චින්තන පර්ෂදය -
තමලු ගේ අදහස් විමසා බැලීමක්
-----------------------------------------------------------
අවංක අදහස් දැක්වීමක් ය යි සිතමි.
තමලු නලින් ද සිල්වා ඇදුරුතුමා ගේ අදහස් වර්ධනයෙහි අදියර කීපයක් දකින අතර, අවසන් අදියරේ දී, බොරු හා පට්ට්පල් බොරු, විද්‍යාලංකාර විවරණය, දැනුම සංස්කරණය කිරීම, අනපෝහනය ආදී දේ ගැන එ තුමා ගේ අදහස් මුණ ගැසෙන බව ද ක්වොන්ටම් ක්ෂේත්‍රවාදය සම්බන්ධ ඔහු ගේ උනන්දුව ද මුණ ගැසන බව ද කියයි. තමලු ගේ අවධාරනය නිසා, විශේෂයෙන් ම, මේ අදියර කීපයක් පිළිබඳ අදහස නිසා, ඒ කරුණු නැවත අධ්‍යයනය කිරීමට බලාපොරොත්තු වෙමි. එහෙත් තමලු ගේ මේ අවධින් පිළිබඳ අදහස, මාක්ස්වාදයෙන් කැඩීමෙන් පසු ද අවධීන් පවතීන්නේ ය යන අදහස, දැන් චින්තන පර්ෂදයේ පොල්මඃකාර උරුමක්කාරයන් ය යි කියාගන්නා අය ගේ අදහස්වලට, තමලු ම ඇදුරුතුමා හා අවසානය තෙක් සිටියා ය යි පක්ෂපාතීත්වයක් දක්වන පිරිස ගේ අදහස්වලට සහමුලින් ම පටහැනි ය.
සමන්තලා කතා කරන්නේ, 1980 සිට යන ගමනක් ගැන ය; අවුරුදු 45ක ගමනක් ගැන ය. 1980 වැඩවර්ජනයේ විනාශකාරී අත්දැකීම්වලට පසු ව, නලින් ඇදුරුතුමා කාල් පොපර් උපුටා දක්වමින් ප්‍රශ්න කරන්නේ මාක්ස්වාදය විද්‍යාත්මක ද කියා ය (ඒ ලිපි සමන්තලා නැවත පළ කිරීමේ දී අදාල සිළුමිණ පුවත්පත්වල දින සඳහන් කිරීමටවත් කටයුතු කර නැත!). එ තුමා විද්‍යාව ප්‍රශ්න කිරීමට යොමුවන්නේ ඊට වසර 4-5කට පසු ව ය. 'මගේ ලෝකය' පළ කෙරෙන්නේ, 1986 දී ය. ඒ යුගයේ දී අමරසේකර මහතා අනුව යමින් යෝජනා කළේ මාක්ස්වාදය හා ජාතිකත්වය අතර සංවාදයක් ය. සහමුලින් ම මාක්ස්වාදය අතහරින ස්ථාවරයක් ගත්තේ පසුකාලීන ව ය. මේ නිසා ජාතික කඳවුරේ අපි එ තුමා ගේ හැරවුම් ලක්ෂ්‍යය ලෙස ගත යුත්තේ, මාක්ස්වාදය විද්‍යාත්මක දැ යි ප්‍රශ්න කළ 1980 නොව, විද්‍යාව ප්‍රශ්න කළ, නැතිනම් දැනුම පිළිබඳ දැනුමක් නිර්මාණය කළ 'මගේ ලෝකය' සමඟ ය යි යන්නවත් පිළිගැනීමට ඊනියා චින්තන පර්ෂදකාරයන් සූදානම් නැත. එහෙත් තමලුට ඔවුන් වඩා ළඟ ය. මේ ළබැඳියාවන්හි දී අදහස්වලට ලැබෙන්නේ කෙ තරම් අවැදගත් තැනක් ද?
ඒ සමඟ ම තමලු කියන පහත කරුණ, කරුණටත් වඩා ඒ ඇයි ද යන්න අතීශයෙන් වැදගත් ය:
"ඔහු පරලෝ සැපත් වීමට ආසන්න කාලය තෙක් ම ඍජුව ම උපදෙස් දුන්නේ ජාතික චින්තනය යන වචනය අපේ අදහස් හා දේශපාලන ප්‍රවේශයන් සම්බන්ධයෙන් උපක්‍රමිකව හෝ භාවිත කිරීමෙන් වැළකී සිටින ලෙසයි. ගුණදාස අමරසේකර මහතාට පැවැත්වූ උපහාර උළෙලින් පසු කාලයේ ද පැහැදිලිව ම ඔහු කියා සිටියේ ජාතික චින්තනය සමඟ ඔහුගේ අදහස් මිශ්‍ර වීමට ඉඩ නොතබා ප්‍රචාරණයන් කළ යුතු බව ය. ඉතා ම මෑතක එක් වෙබ් අඩවියක් ඇරඹීම පිණිස අයකු ඔහුගෙන් විමසූ විට ඔහුගේ එක ම කොන්දේසිය වූයේ ජාතික චින්තනය වචනය භාවිත නොකරන ලෙසයි."
ඒ ඇයි?
දැන් ජාතික චින්තන අදහස් වර්ධනය වූ අවධියේ නලින් ද සිල්වා ඇදුරුතුමා 'ජාතික චින්තනය' වෙනුවෙන් පෙනී සිටියා පමණක් නොව, ඒ අදහස් වර්ධනය කිරීමට ද දායක විය 'ජාතික චින්තනය' ප්‍රශ්න කරන්නන්ට අභියෝග ද කළේ ය. 1987 නොවැම්බර හා1989 ජුනි අතර කාලයෙහි 'කාලය' සඟරා හා 1991 දී ප්‍රකාශිත 'ජාතිය, සංස්කෘතිය සහ චින්තනය' කෘතිය මේ සම්බන්ධයෙන් සාක්ෂි දරයි.
දැන්, මේ, තමලු කියන ආකාරයකට නලින් ඇදුරුතුමා අවසාන වශයෙන් දැරූ අදහස් නොවේ ය යි කිව හැකි ය. එහෙත් තමා ගේ ඉහත අදහස් එ තුමා ප්‍රතික්ෂේප කර තීබේ ද? ඒ අදහස් සම්බන්ධයෙන් ස්වයං විවේචනයක යෙදී තිබේ ද? තිබේ නම්, කරුණාකර අපව දැනුම්වත් කරන්න.
ඒ වගේ ම, නලින් ද සිල්වා ඇදුරුතුමා 2024 දී සංවිධානය කළ අමරසේකර උපහාර උලෙළට පෙර හා පසු අමරසේකර ගේ ජාතික චින්තනය සම්බන්ධයෙන් දැරූයේ, තමලු කියන්නා සේ දුරින් ම දුරු කළ යුතු ය යන ආකල්පය නම්, අමරසේකර උපහාර උලෙළක් එ තුමා ම මූලික වී, එ තරම් වෙහෙස-මහන්සි වී සංවිධානය කළේ ඇයි? අමරසේකර මහතා ගේ ද අනුමැතිය හා දායකත්වය ඇතී ව සංවිධානය කළේ ඇයි? ඒ වගේ ම ඒ උලෙළේ සංවිධාන කටයුතුවලට මාව සම්බන්ධ කර නොගත්තේ ඇයි? මට නොතේරෙන අදුරු තැනකි, මේ.
චින්තන පර්ෂදය සම්බන්ධ තමලු ගේ අදහස මෙ සේ ය:
"චින්තන පර්ෂදය බාහිරව මා හඳුනාගන්නේ නලින් ද සිල්වා මහතාගේ අදහස් මතින් මෙහෙයවුණු සංවිධානයක් ලෙසයි. ගුණදාස අමරසේකර මහතා හා අනෙක් ජාතිකවාදී පාර්ශ්ව සමඟ එක් වී කටයුතු කිරීමට නලින් ද සිල්වා මහතා කොතෙක් දිරි දුන්නත් අදහස් එකට මිශ්‍ර කිරීමට දිරි දුන්නේ නැත. එහෙයින් ඔහු චින්තන පර්ෂදයේ ලේකම්ව තව ම සිටියේ නම් කිසි දිනෙක මිශ්‍ර අදහස් සම්බන්ධ ව්‍යාපෘතිවලට කිසිසේත් එකඟ නොවන බවට මට ඉර හඳ සේ විශ්වාස ය."
මේ සියල්ලෙන් කියැවෙන්නේ චින්තන පර්ෂදය යනු නලින් ද සිල්වා කියා ය. එ තුමා ගේ කැමැත්තෙන් පරිබාහිර කිසිවකට එහි ඉඩක් නැතී බව ය. මේ ඇත්ත නම්, එය ශෝචනීය තත්වයක් නොවේ ද? එ සේ නම්, චින්තන පර්ෂදයක් කුමට ද? කළ යුතු ව තිබුණේ, එ තුමා ගේ වැඩ-කටයුතුවලට උපකාරයක් වනු පිණිස කාර්යලයක් පවත්වාගෙන යෑම නොවේ ද? මා නම් චින්තන පර්ෂදය වෙනුවෙන් කැපවූයේ, විද්‍යාව නව මානයන්ට යොමු කිරීමට සාමූහිකව කැප වූ වියානා කවය ගැන නලින් ඇදුරුතුමා ම කී කතාවලින් උද්දාමයට පත්ව ය.
තමලුට සම්මුඛ වන කාලයේ කෙසේ වුව ද ආරම්භයේ නම්, චින්තන පර්ෂදය සැබෑ බුද්ධි මණ්ඩපයක් විය. එ කල නලින් ද සිල්වා ඇදුරුතුමා සමඟ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමි, වෛද්‍ය ගුණදාස අමරසේකර, ජී. අයි. ඩී. ධර්මසේකර, විශේෂඥ වෛද්‍ය රංග වික්‍රමසිංහ ආදීහු ඊට දායක වූහ. තමලු කියන 'සිංහල-බෞද්ධ' යන වදන් භාවිතයට එ කල නලින් ද සිල්වා ඇදුරුතුමා අකමැති වුණත්, අපට ආවේණික වූ චින්තයක් ඇති බව ද, එය මතු කරගෙන පෝෂණය කිරීම පර්ෂදයේ බලාපොරොත්තුව බව ද ආරම්භයේ දී ම ප්‍රකාශ විය.
මා උත්සාහ කළේ ශක්ති පමණින් චින්තන පර්ෂදය යළි එ වැනි බුද්ටි මණ්ඩපයක් බවට පත් කිරීමට ය. දැන්, මට මගේ තරුණ වියේ දී ම, මේ යෝධයන් හා ඇසුරින් ලැබුණ මඟ පෙන්වීම්, දැනුම, අත්දැකීම් සියල්ල කැටි කරගෙන, 'ජාතික චින්තන සංසදය' මඟින් පෙරළා ජාතියේ චිරජීවනය උදෙසා දායකවීමට උත්සාහ කරමි.
අවසානයේ දී තමලු කරන මමායනයෙන් පිරුණු ප්‍රකාශ අතර එක වැදගත් කරුණක් ඇත: "සිංහල බෞද්ධ චින්තනයේ ප්‍රවාද නිර්මාණය යන්න සම්පූර්ණයෙන් ම අතහැර දමන ව්‍යාපාරයක් නලින් ද සිල්වා මහතාගේ අදහස්වල කිසි නියෝජනයක් ලෙස පෞද්ගලිකව මා සලකන්නේ නැත." ඔව් තමලු, මේ කාර්යය ඉෂ්ට-සිද්ධ කරන්නන්, නලින් ද සිල්වා ඇදුරුතුමා ගේ සැබෑ දු-පුතුන් ලෙස, ශිෂ්‍යයන් ලෙස, අනුගාමිකයන් ලෙස හෙට දිනයේ දී පිළිගැනීමට ලක්වනු ඇත!