මාලිගාවිල බුදු පිළිමය - ඉරිදා මව්බිමෙන්

Pathum_madu

Well-known member
  • Dec 11, 2007
    1,319
    161
    63
    පොළොව උඩ
    මාලිගාවිල බුදු පිළිමය - ඉරිදා මව්බිමෙන්

    කැලේ අස්සෙන් මතුවුණු දැඩිමුණ්ඩ දේවාලෙට බාර වෙලා විනාඩි විස්සක් යන්න කළින් පිළිමෙ ඉස්සෙන්න පටන් ගත්තා


    ඔක්කම්පිටියේ ගන කැලෑව තුළ පොළොව මත ඇද වැටී හිස කඳින් වෙන්ව තිබූ මාලිගාවිල බුදු පිළිමය යළි නඟාසිටුවීමේ අදහස සිත තුළ ජනිත වූයේ දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේය.

    එවක සිටි පුරාවිද්‍යා කොමසාරිස් රෝලන්ඩ් සිල්වා, සුප්‍රකට ඉන්ජිනේරු කුලසිංහ මහතා ඇතුළු පිරිසක් මේ වෙනුවෙන් උත්සාහයක යෙදී තිබුණද එය සාර්ථක වී තිබුණේ නැත. පිළිමය කෙළින්කර විවෘත කිරීමට දිනය ළං ළංවෙයි. ව්‍යාපෘතියක් ආරම්භයේදීම එය අවසන් කළ යුතු දිනය දැනුම් දීම ප්‍රේමදාස සම්ප්‍රදායයි.
    තමන්ගේ අභිමතය ඉටුනොවන තැනට කටයුතු සිදුවෙමින් පැවැතීම ගැන ප්‍රේමදාස මහතා දැඩි ලෙස දෝෂාරෝපණය කළේය. රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාව වසා දමන බවට තර්ජනය කළේය.
    රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාවත්, එහි ගෞරවයත් බේරාගෙන මාලිගාවිල පිළිමය යළි කෙළින් කරවීමේ අභියෝගය එතැනදී භාර ගත්තේ එවක රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාවේ සාමාන්‍යාධිකාරි ඉන්ජිනේරු විද්‍යාජෝති ගැමුණු සිල්වා මහතාය.

    එවකට මාලිගාවිල ප්‍රදේශයට බර වාහන ගෙන යා නොහැකි වූ හෙයින් බොලොක්ක යෙදූ ආරුක්කුවක් නිර්මාණය කර එමඟින් පිළිමය කෙළින් කරවීමට ගැමුණු සිල්වා උත්සාහ ගැනීමට සැරසුණ මොහොත දක්වා තොරතුරු පසුගිය 'මව්බිම' කලාපයෙන් අපි හෙළි කළෙමු.
    අද එතැන් සිට,
    "මම කණ්ඩායමක් අරගෙන ඔක්කම්පිටියට ගියා. මගේ කණ්ඩායමේ සහායට ඒ කාලේ කනිෂ්ඨ ඉන්ජිනේරුවරයකු වූ ජයන්ත හේවාසිලියන් මහත්මයා හිටියා. එයාගෙන් විශාල සහායක් ලැබුණා.

    ඉන්ජිනේරු ශිල්පය දැනගෙන හිටියට මම පුරාවිද්‍යා තොරතුරු දැනගෙන හිටියෙ නෑ. මට ඒ පිළිබඳව දැනුම ලබාදුන්නේ එවකට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු ධර්මසිරි මහත්මයා. ඇත්ත වශයෙන්ම කියනවා නම් එවක හිටපු සිරිසේන කුරේ ඇමැතිතුමාගෙන් විශාල සහයෝගයක් ලැබුණා. මොකද යම් යම් අවශ්‍ය සහාය ගන්න මම කතා කළේ ජනාධිපතිතුමාට නෙවෙයි. සිරිසේන කුරේ ඇමැතිතුමාටයි. එයත් එක්ක තමයි ගනුදෙනුව කරගෙන ගියේ. කුරේ ඇමැතිතුමා නොපැකිළව උදව් කළා. දැන් අපි කණු හතරක් යකඩවලින් හදලා ආරුක්කුව රඳවලා බොලොක්ක හරහා පිළිමය උස්සන්න වෑයම් කළා. හරි ගියේ නෑ. අපි හදපු කණු පොළොවට ගිලා බහිනවා. ඉස්සෙන්නෙම නෑ. මිනිස්සු අදිනවා. ඉස්සෙන්නෙ නෑ.

    එදා ප්‍රේමදාස මැතිතුමත් ආවා. ටික වේලාවක් බලාගෙන හිටියා. පොඩ්ඩක්වත් ඉස්සෙන්නේ නෑ. එදා ප්‍රේමදාස මැතිතුමාට තේරුම් ගියා මේක උස්සගන්න බැරි විත්තිය. "ඔහොම කරගෙන යන්න" කියලා ප්‍රේමදාස මැතිතුමා පිටත්වෙලා ගියා.
    බලන කොට පිළිමයේ බර වැඩිකමට කණු ගිලා බහිනවා. මං බැලුවා මොකක්ද මේ සිද්ධ වෙන්නේ කියලා. පළමුවැනි පාර කඳේ පරිමාණය අරගෙන ගණන් හදලා බැලුවනේ. ටොන් 80ක් කඳ කොටස බරයි. මම සැලැසුම් වෙලා ගියේ ටොන් 80ක් උස්සන්නයි. හිස වෙනම. ඒක ටොන් 6ක් විතර බරයි. දැන් ඉස්සෙන්නෙ නෑ.
    එතැනදි අපි කරපු වරද තමයි අපි හිතුවේ මේ පිළිමය කළු ගල් කියලයි. ඒක කළුගල් නෙවෙයි. ඒක ඇත්තටම ස්ඵටික හුනු ගලක්. ඒක කළු ගල්වලටත් වඩා බර වැඩියි. පිළිමයේ කඳ කොටසේ බර වැඩිකම නිසා අපි තවත් ගැටලුවකට මුහුණ දුන්නා. බර වැඩිකම නිසා දෙකට කඩල යයි කියලා බයයි. එහෙම වුණොත් ලොකු ලෙඩක් නේ.

    මම කළ දේ තමයි පාදයේ ඉඳලා ඩ්‍රිල් කළා පපු කුරහය දක්වාම. එහෙම දිගට හිල් කරලා ඇතුළට දැම්මා අඟල් හතරේ කම්බියක්. එහෙම කළාම ඉස්සීම ලෙහෙසියි. කැඩෙයි කියලා බයක් නෑ. කෝර් එකෙන් කෑල්ලක් එළියට ආවා. මම ඒ කෑල්ල අරගෙන ඇවිල්ල දුන්නා ජාතික ගොඩනැඟිලි සහ පර්යේෂණ ආයතනයට. මේකෙ ඝනත්වය බලන්න. ඊට පස්සේ තමයි තේරුම් ගියේ කළුගල්වලට වැඩිය බරයි. දැන් තව මාසයකට වැඩිය ටික කාලයයි තියෙන්නේ. කරන්න තියෙන උපක්‍රම බොහොමයක් දැම්මා ඉස්සෙන්නේ නෑ. ගහන ගහන ගැටේ හරියන්නේ නෑ. තවම පිළිමෙ බිම. ඒ පාර කට්ටිය කතා වුණා බාරයක් වෙමු කියලා. මගේ නම් ඒ තරම් ඕව ගැන විශ්වාසයක් නෑ.
    ආ... මට අමතක වුණා. ඊට ඉස්සර තව වැඩක් තියෙනවා කියන්න. 1972දී මේ පිළිමය උස්සන්න උත්සාහ කරලා තියෙනවා. ඒ උස්සන්න ගිය පාර පිළිමයේ පාදයට හානි සිදුවෙලා තියෙනවා. අපි පිළිමය ළඟ වැඩකරන කොට ගමේ වැසියෝ එතැනට එනවා. ඒ ආපු වයසක ගැමියෙක් දවසක් මට මෙහෙම කිව්වා.

    "අනේ මහත්තයෝ, ඉන්ජිනේරු සංස්ථාවෙන් ආයෙත් මේ වැඩේ කරනව කියලා දන්නව නම් අපි ඉඩ දෙන්නේ නෑ. ගිය පාර ආපු කට්ටිය මෙතැන කුකුල්ලු මරාගෙන කාලා, අරක්කු බීලා විනාශ කළා. ඒ හින්දා තමයි පිළිමෙ කකුලකුත් තුවාල වුණේ" කියලා. ඒ කතාවෙත් මොකක් හරි සත්‍යයක් ඇති කියලා මට හිතුණා. මේ වගේ බැරෑරුම් වැඩක් කරන කොට වත් පිළිවෙත්, පේවීම් ආදිය තිබිය යුතුය කියන තැනට හිතන්නට මාව පෙලඹුණා.
    "අපි නම් කැමැති නෑ මහත්තයෝ, ඉන්ජිනේරු සංස්ථාවේ කට්ටිය ආයෙත් මෙතැනට ආවට" කියල ඒ ගැමියා පොඩි නෝක්කාඩුවක් දැම්මා.

    මං කරපු වැඩේ මගේ වැඩ කණ්ඩායම ගිහිල්ලා යුනිට් හතරක් විතර අෑතින් දැම්මා. ඕනෑ දෙයක් එහෙ කරගනිල්ලා. වැඩ ස්ථානයේ කිසිවක් බෑ. සිගරැට් එකක්වත් බොන්න බෑ. මත්පැන් එහෙමත් වැඩබිම සීමාවේ වාඩි ඇතුළෙවත් බෑ. කට්ටියගෙන් විරෝධයක් ආවේ නෑ. අවශ්‍යතාව තේරුම් අරගෙන හැමෝම ඒ වත් පිළිවෙත් රැකගෙන හිටියා.
    මාත් එක්ක වැඩ කළා ක්‍රිස්තියානි ආගමේ කෙනකුයි, මුස්ලිම් ආගමේ කෙනකුයි. ක්‍රිස්තියානි සේවකයාගේ නම ලූමන්. මුස්ලිම් වැඩ පරීක්ෂකවරයාගේ නම හනීෆා. ඒ හනීෆා කියන එක්කෙනා සහිරා විද්‍යාලයට ගිහින් තියෙන්නේ. එයාට කරණීය මෙත්ත සූත්‍රය මට වඩා හොඳට කියන්න පුළුවන්.

    අපි උදේ පාන්දර වැඩ පටන් ගන්න ඉස්සර වෙලා එයා තමයි කරණීය මෙත්ත සූත්‍රය කියමින් පිළිමය වටේ යන්නේ. මං ඒ දෙන්නටත් කිව්වා ඒ ඒ ආගම්වලට අනුකූලව බාර හාර වෙන්න කියලා. හනීෆා ගියා දවටගහ පල්ලියට. ලූමන් ගියා කොටහේනේ ශාන්ත අන්තෝනි පල්ලියට. තව කට්ටියක් කතරගමට. මේ ආදී පූජනීය ස්ථාන රැසකට බාරහාර වුණා. කිරිවෙහෙරටත් බාරයක් වුණා.
    ඔහොම ඉන්න කාලේ අර කහවත්තේ පාලම හදල ඉවර වුණා. ඒ මාස හයක වකවානුවේ ප්‍රේමදාස මැතිතුමා ඒ පාරත් හදල පාලමත් ශක්තිමත්ව හැදුවා. ඒ අතරවාරයේ ඔක්කම්පිටිය ආසන්නයේ ගමකට කොටි ගහලා 16ක්ද 17ක්ද මැරුවා. ඉතින් කැලේ ඇතුළෙ වැඩ කිරීම අවදානම් තත්ත්වයක් වුණා. බලෙන් වැඩ ගන්න මට බැහැනේ. මිනිසුන්ගේ ජීවිතවලට වගකියන්නේ කවුද? කොහොමද? මේ ප්‍රශ්න තදින්ම ආවා.

    උදේ 9.00ට වැඩ පටන් ගන්නවා. හතර වෙන කොට වැඩ නවත්තවනවා. අපට එස්.ටී.එෆ්. ගාඩ් එකක් වැඩබිම වටේට දමලා තිබුණා. ඒක තවත් භීතිය වැඩිකරවන වැඩක්. කොටින්ට අත වනනවා වගේනේ. මොන විදියට උත්සාහ කළත් පිළිමේ හොල්ලන්නවත් බැරි වුණා.
    තව දවස් හත අටකට වැඩිය නෑ. සිරිසේන කුරේ ඇමැතිතුමා ආව. එයා අපිත් එක්ක බොහෝම සුහදයි. කුලසිංහ මැතිතුමත් ආවා. මේක කලින් එතුමානේ කරන්න හිටියේ. දැන් මේ මං කරපු විදියනේ. මම එතුමා ළඟට කිට්ටු කරලා ඇහුවා "සර්, සර් කොහොමද මේ වැඩේ කරන්න හිටියේ" කියලා. එතකොට කිව්වා "මං ඕක කපල පස්සේ පුරුද්දන්නයි හිටියේ" කියලා. මට දැන් ඒකට වෙලාවක් නෑ. ඒ වගේ පාෂාණ කපන මැෂින් එකක් ඉතාලියෙන් ගේන්න ඕනෑ. මිලියන හතරක් පහක් යනවා ඒකට. අපිට ලක්ෂ තුනයි වෙන් කරල තියෙන්නේ. මං කුරේ ඇමැතිතුමාට මේ කාරණා පැහැදිලි කළා.

    "දැන් මොකද කරන්නේ, තව දවස් කීයද තියෙන්නේ?"
    මේක අපට මහා බැරෑරුම්, උත්තරයක් නැති ප්‍රශ්නයක් වුණා.
    මං අති විශාල කියතකුත් හැදුවා ඒකෙන් වැඩක් වුණෙත් නෑ.
    දැන් ඉතින් කරන්න දෙයක් නෑ. රස්සාවත් නැති වෙනවා. සංස්ථාවත් ඉවරයි. වෙන්න ඕනෑ හැම දෙයක්ම වෙන්න ටික කාලයයි.
    මම මගේ අස්වීමේ ලියුම හදල ලේකම්ගේ අතට ගිහින් දුන්නා.
    "මේක දැන්ම දෙන්න එපා. හරියටම මාසේ අන්තිම දාට දෙන්න. නැත්නම් මගේ මේ මාසේ පඩියත් නැති වෙනවා" කියලා.

    මම ආපහු වැඩබිමට ගියා. අපි කතරගම සර්කිට් බංගලාවක නතර වෙලා හිටියේ. මගේ බිරියත් ගියා. ඉතින් උදේ 9.00 වෙනකොට මම වැඩබිමේ ඉන්නත් ඕනෑ. ඒ කාලේ පාරේ යන්නත් බෑ. කොටි ගහනවයි කියල ගම්වල මිනිස්සු තුවක්කු කරේ තියාගෙන එහා මෙහා යනවා. මගේ මිනිසුන්ට එළියටවත් බහින්න විදියක් නෑ. හැබැයි එහෙම එළියට එන්න වුවමනාවක් නෑ. කාටවත් සිගරැට් බොන්න, අරක්කු බොන්න බෑ. කවුද කෙනෙක් රාහු කාලය තියෙන කොළයක් අරගෙන ආවා. ඒ රාහු කාලය වෙලාවේ අපි තේ බිබී, සැලසුම් ගැන කතා කරකර හිටියා මිසක් වැඩ කළේ නෑ.
    මේ ටිකත් කියන්න ඕනෑ. ඔය මාලිගාවිල පන්සලක් තිබුණා. ඒ හාමුදුරුවෝ අපට ආශීර්වාද කරන්න පිරිත් ගාථාවක්වත් කියන්න ඒ පැත්තට වැඩියේම නැහැ. විනාඩි පහකටවත් ආවේ නෑ. අපි වැඩ කරගෙන යන කොට අවට ගම්වල මිනිස්සු ආවා බලන්න. ඒ ඇවිත් සමහරු සල්ලි එහෙම පිළිමය දෙසට විසි කරනවා. ඒ මිනිසුන්ගේ විශාල භක්තියක් තිබුණා මේ පිළිම වහන්සේ ගැන. අපි ඒ මුදල්වලින් තෙල් ගෙනැල්ලා පිළිමය වටේ පහන් පත්තු කරලා එහෙම තියෙනවා. අර මගේ යාළුවා හනීෆා පිරිත් කියනවා. හැමදාම උදේ පහන් පත්තු කළේ අර කතෝලික මනුස්සයා ලූමන්. ගමේ වටේ පිටේ බලන්න එන පිරිස වැඩි වෙනකොට අපි පින් කැටයකුත් හදල තිබ්බා. ඒ කැටේ තාමත් එතැන තියෙනවා. දැන් කවුරු සල්ලි ගන්නවාද කියල මං දන්නේ නෑ.

    තව සුමානයයි තියෙන්නේ. අපි අර මුලින් කියාපු කේ්‍රන් එක ගෙනාවා. ඒ කේ්‍රන් එක ගේන්න හැකියාව ලැබුණේ කහවත්ත පාලම ශක්තිමත්ව අලුතින් හැදූ නිසයි. කේ්‍රන් එක ගෙනාවට කේ්‍රන් එකෙන් ඉස්සීම අසීරුයි. එක පාරට එක පැත්තකින් ඉස්සුවොත් කේ්‍රන් එකේ පිටුපස පැත්ත ගහනවා. ඒක දැඩි අවදානමක්. මම ඒ කේ්‍රන් එක අර ආරුක්කුවට තියලා බැඳලා පොඩි සෙල්ලමක් දැම්මා පැත්තක් උඩ නොයන්න. කේ්‍රන් එකේ තියෙන 'රින්ච්' එකට සම්බන්ධ වුණාම තව පොඩි ගැම්මක් එනවා. ඒ වෙනකොට ප්‍රේමදාස මැතිතුමා විවෘත කිරීමේ ආරාධනා හැමෝටම යවලා. සිරිසේන කුරේ ඇමැතිතුමා ආයෙත් ආවා බලන්න. පිළිමෙ තාමත් බිම.
    "බැරිනම් දැන්වත් බැහැයි කියනව ඕයි. ජනාධිපතිතුමා ආරාධනා පත්‍රත් යවල. තමුසෙ මොකක්ද මේ කරන්නේ?"
    මං කිව්වා "දැන් කරන්න දෙයක් නෑ සර්. වැටිච්ච වළෙන්ම ගොඩ එන්නත් එපායැ. මෙහෙමම යං කියලා."

    අර වරායේ ලොකු මහත්තයා විජේවර්ධන මහත්මයා කිව්වා "ගැමුණු කපන්න බැහැනේ පිළිමේ එහෙම. හැබැයි ඉතින් උස්සන්න ගිහිල්ලා කැඩුණොත් එහෙම මොනවා කරන්නද" කියලා.
    අර එහා පැත්තේ තිබුණ බෝධි සත්ත්ව පිළිමෙ නිදන් හොරු බෝර ගහල කෑලි කෑලි කැඩිල තිබුණේ. ඒක හදන්න ලේසියි. මෝල්ඩ් එකක් හැදුවා කෑලි පුරුද්දන්න පුළුවන්. නමුත් මේ මාලිගාවිල පිළිමෙ එහෙම කරන්න බෑ. කෑලි දෙකයි. කඳ වෙනම, හිස වෙනම. ටොන් 80ක් බරයි.
    දැන් ඉතින් එහෙම කාලය ගෙවෙනවා. හැමදාම මොකක් හරි අලුත් ක්‍රමයක් ට්‍රයි කරනවා. අපේ සර්කිට් බංගලාවේ ටෙලිෆෝන් නෑ. පොලිසියෙ ඉන්ස්පෙක්ටර් මහත්මයෙක් හැමදාම උදේට මාව හොයාගෙන එනවා. ප්‍රේමදාස ජනාධිපතිතුමා කතා කරනවා කියලා මාව එක්කගෙන යනවා. මගෙන් අහනවා දැන් කොහොමද තත්ත්වය කියලා. මම ඉතින් අරක, මේක කියනවා. ඒ කාලෙ මගේ බිරිය තමයි හැමෝටම කෑම හදාගෙන සර්කිට් එකේ ඉඳල දවල්ට වැඩ පොළට එන්නේ. එක දවසක් කට්ටියක් ඇවිල්ලා තිබ්බලු ටෙලිෆෝන් එකක් අරගෙන. ඒරියල් එකකුත් සර්කිට් එකේ ගහල ගියාලු. ඒ කාලෙ තිබ්බා අර ගම්උදාවට ගෙනාපු රේඩියෝ ටෙලිෆෝන්. දැන් ජනාධිපතිතුමාට මට කතා කරන්න පුළුවන්. උදේ පාන්දර හතරට ජනාධිපතිතුමා කතා කරනවා.

    ඔය මාලිගාවිල පිළිමයට දැන් යන පාර නෙවෙයි. තව පාරක් තිබුණා පුරාවිද්‍යා කාර්යාලය ළඟින් ඇතුළට යන්න. මම ඔතැනින් තමයි කැලේ ඇතුළට යන්නේ. ඒ කාර්යාලයේ හිටියා මනුස්සයෙක්. එයා හැමදාම මට ගේට්ටුව අරිනවා. ඒ ආසන්නයේ තිබුණා ඉඩ කුඩා ගොඩනැඟිල්ලක්. මං දැකල තිබුණා එතැන මිනිස්සු තුන්හතර දෙනෙක් බොහෝවිට ගැවසෙනවා. එදා උදේත් මං එනකොට දැක්කා මිනිස්සු ටිකක් එතැන වාඩිවෙලා ඉඳලා යනවා. මං අර මනුස්සයාගෙන් ඇහුවා මොකක්ද අර අතන තියෙන්නේ කියලා. ඒ මනුස්සයා කිව්වා මේ පැත්තට අධිපති දෙවියන්ගේ දේවාලය කියලා. ඒ දෙවියන් කවුද කියල මම දන්නේ නැහැ. දැඩිමුණ්ඩ දෙවියන් වෙන්න ඇති කියල හිතෙනවා. මට හිතුණා හැමෝගෙන්ම අවසර ගත්තට මෙයාගෙන් අවසර ගත්තේ නැහැනේ කියලා.
    මගේ වැඩපොළේ හැමෝටම වහාම එන්න කියල මං පණිවුඩයක් ඇරියා. මං ඔක්කොටම එන්න කිව්වා තවත් බාරයක් වෙන්න තියෙනවයි කියල. කට්ටියම තෙල්, මල් අරගෙන ආවා. දැන් අපට තේරෙන්නේ නෑ කොහොමද බාරහාර තියන්නේ කියල. පූජා තියන්නේ කියල. හුඟක් වේලාවට පූජා තියන්නේ අර කතෝලික මනුස්සයා ලූමන්. අපි ඉතින් දන්නා විදියට කාරණාව කියල මල්, පහන් පූජා කරල වැඩබිමට ආවා.

    වැඩ පටන්ගත්තා. විශ්වාස කරන්න විනාඩි විස්සෙන් පිළිමෙ ඉස්සුණා. මේ පිළිමෙ ඉස්සෙන්න ගත්තා. ඉස්සෙනවා කියන්නේ එක පාරට මහ ගොඩාක් ඉස්සුණේ නෑ. පොඩි ප්‍රමාණයක් විතර ඉස්සුණා. මිලි මීටර් දෙකක් ඉස්සුණා කියන්නේ මම දන්නවා ඊට පස්සේ උස්සගන්න පුළුවන් කියලා. පිළිමෙ ඉස්සෙනකොට 'ප්‍රොප්' කරන්න ඕනෑ. පිළිමෙ ඉස්සෙන්න ඉස්සෙන්න එහාට යනවා.
    දවසක් උදේ පාන්දර ජනාධිපතිතුමා කතා කරපු වෙලාවේ මම කිව්වා 'සර් අද දවල් තුන, හතර වෙනකොට මම කෙළින් කරල තියන්නම්' කියලා. මට කිව්වා කාටවත් කියන්න එපා මං එනවා කියල.

    දැන් මතක තියාගන්න මේ එසෙව්වේ කඳ විතරයි. හිස බිම. කඳෙන් පොඩි කෑල්ලක් පල්ලෙහා නෑ. ඒ පැත්තේ හිටපු ප්‍රේමදාස මැතිතුමා එක්ක එච්චර හිත හොඳ නැති මන්ත්‍රි කෙනෙක් කියල තිබුණලු 'මෙදා පාර තමයි ප්‍රේමදාස පස්ස බිම ඇන ගන්නේ කියලා.' කිසි කෙනෙක් හිතුවෙ නෑ මේක කරන්න පුළුවන් වැඩක් කියලා. බොහොමයක් හිතෙන් හිතුවෙ 'ප්‍රේමදාසට හොඳ වැඩේ' කියල.
    පිළිමෙ ඔළුවක් නැති වුණාට දැන් ඉස්සිලා. ඔය දැන් ඉන්නේ රංජිත් මද්දුම බණ්ඩාර මන්ත්‍රිතුමා. එයා මාව දන්නවා. අපේ ඉස්කෝලෙ ආනන්දේ. එයත් මගෙන් ඇහුවා අද ලොක්කා එනවද කියල. යාළුවා වුණත් මං කිව්වේ නැහැ. ඇයි මට කියන්න එපා කිව්වනේ.

    දැන් පිළිමෙ ඉස්සෙන ආරංචියට ගම් පළාතේ ජනතාව ඇවිල්ලා සාදුකාර දෙනවා එක සීරුවට. ඔය අතරෙ තවත් හාස්කමක් වගේ වැඩක් වුණා. පිළිමෙ ඉවර වෙනකොට බුදු ගෙයත් හැදෙන්න එපායැ. පුරාවිද්‍යාවේ කට්ටිය බුදුගේ හදාගෙන යනවා. එක තාප්පයක් උඩ තියෙනවා මහ විශාල රූස්ස ගහක්. ඒ ගොල්ල ඒ ගස් ගලවන්නේ නෑ. දැන් පිළිමෙ හේත්තු වෙන කොට මේ රූස්ස ගහ බාධාවක්. අපි මාස තුනක් විතර එහෙ හිටියා. එක වතුර බින්දුවක් අහසින් වැටුණෙ නෑ. මගේ මිනිස්සු නාන්න යන්න ඕනෑ අර කුඹුක්කන් ඔය පැත්තේ තිබුණා පුංචි අතු දියපාරක්. මම ඒකට ජීප් එකක් දීලා මේ අය යැව්වෙ නාන්න. මට හෙලිකොප්ටර් එහෙක සද්දෙකුත් ඇහුණා. මිනිස්සු සාදුකාර දෙනවා. එක වැඩයි මෙතැන. විශ්වාස කරන්න වැස්සා වැහිල්ලක්. අර වේරම්භ වාතය වගේ මහ හුළඟක් ඇවිල්ල රූං... රූං ගාලා කැරකැවිල අර ගහ කඩා වැටුණා. මේ ගහ කොහොම හරි ඉවත් කරන්න ඕනෑ. ගහ ගලවන්න ඕනෑ කියන මතයේ අපි හිටියේ. පිළිමෙ ඉස්සෙනකොට වැස්ස. විනාඩි දහයක් වහින්න ඇති සියල්ල අවසන් වුණා.
    ඔලිවර් රණසිංහ මහත්තය තමයි හෙලිකොප්ටර් එක අරන් ඇවිත් තිබුණෙ. එතුමා කිව්වා පුදුම වැස්සක්නේ. අපි අර එහා ඉස්කෝලෙක පිට්ටනියකටයි පහත් කළේ කියලා.

    සම්පූර්ණයෙන්ම කෙළින් නෑ. පිටුපසට සපෝට් ආධාරක නැති නිසා මුළුමනින්ම කෙළින් කරන්න මම බය වුණා. මේක අනෙක් පැත්තට ආවොත් රඳවනයක් නැහැනේ. ප්‍රේමදාස මැතිතුමා ඇහුවා ඉතුරු ටිකට මොකද කරන්නේ කියල. මං කිව්වා සර් තව දවස් දෙකකින් ඉවර කරන්නම් කියලා. මට මතක හැටියට ඔක්තෝබර් 26 හරි 27 හරි. පත්තරවලින් ඇවිල්ලා ෆොටෝ ගහනව. කොහොමද මේක කළේ අහනවා. ඉවරයක් නෑ.
    කවුද මේක කළේ කියලා ඇහුවහම මම කිව්වේ කුලසිංහ මහත්තයා කියලයි. ගුත්තිල - මූසිල වෙන්න වුවමනා නැහැනේ. ප්‍රේමදාස මැතිතුමාගේ නිලධාරි කට්ටියම ඇවිල්ලා හිටියා. මම සර්කිට් එකට ගියා. මටත් හරි සතුටුයි. මාස ගාණකින් නොකළ විදියට ජයග්‍රහණයත් ටිකක් බුක්ති වින්දා.



    60293_10.jpg
    60293_11.jpg
    60293_2.jpg
    60293_4.jpg
    60293_7.jpg
    60293_6.jpg
    60293_5.jpg
    60293_8.jpg
    60293_9.jpg
    60293_1.jpg


    ලින්ක් eka