ඔබ තෝරා ගන්නා භාවනාව කුමක් ද?

hpalpola

Well-known member
  • ඔබ තෝරා ගන්නා භාවනාව කුමක් ද?

    කලින් දවසක මෛත්‍රී භාවනාව ගැන පොඩි සටහනක් දැම්මා. ඉතින් ඒ සටහන දාද්දි හිතේ තිබ්බ තව අදහසක් තමයි මේ දාන්නෙ.

    හුඟක් වෙලාවට බෞද්ධයන්ට තියෙන ප්‍රශ්නයක් තමයි මොන භාවනා ක්‍රමය ද තමුන් පුහුණු කරන්නෙ කියලා. විවිධ අරමුණු හිතේ තියන් භාවනාව පුරදු කරන අය ඉන්නවානේ. සමහරු භාවනා කරන්නෙ නිවන් අරමුණු කර ගෙන. තවත් සමහරු හිතේ සැහැල්ලුව වෙනුවෙන්. තවත් අය හිත එකළස් කර ගන්න. තවත් අය ඉන්නවා හිතෙන් විවිධාකාර දේවල් ඒ කිව්වෙ ඔය අධිමානසික වැඩවගේ දේවල් කරන්න බලාගෙන භාවනාව පුරුදු කරන අය. විවිධ අරමුණු හිතේ තියන් තමයි භාවනා කරන්නෙ. ඒක භාවනා කරන අය දන්නවා.

    ඉතින් මේ මොන විදියට කළත් බෞද්ධ භාවනා වර්ග දෙකක් තියෙනවා. ඒ විපස්සනාව සහ සමථ භාවනාව. විශුද්ධිමාර්ගයේ මේ භාවනා වැඩි විස්තර සහිතව දක්වලා තියෙන නිසා කැමැති කෙනෙක්ට කියවලා දැන ගන්න පුළුවන්. ඒවා ගැන විස්තර කරන්න මේ අවස්ථාව නොවේ. දැන් හුඟක් වෙලාවට තියෙන ප්‍රශ්නයක් තමයි මොන භාවනාව ද කරන්නෙ කියන එක. මාතෘකාවේදි තෝර ගැනීම ගැන සටහන් කලේ ඒකයි. මෙතනදි මගේ සටහන නිවන් අරමුණු කරන් භාවනා කරන්න හිතන අය ගැන විතරක් සීමා වෙනවා.

    මේ අරමුණෙන් ඉන්න අය කියවන්න ඕන වටින සූත්‍රයක් තියෙනවා අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ.
    යුගනද්ධ සූත්‍රය තමයි නම. මේ සූත්‍රය දේශනා කරන්නේ ආනන්ද ස්වාමීන්වහන්සේ. මේ සටහනට අවශ්‍ය කොටස පහතින් උපුටලා දක්වන්නම්.

    ‘ඇවැත්නි, යම්කිසි භික්‍ෂුවක් හෝ භික්‍ෂුණියක් හෝ මා සමීපයෙහි අර්‍හත්‍වයට පැමිණීම ප්‍රකාශ කරයිද, ඒ සියල්ල සතර මාර්‍ගයන්ගෙන්ද මොවුන්ගෙන් හෝ එක්තරා එකකිනි. කවර සතරකින්ද යත්,

    “ඇවැත්නි, මේ ශාසනයෙහි මහණතෙම සමථය (කෙලෙස් වඩා තැබීම) පෙරටුකොට ඇති විදර්‍ශනාව වඩයි. සමථය පූර්‍වඞ්ගමකොට ඇති විදර්‍ශනාව වඩන ඔහුට මාර්ගය උපදියි.

    “හෙතෙම ඒ මාර්‍ගය සේවනය කරයි. වඩයි. බහුල වශයෙන් කරයි. ඒ මාර්‍ගය ආසේවනය කරණ, වඩන, බහුල වශයෙන් කරණ ඔහුට සංයෝජනයෝ ප්‍රහීන වෙත්. අනුශය කෙලෙස් කෙළවර වේ.

    “ඇවැත්නි, නැවතද මහණ තෙම විදර්‍ශනාව පෙරටුකොට ඇති සමථය වඩයි. විදර්‍ශනය පූර්‍වඞ්ගම කොට ඇති සමථය ධ්‍යානය වඩන්නාට මාර්ගය පහළ වේ.

    “හෙතෙම ඒ මාර්‍ගය සේවනය කරයි. වඩයි. බහුල වශයෙන් කරයි. ඒ මාර්‍ගය ආසේවනය කරණ, වඩන, බහුල වශයෙන් කරණ ඔහුට සංයෝජනයෝ ප්‍රහීන වෙත්. අනුශය කෙලෙස් කෙළවර වේ.

    “ඇවැත්නි, නැවතද මහණතෙම සමථය හා විදර්‍ශනාව සම සමව වඩයි. සමථය හා විදර්‍ශනාව සම සමව වඩන ඔහුට මාර්‍ගය හැඳිනේ. හෙතෙම ඒ මාර්‍ගය සේවනය කරයි. වඩයි. බහුල වශයෙන් කරයි. ඒ මාර්‍ගය ආසේවනය කරණ, වඩන, බහුල වශයෙන් කරණ ඔහුට සංයෝජනයෝ ප්‍රහීන වෙත්. අනුශය කෙලෙස් කෙළවර වේ.

    “ඇවැත්නි, නැවතද මහණහට මානය වේද, යම් ඒ සිතක් අධ්‍යාත්මයෙහිම සිටීද, හිඳීද, එකට පහළවේද, සමාධි ගත වේද, ඔහුට මාර්‍ගය උපදී. හෙතෙම ඒ මාර්‍ගය සේවනය කරයි. වඩයි. බහුල වශයෙන් කරයි. ඒ මාර්‍ගය ආසේවනය කරණ, වඩන, බහුල වශයෙන් කරණ ඔහුට සංයෝජනයෝ ප්‍රහීන වෙත්. අනුශය කෙලෙස් කෙළවර වේ.

    “ඇවැත්නි, යම්කිසි භික්‍ෂුවක් හෝ භික්‍ෂුණියක් හෝ මා සමීපයෙහි අර්‍හත්ව ප්‍රාප්තිය ප්‍රකාශ කරයිද, ඒ සියල්ල මේ සතර මාර්‍ගයෙහි මොවුන්ගෙන් එකකිනැයි වදාළේය.”

    ඉතින් මේ සූත්‍රය අනුව නිවන් දකින්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මේ කියලා තියෙන ක්‍රම වලින් එකක් තමයි භාවනාව පුහුණු කරද්දි තෝරා ගන්න ඕනා. සූත්‍රය පැහැදිලි නිසා ඒ ගැන විස්තර කරන්න යන්නෙ නැහැ. හතරවෙනි කොටස නිකම් අපහැදිලි වගේ තියෙන්න පුළුවන්. මොකද එතැන කිසිම භාවනාවක් ගැන කියවෙන්නෙ නැහැ. සරලව ගත්තම මෙතැනදි කථා කරන්නේ එහෙ මෙහෙ දුවන හිත ධර්මය ගැන හිතන්න යෙදවීමෙන් පාලනය කරලා තියා ගන්න එක ගැන. මේ විදියට තියෙන හිතක් කාලයක් තිස්සේ පුරුදු පුහුණු වෙද්දි සංයෝජන ධර්මය නැති වෙන එක ගැනයි එතනදි කියන්නේ. හුඟක් මිනිස්සු මේ ක්‍රමය තමයි පාවිච්චි කරන්නෙ බැලුවම. මොකද මෙතැන සමථයකුත් නැහැ, විදර්ශනාවකුත් නැහැ.

    හැබැයි දෙයක්. මේ සූත්‍රය දේශනා කරන්නේ බුදුරජාණන්වහන්සේ නෙමෙයි. ආනන්ද ස්වාමීන්වහන්සේ. මේ නිසා කෙනෙක්ට මේ ක්‍රම ගැන සැක ඇති වෙන්න පුළුවන්. ඒ වගේ කෙනෙක්ට තියෙන හොඳම දේ තමයි ටික දවසක් මේ ක්‍රම ගැන තමුන් තුළින් ම අධ්‍යයනය කරන එක.

    දැන් අපි මෛත්‍රී භාවනාව නම් පුරුදු කරන්නෙ ඒ මෛත්‍රය සමථය වගේම විදර්ශනාවටත් හරවා ගෙන භාවනා කරලා බලන්න පුළුවන්. හැමෝම වගේ මෛත්‍රී භාවනාව විදර්ශනාවට හරවාගන්න දන්න නිසා මෙතැන ඒ ගැන කථා කරන්න අවශ්‍ය වෙන්නෙ නැහැ. ඒක ටිකක් පුරුදු කරලා බලන්න.

    ඉතින් මේ කරුණු සලකා බලලා කෙනෙක්ට පුළුවන් තමුන්ගේ භාවනා පුහුණුව සාර්ථක කරගන්න සහායක් ගන්න.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,998
    1
    61,101
    113
    Mother Earth
    වැදගත් දෙයක් 🙏 🙏

    man-in-kitchen-funny-dance-94q1kwgr3pmo3yeq.gif
    a3f4a311a3588d29cc0735dd3bc50bd4.gif