ඔබටත් කැපිල්ල නම් ඔබ අපව බේරාගන්නේ කෙසේද?

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ඔබටත් කැපිල්ල නම් ඔබ අපව බේරාගන්නේ කෙසේද?

    බැසිල් රාජපක්ෂ මැතිතුමනි..! ඔබටත් කැපිල්ල නම් ඔබ අපව බේරාගන්නේ කෙසේද? -ශ්‍රීලනිප පාක්ෂිකයෙක්ගෙන් බැසිල්ට ලිපියක්

    Basil_Guillotine_Pixtoon.jpg

    බැසිල් රාජපක්ෂ මැතිතුමනි..! ඔබටත් කැපිල්ල නම් ඔබ අපව බේරාගන්නේ කෙසේද? -ශ්‍රීලනිප පාක්ෂිකයෙක්ගෙන් බැසිල්ට ලිපියක්



    බැසිල් රාජපක්ෂ මැතිතුමා වෙත,

    ගරු මැතිතුමනි,

    ඔබත් මාත් සාමාජිකත්වය දරණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුල් කර ගත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආණ්ඩුව අද වන විට දරුණු අර්බුදයකට ගොදුරු වී සිටී. මීට පෙර මෙවැනි අර්බුදයකට මුහුණ දුන්නේ එක්සත් ජාතික පක්ෂයේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිගේ ආණ්ඩුවයි. ඒ සුප්‍රසිද්ධ දෝෂාභියෝග අවස්ථාවේදී ය.

    මේ පුපුරා ගොස් ඇත්තේ අපගේ ආණ්ඩුව තුල කලක් තිස්සේ කැකෑරෙමින් තිබූ ක්‍රියාකාරීන්ගේ කලකිරීමයි. එය පක්ෂයේ මහා ලේකම් වරයාගෙන්ම පුපුරා යාම සංඛේතවත් කරන්නේ මෙතෙක් කල් අප විසින් නඩත්තු කරන ලද ගිනි කන්දේ තරමයි. අද මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ගැන කවර කතා කීවද, ඔහු පක්ෂයෙන් ඉවත් වූයේ කාගේ හෝ මුදල් කුට්ටියකට හෝ වරප්‍රසාද මල්ලකට හෝ ජාත්‍යන්තර කුමන්ත්‍රණයකට හෝ යට වීමෙන් නොවන බව ඔබත් මාත් ඇතුළුව එසේ චෝදනා කරන්නවුන් පවා දන්නා සත්‍යයකි. සිරිසේන මැතිතුමා ඇතුළු කණ්ඩායම නායකත්වය වෙත එල්ල කරන ප්‍රධාන චෝදනාව වන්නේ පක්ෂය හෝ පෙරමුණ හෝ පුද්ගලිකව තමන් හෝ ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට අවකාශ නොදුන් බවය. එසේ නැතිනම් ඒවාට බාධා පමුණුවනු ලැබු බවය. එසේ කෙළේ කව්ද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නොවන ආණ්ඩු විරෝධීන්ගේ මතය වන්නේ රාජපක්ෂ සහෝදරයන්ගෙන් සැදුම් ලත් කණ්ඩායමක් විසින් රට පාලනය කරන බවය. එහෙත් සත්‍ය එය නොවන බව ඔබත් මාත් ඔබට සමීපව කටයුතු කළ බොහෝ දෙනෙකු දනිමු. එනම් රාජපක්ෂ සහෝදරයන්ට අයත් ඔබට ද නිදහසේ කටයුතු කරන්නට අවස්ථාවක් නොලද බවය. ආර්ථික සංවර්ධන ඇමැතිවරයා ලෙස කටයුතු කරද්දී පවා ඔබතුමාට ද අසාධාරණයන් සහ සිත් රිදීම් සිදුවූ අවස්ථා අපමණ ගණනක් තිබූ බව අපි හොඳාකාරවම දනිමු.

    රාජපක්ෂ සහෝදරයන් අතුරින් සූක්ෂම ලෙස දේශපාලනය හැසිරවීමේත් අමාත්‍ය වරයෙක් ලෙස කාර්යක්ෂමව වැඩ කටයුතු කිරීමේත් බුද්ධිමත්ම වැඩ කිරීමේත් පක්ෂ විපක්ෂ සියලු දෙනා අතර හොඳ හිත පවත්වා ගැනීමේත් හැකියාව ඇති පවුලේ එකම පුද්ගලයා ලෙස ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් දන්නේ සහ හඳුනන්නේ ඔබය. පෙරමුණු ආණ්ඩුවේ සියළු ජාතික මට්ටමේ ව්‍යාපෘතීන්හි මහ මොළ කාරයා ඔබය. එය අද ඊයේ සිදුවීමක් නොවේ. මහින්ද රාජපක්ෂ මැතිතුමා ධීවර කම්කරු ඇමැති කම් දැරූ අවධිවල පවා තිරයෙන් පිටුපස සිට කටයුතු මෙහෙයැවූයේ ඔබතුමා බව අභ්‍යන්තර තොරතුරු දන්නා සියළු පාක්ෂිකයෝ දනිති.

    යුද්දය ජයග්‍රහනය කිරීමෙන් පසුව උතුරු වසන්තය දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියේ අදහසත් එහි නියමුවාත් ඔබම විය. එහෙත් එම කටයුතු කරගෙන යෑමේදී ඔබතුමාට ඇති වූ බාධාවන්ද අපි හොඳින් දනිමු. නොකඩවා බාධා කොට අවසානයේ එම අමාත්‍යාංශයේ උතුරු සංවර්ධන කොටස ඉවත් කිරීම දක්වා එය ගමන් කළ බව ඔබ තුමාට අමුතුවෙන් මතක් කර දිය යුතු නැත. අවසානයේ එය පවරා ගත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා ඒ වෙනුවෙන් ඉටු කළ කිසිදු මෙහෙවරක් නැත.

    ශ්‍රී ලංකාවේ සංවර්ධනයේ තීරණාත්මක සාධකයක් වූ කොළඹ කටුනායක අධිවේගී මාර්ගය විවෘත කිරීමේ අවස්ථාව උදෙසා ඔබ නියෝජනය කරන ගම්පහ දිස්ත්‍රික්කයට ඇතුළු වන තැන මංසන්ධියේ දෙපස සවිකර තිබූ ඔබතුමාගේ සහ ජනාධිපතිතුමාගේ විශාල කටවුට් දෙකින් ඔබ තුමාගේ රූපය ගලවා ඉවත් කරන ලද්දේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ තදබල ඉල්ලීම නිසා බව අද රටම දනිති. ඒ සම්බන්ධයෙන් වූ සිත් රිදීම නිසා කිසිවෙකුටත් නොකියා දිවයිනෙන් බැහැරව ගිය ඔබතුමා චෝගම් සමුළුවටවත් සහභාගී වූයේ නැත. ඔබ පැමිණියේ එය අවසාන වී බොහෝ කාලයකට පසුවය.

    2005 ජනාධිපතිවරණයේ සිට පැවැති සියළු මැතිවරණ මෙහෙයැවීමේ සහ ජයග්‍රහනය කරා ඒවා ගෙන යැමේ නියමුවා වූ ඔබට පසුගිය ඌව පළාත් සභා මැතිවරණයේදී වැදගත් වැඩ කොටසක් ලබා දීම වලක්වාලීය. එයද නාමල්ට පැවරීය. ඒ කුමන්ත්‍රණය ඔබ තුමා දන්නා නිසා මැතිවරණ ප්‍රචාරක කටයුතු පවත්වන සමයේ දිවයිනෙන් බැහැරව ගොස් සිට ප්‍රචාරක කටයුතු අවසන් වූ 18 දා ලංකාවට ආවේ ආන්ඩුව තුල තවත් අර්බුදයක් තිබෙන බව ලෝකයා දැන ගැනීම වලක්වාගැනීම සඳහා බැවි අපි දනිමු.

    බස්නාහිර පළාත් සභ මැතිවරණයේදී ඔබතුමාගේ ප්‍රිය බිරිඳ වූ පුෂ්පා රාජපක්ෂ මහත්මිය වෙත මහ ඇමැති අපේක්ෂකත්වය පිරිනමන ලෙස පක්ෂයේ ප්‍රධානීන් කිහිප දෙනෙකුම ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටි බව රහසක් නොවේ. එහෙත් එය ඇයට නොදී වෙනත් අයට පැවරුවේ ශිරන්ති මැඩම් සහ නාමල් මන්ත්‍රීතුමන්ගේ බලවත් ඉල්ලීම නිසා බව ශ්‍රීලනිප ක්‍රියාකාරීන් වන අපි දනිමු.

    අති බිහිසුනු යුද්දයකින් පසුව රට කඩිනමින් සංවර්ධනය කිරීම සඳහා ජනාධිපති වරයාට සහාය වීමට ඒ හා සමාන කරට කර වැඩ කළ හැකි අගමැති වරයෙකු අවශ්‍යය. ජේආර් ජයවර්ධන මහතා තම අගමැති ලෙස ප්‍රේමදාස මහතා තෝරාගත්තේ එනිසා ය. ජේආර් ට ගාමිනී ලලිත් රනිල් ආදී තරුණ කාර්යශූර නායකයන් ගණනාවක්ද සිටියහ. එහෙත් අපේ ආණ්ඩුව දෙස බලන්න. අපට සිිටින්නේ කායික වශයෙන පිරිහී ගිය අගමැති වරයෙකි. ඔබතුමා හැරුණු කොට කාර්යශූර ඇමැතිවරයෙකු කැබිනට් මණ්ඩලයේ නැති තරම්ය. මගේ පමණක් නොව ආණ්ඩුවට ආදරේ කරන බොහෝ දෙනෙකුගේ මතය ඔබ වෙත අගමැති කම පිලිගැන්වීමට තිබූ බවය. එය වලක්වන ලද්දේ කවුරුන් විසින්දැයි ඔබේ හෘද සාක්කිය හොඳින්ම දනී. ඒ ශිරන්ති මැඩම් සහ නාමල්ගේ උපදෙස් මත නොවේද? ගමේ භාෂාවෙන් කියන්නේ ඔබ කපා දමුනු ලැබ තිබේ.

    මෙවර ජනාධිපතිවරණ ව්‍යාපාරය ඔබ කරට ගෙන තිබේ. එහෙත් පසුගිය කාලය තුල ඔබතුමාට සිදුවූ අකටයුතු කම් අසාධාරණයන් නොසලකා හැරීම් හිත් රිදවීම් කැපිලි ගැන අප සිටින්නේ කලකිරීමකිනි. හෙට ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමා ජයග්‍රහණය කළහොත් අනිද්දා සිට නැවත ඔබට සිදුවන්නේ ඈතට වීසි වී දෙන දෙයක් කා වෙන දෙයක් බලාගෙන සිටීමට ය. රාජපක්ෂ ජනාධිපති තුමාගේ පවුලේ සමීපතමයන් සහ එතුමාට සමීපව සිටින තක්කඩි බිස්නස් කාරයන් නැවත රටේ පාලනය ඔවුන් අතට ගනු ඇත. ඔබටත් පාක්ෂික අපටත් සිදුවන්නේ ඔවුන්ගේ මෝඩ සන්දර්ශන බලමින් හූල්ලන්නට ය. මට එක් සිද්ධියක් මතකය. ජනාධිපති අතිරේක ලේකම් ගාමිනී සෙනරත් මැතිතුමාගේ සොයුරාගේ අවමඟුල් දා ජයරත්න මල් ශාලාව ඉදිරිපිටදී ඔබතුමාට සදා හිතවත්ව සිටි විලී ගමගේ මහතා වැනි අපේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකුට, ‘තමුසේ‘ කියා ඇමැතුවේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාය. ඒ එහි රැස්ව සිටි සියල්ල බලාසිටියදී ය. මෙවැනි කෙනෙහිලි කම් ඔහුට පමණක් නොව ඔබතුමා සමග කටයුතු කරන නිලධාරීන්ට සභාපතිවරුන්ට සහ මහජන නියෝජිතයන්ට අනේක වාරයක් සිදුව තිබේ. ඔබ තුමාට හෝ නැති සුරක්ෂිත භාවයක් අපට තිබිය හැකිද? ඔබටත් ‘කැපිල්ල‘ තිබේ නම් අප ගැන කවර කතාද?

    ඔබතුමාට තෙරුවන් සරණයි..!
    මෙයට,
    සරත් සුරවීර

    (මෙය අන්වර්ථ නාමයකි, එහෙත් මේ නමින් හැඳින්වෙන්නේ කවුරුන්දැයි බැසිල් රාජපක්ෂ ඇමැතිතුමන් හොඳින් දනී)
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    අනිවා මුන් මෙක හොරකරලා දිනුවත් මිලගට සහොදර සමාගම බලයට පොරකනවා

    බැසිල් වැඩේ දෙල් කරලා මහින්දච පන්නා දමයිද?