ශ්‍රී ලංකාවේ ප්‍රාග් මානව සංස්‌කෘතිය පිළ

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    ශ්‍රී ලංකාවේ ප්‍රාග් මානව සංස්‌කෘතිය පිළ

    ශ්‍රී ලංකාවේ ප්‍රාග් මානව සංස්‌කෘතිය පිළිබඳ විමසුමක්‌






    සුනිල් කුමාරසිංහ අතුකෝරල
    athukorala128 @ gmail.com


    prag.jpg
    'ලෙණ' (පාලි) සිංහල වචනය 'ලෙන් ' වශයෙන් හැඳින්වෙන අතර, එය ආරක්‌ෂිත ස්‌ථානය වශයෙනුත් අරුත් ගැන්වෙයි. (Den) ගුහාව,(Lair) ලෙන, මානව ශිෂ්ටාචාරයේ ආරම්භය තෙක්‌ දිවෙන දිගු ඉතිහාසයකට උරුමකම් කියන ලෙන් හෙවත් ගල්ගුහා තුළ දිවි ගෙවූවන්ගේ ජීවන ප්‍රවෘත්තිය තුළින් තත්කාලීන මානව ජීවිතයන්හි භෞතික හා ආධ්‍යාත්මික ක්‍රියාකාරකම් නිරූපණය කරන සංස්‌කෘතික මධ්‍යස්‌ථාන ලෙසද හැඳින්විය හැකිය.

    මානව පරිණාමය පිළිබඳව පුරා හා මානව විද්‍යාඥයින්ගේ අවධානය යොමු වීමත් සමග තත්a විෂය පිළිබඳ විද්‍යාඥයන් තුළ කුතුහලය වැඩි වන්නට විය. ඇමරිකා එක්‌සත් ජනපදයේ ඔහියෝ ලෙන් සහ කෙන්ටකිහි මැමත් ගුහා, කාල්-බද් ගුහාව, වියට්‌නාමයේ කෝන් මුං ලෙන්, ප්‍රංශයේ ලැප්ස්‌කෝ, ස්‌පාඤ්ඤයේ අල්ටාමීරා, යුරෝපයේ ඩ්‍රැගන් ලෙයාර්, ආදී වශයෙන් ලොව විවිධ රටවල ලෙන් ආශ්‍රිත මෙන්ම විවිධ භූමි ප්‍රදේශයන්හි සිදු කළ අධ්‍යයනයන් තුළින් සත්ව හා මානව විද්‍යා විෂය ක්‌ෂේත්‍රයට වටිනා මෙහෙවරක්‌ සිදු කර ඇති බව සඳහන් කළ යුතුය.

    ආදිම මිනිසා භාවිතා කළ ශිලා අවි, අනුභවයට ගත් සතුන්ගේ ඇටකටුවලින් තනා ගත් ආයුධ මෙන්ම නොයෙක්‌ ශාක වර්ග, බෙලිකටු වර්ග, සත්ව හා මානව ඇටසැකිළි පොළොව කැණීමේදී සොයාගත් අතර, මෙම අනේක වස්‌තූන් සහ ඒවායෙහි කාලීන බව අනුව පුරා හා මානව විද්‍යාඥයින් ඒවා ආදි යුග වශයෙන් බෙදා සිදු කරන ලද අධ්‍යයනයන් තුළින් මානව වර්ගයාගේ ආරම්භය සහ ව්‍යාප්තිය මෙන්ම සංස්‌කෘතිය පිළිබඳව ද ගැඹුරින් විමසා බැලීමට යොමු විය.

    මාතෘකා ගත කරුණට අනුව, විසි වැනි සියවසේ මුල් භාගයේ පටන් සිදු කෙරෙන ශ්‍රී ලංකාවේ ලෙන් සංස්‌කෘතිය පිළිබඳ හැදෑරීම තුළින් ඓතිහාසික වශයෙන් වැදගත් තොරතුරු රැසක්‌ හෙළි කර ගෙන ඇත.

    'ශ්‍රී ලංකාවේ රත්නපුර සංස්‌කෘතියට අයත් හෝමෝ සිනෙලේයුස්‌ රටේ මුල් පදිංචිකරුවා බව කියෑවේ. බලංගොඩ සංස්‌කෘතියට අයත් මිනිසා ඊට පසු මෙහිs පහළ වූයේ ය. මොහු බලංගොඩ කිතුල්ගල බෙලි ලෙනෙහි ජීවත් වූවෙකි. මෙම ලෙන තුළ වූ කුරහන් ඇට යයි විශ්වාස කරන ලද ඇට වර්ගය පරීක්‌ෂණයට භාජනය කළ ඉන්දියාවේ පුරාවිද්‍යා කෘෂිකර්මාචාර්ය කජාලේ මහතා ඒවා කුරහන් ඇට නොව බැදි දෙල් ඇට බව ද අවුරුදු 12500 ක්‌ පැරණි බව ද පවසා ඇත. මේ අනුව පෘථිවිය මතුපිට හොලොසින අවධිය ආරම්භ වීමට පෙරද සෑහෙන තරම් දුරට දියුණු මිනිසෙකු ලංකාවේ ජීවත් වූ බව පෙනේ. කුරුවිට බටදොඹ ලෙන තුළ බලංගොඩ මානවයාගේ කාලය මීට අවුරුදු 16000 කට පෙර වූයේ යෑයි මතයක්‌ පැවතුණ ද එම ලෙන අසල තිබුණාවූ අඟුරු පරීක්‌ෂා කළ අවස්‌ථාවේ ඒවා අවුරුදු 29000 කට පෙර යුගයට අයත් බවත් නිසා එම කාලය තුළ සිටි මිනිසා ආහාර පිස ගත් බවත් පැවසේ. කෙසේ වුව ද ලංකාව අති පැරණි ශිෂ්ටාචාරයකට හිමිකම් කියන රටක්‌ බව සිතා ගත හැකිය' (විශ්වකෝෂය එකොළොස්‌වන කාණ්‌ඩය පි.14)

    පුරා හා මානව විද්‍යාඥයින් ලොව ආදිම මානවයන්ගේ මානව චර්යා පිළිබඳ සිදු කළ ගවේශනයන් තුළින් ඉතිහාසය අවධීන් කිහිපයක ට බෙදා අධ්‍යයනය කරති. එනම්, ශිලා සමය, (උයද ශිලා යුගය, ආදි ශිලා යුගය, මධ්‍යම ශිලා යුගය , නව ශිලා යුගය) ආදි වශයෙනි. ලාංකේය ලෙන් සංස්‌ කෘතිය ප්‍රාග් ඓතිහාසික, ඓතිහාසික, නූතන වශයෙන් අධ්‍යයනය කරයි. ශ්‍රී ලංකාවේ ද යුග කිහිපයකට අයත් පස්‌ ස්‌ථර සහ පාෂාණිභූත ද්‍රව්‍ය සොයාගෙන තිබේ.

    ශිලා යුගයේ භාවිතා කළ උපකරණවල ස්‌වභාවය හා වෙනස්‌කම් හඳුනා ගැනීsමත් සමග සංස්‌කෘතිය පිළිබඳව යම් අවබෝධයක්‌ ලැබිය හැකි විය. පැලියෝලිතික හෙවත් ආදි ගල් යුගය ආරම්භ වන්නේ, මානව වර්ගයාගේ ආරම්භයත් සමග ය. (මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් මීට ප්‍රථම මෙම අතිරේකය මගින් සාකච්ඡා කර ඇත) හෝමෝ සේපියන් මානවයාට පෙර ජීවත් වු නියෑන්ඩතාල් මානවයා සහ ඊට ප්‍රථම අවධීන්හි භාවිත යෑයි ආයුධ වර්ග පිළිබඳ විද්‍යාඥයින් විසින් ලොවට හෙළි කර ඇති තොරතුරු නොසලකා හැරිය නොහැක. එහෙත් ආයුධ භාවිතය දියුණුවක්‌ ලද මානවයින්ගෙන් පටන් ගන්නට ඇතැයි යන විශ්වාසය වඩා තර්කානුකූල කරුණකි.

    ලංකාවේ ප්‍රාග් ඓතිහාසික අවධිය පිළිබඳව තොරතුරු අනාවරණය කරගැනීම සඳහා දෙස්‌ විදෙස්‌ පුරාවිද්‍යාඥයන් මෙතෙක්‌ සිදු කර ඇති මෙහෙවර අපමණය. මෙහි ප්‍රතිඵලයක්‌ වශයෙන් ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුග දෙකක්‌ අනාවරණය කර ගෙන ඇත. එනම්, රත්නපුර සංස්‌කෘතිය හා බලංගොඩ සංස්‌කෘතිය යනුවෙනි.

    ස්‌ථරවල පිහිටීම අනුව රත්නපුර අවධියට වඩා ඉහළ ස්‌ථරවලට අයත් බලංගොඩ අවධිය වෙනසක්‌ දක්‌වන අතර, ලොව විවිධ රටවල මෙසෝලිතික අවශේෂ හා තත්කාලීන දිවි පැවත්ම අතර සමානතාවක්‌ ඇති බව පර්යේෂණ වාර්තා මගින් හෙළිදරව් කර ඇත. බලංගොඩ අවධියට අයත් පුරා විද්‍යා ස්‌ථාන සංස්‌කෘතිකමය වශයෙන් බෙල්ලන්බැඳිපැලැස්‌ස සහ උඩුපියන් වශයෙන් සංස්‌කෘතික අවස්‌ථා දෙකකට විග්‍රහ කරයි. රත්නපුර අවස්‌ථාවෙන් කැපී පෙනෙන වෙනසක්‌ දක්‌වන බෙල්ලන්බැඳිපැලැස්‌ස මයික්‍රොලිතික හා රවුම් ගල් මිටි ආයුධ භාවිතා කර ඇත. මාංශ අනුභව කළ, මැටි බඳුන් ඉතාමත් අඩු එකම සුසානය භාවිත කළ ගෝත්‍රයක්‌ වශයෙනුත් කරුණු අධ්‍යයනය කර ඇත. උඩුපියන් සංස්‌කෘතික අවස්‌ථාවෙන් මුල්වරට සිදුරු කළ රවුම් ගල් හා මිටි මෙවලම් මැටි බඳුන් සමග සොයාගත් බවත් වර්ගීකරණයෙන් පසුව, අණ්‌ඩාකාර හා සිලින්ඩරාකාර සිදුරු සහිත මැටි බඳුන් කළු හා රතු පැහැයෙන් රටා සැරසිලි සහිත ඒවා ලෙසත් අණ්‌ඩාකාරව සිදුරු කළ ශිලා මෙවලම් සූර්ය රශ්මියෙන් වියලන ලද මැටි බඳුන් ලෙසත් ය. ශ්‍රී ලාංකේය ප්‍රාග් මානව ජනාවාස සහ සංස්‌කෘතිය ගැන විමසා බැලීමේදී ජාතික කෞතුකාගාර අධ්‍යක්‌ෂගේ 1956 වර්ෂයේ පාලන වාර්තාවෙහි සඳහන් වන්නේ,

    "බලංගොඩ දිස්‌ත්‍රික්‌කයේ බෙල්ලන් බැඳි පැලැස්‌සෙහි තිබී සම්භ වූ පාෂාණ යුගයට අයත් මුලුතැන් ගෙයක සුන්බුන් අතර වකුටු ඉරියව්වෙක පිහිටි ඇට සැකිළි සහිත බලන්ගොඩ මානවයා (දැරණියගල) ගේ සොහොන් කිහිපය මෙතෙක්‌ ලංකාවෙන් සොයා ගන්නා ලද අති විශිෂ්ට වූ ගවේෂණයකි. මෙහි වූ ඇටසැකිළි අතර ගල්, අං හා ඇටවලින් සාදව ලද ආවුද ත් එම මිනිස්‌ වර්ගයා විසින් අනුභව කරන ලද මිනිසුන්ගේ හා සතුන් ගේ ද ඇට කැබෙලිත් දක්‌නට ලැබුණි. ...

    මෙම ඇටකටු වලින් සැම්පල කිහිපයක්‌ පරීක්‌ෂණයට භාජනය කරනු පිණිස බ්‍රිතාන්‍යයේ ප්‍රකෘති තත්ත්ව විද්‍යා කෞතුකාගාරයේ නියුක්‌ත ආචාර්ය කෙනත් ඕක්‌ලි වෙත යවන ලදී. ඒ සමඟ ම ඇමරිකාවේ ප්‍රකෘති තත්ත්ව විද්‍යා කෞතුකාගාරය වෙත යවන ලද කපාලය එහි මානව විද්‍යා අංශය මගින් වැලිපස්‌ ඉවත් කොට ශුද්ධ කරනු ලැබීය. මෙසේ ශුද්ධ කරනු ලබද්දී එම කපාලයෙහි එක්‌ එක්‌ ඇටය කුඩා කැබලි රාශියකට කැඩී ගොස්‌ තිබුණ බව අනාවරණය විය. මේ නිසා එම කුඩා කැබලි යළි පෙර තුබූ සේ එක්‌ කොට ගලපා ලීමට පළමු ඒවා මැනවින් ශුද්ධ කළ යුතු වූයේය.. අංගාර (කාබන්) 14 පරීක්‌ෂා කොට එමගින් ඇට කටුවල කාලය නිර්ණය කර ගැනීම පිණිස මෙම ඇට කටු අතර තිබී සොයා ගන්නා ලද අංගාර (කාබන්) සාම්පලයන් ද එම කෞතුකාගාරයේ ම නියුක්‌ත ආචාර්ය හැරී ශැපිරෝ වෙත භාර දෙන ලදී... ආදි ලංකාවේ වුසූ ශිලා යුගයට අයත් මෙම මානවයන් ශාරීරික ආකෘති වශයෙන් දෙකොටසකට අයත් වන බව පොන්, මින් එක්‌ කොටසක්‌ ඉදිරියට නෙරා ව්‍යක්‌තව පිහිටි බැම පෙදෙසකින්ද බෙහෙවින් ඇලවී ගිය නලල් තලයකින් හා ඉතා දික්‌ වූ කපාලයකින්ද යුක්‌ත වි ය. අනික්‌ වර්ගයේ මානවයන් තරමක්‌ වටකුරු වූ නලල් තලයකින් හා එතරම් දික්‌ නොවූ කපාලයකින් ද යුක්‌ත බව පෙනේ. මේ දෙවර්ගයේ ම ඉතා පළල් වූ මුවෙන් හා තරමක්‌ ප්‍රකට සේ වැඩී ගිය නිකටෙන් හා යුක්‌ත වෙයි. කපාලය කෙළින් තැබූ කල කෝණාකාරව පහතට විහිදෙන හනු ඇටයෙහි, නියෑන්ඩතාල් වර්ගයේ මානවයාට සමාන වූ ලක්‌ෂණ කිහිපයක්‌ දක්‌නා ලැබේ. මේ ලකුණු විශේෂයෙන් ම ප්‍රකටව දක්‌නට ඇත්තේ, හනුවෙහි කපාලාස්‌ථි ප්‍රදේශයෙහි හා දත් පේළියට යටින් වූ මුඛ තල කූටයෙහිත් වේ. අද ලංකාවේ වෙසෙන මිනිස්‌ වර්ගයන්ට වඩා පුළුල් වූත් නොගැඹුරු වූත් උඩු තල්ලක්‌ මේ ආදි මානවයන් සතු වූ සේ පෙනේ. මෙහි තිබී සොයා ගන්නාලද එක්‌ කපාලයක උඩු ඇන්දෙහි ඇඹරුම් දත් සතරක්‌ විsය. උත්තර හනු සම්බන්ධය සාමාන්‍යයෙන් දක්‌නට නොලැබෙන තරම් දීර්ඝ ය.

    "මෙම දෙවර්ගය අතර මළවුන් භූමදානය සම්බන්ධයෙන් පැවති සිරිත්ද වෙනස්‌ වූ බව මෙහි දක්‌නට ලැබූ සාක්‌ෂ්‍ය වලින් පෙනී යයි. එහි වූ ඇතැම් ඇට සැකිළි ඇලයෙන් හැරී හොවින ඉරියව්වෙන් තිබුණු අතර එක්‌ ඇටසැකිල්ලක්‌ වූයේ කඳටම නවාලන ලද කකුල් සහිතව උඩුකුරු ව හොවින විලාසයකිනි. මෙම ඉරියව්වෙන් අනාවරණය වන්නේ එකල මෘත ශරීර මලුවල බහා වැලලීමේ භූමදාන සිරිතක්‌ පැවති බවය. මෙහි තිබී සොයා ගන්නා ලද කපාල දෙවර්ගය තාවකාලික වශයෙන් 'ඔස්‌ට්‍රොලොයිඩ්' හා 'නීග්‍රොයිඩ්' යනුවෙන් නම් කළ හැකිය. එහෙත් සාමාන්‍ය ලක්‌ෂණ විසින් මෙම දෙවර්ගයම සොලොයන්සිස්‌ මානවයාට බෙහෙවින් සමානය. එකී දෙවර්ගයටම ඉතා ළඟ නෑකම ඇති සේ විද්‍යාමාන වන්නේද එම මානවයා පමණි. " යනුවෙනි. (ජාතික කෞතුකාගාර අධ්‍යක්‌ෂගේ පාලන වාර්තාව 1956 - පී. දැරණියගල මහතා)

    රත්නපුර අවධියට වඩා වෙනසක්‌ පෙන්නුම් කරන බලංගොඩ සංස්‌කෘතියෙහි ලක්‌ෂණ විද්‍යා මානවන අළුගල්ගේ, බෙල්ලන්බැඳිපැලැස්‌ස, බෙලිලෙන, කබරගල් ගුහාව විශේෂ වන අතර, මෙම ස්‌ථානවලින් මානව අවශේෂ, ශිලා මෙවලම්, අස්‌ථිශේෂ, ආහාරයට ගත් ද්‍රව්‍ය පුරාවිද්‍යාත්මක ශේෂයන් වශයෙන් හඳුනා ගන ඇත.

    රත්නපුර මැණික්‌ පතල්වලින් ලද ශාක, සත්ව හා මානව පොසිල අධ්‍යයන කළ පුරාවිද්‍යාඥයින් ඒවා ලංකාවේ ප්ලයිස්‌ටෝසීන යුගයට අයත් බවට තොරතුරු අනාවරණය කර ගෙන ඇත. මේ සම්බන්ධව පර්යේෂණ සිදු කළ, පී. ඊ. පී. දැරණියගල ශ්‍රීමතාණන්ට අනුව, රත්නපුර අවධිය, පළුගහතුරෙයි අවධිය, උණුසුම් අවධිය ශුෂ්ක කාලගුණය නිසා ජලාශ වගුරු වියළී ගිය සමයකි. කොළඹ අවධිය, උෂ්ණය ආර්ධතාවය අද පවත්නා ආකාරයට ම පැවතිණ යන්නයි. මේ අනුව මෙම අවධිය අංග තුනක්‌ වශයෙන් අධ්‍යයනය කර ඇත. මෙහි විශේෂතාව වශයෙන් සමහර රත්නපුර පොසිල ශාක ශේෂ නූතනයේද පවත්නා ශාක සංහතියක්‌ බව යන්නය.

    ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික පුරා විදු පර්යේෂණ 19 වන ශත වර්ෂයේ අග භාගයේ ආරම්භ කර ව්‍යාප්තව පැවතෙන අතර, ඒ සම්බන්ධයෙන් පී. ඊ. ග්‍රීන්, ජේ පෝල්, රොබට්‌ බෲස්‌, සැරසින් සහෝදරයෝ, පාර්සන්ස්‌, එච්. පාකර්, වේලන්ඩ්, ටී. හාර්ට්‌ලි, ජෝන් ස්‌ටිල්, පී. ඊ. පී. දැරණියගල (1930 න් පසු කාලය) ආදි දෙස්‌ විදෙස්‌ විද්වතුන් රාශියක්‌, ඉතිහාස සටහන් නොමැති විෂය ක්‌ෂේත්‍රයක්‌ ඔස්‌සේ කරුණු අධ්‍යයනය කරමින් සිදු කළ පර්යේෂණ අනාගත ලෝකයට කොතරම් අගනා මෙහෙවරක්‌ ද යන්න ඇගයිය යුතු කරුණකි.

    කාලය විසින් අනාගතයට සංරක්‌ෂණය කර දෙන ලද භෞතික සංස්‌කෘතියට අයත් පූර්ව සඳහන් ද්‍රව්‍ය, තත් යුගයන්හි ජීවත් වූ මානවයින්ගේ සංස්‌කෘතිය ගැන වටහා ගන්නට පිටුබලය සපයනු ඇත. කැණීම්වලින් සොයා ගත් ආයුධවලට අමතරව ලෙන් බිත්තිවල අඳින ලද චිත්‍ර, කාලයත් සමග සැඟව තිබූ ඔවුන් පැළඳි ආභරණ, ගල්බිතෙහි කෙටූ රූ සටහන්, අනුභව කළ ආහාර සත්ව අවශේෂ හා ධාන්‍ය වර්ග සංස්‌කෘතිය ගැන අවබෝධයක්‌ ලබා ගැනීමට ඇවැසි පර්යේෂණ සාදක බවට පත්විය.

    දිවයිනේ බොහොමයක්‌ ප්‍රාග් ඓතිහාසික ස්‌ථානවලින් ලැබුණ මෙසොලිතික ක්‌ෂුද්‍ර ශිලා මෙවලම් සමග සැසඳෙන තාක්‌ෂණය හා නිමාව අතින් සමාන බවක්‌ පෙන්වන ඓතිහාසික මෙවලම් සහ සාධක රැසක්‌ සීගිරිය සමීපයෙහි පිහිටි පිදුරංගලින් හමු විය. මෙම පරිසරයෙහි පිහිටි ගුහා අධ්‍යයනය කළ පර්යේෂකයන් ප්‍රාග් ඓතිහාසික මානව ජනාවාසයක්‌ව පැවති බවට තහවුරු කර ගත්හ. මේ සංස්‌කෘතික පරිසරය පිළිබඳ සිදුq කර ඇති අධ්‍යයන තුළින් ඉහළ ගුහාව ඉදිරිපිට ජල රැඳවුම ස්‌වභාවිකව පැවතීමත් පරිසරයෙහි පිහිටීම අනුව වර්ෂා ජලය පහළට ගලා යාම නිසා පහළ පරිසරය ජලයෙන් පිරී යැම නිසා වියළි කාලගුණික තත්ත්වයන් හිදී පවා ප්‍රයෝජනයට ගැනීමට අවස්‌ථාව පැවති බවටත් ස්‌වාභාවික ගල්තලාව සහ පහතට එන විට පැවති ගල් කුට්‌ටි සහිත පරිසරය සතුන් දඩයම් කර ගැනීමටත් ප්‍රාග් මානවයන්ට බෙහෙවින් ප්‍රයෝජනවත් වන්නට ඇතැයි අනුමාන කරති. මෙම පරිසරය ඔවුන්ගේ ආහාර අවශ්‍යතා සපුරා ගැනීමට මෙන්ම ජීවනය පවත්වා ගන යාමටද ශිලා මෙවලම් මෙන්ම අස්‌ථි ශේෂයන් ඇසුරින් අවි තනා ගැනීම ඇතුළු අවශ්‍යතා රැසක්‌ ඉටු කර ගැනීමට හැකි ප්‍රදේශයක්‌ ලෙසට පැවති බවට පර්යේෂකයින් අනුමාන කරති. මෙම ස්‌ථාන කැණීම් කිරීමේදී ජ්‍යාමිතික සහ ජ්‍යාමිතික නොවන හැඩතලවලින් යුත් ක්‌ෂුද්‍ර ශිලා මෙවලම් මෙහි නිෂ්පාදනය කර ඇති බවත් පාවිච්චි කළ සහ නොකළ අවි මතු කර ගත් බවත් ආචාර්ය ගාමිණී අධිකාරි මහතා සඳහන් කරයි.

    පිදුරංගල ගුහා කැණීම් තුළින් ලද සත්ව අවශේෂ අනුව සතුන් වර්ග 22 ක්‌ හඳුනා ගෙන ඇති බවත් ප්‍රාග් මානවයා සතුන් ආහාරයට ගෙන ඇති බවත් ඔවුන් තැලීම්, කැපීම් සහ පිළිස්‌සීමට භාජනය වී ඇති බවත් පර්යේෂණ මගින් තහවුරු කර ගෙන ඇති අතර, මෙම සතුන් වර්තමානයේද එම පරිසරයෙහි ජීවත්වන බවත් කෙසේ වුවත් දෘෂ්‍යමාන සත්ව අවශේෂ අනුව ඔවුන් පූර්ණ මාංශ භක්‌ෂකයන් නොවන බවත් ගෙඩි වර්ග, අලවර්ග වැනි දෑ ද ආහාර වශයෙන් භාවිතා කර ඇති බවත් අනුමාන කරයි. එසේම වාරයෙන් වාරයට මෙන්ම කාලයෙන් කාලයට සත්ව සහ ශාක ආහාර ලෙස භාවිතා කර ඇති බවත් පිළිස්‌සුණ ඇටකටු වලට අනුව සතුන් පුළුස්‌සා පරිභෝජනය කර ඇති බවටත්, ගින්දර භාවිතය සහ හොඳින් පරිහරණය කර ඇති බව ද අධ්‍යයනය කරයි. එනම් ආයුධ නිපදවා ගැනීමට මෙන්ම ගල් අවශ්‍ය පරිදි සකස්‌ කර ගැනීමටත් ගින්දර භාවිත කර ඇති බවය. එමෙන්ම ගුරුගල් සහ මිනිරන් ඔවුන් පරිහරණය කළ බවට ලැබෙන සාධක අනුව, ඒවා ශරීරාලංකාරය සඳහා භාවිත කර ඇතැයි විශ්වාසිතය.

    දිවයින පුරා පිහිටි පුරාවිද්‍යා ස්‌ථානවලින් ලද සාධක අනුව, ප්‍රාග් මානවයා වාසස්‌ථාන ආහාර අවශ්‍යතා මෙවලම් නිෂ්පාදනය අලංකරණය කෘෂිකර්මය ආදිය කෙරෙහි දක්‌වන ලද උනන්දුව ගැනද මනාව පැහැදිලිය. දොරවක ලෙනෙන් ධාන්‍ය වගා කර ඇති මානවයන් මෙන්ම අත්තනගල්ල අලවල ලෙනෙන් කරදිය මසුන් මෙන්ම ගොඩ බෙල්ලන් මෙන්ම මුහුදු බෙල්ලන් ආහාරයට ගෙන ඇති බවත් අලංකරණයට ආභරණ පැළඳ ඇති බවටත් (මනාව සකස්‌ කර තිබූ මෝර දතක්‌ කැණීම්වලින් සොයා ගෙන ඇත.)

    හෝර්ටන් තැන්න වැනි උස්‌ බිම්වල තිරිඟු බාර්ලි වැනි ධාන්‍ය වගාවන් සිදු කර ඇති බවටත්, යාල මිනිහා ගල්කන්ද, ලාහුගල ප්‍රදේශයෙන් ලැබෙන පූර්ව ඓතිහාසික මෙගලිතික සුසාන භූමියක අවශේෂ මෙන්ම කෘෂිකර්මාන්තයේ සහ පශුපාලනයෙහි නියුතු මැටි මෙවලම් තනා ගත් ස්‌ථාවර නිවාස සහිත පූර්ව ඓතිහාසික ජනාවාස පැවති බවත් අදින් වසර 27000 ට පෙර විසූ ජනයා වෙරළේ සිට ලුණු රැගෙන ආ බව බටදොඹ ලෙනින් හමු වූ බෙලිකටුවලින් සනාථ වෙයි. එමෙන්ම අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයට ආසන්න විල්පත්තු ප්‍රදේශය මෙන්ම අවට පිහිටි රිටිගල මානාකන්ද මිහින්තලය වෙස්‌සගිරිය වැනි ලෙන් ආශ්‍රිත ප්‍රදේශයන්හි ද ප්‍රාග් මානව ජනාවාස පැවති බවට සාක්‌ෂි සොයා ගෙන ඇත.

    "සංස්‌කෘතිය යන්න පහසුවෙන් අර්ථ දැක්‌විය හැක්‌කක්‌ නොවේ. එය කිසියම් නිශ්චිත භූගෝලීය සිමාවක්‌ තුළ ජීවත්වන මනුෂ්‍ය කණ්‌ඩායමක්‌ සතු, එක්‌ අතකින් ද්‍රව්‍යාත්මක වූත් තවත් අතකින් මානසික වූත් ක්‍රියාකාරකම්වල දෘශ්‍යමය පිළිබිඹුවකි. වර්තමානය තුළ භුක්‌ති විඳින සංකීර්ණ අත්දැකීම් මගින් දෘශ්‍යමාන වන පිළිබිඹුව රටක සංස්‌කෘතියේ එක්‌ පාර්ශවයක්‌ නියෝජනය කරන අතර අනෙක්‌ පාර්ශවය එම රටේ වසන මනුෂ්‍ය කණ්‌ඩායමට අයත් අතීත සම්ප්‍රදායයන් මගින් සංකේතවත් කරයි. 'සංස්‌කෘතිය යන ප්‍රපංචය සම්බන්ධයෙන් සාකච්ඡා කරන බොහෝ අවස්‌ථාවල අප පැරණි දෑ පිළිබඳව අවධානය යොමු කරන්නේ එහෙයිනි. කිසියම් මනුෂ්‍ය කණ්‌ඩායමක්‌ සිය අතීත සම්ප්‍රදායයන් දෙස ඇඟිල්ල දිගු කොට පෙන්වා උදම් අනන්නේ හුදෙක්‌ම එය ඔවුන්ට අයත් වර්තමානය තුළ ලියලා වැඩී ඇති ජාතික ශඛ්‍යතාවයන්ගේ කළලයන් නිදන්ගතව ඇති ගැබක්‌ සේ එය අගය කළයුතු නිසාය" (මහාචාර්ය රාජ් සෝමදේව)

    බ්‍රිතාන්‍ය මානව විද්‍යාඥ ඊ. බී. ටයිලර් සඳහන් කළේ, සමාජයේ සාමාජිකයකු වශයෙන් මිනිසා විසින් අයත් කර ගන්නා වූ දැනුම, විශ්වාස, කලා, සදාචාර, දහම්, නීතිය, සිරිත් ඇතුළු අනෙකුත් හැකියාවන් හා පුරුදුවල සමස්‌තය සංස්‌කෘතිය යනුවෙනි.

    ආශ්‍රීය ග්‍රන්ථ සහ ලේඛන

    Ö ජාතික කෞතුකාගාර අධ්‍යක්‌ෂගේ පාලන වාර්තාව 1956 - පී. දැරණියගල මහතා

    Ö මානවවිද්‍යාව හැඳින්වීම - මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන, මහාචාර්ය ගාමිණී අධිකාරි (2009)

    Ö හෙළදිව්වාසීන් සහ ආදිවාසීන් - මහාචාර්ය දයානන්ද සෝමසුන්දර

    Ö හෙළ හැදියාව - පණ්‌ඩිත බද්දේගම විමලවංස ස්‌ථවිර

    Ö අපේ සංස්‌කෘතිය, රාජකීය පණ්‌ඩිත බද්දේගම විමලවංශ නා හිමි, (1964)

    Ö සංස්‌කෘතික පුරාණය - මධ්‍යම සංස්‌කෘතික අරමුදල (1994 අප්‍රේල් - ජූනි)

    Ö ප්‍රායෝගික ක්‍ෂේත්‍ර පුරාවිද්‍යාව - ඒ ලගමුව

    Ö ශ්‍රී ලංකාවේ ජනාවාසකරණය සංස්‌කෘතිය හා සන්නිවේදනය සුනිල් කුමාරසිංහ අතුකෝරල (2014)

    Ö පෞරාණික ස්‌ථාන සහ ස්‌මාරක අම්පාර දිස්‌ත්‍රික්‌කය - පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව

    Ö අධ්‍යයන චාරිකා සහ වාර්තා සටහන් (2000, 2009, 2010, 2014 )