අපි බලමු ඉබ්බා කියන සතාගෙන් අපිට මොනවා හරි දෙයක් අපේ අරමුණ වෙනුවෙන් ඒ කියන්නේ නිර්වාණාවබෝධය වෙනුවෙන් ලබා ගන්න තියෙනවාද කියලා. මන් මේ කියන්නේ ගේට්ටුවට දාන ඉබ්බා ගැන නෙමෙයි හොඳේ. වතුරේ ඉන්න ඉබ්බා ගැනයි.
ඉබ්බා වැඩි කාලයක් ඉන්නේ වතුරේ. ඌ තමයි ලෝකේ වැඩිම කාලයක් ජීවත් වෙන සතා.නමුත් ඉන්නේ හැසිරෙන්නේ වතුරේමයි. ඉතින් අපි නිර්වාණාවබෝධය කරා යන ගමනේදී නොයෙක් නොයෙක් මානසික තත්වයන් ලබා ගන්න පුළුවන්. විශේෂයෙන්ම මග ඵල ලබා ගන්න පුළුවන්. ඉබ්බා වතුර මුල් කර ගෙන ඉන්නවා වගේ අපිත් මේ ලෝකේ වාසය කරන අනෙක් අය ගැන අනුකම්පාවෙන් ඒ කිව්වේ නිවන් අවබෝධ කිරීමට තරම් උත්සාහ නොකරන අය ගැන අනුකම්පාවෙන්, මෛත්‍රියෙන් ඒ අය අතරේම ඉන්න ඕනා. ඒ අය අතරේ ඉඳිමින් ඒ අයව පුළුවන් තරම් ඒකායන මාර්ගයට ඇතුල් කරගන්න උත්සහ කරන්න ඕනා. හැබැයි ඒ වෙනුවෙන් අපේ නිදහස අරමුණ නැති කර ගන්නේ එහෙම නෑ.
ඔයාලා දැකලා ඇති වතුරේ ඉන්න ඉබ්බා වතුරෙන් ඔළුව උස්සලා බලලා කවුරු හරි ඉන්නවා පේනවා නම් ඒ අයට නොපෙනෙන්න වතුර යටට ගිහින් හැංගෙනවා. ඒ වගේම තමයි අපිත්. නිර්වාණාවබෝධ කිරීමට යම්තමින් හරි බලාපොරොත්තු වෙනවා නම් කෙලෙස් ධර්ම අපේ හිතේ හට ගනිද්දි අනිත්‍ය, දුක්ඛ හා අනාත්ම යන අරමුණු වලින් අපේ හිත පුරවා ගෙන අර මතුවෙන කෙලෙස් වලින් ඈතට යන්න ඕනා. ටිකක් අමාරුයි එක් වරටම මේ දේ කරන්න. ඒත් උත්සාහ කරද්දි බැරි වෙන්නේ නෑ. අත්දැකීමෙන්මයි කියන්නේ. ඒ වගේම ඒ ඇති වෙන ක්ලේෂයන් නැවත ඇති වෙන්න ඉඩ දෙන්නේ නෑ කියන වීර්යයෙන් හා අධිෂ්ඨානයෙන් අපි ඉන්න ඕනා.
තව දුරටත් ඉබ්බා ගැන බලනකොට ඉබ්බා ඔය ලී කොටයක් නැත්නම් ගලක් උඩට වෙලා අව්ව තපිනවා ඔයාලා දැකලා ඇති. ඔයාලා කවුරු හරි නිවන් අවබෝධ කිරීමට බලාපොරොත්තු වෙනවෙ නම් මතක තියා ගන්න ඉබ්බා අව්වෙන් තමන්ගේ ඇඟ උණුසුම් කර ගන්නවා වගේ සතර ඉරියව්වෙදිම සතර සම්‍යක් ප්රධානයෙන් ඔයාලගේ හිත උණුසුම් කර ගන්න. ඔයාලා දන්නවානේ සතර සම්‍යක් ප්‍රධාන කියන්නේ මොනවාද කියලා? ඒ නිසා ඒ ගැන මෙතනදි මන් වැඩිය කියන්න යන්නේ නෑ යාළුවනේ. නමුත් ඒ ගැන යම් කිසි ගැටළුවක් තියේනම් අනේ කරුණාකරලා කියන්න හොඳේ. ඔයාලා ව කිසිම විදියකින් සැකයට පත් කරන්න මන් කැමති නෑ.
ඊළඟට බලන්න ඉබ්බා කියන සතා විවේකස්ථානය විදියට පාවිච්චි කරන්නේ මොනවාගේ තැනක්ද කියලා. ඌ පොළොවේ වලක් හාරගෙන ඒකට වෙලා තමයි විවේක සුවය විඳින්නේ. ඉතින් ඔයාලාත් හොඳින් මතක තියා ගන්න කවදාහරි දවසක නිවන් අවබෝධ කරන්න ඔයාලාට හිතෙනවා නම් තමන්ට එක් එක් අයගෙන් ලැබෙන ලාභ සත්කාර අත හැරදාලා නෑදෑ අඹු දරුවන්ගෙන් ඈත් වෙලා ඝෝෂාවෙන් මිදිලා විවේකයෙන් ඉන්න වෙන බව. මතක තියා ගන්න මෙතනදි මන් කියන්නේ අපි ආරණ්‍යගත වෙන්න ඕනා කියන එක නෙමෙයි හොඳේ. මන් කියන්නේ අපිට විවේකය හදා ගන්න එකයි. හැබැයි අද වෙනකනුත් අදත් අනාගතයේදීත් ධර්මාවබෝධය කළා නම් හා කරනවානම් යම් කෙනෙක් ඒ තැනැත්තා ආරණ්‍යගත වූවෙක් පමණක් බව මතක තියා ගන්න. මේ ආත්මෙදි නැතත් සසරේ කොයිම අවස්ථාවකදී හරි ඒ කෙනා අනිවාර්යෙන්ම නෙෂ්ක්රම්ය පාරමිතාව පුරලා තියෙනවාමයි.
ඊළඟට බලන්න මේ ඉබ්බා කියන සතාගේ තව මරු වැඩක් තියෙනව ඔයාලාට දකින්න පුළුවන්. ඌට මොකක් හරි ශබ්දයක් ඇහුණම ඌ කරන්නේ ඌට ස්වභාව ධර්මයා විසින් ලබා දීලා තියෙන ඒ ඉබි කට්ට ඇතුලට කකුලුයි ඔලුවයි දාලා හැංගෙන එක.මේ විදියටම නිර්වාණාවබෝධය කිරීමට බලාපොරොත්තුවෙන යමෙක ඉන්නවා නම් මතක තියා ගන්න, රූප-ශබ්ද-ගන්ධ-රස-ස්පර්ෂ හා ධර්ම (මනසේ පහලවන දේ) යන ෂඩ්ආලම්බණයන් දැනෙන්න ගනිද්දි ඒ ආලම්බණ ඇති කරන්න මුල් වන ෂඩ් ඉන්ද්රිය ද්වාරයන් වසා ගෙන මනස භාහිරට විවෘත නොකර සිහිය පිහිටුවාගෙන ඉන්න. මේ බව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මෙහෙමයි.
කුම්මොව අන්ගානි සකෙ කපාලෙ - සමෝදහං භික්ඛු මනෝ විතක්කේ
අනිසසිතො අඤ්ඤමඓඨයාතෝ - පරිනිබ්බුතෝ ව උපවදෙය්ය කංචි (කුම්මොපම සූත්‍රය)
අනිසසිතො අඤ්ඤමඓඨයාතෝ - පරිනිබ්බුතෝ ව උපවදෙය්ය කංචි (කුම්මොපම සූත්‍රය)
තමාගේ ඉබි කබලෙහි පඤ්චාගයන් ඇතුල් කර ගනිමින් ජීවිතය රකින්න ඉබ්බා මෙන් සංසාරයේ භය දන්නා යන අර්ථයෙන් භික්ෂු නම් වූ යෝගාවචර තෙම තමාගේ සිතේ උපදනා කාම විර්ක ආදීන් ප්‍රථම ධ්‍යාන ආදියේ පිහිටුවන්නේ රූපාලම්බන ආදිය නැත්තේ, අනුනට පීඩා නොකරන්නේ ක්ලේශ පරිනිර්වාණයෙන් පිරිනිවියේ කිසිවෙකුහට උපවාද නොකරන්නේය.
ඉතින් යාළුවනේ මේ දේවල් ඔයාලට මේ විදියට දැනගන්න ඉඩ ලැබෙන්නේ ඔයාලා මීට ඉහතදි කුසල් වඩලා ධර්මය දකින්න අවශ්‍ය මාර්ගය සකස් කරන් තියෙන නිසා. ධර්මය ඇත්තටම රසවත්. පුදුම සැනසීමක් විවේකයක් තියෙන්නේ. ඒ ධර්මයේ රසය විඳින්න. උත්තරීතර නිදහස අත් විඳින්න. ඇස් ඇරගෙන ධර්මයේ හැරෙන්න. නිර්වාණාවබෝධය කරන්න උත්සාහ කරන්න.
ඔබ සැමට තෙරුවන් සරණයි.
ඔබ සැමට තෙරුවන් සරණයි.


