2019 සිට 2022 දක්වා උපයා ගැනීමට හැකි වී ඇති සෘජු විදේශ ආයෝජන පිළිවෙලින් ඩොලර් මිලියන 666, 419, 580, සහ 783 ලෙස වාර්තාවේ 06 වෙනි වගුවේ දක්වා ඇත. රට සාමාන්‍ය තත්වයේ පැවති සමයේ වත් සැලකිය යුතු ආයෝජන නොපැමිණි තත්ත්වයක් තුල ඩොලර් මිලියන 950 ක ඉලක්කය කරා යාම සඳහා රජයේ හෝ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සතු වැඩපිළිවෙළ කුමක්ද ? දැන් මාස හතක් ගත වී අවසානය. එහෙත් දෙවන කාර්තුවේ කොපමණ ආයෝජන පැමිණියේද කියා තවම සඳහනක් නැත. ආයෝජන විමසීම් තිබූ පමණින් ඒවා සාර්ථක ආයෝජන බවට පත්කර නොගන්නේ නම් වෙනත් රටවල් කරා ඒවා ඇදී යනු ඇත.

    2024 සිට 2028 දක්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දී ඇති සෘජු විදේශ ආයෝජන ඉලක්ක පිළිවෙලින් ඩොලර් මිලියන 1280, 1365, 1432, 1529 සහ 1549 ලෙස දැක්වේ. මෙම ඉලක්ක එකක් හෝ කිහිපයක් ඉටුකර ගැනීමට නොහැකි වුවහොත් රජයේ ආදායම් ඉලක්ක වෙනස් වනවාට අමතරව අනෙකුත් ක්ෂේත්‍ර වලින් බලාපොරොත්තු වන ඉලක්ක වලට ද අසීමිත පීඩනයක් ඇති කරනු ඇත.

    කඩේ ඇරගෙන බලා සිටියාට වැඩක් නැත...​

    රජයට හෝ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට ආයෝජකයන් පැමිණෙන තුරු කඩේ ඇරගෙන බලා සිටියාට වැඩක් නැත. ඒ සඳහා වැඩපිළිවෙළක් අවශ්‍ය ය. ආයෝජකයන් බලාපොරොත්තු වන්නේ කුමක් ද? තම ආයෝජනයන් වලට ඇති රජයේ ආරක්ෂාව, දූෂණය වංචාව අවම වීම, නිෂ්පාදන පිරිවැය අඩුවීම, ප්‍රවාහන සහ ගබඩා පහසුව, ආර්ථික ස්ථායීතාවය, දේශපාලන ස්ථාවරත්වය, විනිමය අනුපාත, වෙළෙඳ ගිවිසුම් සහ බදු සහන, පුහුණු ශ්‍රමය සහ ශ්‍රමයේ සාධාරණ මිල , කර්මාන්ත සාමය, ඉඩම්, සහ යටිතල පහසුකම් කඩිනමින් සැපැයීම, කාර්යක්ෂම ගුවන් සහ නාවික ප්‍රවාහන පහසුකම් යනාදිය යි. එහෙත්, ලංකාවේ රජයන් මේවා කෙරෙහි දක්වන අනුග්‍රහය කලාපයේ වෙනත් රටවල් සමග සැසඳීමේදි ඉතා අඩු ය. එය ව්‍යාපාර පහසු දර්ශකය (Ease of Doing Business Index ) දිහා බැලූ විට පැහැදිලි ය. ලංකාව තිබෙන්නේ රටවල් 190 කින් 99 වන ස්ථානයේ ය. දකුණු ආසියාවේ ව්‍යාපාර සඳහා හොඳම රට හැටියට 63 වන ස්ථානයේ ඉන්දියාව පසු වන අතර බූතානය 89 වන ස්ථානයේ ද, නේපාලය 94 වන ස්ථානයේ ද සිටී. අප සිටින්නේ ඔවුන්ටත් පසු පසිනි.
    https://archive.doingbusiness.org/content/dam/doingBusiness/pdf/db2020/DB20-FS-SAR.pdf
    ආයෝජන සඳහා සඳහා හොඳම රටවල් 2020 දත්ත අනුව (Easiest countries to do business (HIGHEREST Ease of Doing Business Index ) පිළිවෙලින් 1 සිට 10 ට, නවසීලන්තය, සිංගප්පූරුව, හොංකොං, ඩෙන්මාර්කය, දකුණු කොරියාව, අමෙරිකාව , ජෝජ්ජියාව, එංගලන්තය, නෝර්වේ සහ ස්වීඩනය තේරී ඇත.
    https://immigrantinvest.com/cbi-guide/best-countries-for-business-en/#:~:text=According to the World Bank's ranking for 2020, it is,and the rule of law

    ඉන්දියාවේ විදේශීය ආයෝජකයෙකුට ආයෝජන අනුමැතියක් ලබා ගැනීමට ගත වන්නේ උපරිම සති 10කි. ආරක්ෂක අංශ වල නිෂ්කාශනයක් (Security Clearance ) අවශ්‍ය නොවන්නේ නම් සති 08න් උවද අනුමැතිය ලබා ගත හැක. https://www.investindia.gov.in/foreign-direct-investment
    එහෙත් ලංකාවේ ඒ සඳහා අවුරුදු ගණනක් ගත වන අවස්ථාද ඇත. මේ වන විට රට තුල ක්‍රියාත්මක ආයෝජන ප්‍රවර්ධන කලාප ඉඩම් අවසන් වී ඇත. උදාහරණයක් හැටියට බියගම 100%, කටුනායක 96%, වතුපිටිවල 100%, වගවත්ත 100% යනාදි වශයෙන් ඉඩම් අවසන් වී ඇත.

    වසර 44 කට BOI එකේ කෙරුවාව...​

    පසුගිය දා BOI විසින් Ready to Invest Opportunities in Sri Lanka නමින් නව ආයෝජන කලාප කිහිපයක් හඳුනාගෙන ඒ පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කර ඇත. එහෙත් , ඒවාට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය විශේෂයෙන්ම විදුලිය අවශ්‍යතාව හෝ ලංකාවේ විදුලි ජනන සැලැස්ම පිළිබඳ නිසි අධ්‍යයනයක් කොට, විදුලි බල මණ්ඩලය සමග සාකච්ඡා කොට (Grid Capacity in identified locations) මෙය සකස් කොට තිබෙනවා ද කියා සැක සහිතය. කලාප බිහිකළ පමණින් , ආයෝජන පැමිණෙන්නේ නැත. ඒ සඳහා අවශ්‍ය ව්‍යාපාර විශ්වාසය ගොඩනැගිය යුතුය. එහෙත් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය 1979 ආරම්භ වී 2022 වන විට (වසර 43) ලංකාවට ලබා ගෙන ඇති සෘජු විදේශ ආයෝජන එකතුව ඩොලර් මිලියන 16,563 කි. එහෙත් ඉන්දියාව 2021 -22 සඳහා ඩොලර් බිලියන 84.83 ක් ද, 2022-23 සඳහා ඩොලර් බිලියන 70.97 ද ලබා ගෙන ඇත. බංග්ලාදේශය 2021 ඩොලර් බිලියන 2.89 ක්ද 2022 ඩොලර් බිලියන 2.56 ක්ද ලබා ගෙන ඇත. එහෙත් ලංකාව අවුරුදු 44 කට? ඩොලර් බිලියන 16.5 කි. මේ පාලකයන් සහ ආයතන ප්‍රධානීන් කෙසේ සතුටු වෙම්ද?

    ලංකාවේ ගෙල සිර කළ මේ දූෂිත දේශපාලකයින් ගැන ඔබ තවදුරටත් විශ්වාසය තබන්නේ නම්..​


    මෙයට හේතුව , ආයතන දේශපාලනීකරණය වීම සහ පැවති සහ පවතින රජයන් වලට මේවා ප්‍රමුඛතා නොවීමයි. ලංකාව මෙසේ පන අදිමින් හෝ බේරී තිබීම ගැන පුදුම විය යුතුය. ලංකාවේ ගෙල සිර කළ මේ දූෂිත දේශපාලකයින් ගැන ඔබ තවදුරටත් විශ්වාසය තබන්නේ නම්, එය ඔබට සිදුවී ඇති බරපතළ රෝගී තත්ත්වයකි. මොවුන්ගෙන් මිදී අදූෂිත පාලනයක් බිහිකොට මේ රටේ අනාගතය උදෙසා නිෂ්පාදන ආර්ථිකයක් ලංකාවේ බිහි කොට ලෝක දර්ශක වලින් ඉහළට ඔසවා තැබීමට පුරවැසියන් වන අප පෙරමුණ ගනිමු. ඒ සඳහා ඔබ සැමට කාරුණිකව ආරාධනා කරමි.

    -ශාන්ත ජයරත්න​

    ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක
     
    • Like
    Reactions: kingcapton