අද අනුරාධපුරය ගැන සිතන විට අපේ මතකයට නැගෙන්නේ දාගැබ්, වැව්, පුරාණ නගරය සහ දිගු නියං සමයන් සමඟ අරගල කළ වියළි කලාපයේ ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක්. අවුරුද්දේ වැඩි කාලයක් අව්වෙන් දැවෙන මේ භූමියට වැසි ලැබෙන්නේ සීමිත කාලවලදී පමණත් නිසා ඒ භූමිය සා පිපාසාව සන්සිඳවාගන්නේ වැව් ජලයෙන්. ඒ නිසාම "වැව් බැඳි රාජ්‍යය" කියන සංකල්පය අපේ සිත් තුළ තදින් මුල් බැස තිබෙනවා.
නමුත් අද අපි දකින මේ වියළි භූමිය හැමදාමත් මෙහෙම තිබුණාද?
නෑ. අනුරාධපුරයේ තැනිතලා හරහා ගලා යන මල්වතු ඔයත්, රිටිගල කන්දේ මීදුමත්, හෝර්ටන් තැන්නේ පීට් ස්ථරත්, ඉන්දියානු සාගරයේ සහ බෙංගාල බොක්කේ පුරාණ අවසාද තැන්පතුත් එකට කියවූ විට, විද්‍යාඥයන් හමුවේ මතුවෙන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් ශ්‍රී ලංකාවක්. ඒ ශ්‍රී ලංකාව අදට වඩා තෙත්, වඩා හරිත සහ වඩා වැසි සහිත ලෝකයක්. ඒ කියන්නේ, අපි අද වියළි කලාපය කියලා හඳුන්වන අනුරාධපුරයත්, එක් කාලයක වඩාත් හරිත පරිසරයක කොටසක් වෙලා තියෙන්න ඇති බවයි.
හෝර්ටන් තැන්නෙන් කියවන අනුරාධපුරයේ කතාව
ශ්‍රී ලංකාවේ පුරා-දේශගුණික ඉතිහාසය ගැන වැදගත්ම පර්යේෂණයක් වන්නේ ආචාර්ය රත්නසිරි ප්‍රේමතිලක සහ Jan Risberg විසින් සිදු කළ හෝර්ටන් තැන්න පර්යේෂණයයි. වසර 24,000කට අයත් පරාග ධූලි, පීට් ස්ථර සහ කාබනික අවශේෂ විශ්ලේෂණය කරමින් ඔවුන් පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකාවේ මෝසම් රටාවන් අද වගේ ස්ථාවර නොවූ බවයි. (අපි මීට පෙර ලිපියකින් ඒ ගැන කතා කළා.)
අපිට හිම යුගය කිව්වම මතකයට එන්නේ උතුරු අර්ධගෝලයේ අයිස් තට්ටු සහ මැමත් සතුන් වුණත්, ඒ ගෝලීය දේශගුණික වෙනස්කම්වල බලපෑම ශ්‍රී ලංකාවටත් දැනිලා තිබුණා. වසර 24,000ත් 18,000ත් අතර, ඒ කියන්නෙ අවසාන හිම යුගයේ උච්චතම අවධියේදී, පෘථිවියේ විශාල ජල ප්‍රමාණයක් අයිස් තට්ටු විදියට ගබඩා වෙලා තිබුණු නිසා ගෝලීය දේශගුණික පද්ධතිය වෙනස් වෙලා තිබුණා. ඒකෙ ප්‍රතිඵලයක් විදියට ඉන්දියානු මෝසම් පද්ධතිය අදට වඩා දුර්වල වුණු අතර, ශ්‍රී ලංකාවටත් වැසි ප්‍රමාණය අඩුවෙලා තිබුණා. ඊට සාක්ෂි සපයන හෝර්ටන් තැන්නේ පරාග වාර්තා පෙන්වන්නේ ඒ කාලයේ විවෘත තණබිම් සහ වියළි තත්ත්වයන්ට ඔරොත්තු දෙන ශාක වර්ග වඩාත් ප්‍රචලිතව තිබුණු බවයි.
නමුත් වසර 18,000කට පමණ පෙර සිට පෘථිවිය ක්‍රමයෙන් උණුසුම් වෙන්න පටන් ගත්තා. අයිස් තට්ටු දියවෙන්න පටන් ගත් අතර, සාගර හා වායුගෝලීය සංසරණ රටාවන් වෙනස් වුණා. ඒ සමඟම ඉන්දියානු මෝසම් පද්ධතිය නැවත ශක්තිමත් වුණා. ශ්‍රී ලංකාවට ලැබෙන වර්ෂාපතනය ක්‍රමයෙන් වැඩිවෙන්න පටන් ගත් අතර, වසර 18,000ත් 10,000ත් අතර කාලය තුළ වියළි පරිසරයන් සෙමෙන් පසුබැස ගියා. ඒ වෙනුවට වනාන්තර සහ තෙත් පරිසර පද්ධති යළිත් ව්‍යාප්ත වෙන්න පටන් ගත්තා.
පසුගිය අයිස් යුගය අවසන් වීමත් එක්ක, ඒ කියන්නෙ මීට වසර 11,700කට පමණ පෙර සිට ඇරඹි වත්මන් භූ විද්‍යාත්මක යුගය "හොලෝසීන යුගය" කියලා හැඳින්වෙනවා. මෙහි මුල් සහ මධ්‍ය අවධියේදී, ඒ කියන්නෙ මීට වසර 10,000 සිට 6,000කට පෙර කාලය තුළ, ලෝකය පුරා සුවිශේෂී දේශගුණික විපර්යාසයක් සිදුවුනා මේක හොලෝසීන මෝසම් උච්චතම අවධිය (Holocene Climatic Optimum) නැත්නම් හොලෝසීන තෙත් අවධිය කියලා හඳුන්වනවා.
පෘථිවියේ කක්ෂීය වෙනස්වීම් හේතුවෙන් උතුරු අර්ධගෝලයට ලැබුණු සූර්ය තාපය වැඩි වුනු අතර, ඒකෙ ප්‍රතිඵලයක් විදියට ඉන්දියන් සාගරය ආශ්‍රිත වායුගෝලීය පීඩන රටාවන් දැඩි වෙනස්කම්වලට ලක් වුනා. ගොඩබිම සහ මුහුද අතර උෂ්ණත්ව පරතරය ඉහළ යාම නිසා නිරිතදිග මෝසම් සුළඟ අදට වඩා අතිශයින්ම බලවත් සහ ක්‍රියාකාරී වුනා.
බෙංගාල බොක්ක, අරාබි මුහුද සහ ඉන්දියාවේ විල් තැන්පතු පිළිබඳ සිදුකළ අධ්‍යයනවලින් පෙනී යන්නේ, වසර 10,000ත් 6,000ත් අතර කාලයේදී දකුණු ආසියාව පුරාම තෙතමනය වැඩිවී තිබූ බවයි. ඒ නිසාම ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රදේශ, අද අප දකිනවාට වඩා තෙතමනයෙන් සහ හරිත වෘක්ෂලතා ආවරණයකින් යුක්තව තියෙන්න ඇති කියලා විද්‍යාඥයන් යෝජනා කරනවා..
මේ සාක්ෂි, මධ්‍යම කඳුකරයට පමණක් සීමා වුන දේශගුණික කතාවක් නොවෙයි. මෝසම් පද්ධතිය මුළු දිවයිනටම බලපාන නිසා, එහි ප්‍රතිඵල අනුරාධපුරය ඇතුළු අභ්‍යන්තර තැනිතලා ප්‍රදේශවලටත් දැනී තිබෙන්නට ඇති බව පුරා-දේශගුණ විද්‍යාඥයන් විශ්වාස කරනවා.
මහාචාර්ය ප්‍රේමතිලක (2013) සහ රොබට්ස් ඇතුළු පිරිස (Roberts et al.) පෙන්වා දෙන්නේ මේ යුගයේදී මෝසම් වර්ෂාව මධ්‍යම කඳුකරයට පමණක් සීමා නොවී, වියළි කලාපීය තැනිතලා හරහා රට අභ්‍යන්තරයටම තදින් කඩා වැදුණු බවයි. අද අපි ඔක්තෝබර් ඉඳලා දෙසැම්බර් දක්වා මාසවල අත්දකින ඊසානදිග මෝසමට අමතරව, එදා අනුරාධපුරයට මැයි සිට සැප්තැම්බර් දක්වා කාලයේදීත් නිරිතදිග මෝසමෙන් නොකඩවා තද වැසි ලැබෙන්නට ඇති බව සැලකෙනවා.
ඒ නිසා, අද අප දකින වියළි තණබිම් සහ කටු පඳුරු සහිත භූ දර්ශනය වෙනුවට, වඩාත් ඝන වනාන්තර, ගංගා ආශ්‍රිත තෙත් බිම් සහ සාරවත් පරිසරයක් අනුරාධපුර අවට පැවති බව හිතන්න සාධාරණ හේතු තිබෙනවා.
එහෙම නම්, එදා සශ්‍රීකව තිබූ මේ හරිත භූමිය අද අප දකින වියළි, නියඟයෙන් පීඩිත කලාපයක් බවට පත්වුණේ කොහොමද?
මීට වසර 5,000කට පමණ පෙර සිට, පෘථිවියේ කක්ෂීය බලපෑම් ක්‍රමයෙන් වෙනස් වීමත් සමඟ මෝසම් බලය හීන වෙන්න වුනා. මේක පුරා-දේශගුණ විද්‍යාවේ හඳුන්වන්නේ "දේශගුණික ශුෂ්කකරණය" නැත්නම් Aridification විදියටයි. නිරිතදිග මෝසම දුර්වල වෙලා දකුණට ගමන් කිරීම නිසා, ලංකාවේ උතුරු හා නැගෙනහිර තැනිතලාවලට ලැබුණු වර්ෂාපතනය ක්‍රමයෙන් අඩු වෙන්න පටන් ගත්තා.
මීට වසර 10,000ත් 6,000ත් අතර පැවති හොලෝසීන උච්චතම අවධියේ අධික වර්ෂාව නිසා ඝන වනාන්තරවලින් සහ දිය නොසිඳෙන දිය පහරවල්වලින් යුක්ත වුන අනුරාධපුර භූමිය වසර 5,000කට පමණ පෙර ඇරඹි ශුෂ්කකරණයත් සමඟ වර්ෂාපතනය සීමා වීනත් එක්ක සවානා වගේ තැන්පත් තණබිම් සහිත පරිසරයකට හැඩගැසුණා.
ඉන් පසුව මීට වසර 3,000ක පමණ පෙර ඉඳලා වර්තමානය දක්වා පවතින ස්ථාවර වියළි කලාපීය දේශගුණික තත්ත්වය නිර්මාණය වුණු අතර, දිගු නියං කාල සහ සෘතුමය වැසි සහිත පරිසරයක් ඉතිරි වුනා. මීට වසර 4,000කට පමණ පෙර (ක්‍රි.පූ. 2000 දී පමණ), දකුණු ආසියාව පුරා දරුණු දේශගුණික වියළි වීමක් සිදු වුනු අතර, ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ බිඳ වැටීමට පවා බලපෑ මේ මහා දේශගුණික විපර්යාසය, ශ්‍රී ලංකාවේ වියළි කලාපය නිල වශයෙන්ම "වියළි කලාපයක්" බවට පත් කිරීමට මූලික වුනා.
එහෙම නම් වාරි ශිෂ්ටාචාරය බිහි වුණේ ඇයි?
අනුරාධපුර ශිෂ්ටාචාරයේ ආරම්භය දිහා නව දේශගුණික දෘෂ්ටිකෝණයකින් බැලුවම පෙනී යන්නේ, අපේ මුතුන් මිත්තන් වැව් හැදුවේ හුදෙක් වියළි පරිසරයක ජීවත් වීමට පමණක් නෙවෙයි, වෙනස් වන දේශගුණයට අනුගත වීමක් නැත්නම් Climate Adaptation එකක් විදියට බවයි. ක්‍රි.පූ. 5-4 සියවස් වන විට මුල් පදිංචිකරුවන් මල්වතු ඔය මිටියාවත සිය ජනාවාස සඳහා තෝරාගත්තේ, ඒක ඒ වනවිටත් අතීත තෙතමනයේ ඉතිරි වූ සාරවත් පස සහ ස්වභාවික ජල ගැලීම් රටාවන්ගෙන් යුක්ත වුන නිසයි.
අනුරාධපුර ශිෂ්ටාචාරය බිහිවෙන්නෙ හොලෝසීන යුගයේ තෙත්ම අවධියේ නෙවෙයි. ක්‍රිස්තු පූර්ව පළමු සහස්‍රකය වන විට, ඒ කියන්නෙ අනුරාධපුර නගරය දියුණු වෙමින් තිබූ කාලය වන විට, ශ්‍රී ලංකාවේ මෝසම් රටාව අදට සමාන ස්වභාවයක් ගන්න පටන් අරගෙන තිබුණා. වර්ෂාපතනය ප්‍රමාණවත් වුණත්, ඒක අවුරුද්ද පුරාම ලැබුණේ නෑ. වැසි ලැබුණේ ප්‍රධාන වශයෙන් මෝසම් කාලවලදී පමණයි. ඉතිරි කාලය සාපේක්ෂව වියළි වුණා
කාලයත් සමඟ පරිසරය වඩාත් වියළි වෙද්දී, ගංගාවල ජලය සෘතුමය ලබීමක් බවට පත් වුනා. ගැටලුව වුණේ ජලය නැතිකම නෙවෙයි, ජලය ලැබෙන කාලය සහ අවශ්‍ය කාලය අතර තිබුණු පරතරයයි. මෝසම් කාලයේදී ගංගා සහ ඇළ දොළ හරහා විශාල ජල ප්‍රමාණයක් ගලා ගියත්, නියං සමයේදී ඒ ජලය ප්‍රයෝජනයට ගැනීමට ක්‍රමයක් අවශ්‍ය වුණා. ඒ අවශ්‍යතාවයට පිළිතුර වුණේ වැව් සහ ජලාශ පද්ධති.
මේ අනුව, වැසි ලැබෙන්නේ වසරේ මාස කිහිපයකට පමණක් බව තේරුම් ගත් පුරාණ ඉංජිනේරුවෝ, වැසි ජලය රඳවා තබා ගැනීමේ මහා පරිමාණ තාක්ෂණයක් දිහාට යොමු වුනා. තිසා වැව, අභය වැව (බසවක්කුලම) සහ නුවර වැව වගේ මහා වැව් පද්ධති බිහිවන්නේ දේශගුණය වඩාත් ශුෂ්ක වන විට, ජල සුරක්ෂිතතාවය තහවුරු කරගැනීම සඳහායි. ඒ නිසා පුරාණ ශ්‍රී ලංකාවේ වැව් කියන්නේ හුදෙක් වියළි කලාපයක ජල හිඟයට පිළියමක් විතරක් නෙවෙයි. ඒවා මෝසම් දේශගුණයක ස්වභාවික උච්චාවචනයන්ට අනුවර්තනය වීම සඳහා නිර්මාණය කළ දැවැන්ත ජල කළමනාකරණ පද්ධතියක්.
ඒ නිසා අනුරාධපුර වාරි ශිෂ්ටාචාරය කියන්නෙ කියන්නේ හුදෙක් ඉංජිනේරු නිර්මාණම නොවෙයි. ඒක ස්වභාවධර්මයේ දේශගුණික අභියෝගයට මිනිසා විසින් දෙන ලද විශිෂ්ටතම තාක්ෂණික පිළිතුරයි. සරලවම කිව්වොත් අනුරාධපුර ශිෂ්ටාචාරය බිහිවුණේ ස්වභාව ධර්මය පරාජය කිරීමෙන් නෙවෙයි, එය තේරුම් ගෙන ඒ සමඟ ජීවත් වීමට ඉගෙන ගැනීමෙන්.
අනුරාධපුරයට කිලෝමීටර් 40ක් පමණ ගිනිකොණදෙසින් වියළි කලාපීය තැනිතලාවෙන් අහසට නැඟෙන රිටිගල කන්ද, අනුරාධපුරයේ අතීත "තෙත් ලෝකයේ" ජීවමාන සාක්ෂියක්. අදටත් රිටිගල මුදුනේ පවතින්නේ වියළි කලාපයට නොගැලපෙන, තෙත් කලාපීය සදාහරිත වනාන්තර ලක්ෂණ සහ ඖෂධීය ශාක පද්ධතියක්.
UNESCO නාමයෝජනා ලේඛනයට අනුව රිටිගල කියන්නෙ "දේශගුණික සරණාගත භූමියක්" නැත්නම් Microclimatic Refuge එකක් කිව්වොත් නිවැරදියි. මුල් හොලෝසීන යුගයේදී සමස්ත අනුරාධපුරය පුරාම පැතිර තිබූ තෙත් පරිසර පද්ධතිය, පසුකාලීන ශුෂ්කකරණයත් සමඟ තැනිතලාවෙන් වඳ වෙලා ගියා. නමුත් රිටිගල සතු අධික උන්නතාංශය (මුහුදු මට්ටමේ සිට අඩි 2,514ක්) නිසා, කන්ද මුදුනේ වලාකුළු මඟින් ඇතිවන තෙතමනය නැත්නම් Cloud forest effect එක හේතුවෙන් ඒ පැරණි තෙත් පරිසරය අදටත් එහි ආරක්ෂා වෙලා පවතිනවා.. ඒ අනුව රිටිගල කියන්නෙ, අතීතයේ වඩාත් හරිත ශ්‍රී ලංකාවක ජීවමාන මතකයක්.