කබ්බ ගුපියන්ගෙන් සුපිරි ආතල් එකක් අරන්

lilman

Well-known member
  • May 10, 2009
    41,186
    54,948
    113
    Colombo


    කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ පවරා තිබූ අල්ලස් නඩුවකට අදාළව ඇප නියම වීමෙන් පසු හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇප බැඳුම්කරයට තැබූ අත්සන හේතුවෙන් මහාධිකරණ කාර්ය මණ්ඩලය ගැටලුකාරි තත්ත්වයකට පත්වීමේ පුවතක් ඊයේ (18) අධිකරණ පරිශ්‍රයෙන් වාර්තා විය.

    තමන්ට නියම වූ ඇප කොන්දේසි සපුරාලීම සඳහා කබ්රාල් මහතා ඇප බැඳුම්කරයට අත්සන් තබනු ලැබූවේය. එහිදී ඔහු යෙදූ අත්සන ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති මුදල් නෝට්ටුවල දැක්වෙන ඔහුගේ ප්‍රකට අත්සනට වඩා සපුරා වෙනස් එකක් බව මහාධිකරණ කාර්ය මණ්ඩලයේ නිරීක්ෂණයට ලක්ව ඇත.

    මේ පිළිබඳ අධිකරණ නිලධාරීන් විසින් වහාම විත්තිකාර හිටපු මහ බැංකු අධිපතිවරයාගෙන් විමසීමක් කර තිබේ. එහිදී සිනාසෙමින් පිළිතුරු දී ඇති අජිත් නිවාඩ් කබ්රාල් මහතා, මුදල් නෝට්ටුවල දැක්වෙන්නේ තමන්ගේ අත්සන නොව තමන්ගේ නම බවත් ඇප අයදුම්පත සඳහා යොදනු ලැබුවේ තමන්ගේ සාමාන්‍ය නිල රාජකාරි අත්සන බවත් ප්‍රකාශ කර ඇත.

    තමන් මුදල් නෝට්ටුවල නම අත්සනක් ලෙස යෙදූ බවත් මේ ආකාර දෙකටම අත්සන් කරන බවට විත්තිකරු කරුණු දක්වා තිබේ.

    හිටපු මහ බැංකු අධිපතිවරයාගේ මෙම පැහැදිලි කිරීමත් සමඟ අධිකරණ කාර්ය මණ්ඩලය මුහුණ දුන් ගැටලුකාරි තත්ත්වය සමනය වූ අතර අනතුරුව අදාළ ඇප ලේඛන කටයුතු සාර්ථකව නිමවා ඔහුට අධිකරණ පරිශ්‍රයෙන් පිටව යෑමට අවසර ලැබිණි.

    දේශීය මුදල් නෝට්ටුවල සිය අත්සන වෙනුවට නම භාවිත කළ බවට හිටපු මහ බැංකු අධිපතිවරයා අනාවරණය කළේ ප්‍රථම වරටය.

    අජිත් නිවාඩ් කබ්රාල් මහතා මෙරට 12 වැනි මහ බැංකු අධිපතිවරයා ලෙස 2006 ජූලි 01 වැනිදා සිට 2015 ජනවාරි 08 වැනිදා දක්වා සිය පළමු ධුර කාලය හෙබවූ අතර ඔහු මෙලෙස වාර දෙකකදීම ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කළේය.

    පළමු ධුර කාලයෙන් පසුව සක්‍රිය දේශපාලනයට පිවිසි ඒ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ජාතික ලැයිස්තුවෙන් පත්ව මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමැතිවරයා ලෙස ද කටයුතු කළේය.

    පසුව රාජ්‍ය ඇමැති ධුරයෙන් සහ මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්ව 2021 සැප්තැම්බර් 15 වැනිදා සිට 2022 අප්‍රේල් 04 වැනිදා දක්වා දෙවැනි වරටත් මහ බැංකු අධිපති ධුරයට පත් විය.

    ඔහු මෙලෙස දෙවැනි වරට ධුරය භාර ගැනීමේදී මෙරට රාජ්‍ය තාන්ත්‍රික ඉතිහාසයේ සුවිශේෂී වෙනසක් ද සිදු විය. එතෙක් මහ බැංකු අධිපතිවරයකුට හිමි නොවූ විශේෂ බලතල සහ වරප්‍රසාද රැසක් ලබා දෙමින් ‘කැබිනට් ඇමැතිවරයකුට සමාන තත්ත්වයක්’ ලබාදීමට එවකට රජය පියවර ගත්තේය. ඒ අනුව ඔහු කැබිනට් මණ්ඩල රැස්වීම් සඳහා ද නිත්‍ය ලෙස සහභාගි වූ අතර එම තත්ත්වය සහ ඔහුට හිමිවූ විශේෂ වරප්‍රසාද මෙන්ම ඉහළ වැටුප් ප්‍රතිලාභ ද එකල මහජනතාව අතරද දැඩි විවේචනයට ලක්විය.

    මෙරට ආර්ථිකය වැරදි ලෙස කළමනාකරණය කරමින් රට දරුණු ආර්ථික බංකොලොත්භාවයකට ඇද දැමීම සහ ඒ හරහා ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ද අජිත් නිවාඩ් කබ්රාල් මහතා වගකිවයුත්තකු ලෙස නම් කෙරිණි.

    2023 නොවැම්බර් මස ලබාදුන් එම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මඟින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් ඇමැතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් සමඟ කබ්රාල් මහතා ද මෙරට ආර්ථික අර්බුදයේ ප්‍රධාන වගකිවයුත්තකු ලෙස ප්‍රකාශයට පත් කෙරිණි.
    - චන්දන ජයවීර
    #ajithniwadcabral #dinamina #lakehouse #SriLanka #sinhalanews #srilankanews

     
    • Like
    Reactions: Inigo Montoya

    Similar threads