.: තරුවකට පෙම් කලෙමි :.

Status
Not open for further replies.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    .: Part - 21 :.

    ~ updated......(විසිඑක්වෙනි කොටස මෙන්න) ~


    කොහොමද සහෝ කෑම...? අතිවිශිෂ්ටයි නේ..?

    පසුදින උදෑසනම දිනුක බැලීමට පැමිණි සංක එසේ ප්‍රකාශ කලේ පහු ගිය දින දෙකේ ඔවුනට මුහුණ පෑමට සිදුවූ අකරතැබ්බයන් ගැන සිහිපත් කරමිනි...

    සුපර් කියන්නේ නිකන් නෙමෙයි නේ බන්....ඒක නෙවෙයි උඹට දැන් අවුලක් නෑ නේද..? අර කනේ කේස් ඒක එහෙම ශේප්ද..?

    චමත්කාව රැගෙන යාමට පැමිණි එක් මැරයෙකුට පහර දීම නිසා ඊට දැඩි ලෙස ප්‍රති ප්‍රහාර එල්ලවීමෙන් දිනුකට සංකටත් වඩා තුවාල සිදු වී තිබුණි...එම නිසාම ඔහුට තවත් දින කිහිපයක් විවේකීව සිටින ලෙස වෛද්‍යවරුන් විසින් නියම කර තිබුණි....

    ඒක දැන් ශේප් බන්....කනේ පාර වැදිච්ච වෙලේ නම් කීං කීං ගගා තිබ්බ මතකයි අර ෆිල්ම් වල වගේ...ඒක නෙවෙයි උඹ අරුන්ගේ එකෙක්ට ගැහුවද...? උඹ මාර ඩයල් එකක්නේ බන් මට නම් හෙලවෙන්නවත් උනේ නෑ අරුන් වටවෙලා අල්ලගනිද්දී...

    ආයිත් අහල....අතේ තිබ්බ එකෙන් දීල ඇද්ද....මම දැකපු විදියට උට ලස්සනට වැදුන ෂොට් ඒක...වැඩි වෙලා බලන්න උනේ නෑ බන්....සටපට ගාල වැදෙන්න ගත්ත නිකන් පොකුරු බෝම්බ වැදෙනවා වගේ....මොන ඩිරෙක්ෂන් එකෙන්ද වැදෙන්නේ කියලවත් හිතාගන්න බැරි උනා...

    අහ්හ්...ඒක මිසක් උඹ මේ පොලු පාරක් කෙලල වීරයා වෙලා තියෙන්නේ...මම හිතුව අතින් පයින් ගහගෙන කියල....

    කොහොම හරි ගැහුවනෙ බන්....වෙන වෙලාවක නම් මේ වගේ කේස් එකකදී ශේප් වෙන එකනේ කරන්නේ...ඒත් එදා නම් මාර ගැම්මක් ආව බන්....අරුන් දෙකක් තුනක් වගේ හිටිය නම් ගේමක් නැතුව ගහන්න තිබ්බ...

    ඒක ඇත්ත ඔය වගේ වෙලාවට මාර ගැම්මක් එනවා තමයි...අර පෙන්නේ නැද්ද ෆිල්ම් වල එහෙම ප්‍රදාන නිලියට මැරයෝ සෙට් එකක් ඇවිත් පාට් එකක් දැම්මම ප්‍රදාන නළු ඩයල් ඒක ඇවිත් ඉන්න හැම එකාටම ගහන්නේ....ටැමිල් ෆිල්ම් වල නම් පිස්සු හැදිලා වගේ කෙළගෙන යනව ඔය වගේ වෙලාවට....

    සංක චිත්‍රපට සිදුවීම් අලලා ප්‍රකාශයක් ඉදිරිපත් කරේ සිනාසෙමිනි....

    හික්ස්...ඔව් ඉතින් මැරයෝ ටික ෆිල්ම් වල වගේ ගුටි කන්න ලේස්ති වෙලා ආපු එවුන් නම් මටත් ගහන්න තිබ්බ ප්‍රදාන නළුවා වගේ....

    දිනුකද සිනාසෙමින් එසේ පැවසීය...

    ප්‍රදාන නළුවට ප්‍රදාන නිළිය ගැන හිතෙන් නැද්ද මේ වෙලාවේ...?

    සංක ඊළඟ මොහොතේ මතක්‌ කර සිටියේ චමත්කා ගැනය....

    ඇයි නැත්තේ බන්....මට මගේ තුවාල ගැනවත් දැනෙන්නේ නෑ....මම හිතන්නේ එයාට මොනා වෙන්න ඇතිද කියල....දැන් අපි එයාව කොහෙන් කියල හොයන්නද බන්...?

    දිනුකගේ නෙත් වලින් කඳුලු කැටයක් ගලායන අයුරු සංකට දැකගත හැකිවිය....

    මම ඊයේ රෑ නෙට් එකේ රව්මක් දාල බැලුව මචන්...හැම තැනම වගේ කියල තියෙන්නේ චමත්කා රට ගිහින් කියල....එහෙම කියල තියෙන්නේ අර එයා නැවතිලා හිටපු ගෙදර ගෑනි ලු...ෂුවර් එකටම ඇමතියගේ පුතාගෙන් ත්රේට් එකක් එන්න ඇති.....හැබැයි මචන් එක ගොසිප් සයිට් එකක දාල තිබ්බ සුරූපී නිලි චමත්කාව පැහැරගැනීමට ඇමති පුතෙක්ගේ වෑයමක් කියල....ඒකෙ කියල තිබ්බේ එදා අපේ රේස් එක ගැන....මම හිතන්නේ ඒ වෙලේ සීන් එක දැකපු කව්රු හරි නිව්ස් එක දීල තියෙනවා.....

    මචන් සංකයා....අපිට බැරි වෙයිද ඒ සයිට් එකට ඇත්ත සීන් එක කියන්න..?

    ම්ම්ම්...බැරි කමක් නම් නෑ මචන්....ඊයකින් යවන්න විතරයි තියෙන්නේ....අනිවා නිව්ස් එක දායි උන්...මොකද උන්ටත් ඕනි මේවගේ නිව්ස් නේ...අනිත් එක දැන් කට්ටිය ගොසිප් සයිට් වලට යනවත් වැඩියි නේ....අදහස හොඳයි මචන්



    ~ මතු සම්බන්ධයි...... ~

    (මේ කතාවේ ඉතුරු ටිකත් දැනගන්න රැඳෙන්න මේ ත්‍රෙඩ් එක සමග...ඔබගේ වටිනා අදහස් පලකිරීමටද අමතක නොකරන්න)
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    .: Part - 22 :.

    ~ updated......(විසිදෙවෙනි කොටස මෙන්න) ~


    එහෙම නිව්ස් එක ගියාම මීඩියා වලිනුත් මීට වැඩිය හොයල බලයි නේද බන්...?

    දිනුකගේ ප්‍රකාශයේ චමත්කාව නැවත සොයාගැනීමේ නැවුම් බලාපොරොත්තුවක් ගැබ්ව තිබුණි...

    අනිවා සහෝ....ඔය ගොසිප් වල තියෙන ඒවා හෝ ගාල යනවනේ කටින් කටට....දැන් පෙන් නැද්ද අර රෙදි හොරකම් කරපු කේස් එහෙම අල්ලලා එක්කෙනෙක්ගේ රෙදි ගැලවෙන්නම දීල තිබ්බ..

    එහෙනම් මචෝ උඹ කොහොම හරි ඒ වැඩේ කරපං...මට තාම ෆිට් එකක් නෑ බන්....නැත්නම් මම ලියල දෙනවා ආටිකල් එක....

    අවුලක් නෑ බන් උඹ තව රෙස්ට් කරපං....මම මේල් එක යවන්නම් ලෙසටම....ඕනි නම් ඊකෙ එකෙත් ත්‍රෙඩ් එකක් දාන්න පුළුවන්....එහෙම කරලා අපි කොහොම හරි මේකට මීඩියා වල ඇටෙන්ෂන් එක ගන්න බලමු එතකොට චමත්කාව හොයාගන්න පුළුවන් වෙයි....

    මට තියෙන බය අරුන් දැනටමත් චමත්කට මුකුත් කරදරයක් කරලද දන්නේ නෑ....

    ඇමතියාගේ පුතා කියල එහෙමම නටන්නත් බෑ බන් දැන්....චමත්කා කියන්නේත් ෆෙමස් කෙනෙක් නේ...එක නිසා ඒ වගේ මෝඩ වැඩක් කරල මඩ ගාගන්න එකක් නෑ....හැබැයි ඉතින් අරන් ගිහින් නිකන්ම ගෙනත් දෙයි කියලත් හිතන්න බෑ.....

    මම හැමවෙලේම හිතන්නේ එයා මගේ ආයුෂත් අරන් ජීවත් වෙන්න කියල....මට හිතෙනවා එයාව ආයි දැකගන්න ලැබෙයි කියල....

    අනිවා මචන් උඹ කලබල වෙන්න ඕනි නෑ...මේක සංසාරගත බැඳීමක් කියල පහු ගිය ටිකේ සිද්දවෙච්ච ඒවගෙන් මටත් තේරුණා....එක නිසා උඹට අනිවා චමත්කාව ලැබෙයි...මමත් දෙවෙනි මනමාලය වෙයි....

    චමත්කා ගැන සිතමින් පසුතැවෙමින් සිටින තම මිතුරාව එසේ අස්වැසු සංක තම නිවෙසට ගොඩවැදුනේ දිනුක ඉල්ලා සිටි පරිදි චමත්කාට සිදුවූ අකරතැබ්බය පිලිබඳ එම වෙබ් අඩවියට දැනුම් දීම සඳහා ලිපිය සකස් කොට ඉකමනින් එය යොමු කිරීමේ අරමුණෙනි...

    බදුල්ලේදී මැර කල්ලියක් විසින් චමත්කාව පැහැරගෙන ගිය බව සඳහන් කරමින් සංක විසින් නිර්මාණය කර යවන ලද ලිපිය ඊට පැය කිහිපයකට පමණ පසුවම වෙබ් අඩවියේ පලවී තිබෙනු දැකගත හැකිවිය...එමෙන්ම ඔහුගේ ඊමේල් පණිවිඩයට ප්‍රතිචාරයක් එවීමටද එම වෙබ් අඩවියේ ප්‍රදානියා කටයුතු කර තිබුණි.....

    මචන් දිනුක ඔන්න අර වැඩේ හරි....සයිට් එක කරන එකාගෙන් රිප්ලයි එකකුත් ආව...

    එම පුවත පල කර තිබෙනු දුටු විගසම සංක විසින් දිනුකගේ ජංගම දුරකතනයට ඇමතුමක් ලබාදුන්නේය ...

    එච්චර ඉක්මනට නිව්ස් එක දාලද බන්...? පොර මොනාද අහන්නේ..?

    ඔව් බන් වැඩිම උනොත් පැය දෙකක් යන්න ඇති ඊමේල් එක යවල...පොර අහල තිබ්බ සීන් එක දැක්කද කියල....මම ඉතින් වැඩි දෙයක් කිව්වේ නෑ මම කිව්වේ අපි බදුල්ලේ ට්‍රිප් එකක් යනකොට චමත්කා බදුල්ලේ ඉන්නවා දැක්ක,අපි නැවතිලා හිටියේ ගෙවල් ළඟමයි හිටියේ ,පෙරේද රෑ කට්ටියක් ඇවිත් චමත්කව ගෙනියනවා දැක්ක කියල....තව කිව්වා ඇමතිතුමා ගැන කතා වෙනවා ඇහුන කියල ආපු එවුන්...පොරත් කියනවා නිව්ස් එකක් ලැබුනලු චමත්කාව පැහැරගෙන කියල...එක නිසා තව විස්තර හොයා හොයාලු ඉන්නේ....දැන් නම් වැඩේ පත්තු වෙයි මචන්...අපිට ඉක්මනටම එයාව හොයාගන්න පුළුවන් වෙයි.....

    එහෙම උනොත් නම් හොඳයි බන්....

    දිනුක පැවසුවේ චමත්කාගේ ඒ සිත් වසඟ කරනා සිනහව සිහිපත් කරමිනි....


    ~ මතු සම්බන්ධයි...... ~

    (මේ කතාවේ ඉතුරු ටිකත් දැනගන්න රැඳෙන්න මේ ත්‍රෙඩ් එක සමග...ඔබගේ වටිනා අදහස් පලකිරීමටද අමතක නොකරන්න)
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    .: Part - 23 :.

    ~ updated......(විසිතුන්වෙනි කොටස මෙන්න) ~


    පෙරදින පරිදි එදිනද දිනුක ගත කලේ චමත්කා පිලිබඳ මතකයන් තුල ජීවත් වෙමිනි....ඇය සමග ගත කල සෑම මොහොතක්ම චිත්‍රපටයක් මෙන් ඔහුගේ මනසේ දිස්වෙමින් තිබුණි.....නැවතත් ඇයව දැකගැනීමට ලැබේවායි ඇයව මතකයට නැගෙන සෑම මොහොතකම ඔහු ප්‍රාර්ථනා කළේය...

    දිනුකයා....දැන් කොහොමද මචන්...? මම ඩිස්ටර්බ් කරාද මන්ද...

    පසුදින උදෑසනම තම කලණ මිතුරා බැහැදැකීමට සංක පැමිණ තිබුනි..

    මොන ඩිස්ටර්බ් එකක්ද බන්....මම මේ උඹව මතක් කරා විතරයි...

    මෙවන් අවස්තාවක තම කලණ මිතුරා ළඟ සිටීම ඔහුට විශාල ශක්තියක් වී තිබුණි....

    එහෙනම් ප්‍රදාන නිළිය ගැන හිතන ගමන් අපිවගේ සෙසු චරිතත් ලාවට හරි මතක් වෙනවා ආ.....ඔව් ඉතින් එහෙම වෙන්නත් එපැයි....දැන් මම නිව්ස් චැනල් එකක් වෙලානේ තියෙන්නේ...

    සංක ඔවුන්ගේ සුපුරුදු විහිලු කතා විලාසයෙන් එසේ පැවසුයේ දිනුකගේ සිතට යම් කිසි සහනයක් ලබාදීමේ අරමුණෙනි....

    සෙසු චරිතයක් නෙවෙයි බන් උඹත් මේකේ ප්‍රදාන චරිතයක්....මේක ෆිල්ම් එකක් නම් ඒ හැම සීන් එකකදීම උඹ මගේ ළඟ හිටියනේ බන්...

    අනිවා සහෝ මේ ෆිල්ම් එකේ එන්ඩ් එක මොකක් උනත් මම උඹත් එක්ක ඉන්නවා දිගටම...උඹ ඒ ගැන හිතන්න ඕනි නෑ...

    මම දන්නවා මචන්....උඹ මගේ යාලුවෙක්ටත් වැඩිය මගේම සහෝ කෙනෙක් වගේ....

    අනිවා මචන්....ඒක නෙවෙයි මම මේ උදේ පාන්දරම විසිට් එකක් දැම්මේ ඊයේ රෑ නෙට් එකේ තිබ්බ නිව්ස් වගයක් උඹට කියන්නත් එක්ක...

    මොනාද මචන් එයා ගැන තිබ්බේ....

    දිනුක ඉතා උනන්දුවෙන් ඇසීය....

    අපෙ නිව්ස් එක අර සයිට් එකේ දැම්මට පස්සේ තව සයිට් එකකත් ඒකම දාල තියෙනවා....ඒ සයිට් එකේ උන් මේ කේස් එක ගැන චමත්කා නැවතිලා හිටපු තැනින් අහන්න ගිහින්....ඒ උනාට ඒ ගෑනි මුකුත් කියල නෑ....දැන් කොහොම හරි කට්ටිය තරගෙට මේ ගැන හොයනවා....ඊට පස්සේ අපි නිව්ස් එක යවපු එවුන් හොයන් තිබ්බ චමත්කව හංගගෙන ඉන්නේ බණ්ඩාරවෙල පැත්තේ ගෙදරක කියල...ඒ පැත්තේ මනුස්සයෙක් දැකල කියල තියෙනවා එහෙම....ඔන්න ඔහොම හෝ ගාල නිව්ස් යනව දැන් නෙට් එකේ....අද හෙටම අරුන්ට චමත්කව රිලීස් කරන්න වෙනවා....නැත්නම් ඉතින් උන්ටත් කේස් නේ...

    අපි හිතපු විදියට නිව්ස් එක ගියපු එක නම් ලොකු දෙයක් මචන්....එතකොට එදා අරුන් චමත්කව ගෙනියල තියෙන්නේ බණ්ඩාරවෙලට....

    ඔව් බන් අපෙ කිඩ්නැප් ප්ලෑන් වගේ මහා දුරවල් ගෙනියන්න තරම් මෝඩ නෑ උන්...

    ඒක නම් ඇත්ත තමයි.....

    දිනුකද සිනාසෙමින් සංකගේ ප්‍රකාශයට එකඟ වුයේ ඔවුන් දෙදෙනා දුරදිග නොබලා සිදු කිරීමට ගිය පැහැරගැනීමේ සැලැස්ම ගැන නැවතත් සිහිපත් කරන අතරතුරේදීය...

    ආ...සහෝ තව දෙයක් කියන්න තියෙනවා....මට ටිරා කෝල් කරා...උඹට කෝල් අරන් අරන් ආන්සර් කරේ නැති නිසා මට ගත්ත කිව්වා....

    අහ්හ් ඔව් මචන්....මම හිතලමයි ආන්සර් කරේ නැත්තේ...මේ වෙලාවේ ඌට මොනා කියන්නද කියල මට හිතට එන්නේ නෑ....උඹට පුළුවන් නම් ආයි කතා කරපු වෙලාවක පොරට සීන් එක තේරුම් කරලා දීපං....

    ඌට නම් තේරුම් කරන්න පුළුවන් වෙයිද දන්නේ නෑ....පොර උඹත් එක්ක හෙන මලෙන් ඉන්නේ...උඹට හොඳවයින් දෙකක් කියන්න ගත්ත කිව්වේ...වෙලාවට උඹ ආන්සර් කරේ නැත්තේ...පොරට මේ ගැන මොනා මොනා හරි මීටර් වෙලා තියෙනවා මචන්...ඌ අන්තිමට කිව්වා බොලා අපෙන් වාහන ඉල්ලගෙන අපිටම මරිසිය දීල නිලියෝ පස්සේ යන්න ගිහින් ඇනගත්ත නේද කියල....කලින් සැරයකුත් අපි දෙන්න මාට්ටු උනානේ බන් මුට....මම ඉතින් ටිකක් ශේප් කරල දැම්ම....මම උඹට ඕක කිව්වනේ කලින්ම...ඒ වගේම උනා අන්තිමේදී...

    ඔව් මචන් උගේ තරහ සාධාරණයි...අපි එසේ මෙසේ පච නෙවෙයි නේ කෙලියේ...අවුලක් නෑ මේ කේස් එක සෙට්ල් උනාට පස්සේ මෑන්ස් ට ඇත්තම කියල ශේප් කරගන්න බලමු...දැනට ඔහොම හිටපුවාවේ....උගේ වාහනේ අර ඩමෙජ් වෙච්ච ඒවාට සල්ලි දුන්න කිව්වා නේද තාත්තල..?

    අහ්හ් ඔව් ඒක අවුලක් නෑ....වැඩිපුරත් එක්ක සල්ලි ගෙවල තිබ්බ ඒ මනුස්සයට....

    එහෙනම් කමක් නෑ....ඔන්න බලපං මට ඒක මතක් උනෙත් දැන්.....

    ඔව් ඉතින් මේ වගේ පිස්සු වැඩ කරලත් බේරගන්න, අපේ වගේ පෙයරන්ට්ස් ලම ඉන්න හින්ද හොඳයි...

    ඔවුන් කරදරයට පත්වූ මොහොතේ ඉදිරිපත් වී සියලු වැඩකටයුතු කල ඔවුන් දෙදෙනාගේ දෙමාපියන් පිළිබඳද සිහිපත් කිරීමටද සංක අමතක නොකළේය...


    ~ මතු සම්බන්ධයි...... ~

    (මේ කතාවේ ඉතුරු ටිකත් දැනගන්න රැඳෙන්න මේ ත්‍රෙඩ් එක සමග...ඔබගේ වටිනා අදහස් පලකිරීමටද අමතක නොකරන්න)
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    .: Part - 24 :.

    ~ updated......(විසිහතරවෙනි කොටස මෙන්න) ~


    එදිනම රාත්‍රියේදී සංක විසින් දිනුක වෙත හදිසි ඇමතුමක් ලබාදෙන්නේ චමත්කා පිලිබඳ අලුත්ම පුවතක් ඔවුන් තොරතුරු ලබාදුන් වෙබ් අඩවියේ පලවී තිබෙනු දැකීමත් සමගය...

    මචන් දිනුකයා අන්න අරුන් චමත්කාව රිලීස් කරලලු.....

    සංකගේ එම ප්‍රකාශය ඇසෙත්ම දිනුකගේ සිත ප්‍රීතියෙන් ඉපෙලීමට පටන් ගත්තේ ඔහු මෙතෙක් වෙලා ඇසීමට බලපොරොත්තුවෙන් සිටි දෙයම සංකගේ මුවින් පිටවීම හේතුවෙනි...

    දෙයියොන්ට මම කරපු ප්‍රාර්තනාවල් දැනිලද කොහෙද මචන්....මම මේ දැනුත් හිත හිට හිටියේ ඔය ගැනමයි....දැන් එයා කොහෙද ඉන්නවා කියන්නේ...?

    සයිට් එකේ දාල තිබ්බේ නම් හදිසි අනතුරකින් තුවාල ලබා රෝහල් ගතකරල කියල....ඇත්ත තත්වේ නම් මොකක්ද දන්නේ නෑ...

    මුලින් තිබු ප්‍රීතිය කෙමෙන් පහව ගොස් දුක්බර සිතුවිල්ලක් දිනුකගේ සිතේ පැලපදියම් වන්නට පටන් ගත්තේය....

    අරුන් වද දීල ඇති නේද බන්...? එයාට ගොඩක් අමාරුද දන්නේ නෑ....අපිට බැරි වෙයිද එතෙන්ට යන්න...?

    කොහොමද දන්නේ නෑ සහෝ....වැඩි විස්තරයක් තිබ්බේ නෑ....එතෙන්ට ගියා කියල අපිට එයාව බලන්න දෙන එකක් නෑනේ බන්.....ප්‍රයිවට් හොස්පිටල් එකකලු ඇඩ්මිට් කරල තියෙන්නේ....

    කොයි ඒකටත් අපි එතෙන්ට ගිහින් බලමුද මචන්...? මට එයාව බලන්න ඕනි කොහොමහරි...

    උඹ ඔහොම යන්නේ කොහොමද...? අනිත් එක ගෙදරට මොකක්ද කියන්න යන්නේ...?

    තවත් මේවා හංගන් ඉන්න බෑ බන් වෙච්ච හැමදෙයක්ම කියනව මම....

    හ්ම්ම්...එහෙමවත් කරලා බලපංකො එහෙනම්...වැඩේ හරි ගියොත් මාත් එන්නම් ඔය පැත්තට...

    මොවුන් දෙදෙනා මෙතෙක් දෙමාපියන්ගෙන් වසන් කරමින් සිටි සියලුම දේවල් ඔවුන් වෙත පැවසීමට දිනුක ගත් තීරණයට සංකද විරුදදත්වයක් නොදැක්වූයේ තවදුරත් එම කරුණු දෙමව්පියන්ගෙන් වසන් කිරීමෙන් පලක් නොවන බව ඔහුටද සිතුනු නිසාවෙනි....

    මොනාද දරුවනේ ඔයාල මේ කරන පිස්සු වැඩ...?

    දිනුක සිදුවූ සියල්ල මුලින්ම තම මවට පවසා සිටියේ ඇයගේ මාර්ගයෙන් තම පියාට පැවසීමේ අරමුණෙනි...දිනුකගේ එම පාපොච්චාරණය ඇසීමත් සමග යම් තරහක් සිතට දැනුනද එය යටපත් කරගනිමින් මව එසේ පැවසුවේ දිනුකගේ සෞඛ්‍ය තත්වය පිලිබඳ සැලකිලිමත් වූ නිසාවෙනි....

    නමුත් මව මෙන් මේ පිලිබඳ ඉවසා කටයුතු කිරීමක් පියාගෙන් සිදු නොවුනි....සියලු තොරතුරු කන වැකුණු වහාම මහත් කෝපයට පත් ඔහු දිනුකට දිගින් දිගටම බැනවදුනි...කෙතරම් උත්සාහ කලත් තම පියාව අස්වැසීමට නොහැකිවූ හෙයින් දිනුකට සිදුවුයේ නැවතත් තම කාමරයට වී සිටීමටය...

    මචන් සංකයා වැඩේ අවුල් බන්....අම්මව නම් ශේප් කරගත්ත ඒත් තාත්ත අවුල් බන්...

    දිනුක ඉතා දුක්බරව තම මිතුරාට පවසා සිටියේය

    ඔහොම හරි ශේප් උනත් ලොකු දෙයක් නේ බන් අපි කරපු පිස්සු වැඩේ හැටියට....මම කියන්නේ පොඩ්ඩක් ඉවසල ඉදපං....ටික දවසකින් ඕක ශේප් වෙලාම යයි...ඊට පස්සේ අපි ගිහින් එයාව බලමු....දැන් ගියා කියල කොහොමත් උඹට බලන්න දෙන්නේ නෑනේ බන්....මීඩියා කාරයෝ වට වෙලා ඇති හොස්පිටල් එක වටේම....ඒක නිසා පොඩ්ඩක් ශේප් එකේ ඔහෝම හිටපන්කෝ ඔය කේස් සෙට්ල් වෙනකන්....

    සංකගේ එම උපදෙස පිළිගත් දිනුක ඔහු පැවසු පරිදි තත්වය සමතයකට පත්වනතුරු ඉවසා සිටීමට තීරණය කළේය....

    ~ මතු සම්බන්ධයි...... ~

    (මේ කතාවේ ඉතුරු ටිකත් දැනගන්න රැඳෙන්න මේ ත්‍රෙඩ් එක සමග...ඔබගේ වටිනා අදහස් පලකිරීමටද අමතක නොකරන්න)
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    .: Part - 25 :.

    ~ updated......(විසිපස්වෙනි කොටස මෙන්න) ~


    පුතා දිනුක....ආ මේ තේක බීල ඉන්න....

    චමත්කා ගැනම සිතමින් නිදි වර්ජිතව රැය ගත කල දිනුකට නින්ද ගොස් තිබුනේ උදෑසන එලිය වැටුනාටත් පසුව නිසා මවගේ එම ආමන්ත්‍රණය ඔහුට ඇසුනේ අඩ නින්දෙ සිටිද්දීය....

    හිතුවක්කාර වෙන්න එපා ළමයෝ....අපිට ළමයි මහා ගොඩක් නෑනේ....ඉන්නේ ඔයා විතරනේ ..ඉතින් තාත්තට එහෙම තරහ ගියපු එක සාදාරනයි...ඔයාල හිතල බලන්නේ නැතුව කරන්න ගිහින් තියෙන්නේ කොච්චර දරුණු වැඩක්ද....ඇයි පුතා මේ වගේ මෝඩ වැඩක් කරන්න හිතුනේ ඔයා වගේ බුද්දිමත් ළමෙක්ට...?

    දිනුකගේ මව එසේ කියාගෙන ගියේ ඉතාමත් දුක්බර ස්වරයකිනි....තම මවගේ එම වදන් ඇසෙත්ම දිනුකගේ සිතෙද ඔවුන් දෙදෙනා විසින් කිරීමට තැත් කල දෙය පිලිබඳ යම් පසුතැවිල්ලක් ඒ මොහොතේ හටගත්තේය...

    අනේ අම්මේ මාත් දන්නේ නෑ මට මොකක් උනාද කියල....පුදුම විදියට එයාව මගේ හිතට වැදිලා තිබ්බ...මීට කලින් කිසිම ගෑනු ළමයෙක් ගැන එහෙම හිතිලා නෑ...මට දැනුනේ ගිය ආත්මේ මොකක් හරි සම්බන්දයක් එයත් එක්ක තිබුන වගේ....ඉතින් එයා නිලියෙක් නිසා මට වෙන ක්‍රමයක් තිබ්බේ නෑ එයත් එක්ක කතා කරන්න ඒකයි මෙහෙම දෙයක් හරි කරල එයත් එක්ක ටිකක් කතා කරන්න හරි හිතුනේ....මට එයා නැතුව ඉන්න බෑ අම්මේ....මෙහෙම ගියොත් මාව පිස්සෙක් වෙයි...

    දිනුක පොඩි එකෙකු මෙන් කඳුළු පුරෝගනිමින් එසේ ප්‍රකාශ කරනු දුටු මවට තම දරුවා පිලිබඳ විශාල දුකක් මෙන්ම බියක්ද හටගත්තේ ඔහු මීට පෙර කිසිම දිනෙක මෙලෙස හැසිරී නොමැති නිසාවෙනි...

    ඔයා ඔය දුවන්නේ මිරිගුවක් පස්සේ පුතේ....කෝ ඔයා කියන එක තේරුම් ගන්නේ නෑනේ...ඔයාට ඔච්චරම ඔය කෙල්ලව බලන්න ඕනි නම් යන් ඔය නැවැත්තුව කියන හොස්පිටල් එකට හැබැයි මාත් එනවා ඔයාල එක්ක යන්න....මම ඊයේ තාත්ත එක්ක මේ ගැන කතා කරා...එයාගේ නම් කිසිම කැමැත්තක් නෑ මේ වැඩේට....මම මේ ඔයා ඉන්න තත්වේ ගැන හිතල තාත්තගෙනුත් බැනුම් අහගෙන මේ දේ කරන්නේ....පුලුවන්නම් අද එයාව බැලුවට පස්සෙවත් ඔය අදහස හිතින් අත් ඇරගන්න බලන්න පුතේ...මොකද ඕව කවදාවත් කෙරෙන වැඩ නෙවෙයිනේ....හොඳට ඉගෙනගෙන හොඳ තැනකට ගියාම මගේ පුතාට ඔය කෙල්ලට වැඩිය හොඳ කෙනෙක්ව හොයාගන්න පුළුවන්...

    මවගේ එම ප්‍රකාශය ඇසෙත්ම දිනුකගේ හිතට යම් සහනයක් දැනුනේ චමත්කාව දැකගැනීමට අවස්තාව ලැබෙන නිසාවෙනි....එහෙත් මව පැවසු දේවලට පිළිතුරක් ලබාදීම දිනුක මගහැරසිටියේය...

    එහෙනම් පුතා ලේස්ති වෙලා සංක පුතාටත් එන්න කියන්න....වාහනෙන් ගිහින් ඉක්මනට එන්න ඕනි ආපහු...තාත්තට ගමනක් යන්න තියෙනවා කිව්වා...

    පෙරදින රාත්‍රියේ දිනුකගේ මව විසින් තම සැමියාව අස්වැසුයේ දිනුක මානසිකව වැටී සිටින තත්වය පිලිබඳ සිතා බල කටයුතු කල යුතු යැයි පසක් කර දෙමිනි...ඒ අනුව ඔවුන් දෙදෙනා තීරණය කලේ දිනුකගේ සිත සුවපත් කිරීමට මේ අවස්ථාවේදී චමත්කාව දැකගැනීමට සලස්වා පසුව ඔහුගේ හිත කෙසේ හෝ මෙම සිතුවිල්ලෙන් මුදවගැනීමටය...

    මචන් සංක වැඩේ හරි අම්ම කොහොම හරි තාත්තව ශේප් කරල...චමත්කව බලල එන්න යමු කිව්වා...අම්මත් එනවා කිව්වා උඹටත් එන්න කියන්න කිව්වා...දැන්ම වරෙන් හොඳේ...

    චමත්කාගේ සුවදුක් බැලීමට අවස්තාවක් ලැබීම පිලිබඳ තම මිතුරාව දැනුවත් කිරීමට ඔහුගේ ජංගම දුරකතනයට ඇමතුමක් ලබාදුන් දිනුක මෙම වදන් ඔහුට ප්‍රකාශ කර සිටියේ තරමක ප්‍රීතියෙනි...

    ඔහ්හ්...මචං මාර කේස් එකනේ...මම උඹට දැන් කෝල් එකක් ගන්න ගියා විතරයි...ඒ නිව්ස් එක බොරුවක්ලු බන්...

    අනේ බන් මොකක්ද උඹ ඒ සැරේ කියන්නේ...?

    දිනුක විමසා සිටියේ තරමක අමනාපයෙනි..

    මොනා කරන්නද බන් මම මේ උඹට කියන්නේ ගොසිප් කාරයෝ දාන නිව්ස්නේ බන්....මේකයි සිද්දිය අරු වැඩි විස්තර දාල තිබ්බේ නෑනේ...ඉතින් මම මේල් එකක් යවල විස්තර ඇහුව...මොන හොස්පිටල් එකේද ඉන්නේ දැන් තත්වේ කොහොමද කියල....වෙන කව්රුවත් නිසා නෙවෙයි උඹ හින්දම තමයි...ඒ සැරේ පොර රිප්ලයි එකක් එවල තියෙනවා ඒක මාධ්‍ය නොමග යැවීමක්ලු....ඔය කතාව කියල තියෙන්නෙත් අර චමත්කා නැවතිලා හිටපු ගෙදර ගෑනි ලු....එයා කියල තියෙන්නේ චමත්කා එයාර් පෝට් එකේ ඉදල එද්දී ඇක්සිඩන්ට් වෙලා දැන් ප්‍රයිවට් හොස්පිටල් එකක ඇඩ්මිට් කරල ඉන්නවා කියල....ඉතින් කට්ටිය ඉන්න හොස්පිටල් එක මොකක්ද..? දැන් තත්වේ කොහොමද කියල විස්තර අහද්දී කියල තියෙනවා....වැඩි තුවාලයක් වෙලා නැති නිසා හොස්පිටල් එකෙන් ටිකට් කපාගෙන එහෙමම ෂූටිං එකකට ගිහිල්ල කියල බණ්ඩාරවෙල පැත්තට...පොර ඊට පස්සේ සයිට් එකත් අප්ඩේට් කරලා තිබ්බ මාධ්‍ය නොමග යැවීමක් කියල දාල...

    දැන් නම් මට ලොකු බයක් දැනෙනවා බන් මුන් චම්ත්කට මොනා හරි කරලවත්ද කියල....නැත්නම් ඇයි රිලීස් කරන්නේ නැතුව තියන් ඉන්නේ මෙච්චර මීඩියා වලින් හොයද්දි...

    ඒක තමයි බන් හැමෝටම තියෙන ප්‍රශ්නේ....ආ තව එකක් අමතක උනා ඒ අස්සේ ඇමතියාගේ පුතා නිව්ස් වලට කියල තියෙනවලු ඔය ගොසිප් කාරයෝ කියන විදියේ පැහැරගැනීමකට උගේ කිසිම සම්බන්දයක් නෑ..ඕව විරුද්ද පක්ෂේ එවුන්ගේ මඩ ප්‍රහාර කියල...මට පෙන්නේ මොකක් හරි සිද්දියක් වෙලා තියෙනවා මෙතන...මොකද අර ගෑනි කියල තියෙන්නෙත් චමත්කා ආයි බණ්ඩාරවෙලට ගියපු කතාවක්නේ...තව මොකක් හරි කේස් එකකට සෙට් කරන්න හිතාගෙන වෙන්න ඕනි එහෙම නිව්ස් එක යවපන් කියල අරුන් කියන්න ඇත්තේ...

    අනේ මචං ඒ කියන්නේ මට චමත්කාව ආයි දැකගන්න ලැබෙන එකක් නැද්ද...? කොහොමද බන් මම මෙහෙම ඉන්නේ....මට හිතෙනවා බණ්ඩාරවෙල පීරල හරි චමත්කව හොයල බලන්න....මේ නරුමයෝන්ට නම් හෙන හතම වදින්න ඕනි ඒ කෙල්ලට මොනා හරි කරල තිබ්බොත්....

    දිනුක එසේ කියාගෙන ගියේ ආවේගශීලී වෙමිනි...

    මචං මේ ආයිත් සැරයක් පිස්සු කෙලින්න නම් හදන්න එපා හොඳද....උඹට කලින් තිබ්බ වගේ ෆිට් එකක් තාම ඇත්තෙත් නෑ ඔය වගේ වැඩ කරන්න...එක නිසා තව පොඩ්ඩක් ඉවසපන්...චමත්කට එහෙම කරදරයක් කරන්න තරම් මෝඩ වෙන එකක් නෑ මුන්....දැන් කොහොමත් මීඩියා වලින් ඕක හොයනවා....එක නිසා ළඟදීම ඔක්කොම ටික එළිවෙයි....එතකන් දෙයියනේ කියල ටිකක් රෙස්ට් එකේ ඉදපන්....

    තම මිතුරාගේ ක්ෂණික තීරණ පිලිබඳ හොදින් දන්නා සංක එසේ පැවසුයේ නැවතත් දිනුක එවැනි අදහස් ක්‍රියාත්මක කොට අනතුරේ වැටීම වැළක්වීමේ අදහසෙනි....


    ~ මතු සම්බන්ධයි...... ~

    (මේ කතාවේ ඉතුරු ටිකත් දැනගන්න රැඳෙන්න මේ ත්‍රෙඩ් එක සමග...ඔබගේ වටිනා අදහස් පලකිරීමටද අමතක නොකරන්න)
     
    • Like
    Reactions: prageeth119lk

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    .: Part - 26 :.

    ~ updated......(විසිහයවෙනි කොටස මෙන්න) ~



    දින සති බවට පත්වෙමින් තිබුණි එහෙත් තවමත් චමත්කා පිළිඹඳ නිවැරදි තොරතුරක් අනාවරණය වුයේ නැත....පහර කෑම නිසා හටගත් තුවාල සුව වී තිබුනද දිනුකගේ සිතේ හටගෙන තිබු තුවාලය තව තවත් පෑරෙමින් තිබුණි...පසු ගිය දින කිහිපයම ඔහු ගත කලේ චමත්කා සමග ගෙවූ ඒ මතකයන් තුල ජීවත් වෙමිනි...

    අඩා දිනුකයා, නැගිටපං උඹ මගේ රෙකෝඩ් එක කඩල වගේ..?

    සුපුරුදු පරිදි පෙර දින රාත්‍රියද නිදි වර්ජිතව ගත කල හෙයින් දහවල් සංක පැමිණ එසේ පවසන තෙක්ම දිනුක තද නින්දක පසුවීය...

    අහ්හ් උඹ දැන් ද ආවේ..? රෑට නින්ද යන්නේ නෑ බන්....මට නම් දැන් පිස්සු හැදිලා ඉන්නේ....

    අමුතුවෙන් හැදෙන්න දෙයක් තිබ්බද බොල.....උඹට ඒ කාලේ ඉඳලම ඕක තිබ්බනේ...

    විහිලු නෙවෙයි බන්....මෙහෙම ගියොත් එක්කෝ පිස්සෙක් වෙයි නැත්තන් මොකක් හරි වෙන ලෙඩක් හැදෙයි...

    ගියපු දේවල් ගියාවේ, ඒ දේවල් අමතක කරලා දාපං වගේ කතා මේ වෙලාවේ මම උඹට කියල වැඩක් නෑ මොකද උඹ ඉන්න තත්වේ මොකක්ද කියල හොඳටම දන්න එකානේ මම....ඒක නිසා මම කියන්නේ උඹට තව ටිකක් ඉවසල ඉදපං කියල කාලෙත් එක්ක ඔක්කොම හරියයි මචන්....අපිට වෙන කරන්න දෙයක් නෑනේ බන් මේ වෙලාවේ....

    අනේ මන්ද බන් උඹ ඔය කියන කාලේ කවද එයිද කියල....ඒක නෙවෙයි මචන් අලුත් නිව්ස් මුකුත් නැද්ද?

    අහ්හ් ඒ ගැන කියන්නත් එක්ක තමයි මම මේ ආවේ....අලුත් නිව්ස් එකක් යනවා මේ දවස් වල, චමත්කව කප්පම් ගැනීමේ අරමුණින් පැහැරගෙන යද්දී ඇය ඔවුන්ගෙන් මිදී පලායයි කියල...පැහැරගන්න හදපු සෙට් එකත් පොලිසියෙන් අල්ලලු....උන් වැරැද්ද පිලි අරගෙනලු...මේක නම් කන්ෆර්ම් නිව්ස් එකක් මචං ටීවී එකෙත් ගියා...උඹට මොකද හිතෙන්නේ මේක ඇහුවම?

    තවත් කෙප්පයක් නේද..? ෂුවර් එකට අරුගේ ප්ලෑන් එකක් වෙන්න ඇති....

    දිනුක පැවසුයේ සංක සිතාගෙන සිටි දේමය...

    හරියට හරි ඔන්න ඕකම තමයි මටත් හිතුනේ...හැබැයි මචන් පොඩි ඇත්තකුත් තියෙනවා වෙන්න බැරි නෑ....සමහරවිට එදා අරුන් සෙට් එක අරන් යද්දී එයා කොහොම හරි පැනගත්තද දන්නෙත් නෑනේ...

    අනේ එහෙම උනොත් නම් ලොකු දෙයක් මචන්....මම හැම තිස්සෙම හිතන්නේ එයාට කොහොම හරි මේ ප්‍රශ්නෙන් ගැලවෙන්න ලැබෙන්න කියල....

    උඹ අවුල් නොවී ඉදපං සහෝ මම නම් කියන්නේ චමත්ක කොහොම හරි උන්ගෙන් බේරිලා පැනල ඇති...නැත්නම් මෙච්චර කේස් දාද්දි ඕකුන් එයාව රිලීස් නොකර ඉන්නේ නෑ....

    දිනුකව අස්වැසීමේ අරමුණින් එසේ කීවද ඇමති පුත් සහ ඔහුගේ මැර පිරිස විසින් චමත්කාව මරණයට පත් කර ඇත්දැයි සැකයක්ද සංකගේ සිතේ කොනක හටගෙන තිබුණි....


    ~ මතු සම්බන්ධයි...... ~

    (මේ කතාවේ ඉතුරු ටිකත් දැනගන්න රැඳෙන්න මේ ත්‍රෙඩ් එක සමග...ඔබගේ වටිනා අදහස් පලකිරීමටද අමතක නොකරන්න)
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    .: Part - 27 :.

    ~ updated......(විසිහත්වෙනි කොටස මෙන්න) ~


    කප්පම්කරුවන් පිරිසක් විසින් චමත්කාව පැහැරගෙන ගොස් බණ්ඩාරවෙල ප්‍රදේශයේ යම් ස්ථානයක සිරකර තබාගෙන සිටියදී ඇය ඔවුන්ගෙන් මිදී පලා ගොස් ඇති බවත්.....මීට ඉහතදී චමත්කා නැවතී සිටි නිවසේ කාන්තාව සාවද්‍ය ප්‍රකාශ ඉදිරිපත් කලේ කප්පම් කරුවන්ගෙන් එල්ල වූ බලපෑම නිසා බවත්...නවතම පුවත ලෙස පසු ගිය දින කිහිපය තුල වාර්තා විය....

    මචන් දිනුකය අන්න අර ගෑනි ඒ සැරේ කියනව කප්පම් කාරයෝ බලපෑම් කරපු නිසා චමත්ක ගැන බොරු කතා දැම්ම කියල....ඇමතිය කියන කියන විදියට මේ ගෑනි නටනවා වගේ....

    තම මිතුරාට ඇමතුමක් ලබාගත් සංක චමත්කා සිටි නිවසේ හිමිකාරිනියගේ නවතම ප්‍රකාශය පිලිබඳ දැනුම් දුන්නේ එලෙසිනි...

    ඔව් මචන් මම ඊයේ රෑ නිකමට නිව්ස් බලද්දී ඔය සීන් එක දැක්ක...,උඹ මොනා කියයිද දන්නේ නෑ,මම මේ තව පිස්සු වැඩක් කරන ගමන් ඉන්නේ....

    පිස්සු වැඩක්..? ඒ සැරේ උඹ මටත් නොකිය පිස්සු කෙලිනවද?

    සොරි මචන්,ආපහු සැරයක් උඹවත් මේ කේස් වලට පටලවාගෙන අමාරුවේ දාන්න ඕනි නෑ කියල හිතිච්ච නිසා උඹට කිව්වෙත් නෑ...තරහ වෙන්න නම් එපා සහෝ....මට තවත් ගෙදරට වෙලා ඉවස ඉවස ඉන්න බෑ....ඒක නිසා මම ලියුමක් ලියල තියල ගෙදරින් ආව....දැන් මම ඉන්නේ කොළඹ - බදුල්ල බස් එකක....මේකේ ගිහින් බණ්ඩාරවෙලින් බැහැල එහෙ නැවතිලා ඉඳල හරි චම්ත්කව හොයනවා මචන්....

    උඹ ළඟක හිටිය නම් හොම්බට දෙකක් අනිනවා ඇත්තමයි....ඇයි යකෝ මම උඹට කොච්චර නම් කිව්වද ඉවසල ඉදපං කියල....බලපන් ඉතින් ආයිත් ඒ පිස්සුවම කෙලලනේ...වැඩක් නෑ බන් බොලා වගේ එවුන් එක්ක කතා කරල උඹට ඕනි මගුලක් කරගනින්....

    දිනුක විසින් හදිසියේ ගත් මෙම තීරණයටත් වඩා ඔහු ඒ පිළිබඳව තමන්ගෙන් වසන් කර සිටීම පිලිබඳ සංකගේ සිතේ දැඩි කෝපයක් ඇතිවිය.


    මචන් සංකයා,අවුල් යන්න එපා බන්....මම උඹට කිව්වේ නැත්තේ උඹවත් ආයි අමාරුවේ වැටෙන නිසා....මම දැන් කොහොමත් මේ ප්‍රශ්නේ නිසා මන්ද වෙලානේ බන් ඉන්නේ....ඒක නිසා මට මොනා උනත් කමක් නෑ මචන්....ප්ලීස් මචෝ තරහ වෙන්න නම් එපා මාත් එක්ක...

    නැවතත් සංකගේ ජංගම දුරකතනයට ඇමතුමක් ගත් දිනුක ඉතා දුක්මුසු ස්වරුපයෙන් කියා සිටියේය..

    උඹ ඔය පිස්සු වැඩ කරන්න කලින් අඩුම තරමේ අම්ම තාත්ත ගැනත් පොඩ්ඩක් හිතන්න තිබ්බ කලින් පිස්සුවේදීත් මම ඕක උඹට කිව්වා.....උඹ ඒ ගැන හිතන්නෙම නෑනේ බන්....ඒ මිනිසුන්ට දරුවෝ මහා ගොඩක් නෑ නේද ඉන්නේ උඹ විතරයි....කොහෙද හිටපු නිලියක් නිසා මෙහෙම පිස්සු කෙලින්න කලින් උඹට ඒ මිනිස්සු ගැනත් පොඩ්ඩක් හිතන්න තිබ්බ....අනිත් එක මම උඹට ඉවසපන් කිව්වේ හේතුවක් ඇතුව...මේ කේස් ටිකක් ශේප් වෙලා ගියාම උඹත් එක්ක මේ ගමන යන්න තමයි මාත් හිතන් හිටියේ...මම එෆ් බී එකෙන් සෙට් වෙච්ච ෆ්‍රෙන්ඩේක් ටත් කියල තිබ්බේ මේ ගැන....පොරත් කිව්වා ඕනි සප් එකක් දෙන්නම් කියල....කොහෙද ඉතින් උඹට තව ටික දවසක් ඉන්න බැරි උනානේ...

    වෙරි සොරි මචන්....උඹ මට ඒ ගැන නිකන්වත් කියල තිබ්බේ නෑනේ....මට තවත් ගෙදරට වෙලා පිස්සෙක් වගේ ඉන්න පුළුවන් කමක් තිබ්බේ නෑ බන්...උඹ කියන කතාව හරි...මම ගෙදර ගැන හිතුව මදි තමයි....ඒ ගැන මටත් දුකයි මචන්....ඒක නිසා මම කරන්න ඉන්න හැමදෙයක්ම ලියුමේ ලියල තියල ආවේ....මම හිතන්නේ අම්මයි තාත්තයි මම ඉන්න තත්වේ ගැන තේරුම් ගනියි...මට කොහොම හරි චමත්කව හොයාගන්න ඕනි බන්...මම කොහොම හරි ඒක කරනවා....

    මම ඒ ගැන උඹට පස්සේ කියන්න හිටියේ....දැන් ඉතින් ඒ ගැන කතා කරල වැඩක් නෑ...හරි එහෙනම් උඹ ඔය යන ගමන පරිස්සමෙන් පලයන්...මම අර ෆ්‍රෙඩා එක්ක කතා කරල උඹට එහෙ ඉන්න පුලුවන්ද කියල බලන්නම්...නැත්නම් ඉතින් පාරේ තමයි ඉන්න වෙන්නේ බොට...

    දිනුක පිලිබඳ මුලින් ඇති වූ අමනාපය කෙමෙන් කෙමෙන් පහවගොස් ඔහු පිලිබඳ දුකක් සංකගේ සිතේ හටගත්තේය...

    මාව තෙරුම්ගත්තට තෑන්ක්ස් මචන්....එහෙම පුලුවන් උනොත් ලොකු උදව්වක් මචන් එහෙම නැති උනත් පාරේ හරි ඉඳල මම එයාව හොයාගන්නවා.....

    දිනුක දැඩි අධිෂ්ටානයකින් කියා සිටියේය....



    ~ මතු සම්බන්ධයි...... ~

    (මේ කතාවේ ඉතුරු ටිකත් දැනගන්න රැඳෙන්න මේ ත්‍රෙඩ් එක සමග...ඔබගේ වටිනා අදහස් පලකිරීමටද අමතක නොකරන්න)
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    .: Part - 28 :.

    ~ updated......(විසිඅටවෙනි කොටස මෙන්න) ~


    චමත්කාව කෙසේ හෝ සොයගන්නේයැයි අදිටන් කරගෙන සිටියද ඇයව සෙවීමේ කටයුත්ත කෙලෙස සිදු කරන්නේදැයි අදහසක් දිනුකගේ සිතේ නොවුණි....සංක කියූ පරිදි දුර දිග නොබලා තමා ගත් මෙම තීරණය පිලිබඳ පසුතැවීමක් ඔහුගේ සිත තුල හටගත්තද ඒ පිලිබඳ අමතක කර දැමු ඔහු කුමන ආකාරයකින් හෝ මෙම කටයුත්ත කිරීමට සිතා ගත්තේය.

    මචන් උඹ දැන් කොහෙද ඉන්නේ...?

    දිනුක වෙත ඇමතුමක් ලබාගත් සංක එසේ විමසා සිටියේය...

    මම මචන් දැන් බණ්ඩාරවෙල ටව්න් එකේ ඉන්නේ....එයාව හොයන ඒක කොහෙන් පටන් ගන්නද කියල හිතාගන්න බැරුව බන් මම ඉන්නේ....දැන් නම් හිතෙනවා උඹවත් හිටිය නම් කියල....

    කොහෙද ඉතින් උඹට ඔය කුලප්පුව හැදුනේ නැත්නම් අපිටත් සප් එකක් දෙන්න තිබ්බ....වීරයා වගේ ගියා නම් ඉතින් ඉතුරු වැඩ ටිකත් ඒ විදියටම කරගනින්....ඔන්න මට පුළුවන් උදව්ව මම උඹට කරා...මම අර ෆ්රේඩාට උඹ ගැන විස්තර ටික කිව්වා....දවස් කීපෙකට උගේ ගෙදර ඉන්න පුළුවන් උඹට...ටව්න් එකේ ඉඳල වැඩි දුරක් නැ කිව්වා....මම උඹට නම්බර් එක දෙන්නම් උට කෝල් එකක් ගනින් පොර එතකොට එන විදිය කියයි.....

    ලොකු උදව්වක් සහෝ...උඹට පින් සිද්දවෙනවා මේ කරන උදව් වලට....

    හරි එහෙනම් පින් ටිකක් දාල තියපංකෝ මගේ අකවුන්ට් එකට ලබන ආත්මේ නළු බට්ටෙක්වත් වෙන්න බැරියැ...ඒක නෙවෙයි කරන වැඩක් පරිස්සෙමෙන් කරපං...මගේ ෆ්රේඩත් හෙල්ප් එකක් දෙයි උඹට....පොර ඕ ලෙවල් කරල ෆ්‍රී එකේ ඉන්න මල්ලි කෙනෙක්....උඹ ඒ පැත්ත ගැන දන්නෙත් නැති නිසා උගෙන් විස්තර අහගන්න පුළුවන්....හැබැයි මම ඇත්තම විස්තරේ ඌට කියල තියෙන්නේ....

    ඕකේ මචා ඒකට කමක් නෑ....

    හරි එහෙනම් පරිස්සමෙන් වැඩේ කරපං....ඔහේ වෙන දේවල් ගැන කියල මාව අප්ඩේට් කරපං හොඳද ..එහෙනම් අපි තිබ්බ...

    අනිවා මචන්....

    සංක ලබාදුන් දුරකථන අංකය ඔස්සේ ඔහුගේ මිතුරාව සම්බන්ධ කරගත් දිනුක තවත් ටික වෙලාවක් බණ්ඩාරවෙල නගරයේ රැදී සිට එම නිවස වෙත ගමන් ඇරඹීය...

    ආ අයියා එන්න එන්න....මම මේ හන්දියට එන්න කියල හැදුවේ පරක්කු වෙච්ච නිසා පාර හොයාගන්නවත් බැරි උනාද කියල හිතල.....

    ආහ්හ් නෑ මල්ලි මම පොඩ්ඩක් ටව්න් එකේ රව්මක් ගහල ආවේ....එකයි ටිකක් පරක්කු උනේ....මල්ලිලට කරදරයක් නෙවෙයිද මම මෙහෙම එක පාරට කඩන් පාත් වෙච්ච ඒක?

    අයියෝ මොන කරදරයක්ද අයිය....අයියගේ කේස් එක ගැන ඔක්කොම විස්තර මට සංක අයිය කිව්වා....අයිය වගේ කෙනෙක්ට සප් නොකර බෑනේ...අනිත් එක සංක අයිය කියන්නේ ඊකෙ එකේ මගේ එලම ෆිට් එකක්....මට ගොඩක් හෙල්ප් කරලා තියෙනවා....මම දවසක් කොළඹ ආපු වෙලාවක සංක අයියලාගේ ගෙදරින් තමයි ලන්ච් එකත් ගත්තේ...ඒක නිසා සංක අයියගේ බෙස්ට් ෆ්‍රෙඩට හෙල්ප් එකක් දෙන ඒක මට කරදරයක් නෙවෙයි....මාත් මේ දවස් ටිකේ ගෙදරට වෙලා නිකන් කකා බිබී ඉන්න එක කරන්නේ ...ඒක නිසා මටත් පුළුවන් අයියට හෙල්ප් එකක් දෙන්න...

    මේක නම් ලොකු හෙල්ප් එකක් මලයා තෑන්ක්ස් අ ලොට්....



    ~ මතු සම්බන්ධයි...... ~

    (මේ කතාවේ ඉතුරු ටිකත් දැනගන්න රැඳෙන්න මේ ත්‍රෙඩ් එක සමග...ඔබගේ වටිනා අදහස් පලකිරීමටද අමතක නොකරන්න)
     
    • Like
    Reactions: kitZrocks

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    .: Part - 29 :.

    ~ updated......(විසිනවවෙනි කොටස මෙන්න) ~


    අයිය දැන් වැඩේ කොහෙන්ද පටන් ගන්න හිතන් ඉන්නේ...? කිසිම හෝඩුවාවක්වත් නැතුව මේ පැත්තේ කෙනෙක්ව හොයනවා කියන එක නම් ලේසි වෙන්නේ නෑ...

    නමින් ගීත් නම් වූ සංක හඳුන්වා දුන් මෙම මිතුරා දිනුකට සැලකුවේ ඔහුගේම සොහොයුරෙකුට මෙනි...මව සහ පියා විදේශ ගතව සිටින නිසා ගීත් සමග සිටියේ ඔහුගේ නැන්දා සහ මාමාය...ඔවුන්ට දරුවන් නොමැති නිසා ගීත්ව තාමගේම දරුවෙකු මෙන් හදාවඩා ගැනීමට ඔවුන් කටයුතු කලහ...ගීත් කුඩා කල සිටම තනිව හැදුනු වැඩුණු අතර අන්තරජාලය ඔස්සේ කතා බහකොට හදුනාගත් යහළුවන් බොහෝ පිරිසක් ඔහුගේ මිතුරන් බවට පත්වී තිබුණි....

    ඒක තමයි මල්ලි මාත් මේ කල්පනා කරේ.....කොහෙන් පටන් ගන්නද කියල නම් අදහසක් මටත් නෑ...හැබැයි කොහොම හරි එයාව හොයාගෙන තමයි මම ආපහු මෙහෙන් යන්නේ....

    හ්ම්ම්...හරි අපි එහෙනම් මෙහෙම කරමු හෙට උදේ ටවුන් එකට ගිහින් මම අදුරන තැන් වලට කියල තියන්නම් මෙහෙම කෙනෙක් දැක්කොත් පොඩ්ඩක් කියන්න කියල...ත්‍රීවීල් පාක් එකේ කීප දෙනෙක් ඉන්නවා උන්ට කිව්වොත් නම් පොඩි හෝඩුවාවක් හරි හොයාගන්න බැරි වෙන එකක් නෑ.....

    අදහස නම් හොදයි මලයා ඒත් මෙයාව හැමෝම දන්නා නිසා මෙයාව කිඩ්නැප් කරපු කතාවත් කට්ටිය දන්නවනේ....අපි මෙයාව හොයනවා කියල ඒ අයට කිව්වම ප්‍රශ්න කෝටියක්‌ අහයිද දන්නේ නෑ...

    අහ්හ් එහම කේස් එකකුත් තියෙනවා නම් තමයි එහෙනම් මම හොදටම අදුනන එකෙක් ඉන්නවා එතන...පොරට විතරක් ශේප් එකේ විස්තරේ කිව්වනම් හරි.....

    එහෙනම් එහෙමවත් කරමු මල්ලි...ඔයා කිව්වා වගේ අපිට විතරක් මෙයාව හොයන එක ලේසි වෙන එකක් නෑ තමයි.....

    මෙම සංවාදය අතරතුරේ දිනුකගේ ජංගම දුරකථනය නාද වීමට පටන් ගත්තේය....

    අඩෝ උඹ ඔය අප්ඩේට් කරන හැටිද...?

    ඇමතුම සංකගෙනි


    අහ්හ් මචා, එහෙම විශේෂ දෙයක් නම් උනේ නෑ බන් මම මේ ගීත් මලය එක්කත් කතා කර කර හිටියේ චමත්කව හොයන එක පටන් ගන්නේ කොහොමද කියල....මේ මලය නම් එල කොල්ලෙක් මචන්...උඹ වගේම මට සප් ඒක දෙනවා වැඩේට.....

    අනිවා අපේ ෆ්රේඩාලත් අපි වගේම තමයි.....දැන් උඹ හෙට මොනාද කරන්න ඉන්නේ? බණ්ඩාරවෙල ටවුන් එක පීරනවා කිව්වා නේද?

    කතාවට එහෙම කිව්වට මචන් හොයන්න ගියාම තමයි පිස්සු හැදෙන්නේ....ටවුන් එක අවුලක් නෑ එච්චරම ලොකු නෑනේ....ඒත් වතු අරව මේවගේ හොයන්න ගියොත් නම් අවුරුද්දක්වත් යයි....ගීත් මලය කිව්වා හෙට අදුනන කීප දෙනෙක්ට කියල තියමු කියල මේ ගැන...ත්‍රීවීල් පාක් එකේ ෆිට් එකක් එහෙම ඉන්නවලු.....ඒ වගේ කීප දෙනෙක්ට කියල තිබ්බම පොඩි හරි හෝඩුවාවක් හොයාගන්න පුළුවන් වෙයිනෙ...

    හ්ම්ම් ඒක නම් හොඳයි....හැබැයි මචන් වැඩේ දැන් ගොඩක්ම පත්තුවෙලා තියෙන්නේ හොඳද....රහස් පොලිසියෙනුත් මේ ගැන හොයන්න පටන් අරන් කියල කතාවක් යනව....උඹල ඕව අනිත් එවුන්ට කියන්න ගිහින් උඹල දෙන්නටත් හිරේ යන්න වෙයිද දන්නේ නෑ....ඒක නිසා හොඳම ෆිට් එවුන්ට විතරක් කියන්න කියපං.....

    ඇති යාන්තම් පොලිසියට හිතිලා තියෙනවා....මෙච්චර කල් කිසිම ඇක්ෂන් එකක් ගත්තේ නෑනේ බන්....මොකද දන්නේ නෑ ඒක පාරටම....සමහරවිට අරුන්ටත් දැන් චමත්කව හොයාගන්න ඕනි වෙලා හින්ද පොලිසිය දාල වැඩේ කරගන්න යනවද දන්නේ නෑ....

    එහෙම වෙන්නත් පුළුවන්.....නෙට් එකේ තිබ්බෙනම් මීඩියා වලින් ප්‍රශ්න කරන නිසා පොලිසිය වැඩේට බැහැල කියලා....කොහොම හරි කමක් නෑ හොයාගන්න පුළුවන් උනොත්....එකනේ මම උඹට කිව්වේ පොඩ්ඩක් ඉවසපන් කියල....

    හරි මචන් අවුලක් නෑ දැන් ආපු එකේ මාත් හොයල බලන්නම්කෝ....සමහරවිට පොලිසියට කලින් මට හම්බවෙන්නත් පුළුවන්නේ....

    ආ ඔව්නේ උඹේ ගිය ආත්මේ ෆිට් එකක්නේ, හරි හොයල බලපංකො එහෙනම්....ඒක නෙවෙයි උඹ ගෙදරට කෝල් එකක් ගත්තද..? බලපං ඒ මිනිස්සු අරහේ කොච්චර දුකකින්ද ඉන්නේ....මම ගිහින් පුළුවන් තරම් ශේප් කරා උඹලගේ අම්මව....අන්කල් නම් මූණ බැලුවේවත් නෑ.....

    මාත් අම්මට කතා කරා....හෝ ගාල අඬන්න ගත්ත බන්....මට ඒ වෙලේම ගෙදර යන්නත් හිතුන...ඒත් පස්සේ ටිකක් කතා කරාම ශේප් උනා....මම කිව්වා තව දවස් දෙක තුනක් බලල එයාව හොයාගන්න බැරි උනොත් එනවා කියල....තාත්ත නම් හෙන කෙන්තියෙන්ලු ඉන්නේ අම්මටත් බැනල ....

    ඔය ගැන තමයි බන් මම උඹට කලින් කිව්වේ...කොහෙද උඹ ගන්න ඩිසිෂන් ගැන උඹ දන්නෙත් නෑනේ....හරි දැන් එහෙනම් ඔය වැඩේ බලපංකො.....එහෙනම් හෙට මට විස්තරේ කියපං...අපි අත අරිය එහෙනම්...

    හරි මචන් මම උඹට හෙට කෝල් එකක් දෙන්නම්....බායි මචා!



    ~ මතු සම්බන්ධයි...... ~

    (මේ කතාවේ ඉතුරු ටිකත් දැනගන්න රැඳෙන්න මේ ත්‍රෙඩ් එක සමග...ඔබගේ වටිනා අදහස් පලකිරීමටද අමතක නොකරන්න)
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    .: Part - 30 :.

    ~ updated......(තිස්වෙනි කොටස මෙන්න) ~


    ගීත් විසින් යෝජනා කල පරිදි පසුදා උදෑසනින්ම ඔවුන් දෙදෙනා බණ්ඩාරවෙල නගර මධ්‍යයේ වඩාත් කාර්යබහුල ස්ථානයක තිබු ත්‍රීවීල් නැවතුම්පලක් වෙතට ගමන් ඇරඹුවේ චමත්කා පිලිබඳ කිසියම් හෝ තොරතුරක් ඔවුන්ගෙන් දැනගනීමට හැකිවේයැයි සිතුවිල්ලක්ද සිතේ ඇතිවය....

    ආ වජිර බ්‍රෝ....දුක් සැප කුමන්දා...?

    ගීත් කලින් ප්‍රකාශ කල ඔහුගේ වඩාත් හිතවත් මිතුරා ඔහුය...

    අප්පා මේ අපේ ගීත් මලයනේ....දුක හදේ සැප කනේ තමයි මලයෝ....මොකෝ මේ පැත්තේ?

    වජිර නැමැත්තා පෙරලා ප්‍රශ්නයක් ඉදිරිපත් කලේ ඒ අයුරිනි.....

    ලොකු හෙල්ප් එකක් ඕනි වෙලා තියෙනවා බ්‍රෝ.....මේක හෙන සීරියස් කේස් එකක්....ඒ වගේම සීක්රට් කේස් එකක්.....බ්‍රෝ මගේ එලම ෆිට් එකක් නිසා තමයි මේක කියන්නේ....කාටවත් කියන්න නම් එපා ඔන්‍න‍....

    මලය දන්නවනේ කාටවත් කියන්න එපා කියල කව්රු හරි මට කියපු දෙයක් මැරුවත් මම කියන් නෑ කියල....

    අනිවා බ්‍රෝ....ඒක තමයි මම මේක බ්‍රෝ ටම කියන්නේ....

    හරි හරි දැන් කියපන්කො බලන්න ඔය සීරියස් කේස් එක.....

    බ්‍රෝ දන්නවද චමත්කා සූරියබන්ඩාරව...?

    කව්ද බන් ඒකිව නොදන්නේ....මේ දවස් වල හෙන නිව්ස් යනවනේ ඒක ගැන...

    අන්න හරි එයා තමයි....මේ ඉන්නේ දිනුක...මෙයාගේ ලව් එක තමයි චමත්කා....

    අප්පට සිරි....උඹ මට ජෝක් එකක් කරනවා එහෙම නෙවෙයි නේද?

    පිස්සුද බ්‍රෝ මේක සිරා ස්ටෝරි එකක්....මෙන්න මේකයි සීන් එක.....

    සංක විසින් ගීත්ට පවසා තිබූ සියලුම විස්තර සහ ඊට අමතරව දිනුකගෙන්ද අසන්නට ලැබූ විස්තර එක් කොට නවකතා පොතක් කතාවක ආකාරයෙන් රසවත් ලෙස මෙතෙක් සිදු වූ සියල්ල වජිරට පැවසීමට ගීත් සමත් විය....

    පට්ට ස්ටොරියක් නේ.....ෆිල්ම් එකක් හරි ටෙලිනාට්‍යක් හරි හදන්න වටිනවා බන් මේකට...

    ඒක නම් ඇත්ත.....ඒත් ෆිල්ම් එකට ඉන්න ඕනි ප්‍රදාන නිළියව කොහොම හරි හොයන් ඉන්න ඕනි ඔක්කොමටම ඉස්සෙල්ල....

    හ්ම්ම්...හරි මට උඹල දෙන්නට කියන්න නිව්ස් එකක් තියෙනවා....හැබැයි මේක උඹල දැනටමත් දන්නවද දන්නෙත් නෑ....

    වජිරගේ එම ප්‍රකාශය දිනුකගේ සිතේ යම් සතුටක් ඇති කිරීමට සමත් වුයේ ඔහු චමත්කා පිලිබඳ කිසියම් දෙයක් පැවසීමට යනබව ඔහුට දැනුනු නිසාවෙනි....

    අවුලක් නෑ බ්‍රෝ කියන්න බලන්න....

    උඹල ඔය කියන විදියට නිළියව අරන් එද්දී උන්ගේ වෑන් එක අපේ පාක් එකේ එකෙක්ගේ වීල් එකේ ගෑවීගෙන ගිහින් තියෙනවා....දන්නවනේ ඉතින් අපේ උන් ගැන මුන් වැඩේ අත ඇරලා නෑ..උන්ගේ පස්සෙන් ෆලෝ එකක් දීල තියෙනවා....

    ඒ කියන්නේ චමත්කව ගෙනියපු තැන දැකලද...?

    මෙතෙක් වෙලා නිහඬව සිටි දිනුක එය හිතාමතා ප්‍රකාශ කළා නොවේ ඔහුගේ මුවින් එය ඉබේම පිටවිය...

    ඉදපංකෝ මලයෝ කියනකන්....ඉතින් අපේ එවුන් ෆලෝ කරනවා කියල පොරවල්ට පෙනිලා වැඩේ වන වේගන එනවා කියල හිතිච්ච නිසා උන් ස්ලෝ කරලා අපේ එකාට කියල තියෙනවා...වැඩි ඩැමෙජ් එකක් නෑනේ,අපි මේ ඇමතිතුමාගේ පුතාගේ හදිසි වැඩකට යන ගමන් කියල....ඉතින් පොරවල්ගේ මැර ලුක් එකයි ඇමතිතුමාගේ කේස් ඒකයි නිසා අපේ එවුන් වැඩේ එතනින් එහාට අදින්න ගිහින් නෑ නිකන් ඉල්ලන් කන්නේ මොකටද....හැබැයි වීල් එකේ ගියපු අනිත් එකා දැකල තියෙනවා වෑන් එකේ කර්ටන්ස් අස්සෙන් මේ මලයාගේ නිලි කෑල්ලව.....පොර හැබැයි ඒක එතනදී කියන්න ගිහින් නෑ මොකද මුන් දෙන්න ටිකක් බයවෙලා තියෙනවා මේ කේස් එකේදී...එන ගමන් තමයි අපේ එකාට ඒ සීන් ඒක කියල තියෙන්නේ......අපේ එවුන් ඕක පොලිසියට කියන්න ගියෙත් නෑ ඕව ඉතින් දෙස්පාලුවොන්ගේ කේස් නේ මල්ලි අපි නිකන් මල් වඩම් ඔර්ඩර් කරගන්න ඕනි නෑනේ....හැබැයි මොකක්ද වෙබ් සයිට් එකකට නිව්ස් ඒක යැව්වා කිව්වා......

    අහ්හ් ඔව් අපි මුලින්ම චමත්කා මෙහෙට ගෙනාව කියල දැනගත්තේ ඒ නිව්ස් එකෙන් තමයි....හැබැයි එකේ කියල තිබ්බ චමත්කව හංගගෙන ඉන්නේ බණ්ඩාරවෙල පැත්තේ ගෙදරක කියල....මේ පැත්තේ මනුස්සයෙක් දැකල තියෙනවා කියලත් තිබ්බ මට මතක විදියට....

    චමත්කා පිලිබඳ ගොසිප් අඩවියක මීට පෙර පලව තිබු එම ප්‍රවුත්තිය ඒ වෙලේ දිනුකගේ සිහියට නැගුනේ ඒ අයුරිනි...

    එහෙම සීන් එකක් නම් අපේ එවුන් නම් දන්නේ නෑ මලයෝ....සමහරවිට ඕව සයිට් වලට යනකොට දෙක තුන වෙලා යනවා ඇත්තේ....

    ඒක නම් ඇත්ත බ්‍රෝ.....ඔය ගොසිප් කාරයෝන්ට වන් ජීබී නිව්ස් එකක් ලැබුනොත් උන් ඒකට අතින් පයින් දාල සයිට් එකට දාන්නේ ටෙන් ජීබී විතර කරල....

    ගීත්ද තම පරිගණක දැනුම බාවිතයෙන් පිළිතුරක් ලබාදුන්නේ වජිරගේ ප්‍රකාශය හා එකඟවෙමිනි...

    හ්ම්ම් එකත් ඇත්ත තමයි...සමහර නිව්ස් ඇත්ත ඒවත් නෙවෙයි...අරහෙන් මෙහෙන් ලැබෙන ඒවානේ දාන්නේ....ඒක නෙවෙයි අයිය තව පොඩ්ඩක් මේ කේස් ඒක ගැන හොයල බලන්න පුලුවන්නම් ලොකු උදව්වක්....මම හිතාගෙන ආවේ එයාව කොහොම හරි හොයාගන්නවා කියල...එයාව හොයාගන්න නැතුව මට මෙහෙන් යන්න බෑ...ඒත් කිසිම ආරංචියක් නැතුව එයාවේ හොයාගන්න බැරි නිසා තමයි අපි මේක අයියට කිව්වේ....

    ගීත් ගේ සහ වජිරගේ ප්‍රකාශ වලට එකඟ වූ දිනුක එසේ කියා සිටියේ චමත්කා සොයාගැනීමට හැකි වෙතැයි දැඩි බලාපොරොත්තුවක් සිතේ තබාගෙනය.....







    ~ මතු සම්බන්ධයි...... ~

    (මේ කතාවේ ඉතුරු ටිකත් දැනගන්න රැඳෙන්න මේ ත්‍රෙඩ් එක සමග...ඔබගේ වටිනා අදහස් පලකිරීමටද අමතක නොකරන්න)
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    .: Part - 31 :.

    ~ updated......(තිස්එක්වෙනි කොටස මෙන්න) ~


    හෙලෝ මචන් සංක....ඔන්‍න‍ අපිට පොඩි නිව්ස් එකක් ලැබුන අද....

    එදින සවස සංකගේ ජංගම දුරකතනයට ඇමතුමක් ලබාගත් දිනුක, උදෑසන වජිර නැමැත්තා විසින් පවසන ලද තොරතුර ඒ අයුරින්ම සංක වෙත ඉදිරිපත් කළේය....

    හ්ම්ම්...එහෙනම් එහෙම තමයි නිව්ස් එක අර සයිට් එකට ඇවිත් තියෙන්නේ.....අපි ගොසිප් කාරයන්ට බැන්නට මේ වගේ වෙලාවලදී උන්ගේ නිව්ස් නොතිබුනා නම් අරුන්ට ඔය නිව්ස් එක දෙන්න තැනක නැති වෙනවනේ....එහෙනම් අපිට වැඩේ තවත් අමාරු වෙනවා....ඒක නෙවෙයි එතනින් එහාට උන් හොයල නැද්ද මේ කේස් එක ගැන...?

    නෑ බන්...උන් බය වෙලා තියෙනවා වැඩේට අත ගහන්න....නිකන් අමාරුවේ වැටෙන්න කැමති නෑනේ බන් ඒ මිනිස්සු....අද අපි දෙන්න ගිහින් ඔය කියපු ප්ලේස් එක පැත්තෙත් බැලුව...කිසිම ආරංචියක් නම් ලැබුනේ නෑ මචෝ....අද දවසෙම ඇවිද ඇවිද තමයි හිටියේ...පව් බන් මේ මලය මම නිසා නිකන් කට්ට කනවා....

    ඒක අවුලක් නෑ බන් ඌ කැමැත්තෙන් උඹට හෙල්ප් කරන්නේ....ඔන්ලයින් ආපු වෙලාවේ මම අහල බැලුව පොරගෙන් මේ උඹේ කේස් නිසා කරදරේ නේද කියල....ඌ කිව්වා එහෙම කිසි අවුලක් නෑ උඹට කොහොම හරි කෙල්ලව හොයාගන්න සප් එක දෙනවා කියල....උඹව හෙනට ෆිට් ඌට....උඹල ඔහොම තව දවස්‌ දෙක තුනක් හොයනකොට තව මොනා හරි හෝඩුවාවක් හොයාගන්න බැරි වෙන එකක් නෑ....

    අනිවා මචන් උඹ වගේම සප් ඒක දෙන්න එල ෆ්‍රෙඩේක් මෙහෙ ඉන්න නිසා ඉක්මනටම එයාව හොයාගන්න පුළුවන් වෙයි කියල මටත් හිතෙනවා....එහෙනම් සහෝ අලුත් ආරංචියක් සෙට් වෙච්ච ගමන් මම උඹට කියන්නම්.....දැන් මම යනවා පොඩි වොෂ් එකක් දාගන්න ...දවසෙම ඇවිදලා හෙන ටයර්ඩ් මචන්...

    එල මචන් එහෙනම් පස්සේ සෙට් වෙමු...බායි

    එදින පරිදිම තවත් දින කිහිපයක්ම මෙලෙස ඔවුන් ගත කලේ බණ්ඩාරවෙල නගර සීමාව තුල සිට චමත්කා සෙවීම සඳහායි....නමුත් ඇය පිලිබඳ කිසිඳු අලුත් තොරතුරක් සොයාගැනීමට ඔවුන්ට හැකි වූයේ නැත....සමහර අවස්ථා වලදී ඔවුන් චමත්කාගේ නම ප්‍රකාශ නොකොට ඇයගේ හැඩ රුව පිලිබඳ පමණක් පවසමින් ඇය පිලිබඳ තොරතුරක් ලබාගැනීමට උත්සාහ කලත් ඇයව එහිදී දැක තිබු කිසිවෙකු ඔවුන්ට සොයාගත නොහැකි විය....

    අයිය අපි දැන් සතියක් තිස්සේ ටව්න් එකේ සර්ච් කරා මට පෙන්නේ ටව්න් ඒරියා එකේ එයා ඉන්න එකක් නැතුව ඇති කියල....මොකද එහෙම හිටියනං අනිවා මිනිස්සු දකිනවනේ...එයා නිලියක් නිසා ඕනි කෙනෙක් එයාව දන්නවනේ....එක නිසා අපි දැන් ටව්න් එකෙන් පිට සර්ච් එක පටන් ගත්තනම් හොඳයි කියල මට හිතෙනවා....අයියට එහෙම හිතෙන් නැද්ද...?

    ඔව් මලය...මටත් ඒක හිතිලා තිබ්බේ ඒත් මම බැලුවේ අර වජිර අයිය දුන්න වගේ නිව්ස් එකක්වත් හොයාගන්න පුළුවන් වෙයි කියල ටව්න් ඒරියා එකේ බැලුවම....ඒත් වැඩේ හරි ගියේ නෑ.....හෙට ඉඳල අපි ටව්න් එකෙන් පිට හොයන්න පටන් ගමු...හැබැයි මේ වගේ පයින් කටු කන්න ඕනි නෑ මගේ පොතේ ඇති සල්ලි වගයක්....අපි වජිර අයියගේ වීල් එක හයර් කරන් වැඩේට බහිමු.....එතකොට පොර දන්න ප්ලේස් වලටත් යන්න පුළුවන්නේ....

    හ්ම්ම්...ඔව් අයිය ඒ අදහසත් එල....හැබැයි හෙට නම් අපිට යන්න වෙන එකක් නෑ....හෙට තමයි අපේ නැන්ද මාසෙට සැරයක් දෙන දානේ තියෙන්නේ....වැල්ලවායේ ආරන්‍යකට තමයි දානේ දෙන්නේ....ඉතින් එකට නොගිහින් බෑනේ අයිය ඒකයි....

    අහ්හ් අවුලක් නෑ මලය ඔයා ඒකට යන්න....ඒ වගේ දේවල වලට නොගිහින් ඉන්න එපා මගේ මේ පිස්සු කේස් නිසා....මම හෙට තනියෙන් ගිහින් සර්ච් එකක් දාල බලන්නම්....

    එහෙම නෙමෙයි අයිය ඔයත් අපිත් එක්ක ගිහින් එමු හෙට....එතන නියම ප්ලේස් එක...ඇතුලට ගියාම හිත කූල් වෙලා යනව.....තනිකරම නැචුරල් ප්ලේස් එකක්.....ඔය හිතේ තියෙන ප්‍රශ්න ටිකකට අමතක කරලා පොඩ්ඩක් රිලැක්ස් වෙලා එන්න පුළුවන්.....එනවා නේද?

    හ්ම්ම්...මලය කියන නිසා නෑවිත් බෑනේ....අනිත් එක මේ වගේ දේකටවත් ඔයාලට හෙල්ප් එකක් දෙන්න බැරි නම් වැඩක් නෑ....හරි මාත් එන්නම්කෝ එහෙනම්.....

    එලම තමයි....හෙට ගියාම බලන්නකෝ ප්ලේස් එක ගැන මම කිව්වේ බොරුද කියල....අයියට එහෙ නවතින්න හිතෙයිද දන්නෙත් නෑ හැබැයි...ඔය හිතේ අවුල් වලින් හිටපු මම දන්න කොල්ලෝ දෙතුන් දෙනෙක්ම ඔතන භාවනා කරනවා....

    නෑ මලය චමත්කව හොයාගන්නකන් මගේ හිත එක තැනක තියාගන්න මට පුළුවන් වෙන එකක් නෑ.....එයා තමයි මගේ භාවනාව මල්ලි.....

    ඔව් අයිය මටා තේරෙනවා....මම ඒක විහිලුවට් වගේ කිව්වේ....අපි හෙටට විතරක් පොඩි නිවාඩුවක් දාමු අපේ සර්චින්ග් වැඩේට....



    ~ මතු සම්බන්ධයි...... ~

    (මේ කතාවේ ඉතුරු ටිකත් දැනගන්න රැඳෙන්න මේ ත්‍රෙඩ් එක සමග...ඔබගේ වටිනා අදහස් පලකිරීමටද අමතක නොකරන්න)
     
    • Like
    Reactions: kitZrocks

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    .: Part - 32 :.

    ~ updated......(තිස්දෙවෙනි කොටස මෙන්න) ~


    දිනුක එදින රාත්‍රියේ සිට පසුදා දහවල් දක්වාම කාලය ගත කලේ දානමය පිංකමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම සඳහා ගීත්ගේ නැන්දාට උදව් ලබාදෙමිනි....සමහර අවස්ථා වලදි දහවල් දානය පිළියෙළ කිරීමට අවශ්‍ය දේවල් මිලදී ගැනීමට බණ්ඩාරවෙල නගරයට ගිය ඔහු තමාගේම මුදල් වැයකොට එම භාණ්ඩ මිලදී ගත්තේ මෙතෙක් දවස් ගීත්ගේ නිවසින් ලද සත්කාර පිළිබඳව කාරුණිකව සිහිපත් කරමිනි....

    අනේ පව් දිනුක පුතා ගොඩක් මහන්සි වුනා මේ වැඩේට.....

    දහවල් දානය ඉක්මනින් පිළියෙළ කරගැනීමට හැකිවූ නිසා සතුටට පත් ගීත් ගේ නැන්දා විසින් දිනුකගේ දායකත්වය පිලිබඳ මෙම අගය කිරීම සිදු කලේ ඔවුන් වැල්ලවාය බලා ගමන් කරන අතරතුරේදීය...

    ඒක මොකක්ද නැන්දේ....නැන්දල මට කරන උදව් වල හැටියට මේක මේ පොඩි උදව්වක් නේ...

    නෑ පුතා මේක ඇත්තටම ලොකු උදව්වක් ඒ වගේම ලොකු පිනක්...ඒ ආරණ්‍යයේ ඉන්න හාමුදුරුවරු තමයි ඇත්තටම මේ ධර්මය රකින හාමුදුරුවරු....එතෙන්ට ගියාම පුතාටත් බලාගන්න පුළුවන් කොච්චර නිවිච්ච තැනක්ද කියල....පුලුවන්නම් මාත් නැවතිලා බන භාවනා කරනවා එතන....

    ගීත්ගේ නැන්දාගෙන් පැවසුනේද මීට පෙර ගීත් විසින් එම ආරණ්‍යය ගැන පවසා තිබූ කාරනාමය...

    ඔව් නැන්දේ මට ගීත් මල්ලිත් කිව්වා....දැන් නම් මාත් ගොඩක් ආසාවෙන් ඉන්නේ ඔය තැන බලාගන්න....

    ගීත් සහ ඔහුගේ නැන්දාගේ එම වර්ණනා කිරීම් නිසාම ඔවුන් පවසන මෙම ස්ථානයේ සුන්දරත්වය සියැසින්ම දැකගැනීමට ඔහුගේ සිතේ දැඩි ආශාවක් පහළ වී තිබුණි.


    පුතාගේ රිසර්ච් එකේ වැඩ එහෙම දැන් කොහොමද...?

    මෙතෙක් වෙලා නිහඬව සිටි ගීත්ගේ මාමාගේ එම ප්‍රශ්නය ඇසෙත්ම මුලින් විමතියට පත් ඔහු ගීත් විසින් තමා මෙහි පැමිණි සත්‍ය කාරනාව මොවුන්ගෙන් වසන් කර ඇති බව පසුව වටහා ගත්තේය...ඒ අවස්ථාවේදී ගීත්ද දිනුකගේ කකුලට තට්ටුවක් දැම්මේ තමා බොරුවක් කියා ඇති බව ඇඟවීමටයි...

    ආ ඔව් මාමේ දැන් ගොඩක් දුරට වැඩ ඉවරයි....තව පොඩි වැඩ ටිකක් තමයි කරන්න තියෙන්නේ...

    දිනුක එලෙස ප්‍රකාශ කර සිටියේ අකමැත්තෙන් වුවද තමා මෙහි පැමිණි සැබෑ කාරණාව මේවෙලේ ඔවුන්ට පැවසීම සුබදායක නොවන බවද ඔහුට වැටහිණි....

    පුතාට කැමති කාලයක් මෙහෙ ඉඳල වැඩ ටික කරගන්න කිසි ප්‍රශ්නයක් නෑ.....මේ වගේ ඉගෙන ගන්න දරුවෙක්ට උදව් කරන්න ලැබෙන එකත් අපිට සතුටක්....නේද සිරී....?

    නැවතත් කටහඬ අවදි කලේ නැන්දා විසිනි....ඇයට දිනුකව හිතට අල්ලා තිබුනේ ඔහුගේ වූ යහපත් ගුණාංග සහ හැසිරීම නිසාවෙනි...

    ඔව් ඒක ඇත්ත....

    ගීත්ගේ මාමාද එයට එකඟ විය...

    එහෙත් මෙවැනි කරුණාබර වැඩිහිටියන් දෙපලකට බොරු කොට මෙහි තවත් රැදී සිටීම පාපයක් ලෙස දිනුකගේ ගේ සිතට තදින් දැනෙන්නට විය....

    එම සිදුවීමෙන් පසු වැල්ලවායේ පිහිටි ආරණ්‍යය වෙත ළඟාවන තුරුම දිනුක වැඩි කතාබහක් නොකලද සමහර අවස්ථා වලදී ගීත්ගේ මාමාගේ දේශපාලන කතිකා හමුවේ ඔහුට පක්ෂව අදහස් ඉදිරිපත් කිරීමට දිනුකට සිදු විය....තමා දරන දේශපාලන මතයට විරුද්ද මතයක් දරන වැඩිහිටි පුද්ගලයකුගේ කතා බහකදී සෑමවිටම දිනුක කලේ තමන්ගේ මතය පසෙක තබා ඔවුන් කියන දෙයකට පක්ෂව පිළිතුරු දීමයි....ඔහු මෙසේ කිරීමට හේතුව වුයේ වැඩිහිටි පුද්ගලයන් සමඟ වාද විවාද කිරීමට යාම යහපත් කටයුත්තක් නොවන බව ඔහුට හැඟුණ නිසාවෙනි...

    ආරණ්‍ය වෙත ළඟාවූ ඔවුන්ට තවත් ටික දුරක් පයින් ගමන් කිරීමට සිදු වුයේ ඔවුන් පැමිණි වැන් රථය ආරණ්‍ය තුලට ඇතුළු කිරීමට නොහැකි වූ නිසාවෙනි....එහෙත් එය එසේ සිදු වුයේ යහපතකටයැයි දිනුකට සිතුනේ ආරණ්‍යට යන මාර්ගයේ දෙපස වූ ස්වභාව සුන්දරත්වය යහමින් විඳගැනීමට හැකිවූ නිසාවෙනි...

    ගීත් සහ ඔහුගේ නැන්දා පවසා තිබුනේ ඇත්තකි....ආරණ්‍යයට ඇතුළු වෙද්දීම සිතේ වද දෙමින් තිබූ සියලු ප්‍රශ්න මොහොතකට අමතක වී ගොස් නිවුණු හැගීමක් සිතට ආරෝපණය වීමක් සිදු විය...මෙම පහන් හැගීම ඇති කිරීමට ආරණ්‍ය පිහිටා තිබූ පරිසරය විශාල ලෙස දායකත්වය ලබා දී ඇති බව දිනුකට සිතිණි...

    පැමිණි පිරිස දානය සුදානම් කිරීම සඳහා දාන ශාලාවට ඇතුළු වෙද්දී මේ පින් බිමේ සුන්දරත්වයෙන් වශී වී සිටි දිනුක ඔවුන්ගෙන් වෙන් වී තවත් ඉදිරියට ඇදුනේ එම සුන්දරත්වය තව තවත් විඳගැනීමේ ආශාවෙනි....

    කොලොම්පුරේ කොන්ක්‍රීට් වනාන්තර වලට කොටු වී සිටිනවාට වඩා මෙවැනි පින් බිමක රුක් සෙවනකට වී සිටීම යහපතක් බව ඔහුට ඒ වෙලේ සිතෙන්නට විය....මේ අයුරින් ආරණ්‍යය පිහිටි පරිසරයේ සුන්දරත්වය විදිමින් සිටින දිනුකට ඊළඟ මොහොතේ දකින්නට ලැබෙන්නේ කිසිසේත්ම අදහාගත නොහැකි දර්ශනයකි....

    ච...චමත්කා....?

    තමා මේ දකින්නේ හීනයක්ද....එසේත් නොමැති නම් චමත්කාගේ මිරිඟුවක්ද...? දිනුකගේ සිත ඔහුගෙන්ම ප්‍රශ්න කරමින් සිටියි...



    ~ මතු සම්බන්ධයි...... ~

    (මේ කතාවේ ඉතුරු ටිකත් දැනගන්න රැඳෙන්න මේ ත්‍රෙඩ් එක සමග...ඔබගේ වටිනා අදහස් පලකිරීමටද අමතක නොකරන්න)
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    .: Part - 33 (Final) :.

    ~ updated......(අවසන් කොටස) ~



    දිනුකගේ සිත කියූ දෙය නිවැරදිය,ආරණ්‍ය පිහිටි භූමියේ කෙළවරටම වී සුදු වතින් සැරසී ඉතාමත් සැහැල්ලුවෙන් භාවනාවක යෙදී සිටියේ ඇයයි....මීට පෙර ඇයව දකිද්දී තිබූ ඇගේ සුන්දර කෙස් කළඹ මේ මොහොතේදී ඇය සතුව නොතිබූ නිසා දිනුකට ඇයව එක්වරම හඳුනා ගැනීමට අපහසු විය....චමත්කා සොයාගැනීමට තමන්ට හැකි වීම පිලිබඳ මුලින් ඉතා සතුටට පත් වුවත් ඇයගේ මෙම වෙනස් වීම පිලිබඳව සිතීමේදී ඔහුගේ සිත මහා දුකකින් ඇඹරී ගියේය...

    "ගිහින් බලපංකො...,කියන්න බෑනේ සමහරවිට චමත්කා ඔය කියන ආරණ්‍යයේ වත් හිටියොත් එහෙම"
    උදෑසන මෙම ගමන පැමිණීමට පෙර සංක වෙත දුරකථන ඇමතුමක් ලබාගත් අවස්ථාවේදී ඔහු විසින් ප්‍රකාශ කල දෙයක් මෙවෙලේ ඔහුට සිහිවිය..

    ඉතාමත් ශාන්ත ලෙස භාවනාවේ යෙදී සිටින ඇයට බාධා කිරීමට සිත නුදුන් නිසා තවත් මිනිත්තු කිහිපයක් ඔහු වැය කලේ මෙතෙක් දවස් තමා සෙවූ ඒ රුව දෙස බලා සිටීමටය....

    දී...දිනුක ඔයා...?

    භාවනාවෙන් මිදුණු චමත්කා දිනුක දැකීමත් සමඟම විමතියට පත්විය....මෙතෙක් වෙලා ඇයගේ තිබූ නිවුණු බව කෙමෙන් පහව ගොස් දුක්බර හැගීමක් ඇයගේ මුහුණෙන් ඉස්මතු විය...

    ඔව් චමත්ක මම....මෙච්චර දවස් ඔයාව හෙව්වා බණ්ඩාරවෙල ටව්න් එකේ, කිසිම ආරංචියක් ලැබුනේ නෑ...ඒත් අද හොයන්නේ නැතුවම ඔයාව හම්බ උනා.....ඒත් මට කියන්න පුලුවන්ද ඔයාගේ මේ වෙනස මොකක්ද කියල.....හැබැයි ඔයා මහණ වෙන්න යනවා කියල අහන්න නම් මට බැරිවෙයි....

    ඒත් දිනුක ඔයා ඒ අහන්න අකමැති දේම තමයි මට කියන්න වෙන්නෙත්....මට ඉස්සර වගේ ජීවිතයක් ගත කරන්න පුළුවන් කමක් නෑ දිනුක....එදා ඔයාලගෙන් වෙන් වෙච්ච දවසේ ඉඳල මට සිද්දවෙච්ච දේවල් ගැන දන්නේ මම විතරයි....මගේ ජීවිතේ විනාස වෙලා ඉවරයි දිනුක...ඒ තිරිසන්නු මාව විනාස කරා....අන්තිම මොහොතේ මාව මරන්න ඉස්සෙල්ල මට එතනින් පැනල එන්න පුළුවන් උනාට කොහේ යන්නද කියල අදහසක් තිබුනේ නෑ...ඒ ගැන හිත හිත මහා රෑ කළුවරේ දුවන් එනකොට තමයි මේ ආරණ්‍යයේ නායක හාමුදුරුවන්ගේ වාහනේ ඉස්සරහට ආවේ....උන් වහන්සේට වෙච්ච හැම දෙයක්ම කිව්වම මාව මේ ආරණ්‍යයට එක්කන් ආව....මෙතෙන්ට ආවට පස්සේ මට වෙච්ච හැම දෙයක්ම අමතක කරන්න පුළුවන් උනා දිනුක....මේ ආරණ්‍යයේ එක පැත්තක ඉන්නේ මෙහෙණින් වහන්සේලා....මාත් එහෙම කෙනෙක් වෙන්න දැනටමත් කැමැත්ත දීල ඉවරයි දිනුක...

    බදුල්ලේදී ඇයව බලහත්කාරයෙන් රැගෙන ගිය පසු සිදු වූ සියල්ල ඒ අයුරින් විස්තර කරද්දී මෙතෙක් වෙලා සිත එක්තැන් කරගෙන සිටි ඇයගෙන් කඳුළු කැට රූරා වැටෙන්නට විය....

    චමත්කාට විඳින්නට සිදු වූ දුක් ගැහට පිලිබඳ ඇයටත් වඩා දුක්වූ දිනුකද ඒ මොහොතේ හඬා වැටෙන්නට විය....

    ඔයා නැතුව මම කොහොමද ඉන්නේ චමත්කා....ඔයා දන්නවා නේද මම මේ හැම පිස්සුවක්ම නැටුවේ ඔයා හින්ද කියල....සමහර ඩිසිෂන් ගනිද්දී මගේ අම්ම තාත්ත ගැන හිතන්නෙත් නැතුව ඔයාට මුල් තැන දුන්නා....මම කොච්චර නම් බැනුම් ඇහුවද සංකයගෙන් ගෙදර ගැන හිතන්නේ නෑ කියල....ඔයාට වෙච්ච දේවල් ගැන මට ගොඩක් දුකයි....ඒත් ඒ සිද්ද වෙච්ච හැම දෙයක්ම අපි අමතක කරලා කොහේ හරි ඈතකට ගිහින් හරි ජීවත් වෙමු කෙල්ලේ.....ඔයා ගිය ආත්මේ ඉඳල මගේ කෙල්ල මතක නැද්ද ඔයත් ඒක පිළිගත්තා....ඒ නිසාමයි මම ඔයාව හොයන්න ආවේ බය නැතුව...මොකද මට දැනුන ඔයාව කොහොම හරි හොයාගන්න පුළුවන් කියල....ප්ලීස් චමත්කා මාත් එක්ක යන්න එන්න.....

    මෙතෙක් දවස් තම හිතේ සඟවාගෙන සිටි දුක ඔහු ඒ අයුරින් චමත්කා ඉදිරියේ තැබුවේ හැඩුම් අතරිණි....

    ඔව් දිනුක මම ඒ හැම දෙයක් ගැනම දන්නවා....මම මේ තීරණේ ගන්නෙත් ඔයා ගැනයි ඔයාගේ දෙමව්පියන් ගැනයි හිතල තමයි දිනුක....ඔයත් දන්නවා මාත් දන්නවා අපිට අර මිනිස්සු එක්ක හැප්පෙන්න කොහොමත්ම බැරි බව....ඔයා මාව හොයාගත්ත වගේම ළඟදීම දවසක උනුත් මාව හොයාගනියි...ඒක නිසා මම ඔයත් එක්ක ඉන්නවා කියන්නේ ඔයාගේ ජීවිතෙත් අනතුරේ දැමීමක් දිනුක....ඔයාගේ ජීවිතේ ගැන ඔයා හිතන්නේ නෑ කියල කියයි,ඒත් ඔයාට මොකක් හරි උනොත් ඔයාගේ අම්මටයි තාත්තටයි මොනා වෙයිද කියල ඔයා හිතුවද....ඔයා කිව්වා වගේ අපි දෙන්න ගිය ආත්මෙත් එකට ඉන්න ඇති හැබැයි අපෙ අතින් මොකක් හරි ලොකු පවක් සිද්ද වෙන්න ඇති දිනුක ඒකයි මේ ආත්මේ අපිට මෙහෙම වෙන්න ඇත්තේ....

    අනේ මාව මෙහෙම අසරණ කරන්න එපා චමත්කා....ඔයා නැතුව පිස්සෙක් වගේ ජීවත් වෙන්න මට බෑ....

    මම ඔයාව අසරණ කරනවා නෙවෙයි දිනුක....මම ඔයාට තේරුම් කරල දෙන්න හදන්නේ...ඔයා ගැන හිතන්න ඔයාගේ දෙමව්පියෝ ඉන්නවා ඒත් ඔයා දන්නවනේ මට එහෙම කව්රුවත් නෑ කියල....අර ගෙදර මට ඉන්න දුන්න කියල ඒ අය මගේ දෙමව්පියෝ වෙන්නේ නෑනේ දිනුක....අනිත් එක දැන් නම් කොහොමවත් මාව ඒ ගෙදර තියාගන්න එකකුත් නෑ...මම නිසා ඒ ගොල්ලෝ නිකන් කරදරේ වැටෙන්න කැමති වෙන එකක් නෑනේ....ඒක නිසා දිනුක මම ඔයාගෙන් ඉල්ලන්නේ මාව හිතෙන් කොහොම හරි අමතක කරලා හොඳට ඉගෙනගෙන ඔයාගේ දෙමව්පියන්ගේ බලාපොරොත්තු ඉශ්ට කරන්න කියල....

    දිනුක කෙතරම් ඇවිටිලි කලත් චමත්කා දැඩි ලෙසම ඇයගේ තීරණයේම පිහිටා සිටියේ දිනුකගේ ජීවිතයත් තමන් නිසා අනතුරේ වැටීම වැලක්වීමට විනා ඔහු කෙරෙහි ආදරයක් නොමැතිව නොවේ....

    චමත්කාගේ තීරණය කිසි සේත් වෙනස් කල නොහැකිබව වටහා ගත් දිනුක තවත් වචනයකුදු ඇය සමග කතා නොකට එතනින් නික්ම යන්නට වූයේ ඇය සමඟ තමන් තරහ වූ බවක් ඇඟවීමටද සිතාගෙනය....

    දිනුක....

    එහෙත් චමත්කා නැවතත් කටහඬ අවදි කලේ දිනුක පෙන් වූ ඒ බොරු තරහ දැක ඔහු ගැන දුකක් සිතුනු නිසාද...?

    දිනුකද සිතුවේ එලෙසය....එහෙත් ඔහු හැරී නොබැලුවේ තවත් සැරයක් චමත්කා කතා කරනු ඇසීමටය....

    දි...දි..දිනු..ක...

    දිනුක සිතු ලෙසම සිදු විය, එහෙත් දෙවන වර ඇයගෙන් පිටවූයේ කෙඳිරිලි හඬකි....ඒ හඬ ඇසෙත්ම දිනුක ආපසු හැරුනේය....ඇය සැරසී සිටි සුදුවත රත් පැහැ ගැන් වී තිබෙනු දුටු දිනුක ඇය වෙත දිව ආවේ විදුලි වේගයෙනි...

    අනේ මගේ රත්තරන් කතා කරන්න....චමත්.....කා...

    එහෙත් ඇයගෙන් වචනයකුදු පිට නොවීය....ස්නයිපර් තුවක්කු කරුවකුගේ ප්‍රහාරයකින් ප්‍රාණය නිරුද්ද වී තිබූ ඇයගේ සිරුර වැළඳගත් දිනුක මුළු ආරණ්‍ය භූමියම දෙවනත් කරමින් කෑගසද්දී එහි සිටි සියලුම පිරිස් ඒ දෙසට දිව ආහ....

    මාත් එක්ක මෙහෙම තරහ වෙන්න එපා රත්තරන්....මම එවෙලේ ඔයත් එක්ක ඇත්තටම තරහ උනේ නෑ කෙල්ලේ එහෙම කරන්නත් බෑ මට....ඔයා ඒක දන්නවා නේද..?

    දිනුක පිස්සෙක් මෙන් පවසනා මෙම වදන් චමත්කාට දැන් ඇසෙන්නේ නැත....ඇය දැන් රෑ අහසට එක් වුනු තරුවක් බවට පත් වී හමාරය......


    ~ සමාප්තයි ~​


    !!! පුරා තෙමසක් තිස්සේ වටිනා අදහස් ලබාදෙමින්, දිරිමත් කරමින් මෙම කතාව සමග එකතු වී සිටි ඔබ සියලු දෙනාටම මාගේ මුළු හදවතින්ම ස්තුති වන්ත වෙමි!!!
     
    Status
    Not open for further replies.