ආදරය සහ සන්නිවේදනය ගැන හිතන්න ඕන තැන්

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    ආදරය සහ සන්නිවේදනය ගැන හිතන්න ඕන තැන්

    සන්නිවේදනය (Communication) කියලා අපි හඳුන්වන්නේ තොරතුරු එක් තැනකින් තවත් තැනකට හුවමාරු කරගැනීම. ඒත් ආදරය සම්බන්ධයකදී සන්නිවේදනය කියන සංකල්පයෙන් ඊට වඩා දෙයක් සිදුවෙනවා. ඒ කියන්නේ දෙදෙනාගේ හැඟීම්, දැනීම්, වුවමනා වගේ දේවල් ඉතා සංවේදීව සන්නිවේදනය වෙනවා.

    ඒ නිසාම තමයි ආදර බැඳීමකදි සන්නිවේදනය කියන එක බොහොම වැදගත් වෙන්නේ. දෙන්නෙක් අතරේ ආදර බැඳීමක් තියෙද්දි දෙන්නා කොච්චර එකිනෙකාට ආදරේද, ඒ ආදරේ කොච්චර ශක්තිමත්ද, දෙන්නා කොතරම් කාලයක් එකිනෙකා ලඟ රැඳෙනවද කියන කාරණා පැත්තකින් තියලා සන්නිවේදනය කියන දේ බොහොම හොඳින් සිදු වෙන්න ඕන.

    මොකද, කෙනෙක්ට තවත් කෙනෙක්ගේ මනස කියවන්න බැරි නිසා හරි විදිහට තමන්ගේ අදහස්, වුවමනාවන් අනිත් කෙනාට සන්නිවේදනය නොකලොත් බොහෝවිට වැරදි දේ අවබෝධකරගැනීමෙන් තරහ, වෛරය, ආවේගය වගේ දේ පහසුවෙන්ම ඇතිවෙන්න පුළුවන්.

    දෙදෙනෙක් සන්නිවේදනය කරන ආකාරය, ස්වභාවය වගේම සන්නිවේදනය කරන්න කැමති විදිහ වෙනස් වෙන්න පුළුවන්. බැඳීමක් ඇතුලේ සන්නිවේදනයේදී කතාබහ, කෙටි පණවිඩ, ඊමේල්, අංග චලන වලින්, විවිධ ක්‍රියා මගින් අදහස් ප්‍රකාශනය සිදුවෙනවා. ඒ නිසා දෙන්නා සන්නිවේදනය කරන විදිහ වෙනස් වුනත් බැඳීමක් ඇතුලෙදි දෙදෙනාටම ගැලපෙන, පහසු එක් සන්නිවේදන ක්‍රමයක් භාවිතා කිරීමෙන් දෙදෙනා අතරේ යහපත් සන්නිවේදනයක් ඇතිවෙන්න හේතු වෙනවා. කොහොම වුනත් මේක අසීරුයි වගේම හැමවෙලේම සන්නිවේදනය සීයට සීයක් සාර්ථක වෙන්නේ නෑ.

    ආදර සම්බන්ධයක් බොහොම ලේසියෙන් කැඩිලා විනාශ වෙලා යන්න පුළුවන් වැරදි විදිහට අදහස් සන්නිවේදනය නිසා. ඒකට කරන්න පුළුවන් හොඳම විසඳුම තමයි හැකිතාක් දෙදෙනා දෙදෙනාගේ අදහස් , වුවමනා පැහැදිලිව සන්නිවේදනය කරන එක. ඒ වගේම තමන් සන්නිවේදනය කරන දේ තමන්ගේ සහකරුවා හෝ සහකාරියට නිවැරදි විදිහට අවබෝධවෙලා තියනවද කියන එකත් හොඳින් පරික්ෂා කරලා බලන්න. නැත්නම් ගොඩක් වෙලාවට වැරදි දේවල් හිතේ තියාගෙන ඉඳලා එක පාරට පුපුරලා යනවා.

    ඒ වගේම පුළුවන්නම් ඔබේ පෙම්වතා/පෙම්වතිය හෝ සැමියා/බිරිඳ එක්ක අදහස්, වුවමනා සම්බන්ධයෙන් සන්නිවේදනය කරද්දි මෙන්න මේ පහත දැක්වෙන දේවල් ටික අනුගමනය කරන්න පුළුවන්නම් කවදාවත් ඔබේ බැඳීම ඇතුලේ අනවබෝධය නිසා ප්‍රශ්න ඇතිවෙන එකක් නෑ.

    දෙන්නා අදහස් හුවමාරු කරගනිද්දි ඒකට ප්‍රමුඛතාවය දෙන්න, හොඳ අවධානයකින් ඉන්න. අනිත් කෙනාට ඔබ හොඳින් සවන් දෙනවා, ඔබ පෙරළා යහපත් විදිහට සහ ඵලදායී විදිහට ප්‍රතිචාර දක්වනවා කියන එක හොඳින් දැනෙන්න ඕන.

    දෙන්නාගේ සන්නිවේදනය සිදුවෙන අතරේ ඒකට බාධා වෙන්න පුළුවන් දේවල් හැමදේම පැත්තකට කරන්න. පුළුවන්නම් කාගෙන්වත් බාධාවක් නැති නිදහස් තැනැක් තෝරගන්න. නිවසේ ඔබ දෙදෙනාගේ කාමරය, නිදහස් පාර්ක් එකක් වගේ බාධා අවම තැනක්. ඒ වගේම දෙදෙනාගේ කතාවට බාධා වෙන ජංගම දුරකතන, වෙනත් අයගැන ඕපදූප හරි වෙනත් බාධාකිරීම් හරි සිදුවෙන්න දෙන්න එපා. මොකද ඒකේ ප්‍රතිඵලය වැරදි දේ සන්නිවේදනය වෙනවටත් වඩා භයානකයි.

    ඔබ අදහස් කරන්නේ මොනවද කියන එක ගැන හොඳට හිතන්න, ඒ වගේම ඔබට මොකක්ද සන්නිවේදනය කරන්න ඕන සහ ඒකට සුදුසුම ක්‍රමය තෝරගන්න.

    මොනවාහරි අදහසක් සන්නිවේදනය කරද්දි ඒක ඇතිවුනේ හෝ ඇතිවෙන්නෙ කොහොමද කියන එකත්, දෙන්නට ඒක බලපාන විදිහත් පැහැදිලිව කියන්න.

    ඔබට අවශ්‍ය දෙයක් ගැන කියද්දි වක්‍රාකාර මාර්ගවලින් නැතිව කෙලින්ම, සංවේදීව ඉල්ලන්න. ඒ වගේම ඔබට දෙන්න බැරි දෙයක්නම් බොහොම ආදරෙන්, සංවේදීව එහෙම බැරි හේතුව පැහැදිලි කරන්න.

    අනිත් කෙනාගේ අදහස් වලට ගරු කරන්න. ඒ අදහස් දක්වන්නෙත් ඔබේ ජීවිතේ වැදගත්ම කෙනා. ඒ නිසා ඒ අදහස්වල තියන දේ ඔබ දෙන්නගේම ජීවිතවලට ඉතාම වැදගත් කියන එක මතක තියාගන්න.

    ධනාත්මක දේවල් වැඩිපුර හුවමාරු කරගන්න. ඒකිනෙකා අගය කිරීම්, දක්ෂතා ගැන සතුටින් කතාකරන එක වගේ ධනාත්මක දේවල් නිසා ඔබේ සන්නිවේදනය බොහොම ලස්සන කරනවා.

    බොහොම වැදගත් දෙයක් තමයි ඔබ කතාකරමින් ඉන්නවනම් ඔබේ වචන ගැන, ඔබේ හඬේ තරම ගැන, ඔබ කතාකරන විදිහ ගැන බොහොම සැලකිලිමත් වෙන්න.

    හැමවිටම ඔබ කියන දේ විතරක් නිවැරදි වෙන්න බැහැ. ඒ නිසා අනිත් කෙනා නිවැරදි දෙයක් කියද්දි නිහතමානීව එකඟ වෙන්න. අනවශ්‍ය තර්ක වලට ගිහින් දෙන්නාගේ හිත් තුවාල කරගන්න එපා.

    උපුටා ගැනීම - www.her.lk