මොකක්ද මූලික අයිතිවාසිකම් පෙත්සමක් කියන්නෙ?
මූලික අයිතිවාසිකම් පෙත්සමක් කියන්නෙ, කෙලින්ම
ශ්‍රෙෂ්ඨාධිකරණයට ගොනු කරන පෙත්සම් වර්ග
අතරින් එකක්. යම්කිසි රාජ්‍ය ආයතනයකින් හරි, රාජ්‍ය
නිළධාරියෙකුගෙන් හරි සිද්ධ වන අසාධාරණයකට
එරෙහිව තමයි මේ පැමිණිලි ගේන්නෙ. හැබැයි ඉතින්
රජයේ නිළදාරියෙක්, අදාල නිළයේ නාමයෙන් කරන
වැඩකට එරෙහිව වෙන්නත් ඕන.
මෙවැනි පෙත්සම් ගේන විදිහ ගැන, ආණ්ඩුක්‍රම
ව්‍යවස්ථාවෙ 17 සහ 126 වගන්තිවල පැහැදිලිව
තිබෙනවා.
ඇයි අදාල වෛද්‍යවරිය මූලික අයිතිවාසිකම් පෙත්සමක්
ගෙනාවෙ?
මේ පෙත්සම ගෙනාවෙ, විශ්ව විද්‍යාල පාලනාධිකාරියට
එරෙහිව. විශ්ව විද්‍යාල පාලනාධිකාරිය කියන්නෙ රාජ්‍ය
ආයතනයක්. ඒ හින්දා ඊට විරුද්ධව මූලික
අයිතිවාසිකම් නඩුවක් ගේන්න හැකියාව තිබෙනවා.
වෛද්‍යවරිය කිව්වා, විශ්ව විද්‍යාල කවුන්සිලය විසින්
තමන්ගෙ ප්‍රශ්නයට නිසි ක්‍රියාමාර්ග නොගත්තු බව.
ඒක නීති විරෝධී, බලය අවභාවිත කළ,
අත්තනෝමතික, අසාධාරණ ක්‍රියාවක් බව කිව්වා.
මෙහිදී වැදගත් නීති මූලධර්මයක් ගැනත් කතා උනා.
ඒ තමයි “Ultra vires” කියන මූලධර්මය.
(ඒ කියන්නෙ, යම් ආයතනයක් විසින්, තමන්ට
නීතියෙන් ලැබිලා තියෙන බලයට එපිටින් කටයුතු
කරන එක.)
ඒ වගේම වෛද්‍යවරිය කිව්වා, විශ්ව විද්‍යාලය විසින්
තමන්ගේ “Legitimate expectation” එක කඩකරපු බව.
(ඒ කියන්නෙ, යම් රජයේ ආයතනයක්, සාධාරණව සහ
නීතිගරුකව කටයුතු කරාවි කියලා මිනිස්සු තුළ
තිබෙන විශ්වාසය)
ඇත්ත, බැලූ බැල්මට මේ දෙකම විශ්ව විද්‍යාල
පාලනාධිකාරිය විසින් උල්ලංඝනය කෙරුවා.
ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන පහත
වගන්තිවල සඳහන් මූලික අයිතිවාසිකම් කඩ වූ බව
වෛද්‍යවරිය කිව්වා.
- 11 වන ව්‍යවස්ථාව: කෘෘර අමානුෂික සහ
අවමන්සහගත සැළකිලිවලින් මිදීමට තියෙන අයිතිය
- 12(1) වන ව්‍යවස්ථාව: නීතිය ඉදිරියේ සමානව
සැළකීමක් ලැබීමට තිබෙන අයිතිය
- 12(2) වන ව්‍යවස්ථාව: වෙනස්කොට සැළකීමෙන්
මිදීමේ අයිතිය
වෛද්‍යවරිය මේ මූලික අයිතිවාසිකම් පෙත්සමෙන්,
පහත දැක්වෙන සහන ඉල්ලුවා.
- විශ්ව විද්‍යාල කවුන්සිලයේ තීරණය අවලංගු කරවීම
- විනය කමිටුවේ තීරණය පිළිගන්නා ලෙස
කවුන්සිලයට නියෝග කරවීම
- අදාල මහාචාර්යවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග
ගන්නා ලෙසට නියෝග කරවීම
- ලිංගික හිරිහැර පිළිබඳව විශ්ව විද්‍යාල මට්ටමෙන්
දැනුවත් කිරීමේ ව්‍යාපෘතියක් සඳහා අධිකරණ
මඟපෙන්වීමක් ලබාදීම
- ඊට අදාල වාර්ෂික සමුළුවක් ක්‍රියාත්මක කිරීම
- වන්දි ලබාගැනීම
අධිකරණය මේ පෙත්සම සළකා බලන්න තීරණය
කෙරුවා. ඊට හේතුව මේ සිද්ධියේදී බරපතළ ලෙස
ඇයගේ මූලික අයිතිවාසිකම් කඩ වූ බව පේන්න
තිබීම.
හැබැයි, අධිකරණයට මේ නඩුව අහන්න ප්‍රධාන
බාධාවක් ආවා.
ඒ මොකක්ද?
ලංකාවෙ නීතියට අනුව, මූලික අයිතිවාසිකම්
පෙත්සමක් ගොනු කරන්න ඕන, අදාල සිද්ධිය වෙලා
මාසයක් ඇතුළත. නැතිනම් කාලය බාධාවක් වෙලා,
ක්‍රියාමාර්ග ගන්න බැරිව යනවා. මේ බව, වග
උත්තරකරුවන් (මහාචාර්යවරයාගේ පාර්ශ්වය) තර්ක
කෙරුවා.
ඒ අනුව කවුන්සිලය විසින් ඇගේ අයිතිවාසිකම්
කඩකිරීම සහ, ඇය අධිකරණයට පැමිණීම අතර
මාසයකට වැඩි පරතරයක් තිබුණා.
- කවුන්සිලයේ තීරණය, වෛද්‍යවරිය දැනගත්තේ
කවදාද?
- ඊට පසුව සිදු වූ වැදගත් යමක් විසින්, කාලය ගතවීම
සාධාරණීකරනය වෙනවාද?
මේ තමයි අධිකරණය සළකා බලපු දේවල්. ඒ අනුව
අධිකරණයට පහත දේවල් පෙනී ගියා.
- කවුන්සිල තීරණය, ඇය දැනගෙන තිබුණෙ 2020 ජූලි.
- පසුව ඇය විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම සමඟ
කටයුතු කෙරුවා. ඒක නීතියට අනුව, අධිකරණයට
ඒම සඳහා නිසි පටිපාටියක් නෙවෙයි
- මේ අනුව, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම
හේතුවෙන් කල්ගතවීම සාධාරණ හේතුවක් නෙවෙයි
- ඇය විසින් මානව හිමිකම් කොමිසමටත්, හුදු
පැමිණිල්ලක් කළා මිස, ඊට අදාල පරීක්ෂණයක් සිදු
උනාදැයි නොදන්නා හෙයින්, ඒකත් අදාල කරගත්තෙ
නෑ.
මේ අනුව, අධිකරණය තීරණය කෙරුවා, මේ නඩුව
ගොනු කරන්න ඇය ප්‍රමාද වැඩි බව. ප්‍රමාදයට
සාධාරණ නෛතික හේතුවක් නැති බව.
හැබැයි, මේ නඩුවේ විශේෂ තැන ඒක නෙවෙයි.
එහෙනම්?
එවැනි තත්ත්වයක් තිබියදීත්, නඩුව ඉවත නොදමා
ඉදිරියට ගෙනිච්චා. ඒ තමයි සුවිශේෂීත්වය. මේක
ඉතාම දුර්ලබ එහෙත්, අතිශයින් යුක්තිසහගත
අවස්ථාවක්.
ගරු විනිසුරු ජනක්ද සිල්වා විසින් තීරණය කෙරුවා,
මෙවන් තත්ත්වයකදී පවා අධිකරණයට අපක්ෂපාතීව
සිය අධිකරණ බලය මෙහෙයවන්න පුළුවන් බව.
යුක්තිය පසිඳලන්න පුළුවන් බව.
ඊට හේතු උනේ,
- නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කළයුතු වීම
- රාජ්‍ය ආයතනයක් විසින් කරපු නීති විරෝධී වැඩක්
නොතකා ඉන්න අධිකරණයට නොහැකි වීම
- හුදු තාක්ෂණික කාරණයක් හේතුවෙන්, රාජ්‍ය
ආයතනයකට සිය වගකීමෙන් පැන යන්න ඉඩදිය
නොහැකි වීම
මේ අනුව, අධිකරණය මේ නඩුවේදී, අගතියට පත්
තැනැත්තිය වෙනුවෙන් සහන සැළසිය හැකිදැයි විමසා
බැලුවා.
මේ නඩුවේදී, අදාල මහාචාර්යවරයා තමන්ට තිබුණු
ලිංගික හිරිහැර ගැන ඔප්පුවීම ප්‍රශ්න කෙරුවෙ නෑ.
නඩුයන්න කල්ගත වීම වැනි තාක්ෂණික කාරණා
තමයි ප්‍රශ්න කෙරුවෙ. අධිකරණය ඒ ගැන සිය
අවධානය යොමු කෙරුවා.
ඊට අමතරව, සෑම සේවකයෙකුටම ආරක්ෂාකාරී
සේවා වටපිටාවක් සහ සහයෝගී පරිසරයක් තිබෙන්න
ඕනි බවත් කිව්වා.
ඒ වගේම, අන්තර්ජාතික නීතියේ එන CEDAW
සම්මුතියත් අධිකරණය විසින් අදාල කරගත්තා.
මොකක්ද මේ CEDAW?
ඒ කියන්නෙ, Convention on the Elimination of All
Forms of Discrimination Against Women හෙවත්,
කාන්තාවන්ට එරෙහි සෑම අකාරයකම වෙනස්කම්
පිටුදැකීම වෙනුවෙන් වූ සම්මුතිය.
මේ අනුව, ලංකාවේ නීතිය තුළ, සේවාස්ථානවලදී
කාන්තාවන් ආරක්ෂා කෙරෙන නීති මූලධර්ම තිබෙන
බව පැහැදිලි කෙරුවා. එවැනි තැනක සිදුවන ලිංගික
හිරිහැරයක් නිසා, ඇයගේ කායික මානසික හානිය,
වෘත්තීය ජීවිතය පළුදු වීම වැනි දෑ ඇති වෙන්න
පුළුවන් බව පැහැදිලි කෙරුවා.
ලිංගික හිරිහැරයක් කියන්නෙ අතිශය සංවේදී ප්‍රබල
සිදුවීමක්. මෙවැනි වෙලාවක කාන්තාවන් ඒ ගැන
ප්‍රසිද්ධියේ කතා කරන්න බය වෙනවා. ඒ වගේම විවිධ
තර්ජන හින්දා ඔවුන් නිහඬ වෙනවා. එයින් කම්පනයට
පත් වෙනවා. මේ අනුව, යුනිවසිටි කවුන්සිලය විසින්
විනය කමිටුවේ වාර්ථාව ප්‍රතික්ෂේප කරන්න හේතුව
ලෙස කියූ “පළමු ප්‍රමාදයේ ස්වභාවය“ පැහැදිලි උනා.
එය, මේ නඩුව, “ඇගේ දෙවැනි ප්‍රමාදය“ නොතකා
ඉදිරියට ගෙනයන්නත් හේතුවක්.
මොකක්ද අධිකරණ තීරණය උනේ?
මේක අපරාධ නඩුවක් නෙවෙයි. ඒ හින්දා අපරාධ
නඩුවක් ගොනු කෙරුවා නම් ලැබෙන තීන්දුව මෙහිදී
ලැබෙන්නෑ. මේක මූලික අයිතිවාසිකම් නඩුවක්.
(අපරාධ නඩුවක් ගොනු කරන්න අදාල වින්දිත
කාන්තාව අකැමැති වූ බව ලිපියේ මුලදී සඳහන්
කෙරුවා)
ඒ අනුව, මූලික අයිතිවාසිකම් නඩුවකදී ලැබිය හැකි
සහන ගණනාවක් සහිත නඩු තීන්දුවක් ලබාදෙන්න
අධිකරණය කටයුතු කෙරුවා.
නඩු තීන්දුව ලබා දීමේදී, කාල සීමාවේ ප්‍රශ්නය නිසා
මේ නඩුව පසුබෑමට ලක් උනා. නමුත්, නඩුව විභාග
කොට අවසානයේදී, පැහැදිලි තනි තීන්දුවක් වෙනුවට
අතිශය වැදගත් නියෝග කීපයක් නිකුත් කරන්න
අධිකරණය තීරණය කෙරුවා.
පළමු නියෝගය:
අධිකරණය විසින්, ලිංගික හිරිහැර සිදුකළ පුද්ගලයා
වූ, මහාචාර්ය W.M.තිලකරත්නට කිසිඳු අධ්‍යාපන
ආයතනයක රැකියාවක් ලබාගැනීම තහනම් කෙරුවා.
මහාචාර්ය තනතුර හෝ වෙනත් කිසිඳු තනතුරක්
ඔහුට අධ්‍යාපන ආයතනයක් තුළ මින් ඉදිරියට දරන්න
බෑ. ගෙවීම් කරන තනතුරක් හෝ ගෙවීම් නොකරන
ස්වේච්ඡා තනතුරක් දරන්නත් බෑ. මේ අනුව අදාල
මහාචාර්යවරයාව අතිශයින්ම තදබල “රැකියා
තහනමකට“ ලක් කෙරුවා. මේක නඩුවෙන් ලැබුණු
වටිනාම නියෝගයක්.
දෙවැනි නියෝගය:
මේක ලබාදුන්නෙ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට.
මේ නියෝගයෙන් අධිකරණය විශ්ව විද්‍යාල ප්‍රතිපාදන
කොමිසමට කිව්වා, මහාචාර්ය W.M.තිලකරත්නව
කිසිම ආයතනයක සේවයට බඳවාගන්න එපා කියලා.
ඒ කියන්නෙ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතේ
තිබෙන විශ්ව විද්‍යාල හෝ අනෙක් අධ්‍යාපන ආයතන
කිසිවක ඔහුට සේවය කිරීම තහනම්. මේ අනුව,
ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියට නැවත ඔහුට
එන්න බෑ.
තුන්වැනි නියෝගය:
මේක නිකුත් කෙරුවෙ විශ්ව විද්‍යාලයට. මේ අනුව,
මෙම විශ්ව විද්‍යාලය විසින් ලිංගික හිරිහැර පිළිබඳව
අදාල විශ්ව විද්‍යාලයේ ප්‍රතිපත්තියක් සකස් කරන්න
ඕන. ඒක නිසි විදිහට ක්‍රියාත්මක කරන්න ඕන. සිසුන්
සහ කාර්ය මණ්ඩලයට ඒ ගැන දැනුවත් කිරීම් කරන්න
ඕන. වාර්ෂිකව ප්‍රගතිය සමාලෝචනය කරන්න ඕන.
මේ නියෝගය කලින් දෙක වගේ දඬුවමක් නෙවෙයි.
අනාගත සුබ සිද්ධිය තකා කරන ආයතනික
වෙනස්කමක්.
ඔය තමයි අධිකරණ තීරණය.
අදාල වෛද්‍යවරිය අපරාධ නඩුවක් ගොනු කෙරුවා නම්
තත්ත්වය වෙනස් වෙනවා ද? ඔව්. එවැන්නක්
අධිකරණයේදී ඔප්පු උනා නම්, මහාචාර්යවරයා
උපරිම සිර දඬුවම් ලබනවා. නමුත් මේක මූලික
අයිතිවාසිකම් නඩුවක්. මේක ගොනු කෙරුවෙ, අදාල
සිදුවීමට අභ්‍යන්තර ක්‍රියාමාර්ග ගැනීම පිණිස විශ්ව
විද්‍යාලයට බළපෑම් කරන්න.
ලෝකයේ මූලික අයිතිවාසිකම් ක්ෂේත්‍රය දෙස බලද්දී,
මේක බොහොම සුවිශේෂී එකක්.
ඊට හේතුව, බාධක ගණනාවක් තිබියදී, අදාල වින්දිත
වෛද්‍යවරියගේ පාර්ශ්වයෙන් පවා නෛතික හිඩැස්
තිබියදී, ඒ සියල්ල අතරින් ගමන් කොට, උපරිම
යුක්තිය දිනාදීපු අවස්ථාවක් මේක. නඩු පවරන කාල
සීමාව ඉක්මවීම නිසා අවසන් තීරණයක් නොදී,
නියෝග කීපයක් හරහා යුක්තිය ඉටුකළ අවස්ථාවක්
මේක.
ඒ වගේම, ලංකාවේ අධ්‍යාපන ආයතන පද්ධතියේ
අකටයුතුකම් හෙළි වූ අවස්ථාවක්. ලිංගික හිරිහැර
කරන මහාචාර්යවරුන්, ඔවුන්ව ආරක්ෂා කරන
පාලනාධිකාරීන් හෙළි වූ අවස්ථාවක්. ඊට අමතරව මේ
ආයතනවල තනතුරුවල බලය, ධූරාවලියේ ඉහළ
සිටින අයගේ ආකල්ප, අයුක්තිය, නිසි අවබෝධයක්
නැතිකම ආදී ප්‍රශ්න ගණනාවක ප්‍රතිපලයක් මේක.
විශ්ව විද්‍යාල පද්ධතිය වඩාත් විනිවිද පෙනෙන,
වගකියන, ගරුත්වයක් සහිත, ආරක්ෂාකාරී,
සමානාත්මතාවය අගයන තැනක් බවට පත් කරන්න
අවශ්‍ය මූලික පියවර මේ නඩුවෙන් ලබාදුන්නා. මේ
තීරණය ලබා දුන්නේ ගරු විනිසුරු ජනක් ද සිල්වා,
ගරු විනිසුරු අචල වෙන්ගප්පුලි, ගරු විනිසුරු ප්‍රියන්ත
ප්‍රනාන්දු යන අය විසින්.
වැඩිදුර කියවන අයට නඩු අංකය: S.C.F.R. Application
No. 81/2021
•
සටහන:

Nuwan Ishara Mahagamage | නුවන් ඉෂාර
මහගමගේ
#LawAndJustice #LegalEducation #lawnotes
#womenrights