පාස්කුවේ කැකිල්ලේ තීන්දුව

පාස්කුවේ කැකිල්ලේ තීන්දුව

පාස්කුවේ කැකිල්ලේ තීන්දුව
-----------------------------------------------
ස්ථානය - රාජ සභාව

( රජතුමා "අමරබංදු රූපසිංහ" තාලයට සභාවට පැමිණේ )

මහඇමති:
ජය ශ්‍රී... ජය ශ්‍රී... ජය ශ්‍රී... ජය ශ්‍රී...
කැකිල්ලේ රජතුමා (කැ.ර.) සභාවට වඩිනවා..

කැ.ර.:
මම මේ රට සුරපුරයක් කෙරුවා -
අද දිනයට නියමිත නඩු මොනවා...

මහ ඇමති:
පාස්කු ඉරු දින බෝම්බ පුපුරා -
මිනි මැරු මරුවා, මෙහි ඇත කැඳවා...

(පිටිතල හයා කහරාන් පැමිණේ)

කැ.ර.:
තා ගෙනා බෝම්බය පල්ලියෙදි පිපුරුණා -
දඬුවමට පෙර කියනු, නිදහසට කාරණා...

කහරාන්:
පශ්වාං දහශකට කුඩු වන්න ශාමිනේ -
මගෙ වෙරද්දෙන් නෙවෙයි පෝම්බය පිපිරුණේ...

කැ.ර.: එහෙනම් ?

කහරාන්:
තෙදට හයියට තිබුණු නිශයි මං රෙවටුණේ -
බාල බඩු දමා එය ශෙදු නිශයි පිපිරුණේ...
ඒ නිශා වරදකරු මා නෙවෙයි ශාමිනේ -
පෝම්බය හෙදු එකයි මේ යෙමට කාරණේ...

කැ.ර.:
තා කියන කතාවත් ඇත්ත බව පේනවා -
බෝම්බය හැදු එකා වහා මෙහි ගේනවා...

( රාජපුරුසයෝ ඇල්ලම්පිටියේ බෝම්බ කම්හලේ හිමිකරු [ බෝ.ක.හි.] කැඳවාගෙන එති.)

කැ.ර.:
බෝම්බය හරියකට හදා නෑ කියනවා -
ඒ නිසා පල්ලියෙදි පිපිරිලා තියෙනවා...
මේ සියල්ලට තෝව වැරදිකරු කරනවා -
උල තියා මරන්නට අද නියම කරනවා...

බෝ.ක.හි.:
හයියු, මේ රජතුමා විකාරම කියනවා -
යෙපි තමා ඉශ්තරන් පෝම්බය හදනවා...

කැ.ර.: එහෙනම් පිපිරුවෙ, මැට්ටො ???

බෝ.ක.හි.:
අපේ කම්හල එහා වඩු මඩුව තියෙනවා -
කිරි කිරිං ශද්දයට අපේ වෙඩ එරෙනවා...
ඒ නිශයි පෝම්බෙට වෙඩි බේත් වැඩි වුනේ -
ඌ නිශ යි පල්ලියෙදි පෝම්බය පිපිරුණේ...

කැ.ර.:
මූ කියන කාරණෙත් ඇත්ත බව පේනවා -
ඒ නිසා වඩුමඩුවෙ අයිතිකරු ගේනවා...

( රාජපුරුසයෝ ගොස් වඩුමඩුවේ අයිතිකරු රැගෙන එති )

කැ.ර.:
කන් කරච්චලෙ නිසා තගේ වඩු වැඩපලේ -
වෙඩි බෙහෙත් වැඩි වෙලා බෝම්බය පිපිරුණේ...

( වඩුවා පුදුමයෙන් උඩ බිම බලයි )

කැ.ර.:
නිදහසට කාරණා කිසිවක්ම ඕන නෑ -
අදින් පසු නිදහසක් සමාවක් මගෙන් නෑ...

මූට මඩුවලිගයෙන් සියවරක් තලනවා -
අද ඉඳන් ඔය සියළු වඩු මඩූ වහනවා...

( ඇමතිවරු ඔල්වරසන් දෙමින් රජුට සංදේශයක් දෙති)

ඇමතිවරු:
මහජනය ඔබතුමා ගැන අගේ කරනවා -
ආයෙමත් ඉල්ලන්න කියා බල කරනවා...

ජය ශ්‍රී... ජය ශ්‍රී... ජය ශ්‍රී ... කියමින් රාජ සභාව සතුටින් විසිර යයි.

(සියළු නම්ගම් මන°කල්පිතයි.)
Ruwan Wijemanne