හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා ඇමරිකානු ඩොලර් මිලියන 02ක් හෙවත් ශ්‍රී ලංකා රුපියල් කෝටි 60කට අධික මුදලක් ගෙවා රත්තරන් ලබා ගැනීමට උත්සාහ කිරීමේදී වංචාවකට ලක්වීම පිළිබඳ පුවතක් ඝානා මාධ්‍ය වාර්තා කර තිබුණි.
රත්‍රං ලබාදෙන බවට දුන් ව්‍යාජ පොරොන්දුවක් මත මෙම දැවැන්ත මුදල අහිමි කරගෙන ඇති හිස්බුල්ලා මහතාගේ පැමිණිල්ලකට අනුව, ඝානා ජාතිකයින් 11 දෙනෙකුගෙන් යුත් වංචා ජාලයක් එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
කෙසේ වෙතත් මෙරට අපට ඇති ගැටලුව වන්නේ, හිස්බුල්ලා මහතාට මෙතරම් ආදායමක් කොයින්ද යන්නය. ඔහු මෙවැනි මුදල් ලබාදීමක් සිදු කළාද? ඔහුට එතරම් වත්කම් කොයින්ද යන්න විමර්ශනයට ලක් කළ යුතුය. අප මෙහිදී උත්සාහ කරන්නේ ඔහු විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ඉදිරිපත් කර ඇති වත්කම් බැරකම් ප්‍රකාශය මත පදනම්ව මේ පිළිබද කතා කිරීමය.
ඝානා සින්ඩිකේට්
පෙර සදහන් කළ ආකාරයට 2023 වසරේ මැද භාගයේදී පමණ ඝානා ජාතිකයන්ගෙන් සමන්විත ජාවාරම් ජාලයක් (සින්ඩිකේට් එකක්) විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී මුහම්මද් හිස්බුල්ලා මහතාට රත්‍රං තොගයක් ලබාදෙන බවට ව්‍යාජ පොරොන්දු ලබා දී ඇමරිකානු ඩොලර් මිලියන 2ක මුදලක් ලබාගෙන ඇති බව උක්ත මාධ්‍ය වාර්තාවල සදහන්ය.
රත්‍රං ලබා නොදීමෙන් අනතුරුව, සැකකරුවන් මන්ත්‍රීවරයා සමග පැවැත් වූ සියලු සබඳතා නවතා දමා ඇති බව විමර්ශනවලින් හෙළි වූ බවද එහි සදහන්ය.
කෙසේ වෙතත්, 2025 වසරේදී නැවතත් මෙම සැකකරුවන් හිස්බුල්ලා මහතා සම්බන්ධ කර ගෙන ඇති අතර, කිලෝග්‍රෑම් 50ක රත්‍රං තොගයක් විකිණීමට ඉදිරිපත් වෙමින්, ගනුදෙනුව නීත්‍යනුකූල බව පෙන්වීම සඳහා ව්‍යාජ අවබෝධතා ගිවිසුමක් පවා අත්සන් කර තිබේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ලද නිල පැමිණිල්ලකට අනුව, ඝානාවේ ජාතික ආරක්ෂක අංශ විසින් 2025 ඔක්තෝබර් 16 වන දින වෙයිජා එස්.සී.සී. ප්‍රදේශයේදී සැකකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී. අත්අඩංගුවට ගැනීමේදී රත්‍රං යැයි සැක කෙරෙන කහ පැහැති ලෝහ කැබලි දෙකක් සොයා ගෙන ඇති අතර, ඒවායේ සත්‍යතාව තහවුරු කර ගැනීම සඳහා පරීක්ෂණ සිදු කරන බව පොලීසිය අධිකරණයට දැනුම් දී ඇත. ජාතික ආරක්ෂක කවුන්සිල ලේකම් කාර්යාලයේ නිලධාරීන් මෙම නඩුවේ පැමිණිලිකරුවන් ලෙස කටයුතු කර ඇත.
සැකකරුවන්ට එරෙහිව අපරාධ කිරීමට කුමන්ත්‍රණය කිරීම, බොරු පොරොන්දු දී වංචා කිරීම සහ වංචා කිරීමට තැත් කිරීම යන චෝදනා යටතේ නඩු පවරා තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් 11 දෙනා නම්: අබ්දුල් රවුෆ් ඇඩම්, අල්මාමූඩි සලේ, යෝ අට්ටා ඇන්ට්වි, ඔස්මාන් සුලේමාන්, න්යිරාබා ද්වාමේනා, බෙන්ස්කාර්ල් ද්වාමේනා, සාන්ෆෝ මුබසීර්, සල්ලා මාමූඩි, අහමඩ් ඉෂාහ්, උමරු පාෆඩෙනම් සහ සලීෆු සුලේමාන් යන අයයි.
2025 ඔක්තෝබර් මස අගදී ඇක්රා පරිපථ අධිකරණ අට විසින් මෙම සැකකරුවන් ඇප මත මුදා හැරීමට නියෝග කර ඇත. සැකකරුවන් සෑම අයෙකුටම ඝානා සේඩි ලක්ෂ 05 බැගින් වූ මුදල් ඇපයක් (දළ වශයෙන් ඇමරිකානු ඩොලර් 33,000ක්) සහ ශරීර ඇප 02ක් බැගින් ඉදිරිපත් කළ යුතු අතර, එක් ශරීර ඇපකරුවෙකු අනිවාර්යයෙන්ම ඉඩමක් සහිත දේපළකින් යුක්ත විය යුතු බවට නියෝග කර ඇත.
එහිදී දේපළවල මුල් ඔප්පු උසාවි රෙජිස්ට්‍රාර් වෙත ඉදිරිපත් කළ යුතුය. මෙම නඩුව සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුවන අතර, නඩුව යළිත් 2025 නොවැම්බර් 20 වන දින කැඳවීමට නියමිතය.
ගෝල්ඩ් කෝස්ට්
මෙම වංචාව සිදුවී ඇති ඝානාව, ලෝකයේ ප්‍රමුඛතම රත්‍රං නිෂ්පාදක රටවලින් එකක් ලෙස සැලකේ. ඓතිහාසිකව ගෝල්ඩ් කෝස්ට් ලෙස ඝානාව හදුන්වයි.
2022 වසරේදී සිය රත්‍රං නිෂ්පාදනය අවුන්ස මිලියන 3.7ක් දක්වා ඉහළ දමමින් අප්‍රිකාවේ ඉහළම රත්‍රං නිෂ්පාදකයා බවට ඝානාව පත් විය.
රත්‍රං යනු ඝානා ආර්ථිකයට අතිශයින්ම වැදගත් සම්පතකි; එය දළ වශයෙන් එරට සමස්ත අපනයනයන්ගෙන් අඩකට පමණ දායක වන අතර, 2024 වසරේදී ඩොලර් බිලියන 11.6ක රත්‍රං අපනයන ආදායමක් උපයා ඇත. (ශ්‍රී ලංකාවේ සමස්ත ඇගලුම්, තේ ඇතුළු භාණ්ඩ අපනයන ආදායමට ආසන්න වටිනාකමකි.)
රන් වෙළඳාම එරට විදේශ විනිමය ලබා ගැනීමේ ප්‍රධාන මාර්ගයක් වන අතර, ජනගහනයෙන් මිලියනයකට අධික පිරිසක් කුඩා පරිමාණයේ රන් පතල් කර්මාන්තය මත යැපෙන බැවින්, එය ඝානා සමාජයේ මුල් බැසගත් කර්මාන්තයකි.
රත්‍රං ආදායම දේශපාලනමය වශයෙන් ද රජයේ ප්‍රධාන සම්පතකි. 2025 වසරේදී ඝානාව විසින් “රත්රන් මණ්ඩල පනතක්” (Gold Board Act) සම්මත කර ඇත. ඒ එම අංශය විධිමත් කිරීමට සහ බලපත්‍ර රහිත විදේශීය රන් වෙළඳුන්ට දේශීය වෙළඳපොළට ඇතුළු වීම තහනම් කිරීමටයි.
මෙම ප්‍රතිසංස්කරණවල අරමුණ වී ඇත්තේ රහසිගත ජාවාරම මැඩලීම සහ රන් වෙළඳාමේ විනිවිදභාවය තහවුරු කිරීමයි. එසේ වුවද, මෙම රන් වෙළඳාම කෙරෙහි පවතින ඉහළ ඉල්ලුම සහ එහි ආවේණික සංකීර්ණ ස්වභාවය හේතුවෙන්, ඝානාවේ රන් සම්පත ජාවාරම් ජාලයන්ට ගොදුරු වී ඇත.
රත්‍රං ආශ්රිත වංචා
ඝානාවේ රන් සම්පත අවාසනාවකට මෙන් ජාත්‍යන්තර වංචාකරුවන්ගේ තෝතැන්නක් බවට ද පත්ව තිබේ. විමර්ශන වාර්තා සහ මාධ්‍ය වාර්තා අනුව, වංචාකාර ජාලයන් නීත්‍යනුකූල රන් සැපයුම්කරුවන් ලෙස පෙනී සිටිමින් විදේශීය ගැනුම්කරුවන් මුලා කරති.
ඇමරිකානු වෙළඳ උපදේශන සේවා විසින් විදේශීය ගැනුම්කරුවන් වෙත “රත්‍රං මිලදී ගැනීම, විකිණීම, වෙළඳාම හෝ ප්‍රවාහනය සම්බන්ධ ඕනෑම ගනුදෙනුවක් පිළිබඳව අතිශයින්ම ප්‍රවේශම් වන ලෙස” ප්රකාශිතව අනතුරු අඟවයි. මෙම වංචාවල සාමාන්‍ය රටාව වන්නේ: පෙරගෙවුම් වංචා, ව්‍යාජ ලියකියවිලි ඉදිරිපත් කිරීම සහ මුදල් ලැබීමෙන් පසු සම්බන්ධතා කපා හැරීම වැනි උපක්‍රම යොදා ගැනීමයි.
හිස්බුල්ලාට ඇති චෝදනා
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොඩ් ලෙබ්බේ අලිම් මොහොමඩ් හිස්බුල්ලා නැගෙනහිර පළාතේ ප්රමුඛ දේශපාලනඥයෙකි. ඔහු වෘත්තියෙන් ව්‍යාපාරිකයෙක් ලෙස ඇතැම් මූලාශ්රවල සදහන් කර ඇත.
ඔහු 1988 දී මුල්ම උතුරු නැගෙනහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස දේශපාලනයට පිවිසි අතර, එතැන් පටන් විවිධ කාලපරිච්ඡේදවලදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කර ඇත. 2019 වසරේදී ඔහු නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ද පත් විය.
2004 සහ 2005 වසරවලදී ඔහු රාජ්‍ය සතු ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ (Airport and Aviation Services Limited) සභාපති ලෙස කටයුතු කළ කාලය තුළ, ඔහුට සහ ඔහුගේ බිරිඳට රුපියල් මිලියන 67.5ක වංචාවක් සිදු කළ බවට චෝදනා එල්ල විය.
ඔහුගේ දේශපාලන ඉතිහාසයේ ඔහු ලද ප්‍රධානම චෝදනාවක් වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් සිටියදී රජය සමග කොන්ත්‍රාත්තුවකට එළැඹීම සම්බන්ධයෙන් වූ චෝදනාවයි. ඔහු බැටික්ලෝ කැම්පස් නම් අධ්‍යාපන ආයතනය පිහිටුවීමේදී රජය සමග ව්‍යාපාර ගිවිසුමකට එළැඹ සිටි අතර එම නිසා 2010- 2015 කාලසීමාවේ ඔහුට අයත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අතීතයට බලපාන පරිදි අහෝසි කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව නිර්දේශ කර තිබුණි. කෙසේ වෙතත්, එය සිදු නොවීය.
වත්කම් සහ බැරකම් ප්‍රකාශය
හිස්බුල්ලා 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතේ 82 වගන්තිය යටතේ 2025 වාර්ෂික වත්කම් සහ බැරකම් ප්‍රකාශය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස 2025 ජුනි 20 වන දින ඉදිරිපත් කර ඇත. මෙම ප්‍රකාශය 2025 මාර්තු 31 වන දිනට අදාළ වත්කම් සහ බැරකම් පිළිබඳ තොරතුරු ඇතුළත් කර ඇත.
එහි ඔහු තමන් සතු නිශ්චල දේපළ ලෙස, ඔහු සතුව කොළඹ 08, ලේක් ඩ්‍රයිව් (Lake Drive, Colombo 08) හි පිහිටි නිවසක් වාසස්ථානය ලෙස සටහන් කර ඇත. කෙසේ වෙතත්, එම දේපළෙහි වටිනාකම, එය අත්පත් කරගත් ආකාරය හෝ දිනය පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ප්‍රකාශයේ එම කොටස්වල දක්වා නොමැත.ෙ
ව්‍යාපාරික සහ ආයතනික අයිතිවාසිකම් පිළිබඳ කොටසෙහි “කිසිවක් නැත” (NIL) ලෙස සඳහන් කර තිබේ. මෙය විශේෂයෙන්ම අවධානයට ලක් විය යුතු කරුණක් වන්නේ, හිස්බුල්ලා මහතා වෘත්තියෙන් ව්‍යාපාරිකයෙකු (Businessman) ලෙස පාර්ලිමේන්තු වෙබ් අඩවියේ සඳහන් වන බැවිනි.
ඔහුගේ ව්‍යාපාරික වත්කම් පිළිබඳව මෙම කොටසෙහි කිසිදු තොරතුරක් ඇතුළත් නොවීම, වත්කම්වල සත්‍ය විනිවිදභාවය පිළිබඳව මහජනතාව තුළ ප්‍රශ්න මතු කිරීමට හේතු වේ.
ආදායම් මාර්ග (Income and Expenditure): මෙම ප්‍රකාශයේ ආදායම් කොටසෙහි ඇතුළත් විස්තර අනුව, ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස වැටුප් සහ දීමනා ලැබෙන බවට සඳහන් වේ.
ව්‍යාපාරිකයෙකු ලෙස වෙනත් විදේශීය හෝ දේශීය ආදායම් මාර්ග පිළිබඳව හෝ රත්‍රං වෙළඳාමෙන් අපේක්ෂිත ආදායමක් පිළිබඳව මෙහි සඳහන්ව නැත.
විනිවිදභාවයේ ගැටලුව:
හිස්බුල්ලා මහතාගේ මෙම වත්කම් ප්‍රකාශය පදනම් කරගෙන, ඇමරිකානු ඩොලර් මිලියන 2ක මුදලේ මූලාශ්‍රය තවදුරටත් අපැහැදිලි තත්ත්වයක පවතී.
2023 වසරේ මැද භාගයේදී වංචාවට ලක් වූ ඩොලර් මිලියන 2ක මුදල ගෙවීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හැකියාව ලැබුණේ කෙසේද? එම මුදල ඔහුගේ ව්‍යාපාරික ආදායමකින් ලැබුණේ නම්, ඔහු වෘත්තියෙන් ව්‍යාපාරිකයෙකු ලෙස සඳහන් වුවද, 2025 ප්‍රකාශයේ ‘ආයතනික අයිතිවාසිකම්’ කොටසෙහි “කිසිවක් නැත” ලෙස සටහන් කර තිබීම සහ එම මුදල පිළිබඳව කිසිදු සඳහනක් නොතිබීම බරපතල ගැටලුවකි.
මෙම වත්කම් ප්‍රකාශය සපයා ඇත්තේ 2025 ජුනි මාසයේදී වන අතර, ඝානා සිද්ධියෙන් පසු මාධ්‍ය අවධානය යොමු වී ඇත. එබැවින්, දූෂණ විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් මෙම මන්ත්‍රීවරයාගේ වත්කම් ප්‍රකාශය පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමේ අවශ්‍යතාවක් මතුව තිබේ.
https://whatnews.lk/2025/10/28/hizbullah1028/