රිටිගල

DASKONAPPU

Banned
Mar 16, 2015
1,339
146
0
මහ වැව් දාගැබ් සිය ගණනක් ඉදි වූ රජ ර‍‍‍‍ටේ වන වදුලින් ආවරණය වූ රක්ෂිත වනාන්තරවලින් ප්‍රමුඛස්ථානයක් රිටිගල වන පියසට හිමි‍‍‍‍‍වෙයි.‍‍‍‍‍‍ සොබාදහමට ප්‍රිය කරන ඕනෑම ‍කෙ‍‍‍‍‍‍නෙකු‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ගේ සිත පිනා යන අපූරු සුන්දරත්වයක් මේ තුළ ගැබ් ව තිබීම විශේෂත්වයකි.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දැඩි රක්ෂිතයක් ව ඇති මෙම කඳු ශිඛරයේ ඇති රූස්ස ගස්වලින් ද මෙහි ඉතිහාසය පිළිබිඹු වේ.
උතරු මැද පළාතේ, අනුරධපුරයට නුදුරින් රිටිගල කන්ද පිහිටා ඇත. පලුගස් වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයටත් කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයටත් මායිම්ව රිටිගල පිහිටා තිබේ. හබරණ අනුරාධපුර මාර්ගයේ ගලපිටිගල හා ගනේවල්පොල අතර දකුණු පසින් අක්කර 7200 ක පමණ රමණීය භූමි භාගයක් මෙම වන පියසින් වැසී ඇත්තේ ය.
විදේශීකයින්ගේ දැඩි අවධානයට පාත්‍ර වී ඇති රිටිගල කඳුකරය කඳු මුදුන් 07 කින් යුක්ත වේ. ඒවා නම් ආසියා කන්ද, බට කන්ද, කොඩිගල, උණ කන්ද, අඹරාපති කන්ද, පටලීය හින්න, කිරිවැල් හින්න ආදිය වේ.
600mක් (අඩි 2000ක්) පමණ උසින් යුත් රිටිගල වියළි කලාපයේ ඉහළම ස්ථානය ද වේ. කිරිය ගස් වැව, කළුඑබේ, මොරගොඩ, මූරියා කඩවල, බමුණුගම, උල්පත, හීනුක්කිරියාව, ගලපිටිගල ආදි ගම්මාන 14 කින් වට ව මෙම වන පියස පිහිටා ඇත.
රිටිගල කන්දට පිවිසීම සඳහා මුලින්ම ඇත්තේ කුඩා ගල් කුළු කිහිපයක් උඩිනි. ඒ සමගම හමුවන්නේ තරමක දිග පළලකින් යුත් ගැඹුර අඩි 30 ක් තරම් වූ ගරා වැටුණු”බන්දා පොකුණ” නම් වූ සුවිශාල පොකුණයි.

ඉන් පසුව තැනින් තැන විසිරී පැතිරී ඇති ගල් පාලම්, පියගැට පේළි, කවාකාර වූ ‍ශෛලමය වේදිකා, ඔපමට්ටම් කරන ලද විශාල ගල් පුවරු, සෙල්මුවා පහන්, තටාක, බෙහෙත් ඔරු, සල පතල මළු, සක්මන් මළු, කටාරන් කෙටූ ගල් ලෙන්, පතානගර හා ගල් කුළුණු ය. මේවායින් අතීත වාස්තු විද්‍යාවේ විස්මිත නිර්මාණාත්මක ශක්තියයි මනා ලෙස පිළිබිඹු කරයි.
වසර 1500 ක පමණ කාලයක් අද්විතීය වටිනාකමකින් යුත් ආරාමික සංකීර්ණයක් වශයෙන් පැවති රිටිගල 11 සියවසේ දී චෝළ ආක්‍රමණයත් සමග ක්‍රමයෙන් නටඹුන්වන්නට විය. වනගතවීම නිසා වන සතුන්ගේ වාසස්ථානයක් බවට පත් වූ රිටිගල කන්ද වර්තමානයේ දී වනාන්තරයෙන් වැසී පවතී. මහාවංශයේ “අරිට්ඨ පබ්බත” යනුවෙන් දැක්වෙන්නේ රිටිගල බව ඉතිහාසඥයන්ගේ මතයයි. භාවනානුයෝගි භික්ෂූන් වහන්සේලා සඳහා යෝග‍්‍ය වූ නිසසල වනගත පෙදෙසක් වශයෙන් රිටිගල වැදගත්කම එහි දක්නට ලැබෙන නටඹුන්වලින් ද හෙළි වේ.
මෙය රිටිගල ලෙස හැඳින්වීමට හේතු ගණනාවක් බලපා ඇත. පාලි ‘අරිට්ඨ පබ්බත’ සංස්කෘත ‘අරිෂ්ට පර්වත’ යන්නෙන් සිංහලයට බිඳී එන්නට අතැයි සාමාන්‍ය‍යෙන් සැළකේ. ‘රිටි’ යනු පාලි ‘අරිට්ඨ’ යන්නෙන් බිදී ආ ‘ආරක්ෂාව’ යන අරුත් ඇති පදයකි. ඒ අනුව රිටිගල ආරක්ෂක පර්වතයකි. මහාවංශයේ ‘අරිට්ඨ පබ්බත’ ලෙස සඳහන්වන්නේ ‍මෙම ස්ථානයයි.
රිටිගල දක්නට ඇති ‘රිටි’ නැමති ගස් වර්ගය හේතුවෙන් මෙම පර්වතය රිටිගල නමින් හඳුන්වන්නට ඇත යන්න තවත් මතයක් පවතී. රිටිගල අඩතැන්නේ පිහිටි රිටක් මෙන් ඉහළට එස වී ඇති පර්වතයක් හේතුවෙන් මේ නම ලැබෙන්නට ඇතැයි ද විශ්වාස කෙරේ.
රිටිගල යන නමේ ‘රිටි’ යන්නෙහි ගැබ් ව පවත්නා සැබෑ අරුත කුමක් වුව ද එම වදන සිංහල භාෂාවේ පුරාතන වචනයක් බව වාග් විද්‍යාත්මක හා ඓතිහාසික සාධක ආශ්‍රයෙන් පැහැදිලි වේ.
දැනට අවුරුදු 2434 ක් පමණ (ක්‍රි.පූ.437) දක්වා පැහැදිලි අතීතයක් කරා දිවෙන රිටිගල අපේ ඉතිහාසයේ මුල්ම රාජධානියවන අනුරාධපුරයටත් පෙර පණ්ඩුකාභය කුමරුගේ සටන් මධ්‍යස්ථානයක් ව පැවතුණි. ඔහු සිය මාමාවරුන් සමග කළ සටනට මධ්‍යස්ථානය කර ගත්තේ මෙම කඳවුරයි. එමෙන්ම මීටත් පෙර විජය කුමරු තම්මැන්නාවේ සිට ආ ගමනේ දී ඒ ගමන් මග රිටිගල අසලින් වැටී තිබුණු බව ද කිය වේ. මහා වංශයේ සඳහන්වන පරිදි ක්‍රිස්තු පූර්ව 833-835 පළමුවන සේන රජු පාංශුකූලික භික්ෂූන්ට මෙහි ආරමයක් කරවා දී ඇති බව ද සඳහන් වේ.
කෙසේ වුව ද මෙම රමණීය පරිසරය ඓතිහාසික හා ජන ප්‍රවාදවල එන තොරතුරුත් සමග සංසන්දනයෙන් යුතු ව බැලීමේ දී පෙනීයන්නේ හුදෙක් සමාධි සුවයෙන් කාලය ගත කළ භික්ෂූන් උදෙසා කර වූ තැනක් යන්න ය.
රාම – රාවණ යුද්ධයේ දී තුවාල ලත් රාමට ප්‍රතිකාර කිරීම සඳහා හනුමාන් විසින් භාරත දේශයේ සිට ඔසවාගෙන එන ලද බෙහෙත් පර්වතයෙන් කොටසක් රිටිගල මතට කඩා වැටී ඇතැයි යන්න ද ජන ප්‍රවාදයේ එන්නකි. රිටිගල පුරා විසිරී ඇති ඉරරාජ, සඳරාජ, බිං කොහොඹ වැනි දුර්ලභ ගනයේ බෙහෙත් පැළෑටි අද මෙම වනයේ ඇති බව සේවයේ නියුතු පුරා විද්‍යා නිළධාරිහු පවසති.
1942 දී රිටිගල දැඩි රක්ෂිතයක් ලෙස නම් කෙරුණු අතර එහි ශාක හා සත්ත්ව විශේෂ රැක ගැනීම කෙ‍රෙහි විශේෂ අවධානය යොමුවන්නට විය. පුරා විද්‍යාත්මක කටයුතු සඳහා රිටිගල සංරක්ෂණය කිරීම නැවත වරක් ආරම්භ වූයේ 1960 දී පමණ ආචාර්ය රාජා ද සිල්වා මහතාගේ මූලිකත්වය යටතේ ය.
තෙත් කලාපීය දේශගුණ රටාවට සමීප දේශගුණික තත්වයක් ඇත. අවුරුද්ද පුරාම නොසිඳී ගලා එන සියුම් ජල උල්පත් ඇත. ‍ඓතිහාසික නටඹුන් නගරයක් ලෙස වැදගත් වේ.
උද්හිද විද්‍යාත්මක ව වැදගත්වන අතර ශාක විශේෂ රාශියක් මෙම වනයේ ඇත. පළු, වීර, මොර, අන්නාසි, දෙහි, දොඩම් වැනි නොයෙකුත් පළතුරු හා ඉතාම දුර්ලභ වර්ගයේ අශෝක වැනි මල්වලින් සැදුම් ලත් මේ වන රොදෙහි තිත් කොහා, කහ කුරුල්ලා, වලි කුකුළා, ගිරවා, මයිනා, නීල කොබෙයියා, බට ගොයා, දෙමලිච්චා වැනි පක්ෂීහු ද විවිධ සමනල් වර්ග මෙන්ම අලි, කොටි, වලස්, මුව, ගෝන ආදි සිවුපාවෝ ද පිඹුරා, නයා, පොළඟා හා උරඟ සත්ව විශේෂයෝ ද එමට වෙති.
නූතන යුගයේ රිටිගල වැදගත්කම වඩාත් ඉස්මතු වූයේ එහි ඇති බ්‍රාහ්මි ශිලා ලිපි හේතු කොට ගෙන ය. මිහින්තලේ, වෙස්සගිරිය යන ස්ථානවල දක්නට ලැබෙන ලෙන් ලිපිවලට නොදෙවෙනි වැදගත්කමක් රිටිගල සෙල්ලිපිවලට ද හිමි වේ.
මෙරට සෙල් ලිපි අධ්‍යයනයේ ප්‍රමුඛයකු වූ සෙනරත් පරණවිතාන වැනි විද්වතුන්ගේ අවධානය ද රිටිගල කෙරෙහි යොමු වීමත් සමග මෙම ස්ථානයේ වටිනාකම තවත් වැදගත්වන්නට විය.
 

ravinperera206

Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    ගිහින් තිබුනට ෙතාරතුරු දැනගත්ෙත් අදයි මචං...ස්තූතී යාළුවා...!!!
     

    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    රිටිගල ආරක්ෂිතය නැරඹීමට යන අය වන්දනා කරගත යුතුම සහ සංචාරය කළ යුතුම ස්ථානයක් තමයි රිටිගල ආරණ්‍ය සේනාසනය කියන්නේ. පුදුම ශාන්ත බවක් තියෙන්නේ. රිටිගල යන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ට රිටිගල ආරණ්‍ය සේනාසනයත් වැදපුදා ගන්න යෝජනා කරනවා. පේමරතන හාමදුරුවෝ තමයි සේනාසනයේ නායක හාමුදුරුවෝ.