වයස අවුරුදු 78ක අසරණ සීයා කෙනෙක්, පඩිපෙළක් පවා නැගගන්නට වාරු නැතුව තමන්ගේ බඩවියත රැකගන්නට දරන අපමණ වෙහෙස, තත්පර ගණනක වීඩියෝවකින් මුළු ලෝකයම වෙනස් කරාවි යැයි කවුරුන් නම් සිතන්නට ඇත්ද?එය ඉතා සරල, එහෙත් කාගේත් හදවත් කම්පා කරවන දර්ශනයක් විය.ඇමරිකාවේ ටෙනසි ප්‍රාන්තයේ නිවසක දොරටුවේ සවිකර තිබූ කැමරාවක මෙම සංවේදී දර්ශනය සටහන් වී තිබුණි.
අවුරුදු 78ක් වයසැති රිචඩ් සීයා, තම සිරුරේ වේදනාවන් ඉවසමින්, ඉතා අසීරුවෙන් අඩි තබමින් එම නිවසේ පඩිපෙළ නැග්ගේය. ඉන්පසු ඔහු ගෙන ආ ස්ටාර්බක්ස් (Starbucks) ඇණවුම දොරකඩින් තබා, අපහසුවෙන් හැරී ආපසු ගියේය.බොහෝ දෙනෙකුට මෙය තවත් එක් සාමාන්‍ය පාර්සල් බෙදාහැරීමක් පමණක්ම වන්නට තිබුණි. නමුත්, නිවසේ හිමිකාරිය වූ බ්‍රිටනිට නම් තමන්ගේ කැමරාවේ සටහන් වූ ඒ දසුන ලෙහෙසියෙන් අමතක කර දැමිය නොහැකි විය.ඇය ඒ පිළිබඳව සොයා බැලීමේදී එහි සැඟවුණු සැබෑ කතාව එළියට ආවාය.
රිචඩ් සීයා සහ ඔහුගේ බිරිඳ බ්‍රෙන්ඩා වසර 56කට වැඩි කාලයක් පුරා ආදරයෙන් ජීවත් වූ යුවළකි. එහෙත් මෑතකදී බ්‍රෙන්ඩාගේ රැකියාව අහිමි වීමත් සමඟ, ඔවුන්ගේ එදිනෙදා කෑමබීම සහ බෙහෙත්හේත් වලට පවා මුදල් නොමැති තරමට ඔවුන් අසරණ වී සිටියහ."වයස 70ත් පැන්නට පස්සේ කවුද අපිට රස්සාවක් දෙන්නේ?" බ්‍රෙන්ඩා ඇසූ ඒ ප්‍රශ්නයේ තිබුණේ ලොකු වේදනාවකි.ඒ නිසාම, එම වියපත් වයසේදීත් තමන්ගේ පවුල රැකගැනීම වෙනුවෙන් රිචඩ් සීයා DoorDash ඩිලිවරි රියදුරෙකු ලෙස වැඩ කිරීමට පටන් ගත්තේය.
ඔහු ඒ වන විටත් එවැනි ඇණවුම් 6,000කට ආසන්න ප්‍රමාණයක් බෙදාහැර තිබුණි.බ්‍රිටනිට අවශ්‍ය නම් මේ වීඩියෝව අන්තර්ජාලයට දමා නිකම්ම බලා සිටින්නට තිබුණි. නමුත් ඇය එසේ කළේ නැත. රිචඩ් පිළිබඳව තවදුරටත් සොයා බැලූ ඇය, ඔහු වෙනුවෙන් 'GoFundMe' වෙබ් අඩවිය හරහා ආධාර මුදලක් එකතු කිරීම ආරම්භ කළාය. ඇය එය නම් කළේ, "රිචඩ්ට ටිකක් විවේක ගන්න අවස්ථාවක් දෙමු" (Give Richard a Chance to Rest) යනුවෙනි.ඉන්පසු සිදු වූයේ කිසිවෙකුත් නොසිතූ විරූ ආශ්චර්යයකි!පැය 24ක් ගතවීමටත් මත්තෙන් අන්තර්ජාලය පුරා සිටි දහස් ගණනක් එකතු වී ඩොලර් 300,000කට වඩා පරිත්‍යාග කර තිබුණි! දින කිහිපයක් ඇතුළත එම මුදල ඩොලර් 500,000ක් දක්වා ඉහළ ගියේය. අවසානයේදී ලොව පුරා විසිරී සිටි 32,000කට අධික පිරිසක් එකතු වී රිචඩ් වෙනුවෙන් ඩොලර් 965,868ක (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 29කට ආසන්න) අතිවිශාල මුදලක් එකතු කර දුන්හ.
එපමණක් නොව, ඩෝඩෑෂ් (DoorDash) ආයතනය විසින්ද තවත් ඩොලර් 20,000ක් ඔහුට පරිත්‍යාග කරනු ලැබීය. කිසිදා දැක නොමැති මිනිසුන්ගෙන් ලැබුණු මේ අපිරිමිත ආදරය හමුවේ රිචඩ් සීයාගේ දෑසට කඳුළු නැගුණි."දැන් මගේ පවුලට කිසිම බයක් සැකක් නැතුව සැනසිල්ලේ හුස්ම ගන්න පුළුවන්..." ඔහු මුළු ලෝකයටම හදවතින්ම ස්තූති කළේය. දැන් ඔහුට අවශ්‍ය නම් පමණක්, ආසාවට පමණක් ඩිලිවරි කළ හැකිය. බිල්පත් ගෙවීමේ බරින් ඔහු දැන් සම්පූර්ණයෙන්ම නිදහස්ය!තත්පර ගණනාවක පුංචි වීඩියෝවක්...අනෙකාගේ අසරණකම දැක අහක බලා නොගත් එක් හදවතක්...කිසිදා නොදකින මනුෂ්‍යයෙකු වෙනුවෙන් එක්රොක් වූ දහස් ගණනක් ආදරණීය මිනිසුන්...ලෝකයේ ලස්සන වෙනසක් කරන්නට ලොකු සැලසුම් අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ තවත් කෙනෙකුගේ වේදනාව මොහොතකට හෝ තේරුම් ගැනීමේ මනුස්සකම පමණි.
