ත්‍රිපිටක ආරක්ෂණ පනත හා ධර්ම සංගායනා
ආරම්භය
මේ වන විට ත්‍රිපිටක සංරක්ෂණ පනතක් ගැන සමාජයේ කසු කුසුවක් ඇතිව තිබේ. මාධ්‍ය වාර්තා අනුව එහි කෙටුම්පතක් දැන් සමාජගත ව ඇතත් මෙතෙක් මා එය දැක නැත. එවැනි පසුබිමක දී මෙතෙක් බුදුදහමට අදාළව පැවැති ධර්ම සංගායනාවන් පිළිබඳව කෙටි හැඳින්වීමක් කිරීමට සුදුසු බව මා නිරීක්ෂණය කළෙමි. එය අදාළ විෂය පිළිබඳව සම්පූර්ණ සාකච්ඡාවක් නොවන අතර කෙටි හැඳින්වීමක් පමණි.
බුදුරජාණන්වහන්සේගේ පිරිනිවන වන අවස්ථාව වන විට අද මෙන් නිකායන් තිබුනේ නැත. මහනායකවරුන්, අනුනායකවරුන් සිටියේ නැත. නමුත් අප දන්නා පරිදි ඒ ඒ අංශයන්ට බුදුරජාණන්වහන්සේ විසින් ඒ අංශයේ හොඳම නැත්නම් ඉහළින් ම සිටින චරිතය නම් කර තිබිණි. ඒ හැර නිකායන් තිබුනේ නැත. දේවදත්ත ප්‍රථම වරට නිකායක් ඇති කිරීමට උත්සාහ කරනු ලැබූවත් එය එවකට දී සාර්ථක නොවිනි. දේවදත්ත විසින් රැස්කරගත් සංඝ සමූහය සැරියුත් - මුගලන් දෙපල විසින් ආපසු බුදුරජාණන්වහන්සේ වෙතර කැඳවා ගෙන ආ බව සඳහන් වේ. එසේ වුවත් දේවදත්තගේ මතවාද සම්පූර්ණයෙන් ම බුද්ධ කාලයේදී ම බැහැර වූ බව සිතිය නොහැක්කේ පරිනිර්වාණ අවස්ථාවේ දී ප්‍රකාශ වන සුභද්‍රගේ ප්‍රකාශ හේතුවෙනි. මේ සුභද්‍රත් බුදුන් කළ බුදුරජාණන්වහන්සේගෙන් ම බණ අසා අර්හත් බවට පත් වූ සුභද්‍රත් පටලවා නොගත යුතු ය. එයින් බුදුරජාණන්වහන්සේගේ කාලයේදී ම යම් යම් අයවලුන් ධර්මය, විනය සම්බන්ධයෙන් වෙනස් මතවාද දරා ඇති බව පෙනී යයි. නමුත් අද මෙන් නිකායන් ලෙසින් බෙදීමක් එහි නැත.
පළමු සංගායනාව
සුභද්‍ර වැනි අයවලුන්ගේ මැදිහත්වීම හේතුවෙන් බුද්ධ පරිනිර්වාණයෙන් පසු එළඹුණ පළමු වස් කාලයේදී ම රජගහ නුවරදී අජාශ්‍රැත රජුගේ අනුග්‍රහයෙන් ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්විණි. මෙහි මූලිකත්වය කාශ්‍යප මහරහතන්වහන්සේ විසින් ගනු ලැබූ අතර සූත්‍ර කොටස ආනන්ද මහරහතන්වහන්සේගේ මූලිකත්වයෙනුත් විනය කොටස උපාලි මහරහතන්වහන්සේගේ මූලිකත්වයෙනුත් සජ්ජායනා කරන ලදි.
මේ සංගායනාවේදී බුදුරජාණන්වහන්සේගෙන් පසුව භික්ෂූන්වහන්සේලා අනුගමනය කළ යුතු විනය පිළිබඳව සාකච්ඡා විය. අනෙක් අතට ආනන්ද මහරහතන්වහන්සේ පිළිබඳව ද සාකච්ඡා විනි. අප අසා ඇති පරිදි උන්වහන්සේ රහත්බවට පත්වන්නේ සංගායනාව ඇරඹීමට පෙර දිනදී ය. රැස්ව සිටි රහතුන්වහන්සේලාගෙන් ආනන්ද මහරහතන්වහන්සේට චෝදනා කීපයක් ම ඉදිරිපත් වූ අතර උන්වහන්සේ ඒ චෝදනා සඳහා රැස් ව සිටි අය සෑහීමට පත්වන ලෙසින් පිළිතුරු ඉදිරිපත් කරනා ලදි. පාසැල් විෂය නිර්දේශයේදී පවා මේ ගැන උගන්වන නිසා ඒවා මෙහි සඳහන් කිරීමේ අවශ්‍යතාවක් නැත.
එසේම බ්‍රහ්මදණ්ඩය නැත්නම් බුදු දහම තුළ පැනවෙන බරපතලම දඬුවම පැනවීම ගැන ද මෙහිදී සාකච්ඡා විනි. මේ සඳහා හේතු වූ චරිතය වූයේ ඡන්න භික්ෂුවයි. බ්‍රහ්මදණ්ඩය ගැන ඔබ අසා ඇතුවාට සැක නැත. පළමු සංගායනාවේදී රැස්ව සිටි සියළුම රහතන්වහන්සේලාගේ එකඟතාවයෙන් ඡන්න භික්ෂුවට බ්‍රහ්මදණ්ඩය පනවන ලදි. එහි ප්‍රතිඵලයක් ලෙසම උන්වහන්සේ අර්හත්භාවයට පත් වූ බව සඳහන් වේ. එයින් දඬුවම අවසන් විනි.
සාරාංශයක් ලෙසින් ගත් විට පළමු සංගායනාව අවසානයේදී,
- උපාලි මහරහතන්වහන්සේ මුල් කර ගනිමින් විනය සංග්‍රහ කිරීම,
- ආනන්ද මහරහතන්වහන්සේ මුල් කර ගනිමින් ධර්මය සංග්‍රහ කිරීම,
- ආනන්ද රහතන්වහන්සේ පිළිබඳ නඩු විභාගය,
- ඡන්න භික්ෂුවට බ්‍රහ්මදණ්ඩය පැනවීම
අද අපි කථා කරන ‘අභිධර්මය‘ කොටස සඳහා මුල් තැන් තැබූ චරිතයක් පළමු ධර්ම සංගායනාවේදී නොමැති වූ බව ඔබට දැක ගත හැකි වනු ඇත. එහිදී අභිධර්ම කොටස ද ආනන්ද මහරහතන්වහන්සේ මාර්ගයෙන් ම සජ්ජායනා විනි. මාස 9 ක පමණ කාලයක් මේ සංගායනාව පැවැති බවත් එය රහතන්වහන්සේලා 500 නමක් විසින් අනුමත කළ බවත් සඳහන් වේ.
දෙවැනි සංගායනාව
බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 100 ක් පමණ ගත වූ කල්හි කාලාශෝක රජුගේ අනුග්‍රහයෙන් වෛශාලි නුවරදී දෙවැනි ධර්ම සංගායනාව පැවැති බව සැල කේ. සාමාන්‍යයෙන් ක්‍රි.පූ. 383 පමණ කාලය මේ සඳහා ලබා දෙයි. මෙම සංගායනාව පැවැත්වීමේ මූලික ම හේතුව වූයේ භික්ෂූන් වහන්සේලා අතර ඇති වූ එකිනෙකට වෙනස් මතවාදයන් ය. විශේෂයෙන්ම බුද්ධ භාෂිතය සහ වෛශාලියේ ජීවත් වූ භික්ෂූන් වහන්සේලා ගත කළ ජීවන රටාව මෙහිදී ප්‍රශ්න ගත වේ. දෙවන ධර්ම සංගායනාව සම්බන්ධයෙන් නොයෙක් ආකාරයට නොයෙක් ග්‍රන්ථයන්හි සඳහන්වන බව ප්‍රථමයෙන් ම සඳහන් කළ යුතු ය. නැවතත් ප්‍රධාන කරුණට යොමු වූ විට ප්‍රශ්නගත වන්නේ කාරණ දහයකි. සාමාන්‍ය භාවිතයේ දී මේවා දස අකැප වස්තු නැත්නම් දස කැප වස්තු ලෙසින් හැඳින්වේ. මේ වන විට ථෙරවාද, මහාසාංඝික, මූලසාර්වස්ථිවාදීන් ලෙසින් කොටස් හඳුනා ගත හැක. වජ්ජිපුත්තක නම ඔබට දැන් මතක් වනු ඇත.
එකී කාරණා 10 පහත පරිදි ය.
වජ්ජිපුත්තකයන්ගේ කරුණු
- සිංගිලෝන කප්ප-ආහාර වලට මිශ්‍රකර ගැනීම සඳහා අඟක දමා ලුණු තබා ගැනීම සුදුසුය.
- ද්වංගුල කප්ප-ඉර හැරී සෙවනැල්ල දෑඟුල්වූ පසු ආහාර වැළදීම කැපය.
- ගාමන්තර කප්ප-වරක් වළදා අවසන් කොට තවත් ගමකට ගොස් දන් වැළදීම කැපය.
- ආවාස කප්ප-මහා සීමාව තුළ පිහිටි කුඩා කුඩා ආවාසයන්හි වෙන වෙනම පොහොය කිරීම කැපය.
- අනුමති කප්ප-එක සීමාවක් ඇතුළත වාසය කරන භික්ෂූන්ගේ කැමැත්ත නොගෙන වෙන් වෙන්ව පොහොය කොට නැවත කැමැත්ත ගැනීම කැපය.
- ආචින්න කප්ප-කැප අකැප දෙයක් ගැන නොසලකා චිරාගත දේ පිළිගැනීම කැපය.
- අමථිත කප්ප-කිරිත් නොවූ දීත් නොවූ කිරි වැළදීම කැපය.
- ජලෝගි කප්ප-රා බවට නොපැමිණි මීරා බීම කැපය.
- අදසක නිසීදන කප්ප-දාවලු නැති ඇතිරිලි පරිහරණය කැපය.
- ජාත රූප රජත කප්ප-රන් රිදී පිළිගැනීම කැපය.
මහාසාංඝික දශ වස්තුව
- අලල යයි කීම කැපය;
- තමාම විනෝද වීම කැපය;
- තමාම පොළව සෑරීම කැපය;
- දුර හුදෙකලාවාසීන්ට ලුණු තැන්පත් කිරීම කැපය;
- තම ආරාමයෙන් යොදුන් අඩ යොදුන් දුර ගමන් යන භික්ෂුවට ආහාර ගෙනයාම කැපය;
- ඉර අවරට ගිය පසු ඇඟිල්ලෙන් වැළදීම කැපය;
- රෝගීන්ට මධ්‍යපානය කැපය;
- කිරිත් නොවු දීත් නොවූ කිරි බීම කැපය;
- දාවලු නැති ඇතිරිලි කැපය;
- රන් රිදී මසු කහවනු කැපය;
- යාවජීවක ලුණු යාවකාලික ආහාර හා මිශ්‍රකර වැළදීම කැපය;
- අතිරික්ත නොවූ ආහාර ඇඟිලි දෙකින් ගෙන වැළදීම කැපය;
- යොදුනක් හෝ අඩ යොදුනක් හෝ ගොස් එකට ආහාර ගැනීම කැපය;
- කිරි ද්‍රෝනයක් පමණ ගෙන දී කිරි හා මිශ්‍ර කර විකාලයේ වැළදීම කැපය;
- ලෙඩකුට කූඩැල්ලන්සේ උරා සුරා පානය කිරීම කැපය;
- පැරණි නිසීදනයේ සුගත් වියතක් පමණ කෑල්ලක් නොඅළලා අලුත් ඇතිරිල්ලක් පරිභෝග කිරීම කැපය;
- සුවඳවත් කළ පාත්‍රයක් මහාජනයා නිතර ගැවසෙන තැනක තබා පින් පිණිස රන් රිදී වලින් පාත්‍රය පුරවන ලෙස දන්වා සිටීම කැපය;
- සියතින් පොළව කැණීම කැපය;
- ආගමික කාර්යයන් කිරීමෙන් පසු පැමිණි සංඝයා ඒ පිළිබඳ සතුටුවන ලෙස පෙළඹවීම කැපය.
- ආගමික කාර්යයන්ගෙන් පසු "අහෝ" යයි හඬ නඟා ප්‍රකාශ කිරීම කැපය;
වජ්ජිපුත්තකයන්ගේ කරුණුත් මහාසාංඝිකයන්ගේ කරුණුත් සැලකිල්ලට ගත් විට ඒවා බෙහෙවින් සමාන අතර සර්වාස්ථවාදීන්ගේ කරුණු සමඟ ද යම් ලෙසින් සමානය. අද අප අතරේ පවතිනා නොයෙක් දේ වජ්ජිපුත්තකයන්ගේ සහ මහාසාංඝිකයන්ගේ කරුණු දහය තුළ ඇති බව ඔබට පහසුවෙන් හඳුනා ගත හැකි බව මගේ අදහසයි. විශේෂයෙන් ම බලන්න 10 වැනි කරුණ. රන්, රිදී ලෙසින් සැලකෙන්නේ ද මුදල් භාවිතයයි. ආරවුල ඇති වීමේ මූලික කාරණයක් වූයේ ද මේ මුදල් පාවිච්චියයි. ථෙරවාදීන් මෙය පිළිගත්තේ නැත. වෛශාලියේ වාසය කළ භික්ෂූන්වහන්සේලා මුදල් බලාපොරොත්තු විනි.
සංගායනාවේදී මේ පිළිබඳව දැඩි ලෙස සාකච්ඡා කළත් අවසන් එකඟතාවයක් ඇති වූ බවක් වාර්තා නොවේ. එහි ප්‍රතිඵලයක් ලෙසින් මතවාද දෙකක් භික්ෂූන්වහන්සේලා අතර ඇති විනි. ඒ බුදුරජාණන්වහන්සේ විසින් දේශනා කළ සම්ප්‍රදායික ධර්මය ම පිළිගෙන ඒ අනුව ජීවත්වීමට කැමැති පිරිසක් සහ ලිබරල් මත දැරූ මෙන්ම වෛශාලියේ භික්ෂූන්වහන්සේලා ගත කළ ජීවිතයේ වරදක් නොමැති බව අනුමත කළ පිරිසක් ලෙසිනි. මුල් කොටස ‘ස්ථවීරවාදීන්‘ ලෙසින් මින් පසු හැඳින් වූ අතර දෙවැනි පිරිස ‘මහාසාංඝික‘ ලෙසින් හැඳින්වීම ඇරඹුනි. ථෙරවාදයේ ආරම්භය ලෙසින් මේ අවස්ථාව හඳුනා ගත හැකි වේ.
මහාවංශයට අනුව මේ සංගායනාවට භික්ෂූන්වහන්සේලා 700 ක් සහභාගී වී ඇත. දීපවංශයේ දී වෛශාලියේ භික්ෂූන් විසින් ද 1000 ගෙන් සමන්විත වූ සංගායනාවක් කර ඇති බව සඳහන් කරයි. ‘මහාසංගීති‘ ලෙසින් එය හැඳින් වේ.
කෙසේවෙතත් මෙතැනි පටන් ‘නිකාය භේදය‘ හඳුනා ගැනීමට ලැබේ.
තුන්වන ධර්ම සංගායනාව
මොග්ගලීපුත්ත තිස්ස මහරහතන්වහන්සේගේ මූලිකත්වයෙන් සහ අශෝක අධිරාජයාගේ දායකත්වයෙන් තෙවන ධර්ම සංගායනාව පාටලීපුත්‍රයේ දී පවත්වන්නට යෙදෙන්නේ බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236 කට පමණ පසුව ය. මූලික වශයෙන් ම ‘භික්ෂු වේශධාරීන්‘ ශාසනයෙන් ඉවත් කිරීමත්, නොයෙක් ආකාරයේ ධර්මයට පටහැනි යන්ත්‍ර, මන්ත්‍ර, ගුරුකම් කරමින් සිටි පිරිස් ඉවත් කරනු ලැබීමත් මෙහි අරමුක් විනි. මහායාන සාහිත්‍යයේදී පවා මේ සංගායනාව ගැන සඳහන් වේ. කෙසේවෙතත් මෙය වැදගත්වන්නේ ථෙරවාදයට ය. මේ සඳහා ද 1000 ක් භික්ෂූන්වහන්සේලා සම්බන්ධ වූ බව කියයි. එසේම මාස 9 ක් පුරා පැවැත් වූ බව ද කියයි.
විශේෂත්වය වූයේ අශෝක රජු විසින් ම ධර්මය සහ විනය ගැන ප්‍රශ්න ඇසීම ය. එම අවස්ථාවේ දී ම නිසි පිළිතුරු සැපයීමට නොහැකි වූ භික්ෂු වේශධාරීන් නෙරපීමට කටයුතු කරන ලදි.
ධර්ම සංගායනාව අවසානයේ දී මොග්ගලීපුත්ත තිස්ස මහරහතන්වහන්සේ විසින් ‘කථාවත්ථු‘ නම් ධර්ම සංග්‍රහය සිදු කරන ලදි. එවකට පැවැති බොහෝ මිථ්‍යා මත මෙමගින් දුරු කිරීමට උන්වහන්සේ බුදු දහමට අනුව කටයුතු කළ බව පෙනේ. උදාහරණයකට අද අප සමහරුන් අතර ගන්ධබ්බයෙක් ගැන අමුතු මතයක් ඇත. එනම් කෙනෙකු මරණයෙන් පසු නැවත උපතක් සඳහා අහසේ පාවෙමින් සිටිනා කාලයේ දී ගන්ධබ්බයෙකු ලෙසින් හැඳින්වීමයි. මෙය අද පමණක් නොව තෙවන ධර්ම සංගායනාව කාලයේ දී ද සමාජගත ව තිබූ මතයකි. එය මිථ්‍යා අදහසක් බව මොග්ගලීපුත්ත තිස්ස මහරතන්වහන්සේ පෙන්වා දුන්නේ ය. කෙසේ හෝ දහසක් භික්ෂූන්වහන්සේලාගේ එකඟතාවයෙන් මෙහිදී සංගායනා වූ ධර්මය ‘ථෙරවාද‘ ලෙසින් හැඳින් වේ. එසේම අභිධර්මය ලෙසින් කොටසක් එකතු වන්නේ මෙහිදී ය. එසේම මේ ධර්ම සංගායනාවෙන් පසුව අධිරාජයා විසින් හොඳින් ධර්මය දරන්නා වූ භික්ෂූන්වහන්සේලා කණ්ඩායම් 9 ක් රටවල් 9 කට ධර්ම ප්‍රචාරණයේ යොමු කරන ලදි. මීට අමතරව අශෝක අධිරාජයා විසින් සිරියාව, ඊජිප්තුව ආදී රටවල් සඳහා ද ධර්ම ප්‍රචාරණය කරවු බවට සඳහන් වේ.
වැදගත් - දෙවැනි ධර්ම සංගායනාවේ දී සඳහන් කළ මහාසාංඝිකයන් මේ සඳහා සහභාගී වූ බවක් නොපෙනේ.