
2 minutes ago June 27, 2026
නියෝජ්ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප්ට එරෙහිව විමර්ශනයක් ආරම්භ කරන ලෙස ඉල්ලමින් ජන අරගල සන්ධානය පෙරේදා (26) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ඒ ගිනස් වාර්තාවකට පෞද්ගලික සමාගමකට රාජ්‍ය අනුග්‍රහය ලබාදීම සහ පවුල් පන්දහසකින් රුපියල් පන්දහස බැගින් මුදල් එකතු කිරීම සම්බන්ධයෙනි.
ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ බහුජන ලේකම් දුමින්ද නාගමුව මහතා කියා සිටින්නේ ඉකුත් 14 වැනිදා ලොව වැඩිම ශිෂ්‍ය පිරිසක් සහභාගී වූ භරත නාට්‍ය වැඩමුළුව මෙරටදී පවත්වා ඇති බවත් එයට අදාළව ගිනස් වාර්තාව ලංකාවට හිමිවූ බවට ප්‍රචාරය කර ඇති බවය.
රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වූ මෙම වැඩසටහන නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් ප්‍රධානත්වය ගෙන තිබූ බවත්, නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ ඇතුළු රජයේ ප්‍රබලයන් කිහිපදෙනකුම සහභාගී වී ඇති බවද හෙතෙම කියා සිටී.
ලංකාවට ලැබුණු බව කියන ගිනස් වාර්තාවේ කිසිදු රාජ්‍ය ආයතනයක හෝ මෙරට පුද්ගලයකුගේ නම් සඳහන් වී නැති බවත්, එහි හිමිකාරිත්වය ලැබී ඇත්තේ ‘සංගමන් ග්ලෝබල් ඇකඩමි’ යනුවෙන් ඇති ඉන්දියානු සමාගමට සහ මෙරට ඇති එම සමාගමේ ශාඛාවකට බවද දුමින්ද නාගමුව මහතා කියා සිටී.
පෞද්ගලික ආයතනයක කටයුත්තකට නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් රාජ්‍ය අනුග්‍රහය ලබා දුන්නේ කෙසේදැයි නාගමුව මහතා ප්‍රශ්නකර සිටී.
මෙම වැඩසටහනට ශිෂ්‍යයන් පන්දහසක් පමණ සහභාගී වී ඇති අතර ඔවුන්ගේ පවුල්වලින් රුපියල් පන්දහස බැගින් මුදලක් එකතු කර ඇති බවත් එයට අමතරව ලාංඡනයකට යැයි කියමින් රුපියල් 345ක මුදලක්ද සහතිකයට රුපියල් 2350ක් එකතු කිරීමේ සූදානමක් ඇති බවද දුමින්ද නාගමුව මහතා පවසයි.
මවුපියන්ගෙන් එකතු කළ මුදල්වලට වූයේ කුමක්ද සහ අදාළ වැඩසටහනට රාජ්‍ය අනුග්‍රහය ලබා දුන්නේ කවර පදනමකින්දැයි හෙතෙම ප්‍රශ්න කරයි.
- https://sinhala.srilankamirror.com/uncategorized/නියෝජ්ය-අමාත්ය-සුන්දරල/