තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට පෙනී සිටීම සඳහා යමින් සිටි අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුළු පස් දෙනෙක් බෙලිඅත්ත අධිවේගී පිවිසුම් මාර්ගය ආසන්න ප්‍රදේශයේදී වෙඩි ප්‍රහාරයකට ලක්ව ඝාතනය වී මේ වන විට සති දෙකකට ආසන්න කාලයක් ගෙවී ගොස් හමාරය. මෙතෙක් තවමත් මෙම ඝාතනයේ මහා මොලකරුවන් මෙන්ම වෙඩික්කරුවන් කොටුකර ගැනීමට පොලිසියට හැකියාවක් ලැබී නැත. එහෙත් ඒ සෑම අයෙක්ම නම් ගම් සහිතව හෙළි කර ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්කම් දක්වා හමාරය. ඒ මෙම පංච පුද්ගල ඝාතනයේ සැඟවුණු බොහෝ තොරතුරු ද සමඟිනි.
පාතාලය හා මත්කුඩු ජාවාරමට එරෙහිව දියත් කළ යුක්තිය මෙහෙයුමට අභියෝගයක් වෙමින් සිදු වූ මෙම ප්‍රහාරය කෙරෙහි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් වැඩි අවධානයක් යොමු කර තිබුණේ සැකකරුවන්ට කිසිදු සමාවක් නොදී නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස වැඩ බලන පොලිස්පතිවරයාට නිරන්තර උපදෙස් දෙමිනි. ඒ නිසාම වැඩ බලන පොලිස්පතිවරයා පොලිස් විශේෂ කාර්ය බළකාය ඇතුළු විමර්ශන කණ්ඩායම් භාර පොලිස් ප්‍රධානීන්ට ලොකු පීඩනයක් ගෙන දුන්නේය. ඒ සැකකරුවන් ඉක්මනින් හඳුනා ගෙන අත්අඩංගුවට ගැනීමටය. ජනවාරි 22 වෙනිදා සිදුවූ එම ප්‍රහාරයෙන් පැය 48ක් යන්නට මත්තෙන් වෙඩික්කරුවන් මෙම ප්‍රහාරයට පැමිණි ජිප් රථය සොයා ගනිමින් ඊට සම්බන්ධ බොහෝ පිරිසක් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබෙන්නේ එබැවිනි.
ඒ අනුව මුලින්ම අත්අඩංගුවට ගන්නේ මෙම ප්‍රහාරයට පහසුකම් සපයා දුන් අකුරැස්ස බංගම පදිංචිකරුවෙකි. සමන් කුමාර නැමැති ඔහු මෙම ප්‍රහාරයේ මෙරට මෙහෙයවන්නා බව මුලදී හඳුනා ගත්ත ද දැන් එය එහෙම පිටින්ම වෙනස් වී හමාරය. ඒ ඔහුටත් උඩින් මෙම ප්‍රහාරය මෙහෙයවූ පිරිසක් සිටින බව විමර්ශනවලින් හෙළිවී ඇති බැවිනි. මෙතෙක් කර ඇති විමර්ශනවලින් හෙළිවී ඇති ආකාරයට අනුව මෙම ප්‍රහාරයේ මහ මොළය කොස්ගොඩ සුජීය. ඔහු රැඳී සිටින්නේ ඩුබායිවලය. මෙම ප්‍රහාරය ඩුබායි සිට මෙහෙය වන්නේ සුජීගේ සමීපතමයෙක් වූ හරේන්ද්‍ර ගුණතිලක නොහොත් බූස්සේ හර්ෂය. ඔහු නාවික හමුදාවේ සිටි සෙබළෙකි. මෙම ප්‍රහාරය සැලසුම් කිරීමේදී හර්ෂට අවශ්‍ය පහසුකම් සපයන්නේ කොස්ගොඩ සුජීගේ දකුණු අත බඳු ඌරගහ මයිකල්ය. ඔහුත් දැන් සිටින්නේ ඩුබායිවලය.
අකුරුස්සේ සමන් කුමාරව මෙම ප්‍රහාරයේ උදව්කාරයෙක් ලෙස සම්බන්ධ කරගන්නේ බූස්සේ හර්ෂය. ඒ ඔහු සමන් කුමාරව දැන හඳුනා ගෙන ඇත්තේ මෙරට රැඳී සිටින වකවානුවේදී මත්කුඩු සමග පොලිසියට හසුවී බන්ධනාගාරගතව සිටියදී ය. මෙම ප්‍රහාරය මුළුමනින්ම ඩුබායි සිට හර්ෂ සැලසුම් කර ඇත්තේ අකුරැස්ස කේන්ද්‍ර කරගනිමිනි. මෙතෙක් කර ඇති විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ වෙඩික්කරුවන් ස්ථානගත කර තිබී ඇත්තේ අකුරැස්සේ හෝටලයක බවය. එසේම ගිනි අවි සහ ජිප් රථය පවා කල්තියා රැගෙන විත් තබා ඇත්තේ අකුරැස්සේය. ඒ සමන් කුමාරගේ නිවෙසේය.
බෙලිඅත්තේ ඝාතනයෙන් පැය 48ක් යන්නට මත්තෙන් ගාල්ලේ පිරිවෙන් රථ ගාලකින් වෙඩික්කරුවන් ගමන් කළ ජිප් රථය පොලිසිය විසින් සොයා ගත්ත ද එම රථයේ සැබෑ හිමිකරු සොයා ගැනීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවීය. දීර්ඝ විමර්ශනයකින් අනතුරුව විමර්ශකයන් හෙළි කරගන්නේ එම රථය කටුගස්තොටින් කුලියට ගත් එකක් බවය. ඒ සඳහා මුදල් ගෙවීම් කර තිබුණේ මීගමුවෙනි.
බෙලිඅත්තේ පංච පුද්ගල ඝාතනයට පොලිසියේ වැඩ තහනමට ලක්ව සිටින පොලිස් පරීක්ෂකවරයකුගේ සම්බන්ධයක් හෙළි වන්නේ ඒත් එක්කමය. රන්මුණි මහේෂ් හේමන්ත ද සිල්වා නැමැති මෙම පොලිස් පරීක්ෂකවරයා මෙම ප්‍රහාරයේ මෙරට මහ මොළකරු බවට සැක කරන තොරතුරු මුලින් පොලිසියට ලැබුණ ද විමර්ශනයේදී හෙළි වන්නේ ඔහු ද මෙම ප්‍රහාරයේ පහසුකම් සලසන්නෙක් බවය. මෙම පොලිස් පරීක්ෂකයා ගැන තොරතුරු එළියට එන්නේ වෙඩික්කරුවන් ගමන් ගත් ජිප් රථය සම්බන්ධයෙන් කළ විමර්ශනවලිනි. එහිදී හෙළි වන්නේ ජිප් රථය කුලියට ගැනීමේ අතරමැදියෙක් ලෙස සම්බන්ධව සිට ඇත්තේ වැඩ තහනමට ලක්ව සිටින පොලිස් පරීක්ෂකවරයා බවය.
කොස්ගොඩ සුජීගේ සහ ඌරගහ මයිකල්ගේ සමීපතමයෙක් වන ඔහු වැඩ තහනමට ලක්ව ඇත්තේ ද පාතාලය සමඟ සමීපව ඇසුරු කිරීම හේතුවෙනි. එසේම මෙම නිලධාරියාගේ නමට අපරාධ චෝදනා ද නැත්තේ ම නැත. ඒ ඔහු මෙම පාතාල අපරාධකරුවන්ගේ අපරාධවල සැඟවුණු චරිතයක් ලෙස කටයුතු කරන්නෙක් වූ බැවිනි. කලකට පෙර වැඩ තහනම් කර ඔහුව පොලිසියෙන් නෙරපන්නේ ද එබැවිනි.
1983 උපත ලද පුද්ගලයෙක් වන ඌරගහ, මාකන්දන, පුවක්ගහවත්තේ පදිංචිකරුවෙක් වන මෙම පොලිස් පරීක්ෂකවරයා පොලිස් සේවයට එක්ව ඇත්තේ 2007 වසරේදීය. ඒ ආධුනික උප පොලිස් පරීක්ෂකවරයෙක් ලෙසිනි. ඔහු පාතාලයට වැටෙන්නේ ඌරගහ මයිකල් සමග ඇසුරු කරන්නට ගොසිනි. ඒ මයිකල් ද ඔහුගේ ගමේ මිතුරෙක් වූ බැවිනි.
කොස්ගොඩ සුජී සහ සුජීගේ ප්‍රධාන ගෝලයෙක් වූ ඌරගහ මයිකල් සිදු කළ අපරාධ බොහොමයකට ආධාර හා අනුබල දුන් මහේෂ් හේමන්ත මෙවරත් බෙලිඅත්තේ ඝාතනයට සම්බන්ධ වන්නේ මයිකල්ගේ කීමටය. කටුගස්තොටින් කුලියට ගත් ජිප් රථය අකුරැස්සට පදවා ගෙන ගොස් ඇතැයි පැවසෙන්නේ ද මහේෂ් හේමන්තය. කොළඹ පොලිසියක රථවාහන අංශයක ස්ථානාධිපතිවරයකුගේ කුලුපග මිතුරෙක් වන මහේෂ් හේමන්ත මෑතකදී එම පොලිස් ස්ථානාධිපතිවරයාගේ කොළඹ පිහිටි නිල නිවෙසේ ද දින කිහිපයක් ගත කර ඇති බව ද කියැවෙයි. ඒ තමා දැඩි මානසික පීඩනයකින් සිටින බැව කියමිනි. පෙනී ගොස් ඇති ආකාරයට අනුව බෙලිඅත්තේ ප්‍රහාරයට ඔහු සම්බන්ධ වී ඇත්තේ මෙසේ මානසික පීඩනයකින් සිටින අතරතුරදීය.