පාස්කු බෝම්බ ප්‍රහාර කල්ලියේ සාමාජිකයෙක්
උසාවියේදී සියල්ල පාපොච්ඡාරණය කරයි..
මෙන්න එළියට ආපු නොසිතු නම් ගම ලිස්ට් එක
2019 වසරේ පාස්කු ඉරු දින මෙරට කිතුනු දේවස්ථාන සහ ප්‍රමුඛ පෙළේ සංචාරක හෝටල් ඉලක්ක කරගනිමින් එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවට අදාළව පෙරේදා (03) පැවති නඩු විභාගයේදී මේ නඩුවේ වැදගත්ම සාක්ෂිකරුවකු වන සහරාන්ගේ මරාගෙන මැරෙන කණ්ඩායමේ සාමාජිකයකු රජයේ සාක්ෂිකරුවකු වෙමින් ප්‍රහාරයට සම්බන්ධ තැනැත්තන් ගණනාවක් පිළිබඳ හෙළිදරවු කර සිටියේය.
2019 වසරේ පාස්කු ඉරු දින කොළඹ, මීගමුව සහ මඩකලපුව ප්‍රදේශවල පිහිටි කිතුනු දේවස්ථාන හා සංචාරක හෝටල් ඉලක්ක කරගනිමින් එල්ල කෙරුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් පවරා ඇති මේ නඩුව, නවරත්න මාරසිංහ (සභාපති), සුජීව නිශ්ශංක සහ රාමනාදන් කන්නන් යන මහත්වරුන්ගෙන් සමන්විත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ විභාග කෙරේ.
පාස්කු දින ප්‍රහාරය සම්බන්ධ නඩුව වසර තුනක් තුළ දින 200කට ආසන්න කාලයක් මේ වන විට විභාගයට ගෙන ඇති අතර පෙරේදා (03) අයි.එස්.අයි.එස්. (ISIS) සංවිධානයට අනුබද්ධව සහරාන් හෂීම් යටතේ ක්‍රියාත්මක වූ මරාගෙන මැරෙන කණ්ඩායමේ සාමාජිකයකු රජයේ සාක්ෂිකරුවකු ලෙස පෙනී සිටිමින් කළ දීර්ඝ හෙළිදරව්ව හේතුවෙන් සුවිශේෂ දිනයක් විය. මේ සාක්ෂිකරු විසින් සහරාන්ගේ කණ්ඩායම සිය අන්තවාදී අදහස් ව්‍යාප්ත කළ ආකාරය, දිවයිනේ විවිධ ප්‍රදේශවල රහසිගතව ආයුධ පුහුණු සැසි පැවැත්වූ ආකාරය සහ තරුණයන් අතර අන්තවාදී ආගමික මතවාද ව්‍යාප්ත කළ ආකාරය පිළිබඳව ඉතාමත් විස්තරාත්මක කරුණු අධිකරණය හමුවේ තැබීය.
පාස්කු දින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් මොහොම්මදු ඊබ්‍රහිම් මොහොම්මදු නව්ෆර් හෙවත් නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා ඇති අතර, නඩුවේ 17 වැනි විත්තිකරු ලෙස නම් කර සිටි යාසීර් බාබා අබ්දුල් රවුෆ් මේ වන විට මියගොස් ඇත.
නීතිපතිවරයා නියෝජනය කරමින් අතිරේක සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය පැමිණිල්ල මෙහෙයවූවාය.
පෙරේදා දිනය පුරාම සාක්ෂි ලබා දුන් මේ රජයේ සාක්ෂිකරුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අධිකරණය සහ ආරක්ෂක අංශ දැඩි අවධානයක් යොමු කර තිබුණි.
ආරක්ෂක හේතූන් මත දිවා ආහාරය සඳහා නඩු විමසීම නැවැත්වූ අවස්ථාවේදී පවා ඔහු අධිකරණ සංකීර්ණයේ පිහිටි විශේෂිත ආරක්ෂිත ස්ථානයක රඳවා තැබීමට පියවර ගෙන තිබූ අතර කිසිදු පුද්ගලයකුට ඔහු සමඟ සාකච්ඡා කිරීමට අවසර ලබා දී නොතිබුණි.
එසේම සාක්ෂිකරුගේ ආරක්ෂාව සඳහා අනන්‍යතාව විස්තර නොකෙරිණි.
අතිරේක සොලිසිටර් ජනරාල්වරියගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දුන් ඔහු, තමන් අන්තවාදී මාවතට යොමු වූ ආකාරය පිළිබඳව සිය අතීතය ආවර්ජනය කළේය.
සාක්ෂිකරු ප්‍රකාශ කළේ තමන් 2011 වසරේදී 10 වැනි ශ්‍රේණියේ ශිෂ්‍යයකුව සිටියදී Òජමියතුල් තලබාර් ඉස්ලාම්Ó හෙවත් ‘ජමියා’ නමින් හැඳින්වෙන අන්තවාදී නොවන ශිෂ්‍ය සංවිධානයක කටයුතු ආරම්භ කළ බවයි.
අනතුරුව එම සංවිධානය මඟින් ගම්පොළ සහ හෙම්මාතගම යන ප්‍රදේශවල පැවැත්වූ දින පහක නේවාසික පුහුණු වැඩසටහනකට සම්බන්ධ වී නිපුණතා සංවර්ධනය සහ ජීවන නිපුණතා පිළිබඳ අවබෝධයක් ලබාගත් බව ඔහු පැවසීය. ඉන් පසු තවදුරටත් පුහුණුව සඳහා දින 20ක නේවාසික වැඩමුළුවකටත්, වරකාපොළ පැවැති දින 10ක වැඩමුළුවකට සහ මහනුවර පැවැති දින 5ක වැඩමුළුවකටත් ඔහු සහභාගි වී තිබේ. මේ පුහුණු වැඩසටහන් අවසානයේ සහභාගි වූවන්ව තිහාරියේ පිහිටි ආබාධිත දරුවන්ගේ පාසල වැනි ස්ථාන වෙත රැගෙන ගොස් සමාජ අවබෝධයක් ලබා දීමට කටයුතු කර ඇත.
මේ ගමන් බිමන්වලදී සාක්ෂිකරුට මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කිරීමේ සිද්ධියට ඍජුවම සම්බන්ධ වූ එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු හඳුනා ගැනීමට ලැබී තිබේ. ඔවුන් මෙම නඩුවේ 4 වැනි සහ 5 වැනි විත්තිකරුවන් වන සාදික් සහ සාහිබ් යන අයයි. මහනුවර පැවැති වැඩමුළුවට මොවුන් දෙදෙනාට අමතරව මාවනැල්ලේ සිරාස්, පොලොන්නරුවේ පයාස් මෙන්ම හම්දි, හුස්නි සහ සබීර් යන පුද්ගලයන් ද එක්ව සිටි බව සාක්ෂිකරු හෙළි කළේය. සාදික් සහ සහිබ් යන සහෝදරවරුන් සමඟ සමීපව කටයුතු කිරීම සහ ඔවුන් ප්‍රදර්ශනය කළ අන්තවාදී අදහස් හේතුවෙන් තමන්ව පසුව ‘ජමියා’ ශිෂ්‍ය සංවිධානයෙන් ඉවත් කර ඇති අතර එම සහෝදරයන් දෙදෙනාව ද ඊට පෙර එම සංවිධානයෙන් ඉවත් කර තිබුණි. ඉන් අනතුරුව මොවුන් වෙනත් පිරිසක් සමඟ එක්ව නව ඉස්ලාම් ශිෂ්‍ය සංවිධානයක් නිර්මාණය කිරීම සඳහා විෂය නිර්දේශයක් පවා සකස් කර තිබූ බවත්, විභාග කටයුතු නිසා එය අවසන් කිරීමට නොහැකි වූ බවත් සාක්ෂිකරු පැවසීය.
අයි.එස්.අයි.එස්. සංවිධානයේ ක්‍රියාකාරීත්වය සහ එහි ව්‍යූහය පිළිබඳව සාක්ෂිකරු ඉදිරිපත් කළ තොරතුරු අතිශයින්ම තීරණාත්මක විය. ඔහුට අනුව මේ සංවිධානයට සාමාජිකයන් බඳවා ගනු ලබන්නේ ඉතා දීර්ඝ පුහුණු සැසි සහ සාකච්ඡා මාලාවකින් පසුවය.
එහි සාමාජිකයන් ප්‍රධාන කොටස් දෙකකට බෙදා තිබූ අතර, එක් පිරිසක් යුද පෙරමුණට ගොස් සටන් වදින සෙබළුන් ලෙසත්, අනෙක් පිරිස මරාගෙන මැරෙන බෝම්බකරුවන් ලෙසත් සූදානම් කර ඇත. සහරාන්ගේ කණ්ඩායමේ සාමාජිකයන් අනිවාර්යයෙන්ම මෙම කොටස් දෙකෙන් එකකට අයත් විය යුතු වූ බවත්, තමන් මරාගෙන මැරෙන කණ්ඩායමේ සාමාජිකයකු ලෙස කටයුතු කළ බවත් සාක්ෂිකරු අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් අනාවරණය කළේය.
සංවිධානයේ ආරක්ෂාව සඳහා සෑම සාමාජිකයෙකුටම අන්වර්ථ නාමයක් ලබා දී තිබූ අතර, සියලු රහසිගත මෙහෙයුම්වලදී ඔවුන්ව හඳුන්වනු ලැබුවේ එම නමින් පමණි.
අරාබි භාෂාවෙන් “තාත්තා” යන අර්ථය ඇති “අබු” යන ගෞරවාර්ථ නාමය ආරක්ෂක පියවරක් ලෙස සෑම නමකම මුලට එක් කර තිබූ බව ඔහු පැවසීය.
ඒ අනුව මෙම නඩුවේ ප්‍රධාන විත්තිකරුවන් හඳුන්වා ඇති අන්වර්ථ නාමයන් මෙසේය:
නවුෆර් මවුලවි (1 වැනි විත්තිකරු) – අබු සෙයිද්, ගපූර් මාමා (2 වැනි විත්තිකරු) – අබු සාදික්, මිල්හාන් (සන්නද්ධ අංශ නායක – 3 වැනි විත්තිකරු) – අබු සිලා, රිල්වාන් (මරාගෙන මැරෙන බෝම්බකරු) – අබු කිතාල්, හස්තුන් (මරාගෙන මැරෙන බෝම්බකරු) – අබු මොහමුදු, සහරාන් හෂීම් – අබු මුහරිද්, අබ්දුල් සෙයිද් හනීපා (15 වැනි විත්තිකරු) – අබු හිනා යනුවෙන්ද සාක්ෂිකරු සංවිධානය තුළ නබිතුමාගේ සහාබිවරයකුගේ නමකින් හැඳින්වූ බවත් කියා සිටියේය.
මොවුන් සියලු දෙනා නුවරඑළිය ශාන්තිපුර ප්‍රදේශයේ නිෙවසක කාමර 5ක් වෙන්කරවාගෙන පවත්වාගෙන ගිය දින දෙකක රහසිගත පුහුණු කඳවුරකට සහභාගි වී තිබේ.
එහිදී පාන්දර 4.00ට ආගමික නමැදීමෙන් සහ සලාකය ඉටු කිරීමෙන් පසු දේශන ආරම්භ කර ඇත. මේ වැඩසටහනේදී සහරාන් හෂීම් විසින් ඉස්ලාම් ආගමික ගුරුවරුන් ජිහාදය පිළිබඳව ඉදිරිපත් කරන බුද්ධිමය හා සාමකාමී විග්‍රහයන් දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින්, ආයුධ බලයෙන් සිදුකරන සන්නද්ධ ජිහාදයක් පිළිබඳව සාමාජිකයන් පොලඹවා ඇති බව හෙළි විය. මෙම වැඩසටහනට 20-30ත් අතර පිරිසක් සහභාගි වී ඇත.
අයිඑස්අයිඑස් සංවිධානයේ ධජය සහ එහි අර්ථය පිළිබඳව ද සාක්ෂිකරු විස්තර කළේය. නබිතුමාගේ මුද්දේ සලකුණ ධජයේ මුද්‍රාවක් ලෙස භාවිත කළ බවත්, එහි “නබිතුමා අල්ලාහ් දෙවියන්ගේ දූතයාය” යන අර්ථය දෙන අරාබි වැකියක් අන්තර්ගත වූ බවත් ඔහු කියා සිටියේය.
එමෙන්ම ඉස්ලාම් රාජ්‍යයක් ගොඩනැඟීම සඳහා වූ දීර්ඝ ප්‍රතිඥාවක් සාමාජිකයන් විසින් ලබා දිය යුතු වූ අතර, එහිදී අල්ලාහ් දෙවියන්ගේ සිට නබිතුමා අනුගමනය කරමින් ඉස්ලාම් රාජ්‍යයක් ගොඩනැඟීම සඳහා යටත්ව ක්‍රියා කරන බවට දිවුරුම් දිය යුතු බව අනාවරණය විය.
සංවිධානය සිය ක්‍රියාකාරකම් රහසිගතව පවත්වාගෙන යෑම සඳහා අතිශය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කර තිබේ. සාමාජිකයන් හෙළිදරවු වීම වැළැක්වීම සඳහා ජංගම දුරකතන සහ අනෙකුත් ඉලෙක්ට්‍රොනික උපාංග ආරක්ෂිතව භාවිත කරන ආකාරය පිළිබඳව අනිවාර්ය පුහුණුවක් ලබා දී තිබූ අතර, සාක්ෂිකරු කිසිදු පුහුණු සැසියකට සහභාගි වන විට ජංගම දුරකතන භාවිත කර නොමැත.
සන්නිවේදනය සඳහා තෙවැනි පාර්ශ්වීය මෘදුකාංග (Third-party software) භාවිත කිරීමට ඔවුන් වගබලා ගෙන ඇත. පුහුණු වැඩමුළුවලදී ලබා දුන් අන්තවාදී දේශන ඇතුළත් පත්‍රිකා සහ වීඩියෝ දර්ශන අඩංගු පෙන්ඩ්‍රයිව් තමන් සතුව තිබූ බවත්, පාස්කු දින ප්‍රහාරයෙන් පසු ආරක්ෂක අංශවලට හසුවීමට ඇති බිය නිසා ඒවා ගිනිතබා විනාශ කළ බවත් සාක්ෂිකරු වැඩිදුරටත් අධිකරණය හමුවේ කියා සිටියේය. එම වීඩියෝවල ඉස්ලාම් රාජ්‍යයේ ක්‍රමෝපායන් සහ ජිහාද් අරමුණුවලට විරුද්ධ වන්නන්ට දෙන බරපතළ දඬුවම් පිළිබඳව අන්තර්ගත වූ බව ද ඔහු අනාවරණය කළේය.
2018 වසරේ දෙසැම්බර් දක්වාම මේ විත්තිකරුවන් සමඟ තමන් සබඳතා පැවැත්වූ බව සාක්ෂිකරු කියා සිටියේය.
#CHANNEL7 #channel7news