වලියක් මංගල්‍යය

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,277
    100,078
    113
    වලියක් මංගල්‍යය

    ඓතිහාසික සෙංකඩගලපුර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මහා මංගල්‍යය නිමාවත් සමග ආරම්භ වන සුවිශේෂී චාරිත්‍රයක් වන්නේ මහනුවර ශ්‍රී මහා විශ්ණු දේවාලයේ "වලියක් මංගල්‍යය" පැවැත්වීමයි.

    වලියක් නැටුම ලෙසින් ද දින සතක් පැවැත්වෙන බැවින් හද්දා වලියකුම නමින් ද හඳුන්වනු ලබයි.

    ඇසළ පෙරහර සඳහා සහභාගී නොවූ ශිල්පීන් විසින් මෙම ශාන්තිකර්මය සිදු කරන ලබන අතර පෙරහරට සහභාගි වූ දියවඩන නිලමේතුමා, බස්නායක නිලමේවරු,අලි ඇතුන්, ශිල්පීන්, රාජකාරිකරුවන්, පෙරහර නරඹන්නන් ඇතුළු සියලුම දෙනාගේ වස් දොස් දුරු කරනු පිණිසත්, රාජ්‍යත්වයට සෙත් පතා දෙවියන් සතුටු කරවීම පිණිසත් සත් දිනක් පුරා මෙය පැවැත්වේ.

    අද දවසේ වලියක් ශාන්ති කර්මය සිදු කරනු ලබන්නේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජ දවස එම භාරදූර කර්තව්‍යය සන්නස් මගින් පැවරීම සිදු කළ මාවනැල්ලේ වාසිංහ පණික්කයලෑගේ දෙවනගල පරම්පරාව විසින් වන අතර වර්තමානයේ එම පරපුරේ අටවන පුරුක ලෙස මෙම මංගල්‍යය නියෝජනය කරනුයේ වාසිංහ සුමනතිස්ස නිශ්ශංක දෙවනගල මහතාය.

    මහනුවර ශ්‍රී විෂ්ණු දේවාලය මේ සඳහා යොදා ගැනීමට හේතු වී තිබෙන්නේ සඳලිදු, මලේ කුමරු සහ කස්ත්‍රිය යන වලියකුන් විෂ්ණු දෙවිඳුන්ගේ දරුවන් බව මතයක් පැවතීම වේ. මේ පිළිබඳ අපූරු උපත් කතාවක් ද වේ.

    මෙම මංගල්‍යය සඳහා ම අනන්‍යය වූ සැරසිලි පුද චාරිත්‍ර ඇති අතර ඒ අනුව වලියක් මංගල්‍යය සඳහා මඩුව පේ කිරීමේ දී රංග භූමිය මධ්‍යයේ සොලොස් මගල අදිනු ලැබේ. එසේම රඟ මඩලට ඉහළින් මධ්‍යයේ වියන් ඇද පොල් මලකින් හා ගොක් කොළ වලින් කරන ලද ගවරමල නම් වූ සැරසිල්ලක් නිර්මාණය කිරීම චාරිත්‍රය වේ.

    සොළොස් මගල අසල දකුණු පස පිරුවට ඇඳගත් ආලන්ති අම්මාවරු වාඩි වී සිටිති. ප්‍රධාන දොරටුව ඉදිරිපස පිල්කඩෙහි කෙසෙල් කොළ මත සුදු සහලෙන් පිසින ලද බත් ගොඩවල් තුනක් වන අතර එහි දෙපස පහන් දල්වා ඇත.

    ආලන්ති අම්මාවරුන්ට වම් පසින් “සිවිලි වළන්” නමින් හඳුන්වන කුඩා මුට්ටි 12කි. ඒ මත නිල්පාට රෙදි කඩක් අතුරා පූජා වට්ටියක් තැබීම සම්ප්‍රදායයි.

    මෙසේ ආරම්භ වන වලියක් මංගල්‍යය අංග ගණනාවක් ඉටු කිරීමෙන් අනතුරුව අවසන් දින ප්‍රථම අංගය වන්නේ කාලියාම නම් පෙළපාලියයි. කාලියාමට පසු මල නැටීම ඇරඹෙන අතර ප්‍රථම දිනයේ වහලයේ එල්ලූ ගවරමල පහළට කර එය කරකවමින් එහි නොගෑවී නටති. අවසානයේ එම මල ගලවනු බලන අතර එහි කොටස් ගැනීමට නරඹන්නෝ පොර බදිති. ඒ එහි විශේෂ ආශිර්වාදාත්මක ගුණයක් ඇතැයි ඔවුන් විශ්වාස කරන බැවිනි.

    ඡායාරූප: අමිල
    සටහන: රුවන් වින්ඩ්ස

    https://www.facebook.com/share/v/tYp5Fehpmrwhxif4/?mibextid=oFDknk