ජනතාව බලගැන්වූ සූර්ය බලශක්තිය අවසන් ගමනේ..මාලිමා ආණ්ඩුවේ තවත් ජනතාද්‍රෝහී ක්‍රියාවක්...
වහල මත සූර්ය බලශක්ති සම්බන්ධතා සඳහා නව නියෝග පනවයි.
නව වහල මත සූර්ය බලශක්ති සම්බන්ධතා සඳහා Net Metering සහ Net Accounting ක්‍රම අත්හිටුවීමට බලශක්ති අමාත්‍යාංශයෙන් නියෝග කොට තිබේ.
නව වහල මත සූර්ය බලශක්ති සම්බන්ධතා සහ පවතින ගිවිසුම් දිගු කිරීමේදී Net Metering සහ Net Accounting ක්‍රම අත්හිටුවා, ඒ වෙනුවට Net Plus ක්‍රමය යටතේ පමණක් ක්‍රියාත්මක කරන ලෙස බලශක්ති අමාත්‍යාංශය Electricity Distribution Lanka (Pvt) Ltd වෙත නියෝග කර තිබේ.
මෙම නියෝගය 2026 සැප්තැම්බර් 11 දිනැති ලිපියක් මගින් නිකුත් කර ඇති අතර, එම ලිපිය බලශක්ති අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් G.M.R.D. අපොන්සු මහතා විසින් අත්සන් කර Electricity Distribution Lanka හි සභාපතිවරයා සහ ප්‍රධාන විධායක නිලධාරියා වෙත යොමු කර ඇත.
2026 මාර්තු 5 දින ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර ඇති කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද ජාතික විදුලිබල ප්‍රතිපත්තිය අනුව, ජාලයට සම්බන්ධ නව වහල මත සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා (Solar PV) පද්ධති සඳහා වන සියලුම නව ගිවිසුම් Net Plus ක්‍රමය යටතේ ක්‍රියාත්මක කළ යුතු බව අමාත්‍යාංශය පවසයි.
අමාත්‍යාංශයේ නියෝග
2026 මාර්තු 5 දින හෝ ඉන් පසු අත්සන් කරන සියලුම නව වහල මත සූර්ය බලශක්ති ගිවිසුම් Net Plus ක්‍රමය යටතේ ක්‍රියාත්මක කළ යුතුය.
පවතින ගිවිසුම්වල දිගු කිරීම්ද Net Plus ක්‍රමයට මාරු කළ යුතුය.
නව සම්බන්ධතා හෝ පවතින ගිවිසුම් දිගු කිරීම් සඳහා Net Metering සහ Net Accounting ක්‍රම තවදුරටත් ලබා නොදිය යුතුය යන්න නියෝගයේ සඳහන් වේ.
දැනට පවතින ගිවිසුම් ඒවායේ වර්තමාන කොන්දේසි යටතේ කල් ඉකුත්වන තෙක් වලංගුව පවතිනු ඇති බව පවසා ඇත.
නව ගිවිසුම් සහ ගිවිසුම් දිගු කිරීම් වසර 12කට වඩා වැඩි කාලයක් සඳහා නොවිය යුතුය යන්න පැහැදිලිව සඳහන් වී තිබේ.
වහල මත සූර්ය බලශක්ති පද්ධති සඳහා විදුලි බෙදාහැරීමේ බලපත්‍රලාභියාට දුරස්ථව ප්‍රවේශ විය හැකි Smart Meter සවි කර තිබිය යුතුය.
කෙසේ වෙතත්, දැනටමත් ක්‍රියාවලියට ලක්වෙමින් පවතින අයදුම්පත් සඳහා සංක්‍රාන්තික විධිවිධාන ද අමාත්‍යාංශය විසින් ලබා දී තිබේ.
ලිපියේ සඳහන් වන්නේ නව අවශ්‍යතා 2026 සැප්තැම්බර් 11 දිනෙන් පසු ලබා දෙන Grid Clearances සඳහා අදාළ වන බවයි. එමෙන්ම, එදින හෝ ඊට පෙර අවසන් කර ඇති ගිවිසුම් හෝ ලබා දී ඇති Grid Clearances නැවත විවෘත නොකරන බවද සඳහන් කර ඇත.
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය තවදුරටත් පැහැදිලි කර ඇත්තේ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) විසින් ප්‍රකාශයට පත් කර ඇති විදුලි මිලදී ගැනීමේ ගාස්තු (Feed-in Tariff) අනුපාතවල කිසිදු වෙනසක් සිදු නොවන බවයි.
මෙම නියෝගය මගින් වහල මත සූර්ය බලශක්ති පද්ධති ස්ථාපනය කිරීම සම්බන්ධයෙන් මෙතෙක් පැවති ක්‍රමවේදයේ වෙනසක් සිදු වන අතර, නව ගිවිසුම් සඳහා ලබා ගත හැකි එකම වාණිජ සම්බන්ධතා ක්‍රමය බවට Net Plus පත්වනු ඇත.
කුමක්ද වෙනස...
Net Metering ක්‍රමය යටතේ පාරිභෝගිකයා ජාලයෙන් ලබා ගන්නා විදුලි ප්‍රමාණයට එරෙහිව තම සූර්ය බලශක්ති පද්ධතියෙන් ජාලයට එක් කරන විදුලි ප්‍රමාණය ගණනය කර අඩු කර ගැනීමට හැකියාව ඇත.
Net Accounting ක්‍රමය යටතේ සූර්ය පද්ධතියෙන් නිපදවන අතිරික්ත විදුලිය සඳහා පාරිභෝගිකයාට වන්දි/ගෙවීමක් ලබා ගැනීමේ ක්‍රමවේදයක් පවතී.
එහෙත් Net Plus ක්‍රමය යටතේ නිපදවන සම්පූර්ණ විදුලි ප්‍රමාණය සහ පරිභෝජනය කරන විදුලි ප්‍රමාණය වෙන වෙනම ගණනය කරනු ලැබේ.
ඒ අනුව, නව වහල මත සූර්ය බලශක්ති පද්ධති ස්ථාපනය කරන පාරිභෝගිකයන්ට මීට පෙර පැවති ක්‍රම තුන අතරින් තමන් කැමති ක්‍රමයක් තෝරා ගැනීමට තිබූ අවස්ථාව තවදුරටත් නොලැබෙනු ඇත.
තවද, PUCSL විසින් අමාත්‍යාංශයේ ගාස්තු තීරණයට අනුකූලතාව පිළිබඳව ඉදිරිපත් කරන ඕනෑම විමසීමක් බලශක්ති අමාත්‍යාංශය වෙත යොමු කරන ලෙසත්, අමාත්‍යාංශයේ ලිඛිත එකඟතාවයකින් තොරව මෙම නියෝගය වෙනස් නොකරන ලෙසත් Electricity Distribution Lanka වෙත දැනුම් දී ඇත.
ආණ්ඩුවේ මෙම උත්සාහය තම විදුලිය තමන් විසින්ම නිපදවා ගැනීම සඳහා ජනතාවට දී තිබූ අවස්ථාව මුළුමනින්ම කප්පාදුව කට ලක් කිරීමකි.
මීට දශකයකට වැඩි කාලයක සිට ආරම්භ කරන ලද මෙම වැදගත් පුනර්ජනනීය විදුලි ක්‍රමවේදය මේ ආකාරයෙන් කප්පාදු කොට, රටේ ජාවාරම්කාර දැවැන්ත සමාගම් කිහිපයකට පමණක් සූර්යබල ව්‍යාපෘති ආරම්භ කිරීමේ ව්‍යාපාරික කාටලයකට යටත් කිරීමකි.
පසුගියදා අනුරාධපුරය ප්‍රදේශයේ ආරම්භ කළ සූර්යබල බැටරි ව්‍යාපෘතිය ද විශාල සමාගම් සඳහා යටිතල පහසුකම් සැපයූ ව්‍යාපෘතියක් වන අතර, නාගරික සහ අර්ධ නාගරික පෙදෙස්වල පුරවැසියන් විසින් තමන්ගේම මුදලින් ඉදිකර ගන්නා නිවෙස් පියසි මත ඇති සූර්ය බල ව්‍යාපෘති සඳහා ලබා දුන් පහසුකම් ක්‍රමයෙන් දැඩි කප්පාදුවකට ලක් කොට තිබේ.
ආණ්ඩුවේ මේ අලුත් නියෝගයෙන්, එම කප්පාදුව තවත් වැඩි කර ඇති අතර, විදුලි පාරිභෝගිකයා ම විදුලි ජනනය කරන්නා බවට පත් කිරීමේ ලොව පුරා සිදුවෙමින් පවතින දියුණු තාක්ෂණික ක්‍රමවේදයට එරෙහිව යමින් මාලිමා ආණ්ඩුව රටේ තිරසාර සංවර්ධන උපාය මාර්ග ආපස්සට හරවා තිබේ.
ආණ්ඩුවේ මෙම ව්‍යායාමයට එරෙහිව මෙරට විදුලි පාරිභෝගිකයා සංවිධානාත්මකව ඉදිරියට පැමිණිය යුතු අතර මෙම නියෝගය මගින් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ස්වාධීනත්වයට මෙන්ම පාරිභෝගික අයිතිවාසිකම්වලට මරු පහරක් එල්ල කොට තිබේ.
බන්දුල චන්ද්‍රසේකර