ගුවන් යානය ගිනි ගනිමින් බිමට වැටෙන අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට: යානය තමන් වෙඩි තබා බිම හෙළූ බවට ඉරානයෙන් ප්‍රකාශයක්.
කුවේට් රාජ්‍යයේදී F-15 වර්ගයේ ප්‍රහාරක ගුවන් යානයක් කඩා වැටී ඇති අතර, එහි සිටි එක් නියමුවෙකු ආරක්ෂිතව දිවි බේරාගෙන ඇති බව වාර්තා වේ. යානයේ පසුපස කොටස ගිනිගනිමින් පාලනයෙන් ගිලිහී කැරකෙමින් සෙමෙන් බිමට කඩා වැටෙන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන මේ වන විට අන්තර්ජාලය පුරා සංසරණය වෙමින් පවතී.
කෙසේ වෙතත්, අනතුරට ලක්වූ මෙම යානය ඇමරිකානු එක්සත් ජනපදයට ද නැතහොත් ඊශ්‍රායලයට අයත් එකක් ද යන්න මෙතෙක් පැහැදිලි වී නොමැත.
ඉරානය වගකීම භාරගනී ඇමරිකාවේ සහාය ලබන ඊශ්‍රායලය සම්බන්ධ වී සිටින යුද්ධය තුන්වන දිනටත් ක්‍රියාත්මක වන පසුබිමක, මෙම ගුවන් යානය තමන් විසින් වෙඩි තබා බිම හෙළූ බවට ඉරානය සඳුදා ප්‍රකාශ කළේය. මෙම සිදුවීමත් සමඟ මැදපෙරදිග අර්බුදය කලාපීය යුද්ධයක් දක්වා වර්ධනය වනු ඇතැයි යන බිය තවදුරටත් තීව්ර වී තිබේ.
මේ අතර, මෙම අනතුර මිත්‍ර පාර්ශ්වයකින් අත්වැරදීමකින් එල්ල වූ ප්‍රහාරයක් (friendly fire) හේතුවෙන් සිදුවූවක් බවට ද තහවුරු නොකළ වාර්තා පළ වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
ඇමරිකානු තානාපති කාර්යාලය අසල දුමාරයක් මෙම ගුවන් යානා අනතුර වාර්තා වන කාලසීමාවේදීම කුවේට් හි පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය අසලින් දුමාරයක් නගිනු දක්නට ලැබුණු බව ප්‍රංශ පුවත් සේවය (AFP) වාර්තා කළේය. එහෙත් මෙම සිදුවීම් දෙක අතර සෘජු සබැඳියාවක් පවතින්නේද යන්න මෙතෙක් තහවුරු වී නොමැත.
ගුවන් යානය කඩා වැටීම සම්බන්ධයෙන් ඇමරිකානු හමුදාව, ඇමරිකානු මධ්‍යම අණදෙන මධ්‍යස්ථානය (CENTCOM) හෝ පෙන්ටගනය මෙතෙක් කිසිදු නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැති අතර, ඊශ්‍රායලය ද මේ සම්බන්ධයෙන් මෙතෙක් නිල ප්‍රතිචාරයක් දක්වා නොමැත.