නටන්න බැරි පොළොව ඇදයිලු
තමන්ට යම් කාර්යයක් හරිහැටි කළ නොහැක්කේ ඊට අදාළ ස්ථානයක හෝ භාණ්ඩයක හෝ වෙනත් දෙයක අඩු පාඩුවක් නිසා යයි කියන විට, අපගේ සිහියට නැඟෙන මුල් ම පිරුළ නම්, “නටන්න බැරි පොළොව ඇදයිලු” යන්නයි..”The unskillfull scrutinize their tools” යන ඉංග්‍රීසි යෙදුම භාවිත වන්නේ ද මෙවන් අවස්ථාවකට ගැළපෙන පරිද්දෙනි.
කිසියම් ක්‍රියාවක දස්කම් පෑ නොහැකි තැනැත්තා ඊට හේතුව තමන් අත ඇති උපකරණවල අඩුලුහුඬුකම් බව පවසමින් නිදහසට කරුණු දක්වා තම අදක්ෂතා වසා ගැනීමට උත්සාහ ගැනීම ඉහත දැක්වූ ඉංග්‍රීසි යෙදුමෙන් ප්‍රකට වෙයි.
කිසියම් කර්මාන්තයක් හරිහැටි නොදන්නා නැතහොත් දැනුම හා පළපුරුද්ද නොමැති තැනැත්තා හැම විටම තමන් වෙත ලැබී ඇති ආම්පන්න ඊට නොගැළපෙන බව මතු කර දක්වයි. සිංහල ජන සමාජයේ වහරනු ලබන මේ හා සමාන යෙදුමක් ලෙස ඉහත දැක්වූ ‘නටන්න බැරි පොළොව ඇදයිලු’ යන්න සැලකීමේදී ද හරිහැටි නැටුම් ඉගෙනගෙන නැති කෙනකු තම නැටුමේ අඩුපාඩු යටපත් කරමින් ඉස්මතු කර දක්වන්නේ නැටුම සඳහා වෙන් කර ඇති භූමිය, නැතහොත් වේදිකාවෙහි පොළොව සමතලා නොවන නිසා තම නැටුම හරිහැටි කළ නොහැකි බවකි.
ජපන් රටේ වාසය කරන්නන් හමුවේ ද මේ හා සමාන අවස්ථා කොතෙකුත් උද්ගත වූ නිසා ම එම අවස්ථාවලට හා එම තත්ත්වයන්ට ගැළපෙන පරිද්දෙන් උචිත ප්‍රස්තාව පිරුළක් සැකසී ඇති ආකාරය දැක්වීමට ඉදිරිපත් කළ හැකි හොඳම නිදසුන වනුයේ ජපන් බසින් යෙදෙන (HETA NO DOGU SHIRABE) ‘හෙත නො දෝගු ශිරබෙ’ යන්නයි. ඉංග්‍රීසි බසින් මෙයට “A bad workman always blames his tools යනුවෙන් හෝ “The unskillfull Scurtinize their tools” යනුවෙන් ඉහත දැක්වූ පිරුළ හෝ යෙදේ. අකාර්යක්ෂම හෝ අදක්ෂ හෝ එසේ නැතහොත් නුපුහුණු, කම්කරුවකු තමාට යමක් කරගත නොහැකි වන හැම විටකම දොස් නගන්නේ තමන්ට පාවිච්චි කිරීමට ලැබුණ උපකරණවලට ය. එහි වරද නිසාම සිය කාර්යය හරියාකාරයෙන් කළ නොහැකි වූ බව පවසන්නට එවැන්නෙක් යොමු වනු ඇත.
මෙබඳු තත්ත්වයක් අවබෝධ කරගැනීමට තරම් සමාජයේ සෙස්සන් අඥාන නොවන බව ද මෙම කියමනෙන් ධ්වනිත වන තවත් අරුතකි. “නටන්න බැරි පොළොව ඇදයිලු” යනුවෙන් උපහාසාත්මක ලෙස අප කවර කෙනකු ගැන ඔහු සමඟ හෝ වෙනත් අය සමඟ හෝ පවසන බොහෝ අවස්ථා ඇත.
එනයින් බලන කල එදා හෝ අද හෝ කවර සමාජයක වුව ද ජීවත් වන පුද්ගලයන්ට ව්‍යවහාරික ඥානය හා පළපුරුද්ද කොතෙක් දුරට තිබුණ ද, අදත් ඇද්ද යන්න ද දැකගත හැකි ය. මෙහි පළ වන තවත් කරුණක් ලෙස දත හැක්කේ පුද්ගලයකුගේ අවංක භාවය හෝ ඊට ප්‍රතිවිරුද්ධ ගති ලක්ෂණයි. තමාට යමක් හරිහැටි කළ නොහැක්කේ තමන් එය නිසි තරමට හදාරා නොමැති වීම නිසා යයි කීයෙන් කී දෙනෙක් නම් අවංකව ප්‍රකාශ කරනු ඇද්ද? තම අඩුව වසා ගැනීමට කවර හෝ උපක්‍රමයක් යෙදීම අද අපේ සමාජයේ වුව ද බහුලව දැකගත හැක්කකි. ඒ අතර අතළොස්සක් දෙනා පමණක් සැබෑ තත්ත්වය සඳහන් කරමින් තමන්ගේ දුර්වලකම හෝ අඩුපාඩුව අවංකව ප්‍රකාශ කරන අවස්ථා ද නැත්තේ නොවේ.
සමාජය වූ කලී යහපත් - අයහපත්, වංක - අවංක, නිහතමානී - ආඩම්බර, සත්‍ය - අසත්‍ය යනාදී වශයෙන් ගත් කල එකිනෙකාට ප්‍රතිවිරුද්ධ ගති ලක්ෂණවලින් සමන්විත පුද්ගලයන්ගෙන් සැදුණකි. මෙය ජපානයට වේවා, ශ්‍රී ලංකාවට හෝ වෙනත් කවර රටකට හෝ වේවා සාධාරණ වූවකි. සාමාන්‍යයෙන් ගත් කල පාසල් ශිෂ්‍යයන්ගේ ඇතැම් ක්‍රියා හා හැසිරීම් සම්බන්ධයෙන් ද ගළපාගත හැකි අරුතක් මෙම ප්‍රස්තාව පිරුළෙන් ගම්‍යමාන වේ. ඉගෙනීමට අදාළව පොතපත කියවීමට හෝ වෙනත් ක්‍රියාකාරකමකට දරුවකු මෙහෙයවන ගුරුවරයකු, නැතහොත් මාපියන් හෝ අන් කවර පුද්ගලයකු හෝ ඉදිරියේ දරුවා අසත්‍ය යමක් කියන්නට පුළුවන. ගණන් ටික සාදාගෙන නොපැමිණියේ මන්දැයි ගුරුවරයකු අසන ප්‍රශ්නයකට සමහර විට ගැමි පරිසරයේ දරුවකු සත්‍ය හෝ අසත්‍ය හේතු දක්වන්නට ඉඩ ඇත.
ගොයම් කපන්නට පියාට හෝ අන් කෙනකුට උදව් වන්නට සිදු වූ නිසා ගණන් සාදාගෙන නොපැමිණි බවත් දරුවකු කිවහොත් සමහර විට එය සැබෑ හේතුව විය හැකි ය. අනික් අතට එය අසත්‍යයක් ද විය හැකි ය. සමහර විටෙක කාර්යාලයෙන් නිවාඩු ගෙන කොහේ හෝ යන්නට අවශ්‍ය වූ කෙනකු ඒ සඳහාත් තම මිත්තණිය මිය ගොස් ඇතැයි හෝ පවුලේ වෙනත් කෙනකු රෝගාතුර වී ඇතැයි හෝ අසත්‍ය හේතුවක් දක්වා නිවාඩු ලබාගෙන යන අවස්ථා ද විරල නොවේ. ඇතැම් දරුවන් තමන් අකැමැති දෙයකට වැඩිහිටියන් තමා පොලඹවන්නට උත්සාහ ගතහොත් සැබවින් ම නොමැති හේතුවක් ලෙස හිස කැක්කුමක් හෝ බඩේ අමාරුවක් හෝ මවා පෙන්වන අවස්ථා ද නැත්තේ නොවේ.
මෙවැනි අවස්ථා ඇතැම් විට බහුලව දක්නට ලැබෙන ඒවා වන අතර එහි දී ද පෙර කී, “නටන්න බැරි පොළොව ඇදයි” යන යෙදුම වෙනත් ලෙසකින් හෝ ගළපාගත හැකි ය. මෙවන් අවස්ථාවකදී එම ප්‍රස්තාව පිරුළම අපට සිහිපත් නොවන්නට ඉඩ ඇතත් පුළුල් ලෙස ගත් කල්හි එම අරුතට සමාන අරුත් දනවන බවක් පෙන්වයි. බොහෝ විට ප්‍රස්තාව පිරුළු ඒවායේ වචනාර්ථයම නැතහොත් මතුපිටින් කියවෙන අරුතම ප්‍රකට නොකරයි.
ජපන් වැසියන් ඉහත දැක්වූ ප්‍රස්තාව පිරුළ මඟින් “අදක්ෂ කම්කරුවා සිය අදක්ෂතාව සඟවා ගනිමින් රාජකාරිය ඉටු කළ නොහැකි වීමට හේතුව ලෙස ආම්පන්නවලට දොස් පවරයි.” යනුවෙන් අර්ථ දක්වා ඇත. සමාජය තුළ වාසය කරන්නන් අතර, ජපන් ජාතිකයන් වේවා ශ්‍රී ලාංකිකයන් වේවා මෙවන් අවස්ථාවකදී එබඳු හේතුවක් ඉදිරිපත් කරන්නට ඉඩ ඇති නිසා ම ශ්‍රී ලංකාවේ මෙන් ම ජපානයේ ද මෙම අරුත් පළ කරන්නට උක්ත උපහැරණ භාවිත වන්නට ඇත.
කෙසේ නමුදු වර්තමාන ජපානය දෙස බලන විට විශේෂයෙන් ම නාගරික සමාජය දෙස අවධානය යොමු කරන විට සිය කාර්යයන් නොපිරිහෙළා ඉටු කිරීමට ජපන් ජාතිකයන් නොමඳ උත්සාහයක යෙදෙන බව පෙනේ. ඒ අනුව ඔවුන් සතු මෙම පිරුළ ඇතැම් විටක අදාළ නොවූවත් වෙනත් අවස්ථාවකදී අදාළ වන නිසා ම මෙය තවමත් ඔවුන්ගේ භාවිතයේ පවතී.

මහාචාර්ය කුසුමා කරුණාරත්න
Last edited: