ශාක්‍යවංශ රජවරු, කුමාරවරු මානයෙන් උදම් වූ අය වූහ. බුදුන් වහන්සේ බුදු බවට පත් වූවද තමන්ට වඩා, වයසින් බාල යැයි සලකා බුදුරදුන්ට වැඳීම ප්‍රතික්‍ෂේප කළ අතර බාල කුමාර, කුමරියන් ලවා පමණක් වැන්ද වූහ. මොවුන්ගේ අදහස් උදහස් අවබෝධ කරගත් බුදුන්වහන්සේ ඔවුන්ගේ මානය දුරුකරනු පිණිස අහස් කුසට නැග යමා මහ පෙළහර පා වදාළ සේක.
මෙය දුටු සුදොවුන් මහා රජු තම පුතු ගෞතම බුදුන් වහන්සේට තෙවන වරටත් වැන්ඳේ ය. ඉන් අනතුරුව සෙසු ශාක්‍ය කුමරුවරුන් බුදු හිමියන්ට වැඳුම් පිඳුම් කළහ. රැස්ව සිටි පිරිසට බුදුන්වහන්සේ වෙස්සන්තර ජාතකය දේශනා කළහ.
පසුදින බුදුරජාණන් වහන්සේ විසිදහසක් පමණ භික්‍ෂූන් වහන්සේ පිරිවර ගෙයින් ගෙට පිඬුසිඟා වැඩියහ. මෙම පණිවිඩය, යශෝදරාවන්ගෙන් ලද වහාම මහත් ලජ්ජාවට හා කම්පාවට පත් වුණු සුදොවුන් රජු තම ශාක්‍ය වංශයට එය බලවත් කැළලක් බව බුදුපියාණන්ට පැවසුවේ ය.
මහරජතුමනි, මේ අපගේ වංශයේ බුද්ධ වංශයේ සිරිත යැයි කියමින් ඔහුට ධර්ම දේශනා කළහ.
එම දෙසුමේ දී මෙහි පහත සඳහන් ගාථාව
ධම්මං චරෙ සුචරිතං - නතං දුච්චරිතං චරෙ
ධම්මචාරී සුඛං සේති – අශ්මිං ලොකෙ පරමාභිච
ආශි‍්‍රතව කරන ලද දහම් දෙසුමේ දී සුද්ධෝදන මහරජතුමා සකෘදාගාමී ඵලයට පත්වුණු අතර මහා ප්‍රජාපතී ගෝතමිය සෝවන් ඵලය ලබා ගත්තා ය.
අප තථාගත බුදුපියාණන් හමුවන්නට යශෝදරාව නො පැමිණියා ය. ‘මගේ කිසියම් ගුණයක් ඇත්නම් භාග්‍යවතුන් වහන්සේ මා සොයා වඩිනවා ඇති.’ බුදුන් වහන්සේ තම පියාණන් වහන්සේ සමග යශෝදරාව වෙත වැඩිය අතර එය ඉතා සංවේදී හමුවක් විය. ඇය බුදු පතුල් අල්ලා හඬා වැටෙන්නට වූවා ය.
වනයේ ගොසින් මල් යහනක නිදනවද
කෝමල අනගි සිරිපා දෙක රිදෙනවද
තිඟේ නැතුව දෙවියෝ මුර කරනවද
මගේ ඇත් රජුනි අද ඔබ කොතනැකද?
මෙවන් සිතිවිලි යශෝදරාවන්ට පහළවන්නට ඇත. තමන් සිදුහත් කුමරුන් සමග ගතකළ ජීවිතයත්, රහල් පුතු උපන්දා, ඇගේ සියලු බලාපොරොත්තු සුන් කරමින් ගිහිගෙයින් නික්මයෑමක් නිසා රජමැදුරේ තනිවුණු යශෝදරාවන් අප තථාගත හිමිපාණන් දුටුවිට ඇති වූ හැඟීම් කෙබඳු යැයි සිතිය හැකි ද?
අප තථාගත බුදුපියාණන් යශෝදරාව ඇතුළු පිරිසට සඳ කිඳුරු ජාතකය වදාරමින් බණ දෙසූ සේක.
අප තථාගතයාණන් වහන්සේගේ කිඹුල්වත් සංචාරයේ හත්වන දිනය එළඹියේ ය. යශෝදරාව සිය රහල් පුතුට නරසීහ ගාථා කියාදී පියගුණ කියා දී තම පියා වූ ගෞතම බුදුන් වහන්සේගෙන් උන්වහන්සේ සතු ධනය ඉල්ලා ගන්නා ලෙස පැවසුවා ය. රහල් කුමරු බුදුරදුන් පසු පස විහාරයටම ගියේ ය. ඔහු මහණ කරන ලෙස සැරියුත් හිමියන්ට දැන් වූ සේක. රජ කිරුළට හිමි කම් කී කුමරු මෙසේ මහණ කිරීම, සුදොවුන් මහ රජුගේ ඉමහත් ශෝකයට හේතු විය. රජු කෙතරම් කම්පාවට පත්වීද යත් හේ බුදුන්වහන්සේ හමුව මෙම අදහස් පළ කළේ ය.
“භාග්‍යවතුන් වහන්ස, දරු සෙනෙහස ඕනෑම කෙනෙකුගේ ඇට, මස් මිදුලු වලට කිඳා බැසගෙන ඇත. මවුපියන්ට දරුවන් තරම් ඔවුන් සතු තවත් වස්තුවක් නොමැත. ස්වාමිනී, මවුපිය අවසරයෙන් තොරව දරුවකු මහණ නොකරන්නේ යැයි ඉල්ලා සිටියේ ය.” සුදොවුන් රජුගේ ඉල්ලීම පිළිගත් අප තථාගතයාණන් වහන්සේ මවුපිය අවසරය නොමැතිව දරුවන් මහණ නොකරන ලෙස අනුශාසනා කළ සේක. පසුදින උන්වහන්සේ මාලිගයට වැඩම කොට දන් වළඳා සුදොවුන් රජු ඇතුළු පිරිස ධර්මපාල ජාතකය දේශනා කළ සේක. සුදොවුන් රජු අනාගාමී ඵලය ලබාගත්තේ ය. මෙම සියලු කරුණු මැදින් පෝය දිනය ඇසුරු කරගෙන සිදු විය. මේ උතුම් මැදින් පුර පෝදා අප බොදු උවැසි උවැසියන් දාන, ශීල, භාවනා ආදියේ යෙදෙමින් පින් කම්වල නියැළෙන්නේ අප තථාගත බුදුරජාණන් වහන්සේගේ අපරිමිත ගුණ සමුදාය සිහිපත් කරමිනි.
by - ප්‍රේමසර ඈපාසිංහ ( budusarana puwath pathata sakasu lipiyak asurini )