හැකර් කෙනෙක් ද්වීපාර්ශ්වික ණය මිලියන 800 ක් පැන්නුවේ කොහොමද?
මාස 4 ක් ගිහින් ඔස්ට්‍රේලියාව අැවිත් අහනකල් මුදල් අමාත්‍යාංශය දන්නෙවත් නෑ!
අායුබෝවන් ඔබට. සති කිහිපයක් තිස්සේ රටේ ව්‍යාපාරික සහ මූල්‍ය අංශවල හොර රහසේ කතාබහට ලක් වුණු ඉතාම බරපතල සිදු වීමක් ගැන මේ වෙද්දී රටේ සාමාන්‍ය ජනයා අතරත් ලොකු කතාබහක් අැති වෙලා තියෙනවා. එ‍් තමයි ද්වි පාර්ශ්වික ණයක් ගෙවීමේදී එයින් කොටසක් "හැකර්ලා" ගේ ගිණුමකට බැර වී තිබෙන කතාව. අපේ රට ජනරජයක් බවට පත් වෙලා ගත කරපු දශක ගාණක ඉතිහාසය පුරාවටම අහන්න නොලැබුණු මේක අපේ රටේ පාලනය, අාර්ථික කළමනාකරණය ගැන බරපතල ප්‍රශ්නයක් අැති කරන ගැටලුවක්.
තවමත් මේ ගැන හරිම තොරතුරු ප්‍රසිද්ධ වෙලා නැති වුණත්, දැන් දැන් මේ ගැන වගකිවයුතු බොහෝ අංශවලින් තහවුරු කළ හැකි තොරතුරු ගලාගෙන එනවා. ඉතින් එ‍් වගේ පසුබිමක් තුළ මෙහිදී අැත්තටම සිදු වුණේ මොකක්ද කියලා ගැඹුරින් හොයා බලලා ඔබට කියන්න විශ්ම ලෝකය අපි තීරණය කළා. එහෙනම් රැඳෙන්න අදත් මේ සුවිශේෂී වීඩියෝවේ අවසාන තත්පර කිහිපය තෙක්.
අංක 1 - අැත්තටම වුණේ මොකක්ද?
අද වෙද්දී මේ සිද්ධිය ගැන නිශ්චිත තොරතුරු රැසක්ම හෙළිදරව් වෙලා අවසන්. එ‍් අනුව මේ ප්‍රශ්නය අැති වුණේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර අැති කරගත් එකඟතාවක් අනුව ලැබුණු ණය මුදලක් නැවත ගෙවන්නට යාමේදීයි. සම්පූර්ණ මුදලෙන් ඩොලර් මිලියන 22.9 ක් මේ විදිහට වාරිකයක් වශයෙන් ගෙවන්න ශ්‍රී ලංකාව කටයුතු කර තිබුණා. 2025 දෙසැම්බර් සිට 2026 ජනවාරි දක්වා කාලයේදී එයින් ඩොලර් මිලියන 2.5 ක්, එහෙමත් නැත්නමි රුපියල් මිලියන 800 කට කිට්ටු මුදලක් ගෙවීම සිදු වී තිබෙනවා. මෙවැනි ගෙවීම් එ‍් වගේ කොටස් වශයෙන් විවිධ ගිණුම්වලට ගෙවන එක ඉතාම සාමාන්‍ය දෙයක්.
කොහොම වුණත් මේ මුදල තමන්ගේ නිල ගිණුම්වලට නොලැබීමත් එක්ක පසුගිය මාර්තු මාසයේදී ඔස්ට්‍රේලියානු රජය තමන්ගේ රාජ්‍ය තාන්ත්‍රික අංශ හරහා එ‍් ගැන ප්‍රශ්න කර තිබුණා. දැනට කියවෙන විදිහට ශ්‍රී ලංකාව එ‍් මුදල වැරදි ගිණුමකට ගිය බව පවා දැනගෙන තියෙන්නේ ඔස්ට්‍රේලියානු රජය එ‍් ගැන ප්‍රශ්න කරාටත් පසුවයි.
ගණුදෙනුව සිදු වෙලා මාස ගණනක් ගත වෙන තුරුම එ‍් ගැන වාර්තා නොවුණ එක ශ්‍රී ලංකාවේ මූල්‍ය කටයුතුවල අාරක්ෂාව, රාජ්‍ය ගිණුම්කරණ කටයුතු අාදිය ගැන බරපතල ප්‍රශ්නාර්ථයක් අැති කරනවා.
අංක 2 - මහ බැංකුව යටතේ තිබුණ ගණුදෙනු කටයුතු වෙනම දෙපාර්තමේන්තුවක් යටතට ගැනීමේ අවුල.
ශ්‍රී ලංකාව ද්වී පාර්ශ්වික ණය ලබා ගැනීම සහ ගෙවීම දැන් දශක ගණනාවක් තිස්සේ කිසිම ගැටලුවක් නැතිව කරගෙන යන දෙයක්. ණය ගෙවා ගන්න මුදල් නැති වීමේ ගැටලු ඉඳල හිටලා අැති වුණත්, වැරදි කෙනෙක්ට මුදල් ගෙවපු කතාවක් අපි ජීවිතේට අහලවත් නැහැනේ. එ‍්කට හේතුව තමයි ඉතිහාසය පුරාවටම මේ ණය ගැනීමේ සහ ගෙවීමේ කටයුතු සම්පූර්ණයෙන්ම සිද්ධ වුණේ ශ්‍රී ලංකා මහ බැංකුව හරහා වීමයි. ලෝක අාර්ථිකයට ඉතාම සුරක්ෂිතව සම්බන්ධ වෙලා ඉන්න මහ බැංකුවේ ගණුදෙනුවලට අතක්වත් තියන්න රාජ්‍ය නොවන මට්ටමේ කිසිම පුද්ගලයෙකුට ඉඩක් නැහැ. එවැන්නක් සිදු වුණත් තත්පර ගණනක් තුළ එ‍් බව සොයා ගන්න තරම් එහි ගිණුම්කරණ පද්ධතිය දියුණුයි. මේ නිසා එ‍් කටයුතු කවදත් අතිශයින්ම සුරක්ෂිතව සිදු වුණා.
හැබැයි පසුගිය වසරේ එය මහ බැංකුවෙන් අයින් කරලා මුදල් අමාත්‍යාංශය යටතේ ඇති ERD එක හෙවත් බාහිර සම්පත් දෙපාර්තමේන්තුව යටතට පත් කරපු බව සමහර විට ඔබටත් අහන්න ලැබෙන්න අැති. මේ නිසා මූල්‍ය කටයුතුවල සුරක්ෂිත බව ගැන ප්‍රශ්නයක් එ‍්වි කියලා එ‍් කාලයේදීම යම් අංශවලින් අනතුරු අැඟවීම් පවා සිදු වුණා. කොහොම වුණත් රජය පැත්තෙන් එ‍් ගැන නිසි තැකීමක් කරේ නැහැ.
දැන් පෙනෙන්න තියෙන්නේ මහ බැංකුවෙන් මේ ERD එකට මේ කටයුතු මාරු කරලා සිදු කරපු මුල්ම ගෙවීම් කිහිපයෙන් එකක්ම හොරකම් කරන්නට හැකි වී තිබෙන බවයි. ප්‍රශ්නය එ‍්ක විතරක් නෙවෙයි. මාස ගණනක් ගිහින් එ‍් මුදල් අායෙ හොයන්නවත් බැරි වෙනතෙක්ම එ‍් ගැන හාංකවිසියක්වත් නැති වෙන තාක් එ‍් වැරැද්ද අඳුනා ගන්න බැරි වීම අැත්තටම ඊටත් වඩා බරපතල ප්‍රශ්නයක්.
අංක 3 - දැනටමත් වගකිවයුතු සෑහෙන පිරිසකගේ වැඩ තහනම් කරලා.
මේ වන විටත් මුදල් අමාත්‍යාංශයේ ඉහළම පෙළේ අධ්‍යක්ෂවරුන්ගේ වැඩ තහනම් කරලා, මේ ගැන පුළුල් පර්යේෂණයක් පැවැත්වෙන බව මේ වෙද්දී රජය පැත්තෙන් නිල වශයෙන් තහවුරු කර තිබෙනවා. එ‍් අතරේ මුදල් අමාත්‍යාංශයේ හෝ රාජ්‍ය භාණ්ඩාගාරයේ අධ්‍යක්ෂවරුන් දෙන්නෙක්, ERD හෙවත් External Revenue Department එකේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරුන් දෙන්නෙක් සහ භාණ්ඩාගාරයේ තොරතුරු තාක්ෂණ අංශයේ ප්‍රධාන අධ්‍යක්ෂකවරයා සිටිනවා.
හැම අතින්ම නැගෙන ප්‍රශ්න හමුවේ මුදල් අමාත්‍යාංශය පසුගිය අප්‍රේල් 22 වැනිදා මේ ගැන නිල ප්‍රකාශයක් සිදු කරමින් එ‍් බව තහවුරු කර තිබෙනවා. SL-CERT අායතනයත්, CID එකේ පරිගණක අපරාධ අංශයත්, අන්තර්ජාතික මූල්‍ය අායතනවල සහයත් මේ සඳහා ලබා ගන්නා බව එයින් පැහැදිලි කෙරුණා.
කොහොම වුණත් මේක පැහැදිලිවම අශ්වයා ගියාට පස්සේ ඉස්තාලය වැහීමේ වර්ගයේ පරීක්ෂණයක් බව පැහැදිලියි. රට පුරා ලොකු කතාබහක් අැති වෙන්න සෑහෙන කාලෙකට කලින් ඉඳලාම මේ ගැන මූල්‍ය අංශයේ ඉහළ තැන්වල ලොකු රහස් කතාබහක් අැති වී තිබුණා. 2026 අවුරුද්ද අාරම්භ වෙච්ච කාලයේ සිදු වුණු මුදල් වංචාවක් ගැන මාස 4 කුත් ගියාට පස්සේ සොයන්න ගැනීම පැහැදිලිවම ලොකු ප්‍රශ්නයක්. මේ වන විටත් එ‍් මුදල් හොයන්න බැරි විදිහට හුවමාරු වෙලා නිසා එය recover කරගැනීමේ ඉඩකඩ ඉතාම අඩු බවයි කියවෙන්නේ.
අංක 4 - අැත්තටම මොකක්ද වුණේ, මහ බැංකුව හැක් කරලද?
මේ වගේ ඉහළ මට්ටමේ ඉතාම සූක්ෂම දෙයක් වුණ ගමන් එ‍්ක කාටත් තේරෙන විදිහට විස්තර කරන එක තරමක් අපහසු වෙන්න පුළුවන්. මොකද සුරක්ෂිත බව සඳහා මේ වගේ රාජ්‍ය මට්ටමේ මූල්‍ය ගණුදෙනු සිදු වෙන විදිහ ප්‍රසිද්ධියට පත් කරලාවත් නැහැ විතරක් නෙවෙයි, එ‍් ගැන නිශ්චිත තොරතුරු ඉදිරිපත් කිරීම පවා නීතියෙන් තහනම්. ඉතින් මේක "හැක් කිරීමක්", නැත්තම් "කම්පියුටර් ජිල්මාට් එකක්" වගේ කතා අැහෙන එක වැරැද්දක් නෙවෙයි.
මෙතන තිබෙන ලොකුම ප්‍රශ්නය ශ්‍රී ලංකා මහ බැංකුව සම්බන්ධ වෙලා ඉන්න අධි තාක්ෂණික, ඉතාම සුරක්ෂිත මූල්‍ය පද්ධතියෙන් බැහැර වෙලා මේ ගණුදෙනුව සාමාන්‍ය ව්‍යාපාරික ගණුදෙනුවක් මට්ටමෙන් කරන්න ගිය එකයි. එවැනි ක්‍රමයක් අාරක්ෂාව අතින් ඉතාම අඩු බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. දැනට කියවෙන විදිහට මෙහිදී ගෙවීම් කටයුතු සඳහා ඔස්ට්‍රේලියානු බැංකුවෙන් ලැබුණු නිල Email එකේ තිබුණ බැංකු ගිණුම් අංකය, මොකක් හරි ක්‍රමයකින් වෙනස් කර තිබෙනවා. අංකය නැවත තහවුරු කරගන්නෙවත් නැතිව ඩොලර් මිලියන 2.5 ක මුදල සාමාන්‍ය අන්තර්ජාතික wire transfer එකක් හරහා මේ වැරදි ගිණුමට බැර කරලා තිබෙනවා.
Cyber අාරක්ෂක කටයුතුවලදී මේක හඳුන්වන්නේ BEC වර්ගයේ ප්‍රහාරයක්, එහෙමත් නැත්නම් Business Email Compromise attack එකක් විදිහටයි. ප්‍රසිද්ධ සමාගම්, ව්‍යාපාරික අායතන අාදිය නිතර මෙවැනි ප්‍රහාරවලට මුහුණ දෙනවා. කොහොම වුණත් ස්වෙෙරී රටක් විදිහට එවැනි දේකට හසු වීම අැත්තටම විහිළු සහගතයි.
අංක 5 - අැතුළෙ සහායක් අැතිව කරපු වැඩක්ද?
මින් එහාට මේ ගැන කතා කරන්න කලින් අපි වැදගත් දෙයක් මතක් කරන්න අවශ්‍යයි. එ‍් තමයි අපි මෙතෙක් කතා කරපු දේවල්වල නිල වශයෙන් තහවුරු කෙරුණු කරුණු අඩංගු වුණත්, මෙතැනින් එහාට කතා කරන දේවල් දැනට නිල වශයෙන් තහවුරු කරලා නැති බව. කොහොම වුණත් මේ ගැන සෑහෙන දැනුමක් තිබෙන අය, තමන් වගකීම අරගෙන ප්‍රකාශ කරපු දේවල් නිසා මේවා ඉහළ විශ්වාසනීයත්වයක් තිබෙනවා.
එයින් වැදගත්ම චෝදනාවක් වෙන්නේ මේක පැහැදිලිවම අැතුළේ කෙනෙකුගේ සහයෙන් සිදු වුණ දෙයක් බවටයි. සම්පූර්ණයෙන්ම පිටස්තර කෙනෙක්ට BEC ප්‍රහාරයක් එල්ල කරන්න හැකියාව තිබුණත්, කිසිම තහවුරු කරගැනීමක් නැතිව ඩොලර් මිලියන 2.5 ක් තරම් දැවැන්ත මුදලක් වැරදි ගිණුමකට Wire කිරීම සිදු වෙන්න බැරි දෙයක් බවයි බොහෝ විශේෂඥයන්ගේ අදහස. සාමාන්‍යයෙන් අවම වශයෙන් නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරයාගේ මට්ටමේ නිලධාරියෙක්වත් මෙවැනි ගණුදෙනු පුද්ගලිකවම අනුමත කරන්න අවශ්‍යයි. ප්‍රායෝගිකව බොහෝ වෙලාවට මෙය භාණ්ඩාගාර ලේකම්වරයාගේ ඍජු අනුමැතිය යටතේ විතරක් සිදු වෙන ගණුදෙනුවක්.
ඉතින් මේ වගේ පසුබිමක් තුළ එ‍් සියල්ලටම යටින් රිංගලා ගණුදෙනුව සිදු කිරීමත්, ඊටත් වඩා මාස ගාණක් තිස්සේ එ‍් ගැන හාංකවිසියක්වත් හෙළිදරව් නොවීමත් බරපතල ප්‍රශ්නයක්. මුදල් අමාත්‍යාංශයේ ඉහළම නිලධාරීන් මෙයට සම්බන්ධයක් අැති බවට හෝ, අවම වශයෙන් තමන්ගේ තනතුරට කිසිසේත්ම නොගැළපෙන විදිහට වගකීම් පැහැර හැර ඇති බවට තිබෙන චෝදනාව බැහැර කරන්න බෑ.
අංක 6 - සිදු වෙනවා කියන පරීක්ෂණය ගැනත් ලොකු ප්‍රශ්නයක්.
සාමාන්‍යයෙන් මෙවැනි බරපතල සිදුවීමකදී උපරිම විශ්වාසයක් අැති වෙන විදිහේ ඉහළම විනිවිදභාවයකින් යුතු පරීක්ෂණයක් සිදු කිරීම රජයේ පරම වගකීමක් බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. මොකද මේ වගේ අතිශය වැදගත් මූල්‍ය පද්ධතියක් ගැන අවිශ්වාසයක් අැති වුණොත් එ‍්ක රටේ අාර්ථිකයට දැවැන්ත බලපෑමක් අැති කරන්න ඉඩ තිබෙනවා. හැබැයි පේන විදිහට වගකිව යුත්තන් එ‍් අවම වගකීම පවා පැහැර හැර තිබෙන බවක් පේනවා.
මේක හුදෙක් කටකතාවක් හෝ තැන තැන සිදු කරන ප්‍රකාශයක් නෙවෙයි. ජනාධිපති නීතිඥ මෙෙත්‍රී ගුණරත්න මහතා තමන්ගේ අත්සනින් යුතුව පාර්ලිමේන්තු කථානායකතුමාට නිල ලිපියක් යවමින් පෙන්වා දෙන්නේ මේ පරීක්ෂණය මෙහෙයවන අතිරේක භාණ්ඩාගාර ලේකම්වරයා, මේ සිදු වීමේ ඍජු කොටස්කාරයෙක් බවයි. එ‍් නිසා මේ පරීක්ෂණයේ විනිවිදභාවය ගැන බරපතල ප්‍රශ්නයක් මතු වෙනවා. මේ මුදල් අස්ථානගත වීම ගැන නීතිමය ක්‍රියාමාර්ග ගන්නා අවස්ථාවක පැහැදිලිවම අතිරේක භාණ්ඩාගාර ලේකම්වරයා එහි වගඋත්තරකරුවෙක්. ඉතින් එවැනි පුද්ගලයෙක් යටතේ පරීක්ෂණය මෙහෙයවන එක පැහැදිලිවම මෙහි විශ්වාසය පළුදු කිරීමක්.
ඉතින් එ‍් වෙනුවට මුදල් අමාත්‍යාංශයට හෝ භාණ්ඩාගාරයට කිසිම සම්බන්ධයක් නැති වෙනත් නිලධාරියෙක් හෝ විද්වත් කමිටුවක් යටතේ මේ පරීක්ෂණය සිදු කරන්න කියලා බොහෝ අංශ දැනටමත් ඉල්ලා තිබෙනවා.
ඉතින් අවසාන වශයෙන් ගත්තාම මේ සිදුවීම පැහැදිලිවම ශ්‍රී ලංකා මූල්‍ය පද්ධතියේ විශ්වාසනීයත්වයට මෑත කාලයේ සිදු වුණ විශාලතම කැළලයි. සිදු වුණ වංචාවටත් වඩා මාස ගාණක් තිස්සේ එය හෙළිදරව් නොවුණේ අැයි කියන එකයි ලොකුම ප්‍රශ්නේ. මේ දැවැන්ත වංචාව ගැන සියලුම තොරතුරු හෙළිදරව් කරගැනීම, එයට සම්බන්ධ සියලුම දෙනාට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කිරීම වගේම, අායෙත් මෙවැනි දෙයක් නොවෙන මට්ටමට මූල්‍ය පද්ධතියේ කටයුතු ශක්තිමත් කරන එකත් රජයේ වගකීමක්.
එහෙම නම් තවත් මේ වගේම දැනුම පිරුණු රසවත් වීඩියෝවකින් හමු වෙමු.